A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 25

ජෝබ් 41:1-34
1. කිඹුලා බිලිකටුවකින් අදින්ටවත් උගේ දිව ලනුවකින් පහත්කරන්ටවත් ඔබට පුළුවන්ද?
2. උගේ නාසයේ වැල්පටක් දමන්ටවත් උගේ හක්ක උලකින් සිදුරු කරන්ටවත් ඔබට පුළුවන්ද?
3. ඌ ඔබට බොහෝ කන්නලව් කරනවා ඇද්ද? නොහොත් මෘදු වචන ඔබට කියනවා ඇද්ද?
4. ඔබ හැම කලටම ඌ මෙහෙකරුවෙක් කොට ගන්න පිණිස ඌ ඔබ සමඟ ගිවිසුමක් කරනවා ඇද්ද?
5. පක්ෂියෙකු සමඟ මෙන් ඔබ ඌ සමඟ සෙල්ලම්කරනවාද? නොහොත් ඔබේ තරුණියන්ට ඌ බැඳ දෙනවාද?
6. මසුන් අල්ලන්නෝ උගෙන් වෙළඳාම්කර, වෙළඳුන් අතරේ ඌ බෙදන්නෝද?
7. උගේ හමට හෙල්ලවලින්වත් උගේ ඔළුවට මස් හෙල්ලවලින්වත් අනින්ට ඔබට පුළුවන්ද?
8. ඔබේ අත ඌ පිට තබා, සටන සිහිකරන්න, තවත් එසේ නොකරන්න.
9. අන්න, ඌ ගැන බලාපොරොත්තුවීම නිෂ්ඵලය. යමෙක් ඌ දුටු පමණින් වැටෙනවා නොවේද?
10. ඌ අවුස්සන තරමට ධෛර්ය ඇති කෙනෙක් නැත. එසේ වීනම් මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද?
11. පළමුකොට මට යමක් දුන්නේ කවුද? දුන්නානම් ඔහුට ප්‍රතිඵල දෙන්නෙමි. මුළු අහස යට තිබෙන සියල්ල මාගේය.
12. උගේ ගාත්‍රාද බලයේ ශක්තියද නිසි ශරීර ලක්ෂණද ගැන නිශ්ශබ්දව නොසිටින්නෙමි.
13. උගේ පිට වස්ත්‍රය ගළවන්ට කාට පුළුවන්ද? උගේ දත් දෙපේළියට ළංවන්නේ කවුද?
14. උගේ මුහුණේ දොරවල් අරින්ට පුළුවන් කාටද? උගේ දත් අවටින් භීතිය තිබේ.
15. තද මුද්‍රාවකින් වැසුවාක්මෙන්වූ උගේ ශක්තිමත් කොරපොතු උගේ පාරට්ටුවය.
16. ඒවා අස්සට හුළඟ ඇතුල් නොවෙන හැටියට ඒවා එකිනෙකට යාව තිබේ.
17. ඒවා එකිනෙකට ඇලී, වෙන්කරන්ට බැරි ලෙස එකිනෙකට සම්බන්ධව තිබේ.
18. උගේ කිඹිසීම්වලින් එළියක් බබළයි; උගේ ඇස් අලුයම නමැති ඇසිපිය වැනිය.
19. උගේ කටින් ගිනිදැල් නික්මෙන්නේය, ගිනිපුපුරු පැනනගින්නේය.
20. ලිපේ තිබෙන හැළියකින්ද දැවෙන කටාරමකින්ද මෙන් උගේ නාස්පුටවලින් දුම් නගින්නේය.
21. උගේ හුස්මට අඟුරු පත්තුවෙන්නේය. ගිනිදැලක්ද උගේ කටින් නික්මෙන්නේය.
22. උගේ බෙල්ලෙහි බලය රඳා තිබේ, ඌ ඉදිරියෙහි භීතිය නටන්නේය.
23. උගේ මස්පිඩු එකට ඇලී, නොසෙල්වෙන හැටියට ඌ පිට තදව තිබේ.
24. උගේ සිත ගලක් මෙන් තදය; එසේය, යට ඇඹරුම් ගල මෙන් තදය.
25. ඌ නැගිටින කල බලවන්තයෝ භයපත්වී, අධික භය නිසා උමතුවෙති.
26. කඩුවද හෙල්ලයද කුඩා හෙල්ලයද ඊතලයද ඇතුව ඌට විරුද්ධව පැමින්නත්, ඒවා නිෂ්ඵලවෙයි.
