A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 12

ජෝබ් 15:1-35
1. එකල තේමානිය එලීපස් උත්තර දෙමින් කියනුයේ:
2. ප්‍රඥාවතෙක් සුළඟ වැනි හිස්වූ දැනගැන්මෙන් උත්තරදෙමින්, නැගෙනහිර සුළඟින් තමාගේ ළය පුරවාගන්නේද?
3. ඔහු නිෂ්ඵල වචනවලින් හෝ අප්‍රයෝජන කථාවලින් හෝ විවාද කරනවා ඇද්ද?
4. එසේය, ඔබ භක්තිය දුරුකර, දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෙනෙහිකිරීම නවත්වන්නෙහිය.
5. ඔබ ප්‍රයෝගකාරයන්ගේ දිව තෝරාගන්න නුමුත්, ඔබේ අයුතුකම ඔබේ මුඛයෙන් ඔප්පුවෙන්නේය;
6. මා නොව ඔබේම මුඛය ඔබ වරදට පත්කරන්නේය; එසේය, ඔබේම තොල් ඔබට විරුද්ධව සාක්ෂිදෙන්නේය.
7. උපන්නාවූ පළමුවෙනි මනුෂ්‍යයා ඔබද? නොහොත් ඔබ හෙල්වලට පළමුවෙන් ඉපදුණාද?
8. ඔබ දෙවියන්වහන්සේගේ මන්ත්‍රණ සභාවෙහි හිඳ, ඔබ වෙත ප්‍රඥාව තබාගන්නෙහිද?
9. අප නොදන්න මොන දෙයක් ඔබ දන්නවාද? අපට නැති මොන දැනගැන්මක් ඔබට තිබෙනවාද?
10. ඔබේ පියාටත් වඩා මහලුවූ හිස පැසුණු අයද ඉතා වයස්ගතවූවෝද අප අතරේ සිටිති.
11. දෙවියන්වහන්සේගේ සැනසිලිත් ඔබ සමඟ මෘදුලෙස කථාකරන වචනයත් ඔබට මදිද?
12. දෙවියන්වහන්සේට විරුද්ධව ඔබේ සිත හරවා, ඔබේ කටින් මෙබඳු වචන නික්මවන හැටියට,
13. ඔබේ සිත ඔබව ගෙනයන්නේ මන්ද? ඔබේ ඇස් ඉඟිකරන්නෙත් මක්නිසාද?
14. මනුෂ්‍යයා පිරිසිදුව පෙනෙන්ටත් ස්ත්‍රියගෙන් උපන් තැනැත්තා ධර්මිෂ්ඨව පෙනෙන්ටත් ඔහු කවරෙක්ද?
15. බලව, උන්වහන්සේ තමන් ශුද්ධවන්තයන් කෙරෙහි විශ්වාසය නොතබනසේක. එසේය, ස්වර්ගවල් උන්වහන්සේගේ ඇස් ඉදිරිපිට පිරිසිදු නැත.
16. එසේ නම් පිළිකුල්වූ, කිළිටුවූ, අපරාධය වතුර මෙන් බොන්නාවූ මනුෂ්‍යයා පිරිසිදුකමින් ඊටත් කොපමණ අඩු නොවන්නේද?
17. ඔබට පෙන්වන්නෙමි, මා කියන දේ අසන්න; මා දැක තිබෙන දේද කියාදෙන්නෙමි.
18. එය ප්‍රඥාවන්තයෝ තමුන්ගේ පියවරුන්ගෙන් දැනගෙන, නොසඟවා දැන්නුවෝය.
19. දේශය දෙනලද්දේ ඔවුන්ට පමණක්ය, විදේශිකයෙක්ද ඔවුන් අතරට නොපැමුණුණේය.
20. දුෂ්ටයා තමාගේ සියලු දවස්වලද බලාත්කාරකාරයාට නියමකර තිබෙන අවුරුදු ගණන මුළුල්ලෙහිද වේදනාවෙන් පෙළෙන්නේය.
21. භයංකර ශබ්ද ඔහුගේ කන්වලට ඇසෙන්නේය; සමෘධියේදී නාස්තිකරන්නා ඔහු පිටට පැමිණෙන්නේය.
22. තමා අන්ධකාරයෙන් මිදෙන්නේය කියා ඔහු විශ්වාස නොකරයි; ඔහු කඩුවට නියමව සිටින්නේය.
