A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 18

ජෝබ් 27:1-23
1. නැවත යෝබ් තමාගේ කථාව පටන්ගෙන කියනුයේ:
2. මාගේ යුක්තිය වැලැක්වූ දෙවියන්වහන්සේද මාගේ ආත්මය ශෝකකළාවූ සර්වපරාක්‍රමයාණන්ද ජීවමාන බව සැබෑවාසේම,
3. (මාගේ හුස්ම මා තුළේද, දෙවියන්වහන්සේ දුන් පණ මාගේ නාසේද තිබෙන තුරුම,)
4. සැබවින් මාගේ තොල්වලින් අධර්මිෂ්ඨ දෙයක් නොකියන්නෙමි, මාගේ දිවෙන් ප්‍රයෝගයක් නොනික්මවන්නෙමි.
5. ඔබ සැම නිදොස්කිරීම මාගෙන් දුරුවේවා. මා නසින තුරුම මාගේ අවංකකම පහ නොකරන්නෙමි.
6. මාගේ ධර්මිෂ්ඨකම අත්නෑර ඒක අල්ලාගනම සිටින්නෙමි. මට දිවි ඇති තාක් මාගේ සිත මට වරද නොතබන්නේය.
7. මාගේ සතුරා දුෂ්ටයෙකු මෙන්ද මාගේ විරුද්ධකාරයා අධර්මිෂ්ඨයෙකු මෙන්ද වේවා.
8. අභක්තිකයා කොල්ලකාගන්න නුමුත්, දෙවියන්වහන්සේ ඔහුගේ ප්‍රාණය අහක්කරගන්න විට ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද?
9. විපත ඔහු පිටට පැමිණෙන විට දෙවියන්වහන්සේ ඔහුගේ හඬගැසීම අසනවා ඇද්ද?
10. ඔහු සර්වපරාක්‍රමයාණන් තුළ ප්‍රීතිවී, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤාකරනවා ඇද්ද?
11. සර්වපරාක්‍රමයාණන් වෙත තිබෙන දේ නොසඟවා, දෙවියන්වහන්සේගේ හස්තය ගැන ඔබ සැමට උගන්වන්නෙමි.
12. බලව, ඔබ සැම සියල්ලෝම එය දුටුවෝය; එසේනම් ඔබ සැම මෙසේ නිෂ්ඵල දේ කථාකරන්නේ මක්නිසාද?
13. දෙවියන්වහන්සේගෙන් දුෂ්ට මනුෂ්‍යයෙකුට ලැබෙන කොටසත් බලාත්කාරකාරයන්ට සර්වපරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමයත් මේය.
14. ඔහුගේ දරුවන් බෝවෙතත් ඒ කඩුවටය; ඔහුගෙන් පැවත එන්නෝද කෑමෙන් තෘප්තියට නොපැමිණෙන්නෝය.
15. ඔහුගෙන් ඉතුරු අය වසංගතයෙන් මිනීවළට පත්වන්නෝය, ඔහුගේ වැන්දඹුවෝද නොවැලපෙන්නෝය.
16. ඔහු පස් වාගේ රිදී ගොඩකරගන, මැටි වාගේ වස්ත්‍ර සපයාගත්තත්,
17. ඔහු සපයන ඒවා ධර්මිෂ්ඨයා ඇඳගන, නිර්දෝෂ අය ඒ රිදී බෙදාගන්නවා ඇත.
18. කාවා මෙන්ද පැල් රකින්නා සාදන මඩුවක් මෙන්ද ඔහු තමාගේ ගෙය ගොඩනගයි.
19. ඔහු පොහොසත්ව සැතපෙන නුමුත් තවත් එසේ නොකරන්නේය; ඔහු තමාගේ ඇස් ඇර බලන්නේය, එවේලේම නැතිවී යන්නේය.
20. භයානකකම් ජලයන් මෙන් ඔහු පිටට පැමිණෙන්නේය; රාත්‍රියේදී කුණාටුවක් ඔහු පැහැරගෙන යන්නේය.
21. පෙරදිග සුළඟින් ඔහු ගෙනයනු ලබන්නේය, ඔහුද පහව යයි; එය ඔහුගේ ස්ථානයෙන් ඔහු හෙළා දමයි.
