A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 21

ජෝබ් 33:1-33
1. ඒ කොයිහැටි නුමුත්, යෝබ්, මාගේ කථාව අසා, මාගේ සියලු වචනවලට ඇහුම්කන් දෙන්න.
2. මෙන්න, මාගේ මුඛය ඇරියෙමි, මාගේ මුඛයෙහි මාගේ දිව කථාකෙළේය.
3. මාගේ කීම් මාගේ සිතේ අවංකකමින් වන්නේය; මාගේ තොල්ද තමුන් දන්නා දේ පිරිසිදු ලෙස කථාකරන්නේය.
4. දෙවියන්වහන්සේගේ ආත්මය මා සෑදුවේය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්ම මා ජීවත්කරන්නේය.
5. ඔබට පුළුවන්නම් මට උත්තරදෙන්න; මට විරුද්ධව සැරසී නැගිට සිටින්න.
6. දෙවියන්වහන්සේ වෙත ඔබ යම්සේද මමත් එසේ වෙමි. මමත් මැටියෙන් සාදනලද්දෙමි.
7. මාගේ භීතිය ඔබ ත්‍රස්ත නොකරන්නේය; මාගේ බලගතුකම ඔබට බරක් නොවන්නේය.
8. සැබවින් මා අසාගන සිටියදී, ඔබේ වචනවල ශබ්දය මට ඇසෙන ලෙස ඔබ කථාකොට:
9. මම පවිත්‍රව වරදක් නැතුව සිටිමි; මම නිදොස්ව අයුතුකමක් නැතුව සිටිමි.
10. උන්වහන්සේ මා ගැන විරුද්ධ කාරණා සොයාගන, සතුරෙකු කොට මා ගණන්ගන්නාසේක;
11. මාගේ පාද දඬුගසනසේක; මාගේ සියලු මාවත්වල මුරකරනසේකැයි කීවෙහිය.
12. මේ ගැන ඔබ ධර්මිෂ්ඨලෙස කථානොකෙළෙහිය, මම ඔබට උත්තර දෙන්නෙමි; මක්නිසාද දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට වඩා උතුම්ය.
13. උන්වහන්සේට විරුද්ධව ඔබ විවාද කරන්නේ මක්නිසාද? උන්වහන්සේ වනාහි තමන්ගේ කිසි කාරණයක් ගැන උත්තර නොදෙනසේක.
14. මක්නිසාද මනුෂ්‍යයා නොසලකන නුමුත් දෙවියන්වහන්සේ එක වරදක්, එසේය, දෙවරක්,
15. ස්වප්නයකින් හෝ, රාත්‍රියේ දර්ශනයකින් හෝ මනුෂ්‍යයන්ට බර නින්ද පැමිණෙන විට, යහන පිට නින්දේදී කථාකරනසේක.
16. එකල මනුෂ්‍යයා ඔහුගේ අදහසින් හරවන පිණිසද, උඩඟුකම මනුෂ්‍යයාගෙන් පහකර,
17. ඔහුගේ ප්‍රාණය මිනීවළෙනුත් ඔහුගේ ජීවිතය කඩුවේ විනාශයෙනුත් ආරක්ෂාකරන පිණිසද,
18. උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ කන් අරවා, ඔවුන්ට දුන් දැනමුතුකම් මුද්‍රාකරනසේක.
19. ඔහු තමාගේ යහනේදී වේදනාවෙන්ද තමාගේ ඇටවල නිරන්තර පොරයකින්ද දඬුවම් ලබන්නේය.
20. ඔහුගේ ප්‍රාණය කෑමටද ඔහුගේ ආත්මය රස භෝජනයටද අප්‍රියකරන්නේය.
21. නොපෙනෙන ලෙස ඔහුගේ මාංසය ක්ෂයවී, නොපෙනුණාවූ ඔහුගේ ඇට පෑදෙන්නේය.
22. එසේය, ඔහුගේ ප්‍රාණය මිනීවළටත් ඔහුගේ ජීවිතය විනාශකාරයන්ටත් ළංවන්නේය.
