Instagram
English
A A A A A
ජෝබ් 21:1-34
1. එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2. මාගේ කථාව සැලකිල්ලෙන් අසන්න; මේක ඔබ සැමගේ සැනසීම් වේවා.
3. මටත් කථාකරන්ට ඉඩ අරින්න; මා කථාකළායින් පසු නින්දාකරන්න.
4. මාගේ පැමිණිල්ල කරන්නේ මනුෂ්‍යයාටද? මා ඉවසිලි නැතුව නොසිටින්ට කාරණය මොකද?
5. මා දෙස බලා විස්මපත්වී, අතින් කට වසාගන්න.
6. සිහිවෙන විටම මම කැලඹෙමි, තැතිගැන්ම මාගේ මාංසය අල්වාගනියි.
7. දුෂ්ටයන් ජීවත්වන්නෙත්, වෘද්ධ වයසට පැමිණ බලවත්වන්නෙත් මක්නිසාද?
8. ඔවුන් ඉදිරියෙහි ඔවුන්ගේ වංශයද ඔවුන්ගේ ඇස් හමුයෙහි ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ පිහිටෙන්නෝය.
9. ඔවුන්ගේ ගෙවල් භයින් තොරව සුරැකිව තිබේ, දෙවියන්වහන්සේගේ ඉපලද ඔවුන් පිට නැත.
10. ඔවුන්ගේ ගොනා නොවරද්දා පැටවුන් ජනිතකරයි; ඔවුන්ගේ එළදෙන ගබ්සා නොවී බිහිකරයි
11. ඔවුන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති, ඔවුන්ගේ දරුවෝද නටති.
12. ඔව්හු රබානද වීණාවද ඇතුව ගීතිකා කියති, නළාවේ ශබ්දයටද ප්‍රීතිවෙති.
13. ඔව්හු සැපතින් දවස් යවති, ඇසිල්ලකින් ෂෙයෝලට බැසයති.
14. ඔව්හු දෙවියන්වහන්සේට කථාකොට: අප වෙතින් අහක්ව ගිය මැනව; මක්නිසාද ඔබගේ මාර්ග දැනගැන්මට අපි නොකැමැත්තෙමුව.
15. අප විසින් සර්වපරාක්‍රමයාණන්ට මෙහෙකරන්ට උන්වහන්සේ කවුද? උන්වහන්සේට යාච්ඤාකළත් අපට මොන ප්‍රයෝජනයක් වේදැයි කීවෝය.
16. බලව, ඔවුන්ගේ සමෘද්ධිය ඔවුන්ගේ අතේ නොවේය. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය මාගෙන් දුරුව තිබේ.
17. දුෂ්ටයන්ගේ පහන නිවී, ඔවුන්ගේ විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නෙතේ, දෙවියන්වහන්සේ ස්වකීය කෝපයෙන් දුක් බෙදාදෙන්නෙත්,
18. ඔවුන් සුළඟට ගහගනයන ඉපනැල්ල මෙන්ද සුළඟට අසුවීයන බොල් මෙන්ද වෙන්නෙත් කොපමණ වාරවලද?
19. දෙවියන්වහන්සේ ඔහුගේ අපරාධය ඔහුගේ දරුවන්ට රැස්කර තබනසේකැයි ඔබ සැම කියන්නහුය. ඔහු දැනගන්න පිණිස උන්වහන්සේ ඔහුටම ප්‍රතිඵල පමුණුවනසේක්වා.
20. ඔහුගේ විනාශය ඔහුගේම ඇස්වලට පෙනේවා, ඔහු සර්වපරාක්‍රමයාණන්ගේ උදහස පානයකෙරේවා.
21. ඔහුගේ මාස ගණන මැදින් සිඳිනු ලැබූ කල්හි තමාට පසුව සිටින ඔහුගේ පවුලෙන් ඔහුට මොන සතුටක්ද?
