A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 9

ජෝබ් 9:1-35
1. එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2. ඒ එසේමයයි මම සැබවින් දනිමි. නුමුත් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කෙසේද?
3. උන්වහන්සේ ඔහු සමඟ විවාද කරන්ට කැමතිවුණොත්, උන්වහන්සේට දහසකින් එකකටවත් උත්තරදෙන්ට ඔහුට බැරිය.
4. උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බලසම්පන්නය. උන්වහන්සේට විරුද්ධව සිත් දැඩි කරගන සමාදානයෙන් වර්ධනය වුණේ කවුද?
5. උන්වහන්සේ හදිසියෙන්ම කඳු පහකර, තමන්ගේ උදහසින් ඒවා පෙරළා දමනසේක.
6. උන්වහන්සේ පොළොව ඒකේ ස්ථානයෙන් සොලවා හරිනසේක, ඒකේ කණුද වෙවුලන්නේය.
7. ඉර නොපායන හැටියට උන්වහන්සේ අණකරනසේක; තාරකා මුද්‍රකර තබනසේක.
8. උන්වහන්සේ පමණක්ම අහස දිගහරිනසේක, මුහුදු රැළ පිටද ඇවිදිනසේක.
9. උන්වහන්සේ මහවලසාද මුවසිරසද හත්දින්නද දක්ෂිණ නිවාසද සාදනසේක.
10. උන්වහන්සේ සොයා දැනගන්ට බැරිවූ මහත් දේද ගණන් නැති පුදුමවල්ද කරනසේක.
11. බලව, උන්වහන්සේ මා ළඟින් යන නුමුත් මට පෙනෙන්නේ නැත; මා පසුකර යන නුමුත් මට දැනෙන්නේ නැත.
12. උන්වහන්සේ අල්ලාගන්න කල උන්වහන්සේ වලක්වන්නේ කවුද? ඔබ මක්කරනවාදැයි උන්වහන්සේට කියන්ට පුළුවන් කාටද?
13. දෙවියන්වහන්සේ තමන් උදහස පහකර නොගන්නාසේක; උඩඟු උපකාරකාරයෝ උන්වහන්සේට යටත්වෙති.
14. එසේවී නම් මම උන්වහන්සේට උත්තර දෙමින්, උන්වහන්සේ සමඟ විවාදකරන්ට මාගේ වචන තෝරාගන්නේ කොහොමද?
15. මම ධර්මිෂ්ඨවුවත්, උන්වහන්සේට උත්තර නොදී, මාගේ විරුද්ධකාරයාට කන්නලව් කරන්නෙමි.
16. මා යාච්ඤාකළ විට උන්වහන්සේ මට උත්තරදුන්නත්, උන්වහන්සේ මාගේ හඬට කන්දුන් බව විශ්වාස නොකරන්නෙමි.
17. මක්නිසාද උන්වහන්සේ කුණාටුවකින් මා පොඩිකර, නිකරුණේ මාගේ තුවාල වැඩිකරනසේක.
18. උන්වහන්සේ මට හුස්ම ගන්ටනොදී, තික්තකම්වලින් මා පුරවනසේක.
19. ශක්තිය ගැන කථාකරමු නම් එය ඇත්තේ උන්වහන්සේටය; විනිශ්චය ගැන නම් මට කාලයක් නියමකරන්නේ කවරෙක්ද?
20. මම ධර්මිෂ්ඨයයි කීවත් මාගේ මුඛය මා වරදට පත්කරන්නේය, මම නිදොස්යයි කීවත් එය මා වරදකාරයෙක් බව ඔප්පුකරන්නේය.
21. මා නිදොස් වුවත් මාගේ ප්‍රාණය ගැන නොසලකමි; මාගේ ජීවිතය සුළුකොට සිතමි.
22. කොයි එකත් එකය; එහෙයින්: උන්වහන්සේ සම්පූර්ණ අය සහ දුෂ්ටයාද විනාශකරනසේකැයි කියමි.
23. විපත නමැති කස පහරින් හදිසියෙන් මරණය වුවත්, නිදොස් අයගේ විපත්තියට උන්වහන්සේ සිනාසෙනසේක.
24. පොළොව දුෂ්ටයාගේ අතට භාරදී තිබේ. එහි විනිශ්චයකාරයන්ගේ මුහුණු උන්වහන්සේ වසනසේක; ඒ උන්වහන්සේ නොවේනම් වෙන කවුද?
