Instagram
English
A A A A A
ජෝබ් 23:1-17
1. එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2. අද දක්වාම මාගේ විලාපය දුක්ඛිතය; මට වැදී තිබෙන පහර මාගේ කෙඳිරිගෑමට වඩා බරය.
3. අහෝ උන්වහන්සේගේ ආසනය ළඟටම පැමිණ, උන්වහන්සේ සම්බවෙන්ට පුළුවන් තැන දැනගන්ට ඇත්නම්!
4. එවිට උන්වහන්සේ ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළට තබන්නෙමි, මාගේ මුඛයද තර්කවලින් පුරවන්නෙමි.
5. උන්වහන්සේ මට උත්තරදෙන වචන දැනගන්නෙමි, මට කියන දේ තේරුම්ගන්නෙමි.
6. උන්වහන්සේ තමන් බලයේ මහත් කරමින් මා සමඟ විවාදකරනවා ඇද්ද? නැත, උන්වහන්සේ මට ඇහුම්කන් දෙනවා ඇත.
7. එහිදී ධර්මිෂ්ඨ අයට උන්වහන්සේ සමඟ කාරණා කියා සිටින්ට පුළුවන; මෙසේ මාගේ විනිශ්චයකාරයාණන්ගෙන් සදාකාලයටම මිදෙන්ට මට පුළුවන්වන්නේය.
8. නුමුත් මා ඉස්සරහට ගියත් උන්වහන්සේ එහි නැත; මා පස්සට ගියත් උන්වහන්සේ දකින්ට නොහැකිවෙමි.
9. වම් පැත්තෙහි උන්වහන්සේ ක්‍රියා කරන කල උන්වහන්සේ දකිනු නොහැක්කෙමි. දකුණු පැත්තෙහිද මට නොපෙනෙන ලෙස උන්වහන්සේ සැඟවෙන සේක.
10. එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි.
11. මාගේ පාදය උන්වහන්සේගේ අඩි පාර අනුවම ගියේය; මම අහක් නොවී උන්වහන්සේගේ මාර්ගයෙහිම ගියෙමි.
12. උන්වහන්සේගේ තොල්වල ආඥාවෙන් අහක්ව නොගොස්, මාගේ වුවමනා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන අගේකොට තබාගතිමි.
13. එහෙත් උන්වහන්සේගේ අදහස එකක්මය, උන්වහන්සේ හරවන්නේ කවුද? තමන්වහන්සේගේ සිතට කැමති දෙයම උන්වහන්සේ කරනසේක.
14. එසේය, මා ගැන නියමකර තිබෙන දේ උන්වහන්සේ ඉෂ්ටකරනසේක. එබඳු බොහෝ කාරණා උන්වහන්සේ වෙත තිබේ.
15. එබැවින් මම උන්වහන්සේ ඉදිරියෙහි කැලඹෙමි; කල්පනාකරන කල උන්වහන්සේ ගැන භයවෙමි.
16. දෙවියන්වහන්සේ මාගේ සිත ක්ලාන්තකළසේක. සර්වපරාක්‍රමයාණෝ මා කැලඹූසේක.
17. ඒ වනාහි අන්ධකාරය පැමිණෙන්ට මත්තෙන් මා සිඳිනු නොලැබූ නිසාත් උන්වහන්සේ මාගේ මුහුණෙන් ඝනාන්ධකාරය නොසැඟෙවු නිසාත්ය.

ජෝබ් 24:1-25
1. සර්වපරාක්‍රමයාණන් විසින් කාලයන් නියමකර නැත්තේ මන්ද? උන්වහන්සේ අඳුනන අය උන්වහන්සේගේ දවස් නොදකින්නේ මන්ද?
2. මායිම් පහකරන්නාවූ අය සිටිති; ඔව්හු මෘග රැළවල් පැහැරගෙන ගොස් තණ කවති.
3. ඔව්හු පියා නැත්තාගේ කොටළුවා දක්කාගන යති, වැන්දඹුවගේ හරකා උකසට ගනිති.
