A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 5

ජෝබ් 1:1-22
1. යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි.
2. ඔහුට පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් තුන්දෙනෙක්ද උපන්නෝය.
3. ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.
4. තවද ඔහුගේ පුත්‍රයෝ ගොස් එකිනෙකා තම තමාගේ දවසේ, තම තමාගේ ගෙදරදී, මංගල්‍යයක් පවත්වන්ටත් තමුන් සමඟ කෑම බීම පිණිස තමුන්ගේ සහෝදරියන් තුන්දෙනාට අඬගස්වා අරින්ටත් පුරුදුව සිටියෝය.
5. ඔවුන්ගේ මංගල්‍ය දවස් ගතවූ පසු යෝබ් පණිවිඩ යවා ඔවුන් පිරිසිදුකරවා, පසුවදා අලුයම නැගිට ඔවුන් සියල්ලන්ගේ ගණන ලෙස දවන පූජා ඔප්පුකෙළේය. මක්නිසාද: සමහරවිට මාගේ පුත්‍රයන් පව්කොට, තමුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට දොස් කීවා වෙන්ට පුළුවනැයි යෝබ් කීවේය. යෝබ් සෑමවිටම මෙසේ කෙළේය.
6. තවද එක් දවසක දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ඔවුන් අතරෙහි ආයේය.
7. එවිට ස්වාමීන්වහන්සේ: ඔබ කොතැන සිට ආයෙහිදැයි සාතන්ගෙන් ඇසූසේක. සාතන් ස්වාමීන්වහන්සේ ට උත්තරදෙමින්: පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආවෙමියි කීවේය.
8. එවිට ස්වාමීන්වහන්සේ: ඔබ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැතැයි කීසේක.
9. සාතන් ස්වාමීන්වහන්සේ ට උත්තරදෙමින්: යෝබ් දෙවියන්වහන්සේ කෙරෙහි භයවන්නේ නිකමටද?
10. ඔබවහන්සේ ඔහු වටකරත් ඔහුගේ ගෙදර වටකරත් ඔහුට ඇති සියල්ල වටකරත් හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත් වැඩට ආශීර්වාදකළසේක, ඔහුගේ සම්පත්ද දේශයෙහි වර්ධනයවී තිබේ.
11. නුමුත් ඔබගේ අත දිගුකර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනවා ඇතැයි කීවේය.
12. එවිට ස්වාමීන්වහන්සේ සාතන්ට කථාකොට: බලව, ඔහුට ඇති සියල්ල ඔබේ අත යටතේය; නුමුත් ඔහුට විරුද්ධව නම් ඔබේ අත දිගු නොකරන්නැයි කීසේක. සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගියේය.
13. තවද එක් දවසක් ඔහුගේ පුත්‍රයන් හා දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙදර ආහාර ගනිමින් මුද්‍රිකපානය බොමින් සිටියදී මෙසේ සිද්ධවිය.
14. පණිවිඩකාරයෙක් යෝබ් වෙතට ඇවිත්: ගවයන් සීසාමින්ද උන් ළඟ කොටළු දෙනුන් තණ කමින්ද සිටින අතර
15. ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
16. ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: දෙවියන්වහන්සේගේ ගිනි අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
17. ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: කල්දිවරු කණ්ඩායම් තුනක් සෑදී ඔටුවන් ළඟට පැමිණ උන් අල්ලාගෙන ගියෝය, මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
18. ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: ඔබගේ පුත්‍රයන් සහ දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙයි කමින්ද මුද්‍රිකපානය බොමින්ද සිටියදී,
19. තද හුළඟක් කාන්තාරයට එහායින් ඇවිත් ගෙයි සතර කොනට වැදී, ඒක තරුණයන් පිට වැටුණේය, ඔව්හු මැරුණෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
20. එවිට යෝබ් නැඟිට, තමාගේ සළුව ඉරාගෙන, ඉස මුඩුකරගෙන, බිම වැටී වැඳ:
21. නග්නව මාගේ මවු කුසින් ආවෙමි, එසේම නග්නව හැරී යන්නෙමි. ස්වාමීන්වහන්සේ දුන්සේක, ස්වාමීන්වහන්සේ ගත්සේක; ස්වාමීන්වහන්සේ ගේ නාමයට ප්‍රශංසාවේවයි කීවේය.
22. මේ සියල්ලේදී යෝබ් පව්කෙළේවත් අඥානකමින් දෙවියන්වහන්සේට දොස් තැබුවේවත් නැත.

