A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 26

ධර්මදේශකයා 1:1-18
1. දාවිත්ගේ පුත්‍රවූ යෙරුසලමේ රජවූ දේශනාකාරයාගේ වචනයි.
2. නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ලම නිෂ්ඵලකමයයි ධර්මදේශකතෙමේ කියන්නේය.
3. මනුෂ්‍යයා ඉර යට ගන්නාවූ තමාගේ සියලුම වෙහෙසවලින් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?
4. පරම්පරාවක් පහවී යන්නේය, තවත් පරම්පරාවක් පැමිණෙන්නේය; නුමුත් පොළොව සෑම කල්ම පවතින්නේය.
5. තවද හිරු උදාවන්නේය, හිරු බැස යන්නේය, ඒක උදාවුණ තැනටම නැවත ඉක්මනින් පැමිණෙන්නේය.
6. සුළඟ දකුණු දිගට ගොස් උතුරට හැරීයන්නේය; සුළඟ නිතරම ඒකේ මාර්ගයෙහි මාරු වෙවී ගොස් ඒකේ වටවූ ගමන්වලට නැවත පැමිණෙන්නේය.
7. සියලු ගංගා මුහුදට යති, එහෙත් මුහුද පිරෙන්නේ නැත; ගංගා පිටත්ව එන තැනටම නැවත යති.
8. හැම දේම වෙහෙසින් පූර්ණය; මනුෂ්‍යයෙකුට ඒක විස්තරකරන්ට බැරිය. දැකීමෙන් ඇස තෘප්තියට පැමිණෙන්නේවත් ඇසීමෙන් කන පිරීයන්නේවත් නැත.
9. මතු ඇතිවන්නේ තිබුණාවූ දේමය; කරන්ට තිබෙන්නේ කළාවූ දේමය. මෙසේ ඉර යට අමුතු දෙයක් නැත.
10. මෙන්න, මේක අමුතුයයි මනුෂ්‍යයන් විසින් කියන්ට කිසිවක් ඇද්ද? ඒක අපට පළමුවෙන්වූ පුරාණ කාලවල තිබුණේය.
11. පළමු සිටි අය ගැන සිහිවීමක් නැත; මතු පැමිණෙන පරම්පරා ගැනද ඉන් පසුව එන්නන් අතරේ සිහිවීමක් නොවන්නේය.
12. දේශනාකාරයා වන මම ඉශ්‍රායෙල් කෙරෙහි යෙරුසලමෙහි රජව සිටියෙමි.
13. මම අහස යට කෙරෙන සියල්ල ගැන ප්‍රඥාවෙන් සොයා විභාගකරන්ට මාගේ සිතයොමුකෙළෙමි. ඒ වනාහි ව්‍යාවෘතවීමට දෙවියන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබෙන අමාරු වැඩක්ය.
14. ඉර යට කෙරෙන සියලු කර්මාන්ත දුටිමි; ඒ සියල්ල නිෂ්ඵලකමක්ද හිස්වූ උත්සාහයක්ද වේ.
15. ඇද දේ කෙළින්කරන්ට බැරිය. නැති දේ ගණින්ටද නොහැකිය.
16. මම මාගේ සිත සමඟ කථාකොට: මට පළමුවෙන් යෙරුසලමෙහි සිටි සියල්ලන්ට වඩා මහත් ප්‍රඥාව ලබාගතිමි. එසේය, මාගේ සිතට ප්‍රඥාවත් දැනගැන්මත් ගැන බොහෝ අත්දැකීම ලැබුණේයයි කීමි.
17. මෙසේ ප්‍රඥාව දැනගන්ටත් මෝහය හා අඥානකම දැනගන්ටත් මාගේ සිත යොමුකෙළෙමි. එවිට මේකත් හිස්වූ උත්සාහයක් බව දැනගතිමි.
18. මක්නිසාද බොහෝ ප්‍රඥාවෙන් බොහෝ දුක් පැමිණෙන්නේය. දැනගැන්ම වැඩිකර ගන්නා ශෝකය වැඩිකරගන්නේය.

