A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 12

යෙසායා 15:1-9
1. මෝවබ් ගැන දිව්‍ය ප්‍රකාශනයය. රාත්‍රියකදී මෝවබ්හි ආර් නගරය පාළුකොට නැතිකරනලද්දේය; රාත්‍රියකදී මෝවබ්හි කීර් බලකොටුව පාළුකොට නැතිකරනලද්දේය.
2. අඬන පිණිස ඔහු ගෘහයටත් දීබොන්හි උස් තැන්වලටත් ගියේය. මෝවබ් වනාහි නෙබෝ සහ මේදෙබා ගැන කෑමොරගසයි. ඔවුන් සියල්ලන්ගේ ඉස් මුඩුකර තිබේ, සෑම රැවුල් කපා තිබේ.
3. තමුන්ගේ වීථිවල ඔව්හු ගෝණිරෙදි හැඳ ඉඳිති. ඔවුන් සෑමදෙනම තමුන්ගේ පියසි උඩද එළිමහන් ඉඩම්වලද බොහෝකොට අඬා කෑමොරගසති.
4. හෙෂ්බොන්ද එලෙයාලේද කෑගසති; ඔවුන්ගේ හඬ යාහශ් දක්වා ඇසෙයි. ඒ නිසා මෝවබ්හි යුද්ධකාරයෝ ඝෝෂාකරති; එක් එක්කෙනාගේ ආත්මය ඔහු තුළ කැළඹෙයි.
5. මාගේ සිත මෝවබ් නිසා කෑගසයි; ඇගේ උත්තමයෝ ශෝවාර්ටත් එග්ලත්-ෂෙලිෂියටත් පලා යති. මක්නිසාද ඔව්හු අඬ අඬා ලූහිත්හි ගොඩැල්ලෙන් නැගී යති; එසේය, හොරොනායිම් මාර්ගයේදී ඔව්හු විනාශයේ ඝෝෂාවක් පවත්වති.
6. තවද නිම්රිම්හි ජලවල් සිඳී පාළුවන්නේය. එසේය, තෘණ මැළවී අමු තෘණ නැතිවී තිබේ, අමුවූ කිසිවක්ද නොතිබේ.
7. එබැවින් ඔව්හු සපයාගත් සම්පත්ද රැස්කර තබාගත් දේද නළාගස් ඔය ළඟට ගෙනයන්නෝය.
8. මක්නිසාද කෑගැසීම මෝවබ්හි සීමාව වටකරින්ම ගියේය; එහි කෑමොරගැසීම එග්ලයිම් දක්වාද එහි කෑමොරගැසීම බෙයෙර්-එලීම් දක්වාද ගියේය.
9. දීමොන්හි ජලවල් ලෙයින් පිරී තිබේ. මක්නිසාද දීමොන් පිටට තව විපත්ති පමුණුවන්නෙමි, ගැළවෙන මෝවබ්වරුන් පිටත් දේශයේ ඉතිරි අය පිටත් සිංහයෙකු පමුණුවන්නෙමි.

යෙසායා 16:1-14
1. කාන්තාරය දෙස පිහිටා තිබෙන සේලා සිට සියොන් දුවගේ කන්දට, දේශයේ ආණ්ඩුකාරයාට, බැටළු පැටවුන් යවන්න.
2. මක්නිසාද මෝවබ්හි දූවරු මුළාව යන කුරුල්ලන්මෙන්, අත්හරිනලද පක්ෂි කැදැල්ලක්මෙන්, අර්නොන්හි තොටුපළවල සිටින්නෝය.
3. උපදෙස් දෙන්න, යුක්තිය කරන්න; ඉරමුදුන් වේලෙහිම ඔබේ සෙවණැල්ල රාත්‍රියට සමානකරන්න. නෙරපනලද්දවුන් සඟවාගන්න; පලාඑන තැනැත්තා පාවා නොදෙන්න.
4. නෙරපනලද්දාවූ මාගේ ජනයාට ඔබ සමඟ සිටින්ට ඉඩදෙන්න; මෝවබ්ට ඔබ කොල්ලකාරයා ඉදිරියෙන් ආවරණයක්වෙන්න. මක්නිසාද පැහැරගන්නා නැතිවිය, කොල්ලකෑම නවතියි, පීඩා කරන්නෝ දේශයෙන් විනාශකරනු ලබති.
5. මෙසේ සිංහාසනයක් කරුණාවෙන් පිහිටෙන්නේය, ඒ පිට දාවිත්ගේ කූඩාරමෙහි කෙනෙක් සැබෑකමෙන් සැරහී හිඳ, විනිශ්චයකර, යුක්තිය පවත්වා, ධර්මිෂ්ඨකම ඉෂ්ටකරන්ට යුහුවන්නේය.
6. ඉතා උඩඟුවූ මෝවබ්ගේ උඩඟුකමද ඔහුගේ උදාරම්කමද ඔහුගේ ආඩම්බරයද ඔහුගේ උදහසද ගැන ඇසීමුව, ඔහුගේ පාරට්ටුකිරීම් හිස්ය.
7. එබැවින් මෝවබ්වරු මෝවබ් නිසා කෑමොරගසන්නෝය. සියල්ලෝම කෑමොරගසන්නෝය. කීර්-හරෙසෙත්හි මිදිපල කැවිලි නිසා ඔබ සැම වැලපෙන්නහුය, ඒක මුළුමනින්ම පහර ලැබුවේය.
8. මක්නිසාද හෙෂ්බොන්හි කෙත්ද සිබ්මාහි මිදිවැල්ද මැළවේ; ජාතීන්ගේ ස්වාමීහු එහි හොඳ වැල් කඩාදැමුවෝය; ඒවා යාසෙර් දක්වා විහිදී, කාන්තාරයෙහි එහා මෙහා ගියේය; එහි අතුද විහිදී, මුහුදෙන් එතරට ගියේය.
9. එබැවින් යාසෙර් අඬන්නාක්මෙන් මම සිබ්මාහි මිදිවැල ගැන අඬන්නෙමි. අනේ, හෙෂ්බොන් සහ එලෙයාලේ, ඔබ සැම මාගේ කඳුළුවලින් තෙමන්නෙමි. මක්නිසාද ඔබේ නියඟ කාලයේ ඵල පිටද අස්වැන්න පිටද යුද්ධ ඝෝෂාව පැමිණෙන්නේය.
10. සාරවත් කෙතෙන් සතුටද ප්‍රීතියද පහකරනලද්දේය; මිදිවතුවල කවිකීමවත් ප්‍රීති ඝෝෂාවවත් නොවන්නේය. කිසි මඩින්නෙක් මිදිපැස්වල මුද්‍රිකඵල මැඩ නොගන්නේය; මම මිදිඵල නෙළීමේ ප්‍රීති ඝෝෂාව නැවැත්වීමි.
11. එහෙයින් මෝවබ් ගැන මාගේ අතුණුද කීර්-හෙරෙස් ගැන මාගේ හෘදයද වීණාවක්මෙන් ශබ්ද දෙන්නේය.
12. තවද මෝවබ් උසස්ථානයෙහි පෙනී, වෙහෙසවී, යාච්ඤාකරන්ට තමාගේ ශුද්ධස්ථානයට ඇතුල්වූ කල්හි ඔහුට පිහිට නොලැබේ.
13. ස්වාමීන්වහන්සේ මෝවබ් ගැන පළමු කී වචනය මේය.
14. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කථාකොට: කුලීකාරයෙකුගේ අවුරුදු ලෙස තුන් අවුරුද්දකින් මෝවබ්ගේ ඉසුරුමත්කම ඔහුගේ මහත් සමූහයා ඇතුළුව නීචකමට පැමිණෙනවා ඇත; ඉතිරිවෙන්නේ ඉතා ස්වල්පවූ දුර්වලවූ කොටසක්යයි කීසේක.

