Instagram
English
A A A A A
ජෝබ් 31:1-40
1. (යෝබ්ගේ නිර්දෝෂකම කියා සිටීම.) මාගේ ඇස් සමඟ ගිවිසුමක් කෙළෙමි; එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද?
2. ඉහළ සිටින දෙවියන්වහන්සේගෙන් ලැබෙන කොටසත් උසස් තැන්හි සිටින සර්වපරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමයත් කිමෙක්ද?
3. අධර්මිෂ්ඨයාට විනාශයත් අයුතුකම්කරන්නන්ට විපත්තියත් නොවේද?
4. උන්වහන්සේ මාගේ මාර්ග දැක, මාගේ සෑම අඩි ගණන්කරනවා නොවේද?
5. මා බොරුකාරකමෙන් හැසිරෙන්ටත් මාගේ පය වංචාවට ඉක්මන්වෙන්ටත් යෙදුණා නම්,
6. (උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නමැති තරාදියෙන් මා කිරාබලනසේක්වා, එවිට දෙවියන්වහන්සේ මාගේ අවංකකම දැනගන්නවා ඇත;)
7. මාගේ අඩිය මාර්ගයෙන් අහක්ව යන්ටත්, මාගේ සිත මාගේ ඇස් අනුව යන්ටත්, මාගේ අත්වලට කිසි කිලුටක් ඇලෙන්ටත් යෙදුණා නම්,
8. මා වපුරන ඒවා වෙන කෙනෙක් අනුභව කෙරේවා; එසේය, මාගේ කෙතේ අස්වැන්න උදුරාදමනු ලැබේවා.
9. මාගේ සිත ස්ත්‍රියෙක් කෙරෙහි ඇදීගියේ නම්, මම මාගේ අසල්වාසියාගේ දොරකඩ ළඟ රැක සිටියෙම් නම්,
10. මාගේ භාර්යාව වෙන කෙනෙකුට ධාන්‍ය අඹරාවා, අන්‍යයෝද ඈ සමඟ සයනයකෙරෙත්වා.
11. මක්නිසාද එය දූෂ්‍ය අපරාධයක්ය; එසේය, එය විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතුවූ අයුතුකමක්ය.
12. එය විනාශය දක්වාම දවන ගින්නක්ය, එයින් මාගේ මුළු සම්පත උදුරාදමනු ලබන්නේය.
13. මාගේ වැඩකාරයාවත් වැඩකාරීවත් මා සමඟ විවාදකරන විට මම ඔවුන්ගේ යුක්තිය නොසලකා ඇරියෙම්නම්,
14. දෙවියන්වහන්සේ නැගිටින විට මම කුමක් කරම්ද? උන්වහන්සේ විභාගකරන කල මා කවර උත්තරයක් දෙන්ටද?
15. කුසෙහි මා සෑදූ උන්වහන්සේ ඔහුත් නොසෑදූසේක්ද? ගර්භයෙහි අප තැනුවේ එක්කෙනෙක්ම නොවේද?
16. (පියා නැත්තා මාගේ බාල වයසේ පටන් පිය කෙනෙකු ළඟ මෙන් මා ළඟ ඇතිකළාවූද මාගේ මවු කුස පටන් වැන්දඹුවට ආධාරවුණාවූද මම)
17. දුප්පතුන් ආශාවූ දේ ඔවුන්ගෙන් වැලැක්වීම් නම්, නොහොත් වැන්දඹුවගේ ඇස් ක්ෂය වෙන්ට සැලැස්වීම් නම්,
18. පියා නැත්තාට මාගේ කොටසෙන් කන්ට නොදී තනියම ඒක කෑවෙම් නම්,
19. යමෙක් වස්ත්‍ර නැතිකමින් නසින බවත් දිළින්දාට වැස්මක් නැති බවත් මා දුටු විට,
20. මට ආශීර්වාදකරන හැටියට ඔහුගේ ඉඟටිය මාගේ බැටළු ලොම්වලින් උණුහුම් නොවී නම්,
21. මාගේ උපකාරකාරයෙක් දොරටුවේ සිටිනවා මා දුටු නිසා පියා නැත්තාට විරුද්ධව මාගේ අත එසවීම් නම්,
22. මාගේ උරහිස ඒකේ සන්ධිස්ථානයෙන් ගැළවී වැටේවා, මාගේ හස්තය ඒකේ වැලමිටේන් බිදීයේවා.
23. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය, උන්වහන්සේගේ මහන්තත්ත්වය ඉදිරියෙහිද මට කිසිවක් කළ නොහැකිවිය.
24. මම රත්රන් මාගේ බලාපොරොත්තුව කොට ගතිම් නම්, ඔබ මාගේ විශ්වාසයයයි පවිත්‍ර රනට කීයෙම් නම්,
25. මාගේ සම්පත වැඩි නිසාත් මාගේ අත හුඟක් සම්බකරගත් නිසාත් ප්‍රීතිවීම් නම්,
26. ඉර බැබළෙන හැටිද හඳ දීප්තිමත්ව ගමන්කරන බවද මා දුටු විට
27. මාගේ සිත රහසින් පෙලඹී, මාගේ මුඛය මාගේ අත සිඹගත්තේ නම්,
28. ඉහළ සිටින දෙවියන්වහන්සේ මා විසින් එපාකළ නිසා, ඒකත් විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතු අපරාධයක්ය.
29. මට වෛරවූ අයට පැමිණි විනාශයට මම සන්තෝෂවී, ඔහු විපත්තියට අසුවූ විට ප්‍රීතිවීම්නම්,
30. (එසේය, ඔහුගේ ජීවිතයට විරුද්ධව දෙස් කීමෙන් මාගේ මුඛයට පව්කරන්ට ඉඩනෑරියෙමි;)
31. ඔහුගේ කෑමෙන් තෘප්තිමත් නොවූ කෙනෙක් පෙන්වන්නේ කවුදැයි මාගේ කූඩාරමේ මනුෂ්‍යයෝ නොකීවෝ නම්,
32. අමුත්තා රාත්‍රිය එළියේ පසු නොකළේය; ගමන්කාරයාට මාගේ දොරවල් ඇරියෙමි;
33. මාගේ අයුතුකම මාගේ ළයේ සඟවා ගනිමින් මනුෂ්‍ය අන්දමින් මාගේ අපරාධ වැසීම් නම්,
34. මහත් සමූහයාට මා භයවූ නිසාත්, පවුල්වල හෙළාදැක්ම මා කැලඹූ නිසාත්, මා නිශ්ශබ්දව සිටි ගෙයින් පිට නොගියෙම් නම් -
35. අහෝ, මාගේ බස් අසන කෙනෙක් මට ඇත්නම්! (මෙන්න, මාගේ අත්සන තබමි, සර්වපරාක්‍රමයාණෝ මට උත්තරදෙනසේක්වා;) මාගේ එදිරිකාරයා මට විරුද්ධව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!
36. සැබැවින් ඒක මාගේ කර පිට තබා ගන්නෙමි; ඔටුන්නක් මෙන් බැඳගන්නෙමි.
37. මාගේ අඩිවල ගණන උන්වහන්සේට කියා සිටින්නෙමි; අධිපතියෙකු මෙන් උන්වහන්සේ ළඟට යන්නෙමි.
38. මාගේ බිම මට විරුද්ධව කෑගසා නම්, එහි සියලු හීවිටි අඬා පැමිණිලි කෙරේනම්,
39. මම මිල නොදී ඒකේ අස්වැන්න කා, ඒකේ අයිතිකාරයන්ගේ ප්‍රාණ හානි කෙළෙම් නම්,
40. තිරිඟු වෙනුවට කටුගස්ද යව වෙනුවට වල්ගස්ද වැවේවායි කීවේය. යෝබ්ගේ වචන නිමි.

ජෝබ් 32:1-22
1. (දුක් පීඩා පැමිණෙන්නේ යහපතට බවත් දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ බවත්.) තමාම ධර්මිෂ්ඨ යයි යෝබ් සිතූ බැවින් මේ මනුෂ්‍යයන් තුන්දෙන ඔහුට උත්තරදීම නැවැත්තුවෝය.
2. එවිට රාම්ගේ පෙළපතේ බූසිය බාරෙකල්ගේ පුත්‍රවූ එලීහුගේ උදහස ඇවුළුණේය.යෝබ් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොව තමාගේ ධර්මිෂ්ඨකම කියාගත් බැවින් ඔහුගේ උදහස යෝබ්ට විරුද්ධව ඇවුළුණේය.
3. ඔහුගේ මිත්‍රයන් තුන්දෙනාද යෝබ් කෙරෙහි වරද තැබූ නුමුත් ඔහුට උත්තරදෙන්ට ඔවුන්ට බැරිවුණ බැවින් ඔවුන්ටත් විරුද්ධව ඔහුගේ උදහස ඇවුළුණේය.
