A A A A A
අවුරුද්දකින් බයිබලය
ජුලි 25

නෙහෙමියා 1:1-11
1. හකලියාගේ පුත්‍රවූ නෙහෙමියාගේ කථාවස්තුවයි. විසිවෙනි අවුරුද්දේ කිස්ලෙව් මාසයේ ෂූෂන් මාලිගාවේ මා සිටි කල,
2. මාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක්වූ හනානීද ඔහු සමඟ තවත් මනුෂ්‍යයෝද යුදයෙන් ආවෝය; එවිට වාල්කමෙන් ගැළවී ඉතුරුවුණ යුදෙව්වරුන් ගැනද යෙරුසලම ගැනද ඔවුන්ගෙන් විචාළෙමි.
3. ඔව්හු කථාකොට: වාල්කමෙන් ඉතුරුවී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත් පෙළෙති. යෙරුසලමේ පවුරද කඩාදමා තිබේ, ඒකේ දොරවල්ද ගින්නෙන් දවාදමා තිබේයයි මට කීවෝය.
4. මම ඒ වචන ඇසූ කල හිඳගෙන අඬා, කීප දවසක් වැලපී නිරාහාරව සිට, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤාකෙළෙමි:
5. අහෝ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබට ප්‍රේමකරමින් ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයානකවූ දෙවියන්වහන්ස,
6. ඔබගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔබගේ මෙහෙකරුවා වූ මා විසින් දැනට රෑ දාවල් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන යාච්ඤාවද, ඉශ්‍රායෙල් පුත්‍රයන්වූ අප විසින් ඔබට විරුද්ධව කළ පව් කියාදීමද අසන පිණිස ඔබගේ කන යොමා, ඔබගේ ඇස්ද ඇරී තිබේවයි ඔබගෙන් ඉල්ලා සිටිමි. එසේය, මමත් මාගේ පියවංශයත් පව්කෙළෙමුව.
7. අපි ඔබට විරුද්ධව ඉතා දූෂ්‍ය ලෙස ක්‍රියාකෙළෙමුව, ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට ඔබ අණකළ ආඥාද පනත්ද විනිශ්චයන්ද රක්ෂානොකෙළෙමුව.
8. අහෝ ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට ඔබ අණකළ දෙය සිහිකළ මැනව. එනම්: ඔබ සැම ද්‍රෝහිකම්කළොත් මම ඔබ සැම ජාතීන් අතරේ විසුරුවන්නෙමි.
9. එහෙත් ඔබ සැම මා වෙතට හැරී, මාගේ ආඥා රක්ෂාකරමින්, ඒවා ඉෂ්ටකළොත්, ඔබ සැමගෙන් සමහරෙක් පන්නාදමනු ලැබ අහසේ කෙළවර සිටියත්, මම ඔවුන් එතැනින් රැස්කර, මාගේ නාමය පිහිටුවන්ට මා විසින් තෝරාගත් ස්ථානයට ඔවුන් ගෙනෙන්නෙමියි ඔබ කීසේක.
10. මොව්හු වනාහි ඔබගේ මහත් බලයෙන්ද බලවත් හස්තයෙන්ද ඔබ විසින් මුදාගත් ඔබගේ මෙහෙකරුවන් හා සෙනඟත්ය.
11. අහෝ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ෂව සිටීමට ප්‍රියවෙන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන් යොමා, අද ඔබගේ මෙහෙකරුවාට සඵලය දී, මේ මනුෂ්‍යයා ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්ට සැලැස්සුව මැනවයි කීමි. මම වනාහි රජුගේ පාත්‍රාධාරීව සිටියෙමි.

