A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 7

ජෝබ් 5:1-27
1. ඉතින් අඬගසන්න; ඔබට උත්තරදෙන කෙනෙක් ඇද්ද? ඔබ ශුද්ධ තැනැත්තන්ගෙන් කවරෙකු දෙසට හැරෙන්නෙහිද?
2. මක්නිසාද නොසතුටුභාවය අඥානයා නසන්නේය, ඊර්ෂ්‍යාවද නුවණ නැත්තා මරන්නේය.
3. අඥානයා මුල් අදිනවා මම දුටිමි; නුමුත් වහාම ඔහුගේ නිවසට ශාප කෙළෙමි.
4. ඔහුගේ දරුවෝ සුරක්ෂිතකමෙන් දුරුව සිටිති, ඔව්හු දොරටුවේදී පොඩිකරනු ලබති, ඔවුන් ගළවන්ට කිසිවෙක් නැත්තේය.
5. ඔවුන්ගේ අස්වැන්න බඩගිනි ඇත්තා කන්නේය, එය කටුගස් අතරෙන් පවා ගන්නේය, මලපත ඔවුන්ගේ වස්තුව ගිලගන්ට කට අයා සිටියි.
6. මක්නිසාද විපත්තිය ධූලියෙන් හට නොගනියි, දුක භූමියෙන් පැන නොනගියි
7. එසේය, ගිනි පුපුරු උඩට නගින්නාක්මෙන් මනුෂ්‍යයා දුක් විදීමට උපදින්නේය.
8. එහෙත් මම නම් දෙවියන්වහන්සේ දෙසට හැරී, මාගේ කාරණය දෙවියන්වහන්සේට භාරදෙන්නෙමි.
9. සොයා දැනගන්ට බැරි මහත් දේද ගණන් නැති පුදුම දේද උන්වහන්සේ කරනසේක.
10. පහත්ව ඉන්නන් උසස්කරන්ටත්, ශෝකයෙන් ඉන්නන් සුරක්ෂිත කරන්ටත්,
11. උන්වහන්සේ පොළොව පිටට වැසි වස්වනසේක, කෙත් පිටට වතුරත් එවනසේක.
12. ප්‍රයෝගකාරයන්ගේ අතින් කරන්ට ගත් දෙය ඉෂ්ටකරන්ට බැරිවන ලෙස උන්වහන්සේ ඔවුන්ගේ උපායන් නිෂ්ඵලකරනසේක.
13. උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේම ප්‍රයෝගයෙන් අසුකරගන්නසේක. රැවටිලිකාරයන්ගේ මන්ත්‍රණයද පෙරළී යන්නේය.
14. ඔව්හු දවාලේදී අන්ධකාරයට අසුවී, රාත්‍රියෙහි මෙන් ඉරමුදුන් වේලේදී අතගගා යති.
15. එසේ උන්වහන්සේ ඔවුන්ගේ මුඛය නමැති කඩුවෙන්ද බලවන්තයාගේ අතින්ද දිළින්දා ගළවනසේක.
16. මෙසේ දුප්පතාට බලාපොරොත්තුව තිබේ, අධර්මිෂ්ඨකමද තමාගේ කට පියාගනියි.
17. බලව, දෙවියන්වහන්සේගෙන් දඬුවම් ලබන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. එබැවින් සර්වපරාක්‍රමයාණන්ගේ දඬුවම්කිරීම සුළු නොකරන්න.
18. මක්නිසාද උන්වහන්සේ තුවාල කරනසේක, උන්වහන්සේම තුවාලය බඳිනසේක; උන්වහන්සේ පහරදෙනසේක, උන්වහන්සේගේම අත්වලින් සුවකරනසේක.
19. විපත්ති හයකින් උන්වහන්සේ ඔබ ගළවනසේක; එසේය, හතකිනුත් ඔබට අනතුරක් නොවන්නේය.
20. සාගතයේදී මරණයෙන්ද යුද්ධයේදී කඩුවේ බලයෙන්ද උන්වහන්සේ ඔබ මුදනසේක.
21. දිව නමැති කසයෙන් ඔබ සඟවනු ලබන්නෙහිය; විනාශය එන කල භයනොවී සිටින්නෙහිය.
22. විනාශයටත් කෑම හානියටත් ඔබ සිනාසෙන්නෙහිය; පොළොවේ මෘගයන්ටද භයනොවී සිටින්නෙහිය.
23. මක්නිසාද වනයේ ගල් සමඟ පවා ඔබේ ගිවිසුමක් වන්නේය; වනයේ මෘගයෝද ඔබ සමඟ සමාදානයෙන් ඉන්නෝය.
24. මෙසේ ඔබේ කූඩාරම සමාදානයෙන් තිබෙන බව ඔබ දැනගන්නෙහිය; ඔබේ ගාල බලන්ට ගිය කල කිසිවක් නැතිනුවූ බවද දකින්නෙහිය.
25. තවද ඔබේ වංශය බොහෝ බවද ඔබෙන් පැවත එන්නන් පොළොවේ තණකොළ මෙන් වන බවද ඔබ දැනගන්නෙහිය.
26. ගොයම් මිටියක් නියම කාලයේදී ගෙනයනු ලබන්නාක්මෙන් ඔබ වයසින් පූර්ණව සොහොනට පැමිණෙන්නෙහිය.
27. මෙන්න මේක අපි සෝදිසිකර, එසේම බව දැනගතිමුව; ඔබ මේක අසා, ඔබ උදෙසාම දැනගන්නැයි කීවේය.