22. උත්තමයන් විනිශ්චයකරන්නාවූ දෙවියන්වහන්සේට දැනගැන්ම උගන්වන්ට යමෙකුට පුළුවන්ද?
23. එක්කෙනෙක් සම්පූර්ණයෙන් සැපපහසු ඇතුව මුළු ශක්තියෙන් සිටියදී මියයන්නේය.
24. ඔහුගේ ඇළපත් තෙලෙන් පිරී, ඔහුගේ ඇටමිදුළු තෙත්ව තිබෙන්නේය.
25. තවත් කෙනෙක් කිසි සැපතක් නොවිඳ, සිත් ශෝකයෙන් සිට මියයන්නේය.
26. ඔව්හු එක්ව දූවිල්ලෙහි වැදහෙති, පණුවෝද ඔවුන් වසාගනිති.
27. බලව, ඔබ සැමගේ සිතිවිලිත් ඔබ සැම අයුතුලෙස මට විරුද්ධව කරන යෝජනාත් දනිමි.
28. මක්නිසාද: අධිපතියාගේ ගෘහය කොතැනද කියාත් දුෂ්ටයන් වාසයකළ කූඩාරම කොතැනද කියාත් ඔබ සැම අසති.
29. මගයන්නන්ගෙන් ඔබ සැම අහලා නැද්ද? එසේනම් ඔබ සැම ඔවුන්ගේ සලකුණු නොදැන සිටිනවාද?
30. එනම් නපුරා විපත්ති දවසට ඉතුරුකර සිටින බවත් ඔවුන් උදහස් දවසට පිටත ගෙනයනු ලබන බවත්ය.
31. ඔහුගේ මාර්ගය ඔහුගේ මුහුණ ඉදිරියෙහි ප්‍රකාශකරන්නේ කවුද? ඔහු කළ දෙයට ඔහුට විපාක දෙන්නේ කවුද?
32. එහෙත් ඔහු පවා මිනීවළට ගෙනයනු ලබන්නේය, සොහොනද මුරකරනු ලැබේ.
33. මිටියාවෙත් පිඩලි ඔහුට මිහිරිවන්නේය, සියලු මනුෂ්‍යයෝ ඔහුට පස්සෙනුත් ඔහුට පෙරටුවෙනුත් ගණනාවක් නැතුව පෙළ නොකැඩී යති.
34. එසේනම් ඔබ සැමගේ උත්තරවල බොරුව පමණක් තිබෙද්දී නිරර්ථකලෙස ඔබ සැම මා සනසන්ට හදන්නේ කෙසේදැ යි කීවේය.

ජෝබ් 22:1-30
1. එකල තේමානිය එලීපස් උත්තරදෙමින් කියනුයේ:
2. මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේට ප්‍රයෝජනවිය හැකිද? සැබවින් නුවණ ඇති තැනැත්තේ තමාටම ප්‍රයෝජනවත්ව සිටියි.
3. ඔබ ධර්මිෂ්ඨව සිටියත් සර්වපරාක්‍රමයාණන්ට එයින් කිසි සතුටක් ඇද්ද? ඔබ ඔබේ මාර්ග සම්පූර්ණකරගත්තත් එයින් උන්වහන්සේට කිසි ලාභයක් ඇද්ද?
4. උන්වහන්සේ ඔබට තරවටුකර ඔබ සමඟ විනිශ්චයට පැමිණෙන්නේ ඔබේ භක්තිය නිසාද?
5. ඔබේ දුෂ්ටකම මහත්ව තිබෙනවා නොවේද? ඔබේ අයුතුකම්වලට කෙළවරක් නැත.
6. මක්නිසාද ඔබ කාරණයක් නැතුව ඔබේ සහෝදරයාගෙන් උකස් ගත්තෙහිය, ඇඳුම් නැත්තන්ගෙන් වස්ත්‍රය උදුරා ගත්තෙහිය.
7. ක්ලාන්ත අයට ඔබ බොන්ට වතුර නුදුන්නෙහිය, බඩගිනි අයට කෑම නොදී සිටියෙහිය.
