A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 1

ප්‍රේම ගී 1:1-17
1. සාලමොන්ගේ උතුම් ගීතිකාවය.
2. ඔහු තමාගේ මුඛයේ සිඹීම්වලින් මා සිඹීවා. මක්නිසාද ඔබේ ප්‍රේමය මුද්‍රිකපානයට වඩා හොඳය.
3. ඔබේ විලවුන් මිහිරි සුවඳින් යුක්තය; ඔබේ නාමය වැගිරෙවු විලවුන් මෙන්ය; එබැවින් කන්‍යාවෝ ඔබට ප්‍රේමකෙරෙති.
4. මා ඇදගන්න; අපි ඔබ අනුව දුවන්නෙමුව. රජ තමාගේ ඇතුල් ගෙවලට මා පැමිණෙවුවේය. අපි ඔබ කෙරෙහි ප්‍රීති සන්තෝෂවන්නෙමුව, මුද්‍රිකපානයට වඩා ඔබේ ප්‍රේමය සඳහන්කරන්නෙමුව. ඔවුන් ඔබට ප්‍රේමකරනවා හරිය.
5. යෙරුසලමේ දූවරුනි, මම කේදාර්හි කූඩාරම් මෙන් කළු නුමුත්, සාලමොන්ගේ තිර මෙන් ශෝභනව සිටිමි.
6. අව්ව මා පිට වැටීමෙන් මා කළුවී සිටින නිසා, මා දෙස බලානොසිටින්න; මාගේ මවුගේ පුත්‍රයෝ මට කෝපවී, මිදිවතු බලාගන්ට මට නියමකළෝය; මාගේම මිදිවත්ත මම බලා නොගතිමි.
7. මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්ත, ඔබේ රැළට කවන්නේ කොහේද? ඉරමුදුන් වේලේ උන් ලග්ගවන්නේ කොහේද කියා මට දන්වන්න. ඔබේ යහළුවන්ගේ රැළවල් ළඟ මුහුණ වසාගත්තියෙකු මෙන් සිටින්ට ඕනෑ මන්ද?
8. ස්ත්‍රීන්ගෙන් ඉතා රුව ඇත්තිය, ඔබ නොදන්නෙහි නම්, රැළේ අඩිපාරේම ගොස්, එඬේරුන්ගේ කූඩාරම් ළඟ ඔබේ එළු පැටවුන්ට කවන්න.
9. මාගේ සොඳුර, ඵාරාවෝගේ රථවල අශ්වධේනුවකට ඔබ සමානකෙළෙමි.
10. ඔබේ කම්මුල් හිසකේ ගෙතීම්වලින්ද ඔබේ බෙල්ල මැණික් මාලාවලින්ද ශෝභනව තිබේ.
11. රිදී පොහොට්ටු ඇති රන් මාලා ඔබට සාදා දෙන්නෙමුව.
12. රජ තමාගේ මේසය ළඟ හිඳිද්දී මාගේ ජටාමාංශ තෙලේ සුවඳ විහිදුණේය.
13. මාගේ ප්‍රේමවන්තයා මට මාගේ පියයුරු අතරේ තිබෙන සුවඳලාටු පොදියක් හා සමානය.
14. මාගේ ප්‍රේමවන්තයා මට එන්ගෙදියේ උයන්වල වැවුණ සපුමල් පොකුරක් වැනිය.
15. බලව, මාගේ සොඳුර, ඔබ රුව ඇත්තීය; එසේය, ඔබ රුව ඇත්තීය; ඔබේ ඇස් පරෙවියන් හා සමානය.
16. බලව, මාගේ ප්‍රේමවන්තය, ඔබ රුව ඇත්තෙහිය, එසේය, ප්‍රියකරුය. අපේ යහනද නිල්පාටය.
17. අපේ ගෙයි බාල්ක කිහිරි ගස්ය, අපේ පරාළ දේවදාර ගස්ය.

