Instagram
English
A A A A A
ජෝබ් 13:1-28
1. බලව, මේ සියල්ල මාගේ ඇසින් දැක, මාගේ කනින් අසා තේරුම්ගතිමි.
2. ඔබ සැම දන්නා දේ මමත් දනිමි. මම ඔබ සැමට අඩු නැත.
3. සැබවින් මම සර්වපරාක්‍රමයාණන්ට කථාකොට, දෙවියන්වහන්සේට කාරණා කියා සිටින්ට කැමැත්තෙමි.
4. ඔබ සැම නම් බොරු ගොතන්නෝය, ඔබ සැම සියල්ලෝම නොවටිනා වෙද්දුය.
5. ඔබ සැම නිශ්ශබ්දවම සිටියොත් හොඳය. එය ඔබ සැමට ප්‍රඥාව වන්නේය
6. ඉතින් මාගේ උත්තරය අසා, මාගේ තොල්වල විවාදවලට ඇහුම්කන් දෙන්න.
7. ඔබ සැම දෙවියන්වහන්සේ උදෙසා අසාධාරණ ලෙස කථාකරනවාද? උන්වහන්සේ උදෙසා වංචාකාර ලෙස කථාකරනවාද?
8. ඔබ සැම උන්වහන්සේගේ තරම බලනවාද? දෙවියන්වහන්සේ වෙනුවට වගකියනවාද?
9. උන්වහන්සේ ඔබ සැම විමසා බැලුවොත් හොඳද? නොහොත් මනුෂ්‍යයෙකු රවටන්නාක්මෙන් උන්වහන්සේ රවටන්නට ඔබ සැමට පුළුවන්ද?
10. ඔබ සැම රහසින් තරාතිරම බලනවානම් උන්වහන්සේ ඔබ සැමට දඬුවම් කරනවාම ඇත.
11. උන්වහන්සේගේ මහිමතාව ඔබ සැම භය නොගන්වන්නේද? උන්වහන්සේගේ භයංකරකම ඔබ සැම පිටට නොපැමිණෙන්නේද?
12. ඔබ සැමගේ පැණවත් කීම් අළු වැනි උපදේශවල්ය, ඔබ සැමගේ බලකොටු මැටි බලකොටුය.
13. නිශ්ශබ්දවෙන්න, මට කථාකරන්ට ඉඩඅරින්න. සිද්ධවෙන දෙයක් සිද්ධවුණාවේ.
14. මා විසින් මාගේ මාංසය මාගේ දත්වලින් ඩැහැගන යන්නෙක් මාගේ ප්‍රාණය මාගේ අතේ තබාගන ඉන්නෙක් මක්නිසාද?
15. උන්වහන්සේ මා මරනවා ඇත; මට බලාපොරොත්තුවක් නැත්තේය; එහෙත් උන්වහන්සේ ඉදිරිපිට මාගේ මාර්ග හරි බවට ඔප්පුදෙන්නෙමි.
16. මේකත් මාගේ ගැළවීම වන්නේය; මක්නිසාද අභක්තිකයෙක් උන්වහන්සේ ඉදිරියට නොඑන්නේය.
17. මාගේ කථාව හොඳාකාර අසන්න, මාගේ කීමද ඔබ සැමගේ කන්වල වැටේවා.
18. මෙන්න, මම මාගේ විත්තිය පිළියෙළ කළෙමි; මා නිදොස්වෙන බව මම දනිමි.
19. මට විරුද්ධව නඩුකියන කෙනෙක් ඇද්ද? එසේ ඇත්නම් මම නිශ්ශබ්දව සිට නසින්නෙමි.
20. කාරණා දෙකක් පමණක් මට නොකළමැනව, එවිට ඔබ ඉදිරියෙන් නොසැඟවී සිටින්නෙමි.
21. ඔබගේ අත මා කෙරෙන් අහක්කර ගත මැනව; ඔබගේ භයංකරකම මා බිය නොකෙරේවා.
22. එවිට ඔබ අඬගැසුවාම උත්තරදෙන්නෙමි; නොහොත් මට කථාකරන්ට ඉඩදී උත්තරදුන මැනව.
