A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 28

ධර්මදේශකයා 4:1-16
1. නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.
2. එබැවින් තවම ජීවත්ව සිටින්නන්ට වඩා මැරී ගියාවූ අයගේ ස්වභාව යෙහෙකැයි කීයෙමි.
3. එසේය, ඒ දෙපක්ෂයටම වඩා ඉර යට කෙරෙන නපුරු ක්‍රියා නුදුටුවාවූ, තවම නූපන්නාවූ මනුෂ්‍යයා හොඳයයි සිතීමි.
4. තවද සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යයාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
5. අඥානයා තමාගේ අත් පෙරවාගන, තමාගේම මාංසය කන්නේය.
6. වෙහෙසීමෙන්ද හිස්වූ උත්සාහයෙන්ද දෑත පුරවාගන්නවාට වඩා නිශ්චලකමෙන් එක මිටක් පුරවාගන ඉදීම හොඳය.
7. එකල මම හැරී තව නිෂ්ඵලකමක් ඉර යට තිබෙන බව දුටිමි.
8. තව කෙනෙක් නැතුව තනිව සිටින්නෙක් ඇත්තේය; එසේය, ඔහුට පුත්‍රයෙක්වත් සහෝදරයෙක්වත් නැත; එහෙත් ඔහුගේ සියලුම වෙහෙසවලට කෙළවරක් නැත, ඔහුගේ ඇස් වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. මම කා උදෙසා වෙහෙසවී මාගේ ප්‍රාණයට සැප නොදී සිටිම්දැයි ඔහු නොකියන්නේය. මේකත් නිෂ්ඵලකමක්ව, එසේය, තදබල වෙහෙසක්ව තිබේ.
9. එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය; මක්නිසාද ඔවුන්ගේ වෙහෙසෙන් ඔවුන්ට හොඳ විපාකයක් ලැබෙන්නේය.
10. ඔවුන් වැටුණොත් එක්කෙනෙක් තමාගේ යහළුවා නැගුටුවනවා ඇත. එහෙත් තමා නැඟුටුවන්ට කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්නාට දුක්වෙයි.
11. තවද දෙදෙනෙක් එක්ව සැතපුණොත් ඔවුන්ට උණුහුම ලැබෙන්නේය. නුමුත් තනි කෙනෙක් උණුහුම්වෙන්නේ කොහොමද?
12. යමෙක් තනි කෙනෙකු පරදවන නුමුත් ඔහුට විරුද්ධව සිටින්ට දෙන්නෙකුට පුළුවන්වෙයි; තුන්පට ලනුවක් ඉක්මනින් නොකැඩෙන්නේය.
13. දැනමුතුකම් ලබන්ට නොදන්නාවූ අඥාන මහලු රජෙකුට වඩා දුප්පත් ප්‍රඥාවන්ත යෞවනයෙක් හොඳය.
14. මක්නිසාද ඔහු රජවෙන්ට හිරගෙයින් පිටතට ආයේය; එසේය, ඔහු තමාගේ රාජ්‍යයෙහි දිළින්දෙක්ව උපන්නේය.
15. ඉර යට ඇවිදින ජීවමාන සියල්ලන්ම ඒ තැනැත්තා වෙනුවට නැගිටින ඒ යෞවනයා සමඟ සිටිනවා දුටිමි.
16. ඔහු කෙළවරක් නැති සෙනඟක් ඉදිරියෙහි සිටියේය. එහෙත් පසුව එන්නෝ ඔහු ගැන ප්‍රීති නොවන්නෝය. සැබවින් මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.

ධර්මදේශකයා 5:1-20
1. ඔබ දෙවියන්වහන්සේගේ ගෘහයට යන විට ඔබේ පාද බලාගන්න; අඥානයන් මෙන් පූජා ඔප්පුකිරීමට වඩා අසන්ට ළංවීම හොඳය. මක්නිසාද තමුන් නපුර කරන බව ඔව්හු නොදනිති.
2. ඔබේ මුඛයෙන් ඉක්මන්කාර නොවෙන්න, ඔබේ සිතද දෙවියන්වහන්සේ ඉදිරියෙහි කාරණයක් නිකුත්කරන්ට ඉක්මන් නොවේවා; මක්නිසාද දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය, ඔබ පොළොවෙහිය; ඒ නිසා ඔබේ වචන ස්වල්ප වේවා.
