A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 2

එස්තර් 5:1-14
1. තවද තුන්වෙනිදා එස්තර් රාජවස්ත්‍ර පැළඳගන රජගෙය ඉදිරිපිට තිබුණ රජගෙයි ඇතුල් මිදුලට ගොස් සිටියාය. රජ තෙමේ රජගෙයි රාජ සිංහාසනයෙහි ගෙයි දොරකඩ ඉදිරිපිට වැඩහුන්නේය.
2. එවිට රජ එස්තර් බිසව මිදුලේ සිටිනවා දැක ඈ කෙරෙහි කරුණාකොට, තමාගේ අත තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේය. එස්තර් ළංව ජයකොන්තයේ මුදුනේ අග ස්පර්ශකළාය.
3. එකල රජ ඈට කථාකොට: එස්තර් බිසව, ඔබට ඕනෑ මොකද? ඔබේ අයදීම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් ඔබට දෙනු ලැබේයයි කීයේය.
4. එස්තර්ද: රජ්ජුරුවන්ට හොඳව පෙනේනම් මා විසින් රජ්ජුරුවන්ට පිළියෙළකර තිබෙන මංගල්‍ය කෑමට රජ්ජුරුවන්ද හාමාන්ද අද අවමැනවැයි කීවාය.
5. එවිට රජ එස්තර් කී ලෙස කරන්ට හාමාන් ඉක්මන්කරවන්නැයි කීවේය. මෙසේ රජද හාමාන්ද එස්තර් පිළියෙළකළ මංගල්‍යයට ආවෝය.
6. රජතෙමේ මුද්‍රිකපාන මංගල්‍යයේදී එස්තර්ට කථාකොට: ඔබේ ඉල්ලීම මොකද? ඒක ඔබට දෙනු ලැබෙන්නේය, ඔබේ අයදුම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් ඒක ඉෂ්ටකරනු ලැබේයයි කීවේය.
7. එවිට එස්තර් උත්තරදෙමින්: රජ්ජුරුවන්ගෙන් මට කරුණාව ලැබී තිබේ නම්,
8. එසේම මා ඉල්ලන දේ දෙන්ටත් මාගේ අයදුම ඉෂ්ටකරන්ටත් රජතුමා ප්‍රසන්න නම්, මාගේ ඉල්ලීම සහ අයදුම නම් රජ්ජුරුවන්ටත් හාමාන්ටත් මා විසින් පිළියෙළකරන මංගල්‍යයට ඔබ සහ හාමාන් එන ලෙසය, එවිට රජුගේ කීම ලෙස හෙට කරන්නෙමියි කීවාය.
9. හාමාන්ද ඒ දවසේදී සන්තෝෂවී ප්‍රීතිමත් සිතකින් පිටතට ගියේය. එහෙත් හාමාන් තෙම රජවාසල උන් මොර්දෙකයි තමා ඉදිරියෙහි නැගිට්ටේවත් තමා සැලකුවේවත් නැති බව දැක ඔහු කෙරෙහි උදහසින් පිරුණේය.
10. එසේ වුවත් ඔහු කෝපය සංසිඳුවාගන, ගෙට ඇවිත් තමාගේ මිත්‍රයන්ද තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ද කැඳවාගෙන,
11. තමාගේ වස්තුවේ ඓශ්වර්යයද තමාගේ දරුවන් රාශියද රජ විසින් තමා උසස්කළ හැටිද රජුගේ අනික් අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා ප්‍රධානකළ හැටිද යනාදිවූ සියල්ල පැවසුවේය.
12. හාමාන් තවත් කථාකොට: එස්තර් බිසව පිළියෙළකළ මංගල්‍ය කෑමට මා මිස රජු සමඟ වෙන කිසිවෙක් ගෙන්නෙව්වෙත් නැත; හෙටත් රජු සමඟ එන්ට ඈ විසින් ආරාධනාකරනු ලැබීමි.
13. එහෙත් යුදෙව්වා වන මොර්දෙකයි රජවාසල ඉඳගන ඉන්නවා මට පෙනෙනකල් මේ සියල්ල මට මොකටදැයි කීවේය.