25. මාගේ දවස් දුවන පණිවිඩකාරයෙකුට වඩා වේගවත්ය. ඒවා හොඳක් නොදැක පලායයි.
26. ඒවා ඉක්මනින් දුවන නැව් මෙන්ද ගොදුර පිටට වේගයෙන් බැස යන රාජාලියෙකු මෙන්ද පහව ගියේය.
27. මාගේ විලාපය මතකනැතිකර, මාගේ දුක්මුසු පෙනීම වෙනස් කරගෙන, සොම්නස්වන්නෙමියි කීවත්,
28. මාගේ සියලු දුක්වලට භයෙන් සිටිමි, ඔබ මා නිර්දෝෂ කොට ගණන් නොගන්න බව දනිමි.
29. මම වරදකාරයෙක් වන්නෙමි; එබැවින් නිෂ්ඵලයේ කුමට වෙහෙසෙම්ද?
30. මා හිම දියෙන් නාගන, මාගේ අත් කොපමණ පවිත්‍රකර ගත්තත්,
31. ඔබ මා මඩ වළේ හෙළනසේක, මාගේම ඇඳුම් මට පිළිකුල්ය.
32. මක්නිසාද මා විසින් උන්වහන්සේට උත්තරදෙන්ටත්, මා උන්වහන්සේ සමඟ විනිශ්චයට පැමිණෙන්ටත් පුළුවන්වන ලෙස, උන්වහන්සේ මා වාගේ මනුෂ්‍යයෙක් නොවේය,
33. අප දෙගොල්ල කෙරෙහි තමාගේ අත තබන්ට අප අතරේ බේරුම්කාරයෙක් නැත.
34. උන්වහන්සේ තමන් ඉපල මා කෙරෙන් පහකරගන්නසේක්වා, උන්වහන්සේගේ භීතිය මා ත්‍රස්ත නොකෙරේවා.
35. එවිට මම උන්වහන්සේට භය නැතුව කථාකරන්නෙමි; මක්නිසාද එසේ වීමට මා තුළ කාරණයක් නැත.

ජෝබ් 10:1-22
1. මාගේ ආත්මයට මාගේ ජීවිතය වෙහෙසක්ය; මාගේ විලාපය වලක්වා නොගෙන, මාගේ ආත්මයේ ශෝකයෙන් කථා කරන්නෙමි.
2. දෙවියන්වහන්සේට මම මෙසේ කියන්නෙමි: මා වරදට පත් නොකළ මැනව; කුමක් නිසා මා සමඟ විවාදකරනසේක්දැයි මට දැන්නුව මැනව.
3. ඔබ විසින් පීඩාකිරීමත්, ඔබගේ අත්වැඩය හෙළාදැකීමත්, දුෂ්ටයන්ගේ මන්ත්‍රණය කෙරෙහි බැබළීමත් ඔබට සුදුසුද?
4. ඔබට මාංසමය ඇස් තිබේද? නොහොත් මනුෂ්‍යයාට පෙනෙන්නාක්මෙන් ඔබට පෙනෙන්නේද?
5. ඔබගේ දවස් මනුෂ්‍යයාගේ දවස් වාගේද? නොහොත් ඔබගේ අවුරුදු මනුෂ්‍යයාගේ අවුරුදු වාගේද?
6. මක්නිසාද මා දුෂ්ටයෙක් නොවන බවද ඔබගේ අතින් මුදන්ට පුළුවන් කිසිකෙනෙක් නැති බවද ඔබ දන්න නුමුත්,
7. ඔබ මාගේ අපරාධය විමසනසේක, මාගේ පාපයක් සොයා බලනසේක.
8. ඔබගේ අත්වලින් මා හැඩහුරුකොට සහමුලින්ම මා සෑදූ නුමුත්, ඔබ මා නාස්තිකරනසේක.
9. ඔබ මා මැටිවලින් මෙන් සෑදූ බව සිහිකරන ලෙස අයදිමි: ඔබ මා නැවත පස්වලට හරවනසේක්ද?
