A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 31

ධර්මදේශකයා 11:1-10
1. ඔබේ ආහාර ජලය මතුපිට දමන්න. කුමක්හෙයින්ද බොහෝ දවසකට පසු ඒවා ඔබට නැවත සම්බවෙයි.
2. සත්දෙනෙකුට වුණත් අට දෙනෙකුට වුණත් කොටසක් දෙන්න; මක්නිසාද පොළොවෙහි මොන විපත්තියක් සිද්ධවේද කියා ඔබ නොදන්නෙහිය.
3. වලාකුල් පිරී තිබෙන විට වැස්ස පොළොවට වැගිරෙන්නේය. ගසක් දකුණට හෝ උතුරට හෝ වැටුණොත් ඒක වැටෙන තැනම තිබෙයි.
4. හුළඟ බලාසිටින්නා නොවපුරන්නේය; වලාකුල් බලන්නා කපා නොගන්නේය.
5. සුළඟේ මාර්ගය කොහේද කියාවත් ගර්භණියගේ කුසේ ඇට සෑදෙන්නේ කෙසේද කියාවත් ඔබ නොදන්නාක්මෙන් සියල්ල කරන දෙවියන්වහන්සේගේ වැඩත් ඔබ නොදන්නෙහිය.
6. උදයේ ඔබේ බීජ වපුරන්න, සවසත් ඔබේ අත නවත්වා නොගන්න. මක්නිසාද සඵලවෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වේද කියා ඔබ නොදන්නෙහිය.
7. සැබවින් එළිය මිහිරිය, ඉර දැකීම ඇස් වලට ප්‍රසන්න දෙයක්ය.
8. එසේය, මනුෂ්‍යයෙක් බොහෝ අවුරුදු ජීවත්ව සිටියොත් ඔහු ඒ සියල්ලෙහි ප්‍රීතිවේවා; එහෙත් ඔහු අඳුරු දවස් සිහිකෙරේවා, මක්නිසාද ඒවා බොහෝ වන්නේය. පැමිණෙන සියල්ලම නිෂ්ඵලකමක්ය.
9. තරුණය, ඔබේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; ඔබේ යෞවන දවස්වල ඔබේ සිත ඔබ සන්තෝෂකෙරේවා, ඔබේ සිතේ මාර්ගවලත් ඔබේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ ඔබ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.
10. එසේ ඔබේ සිතෙන් ශෝකය පහකර ඔබේ මාංසයෙන් දුක දුරුකරන්න. මක්නිසාද යෞවන කාලයත් පුරුෂ අවස්ථාවත් නිෂ්ඵලකමය.

ධර්මදේශකයා 12:1-14
1. තවද ඔබේ යෞවන දවස්වලදී ඔබේ මැවුම්කාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි ඔබ කියන දවස්ද ළංවන්නේය.
2. ඉරත් එළියත් සඳත් තාරකාත් අඳුරුවන්නේය, වැස්සට පසුව වලාකුල් හැරී එන්නේය.
3. ඒ කාලයෙහි ගෙයි රැකවල්ලු වෙවුලන්නෝය, බලවන්තයෝ නැමෙන්නෝය, අඹරන්නෝ ස්වල්ප බැවින් නවතින්නෝය, කවුළුවලින් බලන්නෝ අඳුරුවන්නෝය;
4. වීදියේ දොරවල් වසනු ලබන්නේය, ඇඹරීමේ ශබ්දය බාලවන්නේය, ඔහු කුරුල්ලාගේ හඬට නැගිටින්නේය, ගීතිකා කියන සෑම දූවරුද බෙලහීනවන්නෝය;
5. ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය, ආශාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය.
6. රිදී ලනුව ලිහී රන් භාජනය පොඩිවෙන්ටත්, උල්පතේදී කළය බිඳෙන්ටත්, ළිඳේ චක්‍රය කැඩෙන්ටත්,
7. දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.
8. නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ල නිෂ්ඵලකමයයි දේශනාකාරයා කියන්නේය.
9. තවද දේශනාකාරයා ප්‍රඥාවන්තව සිටි නිසා ඔහු සෙනඟට තවත් දැනගැන්ම ඉගැන්වූවේය; එසේය, ඔහු බොහෝ උපදේශ සෝදිසිකොට, සොයාගෙන, පිළියෙළකෙළේය.
10. දේශනාකරන ප්‍රිය වචන සොයාගන්ට උත්සාහකෙළේය, ලියා තිබෙන ඒවාද හරිවූ සත්‍යවූ කාරණාය.
11. ප්‍රඥාවන්තයාගේ වචන කෙවිටිවලටද ඔහුගේ උපදේශ සංග්‍රහය හොඳට ගසා තැබූ ඇණවලටද සමානය, ඒවා එක එඬේරෙකු විසින් දෙනලද්දේය.
12. තවද මාගේ පුත්‍රය, මෙයින් දැනමුතුකම් ලබන්න. බොහෝ පොත් සෑදීමේ කෙළවරක් නැත; බොහෝ ඉගෙනගැන්මෙන්ද මාංසයට වෙහෙස පැමිණෙන්නේය.
13. සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.
14. මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක.