3. මක්නිසාද ස්වප්නය කාරණා රාශියක්ද අඥානයාගේ හඬ වචන රාශියක්ද ඇතුව පැමිණෙන්නේය.
4. ඔබ දෙවියන්වහන්සේට බාරයක් වුණාම එය ගෙවන්ට ප්‍රමාද නොවෙන්න; මක්නිසාද උන්වහන්සේ අඥානයන් කෙරෙහි ප්‍රසන්න නැත.
5. ඔබ වුණ බාරය ගෙවන්න. ඔබ බාරයක්වී නොගෙවා සිටිනවාට වඩා බාරයක් නොවී සිටීම හොඳය.
6. ඔබේ මාංසය ලවා පව්කරවන්ට ඔබේ කටට ඉඩනොදෙන්න; ඒක වැරදිල්ලකැයි දේවදූතයා ඉදිරියෙහි නොකියන්න. දෙවියන්වහන්සේ ඔබේ හඬට උදහස්ව ඔබේ අත්වල කර්මාන්තය නාස්ති කරන්ට ඕනෑ මන්ද?
7. මක්නිසාද ස්වප්න හා නිෂ්ඵලකම් රාශියකිනුත් බොහෝ වචනවලිනුත් මෙසේ සිදුවේ. එබැවින් ඔබ දෙවියන්වහන්සේට භයවෙන්න.
8. දිළින්දාට පීඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව ඔබ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලාගන්නසේක; ඉතා උතුම් කෙනෙක් ඔවුන් කෙරෙහිද සිටිනසේක.
9. ඇරත් බිමේ ප්‍රයෝජනය සියල්ලන්ටම වේ; රජ්ජුරුවෝ පවා කෙතෙන් රක්ෂාවන්නාහ.
10. රිදීයට ඇලුම්වෙන්නා රිදීයෙන්වත් සම්පත්වලට ඇලුම්වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි. මේකත් නිෂ්ඵලකමක්ය.
11. දේපළ වැඩිවන විට ඒවා භුක්තිවිඳින්නෝද වැඩිවෙති. ඒවා අයිතිකාරයාට තමාගේ ඇස්වලින් ඒවා බැලීම මිස එයින් ඇති ප්‍රයෝජනය මොකද?
12. වැඩකරන්නා ටිකක් කෑවත් හුඟක් කෑවත් ඔහුගේ නින්ද මිහිරිය. නුමුත් පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය.
13. ඉර යට මා දුටු මහත් වරදක් තිබේ, එනම් අයිතිකාරයා විසින් තමාට අන්තරාය වන ලෙස වස්තුව තබාගැනීමය.
14. ඒ වස්තු යම් නපුරු සිද්ධියකදී නැතිවෙයි; මෙසේ ඔහුට දාව පුත්‍රයෙක් සිටියත් ඔහු අතේ කිසිත් නැත.
15. ඔහු තමාගේ මවුගේ කුසෙන් නික්ම ආ ලෙසම නිර්වස්ත්‍රව නැවත යන්නේය, තමාගේ අතින් ගෙනගිය හැකි කිසිවකුත් තමාගේ වැඩෙන් ඔහු ගෙනයන්නේ නැත.
16. මේකත් මහත් වරදක්ය: සියලු ආකාරයෙන්, ඔහු ආ ලෙසම ඔහු යන්නේය. සුළඟ ගැන වෙහෙසවෙන්නාවූ ඔහුට ඇති ප්‍රයෝජනය මොකද?
17. ඔහුගේ සියලු දවස්වල ඔහු අන්ධකාරයෙහි කෑම කන්නේය, ඔහුට තද දුකද වේදනාවද කෝපයද තිබේ.
18. බලව, මා දුටු කාරණයක් නම් දෙවියන්වහන්සේ යමෙකුට දෙන්නාවූ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල කා බී, ඔහු ඉර යට ගන්නාවූ තමාගේ සියලු වෙහෙසවලින් සැපය භුක්තිවිදීම හොඳව සුදුසුව තිබෙන බවය. මක්නිසාද ඒක ඔහුගේ කොටසය.
19. තවද දෙවියන්වහන්සේ යම් මනුෂ්‍යයෙකුට වස්තුද සම්පත්ද දී, ඒවා භුක්තිවිඳින්ටත් තමාගේ කොටස රැගෙන තමාගේ වැඩෙන් ප්‍රීතිවෙන්ටත් බලය දී තිබේද? එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.
