A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 10

ජෝබ් 11:1-20
1. එවිට නයමාතිය ශෝපර් උත්තර දෙමින් කියනුයේ:
2. වචන රාශියට උත්තරදිය යුතු නොවේද? නොහොත් අධික කථාකාරයාම නිර්දෝෂ වේද?
3. මනුෂ්‍යයන් ඔබේ ප්‍රලාපවලට නිශ්ශබ්දව සිටින්ටද? ඔබ කවටකම්කරන කල කිසිවෙක් ඔබ ලජ්ජාවට නොපමුණුවන්නේද?
4. මක්නිසාද: මාගේ හැසිරීම නිදොස්ය, මම ඔබගේ ඇස් හමුයෙහි පවිත්‍රව සිටිමියි ඔබ කියන්නෙහිය.
5. අහෝ, දෙවියන්වහන්සේ කථාකොට, ඔබට විරුද්ධව උන්වහන්සේගේ තොල් විවරකරනසේක්වා!
6. ප්‍රඥාවේ රහස්ද උන්වහන්සේගේ ඥානය නානාප්‍රකාර බවද ඔබට පෙන්වනසේක්වා! එබැවින් දෙවියන්වහන්සේ ඔබේ සියලු අයුතුකම්වල ප්‍රමාණයට වඩා අඩුවෙන් ඔබට දඬුවම්කරන බව දැනගන්න.
7. දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දැනගන්ට ඔබට පුළුවන්ද? සර්වපරාක්‍රමයාණන්වහන්සේ සම්පූර්ණ ලෙස දැනගන්ට ඔබට පුළුවන්ද?
8. ඒක ස්වර්ගය මෙන් උසය; ඔබට මක්කරන්ට පුළුවන්ද? ෂෙයෝලට වඩා ගැඹුරුය; ඔබට දැනගන්ට පුළුවන් කුමක්ද?
9. ඒකේ මිම්ම පොළොවට වඩා දිගය, මුහුදට වඩා පළලය.
10. උන්වහන්සේ අවුත් හිරකොට විනිශ්චයට අඬගැසුවොත්, උන්වහන්සේ වලක්වන්නේ කවුද?
11. මක්නිසාද උන්වහන්සේ බොරුකාරයන් දන්නාසේක; කල්පනා නොකරන්නාක්මෙන් සිටින නුමුත් උන්වහන්සේ අධර්මිෂ්ඨකම දක්නාසේක.
12. නුමුත් නිරර්ථක මනුෂ්‍යයා අනුවණව සිටින්නේය, එසේය, මනුෂ්‍යයා වල් කොටළුවෙක්ව උපදින්නේය.
13. ඔබේ අතේ අයුක්තිය තිබේ නම් ඒක පහකරන්න, අධර්මිෂ්ඨකමද ඔබේ කූඩාරම්වල වාසය නොකෙරේවා.
14. එවිට ඔබ ඔබේ සිත හරි ආකාර යොමුකොට උන්වහන්සේ දෙසට ඔබේ අත් දිගු කළොත්,
15. ඔබ කැලලක් නැතුව ඔබේ මුහුණ ඔසවාගන, ස්ථිරව භය නැතුව සිටිනවා ඇත.
16. එසේය, ඔබ ඔබේ දුක මතකනැති කර, බැසගිය ජලය මෙන් ඒ ගැන සිතනවා ඇත.
17. ඔබේ ජීවිතය ඉරමුදුන් වේලාවටත් වඩා දීප්තිමත් වන්නේය; අන්ධකාරය තිබෙන නුමුත් එය පහන් වේලාව මෙන් වන්නේය.
18. බලාපොරොත්තුව තිබෙන බැවින් ඔබ විශ්වාසයෙන් සිටින්නෙහිය; එසේය, ඔබ වටකර සෝදිසිකර බලා, සුරක්ෂිතව සැතපෙන්නෙහිය.
19. ඔබ කිසිවෙකුගෙන් භයක් නොලැබ නිදාගන්නෙහිය; එසේය, බොහෝ දෙනෙක් ඔබෙන් කරුණාව සොයන්නෝය.
20. නුමුත් දුෂ්ටයන්ගේ ඇස් ක්ෂයවන්නේය, ඔවුන්ට ගැළවීමක් නොලැබෙන්නේය, ඔවුන්ගේ බලාපොරොත්තුවද ප්‍රාණය ඉකුත්වීමයයි කීවේය.