23. කෑම කොතැන තිබේද කියා සොයමින් ඔහු ඔබ මොබ යන්නේය; අන්ධකාරයේ දවස තමාගේ අත ළඟ සූදානම්ව තිබෙන බව ඔහු දන්නේය.
24. විපත්තියත් වේදනාවත් ඔහු භයගන්වා, සටනට සැරසී සිටින රජෙකු මෙන් ඔහු පරාජයකරන්නේය.
25. මක්නිසාද ඔහු දෙවියන්වහන්සේට විරුද්ධව තමාගේ අත දිගුකළේය, සර්වපරාක්‍රමයාණන්ට විරුද්ධව උඩඟුකම් කර,
26. තමාගේ පලිස් ඝන ලෙස එකිනෙකට යාකරගන, තද කුළලක් ඇතුව උන්වහන්සේට විරුද්ධව දුවන්නේය.
27. ඔහු තමාගේ මුහුණ තරකමෙන් වසා, තුනටිය තරකරගෙන,
28. පාළු නුවරවලද වැසියන් නැත්තාවූ ගල් ගොඩවල් වෙන්ට නියමවූ ගෙවල්වලද වාසයකළේය.
29. ඔහු පොහොසත් වන්නේවත්, ඔහුගේ වස්තුව පවතින්නේවත්, ඔවුන්ගේ සම්පත් පොළොවෙහි පැතිර යන්නේවත් නැත.
30. ඔහු අන්ධකාරයෙන් පිටවී නොයන්නේය; ගිනි දළුවට ඔහුගේ අතු වියළී, උන්වහන්සේගේ මුඛයේ හුස්මට ඔහු පහව යන්නේය.
31. තමාම රවටාගනිමින් ඔහු දුෂ්ටකම කෙරෙහි විශ්වාසය නොතබාවා. මක්නිසාද දුෂ්ටකම ඔහුගේ විපාකය වන්නේය.
32. ඔහුගේ කාලයට පළමුවෙන් එය ඉෂ්ට වන්නේය, ඔහුගේ තල්අත්ත අමුව නොතිබෙන්නේය.
33. ඔහු මුද්‍රිකවැල මෙන් තමාගේ නො පැසුණු ඵල හෙළාදමන්නේය, ඔලීව ගස මෙන් තමාගේ මල් සොලවාදමන්නේය.
34. මක්නිසාද අභක්තිකයාගේ සමාගම නිස්සාරය; අල්ලස් ගැනීමේ කූඩාරම්ද ගින්නට දාලා යන්නේය.
35. ඔව්හු අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහිකරන්නෝය, ඔවුන්ගේ ගර්භයද ප්‍රයෝගය යොදන්නේයයි කීවේය.

ජෝබ් 16:1-22
1. එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2. එබඳු බොහෝ දේ මා විසින් අසා තිබේ. ඔබ සැම සියල්ලෝම දුක්දෙන සැනසිලිකාරයෝය.
3. සුළඟ වැනි වචනවල කෙළවරක් ඇද්ද? නොහොත් උත්තරදීමට ඔබ පොළඹවන්නේ කුමක්ද?
4. මටත් ඔබ සැම වාගේ කථාකරන්ට පුළුවන; මා සිටින ස්වභාවෙහි ඔබ සැම සිටියොත්, ඔබ සැමට විරුද්ධව වචන ගොතා, ඔබ සැම දෙසට මාගේ හිස වනන්ට මට පුළුවන.
5. එහෙත් මාගේ මුඛයෙන් ඔබ සැම ශක්තිමත්කර, මාගේ තොල්වල සැනසිල්ලෙන් ඔබ සැම උසුලන්නෙමි.
6. මා කථාකරන නුමුත් මාගේ ශෝකය නොසන්සිඳෙයි. කථා නොකර උන්නත් මට ලැබෙන පහසුව කිමෙක්ද?
7. සැබවින්ම උන්වහන්සේ මා වෙහෙසූසේක; ඔබවහන්සේ මාගේ මුළු සමාගම පාළු කළසේක.
8. ඔබ මා අල්ලාගත්සේක, ඒක මට විරුද්ධව සාක්ෂියක්ය. මාගේ කෙට්ටුකම මට විරුද්ධව නැගිටියි, ඒක මාගේ මුහුණ ඉදිරියෙහි සාක්ෂිදෙයි.
