A A A A A
අවුරුද්දකින් බයිබලය
ජුලි 8

2 වංශාවලියේ 11:1-23
1. රෙහොබොවම් යෙරුසලමට පැමුණුණ විට, තමාට රාජ්‍යය නැවත ලබාගන්ට ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස ඔහු යුදා වංශයද බෙන්යමින් වංශයද වන තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූදහසක් රැස්කෙළේය.
2. නුමුත් ස්වාමීන්වහන්සේ ගේ වචනය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ ෂෙමායා වෙතට පැමිණ කියනුයේ:
3. ඔබ සාලමොන්ගේ පුත්‍රවූ යුදාහි රජවූ රෙහොබොවම්ටත් යුදා සහ බෙන්යමින්හි සියලු ඉශ්‍රායෙල්වරුන්ටත් කථාකොට-
4. ඔබ සැම නොයන්න, ඔබ සැමගේ සහෝදරයන්ට විරුද්ධව යුද්ධ නොකරන්න, එක එකා තම තමාගේ ගෙදරට හැරී යන්න; මක්නිසාද මේ කාරණය පැමුණුණේ මාගෙන්ය කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කියන්නැයි කීය. එවිට ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ වචනවලට ඇහුම්කන්දී, යෙරොබොවම්ට විරුද්ධව නොගොස් හැරී ආවෝය.
5. රෙහොබොවම් යෙරුසලමෙහි වාසයකරමින් ආරක්ෂාව පිණිස යුදාහි නුවරවල් ගොඩනැඟුවේය.
6. ඔහු බෙත්-ලෙහෙම්, ඒතාම්, තෙකෝවා,
7. බෙත්-ශූර්, සෝකෝ, අදුල්ලාම්,
8. ගාත්, මාරෙෂා, ශීප්,
9. අදොරයිම්, ලාකීෂ්, අසේකා,
10. ශොරා, අයාලොන්, හෙබ්‍රොන් යන යුදාහිද බෙන්යමින්හිද තිබෙන නුවරවල් බලකොටු නුවරවල් කෙළේය.
11. ඔහු බලකොටු සවිකර, එහි අධිපතීන් සිටුවා, ආහාර සහ තෙල්ද මුද්‍රිකපානයද රැස්කොට තැබුවේය.
12. යළිත් හෙතෙම එක එක නුවර පලිස් සහ හෙල්ල තබා, ඒවා ඉතා බලවත් ලෙස සවිකෙළේය. ඔහුට තිබුණේ යුදා සහ බෙන්යමින් ප්‍රදේශවල්ය.
13. සියලු ඉශ්‍රායෙල්වරුන් අතරෙහි සිටි පූජකයෝද ලෙවීවරුද තමුන්ගේ සියලු පළාත්වලින් ඔහු වෙතට ආවෝය.
14. මක්නිසාද යෙරොබොවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේ ගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක්කළ නිසා, ඔව්හු තමුන්ගේ පිට-බිම්ද තමුන්ගේ උරුමයද අත්හැර යුදාටත් යෙරුසලමටත් ආවෝය.
15. තවද ඔහු තමා විසින් සෑදූ උස්තැන්වලටත් එළුවන්ටත් වස්සන්ටත් පූජකයන් පත්කරගත්තේය.
16. යළිදු, ලෙවීවරුන්ට පසු සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට තමුන්ගේ සිත් යොමුකරගත් අය තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පූජාකරන පිණිස යෙරුසලමට ආවෝය.
17. මෙසේ ඔව්හු යුදා රාජ්‍යය ශක්තිමත්කොට සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් තුන් අවුරුද්දකට ස්ථිරකළෝය. මක්නිසාද ඔව්හු තුන් අවුරුද්දක් දාවිත්ගේද සාලමොන්ගේද මාර්ගයෙහි හැසුරුණෝය.
18. තවද රෙහොබොවම් දාවිත්ගේ පුත්‍රවූ යෙරිමොත්ගේද යෙස්සේගේ පුත්‍රවූ එලියාබ්ගේ දුව වන අබිහයිල්ගේද දූවූ මාහලත් භාර්යාව කොට පාවාගත්තේය.
19. ඈ යෙවූෂ්ද ෂෙමරියාද සාහම්ද යන පුත්‍රයන් ඔහු නිසා බිහිකළාය.