8. නුමුත් බලවතාට දේශය අයිති විය; ගරුකටයුතු තැනැත්තේද එහි වාසයකෙළේය.
9. ඔබ වැන්දඹුවක් හිස් අතින් ඇරියෙහිය, පියා නැත්තන්ගේ අත්ද කඩනලද්දේය.
10. ඒ නිසා ඔබ වටකර මළපත් තිබෙයි, හදිසි භීතිය ඔබ කලඹන්නේය,
11. නොහොත් ඔබට නොපෙනෙන හැටියට අන්ධකාරයද ජල රාශියද ඔබ වසාගන්නේය.
12. දෙවියන්වහන්සේ ස්වර්ගයේ උසස් තැන්හි නොසිටිනසේක්ද? මුදුන්ම තාරකාව කොපමණ උසදැයි බලන්න!
13. ඔබ කථාකොට: දෙවියන්වහන්සේ දන්නේ කුමක්ද? ඝනාන්ධකාරය මැදින් සිට උන්වහන්සේට විනිශ්චයකරන්ට පුළුවන්ද?
14. උන්වහන්සේට නොපෙනෙන හැටියට ඝන වලාකුල් උන්වහන්සේට මුවාවක්ව තිබේ; උන්වහන්සේ ආකාශ කුක්ෂිය මත්තෙහි ගමන්කරනසේකැයි කියන්නෙහිය.
15. දුෂ්ට මනුෂ්‍යයන් ඇවිද්දාවූ පුරාණ මාවතෙහිම ඔබ හැසිරෙන්නෙහිද?
16. ඔව්හු නියම කාලයට පළමුවෙන් උදුරාගනු ලැබුවෝය, ඔවුන්ගේ අත්තිවාරමද ජලප්‍රවාහයකින් මෙන් ගහගන ගියේය.
17. අප වෙතින් අහක්ව ගිය මැනව කියාත් සර්වපරාක්‍රමයාණන් අපට මක්කරනවා ඇද්ද කියාත් ඔව්හු දෙවියන්වහන්සේට කීවෝය.
18. එහෙත් උන්වහන්සේ යහපත් දෙයින් ඔවුන්ගේ ගෙවල් පිරෙවුසේක. නුමුත් දුෂ්ටයන්ගේ මන්ත්‍රණය මාගෙන් දුරුව තිබේ.
19. ධර්මිෂ්ඨයෝ ඒ දැක සන්තෝෂවෙති; නිර්දෝෂ අය අපහාසයෙන් ඔවුන්ට සිනාසී:
20. අපට විරුද්ධව නැගුටුණු අය සැබවින් සිඳිනු ලැබුවෝය, ඔවුන්ගේ ඉතිරිවූ දෙය ගින්නෙන් දාලා ගියේයයි කියති.
21. ඉතින් උන්වහන්සේ ඇඳිනගෙන සමාදානවෙන්න. එයින් ඔබට ශුභසිද්ධ වන්නේය.
22. උන්වහන්සේගේ මුඛයෙන් ව්‍යවස්ථාව පිළිගෙන, උන්වහන්සේගේ වචන ඔබේ හිතේ තබාගන්න.
23. ඔබ සර්වපරාක්‍රමයාණන් වෙතට හැරී, අධර්මිෂ්ඨකම ඔබේ කූඩාරම්වලින් පහකළොත්, ඔබ පිහිටුවනු ලබන්නෙහිය.
24. ඔබේ ලෝභ වස්තුව ධූලියෙහිද ඕපීර්හි රන් දොළවල ගල් අතරේද දමන්න;
25. එවිට සර්වපරාක්‍රමයාණෝ ඔබේ වස්තුවද ඔබට අනර්ඝ රිදීද වනසේක.
26. මක්නිසාද එකල ඔබ සර්වපරාක්‍රමයාණන් කෙරෙහි ප්‍රීතිමත්වී, ඔබේ මුහුණ දෙවියන්වහන්සේ දෙසට ඔසවනවා ඇත.