ගීතාවලිය 103:15-22
15. මනුෂ්‍යයාගේ දවස් වනාහි තණකොළ මෙන්ය; ඔහු කෙතේ මලක් මෙන් සශ්‍රීකවේ.
16. මක්නිසාද හුළඟ වැදී එය නැතිවී යයි; එය තිබුණු ස්ථානයද තවත් එය දැනනොගන්නේය.
17. නුමුත් ස්වාමීන්වහන්සේ ගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේ
18. එනම් උන්වහන්සේගේ ගිවිසුම රක්ෂාකරන්නන්ටත් උන්වහන්සේගේ ශික්ෂා ඉෂ්ටකිරීම පිණිස ඒවා සිහිකරන්නන්ටත්ය.
19. ස්වාමීන්වහන්සේ තමන් සිංහාසනය ස්වර්ගයෙහි පිහිටෙවුසේක; උන්වහන්සේගේ රාජ්‍යයද සියල්ල කෙරෙහි බලපවත්වයි.
20. උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන් ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
21. ස්වාමීන් ගේ සේනා සියල්ලෙනී මැත්ත ඉෂ්ටකරන්නාවූ උන්වහන්සේගේ මෙහෙකරුවෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
22. ස්වාමීන් ගේ රාජ්‍යයේ සියලු තැන්හි තිබෙන උන්වහන්සේගේ සියලු කර්මාන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය ස්වාමීන් ට ප්‍රශංසා කරව.

හිතෝපදේශ 24:13-14
13. මාගේ පුත්‍රය, මීපැණි හොඳ බැවින් ඒවාද ඔබේ දිවට මිහිරිවූ මීවදයේ පැණිද කන්න.
14. ඔබේ ප්‍රාණය උදෙසා ප්‍රඥාව එසේම බව දැනගන්න; එය ඔබට සම්බවුණොත් විපාකයක් ලැබෙන්නේය, ඔබේ බලාපොරොත්තුවද සිඳදමනු නොලබන්නේය.

1 කොරින්ති 11:1-16
1. මා ක්‍රිස්තුස්වහන්සේව ආදර්ශයට ගන්නාක්මෙන් ඔබ සැම මා ආදර්ශයට ගන්න.
2. ඉතින් ඔබ සැම සියල්ලෙහිදී මා සිහිකර, මා විසින් ඔබ සැමට භාරදුන් නියෝග භාරදුන් හැටියට පවත්වන නිසා ඔබ සැමට ප්‍රශංසාකරමි.
3. නුමුත් එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස්වහන්සේ බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවද ඔබ සැම දැනගන්නවාට කැමැත්තෙමි.
4. හිස වසාගෙන යාච්ඤාකරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ පුරුෂයා තමාගේ හිසට අගෞරවකරයි.
5. නුමුත් හිස නොවසා යාච්ඤාකරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ ස්ත්‍රී තමාගේ හිසට අගෞරව කරන්නීය. මක්නිසාද ඈ මුඩුකළ හිස ඇත්තියකට සමානය.
6. මක්නිසාද ස්ත්‍රියෙක් හිස වසා නොගනිතොත් හිසකේ කපාගනීවා. නුමුත් ස්ත්‍රියකට හිසකේ කැපීමවත් මුඩුකිරීමවත් ලජ්ජාවක්නම් ඈ හිස වැස්මක් ඇතුව සිටීවා.
7. පුරුෂයා දෙවියන්වහන්සේගේ රූපයද ගෞරවයද බැවින් ඔහුට නම් හිසවසන්ට කිසිසේත් යුතු නැත. නුමුත් ස්ත්‍රිය පුරුෂයාගේ ගෞරවයය.
8. මක්නිසාද පුරුෂයා ස්ත්‍රියගෙන් නොව, ස්ත්‍රිය පුරුෂයාගෙන්ය.
9. තවද පුරුෂයා ස්ත්‍රිය නිසා නොව ස්ත්‍රිය පුරුෂයා නිසා මවනලද්දීය.
10. එහෙයින් දේවදූතයන් නිසා බලයට යටත්වීමේ ලකුණක් හිසේ ඇතුව සිටින්ට ස්ත්‍රීට යුතුය.
11. ඒ කෙසේවී නුමුත් ස්වාමීන්වහන්සේ තුළ පුරුෂයා නැතුව ස්ත්‍රියවත් ස්ත්‍රිය නැතුව පුරුෂයාවත් නැත.
12. මක්නිසාද ස්ත්‍රී පුරුෂයාගෙන් වුණාක්මෙන් පුරුෂයාත් ස්ත්‍රිය කරණකොටගෙන වන්නේය; නුමුත් සියල්ල දෙවියන්වහන්සේගෙන්ය.
13. හිස නොවසා දෙවියන්වහන්සේට යාච්ඤාකරන්ට ස්ත්‍රියකට හොබනේද කියා ඔබ සැම තුළම විනිශ්චයකරන්න.
14. පුරුෂයෙකුට දික්වූ හිසකේ තිබේ නම් ඒක ඔහුට අගෞරවයක් බව ස්වාභාවධර්මයෙන්ම ඔබ සැම ඉගෙනගන්නවා නොවේද?
15. නුමුත් ස්ත්‍රියකට දික්වූ හිසකේ ඇත්නම් එය ඈට ගෞරවයක්ය. මක්නිසාද ඇගේ හිසකේ වැස්මක් කොට ඈට දී තිබේ.
16. එහෙත් යමෙක් (ඒ ගැන) වාදකරන්ට කැමැත්තේ නම් අපටවත් දෙවියන්වහන්සේගේ සභාවලටවත් එයාකාර සිරිතක් නැත.