10. ඔබ මා කිරි මෙන් වත්කර, මිදුණු කිරි මෙන් මිදෙන්ට සලස්වා,
11. හමෙන්ද මාංසයෙන්ද මා පළඳවා, ඇටවලින්ද නහරවලින්ද මා වියන්ට නොයෙදුණේද?
12. ඔබ මට ජීවිතයත් කරුණාවත් දී, ඔබගේ දයා බැල්මෙන් මාගේ ආත්මය ආරක්ෂාකළසේක.
13. එහෙත් මේ දේවල් ඔබගේ සිතෙහි සඟවා තබාගත්සේක; මේ කාරණය ඔබගේ කල්පනාවෙහි තිබුණු බව දනිමි.
14. මම පව්කෙරෙම්නම් ඔබ එය බලා ගන්නසේක, මාගේ අපරාධයෙන් ඔබ මා නිදොස් නොකරනසේක.
15. මා දුෂ්ටයෙක්නම් මට දුක්වේ; මා ධර්මිෂ්ඨවුවත්. ලජ්ජාවෙන් පිරී, මාගේ පීඩාව දෙස බලමින්, මාගේ හිස නොඔසවා ඉන්නෙමි.
16. මාගේ හිස එසෙවුවොත් ඔබ සිංහයෙකු මෙන් මා පස්සේ එළවා, නැවත පුදුම ලෙස මා කෙරෙහි බලය පානසේක.
17. අමුතු සාක්ෂි මට විරුද්ධව පමුණුවා, මා කෙරෙහි ඔබගේ උදහස වැඩි කරනසේක; සේනාව පිට සේනාව මා කරා එන්නාහ.
18. එබැවින් ඔබ මා කුසෙන් බිහිකළේ මන්ද? එසේ නොකළානම් මා නැසී කිසි ඇසකට නොපෙනී යනවා ඇත.
19. එකල මා නුවූවාක්මෙන් වෙනවා ඇත; කුසෙන් මිනිවළට ගෙනයනු ලබනවා ඇත.
20. මාගේ දවස් ස්වල්ප නොවේද? එබැවින් නැවතුණ මැනව; හැරී නේන ස්ථානයට,
21. එනම් අන්ධකාරයේද මරණ සෙවණේද දේශයවූ, අන්ධකාරය වැනි තද කළුවරද
22. පිළිවෙළක් නැතුව මරණ සෙවණද ඇත්තාවූ, එළියත් අන්ධකාරයව පවත්නාවූ දේශයට මා යන්ට පළමුවෙන්, මට ස්වල්පයක් සැනසිල්ල ලැබෙන පිණිස, මාගෙන් අහක්වුව මැනවයි කීවේය.

ගීතාවලිය 93:1-5
1. ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; උන්වහන්සේ මහිමශ්‍රීය පැළඳ සිටිනසේක; ස්වාමීන්වහන්සේ පැළඳ සිටිනසේක, උන්වහන්සේ ශක්තිය නමැති ඉඟපටිය බැඳගන සිටිනසේක. ලෝකයද නොසෙල්වෙන ලෙස පිහිටා තිබේ.
2. ඔබගේ සිංහාසනය ආදියේ පටන් පිහිටා තිබේ. ඔබ සදාකාලයේ පටන් සිටිනසේක.
3. ස්වාමිනි, ජල ධාරාවෝ නැගුණෝය, ජල ධාරාවෝ ශබ්දනැගුවෝය; ජල ධාරාවෝ රැළ නඟිති.
4. මහත් ජල ඝෝෂාවන්ටත් මුහුදේ බලවත් රැළවලටත් වඩා උසස්ථානයෙහි ස්වාමීන්වහන්සේ බලවත්ය.
5. ඔබගේ ශික්ෂා ඉතා ස්ථිරය. ස්වාමිනි, සදාකල්ම ශුද්ධකම ඔබගේ ගෘහයට හොබනේය.

හිතෝපදේශ 22:22-23
22. දිළින්දා දිළිඳු බැවින් ඔහුගෙන් කොල්ල නොකන්න, අසරණයාට දොරටුවේදී පීඩා නොකරන්න.
23. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් වෙනුවට විත්ති කියා, ඔවුන්ගෙන් කොල්ලකන්නන්ගේ ප්‍රාණය කොල්ලකන්නේය.

රෝම 9:16-33
16. ඒ නිසා එය කැමතිවන තැනැත්තාගෙන්වත් දුවන තැනැත්තාගෙන්වත් නොව, දයාවෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් වේ.