20. මක්නිසාද ඔහුගේ සිතේ ප්‍රීතිය තැබීමෙන් දෙවියන්වහන්සේ ඔහුට උත්තරදෙන බැවින් ඔහු තමාගේ ජීවිතයේ දවස් වඩා සිහිකරන්නේ නැත.

ධර්මදේශකයා 6:1-12
1. ඉර යට මා දුටුවාවූ වරදක් තිබේ, එය මනුෂ්‍යයන් කෙරෙහි මහත් බරක්ව තිබේ.
2. මනුෂ්‍යයෙක් ආශාවෙන කොයි දෙයක්වත් ඔහුට නොලැබී නොයන හැටියට දෙවියන්වහන්සේ ඔහුට වස්තුද සම්පත්ද ගෞරවයද දෙන නුමුත්, ඒවා භුක්තිවිඳින්ට ඔහුට බලය නොදෙන බැවින්, අන්‍ය කෙනෙක් ඒවා භුක්තිවිඳින්නේය. මේක නිෂ්ඵලකමක්ය, බලවත් ආබාධයක්ය.
3. මනුෂ්‍යයෙකුට දාව දරුවන් සියයක් උපන්නත්, ඔහු බොහෝ අවුරුදු ජීවත්වුණත්, ඔහුගේ අවුරුදු ගණන වැඩිවුණත්, ඔහුගේ ප්‍රාණය සැපයෙන් තෘප්තියට පැමිණෙන්නේවත් ඔහුට වැළලීමක් ලැබෙන්නේවත් නැත්නම්, ඔහුට වඩා ගබ්සාවීමක් හොඳයයි කියමි.
4. මක්නිසාද එය නිෂ්ඵල ලෙස පැමිණ අන්ධකාරයට යයි, ඒකේ නමද අන්ධකාරයෙන් වසනු ලබන්නේය;
5. තවද ඒක ඉර දුටුවේවත් දැනගත්තේවත් නැත; ඔහුට වඩා එයට නිශ්චලය තිබේ.
6. එසේය, ඔහු සැපය භුක්ති නොවිඳ අවුරුදු දෙදහසක් ජීවත්වෙතත්, සියල්ලන් එක තැනකට යනවා නොවේද?
7. මනුෂ්‍යයාගේ මුළු වෙහෙසීම ඔහුගේ කට උදෙසාය, එහෙත් ඔහුගේ ආශාව පූර්ණ නොවේ
8. මක්නිසාද අඥානයාට වඩා ප්‍රඥාවන්තයාට ඇති වාසිය කුමක්ද? ජීවත්වෙන්නන් ඉදිරියෙහි හැසිරෙන්ට දන්න දුප්පතාටත් ඇති වාසිය කුමක්ද?
9. සිත ආශාවෙන ඒවාට වඩා ඇස්වලට පෙනෙන ඒවා හොඳය. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
10. යමක් තිබුණේද ඒකේ නම පුරාණයේදීම දෙනලද්දේය, ඒ වනාහි මනුෂ්‍යයා බවත් ඔහුට වඩා බලවත් තැනන්වහන්සේ සමඟ විවාදකරන්ට ඔහුට බැරි බවත් දැනගන්නාලද්දේය.
11. මක්නිසාද නිෂ්ඵලකම වැඩිකරන බොහෝදේ තිබේ; මනුෂ්‍යයාට එයින් ඇති වාසිය මොකද?
12. මනුෂ්‍යයාගේ ජීවිතයෙහි එනම් ඔහු සෙවණැල්ලක් මෙන් ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිතයේ දවස්වල ඔහුට හොඳව තිබෙන්නේ කිමෙක්දැයි දන්නේ කවුද? නොහොත් මනුෂ්‍යයෙකුට ඔහුගෙන් පසුව ඉර යට සිදුවන්නේ කුමක්ද කියා දන්වන්ට පුළුවන් කාටද?

ගීතාවලිය 102:18-28
18. මෙය මතු එන පරම්පරාව උදෙසා ලියනු ලබන්නේය. මවනු ලබන සෙනඟක්ද ස්වාමීන් ට ප්‍රශංසාකරන්නේය.