23. මාගේ අපරාධ සහ පව් කොපමණද? මාගේ වරදත් මාගේ පාපයත් මට දැන්නුව මැනව.
24. ඔබගේ මුහුණ ඔබ සඟවා, මා ඔබගේ සතුරෙකුකොට ගණන්ගන්නේ මක්නිසාද?
25. හුළඟට ගසාගන යන කොළයකට ඔබ හිරිහැරකරනසේක්ද? වියළි ඉපනැල්ල පස්සෙන් එළවාගන යනසේක්ද?
26. මක්නිසාද ඔබ මට විරුද්ධව කර්කශ කාරණා ලියනසේක, මාගේ යෞවන කාලයේ අයුතුකම්ද මගේ ගණනට තබනසේක.
27. ක්ෂයවෙන්නාවූ දිරාගිය දෙයක් මෙන්ද කාවුන් කෑ වස්ත්‍රයක් මෙන්ද වෙම් නුමුත්,
28. ඔබ මාගේ පාද දඬුකදේ දමා, මාගේ සියලුම මාවත් රැකසිටිනසේක; ඔබ මාගේ පතුල්වලට මායිම් තබනසේක.

ජෝබ් 14:1-22
1. ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය.
2. ඔහු මලක් මෙන් හටගෙන පහවීයන්නේය, ඔහු නොපැවතී සෙවණැල්ල මෙන් පලායන්නේය.
3. එබඳු අයෙකු දෙස ඔබගේ ඇස් අරිනසේක්ද? මා ඔබ හමුයෙහි විනිශ්චයට පමුණුවනසේක්ද?
4. අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්ට කාට පුළුවන්ද? කාටවත් බැරිය.
5. ඔහුගේ දවස් නියමව, ඔහුගේ මාස ගණන ඔබ වෙත තිබෙන නිසාත්, ඔහු පිටතට නොයන හැටියට ඔබ ඔහුගේ මායිම් පිහිටුවා තිබෙන නිසාත්,
6. ඔහු තමාගේ දවස කුලීකාරයෙකු මෙන් භුක්තිවිඳ නිමවෙන තුරු, ඔහු නිෂ්කලංකය ලබන පිණිස, ඔබගේ ඇස් ඔහු කෙරෙන් හරවාගත මැනව.
7. මක්නිසාද ගහක් කපාදැමුවොත් ඒක දෙවනු ලියලා, ඒකේ රිකිලි හටගන්නේය යන බලාපොරොත්තුව ඇත්තේය.
8. ඒකේ මුල බොහෝ කල් පොළොවෙහි පරණවී, ඒකේ කඳ බිමෙහි මැරුණත්,
9. වතුරට පෙඟීමෙන් ඒක දළුලා, පැළෑටියක් මෙන් අතු ලියලනවා ඇත.
10. නුමුත් මනුෂ්‍යයා මැරී දිරායන්නේය. එසේය, මනුෂ්‍යයා තුරන්ව ගියාම ඔහු කොතනද?
11. වැවකින් වතුර අඩුවෙන්නාක්මෙන්ද ගංගාවක් හිදී වියළීයන්නාක්මෙන්ද
12. මනුෂ්‍ය තෙම සැතපුණු කල නොනැගිටින්නේය; අහස නැතිවීයන තුරු ඔව්හු නොපිබිදෙන්නෝය, තමුන්ගේ නින්දෙන් නැගුටුවනු නොලබන්නෝය.
13. අහෝ, ඔබවහන්සේ මා ෂෙයෝලෙහි වසා තබා, ඔබගේ උදහස පහවන තුරු මා සඟවා, මට කාලයක් නිමකොට, මා සිහිකරනසේක් නම් කැමැත්තෙමි!
14. මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද? මාගේ නිදහස පැමිණෙන තෙක්, මාගේ සටනේ සියලු දවස්වල බලා සිටින්නෙමි.
15. ඔබ අඬගසනසේක, මමද උත්තර දෙන්නෙමි; ඔබගේ අත් වැඩයට ඔබ ආශාවනසේක.
