A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 13

ජෝබ් 17:1-16
1. මාගේ ආත්මය ක්ෂයවී මාගේ දවස් ගෙවී ගියේය, මට ඇත්තේ මිනීවළය.
2. සැබෑවටම සරදම්කාරයෝ මා වෙත සිටිති, මාගේ ඇස ඔවුන්ගේ විරුද්ධකම් දෙසටම යොමුවී තිබේ.
3. ඔබ වෙතම උකසක් තබාගෙන මට ඇපවුව මැනව; මාගේ අතට අතගසන්ට ඉන්නේ වෙන කවුද?
4. මක්නිසාද ඔබවහන්සේ ඔවුන්ගේ සිත්වලින් නුවණ සඟවා තිබේ. එබැවින් ඔබ ඔවුන් උසස් නොකරනසේක.
5. තමාගේ මිත්‍රයන් කොල්ලයක් පිණිස පාවාදෙන යමෙක් ඇද්ද, ඔහුගේ දරුවන්ගේ ඇස් පවා ක්ෂයවී යනවා ඇත.
6. උන්වහන්සේ මා සෙනඟ අතරේ නින්දා පාඨයක් කළසේක; මම ඔවුන්ට කෙලහීමක් වී සිටිමි.
7. මාගේ ඇස් ශෝකයෙන් අඳුරුවී තිබේ, මාගේ අවයව සියල්ලම සෙවණැල්ලක් මෙන්ය.
8. අවංක මිනිස්සු මේ ගැන විස්මිත වෙති, නිර්දෝෂ තැනැත්තා අභක්තිකයාට විරුද්ධව ඇවිස්සී සිටින්නේය.
9. එහෙත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේම පවතින්නේය, පිරිසිදු අත් ඇත්තා වඩ වඩා ශක්තිමත්වන්නේය.
10. නුමුත් ඔබ සැම සියලු දෙනා දැන් හැරී එන්න. ඔබ සැම අතරේ ප්‍රඥාවන්තයෙක් මට සම්බ නොවන්නේය.
11. මාගේ දවස් පහවී, මාගේ සිතේ සම්පත වන මාගේ අදහස් කඩවී තිබේ.
12. ඔව්හු රාත්‍රිය දවාලට පෙරළති. එළිය අන්ධකාරයට ළඟයයි කියති.
13. මාගේ ගෙය කොට ෂෙයෝල ගැන බලා සිටිමි, අන්ධකාරයෙහි මාගේ යහන අතුළෙමි.
14. ඔබ මාගේ පියායයි කුණුවීමටත් ඔබ මාගේ මවු සහ සහෝදරීයයි පණුවාටත් කීවෙමි.
15. එසේ නම් මාගේ බලාපොරොත්තුව කොතැනද? මාගේ බලාපොරොත්තුව පෙනෙන්නේ කාටද?
16. ධූලියෙහි නිශ්චලය ලැබූ හැටියේම ඒක ෂෙයෝලේ අගුල් දක්වා බසිනවා ඇතැයි කීවේය.

ජෝබ් 18:1-21
1. එවිට ෂූහියවූ බිල්දද් උත්තරදෙමින් කියනුයේ:
2. ‍ඔබ සැම කොපමණ කල් වචනවලට උගුල් තබන්නහුද? තේරුම්ගන්න, පසුව කථාකරමුව.
3. අප තිරිසනුන් මෙන් ගණන්ගනු ලබන්නෙත් ඔබ සැමගේ ඇස්වලට අපවිත්‍රව පෙනෙන්නෙත් මක්නිසාද?
4. තමාගේ කෝපයෙන් තමාම ඉරා ගන්න කෙනෙක්වූ ඔබ නිසා, පොළොව අත්හරිනු ලබන්ටත් නොහොත් පර්වතය ස්වකීය ස්ථානයෙන් අහක්ව යන්ටත් ඕනෑද?
5. එසේය, දුෂ්ටයාගේ එළිය නිවීයන්නේය, ඔහුගේ ගිනිදැල්ද නොබැබළෙන්නේය.
6. එළිය ඔහුගේ කූඩාරමෙහි අඳුරු වන්නේය, ඔහුට උඩින් ඔහුගේ පහනද නිවී යන්නේය.
7. ඔහුගේ වේගවත් අඩි හිරවන්නේය, තමාගේම මන්ත්‍රණයෙන් ඔහු වැටෙන්නේය.
8. මක්නිසාද තමාගේ පාදවලින් ඔහු දැලකට අසුවන්නේය, ඔහු මලපත් උඩ ඇවිදින්නේය.
9. උගුලක් ඔහුගේ විලුඹ අසුකරගන්නේය, මලපතක් ඔහු අල්ලාගන්නේය.
10. ඔහුට බිම තොණ්ඩුවක්ද පාරේ උගුලක්ද සඟවා තබා තිබේ.
11. භීතිය ඔහු හාත්පසින් භයගන්වමින් ඔහුගේ පාද ළඟම එළවා යන්නේය.
12. බඩගින්නෙන් ඔහුගේ ශක්තිය හීනවන්නේය, කොරගසමින් යන ඔහුට විපත්තිය ළංවන්නේය.
13. එය ස්වකීය හමේ කොටස් කාදමන්නේය. ඔහුගේ කුළුඳුලා ඔහුගේ අවයව කාදමන්නේය.
14. ඔහු තමාගේ විශ්වාසය වන තමාගේ කූඩාරමෙහි උදුරනු ලැබ, භයංකරකම්වල රජු ළඟට ගෙනයනු ලබන්නේය.
15. ඔහුට අයිති නැති අය ඔහුගේ කූඩාරමෙහි වසන්නෝය; ඔහුගේ නිවස පිටටද ගෙන්දගම් වස්වනු ලබන්නේය.
16. යටින් ඔහුගේ මුල් වියළීයයි, උඩින් ඔහුගේ අතු කපාදමනු ලබන්නේය.
17. ඔහු ගැන සිහිවීම පොළොවෙන් නැතිවීයන්නේය, අසල ගම්වල ඔහුගේ නම නොකියවෙන්නේය.
18. එළියෙන් අඳුරට ඔහු තල්ලුකරනු ලැබ, ලෝකයෙන් එළවනු ලබන්නේය.
19. ඔහුගේ සෙනඟ අතරේ ඔහුට දරුවෙක්වත් මුනුබුරෙක්වත් නොසිටී, ඔහුගේ වාස භූමියෙහි ඉතුරුව සිටින කෙනෙක්ද නැත.
20. භීතිය පළමු සිටි අය අසුකරගත්තාක්මෙන් පසුව පැමිණෙන අය ඔහුගේ දවස ගැන විස්මපත්වන්නෝය.
21. සැබවින් අධර්මිෂ්ඨයන්ගේ වාසස්ථාන මෙසේය, දෙවියන්වහන්සේ නාඳුනන්නාගේ ඉඩමද මෙයාකාරයයි කීවේය.