14. එකල ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුගේ සියලු මිත්‍රයෝද ඔහුට කථාකොට: පනස් රියනක් උස ඇති එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි ඒකේ එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කථාකර, ඉන්පසු රජු සමඟ මංගල්‍යයට ප්‍රීතියෙන් පැමිණෙන්නැයි කීවෝය. ඒ කීමට හාමාන් ප්‍රසන්නව එල්ලුම් ගහ සෑදෙවුවේය.

එස්තර් 6:1-14
1. එදා රාත්‍රියේ රජුට නින්ද නොගොස් ඉකුත්වූ කාලයේ කරුණු සඳහන්වූ ලේකම් පොත ගෙනෙන්ට අණකෙළේය. එය රජු ඉදිරියෙහි කියවන ලද්දේය.
2. එවිට අහෂ්වේරොෂ් රජු මරන්ට සෙවුවාවූ වාසල් රැකවලුන්ගෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙක් වන බිග්තාන්ද තෙරෙෂ්ද ගැන මොර්දෙකයි දැන්වූ වග ලියා තිබෙනවා සම්බවිය.
3. මේ ගැන මොර්දෙකයිට මොන ගරු සම්මානයක් කරනලද්දේදැයි රජු ඇසුවේය. ඔහුට කිසි දෙයක් කළේ නැතැයි රජුට සේවයකරන මෙහෙකරුවෝ කීවෝය.
4. රජද: මිදුලේ ඉන්නේ කවුදැයි ඇසීය. හාමාන් වනාහි තමා විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේ ඔහු එල්ලාදමන්ට රජුට කථාකරන පිණිස රජගෙදර පිටත මිදුලට ඇවිත් සිටියේය.
5. හාමාන් මිදුලේ සිටිනවායයි රජුගේ මෙහෙකරුවෝ ඔහුට කීවෝය. ඔහු ඇතුළට ඒවයි රජ කීය.
6. හාමාන් ඇතුල්වුණ විට රජ ඔහුට කථාකොට: රජු විසින් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට කරන්ට ඕනෑ මොකදැයි ඇසුවේය. හාමාන්ද: මට මිස රජු ගෞරවකරන්ට කැමැති කාටදැයි තමාගේ සිතින් සිතාගන, රජුට කථාකොට:
7. රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කළ යුතුය-
8. රජ්ජුරුවන් පළඳින රාජ වස්ත්‍රයක්ද රජ්ජුරුවන් නැගී යන්නාවූ, රාජ ඔටුන්න හිසේ දරන්නාවූ අශ්වයාද ගෙනවුත්,
9. වස්ත්‍රයද අශ්වයාද රජුගේ ඉතා උතුම් අධිපතීන්ගෙන් එක්කෙනෙකු අතට භාරෙදන්ටත්, රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට එය පළඳවා ඔහු අශ්වයා පිට නංවා නුවර වීථිය දිගේ ගෙනයමින්-රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේයයි ඔහුට පෙරටුවෙන් ඝෝෂණයකර කියන්ටත් යෙදේවයි කීවේය.
10. එවිට රජ හාමාන්ට කථාකොට: ඉක්මන්කර ඔබ කී වස්ත්‍රයද අශ්වයාද රැගෙන, රජවාසල හිඳින යුදෙව්වාවූ මොර්දෙකයිට එසේ කරන්න; ඔබ කී සියල්ලෙන් කිසිවක් අඩුනොවේවායි කීවේය.
11. එවිට හාමාන් වස්ත්‍රයද අශ්වයාද රැගෙන මොර්දෙකයි සරසා, ඔහු නුවර වීථිය දිගේ අසුපිටින් යන්ට සලස්වා: රජ්ජුරුවන් විසින් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේයයි ඔහුට පෙරටුව ඝෝෂණයකර කීවේය.
