A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 19

ජෝබ් 29:1-25
1. නැවතත් යෝබ් තමාගේ කථාව පටන්ගෙන කියනුයේ:
2. අනේ, ඉස්සර මාස වන දෙවියන්වහන්සේ මා රැකවල්කළ දවස්වලදී මෙන් මට සිටින්ට ඇත්නම්!
3. එකල උන්වහන්සේගේ පහන මාගේ හිසට උඩින් බැබළුණේය, මමද උන්වහන්සේගේ එළියෙන් අන්ධකාරය මැදින් ගියෙමි;
4. මාගේ සරත් කාලයෙහි මා සිටි ලෙසම සිටින්ට ඇත්නම්! එකල දෙවියන්වහන්සේගේ මිත්‍ර ලාභය මාගේ කූඩාරම කෙරෙහි තිබුණේය;
5. සර්වපරාක්‍රමයාණෝ ඒ දක්වා මා සමඟ සිටිසේක, මාගේ දරුවෝද මා වටකර සිටියෝය.
6. එකල මාගේ පියවර ගිතෙලින් සෝදා ගතිමි, පර්වතයෙන්ද තෙල් ගංගා මා වෙත ගලා ආවේය.
7. මා නුවර දොරටුව ළඟට නික්ම ගොස් එළිමහනෙහි මාගේ ආසනය තැබූ කල,
8. තරුණයෝ මා දැක සැඟවුණෝය, මහල්ලෝද නැගිට සිටියෝය.
9. අධිපතීහු කථාව නවත්වා සිටියෝය, අතින් තමුන්ගේ කට වසාගත්තෝය.
10. උත්තමයින්ගේ හඬ නැවතී, ඔවුන්ගේ දිව ඔවුන්ගේ උඩුතල්ලේ ඇලුණේය.
11. මක්නිසාද කන ඇසූ කල්හි මට ආශීර්වාදකෙළේය; ඇසද මා දුටු කල්හි මා ගැන වර්ණනා කෙළේය.
12. මක්නිසාද හඬා සිටි අසරණයාද පියා නැත්තා සහ උපකාරකාරයෙක් නැත්තාද ගැළෙවුවෙමි.
13. නාස්තිවෙන්ට ළංව සිටි අයගේ ආශීර්වාදය මා පිටට පැමුණුණේය. වැන්දඹුවගේ සිතත් ප්‍රීතියෙන් පිනායන්ටද සැලැස්වීමි.
14. මම ධර්මිෂ්ඨකම පැළඳගතිමි, එයද මා පැළඳගත්තේය; මාගේ යුක්තිය සළුවක්ද මකුටයක්ද මෙන් තිබුණේය.
15. මම අන්ධයාට ඇස්ව කොරාට පාදව සිටියෙමි.
16. මම දිළිඳාට පියෙක් වීමි; මා නොදැන සිටි අයගේ කාරණය සොයා බැලීමි.
17. මම අධර්මිෂ්ඨයාගේ හක්ක බිඳදමා, ඔහුගේ අත්වලින් ගොදුර උදුරා හැරියෙමි.
18. එවිට මම කථාකොට: මාගේ කැදැල්ලෙහි නසින්නෙමි, මාගේ දවස්ද වැලි මෙන් වැඩිවන්නේය.
19. මාගේ මුල ජලය දක්වා පැතිර ගියේය, පිනිද රෑ මුළුල්ලේ මාගේ අත්ත පිට පවතින්නේය.
20. මාගේ ඉසුර මා කෙරෙහි අමුව තිබේ, මාගේ දුන්නද මාගේ අතෙහි අලුත්වන්නේයයි කීමි.
21. මනුෂ්‍යයෝ මට ඇහුම්කන්දී බලාසිට, මාගේ දැනමුතුකම ලබන්ට නිශ්ශබ්දවුණෝය.
22. මාගේ වචනවලට පසු ඔව්හු කථානොකර සිටියෝය; මාගේ කථාව පිනි මෙන් ඔවුන් පිට වැටුණේය.
23. වැස්ස ගැන මෙන් ඔව්හු මා ගැන බලාසිටියෝය; අන්තිම වර්ෂාව ගැන මෙන් තමුන්ගේ මුඛය ඇරගන සිටියෝය.
24. මා සිනාසී ඔවුන් දෙස බැලූ කල ඔව්හු විශ්වාස නොකළෝය; මාගේ මුහුණේ එළියද නොසලකා නොසිටියෝය.
25. මම ඔවුන්ගේ මාර්ගය නියමකරදී, ප්‍රධානියාව හිඳ, හමුදාවෙහි රජෙකු මෙන්ද වැලපෙන්නන් සනසන්නෙකු මෙන්ද වාසයකෙළෙමි.