ජෝබ් 12:1-25
1. එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2. නොඅනුමානවම මිනිස්සු නම් ඔබ සැමය, ඔබ සැම නසින විට ප්‍රඥාවත් නසිනවා ඇත.
3. මටත් ඔබ සැමට වාගේම බුද්ධිය තිබේ; මම ඔබ සැමට අඩු නැත. එසේය, මෙබඳු දේ නොදන්නේ කවුද?
4. මම දෙවියන්වහන්සේට යාච්ඤා කොට උන්වහන්සේගෙන් උත්තර ලැබූ මනුෂ්‍යයෙක් නුමුත් තමාගේ අසල්වාසියාට විහිලුවක්වූ කෙනෙක් මෙනි. ධර්මිෂ්ඨවූ අවංක මනුෂ්‍යයා විහිලුවක්ය.
5. සැපෙන් සිටින අය තමාගේ සිතින් විපත්තිය ඇත්තා සුළුකරන්නේය; පාද ලිස්සන්නාවූ අයට ඒ සුළුකිරීම සූදානම්ව තිබේ.
6. කොල්ලකාරයන්ගේ කුඩාරම් සඵල වෙති, දෙවියන්වහන්සේ උදහස්කරවන්නෝද සුරක්ෂිතව සිටිති; දෙවියන්වහන්සේ ඔවුන් අතට බොහෝසෙයින් දෙනසේක.
7. එහෙත් මෘගයන්ගෙන් අසන්න, උන් ඔබට උගන්වනවා ඇත; අහසේ පක්ෂීන්ගෙන් අසන්න, උන්ද ඔබට දන්වනවා ඇත.
8. නොහොත් පොළොවට කථාකරන්න, එවිට ඒක ඔබට උගන්වනවා ඇත; මුහුදේ මත්ස්‍යයන් ඔබට කියාදෙනවා ඇත;
9. ස්වාමීන්වහන්සේ ගේ අත මෙය කළ බව මේ සියල්ලෙන් දැන නොගන්නේ කවුද?
10. ජීවත්වෙන සියලු සත්වයන්ගේ පණද මුළු මනුෂ්‍ය වර්ගයාගේ ආත්මද උන්වහන්සේගේ අතෙහිය.
11. උඩුතල්ල කෑම රසබලන්නාක්මෙන්, කන වනාහි වචන විමසනවා නොවේද?
12. ප්‍රඥාව මහල්ලන් අතරෙහිය, වයස් වැඩිවීම ඥානයය.
13. ප්‍රඥාවත් බලයත් ඇත්තේ උන්වහන්සේ වෙතය; මන්ත්‍රණය හා නුවණ ඇත්තේ උන්වහන්සේටය.
14. බලව, උන්වහන්සේ කඩාදැමුවාම ගොඩනඟනු නොලබන්නේය; උන්වහන්සේ මනුෂ්‍යයෙකු වසාතැබුවාම නිදහසක් නොවන්නේය.
15. උන්වහන්සේ වතුර නැවැත්තුවාම ඒවා හිදී යන්නේය; නැවත උන්වහන්සේ ඒවා යැවුවාම ඒවාට පොළොව පෙරළෙන්නේය.
16. බලයත් සමර්ථකමත් තිබෙන්නේ උන්වහන්සේ වෙතය; මුළාවෙන්නාත් මුළාකරන්නාත් උන්වහන්සේට අයිතිය.
17. උන්වහන්සේ මන්ත්‍රීන් වහල්කමට පමුණුවනසේක, විනිශ්චයකාරයන්ද මෝඩයන් කරනසේක.
18. උන්වහන්සේ රජුන්ගේ බැම්ම ලිහාදමා, ඔවුන්ගේ කටියෙහි පටියක් බඳිනසේක.
19. උන්වහන්සේ පූජකයන් වහල්කමට පමුණුවනසේක, බලවතුන් හෙළාදමනසේක.
20. උන්වහන්සේ විශ්වාස අයගෙන් කථාව පහකරනසේක; වැඩිමහල්ලන්ගේ දැනගැන්මද ඉවත් කරනසේක.
21. උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, සවි ඇත්තන්ගේ ඉඟපටිය මුදනසේක.
22. උන්වහන්සේ අන්ධකාරයෙන් ගැඹුරු දේ එළිදරව්කර, මරණ සෙවණ ආලෝකයට පමුණුවනසේක.
23. උන්වහන්සේ ජාතීන් වර්ධනය කරනසේක, ඔවුන් නැතිකරනසේක. උන්වහන්සේ ජාතීන් පැතිරයන්ට සලස්වනසේක, ඔවුන් වහල්කමටත් ගෙනයනසේක.
24. උන්වහන්සේ පොළොවේ ජන ප්‍රධානීන්ගේ බුද්ධිය පහකොට, ඔවුන් පාරක් නැති කාන්තාරයක මුළාවයන්ට සලස්වනසේක.
25. ඔව්හු එළිය නැතුව අඳුරේ අතගා යන්නෝය, උන්වහන්සේ ඔවුන් බේබද්දෙකු මෙන් ඔබ මොබ යන්ට සලස්වනසේක.