4. ඔව්හු දිළිඳුන් මාර්ගයෙන් හරවති. පොළොවේ දුප්පත් සියල්ලෝ එක්ව සැඟවෙති.
5. කාන්තාරයේ වල් කොටළුවන් මෙන් ඔව්හු කෑම සොයමින්ම තමුන්ගේ වැඩේට පිටත්ව යති; මරුකතර ඔවුන්ගේ දරුවන්ට කෑම දෙයි.
6. ඔව්හු කෙතේ කටුසර බෝග කපාගනිති; දුෂ්ටයාගේ මිදිවත්තේ ඉතිරි ඵලද අවුලාගනිති.
7. ඔව්හු රෑ මුළුල්ලේ වස්ත්‍ර නැතුව නග්නව ලගිති, ශීතලට වැස්මකුත් ඔවුන්ට නැත.
8. ඔව්හු කඳුවල වැස්සට තෙමී, මුවාවක් නැති හෙයින් පර්වතයට ඇලී හිඳිති.
9. පියා නැත්තා ළයෙන් උදුරාගන්නොත් අසරණයාගෙන් උකසක් ගන්නොත් ඇත.
10. එබැවින් ඔව්හු ඇඳුම් නැතුව නග්නව ඇවිදිති, සාගින්නෙන් යුක්තව ගොයම් මිටි ගෙනයති;
11. ඒ මනුෂ්‍යයන්ගේ තාප්ප ඇතුළෙහි ඔව්හු තෙල් හිඳිති; මිදි යන්ත්‍ර පාගමින් පිපාසය විඳිති.
12. ජනගහනවූ නුවර තුළ සිටි මරණාසන්න වූවත් කෙඳිරිගාති, තුවාලවූවන්ගේ ආත්මද මොරගසති. එහෙත් දෙවියන්වහන්සේ ඒ වරද නොසලකනසේක.
13. මොව්හු ආලෝකයට විරුද්ධව කැරළි ගසන්නෝ වෙති; මොව්හු ඒකේ මාර්ගයන් නොදනිති, ඒකේ මාවත්වල නොපවතී.
14. මිනීමරුවා එළිවෙන විටම නැඟිට අසරණයාත් දිළින්දාත් මරන්නේය; රාත්‍රියේ ඔහු සොරෙකු මෙන් වේ.
15. කාමමිථ්‍යාචාරිකයාගේ ඇසද ඇඳිරිවෙන තුරු බලා සිට: කිසි ඇසකට මා නොපෙනෙන්නේය කියා ඔහු තමාගේ මුහුණේ වැස්මක් දමාගනී.
16. ඔව්හු අන්ධකාරයේදී ගෙවල් උමංකණිති. දවාලෙහි සැඟවී ඉඳිති; ඔව්හු එළිය නොදනිති.
17. මක්නිසාද පහන්වීම ඔවුන් සියල්ලන්ට මරණ සෙවණ වැනිය; මක්නිසාද ඔව්හු මරණ සෙවණේ භයංකරකම් දනිති.
18. ඔහු වනාහි ජලය මතුපිට තිබෙන සැහැල්ලු දෙයක් මෙන්ය; ඔවුන්ගේ කොටස පොළොවෙහි ශාපලත් එකක්ය. මිදිවතු දෙසට ඔහු නොහැරෙයි.
19. නියඟය හා ග්‍රීෂ්මය හිම වතුර සිඳදමන්නේ යම්සේද, ෂෙයෝල වනාහි පව්කළ අයට එසේම කරන්නේය.
20. ඔහු බිහිකළ තැනැත්තී ඔහුව මතක නැතිකරයි; ඔහු පණුවන්ට මිහිරි කෑමක් වන්නේය. ඔහු තවත් සිහි නොවන්නේය. අධර්මිෂ්ඨකමද ගහක් මෙන් කඩා දමනු ලබන්නේය.
21. දරුවන් බිහිනොකරන වඳ ස්ත්‍රියට ඔහු පීඩාකරයි; වැන්දඹුවට යහපත කරන්නෙත් නැත.