ජෝබ් 30:1-31
1. නුමුත් දැන් වයසින් මට වඩා බාලයෝ මට සරදම්කරති, ඔවුන්ගේ පියවරුන් මාගේ මෘග රැළේ බල්ලන් සමඟ සිටවන්ටවත් වටීයයි නොසිතුවෙමි.
2. එසේය, ඔවුන්ගේ අත්වල ශක්තියෙන් මට ඇති කම මොකද? ඔව්හු වනාහි බලය පිරිහී ගියාවූ මනුෂ්‍යයෝය.
3. හිඟකමද සාගතයද නිසා ඔව්හු කෘශව සිටිති; ඔව්හු පාළුවූ නිස්සාරවූ අඳුරු ඉඩම්වලදී, වියළි බිම්හි කෑම සොයමින්;
4. ලුණු ගස් පඳුරු පිටින් උදුරාගනිති; රොතෙම් මුල් ඔවුන්ගේ කෑම වේ.
5. ඔව්හු මනුෂ්‍යයන් අතරෙන් එළවනු ලබති; මනුෂ්‍යයෝ සොරෙකුට මෙන් ඔවුන්ට විරුද්ධව කෑගසමින් ඔවුන් ලුහුබඳිති.
6. අඳුරු මිටියාවත් කුහරවලද පොළොවෙන් පර්වතවලත් ගුහාවලද ඔව්හු වාසයකෙරෙති.
7. පඳුරු අතරේ ඔව්හු මොරගසති, කටුගස් යට ලගිති.
8. ඔව්හු මෝඩයන්ගේ පුත්‍රයෝය; එසේය, නීචයන්ගේ පුත්‍රයෝය; ඔව්හු දේශයෙන් තල්ලුකරදමනු ලැබුවෝය.
9. දැන් වනාහි මම ඔවුන්ගේ ගීතිකාව වී සිටිමි, එසේය, ඔවුන්ට නින්දා පාඨයක්ව සිටිමි.
10. ඔව්හු මා පිළිකුල්කොට මාගෙන් දුරුවෙති, මාගේ මුහුණ ඉදිරියෙහි කෙළගසන්ට භය නැත්තෝය.
11. උන්වහන්සේ තමන්ගේ පටිය ලිහා මට පීඩාකළ බැවින්, ඔව්හු මා ඉදිරියෙහි කටකලියාව අහක දැමුවෝය.
12. මාගේ දකුණු පැත්තෙහි කොලු රැළක් නැගිටිති; ඔව්හු මාගේ පාද තල්ලුකරදමති, මට විරුද්ධව ඔවුන්ගේ විනාශකාර මාර්ග ගොඩකරති.
13. ඔව්හු මාගේ පාර පෙරළාදමති, උදව්කාරයෙක් නැතුව සිටියදී, ඔව්හු මාගේ විපත්තිය වැඩිකරති.
14. ඔව්හු පළල් කපල්ලකින් මෙන් වැද, බිඳුණු තැන මැදින් මා පිටට පෙරළී එති.
15. භයානකකම් මා පිටට හැරී තිබේ; ඒවා සුළඟ මෙන් මාගේ ගරුත්වය ලුහුබැඳ එති; මාගේ ඉසුර වලාකුළක් මෙන් පහව ගියේය.
16. දැන් මාගේ ආත්මය මා තුළ වැගිරෙයි; විපත්ති දවස් මා අල්ලාගත්තේය.
17. රාත්‍රියේදී මාගේ ඇට මා තුළ සිදුරුවේ; මා විකාකන වේදනාවෝ විශ්‍රාම නොගනිති.
18. මාගේ රෝගයේ තදකම නිසා මාගේ වස්ත්‍රය දුර්වර්ණවී තිබේ. මාගේ සළුවේ කරපටිය මෙන් එය මා වටේ ඇලී තිබේ.
19. උන්වහන්සේ මා මඩේ හෙළූසේක, මම දූවිලි සහ අළු මෙන් වී සිටිමි.
20. මා ඔබට හඬගසන නුමුත් ඔබ මට උත්තර නොදෙනසේක; මා නැගිට සිටින නුමුත් ඔබ මා දෙස නිකම් බලාසිටිනසේක,
21. ඔබ මට කෲරතර වී සිටිනසේක, ඔබගේ අතේ බලයෙන් මට පීඩාකරනසේක.
22. ඔබවහන්සේ මා සුළඟට අසුකරදී, ගසාගන ගොස්, කුණාටුවෙන් දියවෙන්ට සලස්වනසේක.