12. පසුව මොර්දෙකයි රජවාසලට හැරී ආවේය. නුමුත් හාමාන් වැලපෙමින් හිස වසාගෙන තමාගේ ගෙදරට ඉක්මනින් ගොස්,
13. තමාට සිද්ධවූ සියල්ල තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ටද තමාගේ සියලු මිත්‍රයින්ටද කීවේය. එවිට ඔහුගේ උපදේශකයෝද ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුට කථාකොට: ඔබ මොර්දෙකයි ඉදිරියෙහි වැටෙන්ට පටන්ගත්තෙහිය, ඔහු යුදෙව් වංශයේ කෙනෙක් නම් ඔහුට විරුද්ධව සිටින්ට ඔබට බැරිවෙයි, ඔහු ඉදිරියෙහි ඔබ වැටෙනවාම ඇතැයි කීවෝය.
14. ඔවුන් ඔහු සමඟ කථාකරද්දීම රජුගේ නපුංසකයෝ ඇවිත් එස්තර් පිළියෙළකළ මංගල්‍යයට හාමාන් කැඳවාගනයන්ට ඉක්මන්කළෝය.

ගීතාවලිය 90:1-6
1. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ යාච්ඤාවකි. ස්වාමිනි, සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක.
2. කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේය.
3. ඔබ මනුෂ්‍යයා විනාශයට හරවමින්: මනුෂ්‍ය පුත්‍රයෙනි, හැරී වරෙව්යයි කියනසේක.
4. මක්නිසාද ඔබ ඉදිරියෙහි අවුරුදු දහයක් පසුවූ ඊයේ දවසටත් රෑ යාමයකටත් සමානය.
5. ඔබ සැඩපාරකින් මෙන් ඔවුන් ගෙනයනසේක; ඔව්හු නින්දක් මෙන්ය. උදය කාලයේදී ඔව්හු වැඩෙන්නාවූ තණකොළ සමානවෙති.
6. උදයේ ඒවා සශ්‍රීකවෙමින් වැඩෙයි; සවස කපනු ලැබ වියළීයයි.

හිතෝපදේශ 22:9-9
9. කරුණා ඇසක් ඇත්තාට ආශීර්වාද ලැබේ; මක්නිසාද ඔහු තමාගේ කෑමෙන් දිළින්දාට දෙන්නේය.

රෝම 4:1-25
1. එසේවී නම් මාංසාකාරයෙන් අපේ මුල් පියවූ ආබ්‍රහම්ට කුමක් ලැබුණේයයි කියමුද?
2. මක්නිසාද ආබ්‍රහම් ක්‍රියා කරණකොටගෙන ධර්මිෂ්ඨ කරනලද්දේවී නම්, ඔහුට පාරට්ටුකරගැනීමට කාරණයක් ඇත; නුමුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නොවේය.
3. මක්නිසාද ලියවිල්ලේ කුමක් කියා තිබේද? ආබ්‍රහම් දෙවියන්වහන්සේව විශ්වාසකෙළේය, එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලද්දේය කියාය.
4. ඉඳින් වැඩකරන්නාට කුලිය ණයක් වශයෙන් මිස කරුණාවක් වශයෙන් ගණන්ගනු නොලැබේ.
5. නුමුත් වැඩ නොකරන්නාවූ, අභක්තිකයන් ධර්මිෂ්ඨකොට ගණන්ගන්න තැනන්වහන්සේ කෙරෙහි අදහන්නාවූ අයට ඔහුගේ ඒ ඇදහිල්ල ධර්මිෂ්ඨකම කොට ගණන්ගනු ලැබේ.
6. එලෙසම දෙවියන්වහන්සේ යමෙකුට ධර්මිෂ්ඨකම ක්‍රියා නැතුව ගණන් තබනසේක්ද, ඔහුගේ ආශිර්වාදලත්කම දාවිත් දක්වමින්:
7. තමුන්ගේ අයුතුකම්වලට කමාවත් තමුන්ගේ පාපයට වැස්මත් ලැබූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය.
8. ස්වාමීන්වහන්සේ විසින් පාපය ගණන් නොතබන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දේයයි කියයි.
