A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 8

ජෝබ් 7:1-21
1. පොළොවේදී යුද්ධ සේවයක් මනුෂ්‍යයාට තිබෙනවා නොවේද? ඔහුගේ දවස් කුලීකාරයෙකුගේ දවස් මෙන් නොවේද?
2. සෙවණැල්ලට ඉතා ආශාවන්නාවූ මෙහෙකරුවෙකු මෙන්ද, කුලී ලබන්ට බලා ඉන්නාවූ කුලීකාරයෙකු මෙන්ද,
3. නිෂ්ඵලකමේ මාස මට උරුමව තිබේ, වෙහෙස ගෙනදෙන රැයවල්ද මට නියමවී තිබේ.
4. මා නින්දට යන කල: රාත්‍රිය පසුවී කොයි වේලේ නැගිටින්නෙම්දැ යි කියමි; පහන්වෙන තුරු මම පෙරළි පෙරළී ඉඳිමි.
5. පණුවන්ගෙන්ද පස්කැටිවලින්ද මාගේ මාංසය වැසී තිබේ; මාගේ හම ඇකිළී වණවී තිබේ.
6. මාගේ දවස් වියන්නාගේ නඩාවට වඩා ඉක්මන්ව, බලාපොරොත්තුවක් නැතුව ගෙවී යන්නේය.
7. අනේ මාගේ ජීවිතය සුළඟක් බව සිහිකළ මැනව. මාගේ ඇස තවත් ශුභය නොදක්නේය.
8. මා දකින අයගේ ඇස තවත් මා නොදක්නේය. ඔබගේ ඇස් මා දෙස තිබේ, නුමුත් මා නැත්තේය.
9. වලාකුළ නැතිවී නොපෙනී යන්නාසේම ෂෙයෝලට බසින අය තවත් නැගීනොඑන්නේය.
10. ඔහු නැවත තමාගේ ගෙදරට හැරී නොඑන්නේය, ඔහුගේ ස්ථානයද නැවත ඔහුව දැන නොගන්නේය.
11. ඒ නිසා මම මාගේ මුඛය නවත්වා නොගෙන, මාගේ ආත්මයේ තද වේදනාවෙන් කථාකර, මාගේ ප්‍රාණයේ ශෝකයෙන් විලාප කියන්නෙමි.
12. ඔබ මට විරුද්ධව මුර තබන්නේ මම මුහුදක්ද? නොහොත් තල්මසෙක්ද?
13. මාගේ ඇඳ මා සනසන්නේය කියාත් මාගේ යහන මාගේ ශෝකය සහනය කරන්නේය කියාත් මා කියන කල,
14. ඔබ ස්වප්නවලින් මා භය ගන්වනසේක, දර්ශනවලින්ද මා ත්‍රස්තකරනසේක.
15. ඒ නිසා බෙල්ල මිරිකා නසනු ලැබීමටත්, මාගේ මේ ඇටවලට වඩා මරණයටත් මාගේ ආත්මය කැමතිවන්නේය.
16. මම ක්ෂයවී ඉඳිමි; මම සෑමකල්ම ජීවත් නොවන්නෙමි. මාගේ දවස් හුස්මක්ව තිබෙන නිසා මාගෙන් ඔබගේ අත අහකට ගත මැනව.
17. ඔබ විසින් මනුෂ්‍යයා උසස්කරන්ටත්, ඔහු කෙරෙහි ඔබගේ සිත තබන්ටත්,
18. උදයෙන් උදය ඔහු සලකන්ටත්, මොහොතෙන් මොහොත ඔහු සෝදිසිකරන්ටත් ඔහු මොකක්ද?
19. කෙල ගිලිනතුරුවත් ඔබ මා කෙරෙන් ඉවත නොබලා සිටින්නෙක්, මට නිකම් ඉන්ට නෑර සිටින්නත් කොපමණ කල්ද?
20. මනුෂ්‍යයන්ගේ ආරක්ෂාකාර තැනැන්වහන්ස, මා පව්කර තිබෙන නුමුත් ඔබට කුමක් කරම්ද? මා මටම බරක් වන ලෙස, ඔබ විසින් පහරදීමට ඉලක්කයක් කොට මා තබාගත්තේ මක්නිසාද?
21. ඔබ මාගේ වරදට කමාවී, මාගේ අපරාධය පහ නොකරන්නේ මක්නිසාද? මම ඉක්මනින් ධූලියෙහි නිදන්නෙමි, ඔබ මා බොහෝසේ සොයන නුමුත් මම නොසිටින්නෙමියි කීවේය.