27. යකඩ පිදුරු මෙන්ද පිත්තල දිරාගිය ලී මෙන්ද ඌ ගණන්ගන්නේය.
28. ඊගස කෙරෙන් ඌ පලා නොයන්නේය; පටියෙන් ගසන ගල් ඌට ඉපනැලිමෙන් වේ.
29. පොලු ඉපනැල්ල මෙන් ඌ ගණන්ගන්නේය; කුඩා හෙල්ලය සොලවන විට ඌ සිනාසෙන්නේය.
30. උගේ යටිපැත්ත තියුණු කැබලිති වැනිය. මඩින යන්ත්‍රයක් මෙන් ඌ මඩේ ඇදෙන්නේය.
31. සැළියක වතුර මෙන් ඌ ගැඹුර නටවන්නේය. මුහුද තෛලයක් මෙන් කරන්නේය.
32. ඌ යන කල පස්සෙන් පාර දිලියෙන්නේය; ගැඹුරට පැසුණු හිසකේ ඇතිවූවාක්මෙන් පෙනීයයි.
33. ඌට සමාන එකෙක් භූමිය මතුපිට නැත; භය නොගන්න හැටියට ඌ මවනු ලැබුවේය.
34. ඌ උසස්ව තිබෙන සියල්ල බලන්නේය. ඌ සියලු චණ්ඩ මෘගයන් කෙරෙහි රජ ව සිටින්නේයයි කීසේක.

ජෝබ් 42:1-17
1. එවිට යෝබ් ස්වාමීන්වහන්සේ ට උත්තරදෙමින් කියනුයේ:
2. ඔබවහන්සේට සියල්ලම පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වලක්වන්ට බැරි බවත් දනිමි.
3. දැනගැන්ම නැතිකමෙන් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද? එබැවින් මට නොතේරෙන්නාවූ, මා දැනනොගත්, මට ඉතා පුදුමවූ දේවල් කීවෙමි.
4. අනේ ඇසුව මැනව, එවිට මම කථාකරන්නෙමි; මා ඔබගෙන් අසන කල්හි මට දැන්නුව මැනව.
5. මා ඔබ ගැන කනින් අසා තිබුණේය; නුමුත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි.
6. එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමියි කීවේය.
7. තවද ස්වාමීන්වහන්සේ මේ වචන යෝබ්ට කී පසු ස්වාමීන්වහන්සේ තේමානිය එලීපස්ට කථාකොට: මාගේ සේවකයාවූ යෝබ් මෙන් ඔබත් ඔබේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස ඔබ සැම කෙරෙහි ඇවිළ තිබේ.
8. එබැවින් ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයාවූ යෝබ් ළගට ගොස්, ඔබ සැම වෙනුවට දවන පූජාවක් ඔප්පුකරන්න. මාගේ සේවකයාවූ යෝබ් ඔබ සැම උදෙසා යාච්ඤාකරන්නේය; එවිට ඔබ සැමගේ මෝඩකමේ හැටියට මා විසින් ඔබ සැමට නොකරන පිණිස ඔහු පිළිගන්නෙමි; මක්නිසාද මාගේ සේවකයාවූ යෝබ් වාගේ ඔබ සැම මා ගැන හරි ලෙස කථාකළේ නැතැයි කීසේක.
9. එබැවින් තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ගොස් ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කළෝය. ස්වාමීන්වහන්සේ ද යෝබ් පිළිගත්සේක.
10. තවද යෝබ් තමාගේ මිත්‍රයන් උදෙසා යාච්ඤාකළ විට ස්වාමීන්වහන්සේ ඔහුගේ වහල්කම පහකොට, පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩිකොට ඔහුට දුන්සේක.
11. එවිට ඔහුගේ සියලු සහෝදරයෝද ඔහුගේ සියලු සහෝදරියෝද පළමු ඔහු ඇඳින සිටි සියල්ලෝද ඔහු ළඟට ඇවිත්, ඔහුගේ ගෙදර ඔහු සමඟ කෑම කා, ස්වාමීන්වහන්සේ ඔහුට පැමිණෙවු සියලු විපත්ති ගැන ඔහු සමඟ ශෝකවී, ඔහු සැනසුවෝය. එක් එක්කෙනා කෙසීටා [නම්] මිලයකුත් එක් එක්කෙනා රන් මුදුවකුත් ඔහුට දුන්නේය.
