A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 23

ජෝබ් 37:1-24
1. එසේය, ඊට මාගේ සිත වෙවුලා ඒකේ ස්ථානයෙන් ඉවත්වෙයි.
2. උන්වහන්සේගේ හඬේ ගර්ජනාවත් උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන ගෙරවීමත් හොඳට අසන්න.
3. උන්වහන්සේ ඒක මුළු අහස යටද තමන්ගේ විදුලිය පොළොවේ කෙළවර දක්වාද යවනසේක.
4. ඊට පස්සෙන් ශබ්දයක් ගොරවාගන යන්නේය; උන්වහන්සේ තමන් මහන්තත්වයේ හඬින් ගර්ජනාකරනසේක. උන්වහන්සේගේ හඬ ඇසෙන විට උන්වහන්සේ ඒවා ප්‍රමාද කරන්නෙත් නැත.
5. දෙවියන්වහන්සේ ස්වකීය හඬින් පුදුමලෙස ගර්ජනාකරනසේක. අප නොදන්න මහත් දේ කරනසේක.
6. මක්නිසාද උන්වහන්සේ හිමවලටත් එසේම වර්ෂාවටත් තමන් තද වර්ෂාවලටත් කථාකොට: පොළොවට බසිව්යයි කියනසේක.
7. උන්වහන්සේගේ කර්මාන්තය වන සියලු මනුෂ්‍යයන් ඒක දැනගන්නා පිණිස උන්වහන්සේ හැම මිනිසුන්ගේ අත් මුද්‍රාකර තබනසේක.
8. එකල මෘගයොත් ගුහාවලට ඇතුල්වී, උන්ගේ බෙනවල නවතින්නෝය.
9. දකුණු නිවාසයෙන් සුළිසුළඟද උතුරෙන් ශීතලයද පැමිණෙන්නේය.
10. දෙවියන්වහන්සේගේ හුස්මෙන් වතුර මිදෙන්නේය. පළල් ජලධාරා අවහිරවන්නේය.
11. එසේය, උන්වහන්සේ දියෙන් වලා පටලය බරකරනසේක; ස්වකීය විදුලි-වලාකුළ විහිදුවනසේක.
12. දඬුවමක් වශයෙන් හෝ තමන්ගේ පොළොව උදෙසා හෝ කරුණාවක් වශයෙන් හෝ උන්වහන්සේ ඒවා පමුණුවන විට,
13. උන්වහන්සේ ඒවාට අණකරන සියල්ලම මිනිස් වාසයවූ ලෝකය මතුපිට එයින් සිද්ධවෙන පිණිස, ඒවා උන්වහන්සේගේ නියමය ප්‍රකාර හැම දිශාවලට හැරී යන්නෝය.
14. එම්බා, යෝබ්, මීට ඇහුම්කන්දීගන සිටින්න. නිශ්චලව සිට දෙවියන්වහන්සේගේ පුදුම ක්‍රියා කල්පනාකරන්න.
15. දෙවියන්වහන්සේ ඒවාට අණදී, තමන් වලාකුළේ විදුලිය බැබළෙන්ට සලස්වන්නේ කොහොමද කියා ඔබ දන්නෙහිද?
16. දැනගැන්මෙන් සම්පූර්ණව සිටින තැනන්වහන්සේගේ පුදුම ක්‍රියා එනම්, වලාපටල එල්ලී තිබෙන ආකාරය ඔබ දන්නවාද?
17. දකුණු සුළඟින් පොළොව නිශ්චලවූ කල ඔබේ ඇඳුම් උණුහුම්වෙන්නේ කෙසේදැයි දන්නවාද?
18. වාත්තු කැඩපතක් මෙන් සවි ඇති අහස උන්වහන්සේ වාගේ අතුරන්ට ඔබට පුළුවන්ද?
19. අප විසින් උන්වහන්සේට කිය යුතුදේ ඔබ අපට දන්වන්න. අන්ධකාරය නිසා අපේ කථාව පිළියෙළකරන්ට අපට බැරිය.
20. මා කථාකරන්ට කැමති බව උන්වහන්සේට දන්වන්ටද? නොහොත් මනුෂ්‍යයෙක් නාස්ති කරනු ලබන්ට ආශාවිය යුතුද?