22. ඔහු දෙවියන්වහන්සේගේ හස්තය කෙරෙන් පලායන්ට හදන නුමුත්, උන්වහන්සේ ඔහුට කරුණා නොකොට ඔහු පිටට පහර එවනවා ඇත.
23. මනුෂ්‍යයෝ අත්පිඩිගසා නිග්‍රහකොට ඔහුගේ ස්ථානයෙන් ඔහු පන්නා දමන්නාහුය.

ජෝබ් 28:1-28
1. සැබවින් රිදී තිබෙන ආකරයක්ද පිරිසිදුකරන රනට ස්ථානයක්ද තිබේ.
2. යකඩ පොළොවෙන් හාරාගනු ලැබේ. ගල් උණුකර පිත්තල ලබාගනිති.
3. මනුෂ්‍යයා අන්ධකාරය පහකොට ඝනාන්ධකාරයෙත් මරණ සෙවණෙත් ගල් තීන්දුවටම සොයයි.
4. මිනිසුන් වාසයකරන තැනට දුරින් ඔහු පොළොව හාරා බසියි; ඔව්හු මනුෂ්‍යයන්ගෙන් ඈත්ව, පාදයට නොදැනෙන හැටියට එල්ලී ඉඳ එහා මෙහා පදිති.
5. පොළොවෙන් කෑම හටගනියි. නුමුත් ඇතුළත ගින්නෙන් මෙන් පෙරළා තිබේ.
6. ඒකේ ගල් අතරේ නීලමාණික්‍යද රන් සුණුද තිබේ.
7. ඒ මාවත කිසි පක්ෂියෙක් නොදනියි, උකුස්සාගේ ඇසට ඒක නොපෙනුණේය.
8. චණ්ඩ මෘගයෝ එහි පය නොතැබුවෝය, රෞද්‍ර සිංහයෙක්ද ඒ ළඟින් නොගියේය.
9. ඔහු තමාගේ අත ගිනිගල් පර්වතයට විරුද්ධව දිඟුකොට, කඳු මුලින්ම පෙරළන්නේය.
10. ඔහු පර්වතවල දිය පාරවල් කපා සියලු ආකාර අනර්ඝ දේ තමාගේ ඇසින් දකින්නේය.
11. නොවැස්සෙන හැටියට ඔහු ගංගා අහුරයි; සැඟවී තිබෙන දේ එළියට ගෙනෙයි.
12. නුමුත් ප්‍රඥාව සම්බවන්නේ කොතැන්හිද? නුවණ තිබෙන තැන කොහේද?
13. මනුෂ්‍යයා ඒකේ අගය නොදනියි; ජීවතුන්ගේ දේශයෙහි ඒක සම්බනොවෙයි.
14. ඒක මා තුළ නැතැයි ගැඹුර කියන්නේය. ඒක මා වෙත නැතැයි මුහුදත් කියන්නේය.
15. රත්රන් දීලා ඒක ගන්ට බැරිය, ඒකේ වටිනාකමට රිදී කිරා දීලාවත් එය ලබාගත නොහැකිය.
16. ඒක ඕපීර්හි රනින්වත් අනර්ඝ නඛමාණික්‍යයෙන්වත් නීලකාන්තයෙන්වත් මිලකරන්ට බැරිය.
17. රන්වන් වීදුරුවත් ඊට සමාන නොවේ; පවිත්‍ර රන් ආභරණවලට ඒක මාරුකරන්ට බැරිය.
18. රතුකැට සහ පළිඟු සඳහන් කරන්ටවත් වුවමනා නැත. එසේය, ප්‍රඥාව මුතුවලටත් වඩා අගේය.
19. කූෂ්හි පුෂ්පරාග ඊට සමාන නොවේ. පවිත්‍ර රනින් ඒකේ අගය නියමකරන්ට බැරිය.
20. එසේ වී නම් ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනින්ද? නුවණ තිබෙන තැන කොහේද?
21. ඒක පණ ඇති සියල්ලන්ගේ ඇස්වලට නොපෙනී, ආකාශ පක්ෂීන්ගෙන්ද සැඟවී තිබේ.
22. ඒකේ කීර්තිය අපේ කන්වලින් ඇසීමුයයි විනාශයත් මරණයත් කියති.