4. එලීහු යෝබ්ට උත්තර නොදී ප්‍රමාදව සිටියේය, මක්නිසාද ඔව්හු ඔහුට වඩා වැඩිමහල්ය.
5. මේ මනුෂ්‍යයන් තුන්දෙනාගේ මුඛයෙහි උත්තරයක් නැති බව එලීහු දුටු විට ඔහුගේ උදහස ඇවුළුණේය.
6. එකල බූසිය බාරෙකල්ගේ පුත්‍රවූ එලීහු උත්තරදෙමින් කියනුයේ: මම වයසින් බාලව සිටිමි ඔබ සැම නම් වයෝවෘද්ධයෝය; එබැවින් මම පස්සට වී මා දන්නා දේ ඔබ සැමට කියන්ට භයවීමි.
7. වෘද්ධ වයස කථාකළ යුතුය, අවුරුදු රාශිය ප්‍රඥාව ඉගැන්විය යුතු යයි කීමි.
8. එහෙත් මනුෂ්‍යයා තුළ ආත්මයක් ඇත්තේමය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්මද ඔවුන්ට ඥානය දෙන්නේය.
9. ප්‍රඥාවන්තව සිටින්නේ මහත් අයම නොවේ, යුක්තිය දැනෙන්නේ වැඩිමහල්ලන්ටම නොවේ.
10. එබැවින්: මාගේ වචන අසන්න; මමත් දන්න දේ කියන්නෙමියි කීමි.
11. මම ඔබ සැමගේ වචන ගැන බලාසිටියෙමි, කුමක් කිය යුතුදැ යි ඔබ සැම සොයාගන්න තුරු ඔබ සැමගේ වාදයට ඇහුම්කන්දුනිමි,
12. එසේය, ඔබ සැමට මගේ සිත යොමු කෙළෙමි, එහෙත් යෝබ් හගිස්වන්ටවත් ඔහුගේ වචනවලට උත්තරදෙන්ටවත් කෙනෙක් ඔබ සැම අතරේ නොවීය.
13. එබැවින්: අපට ප්‍රඥාව සම්බවිය; මනුෂ්‍යයා නොව දෙවියන්වහන්සේ ඔහු පරාජයකරනවා ඇතැයි නොකියන්ට බලාගන්න.
14. මක්නිසාද ඔහු තමාගේ වචන මට විරුද්ධව යොමු නොකළේය; මමත් ඔබ සැමගේ කථාවලින් ඔහුට උත්තර නොදෙන්නෙමි.
15. ඔව්හු කැලඹී තවත් උත්තර නොදී සිටිති, කියන්ට ඔවුන්ට වචන නැත.
16. එසේ ඔවුන් කථානොකර, තවත් උත්තරනොදී, නිකම් සිටින නිසා මම බලා සිටිම්ද?
17. ඉතින් මමත් මාගේ වාරයේදී උත්තර දෙන්නෙමි, මමත් දන්න දේ කියන්නෙමි.
18. මක්නිසාද මම වචනවලින් පිරී සිටිමි; මා තුළ තිබෙන ආත්මය මා පොලඹවන්නේය.
19. මෙන්න, මාගේ බඩ රැස්නොගිය මුද්‍රකපානයත් පිපිරෙන්ට ළංවූ අලුත් සම්භාජනත් මෙන්ය.
20. මට පහසු ලැබෙන පිණිස කථාකර, මාගේ තොල් ඇර උත්තර දෙන්නෙමි.
21. මනුෂ්‍යයෙකුගේ තරාතිරම බලන්ට මට සිද්ධ නොවේවා; කිසි මනුෂ්‍යයෙකුට ඉච්චා නොකරන්නෙමි.
22. මක්නිසාද ඉච්චාකරන්ට මම නොදනිමි. එසේ කළොත් මාගේ මැවුම්කාරයාණන්වහන්සේ ඉක්මනින් මා තුරන්කරනවා ඇත.

ගීතාවලිය 98:1-3
1. ගීතයකි. ස්වාමීන් ට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මක්නිසාද උන්වහන්සේ ආශ්චර්යයන් කළසේක. ස්වකීය දකුණු අතින්ද ශුද්ධවූ බාහුවෙන්ද තමන්වහන්සේට ගැළවීම ඉෂ්ටකරගත්සේක.