23. මක්නිසාද ඔබ මරණයටත් ජීවත්ව සිටින සියල්ලන්ට නියමවූ ගෙටත් මා පමුණුවන බව දනිමි.
24. සැබවින් උන්වහන්සේ ජරාවාස පස් ගොඩකට විරුද්ධව තමන් අත දිගු නොකරනසේක; මේ කාරණා නිසා තමාගේ විනාශයේදී වුවත් යමෙකුට මොරගැසිය හැක්කේය.
25. දුකට පත්වූ අය ගැන මා වැලපුණේ නැද්ද? දිළිඳුන් ගැන මාගේ ආත්මය ශෝක නොවීද?
26. මා විසින් සැපත බලාසිටි කල විපත පැමිණියේය; එළිය ගැන බලාසිටිද්දී අන්ධකාරය පැමිණියේය.
27. මාගේ බඩවැල් නොනැවතී චංචල වෙති; විපත්ති දවස් මා පිටට පැමිණ තිබේ.
28. මම අව්වෙන් නොව ශෝකයෙන් කළුවී ඇවිදිමි; සභාවෙහි නැගිට පිහිට ඉල්ලා කෑ ගසමි.
29. මම සිවලුන්ට සහෝදරයෙක්ද පැස්බරුන්ට සමාගම්කාරයෙක්ද වී සිටිමි.
30. මාගේ හම කළුවී මා කෙරෙන් වැටෙන්නේය, මාගේ ඇට උෂ්ණයෙන් දැවෙන්නේය.
31. එබැවින් මාගේ වීණාව වැලපීමටත් මාගේ නළාව හඬන්නන්ගේ ශබ්දයටත් මාරුවී තිබේ.

ගීතාවලිය 97:7-12
7. රූපවලට මෙහෙකරන්නාවූ, පිළිම ගැන පාරට්ටුකරගන්නාවූ සියල්ලෝ ලජ්ජාවෙත්වා. දෙවිවරු සියල්ලෙනි, උන්වහන්සේට නමස්කාරකරව්.
8. ස්වාමිනි, සියොන් අසා සන්තෝෂවූවාය, යූදාගේ දූවරු ඔබගේ විනිශ්චයන් නිසා ප්‍රීතිවූය.
9. මක්නිසාද ස්වාමිනි, ඔබ මුළු පොළොවට උතුම්සේක. ඔබ සියලු දෙවිවරුන්ට වඩා අතිශයින් උසස්ව සිටිනසේක.
10. ස්වාමීන් ට ප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්. උන්වහන්සේ ස්වකීය ශුද්ධවන්තයන්ගේ ප්‍රාණ ආරක්ෂාකරනසේක; දුෂ්ටයන්ගේ අතින් ඔවුන් ගළවන සේක.
11. ධර්මිෂ්ඨයන්ට එළියත් අවංක සිත් ඇත්තන්ට ප්‍රීතියත් වපුරනලද්දේය.
12. ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි ප්‍රීතිවව්. උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.

හිතෝපදේශ 23:15-16
15. මාගේ පුත්‍රය, ඔබේ සිත ප්‍රඥාවන්ත නම් මාගේ සිතත් ප්‍රීතිමත් වන්නේය.
16. එසේය, ඔබේ තොල් හරි දේවල් පවසන විට මාගේ හෘදය පිනායන්නේය.

1 කොරින්ති 1:1-31
1. දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටීමට කැඳවනු ලැබුවාවූ පාවුල් සහ අපේ සහෝදරවූ සොස්තෙනස් විසින්,
2. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි පිරිසිදුකරනලද්දාවූ, ශුද්ධවන්තව සිටීමට කැඳවනලද්දාවූ කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටද ඔවුන්ගෙත් අපගෙත් ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු තැන්වල යාච්ඤාකරන්නාවූ සියල්ලන්ටද ලියා එවන වගනම්:
3. අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් ඔබ සැමට වේවා.
4. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැමට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිසා මම ඔබ සැම ගැන මාගේ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරමි.
5. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය ඔබ සැම තුළ ස්ථිරවූ ලෙසම,
6. ඔබ සැම සියලු කථාවෙහිද සියලු දැනගැනීමෙහිද උන්වහන්සේ තුළ පොහොසත් කරනලද්දහුය.
7. මෙසේ ඔබ සැම කිසි දීමනාවකින් අඩු නොව අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහුය.
8. අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී ඔබ සැම දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තිම දක්වා ඔබ සැම ස්ථිර කරනසේක.