22. ඔහු තමාගේ බලයෙන් බලවත් අය අහකට ඇද දමයි. ඔහු නැගිටින කල කිසිවෙකුට තමාගේ ජීවිතය ගැන විශ්වාසයක් නැත.
23. දෙවියන්වහන්සේ ඔවුන්ට සුවසේ සිටින්ට දෙන විට ඔව්හු නිශ්චලව සිටිති; උන්වහන්සේගේ ඇස් ඔවුන්ගේ මාර්ග දෙස තිබෙයි.
24. ඔව්හු උසස්වෙන නුමුත් ටික කලකින් නැතුව යති; එසේය, ඔව්හු පහත්කරනු ලැබ අන් සියල්ලන් මෙන් තුරන්ව යති, ගොයම් කරල් මෙන් කපනු ලබති.
25. ඒ එසේ නොවේනම් මා බොරුකාරයෙක් බව ඔප්පුකොට මාගේ කථාව නිෂ්ප්‍රභාකරන්නේ කවුදැයි කීවේය.

ජෝබ් 25:1-6
1. එවිට ෂූහියවූ බිල්දද් උත්තර දෙමින් කියනුයේ:
2. අධිපතිකමද භයංකරකමද උන්වහන්සේ වෙත තිබේ; උන්වහන්සේ තමන් උස් තැන්වලදී සමාදානය සිදුකරනසේක.
3. උන්වහන්සේගේ හමුදාවලට ගණනක් තිබේද? උන්වහන්සේගේ එළිය නොපායන්නේ කා කෙරෙහිද?
4. එසේනම් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කොහොමද? නොහොත් ස්ත්‍රියෙකුගෙන් උපන් තැනැත්තා පවිත්‍රවන්නේ කොහොමද?
5. බලව, චන්ද්‍රයා පවා දීප්තිමත් නොවේ; තාරකාද උන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නොවෙති.
6. පණුවෙක් වැනිවූ මනුෂ්‍යයාත් පණුවෙක් වැනිවූ මනුෂ්‍ය පුත්‍රයාත් ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේදැයි කීවේය.

ගීතාවලිය 96:7-10
7. මනුෂ්‍ය වර්ගයෙනි, ස්වාමීන් ට දෙව්, මහිමයත් බලයත් ස්වාමීන් ට දෙව්.
8. ස්වාමීන් ගේ නාමයට දිය යුතු මහිමය දෙව්. පූජාවක් රැගෙන උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුල්වව්.
9. ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන් ට නමස්කාරකරව්. පොළොවේ සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියෙහි වෙවුලමින් සිටිව්.
10. ස්වාමීන්වහන්සේ රජකම්කරනසේක කියාත්, නොසෙලවෙන ලෙස ලෝකය පිහිටා තිබේය කියාත්, උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින් විනිශ්චයකරනසේක කියාත් ජාතීන් අතරේ කියව්.

හිතෝපදේශ 23:9-9
9. අඥානයා ඉදිරියේ කථා නොකරන්න; මක්නිසාද ඔහු ඔබේ වචනවල සාරකම සුළුකරන්නේය.

රෝම 15:1-24
1. ඉදින් බලවත්වූ අප විසින් අපම සතුටුකර නොගෙන, බෙලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය.
2. අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා.
3. මක්නිසාද: ඔබට නින්දාකළවුන්ගේ නින්දා මා පිටට පැමිණියේයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස්වහන්සේද තමන්ම සතුටුකර නොගත්සේක.
4. මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.
5. ඔබ සැම එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස,
6. ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස ඔබ සැම එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.
7. එහෙයින් දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස ක්‍රිස්තුස්වහන්සේ ඔබ සැම පිළිගත් ලෙසම ඔබ සැමත් එකිනෙකා පිළිගන්න.
8. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ සත්‍යතාව උදෙසා චර්මඡේද්‍යයේ මෙහෙකරුවෙක් වූසේකැයි කියමි. කුමටද, පියවරුන්ට දුන් පොරොන්දු ස්ථිරකරන පිණිසත්,
9. අන්‍යජාතීන් විසින් දෙවියන්වහන්සේගේ දයාව ගැන උන්වහන්සේට ගෞරවකරන පිණිසත්ය. ඒ හැටියට: එබැවින් අන්‍යජාතීන් අතරේ ඔබ වර්ණනාකරන්නෙමි, ඔබගේ නාමයට ගීතිකා කියන්නෙමියි ලියා තිබේ.