21. ඉතින් හුළඟ ගසා අහස පැහැදුණාම, එහි දීප්තිමත් එළිය දරන්ට මනුෂ්‍යයන්ට බැරිය.
22. උතුරු දිගින් රන්වන් අලංකාරය පැමිණෙන්නේය. දෙවියන්වහන්සේ වෙත භයානක මහිමය ඇත්තේය.
23. සර්වපරාක්‍රමයාණන්වහන්සේ නම් අපට සොයා දැනගන්ට බැරි කෙනෙක්ය; උන්වහන්සේ පරාක්‍රමයෙන්ද යුක්තිය හා සම්පූර්ණ ධර්මිෂ්ඨ කමෙන්ද උතුම්ව සිටිනසේක, උන්වහන්සේ පීඩා නොකරනසේක.
24. එබැවින් මනුෂ්‍යයෝ උන්වහන්සේට භයවෙති. උන්වහන්සේ ප්‍රඥා සිත් ඇත්තන් නොසලකනසේකැයි කීවේය.

ජෝබ් 38:1-41
1. (තමන්වහන්සේගේ බලය හා ප්‍රඥාව ස්වකීය මැවිලිවලින් දැක්වීම.) එවිට ස්වාමීන්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තරදෙමින් මෙසේ කීසේක:
2. අනුවණ වචනවලින් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද?
3. ඉතින් පුරුෂයෙකු මෙන් ඔබේ ඉඟටිය බැඳගෙන, මා ඔබෙන් අසන විට මට කියන්න.
4. මා පොළොව පිහිටෙවු කල ඔබ කොතැන සිටියෙහිද? ඔබ දන්නෙහිනම් කියන්න.
5. ඒකේ මිමි නියමකළේ කවුද? ඔබ දන්නෙහිද? නොහොත් ඊපිට ලනුව ඇද්දේ කවුද?
6. ඒකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද? පහන් තාරකා එක්ව ගීතිකාකරමින්,
7. දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ඝෝෂා පවත්වද්දී, ඒකේ කොනේ ගල තැබුවේ කවුද?
8. මුහුද බිහිවී ගැබින් නික්ම ආ විට, ඒක දොරවලින් වසා තැබුවෙත් කවුද?
9. මා විසින් වලාකුල් ඒකේ වස්ත්‍රයද ඝනාන්ධකාරය ඊට වෙළන පටියද කොට තබා,
10. ඊට මාගේ මායිම නියමකර, අගුල් සහ දොරවල්ද තබා:
11. මෙතැන් දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය; ඔබේ උඩඟු රැළ පතර මෙහි නවතින්නේයයි කීවෙමි.
12. එළිය පොළොවේ කෙළවරට පැමිණීමෙන් දුෂ්ටයන් එතැනින් හෙළාදමනු ලබන හැටියට,
13. ඔබේ සෑම දවස්වල ඔබ උදයට අණකොට අලුයමට ඒකේ ස්ථානය දැන්නෙවුවෙහිද?
14. එය මුද්‍රා තබනලද මැටි මෙන් සියල්ල වෙනස්වී, වස්ත්‍රයකින් පැළදී තිබෙන්නාක්මෙන් පෙනෙන්නේය.
15. එවිට දුෂ්ටයන්ගේ එළිය ඔවුන්ගෙන් පහවන්නේය, එසෙවූ හස්තයද බිඳදමනු ලබන්නේය.
16. ඔබ මුහුදේ උල්පත් ළඟට පැමිණියෙහිද? නොහොත් ගැඹුරේ රහස් තැන්වල ඇවිද්දෙහිද?
17. මරහුගේ දොරටු ඔබට ප්‍රකාශවීද? නොහොත් මරණ සෙවණේ දොරටු ඔබ දුටුවෙහිද?
18. ඔබ පොළොවේ පළල කල්පනාකර බැලුවෙහිද? ඒ සියල්ල දන්නෙහිනම් කියන්න.
19. ඔබ එළිය ඒකේ මායිමට ගෙනයන පිණිසත්, ඒකේ නිවාසයට යන මාවත් ඔබ විසින් තේරුම්ගන්නා පිණිසත්.