ධර්මදේශකයා 2:1-26
1. මම කථාකොට: ඉතින් එන්න, ප්‍රීතිය කරණකොටගෙන ඔබ සෝදිසිකරන්නෙමි; ඒ නිසා සැප විඳන්නැයි සිතින් කියාගතිමි. බලව, මේකත් නිෂ්ඵලකමක්ය. සිනාසීම ගැන: ඒක පිස්සුකමය.
2. ප්‍රීතියෙන් ඇති ප්‍රයෝජනය මොකදැයි කීමි.
3. මනුෂ්‍ය පුත්‍රයන්ට තමුන්ගේ ජීවිතයේ සියලුම දවස්වල අහසින් යට කිරීමට හොඳව තිබෙන්නේ මොකද කියා දකින තුරු, මාගේ සිත ප්‍රඥාවෙන් මා හසුරුවන අතර, මාගේ මාංසය මුද්‍රිකපානයට භාරදෙන්නෙත් මෝඩකම අල්ලාගන්නෙත්කොහොමදැයි මාගේ සිතින් විභාගකෙළෙමි.
4. මම මහත් කර්මාන්ත කෙළෙමි; මම ගෙවල් ගොඩනගාගෙන මිදිවතු වවාගත්තෙමි;
5. මම වතුද උයන්ද සාදා, සියලු ආකාර ඵලදෙන ගස් ඒවායෙහි සිටවාගතිමි.
6. ගස් වවන තවානට වතුර වත්කරන පිණිස මම දිය පොකුණු සාදාගතිමි.
7. මම දාසයන්ද දාසීන්ද මිලේට ගතිමි, මාගේ ගෙයි උපන් වැඩකාරයොත් මට සිටියෝය; යෙරුසලමෙහි මට ඉස්සර සිටි සියල්ලන්ට වඩා ගව රැළවල් හා එළු බැටළු රැළවල් මට උන්නෝය.
8. මම රන් රිදීද රජවරුන්ගෙත් දේශවලත් වස්තුද රැස්කරගතිමි. මම ගායනාකාරයන් හා ගායනාකාරියන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ ප්‍රීතිය වන බොහෝ භාර්යාවන්ද සපයාගතිමි.
9. මෙසේ යෙරුසලමෙහි මට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා මම උතුම්ව දියුණුවීමි. මාගේ ප්‍රඥාවත් මා තුළ පැවතුණේය.
10. මාගේ ඇස් ආශාකළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැලැක්වීමි. කිසි ප්‍රීතියකින්ද මාගේ සිත නොවැලැක්වීමි, මක්නිසාද මාගේ සිත මාගේ මුළු වැඩෙන් ප්‍රීතිවුණේය; මාගේ මුළු වැඩෙන් මට ලැබුණු කොටස මේය.
11. නුමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටිමි.
12. එවිට මම ප්‍රඥාවත් මෝහයත් අඥානකමත් බලන්ට හැරුණෙමි. මක්නිසාද රජුට පසුව එන මනුෂ්‍යයාට කරන්ට පුළුවන් කුමක්ද? පුරාණයේදී කළ ඒවාමය.
13. එවිට අන්ධකාරයට වඩා එළිය උතුම්ව තිබෙන ලෙසම අඥානකමට වඩා ප්‍රඥාව උතුම් බව දුටිමි.
14. ප්‍රඥාවන්තයාගේ ඇස් ඔහුගේ හිසේය, අඥානයා අන්ධකාරයෙහි ඇවිදින්නේය. එහෙත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන්නේ එක දෙයක්ම බව දැනගතිමි.
15. එකල: අඥානයාට මෙන් මටත් සිදුවන්නේය; එසේ නම් මා වඩා ප්‍රඥාවන්තව සිටින්නේ මක්නිසාදැයි මාගේ සිතින් සිතාගත්තෙමි. එකල: මේකත් නිෂ්ඵලකමක්යයි මාගේ සිතින් සිතුවෙමි.