ජෝබ් 6:1-30
1. එවිට යෝබ් උත්තරදෙමින් මෙසේ කීවේය:
2. අනේ මාගේ ශෝකය කිරා බලන්ටත් මාගේ මුළු විපත්තිය තරාදිවල දමන්ටත් යෙදුණොත් යහපත!
3. එවිට ඒක මුහුදේ වැලිවලට වඩා බරවන්නේය. එබැවින් මාගේ වචන අනුවණව තිබුණේය.
4. මක්නිසාද සර්වපරාක්‍රමයාණන්ගේ ඊ ගස් මා තුළට වැදී තිබේ, ඒවායේ විෂය මාගේ ආත්මයට බීගන්නේය. දෙවියන්වහන්සේගේ භයානකකම් මට විරුද්ධව සැරසී තිබේ.
5. තණකොළ තිබෙන විට වල් කොටළුවා රාවය දෙයිද? පිදුරු ළඟ තිබෙද්දී ගොනා තප්පුලයිද?
6. රස නැති දේ ලුණු නැතුව කනවාද? නොහොත් බිත්තර සුදු මදයේ රසක් ඇද්ද?
7. මාගේ ආත්මය ඒවාට අතගසන්ට අකැමැතිය; ඒවා මට පිළිකුල් ආහාර මෙන්ය.
8. අහෝ මාගේ ඉල්ලීම මට ලැබුණොත්, මා ආශාවන දෙය දෙවියන්වහන්සේ මට දුන්නොත් යහපත!
9. එනම් දෙවියන්වහන්සේ මා පොඩිකරදමන්ට සතුටුවී, ස්වකීය හස්තිය දිඟුකොට මා සිඳ දමනසේක්වා!
10. එසේ මට නැවත සැනසීම වන්නේය; මමද මා ඉතුරු නොකරන වේදනාවට ප්‍රීතිමත් වන්නෙමි. මක්නිසාද මම ශුද්ධ තැනැන්වහන්සේගේ වචන එපා නොකෙළෙමි.
11. මා බලාපොරොත්තුව සිටින පිණිස මාගේ ශක්තිය මොකක්ද? මා ඉවසිල්ලෙන් පසුවෙන පිණිස මාගේ අන්තිමය මොකක්ද?
12. මාගේ ශක්තිය ගල්වල ශක්තියද? නොහොත් මාගේ මාංසය පිත්තලද?
13. මාගේ උපකාරය මා තුළෙහි නැතිවී, පිහිට මාගෙන් සහමුලින් පහව ගියා නොවේද?
14. ක්ලාන්තවෙන්ට ළංව සිටින අයට තම මිත්‍රයාගෙන් කරුණාව ලැබිය යුතුය; නොලැබුණොත්, ඔහු සර්වපරාක්‍රමයාණන් කෙරෙහි භයවීම අත්හරින්නේය,
15. මාගේ සහෝදරයෝ ඔයක් මෙන්ද පහවී යන ඔයවල දිය පාරවල් මෙන්ද රැවටිලි ලෙස ක්‍රියාකළෝය.
16. ඒවා හිම කැටිවලින් කළුපාට වන්නේය, හිම ඒවායෙහි නොපෙනී යන්නේය.
17. ඒවා උණුවූ කල නොපෙනී යන්නේය. ග්‍රීෂ්මවෙනවිට ඒවායේ ස්ථානයෙන් හිදී යන්නේය.
18. ඒවායේ මාර්ගවල යන ගමන්කාර හමුදාවෝ අහකට හැරී, කාන්තාරයට ගොස් විනාශ වන්නෝය.
19. තේමාහි ගමන්කාර හමුදාවෝ ඒවා ගැන බලා සිටියෝය, ෂෙබාහි සමූහයෝ ඒවා බලාපොරොත්තුවුණෝය.
20. ඔව්හු බලාපොරොත්තුව සිට ලජ්ජාවට පත්වුණෝය; ඔව්හු එතැනට පැමිණ වියවුල්වූවෝය.
21. එලෙසම දැන් ඔබ සැම හිස්කම වුණාහුය; ඔබ සැම භයංකරකමක් දැක භයවී ඉන්නහුය.
22. මට යමක් දෙන්න කියාවත්, ඔබ සැමගේ දෙයින් මා උදෙසා තෑග්ගක් දෙන්නය කියාවත්,
23. එදිරිකාරයාගේ අතින් මා ගළවා ගන්නය කියාවත්, පීඩාකරන්නන්ගේ අතින් මා මුදන්නය කියාවත් මම කීයෙම්ද?
24. මට උගන්වන්න, එවිට මම නිශ්ශබ්දව සිටින්නෙමි. මට වැරදුණේ කුමක් ගැනද කියාත් මට තේරුම්කර දෙන්න.
25. අවංකකමේ වචන කොපමණ බලවත්ද! නුමුත් ඔබ සැමගේ අවවාදයෙන් තරවටුකරන්නේ කුමක් ගැනද?
26. බලාපොරොත්තුවක් නැත්තාගේ කීම සුළඟට යද්දී ඔබ සැම වචනවලට තරවටුකරන්ට සිතන්නහුද?
27. එසේය, ඔබ සැම පියා නැත්තා ගැන පවා පසඇට දමා, ඔබ සැමගේ මිත්‍රයා වෙළඳාම් බඩුවක් කරගන්නහුය.
28. ඉතින් කරුණාකර මා දෙස බලන්න; ඔබ සැමගේ මුහුණ ඉදිරියෙහිම මම බොරුකියම්ද?
29. ඉතින් හැරෙන්න, කිසි අයුත්තක් සිද්ධ නොවේවා; එසේය, හැරෙන්න, මාගේ කාරණය සාධාරණය.
30. මාගේ දිවෙහි අයුක්තියක් තිබේද? මාගේ රසේන්ද්‍රියයට නපුරු දේ දැනගන්ට බැරිද?

