A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 27

ධර්මදේශකයා 3:1-22
1. සෑම දේටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත.
2. උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය; සිටුවන්ට කාලයක් සහ සිටෙවු ඒවා උදුරාදමන්ට කාලයක්ය;
3. මරන්ට කාලයක් සහ සුවකරන්ට කාලයක්ය; කඩාදමන්ට කාලයක් සහ ගොඩනගන්ට කාලයක්ය;
4. අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය;
5. ගල් අහකදමන්ට කාලයක් සහ ගල් රැස්කරන්ට කාලයක්ය; වැලඳගන්ට කාලයක් සහ වැලඳගැනීමෙන් වලකින්ට කාලයක්ය;
6. සොයන්ට කාලයක් සහ නැතිවීමට අරින්ට කාලයක්ය; තබාගන්ට කාලයක් සහ අහකදමන්ට කාලයක්ය;
7. ඉරන්ට කාලයක් සහ මහන්ට කාලයක්ය; නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්ය;
8. ප්‍රේමකරන්ට කාලයක් සහ ද්වේෂකරන්ට කාලයක්ය; යුද්ධයට කාලයක් සහ සමාදානයට කාලයක්ය.
9. යමක් කරන්නාට තමා වෙහෙසෙන දෙයින් කවර ප්‍රයෝජනයක්ද?
10. දෙවියන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කරන්ටදී තිබෙන වැඩ මම දුටිමි.
11. උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය.
12. ඔවුන් තමුන්ගේ ජීවිතයේදී ප්‍රීතිවී යහපත කරගැනීමට වඩා හොඳක් ඔවුන්ට නැති බව දනිමි.
13. තවද කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.
14. දෙවියන්වහන්සේ කරන සියල්ල සදාකාලයටම පවතින බව දනිමි. ඊට එකතුකරන්ට කිසිවක් නැත, එයින් අඩුකරන්ටත් කිසිවක් නැත. දෙවියන්වහන්සේ එය කළේ මනුෂ්‍යයන් තමන්වහන්සේ ඉදිරියෙහි භයවන පිණිසය.
15. දැන් තිබෙන දේ ඉහතත් තිබුණේය; වෙන්ට තිබෙන දේ ඉස්සරත් තිබුණේය. දෙවියන්වහන්සේ පහව ගිය දේ නැවත පමුණුවනසේක.
16. තවද ඉර යට විනිශ්චයේ ස්ථානයෙහිම දුෂ්ටකමද යුක්තියේ ස්ථානයෙහිම දුෂ්ටකමද තිබෙන බව දුටිමි.
17. එවිට මම: දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයාත් දුෂ්ටයාත් විනිශ්චයකරනවා ඇත; මක්නිසාද සියලු කාරණාවලටත් සියලු වැඩවලටත් කාලයක් පැමිණේයයි මාගේ සිතින් සිතාගත්තෙමි.
18. මනුෂ්‍ය පුත්‍රයන්ගේ කාරණා මෙසේ වන්නේ දෙවියන්වහන්සේ ඔවුන් සෝදිසිකරන පිණිසත් තමුන් තිරිසනුන් බව ඔවුන්ට පෙනීයන පිණිසත්යයි මාගේ සිතින් සිතාගත්තෙමි.
19. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ට සිද්ධවෙන්නේ තිරිසනුන්ට සිද්ධවෙන දේමය; ඔවුන්ට සිද්ධවෙන්නේ එක දෙයක්ය. උන් නසින්නාක්මෙන් ඔව්හුත් නසින්නෝය; එසේය, සියල්ලන්ටම ඇත්තේ එක හුස්මය; මෙසේ තිරිසනුන්ට වඩා මනුෂ්‍යයාට වාසියක් නැත. මක්නිසාද සියල්ලම නිෂ්ඵලකමක්ය.
20. සියල්ලෝම එකතැනකට යන්නෝය; සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය.
21. මනුෂ්‍ය පුත්‍රයන්ගේ පණ ඉහළට නැගී යනවාද කියාවත් තිරිසනාගේ පණ පොළොව යටට බසිනවාද කියාවත් දන්නේ කවුද?
22. මෙසේ මනුෂ්‍යයා තමාගේ වැඩවලින් ප්‍රීතිවෙනවාට වඩා සැපයක් නැති බව දුටිමි; ඒක ඔහුගේ කොටසය. මක්නිසාද තමාට පසුව සිදුවන දේ දකින්ට ඔහු ආපසු ගෙනෙන්නේ කවුද?