23. ඒකේ මාර්ගය දෙවියන්වහන්සේට තේරුම් තිබේ, එය තිබෙන ස්ථානයද උන්වහන්සේ දන්නාසේක.
24. මක්නිසාද උන්වහන්සේ පොළොවේ කෙළවරවල් දක්වා බලා, අහස යට සියල්ල දකිනසේක.
25. උන්වහන්සේ සුළඟ නිසි බරට හදන්ටත්, ජලයන් මිම්මකින් මනින්ටත්,
26. වර්ෂාවට නියෝගයක්ද ගර්ජනාවේ විදුලියට මාර්ගයක්ද සාදන්ටත් යෙදුණු විට,
27. උන්වහන්සේ ඒක දැක කියාදුන්සේක; ඒක ස්ථිරකර සෝදිසිකළසේක.
28. උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.

ගීතාවලිය 97:1-6
1. ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; පොළොව ප්‍රීති වේවා; ද්වීප සමූහය සන්තෝෂවෙත්වා.
2. වලාකුල් සහ අන්ධකාරය උන්වහන්සේ හාත්පසය. ධර්මිෂ්ඨකම සහ යුක්තිය උන්වහන්සේගේ සිංහාසනයේ අත්තිවාරමය.
3. උන්වහන්සේ ඉදිරියේ ගින්නක් යමින් හාත්පස උන්වහන්සේගේ විරුද්ධකාරයන් දවයි.
4. උන්වහන්සේගේ විදුලි ලෝකය ආලෝකකෙළේය. පොළොව ඒ දැක කම්පාවිය.
5. හෙල් ස්වාමීන් ඉදිරියෙහි, එනම් මුළු පොළොවේ ස්වාමීන් ඉදිරියෙහි, ඉටි මෙන් උණුවූය.
6. ආකාශය උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරයි, සියලු මනුෂ්‍ය වර්ගයෝ උන්වහන්සේගේ මහිමය දුටුවෝය.

හිතෝපදේශ 23:13-14
13. දරුවාගෙන් දඬුවම නොවලක්වන්න; ඉපලෙන් ඔබ ඔහුට තළන්නෙහි නම් ඔහු නගින්නේ නැත.
14. ඉපලෙන් ඔහුට තළන්න; එයින් ඔබ ඔහුගේ ප්‍රාණය ෂෙයෝලෙන් ගළවන්නෙහිය.

රෝම 16:1-27
1. කෙංක්‍රයේ තිබෙන සභාවෙහි මෙහෙකාරියෙක්වූ පේබී නම් අපගේ සහෝදරී ශුද්ධවන්තයන්ට ඔබිනාලෙස ඔබ සැම විසින් ස්වාමීන්වහන්සේ තුළ පිළිගනු ලබන ලෙසත්,
2. ඈට ඔබ සැමගෙන් ඕනෑකරන කවර කාරණයකදී නුමුත් උපකාරකරන ලෙසත්, ඔබ සැමට ඈ භාරකරමි. මක්නිසාද ඈ බොහෝ දෙනෙකුගේද මාගේද උපකාරකාරියෙක්ව සිටියාය.
3. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ හවුල් වැඩකාරයන්වූ, මාගේ ජීවිතය උදෙසා තමුන්ගේ බෙල්ල දුන්නාවූ ප්‍රිස්කාටද අකිලාටද ආචාරකරන්න.
4. මා පමණක් නොව අන්‍යජාතීන්ගේ සියලු සභාවෝද ඔවුන්ට ස්තුතිකරති.
5. ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේට ආසියාවේ ප්‍රථම ඵලවූ මාගේ ප්‍රියවූ එපීනතස්ට ආචාරකරන්න.
6. ඔබ සැම නිසා බොහෝ වෙහෙස දැරුවාවූ මරියාට ආචාරකරන්න.
7. ප්‍රේරිතයන් අතරෙහි ප්‍රසිද්ධවූ, මට පළමුවෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටියාවූ, මාගේ නෑයන්වූ, මාගේ හවුල් හිරකාරයන්වූ අන්ද්‍රෝනිකස්ට හා යූනියස්ට ආචාරකරන්න.
8. ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රියවූ අම්ප්ලියාතුස්ට ආචාරකරන්න.
9. ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ හවුල් සේවකයෙක්වූ උර්බානස්ටද මාගේ ප්‍රියවූ ස්තාකිස්ටද ආචාරකරන්න.