ප්‍රේම ගී 2:1-17
1. මම ෂාරොන්හි සෙව්වන්දි මලක්ය, මිටියාවත්වල මහනෙල් මලක්ය.
2. කටුගස් අතරේ මහනෙල් මලක් යම්සේද, දූවරුන් අතරේ මාගේ සොඳුරත් එසේය.
3. වනයේ ගස් අතරේ ජම්බු ගස යම්සේද, පුත්‍රයන් අතරේ මාගේ ප්‍රේමවන්තයාත් එසේය. මම ඔහුගේ සෙවණෙහි ප්‍රීතියෙන් හිඳගතිමි, ඔහුගේ ඵලද මාගේ කටට මිහිරි විය.
4. ඔහු මිදිපැන් ගෙයට මා ගෙනායේය, මට උඩින් ඔහුගේ කොඩිය ප්‍රේමයය.
5. වියළි මිදිපලවලින් මා ශක්තිමත්කර, ජම්බුවලින් මා ප්‍රාණවත්කරන්න. මක්නිසාද මම ප්‍රේමාතුරව සිටිමි.
6. ඔහුගේ වමත මාගේ හිස යටය, දකුණතද මා වැළඳගනියි.
7. යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමැතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් මුවදෙනුන් සහ වනයේ ඕලුදෙනුන් නමින් ඔබ සැම දිවුරවමි.
8. අන්න, මාගේ ප්‍රේමවන්තයාගේ හඬ! බලව, ඔහු කඳුවල පනිමින්ද හෙල්වල පැන නගිමින්ද එන්නේය.
9. මාගේ ප්‍රේමවන්තයා මුවෙකු නොහොත් මුවපැටවෙකු මෙන්ය. අන්න, ඔහු අපේ තාප්පයට පිටතින් සිට, කවුළුවලින් බලයි, ගරාදි අතුරෙන් එබීබලයි.
10. මාගේ ප්‍රේමවන්තයා කථාකර මට කියන්නේ: මාගේ සොඳුර, ශෝභන තැනැත්තිය, නැගිට එන්න.
11. මක්නිසාද ශීත කාලය පසුවිය, වැස්ස නැවතුණේය;
12. පොළොව පිට මල් පෙනෙයි; කුරුල්ලන් නාදකරන කාලය පැමිණියේය, කොබෙයියාගේ හඬ අපේ දේශයෙහි ඇසෙයි;
13. දිඹුල් ගසේ අමු ගෙඩි ඉදීගන එයි, මිදිවැල්වල මල් පිපී, සුවඳ හමයි. මාගේ සොඳුර, මාගේ ශෝභන තැනැත්තිය, නැගිට එන්න.
14. පර්වත විවරවලද උස් කඳුවල රහස් තැන්හිද සිටින මාගේ පරෙවිදෙන, ඔබේ මුහුණ මට දකින්ටත් ඔබේ හඬ අසන්ටත් දෙන්න; මක්නිසාද ඔබේ හඬ මිහිරිය, ඔබේ මුහුණ ශෝභනයයි කීවේය.
15. මිදිවැල් නරක්කරන සිවලුන් එනම් කුඩා සිවලුන් අල්ලාදෙන්න; මක්නිසාද අපේ මිදිවැල්වල මල් පිපී තිබේ.
16. මාගේ ප්‍රේමවන්තයා මාගේය, මම ඔහුගේය. ඔහු මහනෙල් අතරේ රැළ කවයි.
17. මාගේ ප්‍රේමවන්තය, දහවල් සිසිල්වී සෙවණැලි පහවන තුරු, බෙතෙර් කඳු පිට යන මුවෙක් නොහොත් මුව පැටියෙක්මෙන් හැරී එන්න.

ගීතාවලිය 104:1-9
1. මාගේ ආත්මය ස්වාමීන් ට ප්‍රශංසාකරව; මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ ඉතා උතුම්සේක; ඔබ ගෞරවයෙන් හා මහිමයෙන් සැරසී සිටිනසේක.
2. ඔබ වස්ත්‍රයක් මෙන් එළිය පොරවාගන්නසේක; වියනක් මෙන් ආකාශය දිගහරිනසේක.
3. ඔබ තමන් උඩුමහල් දිය පිට පිහිටුවනසේක; වලාකුල් ස්වකීය රථය කරගන්නසේක; හුළං නමැති පියාපත් පිට යනසේක.
4. උන්වහන්සේ හුළං ස්වකීය දූතයන්ද ඇවිළෙන ගිනි දළු ස්වකීය මෙහෙකරුවන්ද කරගන්නසේක.
5. පොළොව සදාකල්ම නොසෙලවෙන ලෙස උන්වහන්සේ ඒකේ අත්තිවාරම් ලූසේක.
6. උතුරු සළුවකින් මෙන් ගැඹුරෙන් එය පෙරවූසේක; ජලය කඳුවලට ඉහළින් විය.
7. ඔබගේ තරවටුවෙන් ඒවා පලාගියේය; ඔබගේ ගර්ජනා ශබ්දයට ඒවා යුහුව ගියේය.
8. ඒවා කඳුවලින් නැගී ඔබ ඊටම පිහිටෙවු ස්ථානයට මිටියාවත්වලින් බැස ගියේය.
9. ජලය ගලා නොයන පිණිසත්, පොළොව වසාගන්ට නැවත හැරී නොඑන පිණිසත්, ඔබ සීමාවක් තැබූසේක.