ගීතාවලිය 92:1-7
1. සබත් දිනට කාව්‍ය ගීතයකි. ස්වාමීන් ට ස්තුතිකිරීමත්, මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කීමත් යහපත.
2. තත් දසයේ වීණාවෙන්ද කුඩා වීණාවෙන්ද මහා වීණාවේ ගරුවූ ශබ්දයෙන්ද
3. උදය ඔබගේ කරුණාගුණයත් සෑම රාත්‍රියේම ඔබගේ විශ්වාසකමත් ප්‍රකාශකිරීම යහපත.
4. මක්නිසාද ස්වාමිනි, ඔබගේ ක්‍රියාවෙන් ඔබ මා සන්තෝෂකළසේක. ඔබගේ හස්තකර්ම ගැන ප්‍රීති ප්‍රකාශ කරන්නෙමි.
5. ස්වාමිනි, ඔබගේ ක්‍රියා කොපමණ මහත්ද! ඔබගේ කල්පනා ඉතා ගැඹුරුය.
6. මේක මෝඩ මනුෂ්‍යයා නොදනියි; අඥානයා තේරුම් නොගනියි;
7. දුෂ්ටයන් තණකොළ මෙන් වැඩෙන්නෙත්, අයුතුකම්කරන සියල්ලන් සඵලවන්නෙත්, ඔවුන් සදාකාලේට විනාශවන පිණිසය.

හිතෝපදේශ 22:16-16
16. තමාට ලාභය වැඩිකරගන්න පිණිස දිළින්දාට පීඩාකරන්නාද පොහොසතුන්ට දෙන තැනැත්තාද සැබවින්ම හිඟකමට පැමිණෙයි. (24:34 දක්වා)

රෝම 8:22-39
22. මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව.
23. එපමණක් නොව ආත්මයාණන්වහන්සේ නැමති ප්‍රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම, එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම, බලා සිටිමින් අප තුළෙහිම කෙඳිරිගාමුව.
24. මක්නිසාද අප ගළවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය. නුමුත් පෙනෙන බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තුවෙන්නේ කවරෙක්ද?
25. නුමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුවෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව.
26. එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.
27. ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.
28. තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.
29. මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක.
30. පූර්වයෙන් නියමකළවුන් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨකළසේක. ධර්මිෂ්ඨකළ අය උන්වහන්සේ මහිමයට පැමිණෙවුසේක.
31. එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?
32. තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?
33. දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨකරන්නේ දෙවියන්වහන්සේය; වරදට පත්කරන්නේ කවුද?
34. මැරුණෙත්, ඒ ඇර මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවෙත්, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදහත්කම් කරන්නෙත් ක්‍රිස්තුස්වහන්සේය.
35. ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද?
36. ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මරණයට නියමකළ බැටළුවන් මෙන් ගණන්ගනු ලැබුවෙමුයයි ලියා තිබේ.
37. නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.
38. මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්,
39. උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.