9. උන්වහන්සේ තමන් කෝපයෙන් මා ඉරා දමා මට ද්වේෂකළසේක; උන්වහන්සේ මට විරුද්ධව දත්මිටි කෑසේක. මාගේ එදිරිකාරයා මා දෙසට තමාගේ ඇස් යොමුකරන්නේය.
10. ඔව්හු මට විරුද්ධව තමුන්ගේ කට අයා, නින්දාකරමින් මාගේ කම්මුලට ගැසුවෝය. ඔව්හු එක්ව මට විරුද්ධව සම්බන්ධ වෙති.
11. දෙවියන්වහන්සේ අභක්තිකයාට මා පාවාදෙනසේක; දුෂ්ටයන්ගේ අත්වලට මා විසිකරනසේක.
12. මම සුවසේ සිටියෙමි, උන්වහන්සේ මා පොඩිකළසේක; මාගේ බෙල්ල අල්ලා, මා බිමගසා සුන්කර, ඉලක්කයක් කොට මා තබාගත්සේක.
13. උන්වහන්සේගේ දුනුවායෝ මා වටකරගන සිටිති, උන්වහන්සේ කරුණා නොකර, මාගේ වකුගඩු පළා, මාගේ පිත බිම වගුරුවනසේක.
14. උන්වහන්සේ බිඳුම් පිට බිඳුම් කොට, මා පොඩිකරනසේක; යුද්ධකාරයෙකු මෙන් මට විරුද්ධව දුව එනසේක.
15. ගෝණි රෙදි මාගේ හම පිට මහගන, මාගේ ඇඟ දූවිල්ලෙහි දමාගන සිටිමි.
16. මාගේ මුහුණ ඇඬීමෙන් රතුවී තිබේ, මාගේ ඇසිපිය පිටද මරණයේ සෙවණ තිබේ.
17. කිසි බලාත්කාරකමක් මාගේ අත්වල නැති නුමුත්, මාගේ යාච්ඤාව පිරිසිදු නුමුත්, මට එසේ වී තිබේ.
18. එම්බා පොළොව, මාගේ ලේ වසා නොගන්න, නැවතීමේ ඉඩමක්ද මාගේ මොරගැසීමට නොතිබේවා.
19. දැන් පවා මාගේ සාක්ෂිය ස්වර්ගයෙහිය; මාගේ සාක්ෂිකාරයාද උසස්ථානයෙහි සිටියි.
20. මාගේ යහළුවෝ මට නින්දාකෙරෙති. මාගේ ඇස දෙවියන්වහන්සේ දෙසට කඳුළු වගුරුවයි.
21. එසේ කරන්නේ මනුෂ්‍ය පුත්‍රයෙක් තවත් මනුෂ්‍යයෙකුට යුක්තිය කරන්නාක්මෙන් දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි මනුෂ්‍යයෙකුට යුක්තිය කරන පිණිසය.
22. මක්නිසාද අවුරුදු ස්වල්පයකට පසු, මම ආපසු නොඑන මාවතෙහි යන්නෙමි.

ගීතාවලිය 94:20-23
20. පනතෙන් නපුර යොදන්නාවූ දුෂ්ටකමේ සිංහාසනය ඔබ හා සම්බන්ධ වන්නේද?
21. ධර්මිෂ්ඨයාගේ ප්‍රාණයට විරුද්ධව ඔව්හු රැස්ව නිදොස් ලෙය වරදට පත්කරති.
22. නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ බලකොටුව වූසේක; මාගේ දෙවියන්වහන්සේ මාගේ ආරක්ෂා පර්වතය වූසේක.
23. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම ඔවුන් පිටට පෙරළූසේක, ඔවුන්ගේම නපුරුකමෙහි ඔවුන් සිඳ දමනසේක; අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් සිඳදමනසේක.

හිතෝපදේශ 22:28-29
28. ඔබේ පියවරුන් පිහිටෙවුවාවූ පුරාණ මායිම් වෙනස් නොකරන්න.
29. තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද? ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.

රෝම 11:19-36
19. එසේවී නම් මා පාස්සනු ලබන පිණිස අතු කඩාදමන ලදැයි ඔබ කියන්නෙහිය.