12. මෙසේ ස්වාමීන්වහන්සේ යෝබ්ගේ පටන්ගැන්මට වඩා ඔහුගේ අන්තිමයට ආශීර්වාදකළසේක. බැටළුවන්ද එළුවන්ද දහහතර දහසකුත් ඔටුවන් හදහසකුත් ගොන්බාන් දහසකුත් කොටළුදෙනුන් දහසකුත් ඔහුට සිටියෝය.
13. ඒ ඇර පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් තුන්දෙනෙක්ද ඔහුට සිටියෝය.
14. ඔහු පළමුවෙනි තැනැත්තීට යෙමීමා යන නමද දෙවෙනි තැනැත්තීට කෙශියා යන නමද තුන්වෙනි තැනැත්තීට කෙරෙන්-හප්පූක් යන නමද තැබීය.
15. යෝබ්ගේ දූවරුන් මෙන් රුව ඇති ස්ත්‍රීහු ඒ මුළු දේශයෙහි නොසිටියාහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දුන්නේය.
16. ඉන්පසු යෝබ් එකසිය හතළිස් අවුරුද්දක් ආයු වළඳා, සතරවෙනි පරම්පරාව දක්වා තමාගේ පුත්‍රයන්ද පුත්‍රයන්ගේ පුත්‍රයන්ද දුටුවේය.
17. ඉක්බිති යෝබ් මහලුව වයසින් පූර්ණව මළේය.

ගීතාවලිය 101:5-8
5. යමෙක් ස්වකීය අසල්වාසියා ගැන රහසේ කේලාම්කියයිද ඔහු විනාශකරන්නෙමි. උඩඟු බැල්මක් හා ආඩම්බර සිතක් ඇත්තා නොඉවසන්නෙමි.
6. දේශයේ විශ්වාසකටයුතු අය මා සමඟ වසන පිණිස ඔවුන් කෙරෙහි මාගේ ඇස් යොමා තිබෙන්නේය. නිර්දෝෂ මාර්ගයෙක්හි හැසිරෙන තැනැත්තේම මට මෙහෙකරන්නේය.
7. වංචාකරන කිසිවෙක් මාගේ ගෙයි නොවසන්නේය; බොරුකියන කිසිවෙක් මාගේ ඇස් හමුයෙහි පිහිටුවනු නොලබන්නේය.
8. අයුතුකම් කරන සියල්ලන් ස්වාමීන් ගේ නුවරින් සිඳදමන පිණිස දේශයේ සියලු දුෂ්ටයන් උදයක් පාසා විනාශකරන්නෙමි.

හිතෝපදේශ 23:31-35
31. මුද්‍රිකපානය රතුව පෙනෙන විටත්, පාත්‍රයෙහි දිලිහෙන විටත්, සිනිදුලෙස වැක්කෙරෙන විටත්, ඒ දෙස නොබලන්න.
32. අන්තිමේදී එය සර්පයෙකු මෙන් හපාකා, පොළඟෙකු මෙන් දෂ්ටකරයි.
33. ඔබේ ඇසට අද්භූත දේවල් පෙනෙන්නේය, ඔබේ සිත හිතුවක්කාර දේවල් කථාකරන්නේය.
34. ඔබ මුහුද මැද නිදාගන්නෙකු මෙන්ද කුඹගසක මුදුනේ නිදන කෙනෙකු මෙන්ද වන්නෙහිය.
35. ඔව්හු මට පහරදුන්නෝය, නුමුත් මට රිදුණේ නැත; ඔව්හු මට ගැසුවෝය, නුමුත් ඒක මට දැනුණේ නැත; මට කොයි වේලේ ඇහැ ඇරේද? නැවත එය තවත් සොයන්නෙමියි ඔබ කියන්නෙහිය.

1 කොරින්ති 7:1-19
1. ඉදින් ඔබ සැම විසින් ලියනලද කාරණා ගැනය. ස්ත්‍රියෙක් ස්පර්ශ නොකිරීම මනුෂ්‍යයෙකුට හොඳය.
2. නුමුත් වේශ්‍යාකම් නිසා එක එක පුරුෂයා තම තමාගේම භාර්යාවද එක එක ස්ත්‍රී තම තමාගේ පුරුෂයාද ඇතිව සිටීවා.
3. පුරුෂයා භාර්යාවට යුතු දේ කරදේවා. එසේම භාර්යාවත් පුරුෂයාට කරදේවා.
4. භාර්යාවගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඈට නොව පුරුෂයාටය. එසේම පුරුෂයාගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඔහුට නොව භාර්යාවටය.