20. එය වාසයකරන තැනට යන මාර්ගය කොහේද? අන්ධකාරයේ ස්ථානයත් කොතැනද?
21. ඔබ එවකට ඉපිද සිටිය බැවින්ද ඔබේ දවස් ගණනත් බොහෝ බැවින්ද නිසැකව ඔබ දන්නෙහිය!
22. කැලඹීමේ කාලයටද යුද්ධ හා සටනේ දවසටද මා විසින් ඉතුරුකර තබා තිබෙන
23. හිම ගබඩා ළඟට ඔබ පැමින්නෙහිද? නොහොත් ගල්වැසි ගබඩා දුටුවෙහිද?
24. එළිය විහිදෙන්නෙත් නැගෙනහිර සුළඟ පොළොව පිට පැතිරෙන්නෙත් මොන මාර්ගයෙන්ද?
25. මනුෂ්‍යයෙකු නැති දේශයකටත් කිසි මනුෂ්‍යයෙකු නැති කාන්තාරයටත් වැසි වස්වා,
26. වනයද පාළු තැන්ද සනහා, තෘණ වැවෙන්ට සැලැස්වීමට,
27. වර්ෂාවට පාරවල්ද අකුණුවල විදුලියට මාර්ගයක්ද විවරකළේ කවුද?
28. වර්ෂාවට පියෙක් ඇද්ද? පිනි බින්දු ඉපදෙවුවේ කවුද?
29. හිමකැට කාගේ ගැබෙන් නික්මුණාද? අහසේ සිනිදු හිම ජනිතකළේ කවුද?
30. ගලක් ඇතුළෙහි මෙන් වතුර සැඟවී තිබේ, ගැඹුරේ මතුපිටද මිදී තිබේ.
31. හත්දින්නේ තරුවැළ බඳින්ට ඔබට පුළුවන්ද? නොහොත් මුවසිරසේ බැඳුම් මුදන්ට පුළුවන්ද?
32. මස්සරොත් ඒවායේ නියම කාලයට නික්මවන්ට ඔබට පුළුවන්ද? පිරිවර සහිත මහ වලසා ගෙනයන්ට ඔබට පුළුවන්ද?
33. ඔබ අහසේ නියෝග දන්නවාද? නොහොත් ඒකේ ආණ්ඩුබලය පොළොව කෙරෙහි පිහිටුවන්ට ඔබට පුළුවන්ද?
34. වතුර රාශියක් ඔබ පිටට පැමිණෙන හැටියට වලාකුල්වලට ඔබේ හඬ නගන්ට පුළුවන්ද?
35. විද්‍යුල්ලතා නික්මයන ලෙස ඒවා යවන්ට ඔබට පුළුවන්ද? ඒවා: අපි මෙහියයි ඔබට කියනවා ඇද්ද?
36. අධ්‍යාත්මයෙහි ප්‍රඥාව තැබුවේ කවුද? නොහොත් සිතට නුවණ දුන්නේ කවුද?
37. ධූලි කැටි ගැසෙන කල්හිද, පිඩලි එකට ඇලෙන කල්හිද,
38. ප්‍රඥාවෙන් වලාකුල් ගනින්ට කාට පුළුවන්ද? අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන්ද?
39. ඔබ සිංහධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහිද? තරුණ සිංහයන් උන්ගේ ගුහාවල ලැග,
40. කැලෑවේ සැඟවී බලා සිටින විට, ඔබ උන්ගේ ආශාව සංසිඳවනවාද?
41. කපුටුවාගේ පැටවුන් කෑම නැතුව ඔබ මොබ ගොස් දෙවියන්වහන්සේට කෑගසන විට ඌට ගොදුරු සපයාදෙන්නේ කවුද?

ගීතාවලිය 100:1-5
1. ස්තුතිකිරීමේ ගීතයකි. පොළොවේ සියල්ලෙනි, ස්වාමීන් ට ප්‍රීතිනාද පවත්වව්.
2. ස්වාමීන් ට ප්‍රීතියෙන් මෙහෙකරව්. ගීතිකාකරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණවේ.
3. ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය.
4. ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණවේ. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්.
5. මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය; උන්වහන්සේගේ කරුණාව සදාකාලේටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.