23. මනුෂ්‍යයාට ඔහුගේ යුතුකම දක්වන පිණිස දහසක් අතරෙන් එක්කෙනෙක් වන දූතයෙකු එනම් තේරුම්කරදෙන කෙනෙකු ඔහුට ඇත්නම්,
24. උන්වහන්සේ ඔහුට කරුණාකොට: මිනීවළට නොබසින ලෙස ඔහු මුදන්න, මිදීමේ මිලයක් මට සම්බවීයයි කියනවා ඇත.
25. එවිට දරුවෙකුගේ මාංසයට වඩා ඔහුගේ මාංසය අලුත්වී, ඔහු තමාගේ යෞවන දවස්වලට නැවත පැමිණෙනවා ඇත.
26. ඔහු දෙවියන්වහන්සේට යාච්ඤා කරනවා ඇත, උන්වහන්සේ ඔහු පිළිගෙන, උන්වහන්සේගේ මුහුණ ප්‍රීතියෙන් දකින්ට සලස්වා, නැවත මනුෂ්‍යයාට ඔහුගේ ධර්මිෂ්ඨකම පමුණුවනවා ඇත.
27. ඔහු මනුෂ්‍යයන් ඉදිරියේ ගීතිකා කරමින්: මම පව්කොට යුක්තිය පෙරළුවෙමි, එහෙත් මට කිසි ප්‍රතිඵලයක් නොවීය.
28. මිනීවළට යාමෙන් උන්වහන්සේ මාගේ ප්‍රාණය මිදූසේක, මාගේ ජීවිතයද එළිය දකින්නේයයි කියනවා ඇත.
29. මනුෂ්‍යයාට ජීවත්වීමේ එළිය ලැබීමට ඔහුගේ ප්‍රාණය මිනීවළෙන් නැවත ගෙනෙන පිණිස,
30. දෙවියන්වහන්සේ දෙවරක්, එසේය, තුන්වරක්, මේ සියල්ල ඔහුට කරනසේක.
31. එම්බා, යෝබ්, සැලකිල්ලෙන් ඇහුම්කන්දෙන්න; නිශ්ශබ්දව සිටින්න, මම කථාකරන්නෙමි.
32. කියන්ට යමක් ඇත්නම් මට උත්තරදී, කථාකරන්න, මක්නිසාද ඔබ ධර්මිෂ්ඨ බව පෙන්වන්ට කැමැත්තෙමි.
33. නැත්නම් මට ඇහුම්කන්දී, නිශ්ශබ්දව සිටින්න, මම ඔබට ප්‍රඥාව උගන්වන්නෙමියි කීවේය.

ජෝබ් 34:1-37
1. ඇරත් එලීහු උත්තර දෙමින් කියනුයේ:
2. ප්‍රඥාවන්තයෙනි, මාගේ වචන අසන්න; දැනගැන්ම ඇත්තෙනි, මට ඇහුම්කන්දෙන්න.
3. මක්නිසාද උඩුතල්ල කෑම රස බලන්නාක්මෙන් කනද වචන විමසන්නේය.
4. අපිම යුක්තිය සෝදිසිකර, යහපත කොයි එකද කියා අප අතරෙහි දැනගනිමු.
5. මක්නිසාද යෝබ් කථාකොට: මම ධර්මිෂ්ඨයෙමි, දෙවියන්වහන්සේ මාගේ යුක්තිය පහකළසේක.
6. යුක්තිය මා කෙරෙහි තිබෙන නුමුත් මම බොරුකාරයෙකැයි ගණන්ගනු ලබමි, මා අත අපරාධයක් නැති නුමුත් මාගේ තුවාලය අසාධ්‍යයයි කීවේය.
7. යෝබ්ට සමාන මනුෂ්‍යයා කවරේද? ඔහු නින්දාව වතුර මෙන් බොන්නේය.
8. අයුතුකම්කරන්නන් හා සමාගම්වී, දුෂ්ට මනුෂ්‍යයන් සමඟ හැසිරෙන්නේය.
9. මක්නිසාද: දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීමෙන් මනුෂ්‍යයෙකුට කිසි ප්‍රයෝජනයක් නැතැයි ඔහු කීය.