20. හොඳයි; අවිශ්වාසකම නිසා ඒවා කඩාදමනලද්දේය, ඔබද ඔබේ ඇදහිල්ලෙන් ස්ථිරව සිටින්නෙහිය. උඩඟු නොවී, භයවෙන්න.
21. මක්නිසාද දෙවියන්වහන්සේ ස්වාභාවික අතු ඉතුරු නොකළසේක් නම්, ඔබවත් ඉතුරු නොකරනසේක.
22. එබැවින් දෙවියන්වහන්සේගේ යහපත්කමත් සැරකමත් බලන්න. වැටුණුවුන් කෙරෙහි සැරකමය; නුමුත් ඔබ උන්වහන්සේගේ යහපත් කමෙහි පවතින්නෙහි නම් ඔබ කෙරෙහි දෙවියන්වහන්සේගේ යහපත්කමය. එසේ නොපවතින්නෙහි නම් ඔබත් කපාදමනු ලබන්නෙහිය.
23. ඔව්හුද අවිශ්වාසකමෙහිම නොපවතිත් නම් පාස්සනු ලබන්නෝය. මක්නිසාද ඔවුන් නැවත පාස්සන්ට දෙවියන්වහන්සේට පුළුවන.
24. මක්නිසාද ඔබ ස්වභාවයෙන්ම වල් ඔලීව ගසින් කපනු ලැබ, ස්වභාවයට විරුද්ධව හොඳ ඔලීව ගසකට පාස්සන ලද්දෙහි නම් ස්වාභාවික අතු වන මොව්හු තමුන්ගේම ඔලීව ගසට කොපමණ වැඩි වශයෙන් පාස්සනු නොලබන්නෝද?
25. මක්නිසාද සහෝදරයෙනි, ඔබ සැමම ඥානවන්තයෝයයි නොසිතන පිණිස, මේ අභිරහස ඔබ සැම නොදැන සිටිනවාට නොකැමැත්තෙමි, එනම් අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තුරු ඉශ්‍රායෙල්වරුන්ට තරමක් දුරට දැඩිකමක් පැමිණ තිබෙන බවය.
26. මේ ආකාරයෙන් මුළු ඉශ්‍රායෙල් ගළවනු ලබන්නේය. ඒ හැටියට, සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ එනසේක; උන්වහන්සේ යාකොබ්ගෙන් අභක්තිය දුරුකරනසේක.
27. මා ඔවුන්ගේ පාප දුරලන කල ඔවුන් කෙරෙහි මාගේ ගිවිසුම මේයයි ලියනලද්දේය.
28. ශුභාරංචිය ගැන නම් ඔව්හු ඔබ සැම නිසා සතුරෝය. නුමුත් තෝරාගැනීම ගැන නම් ඔව්හු පියවරුන් නිසා ප්‍රේමලද්දෝය.
29. මක්නිසාද දෙවියන්වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවන්නේය.
30. මක්නිසාද පසුගිය කාලයෙහිදී ඔබ සැම දෙවියන්වහන්සේට අකීකරුව සිට, ඔවුන්ගේ අකීකරුකම නිසා දැන් යම්සේ කරුණාව ලැබුවහුද,
31. එසේම ඔබ සැමට දක්වනලද කරුණාව කරණකොටගෙන ඔවුනුත් දැන් කරුණාව ලබන පිණිස ඔව්හුද දැන් අකීකරුව සිටිති.
32. මක්නිසාද දෙවියන්වහන්සේ සියල්ලන්ටම කරුණාකරන පිණිස සියල්ලන්ම අකීකරුකමෙහි වසා තැබූසේක.
33. අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!
34. එසේය, ස්වාමීන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නොහොත් උන්වහන්සේට මන්ත්‍රියා වුණේ කවුද!
35. නොහොත් පළමුවෙන් උන්වහන්සේට යමක් දුන්නේ කවුද? දුන්නා නම් ඔහුට ප්‍රතිඵල ලැබේ.
36. මක්නිසාද සියල්ල උන්වහන්සේ කෙරෙන්ය, උන්වහන්සේ කරණකොටගෙනය, උන්වහන්සේ උදෙසාය. උන්වහන්සේට සදාකල්ම මහිමය වේවා. ආමෙන්.