16. එසේ නුමුත් දැන් ඔබ මාගේ පියවර ගණන්කරනසේක; ඔබ මාගේ පාපය ගැන රැකසිටිනවා නොවේද?
17. මාගේ වරද මල්ලක දමා මුද්‍රාකර තිබේ; ඔබ මාගේ අපරාධය වහලා තබනසේක.
18. සැබවින් කන්ද වැටී පොඩිවෙන්නේය, පර්වතයද ඒකේ ඉඩමෙන් පහවයන්නේය;
19. ගල් වතුරට ගෙවීයන්නේය; ඒවායේ ගැලීමට පොළොවේ පස් ගහගන යන්නේය; එසේම ඔබ මනුෂ්‍යයාගේ බලාපොරොත්තුව නැතිකරනසේක.
20. ඔබ නිතරම ඔහු පරාජයකරනසේක, ඔහු අහක්ව යන්නේය; ඔබවහන්සේ ඔහුගේ මුහුණ වෙනස්කර ඔහු හරිනසේක.
21. ඔහුගේ පුත්‍රයන් ගෞරවයට පැමිණෙන නුමුත් ඔහු නොදනියි; ඔවුන් සුළුකරනු ලබන නුමුත් ඔවුන් ගැන ඔහු නොදන්නේය.
22. එහෙත් ඔහුගේ මාංසයට ඒකේම වේදනා දැනෙන්නේය. ඔහුගේ ප්‍රාණයද ඔහු තුළෙහිම වැලපෙන්නේයයි කීවේය.

ගීතාවලිය 94:12-19
12. ස්වාමිනි, දුෂ්ටයාට වළ හෑරෙන තුරු, විපත්ති දවස්වලින් නිවාඩු දෙන පිණිස,
13. ඔබ විසින් දඬුවම්කොට ඔබගේ ව්‍යවස්ථාවෙන් උගන්වනු ලබන මනුෂ්‍යයා පිනැත්තෙක්ය.
14. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ ඉවත නොදමනසේක, තමන් උරුමයද අත් නොහරිනසේක.
15. මක්නිසාද විනිශ්චය ධර්මිෂ්ඨකමට හැරෙන්නේය. අවංක සිත් ඇති සියල්ලෝ එය අනුව යන්නෝය.
16. නපුරුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට නැගිටින්නේ කවුද? අයුතුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට සිටින්නේ කවුද?
17. ස්වාමීන්වහන්සේ මට පිහිට නුවූසේක්නම් මාගේ ආත්මය නිශ්ශබ්ද ස්ථානයෙහි වාසයට ළංවිය.
18. මාගේ පාද ලිස්සන්නේයයි මා කීකල, ස්වාමිනි, ඔබගේ කරුණාව මා ඉසිලීය.
19. මා තුළ මාගේ සිතිවිලි බොහෝවූ කල, ඔබගේ සැනසීම මාගේ ආත්මයට සැප දෙයි.

හිතෝපදේශ 22:26-27
26. ඔබ අත්ගසන්නෙක්වත් ණය ගැන ඇපවෙන කෙනෙක්වත් නොවන්න.
27. ගෙවන්ට ඔබට කිසිවක් නැතුව, ඔහු කුමක් නිසා ඔබ නිදාඉන්න ඇඳ ගෙනයන්නේද?

රෝම 11:1-18
1. එසේවී නම් දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ අත්හැරදැමූසේක්දැයි අසමි. එසේ නොවේවා. මක්නිසාද මමත් ආබ්‍රහම්ගේ වංශයේ, බෙන්යමින්ගේ ගෝත්‍රයේ ඉශ්‍රායෙලිතයෙක්ය.