27. ඔබ උන්වහන්සේට යාච්ඤාකරන කල උන්වහන්සේ ඔබට උත්තර දෙනවා ඇත; ඔබද ඔබේ භාර ඉෂ්ටකරනවා ඇත.
28. ඔබ කාරණයක් නියමකරගත් කල්හි ඒක ඔබට ස්ථිරවන්නේය; ඔබේ මාර්ග කෙරෙහිද එළිය බැබළෙන්නේය.
29. ඔවුන් පහකරනු ලබන විට: උසස්වීම ඇත කියා ඔබ කියන්නෙහිය; උන්වහන්සේද යටහත් ඇස් ඇති අය ගළවනසේක.
30. නිදොස් නොවන තැනැත්තා පවා උන්වහන්සේ මුදනසේක; එසේය, ඔබේ අත්වල පිරිසිදුකම නිසා ඔහු මුදනු ලැබේයයි කීවේය.

ගීතාවලිය 96:1-6
1. ස්වාමීන් ට අලුත් ගීතිකාවක් ගීතිකාකරව්; පොළොවේ සියල්ලෙනි, ස්වාමීන් ට ගීතිකාකරව්.
2. ස්වාමීන් ට ගීතිකාකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්; උන්වහන්සේ දෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.
3. උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්.
4. මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ ප්‍රශංසනීයය; උන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා භයංකරය.
5. මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.
6. ගෞරවයත් මහිමතාවත් උන්වහන්සේ ඉදිරියෙහිය. ශක්තියත් අලංකාරයත් උන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිය.

හිතෝපදේශ 23:6-8
6. අප්‍රසන්න බැල්මක් ඇත්තාගේ කෑම නොකන්න, ඔහුගේ රස කෑමවලට ආශා නොවන්න.
7. මක්නිසාද තමාගේ සිතෙන් ගණන්ගන්නා ලෙසම ඔහු වන්නේය. කන්න බොන්නැයි ඔහු ඔබට කියයි; නුමුත් ඔහුගේ සිත ඔබ සමඟ නැත.
8. ඔබ කෑ දෙය ඔබ වමාරන්නෙහිය, ඔබේ ප්‍රසන්න වචනද නැතිවන්නේය.

රෝම 14:1-23
1. ඇදහිල්ලෙන් දුර්වල තැනැත්තා පිළිගන්න, එහෙත් සැක සහිතවූ වාදකිරීමට නොවේය.
2. සියලු දේ කන්ට පුළුවනැයි එක්කෙනෙක් විශ්වාසකරන්නේය; නුමුත් දුර්වල තැනැත්තේ එලවලු පමණක් කන්නේය.
3. කන තැනැත්තා නොකන තැනැත්තා සුළුකොට නොසිතාවා; නොකන තැනැත්තාද කන තැනැත්තා විනිශ්චය නොකෙරේවා. මක්නිසාද දෙවියන්වහන්සේ ඔහු පිළිගත්සේක.
4. අනිකෙකුගේ වැඩකාරයා විනිශ්චයකරන්නාවූ ඔබ කවුද? ඔහු සිටියත් වැටුණත් ඒක අයිති තමාගේම ස්වාමියාටය. එසේය, ඔහු සිටුවනු ලබන්නේය; කුමක් හෙයින්ද ඔහුව සිටුවන්ට ස්වාමීන්වහන්සේට බලය ඇත්තේය.
5. එක්කෙනෙක් එක දවසකට වඩා වෙන දවසක් උතුමැයි සිතන්නේය. වෙන කෙනෙක් සියලු දවස්ම එකාකාරයයි සිතන්නේය. එක් එක්කෙනා තම තමාගේ සිතින් නිසැකව සිටීවා.