ගීතාවලිය 95:1-5
1. එව්, ස්වාමීන් ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු.
2. ස්තුතිදෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වමු.
3. මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දෙවිකෙනෙක්ය, සියලු දෙවිවරුන්ට වඩා මහත් රජකෙනෙක්ය.
4. පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතෙහිය; කඳු ශිඛරද උන්වහන්සේගේය.
5. මුහුද උන්වහන්සේගේය, උන්වහන්සේ එය මැවූසේක; උන්වහන්සේ ස්වකීය අත්වලින් වියළි බිම තැනූසේක.

හිතෝපදේශ 23:1-3
1. ඔබ ආණ්ඩුකාරයෙකු සමඟ කෑමට හිඳින කල, ඔබ ඉදිරිපිට තිබෙන දේ හොඳට කල්පනාකර,
2. ඔබ ගිජු කෙනෙක් නම්, ඔබේ උගුරට පිහියක් තබාගන්න.
3. ඔහුගේ රසවත් කෑමවලට ආශා නොවෙන්න, ඒවා රැවටිලි කෑමය.

රෝම 12:1-21
1. එබැවින් සහෝදරයෙනි, ඔබ සැමගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා ඔබ සැමගෙන් ඉල්ලමි, එය ඔබ සැමගේ ආත්මික සේවය වේ.
2. ඔබ සැම මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
3. ඔබ සැම එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් ඔබ සැම අතරෙහි එකිනෙකාට කියමි.
4. මක්නිසාද යම්සේ අපට එකම ශරීරයෙහි බොහෝ අවයව තිබෙන නුමුත් ඒ සියලු අවයවයන්ට එකම ක්‍රියාවක් නැතුවාක්මෙන්,
5. බොහෝ දෙනෙක්වූ අපිත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එසේම එක ශරීරයක්ව, වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝ වෙමුව.
6. එහෙයින් අපට දෙනලද අනුග්‍රහය ලෙස වෙන වෙන දීමනා ඇත්තාවූ අපට ලැබුණේ අනාගතකීම නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණයට අනාගත වචන කියමු.
7. සේවය නම් අපගේ සේවයෙහි යෙදී සිටිමු. උගන්වන්නා තමාගේ ඉගැන්වීමටත්,
8. උපදේශ දෙන්නා තමාගේ උපදේශ දීමටත් භාරවේවා. දෙන තැනැත්තේ ත්‍යාගවන්තකමෙන්ද ආණ්ඩුකරන තැනැත්තේ උනන්දුකමෙන්ද කරුණාව පෙන්වන තැනැත්තේ ප්‍රසන්න ලීලාවෙන්ද එසේ කෙරේවා.
9. ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙන්න.
10. සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න;
11. උත්සාහවන්තකමේදී මැළි නොවෙන්න; ආත්මයෙන් ජ්වලිතවෙන්න; ස්වාමීන්වහන්සේට සේවයකරන්න;
12. බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න;
13. ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.
14. ඔබ සැමට පීඩාකරන්නන්ට ආශීර්වාද කරන්න; ශාප නොකොට ආශීර්වාදම කරන්න.
15. ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න.
16. එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. ඔබ සැමම ඥානවන්තයෝයයි නොසිතන්න.
17. කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගන්න.
18. පුළුවන් නම්, ඔබ සැමගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.
19. ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.
20. නුමුත් ඔබේ සතුරාට බඩගිනිවුවොත් ඔහුට කන්ට දෙන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දෙන්න. එසේ කිරීමෙන් ඔබ ඔහුගේ හිස පිට ගිනිඅඟුරු ගොඩකරන්නෙහිය.
21. නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න.