19. මනුෂ්‍ය වර්ගයන්ද රාජ්‍යවල්ද ස්වාමීන් ට මෙහෙකිරීමට එකට රැස් වූ කල,
20. මනුෂ්‍යයන් විසින් සියොන්හිදී ස්වාමීන් ගේ නාමයත් යෙරුසලමේදී උන්වහන්සේගේ ප්‍රශංසාවත් ප්‍රකාශකරන පිණිස,
21. හිරකාරයාගේ සුසුම්ලීම අසන්ටත් මරණයට නියමවූවන් මුදන්ටත්
22. ස්වාමීන්වහන්සේ ස්වකීය ශුද්ධවූ උසස්ථානයේ සිට පහළ බැලූසේක; උන්වහන්සේ ස්වර්ගයේ සිට පොළොව බැලූසේක.
23. උන්වහන්සේ මාර්ගයේදී මාගේ ශක්තිය හීනකොට, මාගේ දවස් ලුහුඬුකළසේක,
24. මමද කථාකොට: මාගේ දෙවියන්වහන්ස, මාගේ දවස් මාධ්‍යයෙහිදී, මා අහක් නොකළ මැනව. ඔබගේ අවුරුදු සියලු පරම්පරාවලට වන්නේයයි කීයෙමි.
25. ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක; ආකාශය ඔබගේ අත් වැඩය වේ.
26. ඒවා විනාශවන්නේය, නුමුත් ඔබ පවත්නාසේක. එසේය, ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පරණවන්නේය; උතුරු සළුවක් මෙන් ඔබ ඒවා මාරුකරනසේක, ඒවාද මාරුවන්නේය.
27. නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු කෙළවර නොවන්නේය.
28. ඔබගේ මෙහෙකරුවන්ගේ දරුවෝ පවතින්නෝ, ඔවුන්ගේ වංශයද ඔබ ඉදිරියෙහි පිහිටුවනු ලබන්නේය.

හිතෝපදේශ 24:5-6
5. ප්‍රඥාවත් මනුෂ්‍යයා බලවන්තය; එසේය, දැනගැන්ම ඇති මනුෂ්‍යයා ශක්තිය වැඩිකරගනියි.
6. මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට ඔබ ඔබේ යුද්ධය කළ යුතුය; මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව තිබේ.

1 කොරින්ති 9:1-27
1. මම නිදහස් කෙනෙක් නොවෙම්ද? මම ප්‍රේරිතයෙක් නොවෙම්ද? මම අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ නුදුටිම්ද? ස්වාමීන්වහන්සේ තුළ ඔබ සැම මාගේ කර්මාන්තය නොවවුද?
2. මම අන්‍යයන්ට ප්‍රේරිතයෙක් නොවෙතත් ඔබ සැමට නම් ප්‍රේරිතයෙක්ය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රේරිතකමේ මුද්‍රාව නම් ඔබ සැමය.
3. මා විචාරන්නන්ට මාගේ උත්තරය නම් මේකය.
4. කන්ටත් බොන්ටත් අපට අවසර නැද්ද?
5. අනික් ප්‍රේරිතයන්ද ස්වාමීන්වහන්සේගේ සහෝදරයන්ද කේපස්ද කරන්නාක්මෙන් ඇදහිලිවන්ත භාර්යාවක් කැඳවාගෙන හැසිරෙන්ට අපටත් අවසර නැද්ද?
6. නොහොත් වැඩ නොකර සිටින්ට අවසර නැත්තේ මටත් බාර්ණබස්ටත් පමණක්ද?
7. කොයිකලකවත් තමාගේම වියදමෙන් හේවාකම්කරන්නේ කවුද? මිදිවත්තක් වවා එහි ඵල නොකන්නේ කවුද? නොහොත් ගව රැළක් පෝෂ්‍යකොට උන්ගේ කිරිවලින් නොකන්නේ කවුද?
8. මා මේ කාරණා කියන්නේ මනුෂ්‍ය ප්‍රකාරයෙන්ද? නොහොත් ව්‍යවස්ථාවත් එසේම නොකියාද?
9. මක්නිසාද: ගොනා ගොයම් පාගන විට උගේ කට නොබඳුවයි මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබේ. දෙවියන්වහන්සේ සලකන්නේ ගවයන් ගැනද?
10. නොහොත් එය මුළුමනින්ම අප නිසා කියනසේක්ද? එසේය, අප නිසා එය ලියනලද්දේය. හාන්නා බලාපොරොත්තුවෙන් හාන්ට ඕනෑ නිසාද, පාගන්නා කොටස බලාපොරොත්තුවෙන් පාගන්ට ඕනෑ නිසාද එසේ ලියනලද්දේය.