10. එබැවින් තේරුම් ඇති මනුෂ්‍යයෙනි, මට ඇහුම්කන්දෙන්න; දෙවියන්වහන්සේගෙන් දුෂ්ටකම් කිරීමද සර්වපරාක්‍රමයාණන්ගෙන් අයුතුකම් කිරීමද දුරුවේවා.
11. මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ ක්‍රියා ලෙස ඔහුට ප්‍රතිඵල දී, ඒ ඒ අයගේ හැසිරීමේ හැටියට ඔහුට සිද්ධවෙන්ට සලස්වනසේක.
12. එසේය, සැබවින්ම දෙවියන්වහන්සේ දුෂ්ටකම් නොකරනසේක, සර්වපරාක්‍රමයාණෝ යුක්තිය නොපෙරළනසේක.
13. උන්වහන්සේට පොළොව භාරදුන්නේ කවුද? නොහොත් සකල ලෝකය පිහිටෙවුවේ කවුද?
14. උන්වහන්සේ තමන් සිත මනුෂ්‍යයා දෙසට යොමුකොට, ඔහුගේ ආත්මයද හුස්මද තමන් වෙතට එකතුකරගත්තොත්,
15. මාංසමයවූ සියල්ලෝ එකවිටම නසින්නෝය, මනුෂ්‍යයා දූවිල්ලට හැරීයන්නේය.
16. ඉතින් ඔබට ඥානය ඇත්නම් මේක අසා, මාගේ වචනවල හඬට ඇහුම්කන් දෙන්න.
17. සැබවින්ම යුක්තියට වෛරවෙන කෙනෙකුට ආණ්ඩුකරන්ට පුළුවන්ද? ධර්මිෂ්ඨවූ බලවත්වූ තැනන්වහන්සේ පිට ඔබ වරද තබන්නෙහිද?
18. රජෙකුට: නපුරාය කියාවත් උත්තමයන්ට: දුෂ්ටයෝය කියාවත් කියන්ට යුතුද?
19. එසේනම් අධිපතීන්ගේ තරාතිරම් නොබලන්නාවූ, දිළින්දාට වැඩියෙන් ධනවතාට කරුණාව නොදක්වන්නාවූ තැනන්වහන්සේට එසේ කියන්නේ කොහොමද? මක්නිසාද ඔවුන් සියල්ලෝම උන්වහන්සේගේ අත්වල කර්මාන්තය.
20. ඇසිල්ලකින්, මධ්‍යම රාත්‍රියෙහි පවා, ඔව්හු නසින්නෝය; සෙනඟ කලඹනු ලැබ පහව යන්නෝය, බලවන්තයෝද අතක් නැතුව පහකරනු ලබන්නෝය.
21. මක්නිසාද උන්වහන්සේගේ ඇස් මනුෂ්‍යයාගේ මාර්ග කෙරෙහිය, ඔහුගේ සියලු යාම් ඊම් උන්වහන්සේ දක්නාසේක.
22. අයුතුකම්කරන්නන්ට සැඟවී ඉන්ට පුළුවන්වූ අන්ධකාරයක්වත් මරණ සෙවණක්වත් නැත.
23. මක්නිසාද මනුෂ්‍යයෙක් දෙවියන් වහන්සේ වෙතට විනිශ්චයට පමුණුවන පිණිස, ඔහු ගැන වැඩි කල් කල්පනාකරන්ට උන්වහන්සේට ඕනෑ නැත.
24. විභාගයක් නැතුව උන්වහන්සේ බලවතුන් පොඩිකරදමා, ඔවුන් වෙනුවට වෙන තැනැත්තන් සිටුවනසේක.
25. එබැවින් උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියා දැන, ඔවුන් සුන්වන ලෙස රාත්‍රියේදී ඔවුන් පෙරළාදමනසේක.