2. ස්වාමීන්වහන්සේ ස්වකීය ගැළවීම දැන්වූසේක. ස්වකීය ධර්මිෂ්ඨකම ජාතීන්ගේ ඇස් හමුයෙහි එළිදරව්කළසේක.
3. උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශය කෙරෙහි ඇති ස්වකීය කරුණාවත් විශ්වාසකමත් සිහිකළසේක. පොළොවේ සියලු සීමාවෝ අපේ දෙවියන්වහන්සේගේ ගැළවීම දුටුවෝය.

හිතෝපදේශ 23:17-18
17. ඔබේ සිත පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකොට, හැම කල්හිම ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව තිබේවා.
18. මක්නිසාද සැබවින් විපාකයක් ලැබෙන්ට තිබේ; ඔබේ බලාපොරොත්තුවද සිඳදමනු නොලැබේ.

1 කොරින්ති 2:1-16
1. ඒ හැටියට, සහෝදරයෙනි මා ඔබ සැම වෙතට ආ කල්හි දෙවියන්වහන්සේගේ රහස ඔබ සැමට එළිදරව් කරමින් ආවා මිස කථාවේවත් ප්‍රඥාවේවත් උතුම්කමින් යුක්තව නාවෙමි.
2. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලැබූ බවත් මිස වෙන කිසිවක් ඔබ සැම අතරෙහි නොදැන සිටින්ට නියමකරගතිමි.
3. මම දුර්වලකමින්ද භයින්ද බොහෝ වෙවුලුමෙන්ද ඔබ සැම සමඟ සිටියෙමි.
4. මාගේ කථාවත් මාගේ දේශනාකිරීමත් ප්‍රඥාවේ සිත් පොළඹවන්නාවූ වචනවලින් නොව ආත්මයාණන්වහන්සේගේද බලයේ ප්‍රකාශකිරීමෙන් විය.
5. එසේ වුණේ ඔබ සැමගේ ඇදහිල්ල දෙවියන්වහන්සේගේ බලයෙන් මිස මනුෂ්‍යයන්ගේ ප්‍රඥාවෙන් නොපිහිටන පිණිසය.
6. එසේවී නුමුත් සම්පූර්ණ තැනැත්තන් අතරෙහි අපි ප්‍රඥාව කථාකරමුව. එනම්, මේ ලෝකයේ, නොහොත් මේ ලෝකයේ නැතිවීයන මුලාදෑනීන්ගේ ප්‍රඥාවක් නොව,
7. අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන්වහන්සේ විසින් කලින් නියමකරනලද්දාවූ, සඟවා තුබූ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කථාකරමුව.
8. ඒ ප්‍රඥාව මේ ලෝකයේ මුලාදෑනීන්ගෙන් කිසිවෙක් නොදනියි. දැනගන සිටියා නම් ඔවුන් මහන්තත්ත්වයේ ස්වාමීන්වහන්සේව කුරුසියෙහි ඇණගසන්නේ නැත.
9. නුමුත් ලියා තිබෙන ලෙස: දෙවියන්වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම්කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුණේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමින්නේය.
10. නුමුත් දෙවියන්වහන්සේ ස්වකීය ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන අපට ඒ දේ එළිදරව්කළසේක. මක්නිසාද ආත්මයාණන්වහන්සේ සියලු දේ, එසේය, දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් විමසනසේක.
11. මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කවරෙක් දන්නේද? එසේම දෙවියන්වහන්සේගේ කාරණා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මිස වෙන කිසිවෙක් නොදනියි.
12. නුමුත් දෙවියන්වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවියන්වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුව.
13. අප විසින් ඒ දේවල් කථාකරන්නෙත් මනුෂ්‍ය ප්‍රඥාව කරණකොටගෙන උගන්වනලද වචනවලින් නොව ආත්මික දේවල් ආත්මික දේ සමඟ සමානකර බලමින් ආත්මයාණන්වහන්සේ විසින් උගන්වනලද වචනවලින්ය.
14. නුමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළි නොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මිකලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.
15. නුමුත් ආත්මික තැනැත්තේ සියල්ල විමසයි, නුමුත් ඔහුම කිසිවෙකු විසින් විමසනු නොලබයි.
16. මක්නිසාද ස්වාමීන්වහන්සේට උගන්වන පිණිස උන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නුමුත් අපට ක්‍රිස්තුස්වහන්සේගේ සිත ඇත්තේය.