Instagram
English
A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 29

ධර්මදේශකයා 7:1-29
1. හොඳ නාමයක් අනර්ඝ තෛලයට වඩා උතුම්ය; උපන් දවසට වඩා මැරෙන දවස හොඳය.
2. මංගල්‍ය ගෙදරට යාමට වඩා වැලපීමේ ගෙදරට යාම හොඳය. මක්නිසාද එය සියලු මනුෂ්‍යයන්ගේ අන්තිමය වේ; ජීවත්ව සිටින්නා ඒක සිතට ගන්නවා ඇත.
3. සිනාසීමට වඩා ශෝකවීම හොඳය. මක්නිසාද මුහුණේ දුඃඛිතකමෙන් ආත්මයට හොඳක් සිදුවේ.
4. ප්‍රඥාවන්තයන්ගේ සිත වැලපීමේ ගෙදරද අඥානයන්ගේ සිත ප්‍රීතිවීමේ ගෙදරද තිබේ.
5. අඥානයන්ගේ ගීතිකාව ඇසීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුව ඇසීම මනුෂ්‍යයෙකුට හොඳය.
6. මක්නිසාද සැළිය යට තිබෙන කටුදරවල ශබ්දය යම්සේද අඥානයාගේ සිනාවත් එසේමය. ඒකත් නිෂ්ඵලකමක්ය.
7. සැබවින්ම බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩවන්නේය; අල්ලසක් සිත මුළාකරන්නේය.
8. යම් දෙයක අන්තිමය එහි පටන්ගැන්මට වඩා හොඳය. උඩඟු අයට වඩා ඉවසිලිවන්තයා උතුම්ය.
9. කෝපවීමට ඔබේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය.
10. පළමු දවස් මේවාට වඩා හොඳව තිබුණේ මොන කාරණයක් නිසාදැයි නොකියන්න; මක්නිසාද ඔබ මේ ගැන ප්‍රඥාවෙන් යුක්තව විමසනවා නොවේ.
11. ප්‍රඥාව උරුමයක්මෙන් හොඳය; එසේය, ඉර දකිනවුන්ට එය මහත් වාසියක්ය.
12. මක්නිසාද මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නුමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.
13. දෙවියන්වහන්සේගේ වැඩය මෙනෙහිකරන්න; මක්නිසාද උන්වහන්සේ ඇද කළ දේ ඇද අරින්ට පුළුවන් කාටද?
14. සම්පත්ති කාලයේදී ප්‍රීතිවෙන්න; නුමුත් විපත්ති කාලයේදී කල්පනාකරන්න. දෙවියන්වහන්සේ ඒකත් මේකත් ළංකොට තැබුවේ මනුෂ්‍යයා විසින් තමාට පසුව සිදුවෙන්නාවූ කිසිවක් දැනනොගන්න පිණිසය.
15. මාගේ නිෂ්ඵලකමේ දවස්වලදී මේ සියල්ල දුටිමි. සමහරවිට ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙහි නැතිවන්නේය, දුෂ්ටයෙක්ද තමාගේ දුෂ්ටකමෙහි බොහෝ කල් ජීවත්වන්නේය.
16. පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවෙන්න; පමණට වඩා ඥානවන්තයෙක්ද නොවෙන්න. කුමක් නිසා ඔබම විනාශකරගන්නෙහිද?
17. පමණට වඩා දුෂ්ටව නොසිටින්න, අඥානයෙක්ද නොවෙන්න. ඔබේ කාලයට පළමුවෙන් ඔබට නසින්ට වෙන්නේ මක්නිසාද?
18. ඔබ මෙය අල්වා ගන්නවා නම් හොඳය; එසේය, අනික් එකෙනුත් ඔබේ අත පහකර නොගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තා ඒ සියල්ලෙන් ගැළවෙනවා ඇත.
19. ප්‍රඥාව වනාහි නුවරක වසන අධිපතීන් දස දෙනෙකුට වඩා ඥානවන්තයාට ශක්තියක්ය.
20. පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත.
21. මනුෂ්‍යයන් කියන සියලුම වචනවලට ඔබේ සිත යොමු නොකරන්න; එසේ කළොත් සමහරවිට ඔබේ වැඩකාරයා ඔබට දෙස්කියන බව ඔබ අසනවා ඇත.
22. මක්නිසාද ඔබත් නොයෙක් වර අනුන්ට දෙස් කිවු බව ඔබේ සිත දන්නේය.
23. මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කෙළෙමි. මම ප්‍රඥාවන්තවන්නෙමියි කීමි; නුමුත් එය මාගෙන් දුරව තිබුණේය.
24. දුරව ඉතා ගැඹුරුව තිබෙන දේ සොයා දැනගන්නේ කවුද?
25. මම ප්‍රඥාවද කාරණාවල හේතුවද දැනගන්ටත් සෝදිසිකරන්ටත් සොයාගන්ටත්, දුෂ්ටකම අඥානකම බවද මෝහය උමතුකම බවද දැනගන්ටත් මාගේ සිතින් හැරුණෙමි.
26. එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය.
27. බලව, කාරණය දැනගන්න පිණිස එකක් එකක් පාසා විමසමින්: මේක මම දැනගතිමියි දේශනාකාරයා කියන්නේය.
28. මට සම්බ නූණාවූ, මාගේ සිත තවමත් සොයන්නාවූ, කාරණයක් මෙසේය: දහසක් අතරෙහි එක මිනිහෙක් මට සම්බවුණ නුමුත් එපමණ දෙනෙක් අතරෙහි එක ස්ත්‍රියක් මට සම්බනොවීය.
29. මෙන්න, මෙය පමණක් මට සම්බවිය, එනම් දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ඇද නැතුව මැවූසේක; නුමුත් ඔවුන් බොහෝ අමුතු උපා යොදාගත් බවය.