26. ඔවුන් උන්වහන්සේ අනුවයාමෙන් අහකට හැරී, උන්වහන්සේගේ සියලුම මාර්ග නොසලකා හැර,
27. දුප්පතාගේ මොරගැසීම උන්වහන්සේ වෙතට පැමිණෙන්ට සැලැස්වූ බැවින්ද, අසරණයන්ගේ මොරගැසීම උන්වහන්සේට ඇසුණු බැවින්ද,
28. මනුෂ්‍යයන්ට පෙනෙන ස්ථානයේදී උන්වහන්සේ දුෂ්ටයන් හැටියට ඔවුන්ට පහරදෙනසේක.
29. උන්වහන්සේ ශාන්තිය දෙන විට වරද තබන්නේ කවුද? උන්වහන්සේ තමන් මුහුණ සඟවන විට එය දකින්නේ කවුද?
30. එසේ අභක්තික මනුෂ්‍යයා රජකම් නොකරන ලෙසද, කිසිවෙකු විසින් සෙනඟ මලපතට අසුකර නොගන්න ලෙසද, ජාතියක් ගැන වේවා, එක මනුෂ්‍යයෙක් ගැන වේවා, එකාකාර සිද්ධ වන්නේය.
31. මක්නිසාද යමෙක් දෙවියන් වහන්සේට කථාකොට: මම දඬුවම වින්දෙමි, තවත් වරද නොකරන්නෙමි.
32. මට නොපෙනෙන දේ මට පෙන්නුව මැනව. මම අපරාධ කෙළෙම්නම් තවත් නොකරන්නෙමියි කීවේද?
33. උන්වහන්සේගේ විපාකය ඔබ එපා කරන්නේ එය ඔබ කැමති ලෙස දිය යුතු නිසාද? මක්නිසාද මා විසින් නොව ඔබම තෝරාගත යුතුය. එබැවින් ඔබ දන්න දේ කියන්න.
34. සිහි ඇති මනුෂ්‍යයෝද මාගේ වචන අසන සියලු නුවණ ඇත්තෝද කථාකොට:
35. යෝබ් දැනගැන්ම නැතුව කථාකරන්නේය, ඔහුට වචන ප්‍රඥා රහිතයයි මට කියන්නෝය.
36. දුෂ්ට මනුෂ්‍යයන් මෙන් යෝබ් උත්තරදෙන බැවින් ඔහු තීන්දුවටම සෝදිසිකරනු ලබන්නේනම් යෙහෙකි.
37. මක්නිසාද ඔහු තමාගේ පාපයට කැරළිකාරකම එකතුකොට, අප අතරේ අත්පිඩිගසා, දෙවියන්වහන්සේට විරුද්ධව තමාගේ වචන වැඩිකෙරේයයි කීවේය.

ගීතාවලිය 98:4-9
4. පොළොවේ සියල්ලෙනි, ස්වාමීන් ට ප්‍රීති නාද පවත්වව්. ශබ්දනගා ප්‍රීතියෙන් ගී කියව්, එසේය ප්‍රශංසා ගී කියව්.
5. ස්වාමීන් ට වීණාවෙන්ද වීණාවෙන් හා ගී නාදයෙන්ද ගායනා කරව්.
6. හොරණෑවලින්ද නළා ශබ්දයෙන්ද රජවූ ස්වාමීන් ඉදිරියේ ප්‍රීතිනාද පවත්වව්.
7. මුහුදද එහි ඇති සියල්ලද ගර්ජනාකෙරෙත්වා; ලෝකයද එහි වැසියෝද ගර්ජනාකෙරෙත්වා.
8. ස්වාමීන් ඉදිරියෙහි ජල ධාරාවෝ අත් පොළසන්දෙත්වා; හෙල්ද එක්ව ප්‍රීතියෙන් ගී කියත්වා;
9. මක්නිසාද උන්වහන්සේ ලෝකය විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ලෝකය ධර්මිෂ්ඨකමින්ද මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින්ද විනිශ්චයකරනසේක.

හිතෝපදේශ 23:19-21
19. මාගේ පුත්‍රය, අසා ප්‍රඥාවන්ත වී, ඔබේ සිත හරි මාර්ගයෙහි ගෙනයන්න.
20. මුද්‍රිකපානයෙහි ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජුවූවන්ටවත් එක් නොවන්න.
21. මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිළිඳුවන්නේය; නිදිමතද වැරහැලි ඇදීමට පමුණුවන්නේය.

1 කොරින්ති 3:1-23
1. සහෝදරයෙනි, ආත්මිකයන්ට මෙන් ඔබ සැමට කථාකරන්ට නොහැකිව, මාංසිකයන්ටත් ක්‍රිස්තුස්වහන්සේ තුළ බිලිඳුන්ටත් මෙන් කථාකෙළෙමි.
2. මම ඔබ සැම දැඩි කෑමෙන් නොව කිරෙන් පෝෂණයකෙළෙමි; එසේ කළේ ඔබ සැම ඒවා දරන්ට බැරිව සිටි නිසාය. එසේය, දැනුත් බැරිය;
3. මක්නිසාද ඔබ සැම තවම මාංසිකය. ඔබ සැම අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයද ඇති බැවින්, ඔබ සැම මාංසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද?
4. මක්නිසාද එක්කෙනෙක්: මම පාවුල්ගේය; වෙන කෙනෙක්: මම අපොල්ලොස්ගේයයි කියන කල, ඔබ සැම මාංසිකයෝ නොවෙත්ද?
5. ඉදින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස ඔබ සැම ඇදහීමට පැමිණෙවු සේවකයෝය.
6. මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය.
7. එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.
8. හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනැත්තෙත් එකය. එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේය.
9. මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරන්නෝය. ඔබ සැම දෙවියන් වහන්සේගේ කෙතය, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලය.
10. මට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහ පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් මම අත්තිවාරමක් දැමීමි; වෙන කෙනෙක් ඒ පිට ගොඩනගයි. නුමුත් එකිනෙකා ඒ පිට ගොඩනගන්නේ කෙසේදැයි බලාගනීවා.
11. මක්නිසාද දමා තිබෙන අත්තිවාරම ඇර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් නුපුළුවන, ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.
12. නුමුත් අත්තිවාරම පිට යමෙක් රන්, රිදී අනර්ඝ ගල්, ලී, තෘණ, පිදුරු ගොඩනගන්නේ නම්,
13. එක් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශවන්නේය. මක්නිසාද එය ගින්නෙන් එළිදරව්වන නිසා ඒ දවස තෙමේ එය ප්‍රකාශකරන්නේය; එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරදැයි ගින්නෙන්ම ඔප්පුවන්නේය.
14. ඒ පිට ගොඩනැගුවාවූ යම්කෙනෙකුගේ කර්මාන්තය පවතී නම්, ඔහු විපාකයක් ලබන්නේය.
15. යම් කෙනෙකුගේ කර්මාන්තය දැවීයන්නේ නම්, ඔහුට අලාභවන්නේය. නුමුත් ඔහුම ගැළවෙන්නේය; එහෙත් ගිනි මැදින් ගැළවුණාක්මෙන්ය.
16. ඔබ සැම දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ සැම තුළ වාසයකරන බවද නොදනිවුද?
17. යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක; මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව ඔබ සැමය.
18. කිසිවෙක් තමාම රවටා නොගනීවා. ඔබ සැම අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.
19. මක්නිසාද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෝඩකමය. මක්නිසාද: උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ උපායවලින් අසුකරගන්නාසේකැයි ලියා තිබේ.
20. නැවතද: ස්වාමීන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිෂ්ඵලව තිබෙන බව දන්නාසේකැයි ලියා තිබේ.
21. එහෙයින් කවරෙක්වත් මනුෂ්‍යයන් ගැන පාරට්ටු නොකෙරේවා. මක්නිසාද සියල්ල ඔබ සැමගේ ය;
22. පාවුල් හෝ අපොල්ලොස් හෝ කේපස් හෝ ලෝකය හෝ ජීවනය හෝ මරණය හෝ දැන් තිබෙන දේ හෝ මතු පැමිණෙන දේ හෝ සියල්ල ඔබ සැමගේ ය;
23. ඔබ සැම ක්‍රිස්තුස්වහන්සේගේය; ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේය.