Instagram
English
A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 10

යෙසායා 11:1-16
1. තවද යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේය, ඔහුගේ මුල්වලින් වූ පැළයක් ඵලදරන්නේය.
2. ස්වාමීන්වහන්සේ ගේ ආත්මය, එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මයද මන්ත්‍රණය හා බලයේ ආත්මයද දැනගැන්ම හා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේ ආත්මයද, උන්වහන්සේ කෙරේ පිහිටන්නේය.
3. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීම උන්වහන්සේගේ ප්‍රීතිය වන්නේය; උන්වහන්සේ තමන් ඇසට පෙනෙන හැටියට නිශ්චයකරන්නේවත් තමන්ගේ කනට ඇසෙන හැටියට නිශ්චයකරන්නේවත් නැතුව,
4. ධර්මිෂ්ඨකමෙන් දිළිඳුන් විනිශ්චය කොට, පොළොවේ යටහතුන් උදෙසා යුක්තියෙන් නිශ්චයකරනසේක. ස්වකීය මුඛය නැමති යෂ්ටියෙන් පොළොවට පහරදී, තමන්ගේ තොල්වල හුස්මෙන් දුෂ්ටයන් මරනසේක.
5. ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ ඉඟපටියද විශ්වාසකම උන්වහන්සේගේ බඳපටියද වන්නේය.
6. වෘකයා බැටළුපැටවා සමඟ වාසයකරන්නේය, දිවියාද එළුපැටවා සමඟ ලගින්නේය; වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය; කුඩා දරුවෙක් උන් ගෙනයන්නේය.
7. එළදෙනත් වලසාත් එක්ව තෘණ කන්නෝය; උන්ගේ පැටවුද එක්ව ලගින්නෝය. සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය.
8. කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය, කිරිවැරූ දරුවා පොළඟාගේ ගුල පිට තමාගේ අත තබන්නේය.
9. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.
10. තවද ඒ දවසෙහි ජනයන්ට කොඩියක් ලෙස සිටින්නාවූ, යෙස්සේගේ රිකිල්ලවූ උන්වහන්සේ වෙතට ජාතීහු රැස්වන්නෝය; උන්වහන්සේගේ නිවාසස්ථානයද තේජවත් වන්නේය.
11. තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක.
12. උන්වහන්සේ ජාතීන්ට කොඩියක් ඔසවා, පන්වනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් රැස්කර, විසුරුවනු ලැබූ යූදාවරුන් පොළොවේ සතර කොනින් එකතුකරනසේක.
13. එප්‍රායිම්ගේ ඊර්ෂ්‍යාව පහවයන්නේය, යූදාට හිංසාකරන්නෝ සිඳ දමනු ලබන්නෝය. එප්‍රායිම් යූදාට ඊර්ෂ්‍යාකරන්නේවත් යූදා එප්‍රායිම්ට හිංසාකරන්නේවත් නැත.
14. ඔව්හු ඉගිලී ගොස්, බටහිරෙන් පිලිස්තිවරුන්ගේ කර පිටට බසින්නෝය; ඔව්හු එක්ව පෙරදිග වැසියන්ගෙන් කොල්ලකා, තමුන්ගේ අත ඒදොම් සහ මෝවබ් පිටට දිගුකරන්නෝය; අම්මොන් පුත්‍රයෝද ඔවුන්ට කීකරුවන්නෝය.
15. ස්වාමීන්වහන්සේ මිසර මුහුදේ ‍අත්ත සහමුලින්ම නැතිකර දමනසේක; උන්වහන්සේ තමන් බලවත් සුළඟින් ස්වකීය හස්තය ගංගාව කෙරෙහි දිඟුකොට, මනුෂ්‍යයන්ට තමුන්ගේ මිරිවැඩි නොතෙමා එගොඩවෙන්ට පුළුවන්වන ලෙස දිය පාර සතකට බෙදීයන්ට ඊට ගසනසේක.
16. ඉශ්‍රායෙල් මිසර දේශයෙන් ආ දවසේදී මෙන් අෂූරෙන් ඉතුරුවන්නාවූ උන්වහන්සේගේ සෙනඟට මහ මාවතක් වන්නේය.

යෙසායා 12:1-6
1. ඒ දවසෙහි ඔබ කථාකොට: ස්වාමීන්වහන්ස, ඔබට ස්තුති කරමි; මක්නිසාද ඔබ මා කෙරෙහි උදහස්ව සිටිය නුමුත් ඔබගේ උදහස පහවගියේය, ඔබ මා සනසනසේක.
2. බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමීවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.
3. එබැවින් ඔබ සැම ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.
4. ඒ දවසෙහි ඔබ සැම කථාකොට: ස්වාමීන්වහන්සේ ට ස්තුතිකරන්න, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරන්න, උන්වහන්සේගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා, උන්වහන්සේගේ නාමය උසස් බව සඳහන්කරන්න.
5. ස්වාමීන්වහන්සේ ට ගායනාකරන්න; මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළසේක. මේ බව මුළු පොළොවෙහි දන්වනු ලැබේවයි කියන්නහුය.
6. එම්බා සියොන් වැසිය, ශබ්ද පවත්වා මොරගසන්න; මක්නිසාද ඔබ මධ්‍යයෙහි ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උතුම්ව සිටිනසේක.

ගීතාවලිය 106:6-18
6. අපි අපේ පියවරුන් හා සමඟ පව්කෙළෙමුව. අයුතුකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියාකෙළෙමුව.
7. අපේ පියවරු මිසරයේදී ඔබගේ ආශ්චර්යයන් තේරුම් නොගත්තෝය; ඔබගේ කරුණා රාශිය සිහි නොකළෝය; මුහුද, එනම් රතු මුහුද ළඟදී කැරළිගැසුවෝය.
8. එසේ වුවත් උන්වහන්සේ තමන් බලපරාක්‍රමය දක්වන පිණිස ස්වකීය නාමය නිසා ඔවුන් ගැළවූසේක.
9. උන්වහන්සේ රතු මුහුදට තරවටුකළසේක, එය වියළුණේය. වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙනගියසේක.
10. ඔවුන්ට වෛරවූවාගේ අතින් ඔවුන් ගැළවූසේක, සතුරාගේ අතින් ඔවුන් මිදූසේක.
11. ජලධාරාවෝ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය.
12. එවිට ඔව්හු උන්වහන්සේගේ වචන විශ්වාසකොට, උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය.
13. ඔව්හු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහිනැතිකරමින්, උන්වහන්සේගේ මන්ත්‍රණය බලානොසිටියෝය.
14. වනාන්තරයේදී අධිකලෙස තෘෂ්ණාවට අසුවී, කාන්තාරයේදී දෙවියන්වහන්සේ පරික්ෂාකළෝය.
15. උන්වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ටකළසේක; නුමුත් ඔවුන්ගේ ආත්මය කෘශභාවයට පැමිණවූසේක.
16. කඳවුරේදී ඔව්හු මෝසෙස්ටත් ස්වාමීන්වහන්සේ ගේ ශුද්ධ තැනැත්තාවූ ආරොන්ටත් ඊර්ෂ්‍යාකළෝය.
17. පොළොව විවරව දාතාන් ගිලගත්තාය, අබිරාම්ගේ කණ්ඩායමද වසාගත්තාය.
18. ඔවුන්ගේ කණ්ඩායම මැද ගින්නක් ඇවුළුණේය; ගිනිදැල දුෂ්ටයන් දවාදැමීය.

හිතෝපදේශ 25:3-5
3. උස නිසා අහසද ගැඹුර නිසා පොළොවද රජුන්ගේ සිතද සොයා දැනගන්ට බැරිය.
4. රිදීවලින් බොර පහකරපන්න, එවිට රන්කරුවාට භාජනයක් නික්මෙයි.
5. දුෂ්ටයා රජු ඉදිරියෙන් පහකරන්න, එවිට ඔහුගේ සිංහාසනය ධර්මිෂ්ඨකමෙන් ස්ථිරවෙයි.