10. ක්‍රිස්තුස්වහන්සේ තුළ පිළිගනු ලැබූ අපොල්ලස්ට ආචාරකරන්න. අරිස්තොබුලස්ගේ ගෙට අයිතිවූවන්ට ආචාරකරන්න.
11. මාගේ නෑයාවූ හෙරෝදියෝන්ට ආචාරකරන්න. නාර්කිසස්ගේ ගෙට අයිතිවූවන්ගෙන් ස්වාමීන්වහන්සේ තුළ සිටින්නන්ට ආචාරකරන්න.
12. ස්වාමීන්වහන්සේ තුළ වැඩ කරන තෘපේනාටද තෘපෝසාටද ආචාරකරන්න. ස්වාමීන්වහන්සේ තුළ බොහෝ වෙහෙස දැරුවාවූ ප්‍රියවූ පර්සිස්ට ආචාරකරන්න.
13. ස්වාමීන්වහන්සේ තුළ තෝරාගනු ලැබූවාවූ රූපස්ටද ඔහුගෙත් මාගෙත් මෑණියන්ටද ආචාරකරන්න.
14. අසින්ක්‍රිතස්ටද ප්ලෙගෝන්ටද හෙර්මෙස්ටද පත්‍රොබස්ටද හෙර්මස්ටද ඔවුන් සමඟ සිටින්නාවූ සහෝදරයන්ටද ආචාරකරන්න.
15. පිලොලොගස්ටද ජූලියාටද නේරියස්ටද ඔහුගේ සහෝදරීටද ඔලිම්පස්ටද ඔවුන් සමඟ සිටින්නාවූ සියලු ශුද්ධවන්තයන්ටද ආචාරකරන්න.
16. ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ ඔබ සැමට ආචාරකරති.
17. සහෝදරයෙනි, ඔබ සැම ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වෙන මෙන් ඔබ සැමගෙන් ඉල්ලමි.
18. මක්නිසාද එබඳු අය අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේට නොව තමුන්ගේම බඩට සේවයකරමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අවංක අයවලුන්ගේ සිත් මුළාකරති.
19. මක්නිසාද ඔබ සැමගේ කීකරුකම සියල්ලන්ටම ප්‍රකාශවී තිබේ. එබැවින් ඔබ සැම ගැන ප්‍රීතිවෙමි. එසේවී නුමුත් ඔබ සැම යහපත ගැන ප්‍රඥාවන්තව, නපුර ගැන නිවටව සිටිනවාට කැමැත්තෙමි.
20. සමාදානයේ දෙවියන්වහන්සේද නොබෝ කලකින් සාතන් ඔබ සැමගේ පාද යට දමා පොඩිකරනසේක. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය ඔබ සැම සමඟ වේවා.
21. මාගේ හවුල් සේවකයෙක්වූ තිමෝතියස්ද මාගේ නෑයෝවූ ලූකියස්ද යාසෝන්ද සෝසිපාතර්ද ඔබ සැමට ආචාරකරති.
22. මේ ලියුම ලියන තර්තියස් නම් මම ස්වාමීන්වහන්සේ තුළ ඔබ සැමට ආචාරකරමි.
23. මටද මුළු සභාවටද ආගන්තුක සත්කාරකරන්නා වන ගායස් ඔබ සැමට ආචාරකරයි. නුවර භාණ්ඩාගාරිකවූ එරස්තස්ද සහෝදරවූ ක්වර්තස්ද ඔබ සැමට ආචාරකරති.
24. ***
25. ඉතින් සදාකාලය පටන් නිශ්ශබ්දව තිබී, දැන් එළිදරව්වී තිබෙන, අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් ප්‍රකාශ කරනලදුව, ඇදහිල්ලේ කීකරුකම පිණිස සියලු ජාතීන්ට සදාකාලික දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස දන්වනු ලැබුවාවූ,
26. ඒ රහස එළිදරව්වීමේ හැටියටද, මාගේ ශුභාරංචියේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනාකිරීමේ හැටියටද, ඔබ සැම ස්ථිරකරන්ට සමර්ථවූ,
27. එකම ප්‍රඥාවන්තවූ දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සදාකල්ම ගෞරවය වේවා. ආමෙන්.