16. මක්නිසාද පැමිණෙන්ට තිබෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින්ම මතකනැතිවී යන බැවින්, අඥානයා ගැන මෙන්ම ප්‍රඥාවන්තයා ගැනත් සිහිවීමක් නැත්තේය. අහෝ අඥානයාමෙන් ප්‍රඥාවන්තයාත් නසින හැටි!
17. එබැවින් ඉර යට කෙරෙන වැඩ මට අයහපත්ව පෙනුණු නිසා, ජීවිතයට අප්‍රියවීමි. මක්නිසාද සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
18. එසේය, ඉර යට මා වීර්යයෙන් කළාවූ, මට පසුව එන මනුෂ්‍යයාට මා විසින් තබායන්ට ඕනෑවූ මාගේ මුළු වැඩේට අප්‍රියවීමි.
19. ඔහු ප්‍රඥාවන්තයෙක් වේද අඥානයෙක් වේද කියා දන්නේ කවුද? එහෙත් ඉර යට මා වීර්යයෙන්ද ප්‍රඥාවෙන්ද කළාවූ මාගේ මුළු වැඩය කෙරෙහි ඔහු බලය පවත්වා ඇත. මේකත් නිෂ්ඵලකමක්ය.
20. එබැවින් මා ඉර යට වීර්යයෙන් කළාවූ මාගේ මුළු වැඩය ගැන මාගේ සිත කලකිරෙන්ට හැරියෙමි.
21. මක්නිසාද ප්‍රඥාවෙන්ද දැනගැන්මෙන්ද සමර්ථකමින්ද වැඩක් කළාවූ මනුෂ්‍යයෙක් ඇත; එහෙත් ඒ ගැන වෙහෙස නූණාවූ මිනිසෙකුට කොටසක් කොට ඔහු ඒක තබා යන්ට ඕනෑය. මේකත් නිෂ්ඵලකමක්ව මහත් නපුරක්ව තිබේ.
22. මක්නිසාද මනුෂ්‍යයා ඉර යට වෙහෙස ගෙන කරන්නාවූ තමාගේ මුළු වැඩෙනුත් තමාගේ සිතේ වෑයමෙනුත් ඔහුට ලැබෙන්නේ කුමක්ද?
23. ඔහුගේ හැම දවස් ශෝකයම වේ, ඔහුගේ වෙහෙසීමද දුකක්ය; එසේය, රාත්‍රියේ පවා ඔහුගේ සිතට නිවාඩු නොලැබෙයි. මේකත් නිෂ්ඵලකමක්ය.
24. කා බී තමාගේ වැඩෙන් සැපය භුක්තිවිඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩදෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත. මේකත් දෙවියන්වහන්සේගේ අතින් පැමිණෙන බව මම දුටිමි.
25. මක්නිසාද උන්වහන්සේගෙන් වෙන්ව අනුභවකරන්ටත් සැප භුක්තිවිඳින්ටත් කාට පුළුවන්ද?
26. දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියත් දෙනසේක. නුමුත් පව්කාරයාට, දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින අයට දෙන පිණිස, [වස්තු] රැස්කර තැබීමේ වෙහෙසය දෙනසේක. මේකත් නිෂ්ඵලකමක්ව, හිස්වූ උත්සාහයක්ව තිබේ.

ගීතාවලිය 102:1-11
1. තද විපතින් ක්ලාන්ත භාවයට පත්ව තමාගේ විලාපය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වගුරුවන තැනැත්තාගේ යාච්ඤාවකි. ස්වාමිනි, මාගේ යාච්ඤාව ඇසුව මැනව, මාගේ මොරගැසීම ඔබ වෙතට පැමිණේවා.
2. මට විපත්ති පැමිණි දවසේදී ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. මා දෙසට ඔබගේ කන යොමුකළ මැනව; මා අඬගසන දවසේ ඉක්මනින් මට උත්තරදුන මැනව.