2 කොරින්ති 2:1-17
1. මක්නිසාද ඔබ සැම පිහිටා සිටින්නේ ඇදහිල්ල කරණකොටගෙනය, ශෝකයෙන් යුක්තව ඔබ සැම ළඟට නැවත නොඑන්ට මම මාගේ සිතින් නියමකරගතිමි.
2. මක්නිසාද මම ඔබ සැම ශෝකයට පත්කරම් නම්, මා විසින් ශෝකයට පත්කරන අයම මිස මා සන්තෝෂකරන්නේ වෙන කවුද?
3. මේ කාරණය මා ලියා එවුවේ මාගේ ප්‍රීතිය ඔබ සැම සියල්ලන්ගේ ප්‍රීතියයයි ඔබ සැම සියල්ලන් ගැන විශ්වාසකරමින්, මා ආවාම මා ප්‍රීතිකරන්ට ඕනෑ අයවලුන්ගෙන් මට ශෝකය නොපැමිණෙන පිණිසය.
4. මක්නිසාද බොහෝ දුක්වලින්ද හෘදය වේදනාවෙන්ද බොහෝ කඳුළෙන්ද යුක්තව ඔබ සැමට ලිවීමි. එසේ කළේ ඔබ සැම ශෝකයට පත්කරන්ට නොව ඔබ සැම කෙරෙහි ඇත්තාවූ මාගේ ඉතා මහත් ප්‍රේමය ඔබ සැම විසින් දැනගන්නා පිණිසය.
5. එහෙත් යමෙක් ශෝක ඉපදෙවුවේ නම් ඔහු මට නොව, පමණක් දුරට ඔබ සැම සියල්ලන්ටම ශෝක ඉපදෙවුවේය. මෙසේ කියන්නේ පමණට වඩා බර නොකරන පිණිසය.
6. බොහෝ දෙනා විසින් පමුණුවනලද මේ දඬුවම එබඳු තැනැත්තාට ඇත.
7. අනික් අතට එබඳු තැනැත්තා යම් විධියකින් ඔහුගේ අධික ශෝකයෙහි ගිලී නැති නොවන පිණිස ඔහුට කමාවෙන්ටද ඔහු සනසන්ටද ඊට වඩා ඔබ සැමට යුතුය.
8. එබැවින් ඔහු කෙරෙහි තිබෙන ඔබ සැමගේ ප්‍රේමය ස්ථිරකරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලමි.
9. තවද මේ නිසා මා ලියුවෙත් සියල්ලෙහිදී ඔබ සැම කීකරුව සිටිනවාද කියා සෝදිසිකර දැනගන්නා පිණිසය.
10. ඔබ සැම යමෙකුට යමක් ගැන කමාවෙනවා නම් මමත් කමාවෙමි. මම යමක් ගැන කමාවීම් නම්, එසේ කමාවී තිබෙන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය,
11. ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි ඔබ සැම උදෙසාය. මක්නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ.
12. තවද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශකරන්ට මා ත්‍රෝවසට පැමිණිකල ස්වාමීන්වහන්සේ තුළ මට දොරක් ඇර තිබෙද්දීත්,
13. මාගේ සහෝදරවූ තීතස් සම්බ නූවූ බැවින් මාගේ ආත්මයට කිසි පහසුවක් නොලැබ, ඔවුන්ගෙන් අවසරගෙන මම මකිදෝනියට පිටත්ව ගියෙමි.
14. තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ, සියලු තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැනීම නැමති සුවඳ පතුරුවන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.
15. මක්නිසාද ගැළවෙන්නවුන් කෙරෙහිද විනාශවන්නන් කෙරෙහිද අපි දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳක්ව සිටිමුව;
16. එක පක්ෂයකට මරණය පිණිස මරණයේ සුවඳක්ය; අනික් පක්ෂයට ජීවනය පිණිස ජීවනයේ සුවඳක්ය. ඉතින් මේ දේවලට සමර්ථ කවුද?
17. මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ වචනය බොහෝදෙනා මෙන් නරක් නොකර, අවංකකමින්ද දෙවියන්වහන්සේගෙන් ලැබුණු ලෙසද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළ කථාකරමුව.