ගීතාවලිය 94:1-11
1. පළිගැන්ම අයත් දෙවිවූ ස්වාමිනි, පළිගැන්ම අයත් දෙවියන්වහන්ස, බැබළුව මැනව.
2. පොළොවේ විනිශ්චයකාරයාණෙනි, නැගුටුණ මැනව. උඩඟුවූවන්ට ප්‍රතිඵල දුන මැනව.
3. ස්වාමිනි, දුෂ්ඨයෝ කොපමණ කල්, දුෂ්ටයෝ කොපමණ කල් ජය ඝෝෂා කරන්නෝද?
4. ඔව්හු දොඩවති, අහංකාරලෙස කථා කෙරෙති. අයුතුකම්කරන සියල්ලෝම පාරට්ටු කරගනිති.
5. ස්වාමිනි, ඔව්හු ඔබගේ සෙනඟ කැබලිකරති, ඔබගේ උරුමයට පීඩාකෙරෙති.
6. ඔව්හු වැන්දඹුව සහ විදේශියාද නසති, පියා නැත්තන් මරති.
7. ස්වාමීන්වහන්සේ නොදක්නාසේක, යාකොබ්ගේ දෙවියන්වහන්සේ නොසලකනසේකැයි කියති.
8. සෙනඟ අතරේ මෝඩයෙනි, කල්පනාකරව්. ආඥානයෙනි, ඔබ සැම කවදා ඥානවන්තවන්නහුද?
9. කන පිහිටෙවු තැනන්වහන්සේට නොඇසෙන්නේද? ඇස සෑදූ තැනන්වහන්සේට නොපෙනෙන්නේද?
10. ජාතීන්ට දඬුවම්කරන තැනන්වහන්සේ, එනම් මනුෂ්‍යයාට ඥානය උගන්වන්නාවූ තැනන්වහන්සේ, දඬුවම් නොකරනසේක්ද?
11. මනුෂ්‍යයාගේ සිතිවිලි නිෂ්ඵල බව ස්වාමීන්වහන්සේ දන්නාසේක.

හිතෝපදේශ 22:24-25
24. තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍රනොවෙන්න; කෝපාධික මනුෂ්‍යයෙකු සමඟ නොගැවසෙන්න.
25. එසේ කළොත් සමහරවිට ඔබත් ඔහුගේ මාර්ගවල පුහුණුවී, ඔබේ ප්‍රාණයට මලපතක් පමුණුවාගන්නෙහිය.

රෝම 10:1-21
1. සහෝදරයෙනි, ඔවුන් උදෙසා මාගේ සිතේ ආශාවත් දෙවියන්වහන්සේට කරන කන්නලව්වත් නම් ඔවුන් ගැළවෙන පිණිසය.
2. මක්නිසාද ඔවුන්ට දෙවියන්වහන්සේ උදෙසා ජ්වලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂිදෙමි. නුමුත් එය දැනගැම්ම ඇතුව නොවේ.
3. මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.
4. මක්නිසාද අදහන සියලු දෙනාටම ධර්මිෂ්ඨකම පිණිස ක්‍රිස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වනසේක.
5. මක්නිසාද ව්‍යවස්ථාවෙන් වූ ධර්මිෂ්ඨකම ගැන නම්: මේ දේ කරන තැනැත්තා එයින් ජීවත්වන්නේයයි මෝසෙස් ලියා තිබේ.
6. නුමුත් ඇදහිල්ලෙන් වූ ධර්මිෂ්ඨකම කථාකොට,--ක්‍රිස්තුස්වහන්සේව බස්සවාගන්න පිණිස-‘ස්වර්ගයට නගින්නේ කවුද කියාවත්,-
7. ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් ගෙනෙන පිණිස,--‘පාතාලයට බසින්නේ කවුද කියාවත් ඔබේ සිතින් නොසිතන්නැයි කියන්නේය. තවත් කුමක් කියන්නේද?
8. වාක්‍යය ඔබ ළඟය, ඔබේ මුඛයේද ඔබේ සිතේද තිබේය කියාය. එනම් අප විසින් ප්‍රකාශකරන ඇදහිල්ලේ වාක්‍යයය.
9. කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි ඔබේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගළවනු ලබන්නෙහිය.
10. මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.
11. උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ල කියන්නේය.
12. මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමිව, උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටිනසේක.
13. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.
14. එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසුවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?
15. (සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.
16. නුමුත් ඔවුන් සියල්ලම ඒ යහපත් ආරංචියට ඇහුම්කන්දුන්නේ නැත. මක්නිසාද: ස්වාමිනි, අපේ දැන්වීම විශ්වාසකළේ කවුදැයි යෙසායා කියයි.
17. මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.
18. නුමුත් ඔව්හු නොඇසුවෝදැයි මම අසමි. එසේය, සැබවින්, ඔවුන්ගේ ශබ්දය පොළොව මුළුල්ලේද ඔවුන්ගේ වචන ලෝකයේ සීමා දක්වාද ගියේය.
19. නුමුත් ඉශ්‍රායෙල් නොදැන සිටියේදැයි අසමි: ජාතියක් නොවන්නන් කරණකොටගෙන ඔබ සැම ජ්වලිතකරවන්නෙමි, තේරුම් නැත්තාවූ ජාතියක් කරණකොටගෙන ඔබ සැම කෝපකරවන්නෙමියි පළමුකොට මෝසෙස් කියයි.
20. ඇරත් යෙසායා ඉතා නිර්භීතව කථාකරමින්: මා නොසෙවුවන්ට සම්බවීමි; මා ගැන විභාග නොකළවුන්ට ප්‍රකාශවීමියි කියයි.
21. නුමුත් ඔහු ඉශ්‍රායෙල් ගැන කථාකොට: අකීකරුවූ විරුද්ධවාදීවූ සෙනඟකට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගෙන සිටියෙමියි කියයි.