ජෝබ් 2:1-13
1. නැවතත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ඉදිරිපිට පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඔවුන් අතරෙහි ආයේය.
2. එවිට ස්වාමීන්වහන්සේ: ඔබ කොතැන සිට ආයෙහිදැයි සාතන්ගෙන් ඇසූසේක. සාතන් ස්වාමීන්වහන්සේ ට උත්තරදෙමින්: පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආයෙමියි කීවේය.
3. එවිට ස්වාමීන්වහන්සේ: ඔබ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනා කෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ කෙනෙක් පොළොවෙහි නැත. කරුණක් නැතුව ඔහු නාස්තිකරන්ට ඔබ ඔහුට විරුද්ධව මා පෙළඹෙවු නුමුත්, ඔහු තමාගේ අවංකකම තවම පවත්වාගන සිටීයයි සාතන්ට කීසේක.
4. සාතන් ස්වාමීන්වහන්සේ ට උත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය.
5. නුමුත් ඔබගේ අත දිගුකර ඔහුගේ ඇටවලටත් ඔහුගේ මාංසයටත් තැබුවොත්, ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබට දොස් කියනවා ඇතැයි කීවේය.
6. එවිට ස්වාමීන්වහන්සේ: බලව, ඔහු ඔබ අතෙහිය; නුමුත් ඔහුගේ ජීවිතය ඉතුරුකරන්නැයි සාතන්ට කීසේක.
7. සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගොස් යෝබ්ගේ පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැන්වීමෙන් ඔහුට පහරදුන්නේය.
8. ඔහු තමාගේ ඇඟ කසාගන්ට කැබිලිත්තක් ගත්තේය; තවද ඔහු අලුවල හිඳගත්තේය.
9. එවිට ඔහුගේ භාර්යාව: ඔබේ අවංකකම තවම පවත්වාගෙන ඉන්නවාද? දෙවියන්වහන්සේ අත්හැරදමා මැරෙවයි කීවාය.
10. එහෙත් ඔහු ඈට කථාකොට: ඔබ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථාකරන්නාක් මෙන් කථාකෙරෙහිය. අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි කීවේය. මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත.
11. යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය.
12. ඔව්හු දුරදීම තමුන්ගේ ඇස් ඔසවා බලා, ඔහු නෑඳින, ශබ්ද නඟා අඬා, තම තමුන්ගේ සළු ඉරාගෙන, අහස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තෝය.
13. මෙසේ ඔව්හු රෑ සතකුත් දවල් සතකුත් ඔහු සමඟ බිම හිඳගන උන්නෝය, කිසිවෙක්ද ඔහුට වචනයක්වත් කීවේ නැත. මක්නිසාද ඔහුගේ ශෝකය ඉතා මහත් බව ඔව්හු දුටුවෝය.

ගීතාවලිය 91:7-13
7. ඔබේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය; එහෙත් එය ඔබට ළං නොවන්නේය.
8. ඔබේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය.
9. මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය. ඔබ මහෝත්තමයාණන් ඔබේ වාසස්ථානය කරගත්තෙහිය;
10. ඔබට කිසි නපුරක් නොපැමිණෙන්නේය, ඔබේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.
11. මක්නිසාද ඔබේ සියලු මාර්ගවලදී ඔබ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට ඔබ ගැන අණදෙනසේක.
12. ඔව්හු ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට ඔබ උසුලාගන්නෝය.
13. ඔබ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය.

හිතෝපදේශ 22:13-14
13. අලසයා කථාකොට: පිටත සිංහයෙක් ඇත. වීථිවලදී මට මැරෙන්ට වේයයි කියන්නේය.
14. අන් ස්ත්‍රීන්ගේ මුඛය ගැඹුරු වළක්ය; එහි වැටෙන්නේ ස්වාමීන්වහන්සේ කෝපකරවන තැනැත්තේය.