හිතෝපදේශ 24:15-16
15. දුෂ්ට මනුෂ්‍යය, ධර්මිෂ්ඨයාගේ නිවසෙට විරුද්ධව රැක නොසිටින්න; ඔහුගේ වාසස්ථානය කොල්ලනොකන්න.
16. මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය.

1 කොරින්ති 11:17-34
17. නුමුත් මම ඔබ සැමට මේ ආඥාව දීමේදී යහපත නොව අයහපත සිද්ධවෙන හැටියට ඔබ සැම රැස්වන නිසා ඔබ සැමට ප්‍රශංසා නොකරමි.
18. මක්නිසාද පළමුකොට ඔබ සැම සභාවෙහි රැස්වන කල, ඔබ සැම අතරෙහි භේද තිබෙන බව මට ආරංචිය; එය තරමක් දුරට විශ්වාස කරමි.
19. මක්නිසාද ඔබ සැම අතරෙහි විශ්වාසවූ අයවල් ප්‍රකාශවන පිණිස ලබ්ධි භේදත් ඔබ සැම අතරෙහි තිබෙන්ට ඕනෑය.
20. ඉතින් ඔබ සැම එකට රැස්වන කල්හි ස්වාමීන්වහන්සේගේ රාත්‍රි භෝජනය කෑමක් නම් නැත.
21. මක්නිසාද ඔබ සැම කන විට, එකිනෙකා තම තමාගේම කෑම අනික් කෙනෙකුට ප්‍රථමයෙන් කන්නේය; මෙසේ එක්කෙනෙක් බඩගිනිව ඉන්නේය, තවත් කෙනෙක් මත්වන්නේය.
22. කිමෙක්ද? කන්ටත් බොන්ටත් ඔබ සැමට ගෙවල් නැද්ද? නොහොත් ඔබ සැම දෙවියන්වහන්සේගේ සභාව සුළුකොට කිසිවක් නැත්තන් ලජ්ජාවට පමුණුවවුද? ඔබ සැමට මක්කියම්ද? මේ ගැන ඔබ සැමට ප්‍රශංසාකරම්ද? ප්‍රශංසා නොකරමි.
23. මක්නිසාද මම ඔබ සැමට භාරදුන් දේ ස්වාමීන්වහන්සේගෙන් ලැබීමි, එනම් ස්වාමීවූ යේසුස්වහන්සේ පාවාදෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන,
24. ස්තුතිකොට, කඩා: මේක ඔබ සැම උදෙසා දෙන්නාවූ මාගේ ශරීරයය. මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.
25. එලෙසම රාත්‍රි කෑමෙන් පසු කුසලානත් දී: මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණ වර ඔබ සැම මෙයින් බොන්නහුද, එපමණ වර මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.
26. මක්නිසාද, ඔබ සැම යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමීන්වහන්සේ එන තුරු ඔබ සැම උන්වහන්සේගේ මරණය ප්‍රකාශකරන්නහුය.
27. එහෙයින් නුසුදුසුලෙස මේ රොටි කන්නාවූ නොහොත් ස්වාමීන්වහන්සේගේ කුසලානෙන් බොන්නාවූ කවරෙකු නුමුත්, ස්වාමීන්වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය.
28. නුමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසිකොට, ඒ රොටි කෑවාවේ,
29. ඒ කුසලානෙන් බීවාවේ. මක්නිසාද කන්නාවූ බොන්නාවූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම්, ඔහු තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේය, බොන්නේය.
30. ඉන්නිසා ඔබ සැම අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති, බොහෝ දෙනෙක්ද නින්දට පත්වෙති.
31. අපි අපම විමසමු නම්, අප විනිශ්චයකරනු ලබන්නේ නැත.
32. නුමුත් අප විනිශ්චයකරනු ලබන කල ලෝකයා සමඟ වරදට පත් නොවන පිණිස ස්වාමීන්වහන්සේගෙන් දඬුවම් ලබමුව.
33. එබැවින්, මාගේ සහෝදරයෙනි, කන්ට ඔබ සැම රැස්වෙන කල එකිනෙකා ගැන බලා සිටින්න.
34. යමෙකුට බඩගිනි ඇත්නම් ඔබ සැමගේ රැස්වීම දඬුවමට හේතු නොවන පිණිස ඔහු ගෙදරදී කෑවාවේ, මා ආ විටකදී අනික් කාරණා හරිගස්සන්නෙමි.