3. මක්නිසාද මාගේ දවස් දුම් මෙන් ගෙවීයයි, මාගේ ඇට ගිනිපෙනෙල්ලක් මෙන් දැවෙයි.
4. මාගේ සිත තණකොළ මෙන් තැළී වියළී තිබේ; මක්නිසාද ආහාර ගැනීම මට මතක නැතිවෙයි.
5. මාගේ සුසුම්ලීමේ ශබ්දය නිසා මාගේ ඇට මසට ඇලෙයි.
6. මම වනයේ කරවැල්කොකෙකු සමානවෙමි; පාළු තැන්හි වසන බකමූණෙකු මෙන් වෙමි.
7. මම නිදා නොගෙන වහල පිට තනිව සිටින ගේකුරුල්ලෙකු සමානවෙමි.
8. මාගේ සතුරෝ දවස මුළුල්ලේ මට නින්දාකෙරෙති; මට ක්‍රෝධවන්නෝ මා මතක්කොට ශාපකරති.
9. ඔබගේ කෝපය හා උදහස නිසා ආහාර මෙන් අළු අනුභවකෙළෙමි,
10. මාගේ බිම වැලපීමෙන් මිශ්‍රකෙළෙමි. මක්නිසාද ඔබ මා ඔසවා පහතට හෙළූසේක.
11. මාගේ දවස් බැසයන සෙවණැල්ලක් මෙන්ය; මම තණකොළ මෙන් වියළී සිටිමි.

හිතෝපදේශ 24:1-2
1. දුෂ්ට මනුෂ්‍යයන්ට ඊර්ෂ්‍යා නොකරන්න, ඔවුන් සමඟ සිටීමට ආශා නොවන්න.
2. මක්නිසාද ඔවුන්ගේ සිත නාස්තිකරන්ට කල්පනාකරයි, ඔවුන්ගේ තොල්ද අනතුරුකිරීම ගැන කථාකරයි.

1 කොරින්ති 7:20-40
20. යම් පදවියක එක් එක්කෙනා කැඳවනු ලැබුයේද එහිම ඔහු පවතීවා.
21. ඔබ වහලෙක්ව සිටියදී කැඳවනු ලැබුයෙහිද? ඒ ගැන නොසලකන්න. නුමුත් නිදහස්වන්ට පුළුවන් නම් ඒ ප්‍රයෝජනය ලබාගන්න.
22. මක්නිසාද වහලෙක්ව සිටියදී ස්වාමීන්වහන්සේ තුළ කැඳවනු ලැබූ තැනැත්තේ ස්වාමීන්වහන්සේගේ නිර්දාසයාය. එසේම නිර්දාසව සිටියදී කැඳවනු ලැබූ තැනැත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ වහලෙක්ය.
23. ඔබ සැම මිලේට ගන්නාලද්දහුය; මනුෂ්‍යයන්ගේ වහල්ලු නොවෙන්න.
24. සහෝදරයෙනි, යම් පදවියක එක් එක්කෙනා කැඳවනලද්දේද එහිම ඔහු දෙවියන්වහන්සේ වෙත පවතීවා.
25. කන්‍යාවන් ගැන ස්වාමීන්වහන්සේගෙන් ආඥාවක් මට නැත. නුමුත් විශ්වාසව සිටින්ට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලද්දෙකු මෙන් මාගේ කල්පනාව කියමි.
26. මේ කාලයේ තිබෙන විපත්තිය නිසා මේක යහපතැයි සිතමි, එනම්, මනුෂ්‍යයෙකුට ඔහු සිටින ලෙසම සිටීම හොඳය.
27. ඔබ භාර්යාවකට බැඳී සිටින්නෙහිද? නිදහස්වෙන්ට නොසොයන්න. භාර්යාවකුගෙන් නිදහස්ව සිටිනෙහිද? භාර්යාවක් නොසොයන්න.