ජෝබ් 8:1-22
1. එකල ෂූහිය බිල්දද් උත්තර දෙමින් කියනුයේ:
2. ඔබ මේවා පවසන්නෙත් ඔබේ මුඛයේ වචන බලවත් හුළඟක්ව තිබෙන්නෙත් කොපමණ කල්ද?
3. දෙවියන්වහන්සේ විනිශ්චය පෙරළනසේක්ද? නොහොත් සර්වපරාක්‍රමයාණෝ යුක්තිය පෙරළනසේක්ද?
4. ඔබේ දරුවන් උන්වහන්සේට විරුද්ධව පව්කරන්ටත්, උන්වහන්සේ ඔවුන්ගේ අපරාධයේ බලයට ඔවුන් පාවාදෙන්ටත් යෙදුණේ නම්,
5. ඔබ දෙවියන්වහන්සේ ඕනෑකමින් සොයා, සර්වපරාක්‍රමයාණන්ට කන්නලව් කරන්නෙහි නම්,
6. ඔබ පිරිසිදුව අවංකව සිටින්නෙහි නම්, සැබෑවටම දැන් ඔබ උදෙසා උන්වහන්සේ පිබිද, ඔබේ ධර්මිෂ්ඨකමේ නිවාසය සමාදානයෙන් වර්ධනයකරනසේක.
7. ඔබේ පටන්ගැන්ම කුඩා නුමුත් ඔබේ අන්තිමය බොහෝසෙයින් වැඩිවන්නේය.
8. එසේය, ප්‍රථම පරම්පරාවෙන් අසන්න, ඔවුන්ගේ පියවරුන් විභාගකළ දේට සිත යොමුකරන්න.
9. (මක්නිසාද අපි නම් ඊයේ දවසේ අයවල්ය, කිසිවක් නොදනිමුව, මක්නිසාද පොළොවෙහි අපේ දවස් සෙවණැල්ලක්ය.)
10. ඔව්හු ඔබට උගන්වා ඔබට කියාදී, තමුන්ගේ සිතින් නික්මෙන වචන නොකියන්නෝද?
11. මඩ නැති තැන පන් වැවේද? වතුර නැතුව මහ පන් වැඩේද?
12. ඒවා කපා නොදමා අමුව තිබෙද්දීම සියලු පලා ජාතිවලට පළමුවෙන් මැලවෙන්නේය.
13. දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියල්ලන්ගේ මාවත් එසේමය; අභක්තිකයාගේ බලාපොරොත්තුවද නැතිවන්නේය.
14. ඔහුගේ විශ්වාසය සිදී යන්නේය, ඔහුගේ රක්ෂාස්ථානයද මකුළු දැලක්ය.
15. ඔහු තමාගේ ගෙට හේත්තුවුණාම ඒක නොතිබී යයි; ඔහු එය තදින් ඇල්ලුවාම ඒක නොපවතියි.
16. ඔහු සූර්යයා ඉදිරියෙහි සශ්‍රීකවී, ඔහුගේ රිකිළි ඔහුගේ වත්තේ සෑම තැනම විහිදී යන්නේය.
17. ඔහුගේ මුල් ගල් ගොඩ උඩ එතෙන්නේය. ඔහු ගල් ඉඩමට පැමිණෙන්නේය.
18. ඔහු තමාගේ ස්ථානයෙන් නාස්තිවී ගියාම: මම ඔබ නුදුටිමියි කියා, ඒක ඔහු එපාකරන්නේය.
19. ඔහුගේ මාර්ගයේ ප්‍රීතිය නම් මේය, ඒ බිමෙන් වෙන අය නැගී එන්නෝය.
20. දෙවියන්වහන්සේ සම්පූර්ණ මනුෂ්‍යයෙක් පහකර දමන්නේවත් නපුර කරන්නන්ට ආධාර වෙන්නේවත් නැත.
21. උන්වහන්සේ ඔබේ මුඛය සිනාවෙනුත් ඔබේ තොල් ප්‍රීති ඝෝෂාවෙනුත් පුරවනසේක.
22. ඔබට වෛරවෙන්නෝ ලජ්ජාවෙන් අඳවනු ලබන්නෝය; දුෂ්ටයන්ගේ කූඩාරම නැතිවන්නේයයි කීවේය.

ගීතාවලිය 92:8-15
8. නුමුත් ස්වාමිනි, ඔබ සදාකල්ම උසස්ථානයෙහි වැඩසිටිනසේක.
9. මක්නිසාද ස්වාමිනි, ඔබගේ සතුරෝ, එසේය, ඔබගේ සතුරෝ, විනාශවන්නෝය; අයුතුකම්කරන සියල්ලෝම විසුරුවනු ලබන්නෝය.
10. නුමුත් ඔබ කුළු ගොනාගේ අඟ මෙන් මාගේ අඟ උස්කළසේක; මම අලුත් තෙලින් ගාගන සිටිමි.
11. මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසට පෙනුණේය, මට විරුද්ධව නැගිටින්නාවූ නපුරුකම්කරන්නන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ කන්වලට ඇසුණේය.
12. ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය.
13. ස්වාමීන් ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය.
14. ස්වාමීන්වහන්සේ අවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස,
15. ඔව්හු මහලු වයසේදීත් ඵලදෙමින් සාරවත් වන්නෝය, සශ්‍රීකවන්නෝය.