9. එසේවී නම් මේ ආශීර්වාදය ප්‍රකාශකරනලද්දේ චර්මඡේදිතයන් කෙරෙහිද? නොහොත් අචර්මඡේදිතයන් කෙරෙහිත්ද? මක්නිසාද: ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලදැයි අපි කියමුව.
10. එසේවී නම් ගණන්ගන්නාලද්දේ කෙසේද? ඔහු චර්මඡේදිතව සිටිය කල්හිද? නොහොත් අචර්මඡේදිතව සිටිය කල්හිද? චර්මඡේදිතව සිටිය කල්හි නොව අචර්මඡේදිතව සිටිය කල්හිමය.
11. ඔහු අචර්මඡේදිතව සිටියදී තමාට තිබුණාවූ ඇදහිල්ලේ ධර්මිෂ්ඨකමේ මුද්‍රාවක් කොට චර්මඡේද්‍යය නම් ලකුණ ලැබුවේය. මෙසේ වුණේ අචර්මඡේදිතව සිටිය නුමුත් ධර්මිෂ්ඨකම සඳහා ගණන්ගැනීම පිණිස අදහන්නාවූ සියල්ලන්ගේ පියා වන පිණිසත්, චර්මඡේදිතයෝව පමණක් නොව,
12. අපගේ පියවූ ආබ්‍රහම් අචර්මඡේදිතව සිටිය කල්හි ඔහුට තිබුණු ඇදහිල්ලේ අඩිපාරේ යන්නෝව සිටින්නන්ට චර්මඡේද්‍යයේ පියා වන පිණිසත්ය.
13. මක්නිසාද ආබ්‍රහම්ට හෝ ඔහුගේ වංශයට හෝ ලෝකය උරුමවන්නේය යන පොරොන්දුව ව්‍යවස්ථාව කරණකොටගෙන නොව ඇදහිල්ලේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන වූයේය.
14. ව්‍යවස්ථාවෙහි වූවෝ උරුමක්කාරයෝ නම් ඇදහිල්ල අවලංගුවේ, පොරොන්දුවද නිෂ්ඵලවී තිබේ.
15. මක්නිසාද ව්‍යවස්ථාව උදහස උපදවන්නීය; නුමුත් ව්‍යවස්ථාවක් නැති තැන වරද කිරීමකුත් නැත.
16. මේ නිසා අනුග්‍රහය ප්‍රකාරයට සිද්ධවන පිණිස එය ඇදහිල්ලෙන් වේ. කුමටද? පොරොන්දුව මුළු වංශයට ස්ථිරවන පිණිසය, එනම් ව්‍යවස්ථාවෙහි වූ වංශයට පමණක් නොව ආබ්‍රහම්ගේ ඇදහීමෙන් වූ වංශයටත්ය.
17. (ඔබ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.
18. ඔබේ වංශය මෙසේ වන්නේය කියා තිබෙන ලෙස, ආබ්‍රහම්, බොහෝ ජාතීන්ගේ පියා වන පිණිස, බලාපොරොත්තුවීමට ඉඩ නැති තැන බලාපොරොත්තුවෙන් විශ්වාසකෙළේය.
19. ඔහු (අවුරුදු සියයක් පමණ වයස්ගතව සිටියදී,) ඇදහිල්ලෙන් දුර්වල නොවී, තමාගේම ශරීරය මළ බව හා සාරාගේ කුසය මළ බවත් සිතා ඇදහිලි නැතිකම කරණකොටගෙන චංචල නොවී,
20. එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්,
21. පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාසකෙළේය.
22. ඒ නිසා එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලද්දේය.
23. ඉඳින් ඔහුට එය ගණන්ගන්නාලදැයි ලියනු ලැබුවේ ඔහු නිසා පමණක් නොව අප නිසාත්ය.
24. මක්නිසාද අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ කෙරෙහි අදහන්නාවූ අපටත් එය ගණන්ගනු ලබන්නේය.
25. උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවාදෙනු ලැබ, අප ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබීම සඳහා නැගුටුවනු ලැබූසේක.