28. එහෙත් විවාහවුවත් එයින් ඔබට පාපයක් නැත; කන්‍යාවක්ද විවාහවුවත් එයින් ඈට පාපයක් නැත. එසේවී නුමුත් එබන්දන්ට මාංසයෙහි දුක් ඇතිවන්නේය. මම ඔබ සැම එයින් වලක්වන්ට කැමැත්තෙමි.
29. නුමුත් සහෝදරයෙනි, කාලය ලුහුඬුකරනලද්දේය. මෙතැන් පටන් භාර්යාවන් ඇත්තෝ භාර්යාවන් නැත්තන් මෙන්ද;
30. අඬන්නෝ නාඬන්නන් මෙන්ද, ප්‍රීතිවන්නෝ ප්‍රීති නොවන්නන් මෙන්ද, මිලේට ගන්නෝ අයිති නැත්තන් මෙන්ද;
31. මේ ලෝකය භුක්තිවිඳින්නෝ අධිකලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය යුත්තෝයයි කියමි. මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.
32. ඔබ සැමද කරදර නැතුව සිටිනවාට කැමැත්තෙමි. විවාහ නොවූ තැනැත්තේ ස්වාමීන්වහන්සේව සතුටු කරන්නේ කෙසේද කියා ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන සලකන්නේය.
33. විවාහවූ තැනැත්තේ භාර්යාව සතුටු කරන්නේ කෙසේද කියා ලෝකයේ කාරණා ගැන සලකන්නේය.
34. එසේම භාර්යාව හා කන්‍යාව අතරෙහිද වෙනසක් ඇත. විවාහ නොවූ තැනැත්තී ශරීරයෙන්ද ආත්මයෙන්ද ශුද්ධව සිටින පිණිස ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන සලකන්නීය. නුමුත් විවාහවී සිටින තැනැත්තී පුරුෂයා සතුටුකරන්නේ කෙසේද කියා ලෝකයේ කාරණා ගැන සලකන්නීය.
35. මා මෙසේ කියන්නේ ඔබ සැමට මලපතක් තබන පිණිස නොව, සුදුසු දේ සඳහාත්, ඔබ සැම වියවුල් නොවී ස්වාමීන්වහන්සේ කෙරෙහි යෙදීසිටින පිණිසත්, ඔබ සැමගේ ම ප්‍රයෝජනයටය.
36. නුමුත් යමෙක් තමාගේ කන්‍යාව ගැන තමා සුදුසු ලෙස ක්‍රියා නොකරන බව සිතේ නම්, ඈ ඇගේ තරුණ කාලය පසුකොට සිටී නම්, ඕනෑකමක්ම තිබේ නම්, ඔහු කැමති දෙයක් කෙරේවා; ඔහු පව් නොකරයි; ඔව්හු විවාහවෙත්වා.
37. එසේවී නුමුත් ස්ථිර සිතින් යුක්තව සිටින්නාවූද, ඕනෑකමක් නැත්තාවූද, තමාගේම කැමැත්ත ගැන බලය ඇත්තාවූද, තමාගේ කන්‍යාව රක්ෂාකරන්ට තමාගේ සිතින් නියමකරගත්තාවූද තැනැත්තේ යහපතක් කරයි.
38. මෙසේ තමාගේ කන්‍යාව විවාහකරදෙන තැනැත්තේ යහපතක් කරයි; විවාහකර නොදෙන තැනැත්තේ වඩා යහපතක් කරයි.
39. භාර්යාවක් තමාගේ පුරුෂයා ජීවත්ව සිටින තුරු බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මළොත්, ඈ කැමති කෙනෙකු සමඟ විවාහවන්ට නිදහස්ව සිටින්නීය; නුමුත් ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය.
40. නුමුත් ඈ සිටින ලෙසම සිටින්නීනම්, මාගේ විනිශ්චයේ හැටියට ඈ වඩා වාසනාවන්තියක්ය. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ මටත් ඇතිසේකැයි සිතමි.