හිතෝපදේශ 22:17-21
17. ඔබේ කන නමා ප්‍රඥාවන්තයන්ගේ බස් අසා, ඔබේ සිත මාගේ ඉගැන්වීමට යොමුකරන්න
18. මක්නිසාද ඒවා ඔබ තුළෙහි තබාගන, ඒවා මුළුමනින්ම ඔබේ තොල්වල පිහිටන්නේ නම් එය ප්‍රසන්න දෙයක්ය.
19. ඔබේ විශ්වාසය ස්වාමීන්වහන්සේ කෙරෙහි තිබෙන පිණිස මම අද ඒවා ඔබට, එසේය, ඔබට දැන්නුවෙමි.
20. ඔබ එවූවන් වෙතට ඔබ සැබෑකමේ වචනවලින් උත්තර ගෙනෙන පිණිස සැබෑකමේ වචනවල හරිකම ඔබට දන්වන්ට,
21. මම මන්ත්‍රණ සහ දැනගැන්මත් ගැන උතුම්වූ කාරණා ඔබට නොලිවුවෙම්ද?

රෝම 9:1-15
1. මට බලවත් ශෝකයද හෘදයෙහි නිරන්තර වේදනාවද තිබේයයි බොරු නොකියා ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබෑව කියමි.
2. ඒ බවට ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ මාගේ හෘදයසාක්ෂිය මා එක්ව සාක්ෂිදෙයි.
3. මාංසාකාරයෙන් මාගේ නෑයන්වූ මාගේ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්වී ශාපලද්දෙක් වෙන්ට පුළුවන්නම් ඊටත් කැමතිවෙමි.
4. ඔව්හු ඉශ්‍රායෙල්වරුය; පුත්‍රකමත් මහිමයත් ගිවිසුමුත් ව්‍යවස්ථාව දීමත් දේව සේවයත් පොරොන්දුත් ඔවුන්ගේය;
5. පියවරුද ඔවුන්ගේය, මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ පැමුණුණෙත් ඔවුන්ගෙන්ය; උන්වහන්සේ සියල්ලන්ටම උතුම්වූ සදාකාල ආශීර්වාදලත් දෙවියන්වහන්සේය. ආමෙන්.
6. එහෙත් දෙවියන්වහන්සේගේ වචනය නිරර්ථකවුණා නොවේය.
7. මක්නිසාද ඉශ්‍රායෙල්ගෙන් වූ සියල්ලෝම ඉශ්‍රායෙල්වරු නොවෙති. ඔවුන් ආබ්‍රහම්ගේ වංශය නිසාම සියල්ලෝම දරුවෝද නොවෙති. නුමුත්: ඔබේ වංශය නම්කරනු ලබන්නේ ඊසාක් කෙරෙහියයි (කියා තිබේ.)
8. එනම්, මාංසයෙන් වූ දරුවෝම දෙවියන්වහන්සේගේ දරුවෝ නොවෙති. නුමුත් වංශයක් ලෙස ගණන්ගනු ලබන්නේ පොරොන්දුවේ දරුවෝය.
9. මක්නිසාද: මේ කාලයේ හැටියට මම එන්නෙමි, සාරාට පුතෙක් ලැබෙන්නේය යන වචනය පොරොන්දුවේ වචනයක්ය.
10. එපමණක්ද නොවේය; එක්කෙනෙකු නිසා එනම් අපේ පියවූ ඊසාක් නිසා රෙබෙකා ගර්භිණීවූ කල්හිද,
11. ඒ තාක් දරුවන් නොඉපද, යහපතවත් අයහපතවත් නොකර සිටි කල්හිද, ක්‍රියා නිසා නොව කැඳවන තැනන්වහන්සේ නිසා, තෝරාගැනීමේ ප්‍රකාරයට දෙවියන්වහන්සේගේ නියමය ස්ථිරවන පිණිස:
12. වැඩිමහල්ලා බාලයාට සේවයකරන්නේයයි ඈට කියනලද්දේය.
13. එසේම: මම යාකොබ්ට ප්‍රේමකෙළෙමි, ඒසව්ට අප්‍රියවීමියි ලියා තිබේ.
14. එසේවී නම් කුමක් කියමුද? දෙවියන්වහන්සේ වෙත අධර්මිෂ්ඨකම ඇද්ද? එසේ නොවේවා.
15. මක්නිසාද: මම දයාවෙන්ට කැමති තැනැත්තාට දයාවන්නෙමි, අනුකම්පාකරන්ට කැමති තැනැත්තාට අනුකම්පාකරන්නෙමියි උන්වහන්සේ මෝසෙස්ට කීසේක.