10. නැවතත්: අන්‍යජාතීනි, උන්වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීතිවෙන්නැයි කියා තිබේ.
11. නැවතත්: සියලු අන්‍යජාතීනි, ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්න; සියලු වර්ගයෝ උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියා තිබේ.
12. නැවතත් යෙසායා: යෙස්සේගේ මුලවූද අන්‍යජාතීන් කෙරෙහි රජකම්කරන්ට නැගිටින්නාවූද තැනන්වහන්සේ එනසේක; උන්වහන්සේ කෙරෙහි අන්‍යජාතීහු බලාපොරොත්තුවන්නෝයයි කියයි.
13. ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් ඔබ සැම අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද ඔබ සැම පූර්ණකරනසේක්වා.
14. මාගේ සහෝදරයෙනි, ඔබ සැමම යහපත්කමින් පිරී, සියලු දැනගැන්මෙන් පූර්ණව, එකිනෙකාට දැනමුතුකම් දෙන්ට පොහොසත්වූ අය බව මමම ඒකාන්තයෙන්ම දනිමි.
15. එහෙත් මා විසින් ඔබ සැමට නැවත සිහිකරවන්ට මෙන් වඩා නිර්භීතකමින් තරමක් දුරට ලියන්නේ, අන්‍යජාතීන් නමැති පූජාව ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ශුද්ධ කරනලදුව පිළිගත යුතු වන පිණිස,
16. දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ සේවය පවත්වමින්, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන්වහන්සේ මට දී තිබෙන කරුණාව නිසාය.
17. එහෙයින් දෙවියන්වහන්සේට අදාළ කාරණා ගැන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ පාරට්ටු කරගැනීමක් තිබේ.
18. මක්නිසාද අන්‍ය ජාතීන්ගේ කීකරුවීම පිණිස වචනයෙන්ද ක්‍රියාවෙන්ද, ලකුණුවල සහ පුදුමවලත් බලයෙන්ද, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්ද,
19. ක්‍රිස්තුස්වහන්සේ විසින් මා කරණකොටගෙන කරවනලද කාරණා ගැන මිස, අන් කිසිවක් ගැන කථාකරන්ට සිතටවත් නොගතිමි. එසේම යෙරුසලම පටන් ඉල්ලුරිකය දක්වා අවට රටවල ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සම්පූර්ණ වශයෙන් දේශනාකෙළෙමි.
20. එසේය, වෙන කෙනෙකුගේ අත්තිවාරම පිට ගොඩ නොනගන පිණිස ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සඳහන්කරනු ලැබූ තැන්වල නොව:
21. උන්වහන්සේ ගැන ආරංචි නොලැබූ අය දකින්නෝය, උන්වහන්සේ ගැන නෑසූ අය තේරුම්ගන්නෝයයි ලියා තිබෙන ලෙස, ශුභාරංචිය දේශනාකරන්ට අභිප්‍රායකෙළෙමි.
22. ඔබ සැම ළඟට මාගේ ඊම කීප වරක් වැලකුණෙත් ඒ නිසාය.
23. නුමුත් දැන් මේ රටවල මට තවත් ඉඩක් නැති බැවින්ද, බොහෝ අවුරුදු ගණනක පටන් ඔබ සැම ළඟට එන්ට මහත් ආශාවක් මට තිබෙන බැවින්ද,
24. මම ස්පාඤ්ඤයට යන කල එන්නෙමි. (මක්නිසාද ගමෙන්දී ඔබ සැම දකින්ටත්, ඔබ සැම එක්ව සමාගම්වීමෙන් තරමක් දුරට තෘප්තියට පැමුණුණායින් පසු ඔබ සැම විසින්ම එහාට ඇරලනු ලබන්ටත් බලාපොරොත්තුවෙමි.)