හිතෝපදේශ 23:26-28
26. මාගේ පුත්‍රය, ඔබේ සිත මට දෙන්න, ඔබේ ඇස් මාගේ මාර්ග ගැන ප්‍රීතිවේවා.
27. මක්නිසාද වේශ්‍යාවක් වනාහි ගැඹුරු අගළක්ය; අන් ස්ත්‍රියද පටු වළක්ය.
28. එසේය, ඈ කොල්ලකාරයෙකු මෙන් රැකසිට, මනුෂ්‍යයන් අතරේ අවිශ්වාසයන් වැඩිකරන්නීය.

1 කොරින්ති 5:1-13
1. මිත්‍යාදෘෂ්ටීන් අතරෙහිවත් නැති ආකාර වේශ්‍යාකමක් ඔබ සැම අතරෙහි තිබෙන බව ඇත්තටම ආරංචිය; එනම්, ඔබ සැමගෙන් කෙනෙක් තමාගේ පියාගේ භාර්යාව තබාගෙන ඉන්න බවය.
2. මේ ක්‍රියාව කළ තැනැත්තා ඔබ සැමගෙන් පහකරනු ලබන පිණිස ශෝකවෙනවා වෙනුවට, ඔබ සැම උඩඟුව සිටිවුය.
3. සැබවින් මම ශරීරයෙන් දුරුව සිටිම් නුමුත් ආත්මයෙන් ළංව සිට, ළඟ සිටියාක්මෙන්ම මේ දේ මෙසේ කළ තැනැත්තා විනිශ්චය කෙළෙමි.
4. එනම්, අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේගේ නාමයෙන්, ඔබ සැම සහ මාගේ ආත්මය අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේගේ බලය ඇතුව රැස්වුණාම,
5. ආත්මය ස්වාමීවූ යේසුස්වහන්සේගේ දවසේදී ගැළවෙන පිණිස මාංසය නාස්තිවීම පිණිස මෙබඳු තැනැත්තා සාතන්ට භාරදීමටය.
6. ඔබ සැමගේ පාරට්ටුකරගැනීම හොඳ නැත. මුහුන් ටිකකින් මුළු පිඩ පිපෙන බව නොදනිවුද?
7. මුහුන් නැත්තාවූ ඔබ සැම අලුත් පිඩක් වන පිණිස, පරණ මුහුන් පහකරන්න. කුමක්හෙයින්ද, අපගේ පාස්කුව, එනම් ක්‍රිස්තුස්වහන්සේ, යාගකරනලද්දේය.
8. එබැවින් පරණ මුහුන්වලින්වත් ඊර්ෂ්‍යාවද දුෂ්ටකමද නැමති මුහුන්වලින්වත් නොව අවංකකමද සැබෑකමද නැමති මුහුන් නුමුසු රොටියෙන් මංගල්‍යය පවත්වමු.
9. වේශ්‍යාකම්කරන්නන් සමඟ සමාගම් නොපවත්වන ලෙස මාගේ ලියමනෙහි ඔබ සැමට ලියුවෙමි;
10. නුමුත් මේ ලෝකයෙහි වේශ්‍යාකම්කරන්නන්වත් ලෝභයින් හා කොල්ලකාරයන්වත් රූප වඳින්නන්වත් සමඟ කොහෙත්ම සමාගම් නොපවත්වන හැටියට නොවේය; එසේ කරන්ට නම් ඔබ සැම ලෝකයෙන් අහක්ව යන්ට ඕනෑය.
11. නුමුත් සහෝදරයෙකැයි කියනලද කෙනෙක් වේශ්‍යාකම්කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූපවඳින්නෙක්වත් නින්දාකරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම්, එබන්දෙකු සමඟ සමාගම් නොපවත්වන්ටද කෑමවත් නොකන්ටද දැන් ඔබ සැමට ලියමි.
12. මක්නිසාද පිටත සිටින්නවුන් විනිශ්චයකරන්ට මට ඇති කම මොකද? ඔබ සැම වනාහි ඇතුළත සිටින්නන් විනිශ්චයකරනවා නොවේද?
13. එහෙත් පිටත සිටින්නන් දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක. ඒ දුෂ්ටයා ඔබ සැම අතරෙන් පහකරන්න.