6. දවස සලකන්නා ස්වාමීන්වහන්සේ උදෙසා ඒක සලකන්නේය. කන තැනැත්තාද දෙවියන්වහන්සේට ස්තුතිකරන බැවින් කන්නේ ස්වාමීන්වහන්සේ උදෙසාය. නොකන තැනැත්තාත්, ස්වාමීන්වහන්සේ උදෙසා නොකා සිට දෙවියන්වහන්සේට ස්තුතිකරන්නේය.
7. මක්නිසාද අපෙන් කිසිවෙක් තමාම උදෙසා ජීවත්වෙන්නේ නැත, කිසිවෙක් තමාම උදෙසා නසින්නෙත් නැත.
8. මක්නිසාද ජීවත්වෙමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා ජීවත්වෙමුව; නසිමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා නසිමුව. ඒ නිසා ජීවත්වෙතත් මැරෙතත් අපි ස්වාමීන්වහන්සේගේය.
9. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නැසුණෙත් නැවත ජීවත්වුණෙත් මළවුන්ගේද ජීවතුන්ගේද ස්වාමීන්වහන්සේ වන පිණිසය.
10. එසේනම් ඔබ ඔබේ සහෝදරයා විනිශ්චයකරන්නේ මක්නිසාද? නොහොත් ඔබ ඔබේ සහෝදරයා කුමක් පිණිස සුළුකොට සිතන්නෙහිද? මක්නිසාද අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමුව.
11. මක්නිසාද: මා ජීවත්ව සිටිනු සැබෑවා සේම සෑම දණහිස් මට නමන්නේය, සෑම දිව්ද දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.
12. එහෙයින් අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන්දෙනවා ඇත.
13. එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු. නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න.
14. යමෙක් යම් දෙයක් අපවිත්‍රයයි සිතන්නේ නම් එය ඔහුට අපවිත්‍රවා මිස, ස්වභාවෙන්ම අපවිත්‍ර දෙයක් නැතැයි ස්වාමිවූ යේසුස්වහන්සේ කරණකොටගෙන ඒකාන්තයෙන්ම දනිමි.
15. කෑම නිසා ඔබේ සහෝදරයා දුකට පැමිණේ නම්, ඔබ තවත් ප්‍රේමයෙන් යුක්තව හැසිරෙන්නේ නැත. යමෙකු නිසා ක්‍රිස්තුස්වහන්සේ මළසේක්ද ඔහු ඔබේ කෑමෙන් විනාශ නොකරන්න.
16. එබැවින් ඔබ සැමට තිබෙන යහපත ගැන අගුණ කියනු නොලබාවා.
17. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.
18. කුමක්හෙයින්ද ඒ කාරණාවලින් ක්‍රිස්තුස්වහන්සේට සේවයකරන අය දෙවියන්වහන්සේට ප්‍රසන්නවූද මනුෂ්‍යයන් විසින් යහපතැයි ඒත්තු ගන්නාවූද කෙනෙක්ය.
19. එබැවින් අපි සමාදානය උපදවන කාරණාද එකිනෙකා වැඩිදියුණුකරන්ට පුළුවන් කාරණාද අනුව යමු.
20. කෑම නිසා දෙවියන්වහන්සේගේ වැඩේ නාස්ති නොකරන්න. සියලු දේම පවිත්‍රය; නුමුත් බාධා උපදවන ලෙස කන මනුෂ්‍යයාට නපුරය.
21. මස් කෑමෙන්වත් මුද්‍රිකපානය බීමෙන්වත් වෙන යමකින්වත් ඔබේ සහෝදරයා බාධාවට පැමිණේද, එය නොකර සිටීම හොඳය.
22. ඔබට තිබෙන ඇදහිල්ල දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔබටම තබාගන්න. තමා විසින් යහපත්ය කියා පිළිගන්නාවූ කාරණය ගැන තමාට දෝෂ පමුණුවා නොගන්නාවූ තැනැත්තා වාසනාවන්තය.
23. නුමුත් සැකකරමින් කන තැනැත්තා, ඇදහිල්ලෙන් යුක්තව නොකන බැවින්, වරදට පත්කරනු ලැබ සිටියි; ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.