රෝම 7:1-25
1. නොහොත් සහෝදරයෙනි, මනුෂ්‍යයා ජීවත්ව සිටින තෙක් ව්‍යවස්ථාව ඔහු කෙරේ බලය පවත්වන බව ඔබ සැම නොදැන සිටිවුද? (මා කථාකරන්නේ ව්‍යවස්ථාව දන්නන්ටය.)
2. පුරුෂයෙකු ඇති ස්ත්‍රී පුරුෂයා ජීවත්ව සිටිනතෙක් ව්‍යවස්ථාවෙන් ඔහුට බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මැරුණොත්, පුරුෂයාට බැඳී සිටි ව්‍යවස්ථාවෙන් ඈ මිදී සිටින්නීය.
3. පුරුෂයා ජීවත්ව සිටියදී ඈ අන් පුරුෂයෙකුට බැඳුණොත්, ඈ කාමමිථ්‍යාචාරිනීයයි කියනු ලබන්නීය. නුමුත් පුරුෂයා මැරුණු පසු ඈ අන් කෙනෙකුට බැඳුණත්, ඈ කාමමිථ්‍යාචාරිනියක් නොවන ලෙස ඒ ව්‍යවස්ථාවෙන් නිදහස්ව සිටින්නීය.
4. එබැවින්, මාගේ සහෝදරයෙනි, අප විසින් දෙවියන්වහන්සේට ඵල උපදවන පිණිස ඔබ සැමද අන් කෙනෙකුට එනම් මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවාවූ තැනන්වහන්සේට බැදී, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය කරණකොටගෙන ව්‍යවස්ථාවට මළ අය කරනු ලැබුවහුය.
5. මක්නිසාද අප මාංසයෙහි සිටියදී ව්‍යවස්ථාවෙන්වූ පාප තෘෂ්ණා මරණයට ඵල උපදවන පිණිස අපේ අවයව තුළ ක්‍රියාකෙළේය.
6. නුමුත් අපි යමකට බැදී සිටියෙමුද, ඊට නැසී, ව්‍යවස්ථාවෙන් නිදහස්කරනලදුව, පදාර්ථයේ පැරණි ආකාරයෙන් නොව ආත්මයේ අලුත් ආකාරයෙන් සේවයකරමුව.
7. එසේවී නම් කුමක් කියමුද? ව්‍යවස්ථාව පාපයද? එසේ නොවේවා. නුමුත් ව්‍යවස්ථාවෙන් දැන නොගත්තා නම් පාපය කුමක්දැයි මා නොදැන සිටිනවා ඇත. මක්නිසාද: තණ්හා නොවෙන්නැයි ව්‍යවස්ථාවෙහි කියා නොතිබුණා නම් තණ්හාව කුමක්දැයි මා විසින් නොදැන සිටිනවා ඇත.
8. නුමුත් පාපය අවකාශ ලැබ, ආඥාව කරණකොටගෙන මා තුළ සියලු ආකාර තණ්හා ඉපදෙවුවේය. මක්නිසාද ව්‍යවස්ථාවෙන් වෙන්ව පාපය නැසී තිබේ.
9. මම වරක් ව්‍යවස්ථාව නැතුව ජීවත්ව සිටියෙමි. නුමුත් ආඥාව පැමිණි කල පාපය පණ ලැබුවේය, මමද මැරුණෙමි.
10. මෙසේ ජීවනය පිණිස වූ ආඥාවෙන් මට මරණය පැමිණෙන බව දැනගතිමි.
11. මක්නිසාද පාපය අවකාශ ලැබ, ආඥාව කරණකොටගෙන මා රවටා, එයින් මා මැරුවේය.
12. එබැවින් ව්‍යවස්ථාව ශුද්ධය, ආඥාවද ශුද්ධය, ධර්මිෂ්ඨය, යහපත්ය.
13. එසේවී නම් ඒ යහපත් දේ මට මරණය වූයේද? එසේ නොවේවා. නුමුත් මෙසේ වුණේ යහපත්වූ එක කරණකොටගෙන මට මරණය ඉපදවීමෙන් පාපය පාපය ලෙස පෙනෙන පිණිසත්, ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය ඉතා පාපිෂ්ඨව පෙනෙන පිණිසත්ය.
14. මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නුමුත් මම මාංසිකව පාපයට විකුණනු ලැබ සිටිමි.
15. මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂකරන දේය.
16. ඉඳින් මම අකමැති එක කරම් නම්, ව්‍යවස්ථාව යහපත් බව ඒත්තුගනිමි.
17. එහෙයින් එය කරන්නේ මා නොව මා තුළ වාසයකරන පාපයය.
18. මක්නිසාද මා තුළ එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය, නුමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය.
19. මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි.
20. ඉඳින් මම කැමති නැති දේ කරම් නම්, ඒක කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය.
21. එබැවින් යහපත කරන්ට කැමතිවූ මා හට නපුර තිබීම යන ව්‍යවස්ථාව ඇති බව මට පෙනේ.
22. මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි.
23. නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ.
24. අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද?
25. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති කරමි. මෙසේ මමම සිතින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට සේවයකරමි; නුමුත් මාංසයෙන් සේවයකරන්නේ පාපයාගේ ව්‍යවස්ථාවටය.