9. ස්වකීය පුත්‍රවූ අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහභාගිකමට ඔබ සැම කැඳවාගත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටිනසේක.
10. ඉතින්, සහෝදරයෙනි, ඔබ සැම සියල්ලන් විසින් එකම දේ කථාකරන හැටියටද, ඔබ සැම අතරෙහි භේද නැතුව එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔබ සැමගෙන් ඉල්ලමි.
11. මක්නිසාද මාගේ සහෝදරයෙනි, ඔබ සැම අතරෙහි විවාද තිබෙන බව ක්ලොයිගේ පවුලේ අය මට දැන්නුවෝය.
12. ඉදින් මාගේ තේරුම නම්, ඔබ සැම එක් එක්කෙනා: මම පාවුල්ගේය; මම අපොල්ලොස්ගේය; මම කේපස්ගේය; මම ක්‍රිස්තුස්වහන්සේගේයයි කියන බවය.
13. ක්‍රිස්තුස්වහන්සේ බෙදී සිටිනසේක්ද? පාවුල් ඔබ සැම උදෙසා කුරුසියෙහි ඇණගසනු ලැබුවේද? නොහොත් පාවුල්ගේ නාමයට ඔබ සැම බව්තීස්මකරනු ලැබුවහුද?
14. මාගේ නාමයට ඔබ සැම බව්තීස්ම කරනලදැයි කියන්ට කිසිවෙකුට පුළුවන් නොවන ලෙස ක්‍රිස්පස්ද ගායස්ද ඇර
15. ඔබ සැමගෙන් වෙන කිසිවෙකු මා විසින් බව්තීස්ම නොකළ බැවින් දෙවියන්වහන්සේට ස්තුතිකරමි.
16. ස්තේපනස්ගේ ගෙයි වැසියන්ද බව්තීස්ම කෙළෙමි. ඒ ඇර මම වෙන කිසිවෙකු බව්තීස්මකෙළෙම්දැයි නොදනිමි.
17. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ මා යැවුවේ බව්තීස්මකරන්ට නොව ශුභාරංචිය දේශනාකරන්ටය. නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය නිෂ්ඵල නොවන පිණිස, වචනවල ඥානවන්තකමින් (දේශනාකරන්ට) නොවේය.
18. මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය.
19. ඒ හැටියට: මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නෙමි, බුද්ධිමත් අයගේ බුද්ධිය පහකරන්නෙමියි ලියා තිබේ.
20. ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාදකරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේ විසින් මෝඩකළා නොවේද?
21. මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේව ඇඳින නොගත් බැවින්, “දේශනාකිරීමේ මෝඩකම” කරණකොටගෙන අදහන්නන් ගළවන්ට දෙවියන්වහන්සේ සතුටුවූසේක.
22. කෙසේදයත්, යුදෙව්වරු ලකුණු ඉල්ලති, ග්‍රීක්වරු ප්‍රඥාව සොයති.
23. නුමුත් අපි කුරුසියෙහි ඇණගසනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ දේශනාකරමුව. උන්වහන්සේ යුදෙව්වරුන්ට පැකිලීමක්ය, අන්‍යජාතීන්ට මෝඩකමය;
24. නුමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීක්වරුන්ටත් දෙවියන්වහන්සේගේ බලය සහ දෙවියන්වහන්සේගේ ප්‍රඥාවත්ය.
25. මක්නිසාද දෙවියන්වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තය; දෙවියන්වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය.
26. මක්නිසාද සහෝදරයෙනි, ඔබ සැමගේ කැඳවීම, එනම් මාංසය ලෙස ප්‍රඥාවන්ත බොහෝ දෙනෙක්වත් බලවන්ත බොහෝ දෙනෙක්වත් වංශවත් බොහෝ දෙනෙක්වත් කැඳවනු නොලැබූ බව බලන්න.
27. නුමුත් දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක; දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්සේක;
28. ඇත්තාවූ දේවල් නැති කරන පිණිස නැති දේවල් වැනි ලෝකයේ පහත් දේවල්ද සුළුකොට සිතනු ලබන දේවල්ද දෙවියන්වහන්සේ තෝරාගත්සේක.
29. එසේ කළේ කොයි මනුෂ්‍යයෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පාරට්ටුකර නොගන්නා පිණිසය.
30. නුමුත් උන්වහන්සේ කරණකොටගෙන ඔබ සැම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.
31. එහෙයින්, ලියා තිබෙන ලෙස, ගරුකම් කියන්නා ස්වාමීන්වහන්සේ කෙරෙහි ගරුකම් කියාවා.