ගීතාවලිය 102:1-5
1. තද විපතින් ක්ලාන්ත භාවයට පත්ව තමාගේ විලාපය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වගුරුවන තැනැත්තාගේ යාච්ඤාවකි. ස්වාමිනි, මාගේ යාච්ඤාව ඇසුව මැනව, මාගේ මොරගැසීම ඔබ වෙතට පැමිණේවා.
2. මට විපත්ති පැමිණි දවසේදී ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. මා දෙසට ඔබගේ කන යොමුකළ මැනව; මා අඬගසන දවසේ ඉක්මනින් මට උත්තරදුන මැනව.
3. මක්නිසාද මාගේ දවස් දුම් මෙන් ගෙවීයයි, මාගේ ඇට ගිනිපෙනෙල්ලක් මෙන් දැවෙයි.
4. මාගේ සිත තණකොළ මෙන් තැළී වියළී තිබේ; මක්නිසාද ආහාර ගැනීම මට මතක නැතිවෙයි.
5. මාගේ සුසුම්ලීමේ ශබ්දය නිසා මාගේ ඇට මසට ඇලෙයි.

හිතෝපදේශ 24:7-9
7. ප්‍රඥාව මෝඩයාට උසස් වැඩිය; දොරටුවේදී ඔහු තමාගේ මුඛය නොහරියි.
8. නපුර කිරීමට උපා යොදන්නාට ප්‍රයෝගකාරයෙකැයි මනුෂ්‍යයෝ කියන්නෝය.
9. මෝඩයාගේ යෝජනාව පාපයය; නින්දාකරන්නාද මනුෂ්‍යයන්ට පිළිකුලක්ය.

1 කොරින්ති 10:1-18
1. මක්නිසාද සහෝදරයෙනි, අපගේ පියවරු සියල්ලන් වලාකුළ යට සිටි බවත්, සියල්ලන්ම මුහුද මැදින් ගිය බවත්,
2. සියල්ලන්ම වලාකුළෙහිද මුහුදෙහිද මෝසෙස්ට බව්තීස්මකරනු ලැබූ බවත්,
3. සියල්ලන්ම එම ආත්මික කෑම කෑ බවත්,
4. සියල්ලන්ම එම ආත්මික බීම බී බවත්, ඔබ සැම නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. මක්නිසාද ඔව්හු තමුන් අනුව ගියාවූ ආත්මික පර්වතයකින් බීවෝය. ඒ පර්වතය නම් ක්‍රිස්තුස්වහන්සේය.
5. එසේවී නුමුත් ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය.
6. ඉදින් ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය.
7. සෙනඟ කන්ටද බොන්ටද හිඳ, ක්‍රීඩාකරන්ට නැගුටුණෝයයි ලියා තිබෙන ලෙස, ඔවුන්ගෙන් සමහරෙකුමෙන් රූපවඳින්නෝ නොවෙන්න.
8. ඔවුන්ගෙන් සමහරෙක් වේශ්‍යාකම් කළාක්මෙන් අපි වේශ්‍යාකම් නොකරමු, එයින් එක දවසෙහි විසිතුන්දහස් දෙනෙක් විනාශවුණෝය.
9. අපි ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය.
10. ඔබ සැම නොකොඳුරන්න, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය.
11. ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.
12. එහෙයින් තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.
13. මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් ඔබ සැමට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ ඔබ සැමගේ පුළුවන්කමට වඩා ඔබ සැම පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, ඔබ සැමට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.
14. එහෙයින් මාගේ ප්‍රේමවන්තයෙනි, රූප ඇදහීම කෙරෙන් පලා දුවන්න.
15. ඥානවන්තයන්ට මෙන් කථාකරමි; මා කියන දේ ඔබ සැමම විනිශ්චයකරන්න.
16. අප විසින් ආශීර්වාදකරන ආශීර්වාද කුසලාන වනාහි ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයේ සහභාගිකමක් නොවේද? අප විසින් කඩන රොටිය ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සහභාගිකමක් නොවේද?
17. කුමක්හෙයින්ද බොහෝ දෙනෙක් වූ අපි එක රොටියක්ය, එක ශරීරයක්ය. මක්නිසාද අපි සියල්ලෝ එක රොටියේ පංගුකාරයෝව සිටිමුව.
18. මාංස ප්‍රකාරවූ ඉශ්‍රායෙල් බලන්න. පූජාවන් කන අය පූජාසනය සමඟ සහභාගිවන්නෝ නොවෙද්ද?