20. ඈට පසුව ඔහු අබ්සලොම්ගේ දූවූ මයකා පාවාගත්තේය; ඈ අබියාද අත්තයිද සීසාද ෂෙලොමිත්ද ඔහු නිසා බිහිකළාය.
21. රෙහොබොවම් තමාගේ සියලු භාර්යාවන්ටත් උප භාර්යාවන්ටත් වඩා අබ්සලොම්ගේ දූවූ මයකාට ආදරේවිය. ඔහු භාර්යාවන් දහඅටදෙනෙකුත් උප භාර්යාවන් හැටදෙනෙකුත් පාවාගත්තේය, පුත්‍රයන් විසිඅටදෙනෙක්ද දූවරුන් හැටදෙනෙක්ද ඔහුට උපන්නෝය.
22. රෙහොබොවම් වනාහි මයකාගේ පුත්‍රවූ අබියා රජකමට පත්කරන්නට සිතා ඔහු ඔහුගේ සහෝදරයන් අතරේ අධිපතියා කොට ප්‍රධානකමට පත්කෙළේය.
23. ඔහු නුවණින් හැසිර, තමාගේ සියලු පුත්‍රයන්ගෙන් කීපදෙනෙක් යුදාහිත් බෙන්යමින්හිත් පළාත් මුළුල්ලෙහි එනම් සියලු බලකොටු නුවරවලට බෙදා යවා, බොහෝසෙයින් ඔවුන්ට ආහාර දුන්නේය. ඔවුන්ට බොහෝ භාර්යාවන්ද සොයාදුන්නේය.

2 වංශාවලියේ 12:1-16
1. තවද රෙහොබොවම්ට රාජ්‍යය ස්ථිරවී ඔහු බලවත්වූ කල්හි, ඔහුත් සියලු ඉශ්‍රායෙල්වරුත් ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාව අත්හැරියෝය.
2. ඔවුන් ස්වාමීන්වහන්සේ ට විරුද්ධව ද්‍රෝහිකම්කළ නිසා රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේදී මිසරයේ රජවූ ෂීෂක්,
3. දොළොස් සියයක් රථද සැටදහසක් අසරුවන්ද ඇතුව යෙරුසලමට විරුද්ධව ආයේය; ඔහු සමඟ මිසරයෙන් ආ සෙනඟ වන ලූබ්වරුද සුක්කිවරුද කූෂ්වරුද ගණනාවක් නැතුව සිටියෝය.
4. ඔහු යුදාට අයිති බලකොටු නුවරවල් අල්ලා පසුව යෙරුසලම දක්වා ආයේය.
5. එවිට ප්‍රොපේතවූ ෂෙමායා රෙහොබොවම් වෙතටත් ෂීෂක්ට භයින් යෙරුසලමෙහි රැස්ව සිටි යුදාහි අධිපතීන් වෙතටත් ඇවිත් ඔවුන්ට කථාකොට: ඔබ සැම මා අත්හැරියහුය, එබැවින් මමත් ඔබ සැම ෂීෂක් අතට අත්හැරියෙමියි ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.
6. එවිට ඉශ්‍රායෙල්හි අධිපතීහුද රජද යටත්වී: ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේකැයි කීවේය.
7. ඔවුන් යටත්වූ බව ස්වාමීන්වහන්සේ දුටු විට උන්වහන්සේගේ වචනය ෂෙමායා වෙතට පැමිණ: ඔව්හු යටත්වූවෝය; මම ඔවුන් විනාශ නොකොට ස්වල්ප කලකින් ඔවුන්ට ගැළවීම දෙන්නෙමි, මාගේ උදහසද ෂීෂක් අතින් යෙරුසලම පිටට වගුරුවනු නොලබන්නේය.
8. එසේවී නුමුත් මාගේ සේවයද දේශවල රාජ්‍යයන්ගේ සේවයද ඔවුන් දැනගන්නා පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ යයි වදාළසේක.
9. මෙසේ මිසරයේ රජවූ ෂීෂක් යෙරුසලමට විරුද්ධව ඇවිත් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ වස්තුද රජගෙයි තිබුණු වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම ගෙනගියේය. සාලමොන් සෑදූ රන් පලිස්ද ඔහු ගෙනගියේය.