11. අපි ඔබ සැමට ආත්මික දේ වපුළෙමු නම්, ඔබ සැමගේ මාංසික දේ කැපීම මහත් දෙයක්ද?
12. අන්‍යයෝ ඔබ සැම කෙරෙහි මේ බලයට හවුල්වෙත් නම් ඊට වඩා අපට යුතු නොවේද? එසේවී නුමුත් අපි මේ බලය නොපවත්වා, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට කිසි බාධාවක් නොකරන පිණිස සියල්ල දරාගනිමුව.
13. ශුද්ධ දේ සම්බන්ධයෙන් මෙහෙකරන්නන් දේවමාළිගාව සන්තක දෙයින් කන බවද පූජාසනයේ සේවයකරන්නන් පූජාසනයට පංගුකාරයන් වන බවද ඔබ සැම දන්නේ නැද්ද?
14. එසේම ශුභාරංචිය ප්‍රකාශකරන්නන් විසින් ශුභාරංචිය කරණකොටගෙන ජීවිකාව ලබන්ට ස්වාමීන්වහන්සේ නියෝගකළසේක.
15. නුමුත් මා මේ දේවලින් කිසිවක් ව්‍යවහාරකළේ නැත. මේ කාරණා මා ලියන්නේ මට එසේ ලබාගන්නා අදහසින් නොවේ. යමෙකු විසින් මාගේ පාරට්ටුව හිස්කිරීමට වඩා මරණය මට හොඳය.
16. මක්නිසාද මම ශුභාරංචිය දේශනාකරම් නුමුත් පාරට්ටුකරගැනීමට මට කිසිත් නැත; මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිමි; ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ.
17. මක්නිසාද මේක මාගේ කැමැත්තෙන්ම කරම් නම්, මට විපාකයක් තිබේ. කැමැත්තක් නැතුව කළත් ගබඩාකාරකමක් මට භාරදී තිබේ.
18. එසේවී නම් මාගේ විපාකය කිමෙක්ද? ඒ විපාකය නම් ශුභාරංචිය දේශනාකරන කල මට තිබෙන බලය සම්පූර්ණයෙන්ම පාවිච්චි නොකොට ශුභාරංචිය නොමිලයේ පිහිටුවීමය.
19. මක්නිසාද මම සියල්ලන්ගෙන් නිදහස්ව සිටියෙම් නුමුත් වැඩිදෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ට මා දාසයෙක් කරගතිමි.
20. යුදෙව්වරුන් දිනාගන්නා පිණිස යුදෙව්වරුන් අතරෙහි යුදෙව්වෙකු මෙන්ද ව්‍යවස්ථාව යටතේ නොසිටින මම ව්‍යවස්ථාවට යටත්වූවන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නන්ට ව්‍යවස්ථාව යටතේ සිටින කෙනෙකු මෙන්ද වුණෙමි.
21. මම ව්‍යවස්ථාව නැත්තවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව නැත්තන්ට ව්‍යවස්ථාව නැතිකෙනෙකු මෙන් වුණෙමි. එහෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවක් නැතුව නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවට යටත්ව සිටිමි.
22. දුර්වලයන් දිනාගන්නා පිණිස දුර්වලයන්ට දුර්වලයෙක් වුණෙමි. සියලු ආකාරයෙන්ම සමහරෙකු ගළවන පිණිස මම සියල්ලන්ට සියල්ල වුණෙමි.
23. තවද ශුභාරංචියේ පංගුකාරයෙක් වෙන පිණිස ශුභාරංචිය උදෙසා සියල්ල කරමි.
24. දුවන ස්ථානයෙහි සියල්ලන්ම දුවන නුමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද? එසේම ඔබ සැමත් ලබාගන්නා පිණිස දුවන්න.
25. දිනන පිණිස වීර්යකරන්නාවූ සියල්ලෝම සියල්ලෙහි පමණ දැන හැසිරෙති. ඔවුන් එසේ කරන්නේ දිරන්නාවූ ඔටුන්නක් ලබාගන්න පිණිසය; අප වනාහි නොදිරන එකක් ලබාගන්නා පිණිසය.
26. එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය; පහරදෙන්නේ හුළඟට පහරෙදන්නාක්මෙන් නොවේය.
27. නුමුත් මාගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.