ගීතාවලිය 102:12-17
12. එහෙත් ස්වාමිනි, ඔබ සදාකල් වැඩ ඉන්නසේක; ඔබ සිහිවීමද සියලු පරම්පරාවලට වන්නේය.
13. ඔබ නැගිට සියොන්ට කරුණාකරනසේක. ඊට අනුකම්පාකළ යුතු කාලය දැන්ය, එසේය, නියම කාලය පැමිණ තිබේ.
14. මක්නිසාද ඔබගේ මෙහෙකරුවෝ එහි ගල්වලට ප්‍රියවෙති, එහි දූවිල්ලට අනුකම්පාකෙරෙති.
15. එහෙයින් ජාතීහු ස්වාමීන් ගේ නාමයටත් පොළොවේ සියලු රජවරු ඔබගේ මහිමයටත් භයවන්නෝය.
16. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් ගොඩනැගූසේක, ස්වකීය මහිමයෙන් ප්‍රකාශවූසේක;
17. උන්වහන්සේ අසරණයන්ගේ යාච්ඤාව සැලකූසේක, ඔවුන්ගේ යාච්ඤාව හෙළා නොදැක්කසේක.

හිතෝපදේශ 24:3-4
3. ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ.
4. දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය.

1 කොරින්ති 8:1-13
1. දේවතාවන්ට පුදනලද දේවල් ගැනය. අප සියල්ලන්ටම ඥානය ඇති බව දනිමුව. ඥානය උඩඟුකම උපදවයි, නුමුත් ප්‍රේමය වැඩ සිද්ධකරයි.
2. යමෙක් තමා යමක් දන්නේයයි සිතයි නම්, ඔහු දැනගන්ට ඕනෑ ලෙස තවම දැනගෙන නැත;
3. නුමුත් යමෙක් දෙවියන්වහන්සේට ප්‍රේමකෙරේනම්, ඔහු උන්වහන්සේ විසින් දන්නාලද්දේය.
4. ඉතින් දේවතාවන්ට පුදනලද කෑම ගැන වනාහි, දේවතාවෙක් ලෝකයෙහි කිසිත් නැති බවත්, එකම දෙවිකෙනෙක් මිස අන් දෙවිකෙනෙක් නැති බවත් දනිමුව.
5. මක්නිසාද බොහෝ දෙවිවරුන්ද බොහෝ ස්වාමිවරුන්ද ඇත්තාක්මෙන්, ස්වර්ගයෙහි හෝ පොළොවෙහි හෝ දෙවිවරුය කියන තැනැත්තන් සිටින නුමුත්,
6. අපට ඇත්තේ එක දෙවිකෙනෙක් වන පියාණන්වහන්සේය. සියල්ල පැමිණ තිබෙන්නේ උන්වහන්සේගෙන්ය, අපිත් උන්වහන්සේ උදෙසාය. තවද අපට ඇත්තේ එක ස්වාමීන්වහන්සේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. සියල්ල උන්වහන්සේ කරණකොටගෙනය, අපිත් උන්වහන්සේ කරණකොටගෙනය.
7. එසේවී නුමුත් මේ දැනගැන්ම සියලු මනුෂ්‍යයන් තුළ නැත. සමහරු මේ දක්වා දේවතාවා විද්‍යමාන කෙනෙක්යයි සිතන්ට පුරුදුවූයෙන්, දේවතා පිදවිල්ලක් කොට කති; දුර්වලව තිබෙන ඔවුන්ගේ හෘදයසාක්ෂියද කිලුටුවේ.
8. නුමුත් කෑම නිසා දෙවියන්වහන්සේට අප වඩා ප්‍රිය අය වෙන්නේ නැත. නොකෑවාට අප පහත් වෙන්නේවත් කෑවාට අප උතුම් වෙන්නේවත් නැත.
9. නුමුත් ඔබ සැමගේ මේ නිදහස යම් අන්දමකින් දුර්වලයන්ට බාධා හේතුවක් නොවන ලෙස බලාගන්න.
10. මක්නිසාද දැනුම ඇත්තාවූ ඔබ දේවාලයක කන්ට හිඳගන ඉන්නවා යමෙක් දුටුවොත්, ඔහු දුර්වල නම්, දේවතාවන්ට පුදනලද දේ කන්ට ඔහුගේ හෘදය සාක්ෂිය ධෛර්ය නොවන්නේද?
11. මෙසේ ඒ සහෝදරයා නිසා ක්‍රිස්තුස්වහන්සේ මළ නුමුත්, දුර්වලවූ ඔහු ඔබේ දැනගැන්මෙන් විනාශවෙයි.
12. මෙසේ ඔබ සැම සහෝදරයන්ට විරුද්ධව පව්කරමින් ඔවුන්ගේ දුර්වලවූ හෘදයසාක්ෂිය තුවාල කරන විට, ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධව පව්කරන්නෝය.
13. එබැවින් කෑම මාගේ සහෝදරයාට බාධාවක් වේ නම්, මාගේ සහෝදරයාට බාධා නොපැමිණෙන පිණිස, කිසි කලක මාංස නොකන්නෙමි.