10. රෙහොබොවම් රජ ඒ වෙනුවට පිත්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල්කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට භාරදුන්නේය.
11. රජු ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට එන සියලු ප්‍රස්තාවයන්හිදී මුරකාරයෝ ඒවා ඔසවාගෙන ඇවිත් නැවත මුරගෙට ගෙනගියෝය.
12. තවද ඔහු යටත්වුණ විට ඔහු මුළුමනින්ම විනාශනොකරන හැටියට ස්වාමීන්වහන්සේ ගේ උදහස ඔහු කෙරෙන් හැරුණේය. ඇරත් යුදාහිද යහපත් දේ සම්බවුණේය.
13. මෙසේ රෙහොබොවම් රජ යෙරුසලමෙහි ස්ථිරවී රජකම්කෙළේය. රෙහොබොවම් තෙම රජවෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමෙහි දහහත් අවුරුද්දක් රජකම්කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය.
14. ඔහු ස්වාමීන්වහන්සේ සෙවීමට තමාගේ සිත යොමුනොකර නපුරුකම් කෙළේය.
15. මුල පටන් අන්තිම දක්වා රෙහොබොවම්ගේ ක්‍රියා ප්‍රොපේතවූ ෂෙමායාගේද ඉද්දෝ නම් දිවස් ඇත්තාගේද කථාන්තරවල පරම්පරා වශයෙන් ලියා තිබෙනවා නොවේද? රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ නිතරම යුද්ධ පැවතුණේය.
16. රෙහොබොවම් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ අබියා ඔහු වෙනුවට රජවුණේය.

ගීතාවලිය 80:14-19
14. සේනාවල දෙවියන්වහන්ස, හැරී අවමැනව, ස්වර්ගයේ සිට ඇස් යොමා මේ මිදිවැලද
15. ඔබගේ දකුණතින් රෝපණයකළ මුල හා ඔබටම සවිකරගත් අත්තද විමසා බැලුව මැනව.
16. එය ගින්නෙන් දවනලද්දේය, කපා දමනලද්දේය. ඔව්හු ඔබගේ මුහුණේ තර්ජනයෙන් විනාශවෙති.
17. ඔබගේ හස්තය ස්වකීය දකුණෙත් මනුෂ්‍යයා කෙරෙහි, එනම් ඔබටම ඔබ ශක්තිමත්කළ මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි, වේවා.
18. එවිට අපි ඔබ කෙරෙන් ආපසු නොයන්නෙමුව. අප ජීවත්කළ මැනව, අපිද ඔබගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමුව.
19. සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.

හිතෝපදේශ 20:19-21
19. කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරන්නේය; එබැවින් බොහෝසෙයින් කට අරින්නා සමඟ සමාගම් නොපවත්වන්න.
20. තමාගේ පියාට හෝ මවුට හෝ දෙස්කියන්නාගේ පහන ඝනාන්ධකාරයේදී නිවීයන්නේය.
21. මුලදී ඉක්මනින් ලබාගන්න උරුමය කෙළවරදී සඵල නොවන්නේය.

ක්‍රියා 15:1-21
1. යුදයෙන් සමහර දෙනෙක් ඇවිත්: මෝසෙස්ගේ නියෝගය ලෙස ඔබ සැම චර්මඡේද්‍යකරනු නොලැබුවොත් ඔබ සැමට ගැළවෙන්ට නුපුළුවනැයි සහෝදරයන්ට ඉගැන්නුවෝය.
2. එහෙයින් පාවුල්ද බාර්ණබස්ද ඔවුන් සමඟ මහත් භේදයක් සහ වාදයක් ඇතිවූ කල්හි, පාවුල් සහ බාර්ණබස්ද ඔවුන්ගෙන් තවත් සමහරෙක්ද මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන්ගෙන් විචාරන පිණිස යෙරුසලමට යන්ට නියමකරනු ලැබුවෝය.
3. එබැවින් ඔව්හු සභාව විසින් ඇරලන ලදුව, පෙනීකියද සමාරියද මැදින් ගොස්, අන්‍යජාතීන්ගේ හැරීම ප්‍රකාශකරමින්, සියලු සහෝදරයන්ට මහත් ප්‍රීතියක් ඉපදෙවුවෝය.