17. මක්නිසාද: ඔබ කෙරෙහි මාගේ බලය පෙන්වා මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවන පිණිසම ඔබ නැගිටවීමියි ලියවිල්ලේ ඵාරාවෝට කියා තිබේ.
18. මෙසේ උන්වහන්සේ කැමති කෙනෙකුට දයාවනසේක, කැමති කෙනෙකු දැඩිකරනසේක.
19. එසේවී නම් උන්වහන්සේ තවම දොස් තබන්නේ මක්නිසාද? උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධව සිටින්නේ කවුදැයි ඔබ මට කියනවා ඇත.
20. නුමුත්, අනේ මනුෂ්‍යය, දෙවියන්වහන්සේට විරුද්ධව උත්තරදෙන්නාවූ ඔබ කවුද? සාදනලද දේ එය සෑදූ අයට: ඔබ මා මේ ආකාරයෙන් සෑදුවේ මක්නිසාදැයි කියයිද?
21. එක මැටි පිඩෙන් එක් භාජනයක් ගෞරවය පිණිසත් අනිකක් අගෞරවය පිණිසත් සාදන්ට කුම්භකාරයාට මැටි කෙරෙහි බලය නැද්ද?
22. දෙවියන්වහන්සේ තමන්ගේ උදහස පෙන්වන්ටත් තමන්ගේ බලය ප්‍රකාශකරන්ටත් කැමතිව, විනාශයට සූදානම්කරනලද උදහසේ භාජන ගැන බොහෝ ක්ෂාන්තියෙන් ඉවසා,
23. මහිමය පිණිස පූර්වයෙන් තමන්වහන්සේ විසින් සූදානම් කරනලද දයාවේ භාජනවූ,
24. යුදෙව්වරුන්ගෙන් පමණක් නොව අන්‍යජාතීන්ගෙන්ද කැඳවනලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍ර්‍රකාශකරන්ට කැමතිවූසේක් නම් කිමෙක්ද?
25. එසේම උන්වහන්සේ හොෂෙයාගේ පොතෙහි: මාගේ සෙනඟව නොසිටියවුන්ට මාගේ සෙනඟය කියාත් ප්‍රිය නොවූ තැනැත්තියට ප්‍රිය තැනැත්තිය කියාත් කියන්නෙමියි කියාද
26. ඔබ සැම මාගේ සෙනඟ නොවන්නහුයයි ඔවුන්ට කියා තිබෙන තැන ඔබ සැම ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය කියනු ලබන්නහුයයි කියාද කීසේක.
27. තවද යෙසායා මොරගසා ඉශ්‍රායෙල් ගැන කියන්නේ: ඉශ්‍රායෙල් දරුවන්ගේ ගණන මුහුදේ වැලිමෙන් වන නුමුත්, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණක්ය.
28. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් වචනය තීන්දුකොට, එය අප්‍රමාදව පොළොව පිට ඉෂ්ටකරනසේක කියාය.
29. පළමුවෙනුත් යෙසායා කියා තිබෙන ප්‍රකාරයට, සේනාවල ස්වාමීන්වහන්සේ අපට වංශයක් ඉතිරි නොකළසේක් නම් අපි සොදොම මෙන් වීමුව, ගොමොරාවට සමාන කරනු ලැබීමුයයි කියාය.
30. එසේවී නම් කුමක් කියමුද? ධර්මිෂ්ඨකම අනුව නොගියාවූ අන්‍යජාතීහු ධර්මිෂ්ඨකමට එනම් ඇදහිල්ලෙන්වූ ධර්මිෂ්ඨකමට පැමිණියෝය,
31. ඉශ්‍රායෙල් වනාහි ධර්මිෂ්ඨකමේ ව්‍යවස්ථාවක් අනුව ගොස් ඒ ව්‍යවස්ථාවට නොපැමිණියේය කියාය.
32. ඒ මක්නිසාද? ඔවුන් එය ඇදහිල්ලෙන් නොව ක්‍රියාවලින් මෙන් සෙවූ නිසාය. ඔව්හු පැකිලීමේ ගලෙහි පැකුලුණෝය.
33. කෙසේදයත්: පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද සියොනෙහි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියා තිබෙන ලෙසය.