ගීතාවලිය 106:24-31
24. ඔව්හු ප්‍රිය උපදවන දේශය හෙළාදැක්කෝය, උන්වහන්සේගේ වචනය අදහා නොගත්තෝය.
25. නුමුත් තමුන්ගේ කූඩාරම්වලදී කොඳුළෝය, ස්වාමීන් ගේ ශබ්දයට ඇහුම්කන් නුදුන්නෝය.
26. එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙළා දමන බවත්, ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ හෙළා දමන බවත්,
27. ඔවුන් දේශවල විසුරුවන බවත් කියා, ස්වකීය හස්තය ඔසවා දිවුළසේක.
28. ඔව්හු බාල්පෙයොර්ටත් බැදී, මළවුන්ට පිදූ දේ කෑවෝය.
29. මෙසේ ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කෙරෙවුවෝය; වසංගතයද ඔවුන් අතරට පැමිණියේය.
30. එවිට පීනෙහාස් නැගිට යුක්තිය ඉෂ්ටකෙළේය. මෙසේ වසංගතය නවත්වනලද්දේය.
31. එය සදාකල්ම සියලු පරම්පරාවලට ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලද්දේය.

හිතෝපදේශ 25:8-10
8. නඩුකීමට ඉක්මන්වී පිටත්ව නොයන්න, ගියොත්, අන්තිමේදී ඔබේ අසල්වාසියා ඔබ ලජ්ජාවට පත්කළාම, ඔබ කරන්නේ කුමක්ද?
9. ඔබේ අසල්වාසියා සමඟම ඔබේ කාරණය කථාකරන්න, අනිකෙකුගේ රහස ප්‍රකාශ නොකරන්න.
10. එසේ කළොත්, එය ඇසූ අය ඔබට නින්දාකරන්නේය, ඔබේ අපකීර්තියද පහවෙන්නේ නැත.

2 කොරින්ති 4:1-18
1. ඉන්නිසා අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමුව.
2. ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.
3. නුමුත් අපේ ශුභාරංචිය වැසී තිබේනම්, එය වැසී තිබෙන්නේ විනාශවෙන්නන්ටය.
4. නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.
5. මක්නිසාද අපි අප ගැනම නොව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේය කියාද යේසුස්වහන්සේ නිසා අපි ඔබ සැමගේ දාසයෝ කියාද ප්‍රකාශකරමුව.
6. එසේය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙහි දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය බැබළෙන පිණිස, අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්ට කීවාවූ දෙවියන්වහන්සේය.
7. නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.
8. අපි හැම අතින්ම මඩිනු ලබමුව. එහෙත් හිර නොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය;
9. ලුහුබඳිනු ලබමුව, එහෙත් අත්හරිනු නොලබමුව; හෙළා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමුව.
10. යේසුස්වහන්සේගේ ජීවත්වීම අපේ ශරීරයෙහි ප්‍රකාශවෙන පිණිස අපි යේසුස්වහන්සේගේ මරනු ලැබීම අපේ ශරීරයෙහි නිතරම දරාගෙන යමුව.
11. මක්නිසාද අපේ මරණීයවූ මාංසයෙහි යේසුස්වහන්සේගේ ජීවනයත් ප්‍රකාශවන පිණිස ජීවත්වන්නාවූ අපි යේසුස්වහන්සේ උදෙසා නිතරම මරණයට පාවා දෙනු ලබමුව.
12. මෙසේ අප තුළ මරණයද ඔබ සැම තුළ ජීවනයද ක්‍රියාකරන්නේය.
13. තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.
14. මක්නිසාද ස්වාමීවූ යේසුස්වහන්සේව නැගිටෙවු තැනන්වහන්සේ යේසුස්වහන්සේ සමඟ අපත් නැගුටුවා, ඔබ සැම සමඟ තමන්වහන්සේ ඉදිරියෙහි සිටවන බව අපි දනිමුව.
15. මක්නිසාද අනුග්‍රහය වැඩිදෙනා කරණකොටගෙන අධිකවී, ස්තුතිකිරීම දෙවියන්වහන්සේගේ තේජස සඳහා අධිකවන පිණිස ඒ සියල්ල ඔබ සැම උදෙසා වන්නේය.
16. එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.
17. මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට,
18. ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.