4. ඔව්හු යෙරුසලමට පැමිණි කල සභාව විසින්ද ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් විසින්ද පිළිගන්නාලදුව, දෙවියන්වහන්සේ තමුන් ලවා කෙරෙවු සියලු දේ දැන්වුවෝය.
5. නුමුත් අදහාගත්තාවූ, පරිසිවරුන්ගේ ලබ්ධියට අයිතිවූ සමහරෙක් නැගිට, චර්මඡේද්‍යකරන්ටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව රක්ෂාකරන ලෙස ඔවුන්ට අණකරන්ටත් ඕනෑයයි කීවෝය.
6. ප්‍රේරිතයෝද වැඩිමහල්ලෝද මේ කාරණාව ගැන කල්පනාකර බලන පිණිස රැස්වූහ.
7. බොහෝ වාද හටගත් පසු පේතෘස් නැගිට ඔවුන්ට කියනුයේ: සහෝදරයෙනි, අන්‍යජාතීන් මාගේ මුඛයෙන් ශුභාරංචිය අසා අදහන පිණිස, බොහෝ කලකට පළමුවෙන් දෙවියන්වහන්සේ ඔබ සැම අතරෙන් මා තෝරාගත් බව ඔබ සැම දන්නහුය.
8. සිත් දන්නාවූ දෙවියන්වහන්සේ අපට මෙන්ම ඔවුන්ටත් ශුද්ධාත්මය දී, ඔවුන් ගැන සාක්ෂිදුන්සේක;
9. උන්වහන්සේ ඔවුන් සහ අප අතරේ කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍රකළසේක.
10. එබැවින් අපගේ පියවරුන්ටවත් අපටවත් දරන්ට නොහැකිවුණු වියගහක් ගෝලයන්ගේ කරේ තැබීමෙන් ඔබ සැම කුමක් නිසා දෙවියන්වහන්සේව පරීක්ෂා කරවුද?
11. එසේ නොව ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන ඔවුන් මෙන් අපත් ගළවනු ලබන බව විශ්වාසකරමුයයි කීවේය.
12. එවිට මුළු සමූහයා නිශ්ශබ්දව සිටියෝය; තවද පාවුල් සහ බාර්ණබස් තමුන් ලවා දෙවියන්වහන්සේ අන්‍ය ජාතීන් අතරේ කොපමණ මහත් ලකුණු සහ පුදුම කෙරෙවූසේක්දැයි කියනවා ඔව්හු අසාගන සිටියෝය.
13. ඔවුන් නිශ්ශබ්දවූ ඉක්බිති යාකොබ් උත්තරදෙමින් කියනුයේ:
14. සහෝදරයෙනි, මට ඇහුම්කන්දෙන්න. දෙවියන්වහන්සේ තමන්ගේ නාමයට අන්‍යජාතීන්ගෙන් සෙනඟක් ගන්නා පිණිස පළමුවෙන් ඔවුන් දෙස බැලූ හැටි සිමියොන් කියාදුන්නේය.
15. අනාගතවක්තෘවරුන්ගේ වචනය ඊට එකඟය; කෙසේදයත්:
16. ඉතිරිවූ මනුෂ්‍යයන්ද මාගේ නාමය දරන සියලු අන්‍යජාතීන්ද විසින් ස්වාමීන්වහන්සේව සොයන පිණිස
17. මෙයින් පසු මම හැරී ඇවිත්, දාවිත්ගේ වැටුණාවූ මණ්ඩපය නැවත ගොඩනඟා, එහි නටබුන් තැන් නැවත ගොඩනගා, ඒක පිහිටුවන්නෙමියි
18. ලෝකයේ පටන්ගැන්මේ සිට මේ සියල්ල දන්වන්නාවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියනලද්දේය.
19. එබැවින් අන්‍යජාතීන් අතරෙන් දෙවියන්වහන්සේ වෙතට හැරෙන්නන් චංචල නොකර,
20. රූප සම්බන්ධ දුෂ්‍යකම්වලින්ද වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරු සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ.
21. මක්නිසාද ආදි පරම්පරාවල සිට මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශකරන්නෝ සියලු නුවරවල සිටිති, ඔව්හු සියලු සබත් දවස්වල එය සිනගෝගවලදී කියවතියි කීවේය.