2. දෙවියන්වහන්සේ පෙර ඇඳිනගත් තමන්ගේ සෙනඟ අත්හැර නොදැමූසේක. නොහොත් ලියවිල්ල එලියා ගැන කුමක් කියන්නේද කියා දන්නේ නැද්ද? ඔහු ඉශ්‍රායෙල්ට විරුද්ධව දෙවියන්වහන්සේට කාරණා කියමින්:
3. ස්වාමිනි, ඔව්හු ඔබගේ අනාගතවක්තෘවරුන් මැරුවෝය, ඔබගේ පූජාසන බිඳහෙළුවෝය. මම පමණක් ඉතුරුව සිටිමි, ඔව්හු මාගෙත් දිවි නසන්ට සොයතියි කීවේය.
4. නුමුත් දෙවියන්වහන්සේගේ උත්තරය ඔහුට කුමක් කියන්නේද? බාල්ට දණ නොනැමූ සත් දහසක් මනුෂ්‍යයන් මටම ඉතුරුකරගතිමියි යනුය.
5. එසේම මේ කාලයේදීත් අනුග්‍රහයේ තෝරාගැනීමේ ප්‍රකාරයට ඉතිරිවූ කොටසක් සිටියි.
6. ඉඳින් අනුග්‍රහයෙන් නම් තවත් ක්‍රියාවලින් නොවේ. එසේ නොවේ නම් අනුග්‍රහය තවත් අනුග්‍රහය නොවේ. එසේවී නම් කිමෙක්ද?
7. ඉශ්‍රායෙල් සොයන දේ ඔහු ලබා නොගත්තේය; තෝරාගනු ලැබූවන්ට එය ලැබුණේය, සෙස්සෝ දැඩිකරනු ලැබුවෝය.
8. කලින් ලියා තිබෙන ලෙස දෙවියන්වහන්සේ අද දවස දක්වාම ඔවුන්ට නිදිමතකමේ ආත්මයක්ද නොපෙනෙන ඇස්ද නොඇසෙන කන්ද දුන්සේක.
9. තවද දාවිත් කථාකොට: ඔවුන්ගේ මේසය ඔවුන්ට මලපතක් හා උගුලක්ද බාධාවක් හා විපාකයක්ද කරනු ලැබේවා.
10. නොපෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරුවේවා, නිතරම ඔවුන්ගේ පිට නැමුව මැනවයි කියයි.
11. එසේවී නම් ඔවුන් පැකුලුණේ වැටෙන පිණිසදැයි අසමි. එසේ නොවේවා. එහෙත් ඔවුන් ජ්වලිතකරවන පිණිස ඔවුන්ගේ වැටීම කරණකොටගෙන අන්‍යජාතීන්ට ගැළවීම පැමිණ තිබේ.
12. ඉඳින් ඔවුන්ගේ වැටීම ලෝකයාට සම්පතද ඔවුන්ගේ අලාභය අන්‍යජාතීන්ට සම්පතද වේ නම්, ඔවුන්ගේ සම්පූර්ණත්වය ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?
13. නුමුත් මම අන්‍යජාතීවූ ඔබ සැමට කථාකරමි. මම අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්ව සිටින බැවින් මාගේ මෙහෙයට ගෞරවකරමි.
14. කුමටද? යම් හෙයකින් මාගේම මාංසය වූවන්ට ජ්වලිතය උපදවා, ඔවුන්ගෙන් සමහරෙක් ගළවාගන්න පිණිසය.
15. මක්නිසාද ඔවුන් අත්හැරදැමීම ලෝකයා සමඟිකිරීම නම්, ඔවුන් පිළිගැනීම මළවුන් කෙරෙන් ජීවනය මිස වෙන කුමක්ද?
16. තවද ප්‍රථම පිටි ශුද්ධ නම් පිඩද එසේමය. මුල ශුද්ධ නම් අතුද එසේමය.
17. නුමුත් සමහර අතු කඩාදමනලද්දේ වී නම්, වල් ඔලීව ගසක්වූ ඔබ ඒවා අතරේ පාස්සනු ලැබ, ඔලීව ගසේ සාරවත්කමේ මුලට පංගුකාරයෙක් වූයෙහි නම්,
18. අතුවලට විරුද්ධව පාරට්ටුකර නොගන්න. නුමුත් පාරට්ටුකරගන්නෙහි නම්, ඔබ විසින් මුල දරනවා නොව මුල ඔබව දරන්නේය.