5. යාච්ඤාවේ යෙදීසිටීම පිණිස, දෙදෙනාගේ කැමැත්ත ඇතුව, කලකට වෙන්ව සිටිනවා මිස, නැත්නම් වෙන්ව නොසිටින්න. එසේ කළොත් ඔබ සැමගේ කාම ආශාව මැඩපවත්වාගන්ට බැරි නිසා, සාතන් ඔබ සැම පරීක්ෂා නොකරන පිණිස නැවත එක්වෙන්න.
6. නුමුත් මෙය ආඥාවක් කොට නොව අවසරයක් කොට කියමි.
7. එහෙත් සියලු මනුෂ්‍යයෝ මා සිටින ලෙසම සිටිත් නම් කැමැත්තෙමි. එසේවී නුමුත් එක්කෙනෙකුට මේ ප්‍රකාරයටද වෙන කෙනෙකුට ඒ ප්‍රකාරයටද දෙවියන්වහන්සේගෙන් එකිනෙකාට නියමවූ දීමනාවක් ඇත්තේය.
8. නුමුත් අවිවාහකයන්ටද වැන්දඹුවන්ටද මා කියන්නේ ඔවුන් මා ලෙසම පැවතී සිටියොත් ඔවුන්ට හොඳය කියාය.
9. නුමුත් ඔවුන්ට කාම ආශාවෙන් වැලකී සිටින්ට බැරි නම් විවාහ වෙත්වා. මක්නිසාද කාමදාහයට වඩා විවාහය හොඳය.
10. නුමුත් විවාහවූවන්ට මම ආඥාකරමි, එහෙත් ආඥාකරන්නේ මා නොව ස්වාමීන්වහන්සේය. එනම්, භාර්යාව පුරුෂයාගෙන් අහක්ව නොයේවා,
11. (නුමුත් ඈ අහක්ව ගියොත් විවාහ නොවී සිටීවා, නැතහොත් ඇගේ පුරුෂයා හා සමඟිවේවා); පුරුෂයාද තමාගේ භාර්යාව අත් නොහරීවා.
12. නුමුත් සෙස්සන්ට ස්වාමීන්වහන්සේ නොව මම කියමි. යම් සහෝදරයෙකුට නොඇදහිලිකාර භාර්යාවක් ඇත්නම්, ඈ ඔහු සමඟ වාසයකරන්ට කැමති නම්, ඔහු ඈ අත් නොහරීවා.
13. යම් ස්ත්‍රියෙකුට නොඇදහිලිකාර පුරුෂයෙක් ඇත්නම්, ඔහු ඈ සමඟ වාසයකරන්ට කැමතිනම්, ඈ ඔහු අත් නොහරීවා.
14. මක්නිසාද නොඇදහිලිකාර පුරුෂයා භාර්යාව නිසා ශුද්ධකරනු ලැබ සිටියි, නොඇදහිලිකාර භාර්යාවද සහෝදරයා නිසා ශුද්ධකරනු ලැබ සිටියි. නැතහොත් ඔබ සැමගේ දරුවෝ අපවිත්‍රය.
15. නුමුත් දැන් ඔව්හු ශුද්ධය, නුමුත් නොඇදහිලිකාර පක්ෂය අහක්ව යේනම් අහක්ව යේවා. මෙබඳු කාරණාවලදී සහෝදරයා හෝ සහෝදරී හෝ බැඳී නැත. නුමුත් දෙවියන්වහන්සේ විසින් අප කැඳවා තිබෙන්නේ සමාදානයෙහි පැවතීමටය.
16. මක්නිසාද, භාර්යාව, ඔබ ඔබේ පුරුෂයා ගළවන්නීදෝ ඔබ දන්නේ කොහොමද? නොහොත් පුරුෂය, ඔබ ඔබේ භාර්යාව ගළවන්නේදෝ ඔබ දන්නේ කොහොමද?
17. නුමුත් ස්වාමීන්වහන්සේ එක් එක්කෙනාට බෙදාදුන් ප්‍රකාරයටද එක් එක්කෙනාව දෙවියන්වහන්සේ කැඳෙවු ප්‍රකාරයටද හැසිරේවා. සියලු සභාවලදී මෙසේ නියමකරමි.
18. යමෙක් චර්මඡේදිතව කැඳවනලද්දේද? ඔහු අචර්මඡේදිත නොවේවා. යමෙක් අචර්මඡේද්‍යයේදී කැඳවනලද්දේද? ඔහු චර්මඡේදිත නොවේවා.
19. දෙවියන්වහන්සේගේ ආඥා පැවැත්වීම මිස චර්මඡේද්‍යය කිසිත් නැත, අචර්මඡේද්‍යයද කිසිත් නැත.