නෙහෙමියා 2:1-20
1. තවද අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ නීසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රිකපානය තිබෙද්දී මම මුද්‍රිකපානය රැගෙන රජුට දුනිමි. මීට ප්‍රථම මම ඔහු ඉදිරියේදී මලානිකව නොසිටියෙමි.
2. එවිට රජු මට කථාකර: ඔබට අසනීපයක් නැති කොට ඔබේ මුහුණ මලානිකව තිබෙන්නේ මන්ද? මේක සිතේ කනගාටුවක් මිස වෙන කිසිවක් නොවේයයි කීවේය.
3. එවිට මම ඉතාමත් භයව රජුට කථාකොට: රජතුමා සදාකල්ම ජීවත්වේවා. මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර පාළුවී, ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙද්දී, මාගේ මුහුණ මලානික නොවන්නේ කෙසේදැයි කීමි.
4. එවිට රජ: ඔබ ඉල්ලා සිටින්නේ කුමක්දැයි මාගෙන් ඇසීය. එවිට මම ස්වර්ගයේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට රජුට කථාකරමින්:
5. රජතුමා ප්‍රසන්න නම්, ඔබගේ දාසයා ඔබ ඉදිරියෙහි කරුණාව ලබාසිටී නම්, යූදාහි මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර ගොඩනඟන පිණිස මා එහි හැරිය මැනවැයි කීමි.
6. මෙසේ රජතෙම බිසවත් තමා ළඟ වාඩිවී ඉන්දදී, කථාකොට: ඔබේ ගමනට කොපමණ කල් අල්ලනවා ඇද්ද කියාත් ඔබ නැවත එන්නේ කවදාද කියාත් මාගෙන් ඇසුවේය. මෙසේ රජ මා හරින්ට ප්‍රසන්න විය. මමද රජුට කාලයක් නියමකර කීවෙමි.
7. ඇරත් මම රජුට කථාකොට: රජතුමා ප්‍රසන්න නම් මා යුද්ධයට පැමිණෙන තුරු රට මැදින් මට යන්ට දෙන ලෙස එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම්ද,
8. ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත් නුවර පවුරුවලටත් මා පදිංචිවෙන ගෙටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරවූ ආසාප්ට දීමට ලියුමක්ද මට ලැබේවයි රජුට කීමි. මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජතෙම එසේම මට දුන්නේය.
9. එකල මම ගඟ මෙගොඩ සිටි දිශාධිපතීන් ළඟට ගොස් රජුගේ හසුන්පත් ඔවුන්ට දුනිමි. රජ වනාහි සේනාධිපතීන්ද අසරුවන්ද මා සමඟ එවුවේය.
10. හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද ඒ අසා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුභසිද්ධිය දියුණුකරන්ට මනුෂ්‍යයෙකු ආවාට ඉතාමත් අමනාපවූහ.
11. මෙසේ මම යෙරුසලමට ඇවිත් තුන් දවසක් එහි සිටියෙමි.
12. තවද මම මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ රාත්‍රියේ නැගිට, යෙරුසලම උදෙසා කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිතෙහි තැබූ කල්පනාව කිසිම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැගී ගිය සතා මිස වෙන යම් සතෙකු නැතුව, රාත්‍රියේ මිටියාවෙත් දොරටුවෙන් පිටත්වී,
13. නාග උල්පත ළඟටත් කසළ දොරටුව ළඟටත් ගොස්, යෙරුසලමේ කඩා දමනලද පවුරත් ගින්නෙන් දාගොස් තිබුණු ඒකේ දොරටුත් බලා,
14. පසුව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. නුමුත් මා නැගී උන් සතාට යන්ට ඉඩ නොතිබුණේය.
15. මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී මිටියාවෙත් දොරටුවෙන් ඇතුල්වී ආයෙමි.
16. මා ගිය තැනවත් කළ දෙයවත් මුලාදෑනීහු දැනනොගත්තෝය; මම ඒ වන තුරු යුදෙව්වරුන්ට හෝ පූජකයන්ටවත් උත්තමයන්ට හෝ මුලාදෑනීන්ටවත් වැඩේ කළ අනික් අයටවත් එය නොදැන්වීමි.
17. එකල මම ඔවුන්ට කථාකොට: අපට තිබෙන විපත්තිය එනම් යෙරුසලම පාළුව තිබෙන හැටිද ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙන හැටිද ඔබ සැමට පෙනෙයි. ඉතින් තවත් අපට නින්දා නොපැමිණෙන පිණිස යෙරුසලමේ පවුර ගොඩනඟමුයයි කියා,
18. මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබෙන බවද රජු මට කී වචන ගැනද ඔවුන්ට දැන්වීමි. ඔව්හුද: අපි නැගිට ගොඩනඟමුයයි කීවෝය. මෙසේ ඔව්හු ඒ යහපත් වැඩේ සඳහා තමුන්ගේ අත් සවිකර ගත්තෝය.
19. නුමුත් හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද අරාබිය ගෙෂෙම්ද ඒ අසා අපට කවටකම්කර අප හෙළාදැක: ඔබ සැම කරන මේ දෙය මොකද? ඔබ සැම රජුට විරුද්ධව කැරළිගසන්ට යනවාදැයි කීවෝය.
20. එවිට මම ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගයේ දෙවියන්වහන්සේම අපේ කාරණය සඵලකරනවා ඇත; එබැවින් උන්වහන්සේගේ සේවකයෝවූ අපි නැඟිට ගොඩනගන්නෙමුව. නුමුත් ඔබ සැමට යෙරුසලමෙහි කිසි කොටසක් හෝ අයිතිවාසිකමක්වත් සිහිවීමේ ලකුණක්වත් නැතැයි කීවෙමි.

ගීතාවලිය 88:11-18
11. ඔබගේ කරුණාගුණය මිනීවළේදීත් ඔබගේ විශ්වාසකම විනාශස්ථානයෙහිදීත් ප්‍රකාශකරනු ලබන්නේද?
12. ඔබගේ ආශ්චර්යයෝ අඳුරේදීත් ඔබගේ ධර්මිෂ්ඨකම මතක් නොවෙන දේශයේදීත් දන්වනු ලබන්නේද?
13. එහෙත් ස්වාමිනි, මම ඔබට මොරගැසීමි; උදය මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණෙන්නේය.
14. ස්වාමිනි, කුමට මාගේ ආත්මය ඉවතලනසේක්ද? කුමට ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා ගන්නාසේක්ද?
15. බාල වයසේ පටන් මම පීඩිතව මරණාසන්නවෙමි. ඔබගෙන් පැමිණෙන භීති විඳින කල විකලවෙමි.
16. ඔබගේ තද උදහස මා මතුයෙන් ගියේය; ඔබගෙන් පැමිණෙන භීති මා සිඳදැම්මේය.
17. ඒවා දවස මුළුල්ලේම ජලය මෙන් මා වටකර ආයේය; එකට රැස්ව මා වටකෙළේය.
18. ප්‍රේමකරන්නාත් මිත්‍රයාත් ඔබ මා කෙරෙන් දුරුකොට, මා අඳුනන්නන් අඳුරෙහි හෙළූසේක.

හිතෝපදේශ 21:25-26
25. අලසයාගේ ආශාව ඔහු මරයි; මක්නිසාද ඔහුගේ අත් වැඩකරන්ට අකැමතිය.
26. දවස මුළු‍ල්ලේ ගිජුලෙස ආශාවන්නෙක් ඇත; එහෙත් ධර්මිෂ්ඨයා නොවලක්වා දෙන්නේය.

ක්‍රියා 25:1-27
1. මෙසේ පෙස්තුස් තෙමේ ඒ පළාතට පැමිණි කල තුන් දවසකට පසු කායිසාරියේ සිට යෙරුසලමට ගියේය.
2. නායක පූජකයෝද යුදෙව්වරුන්ගේ ප්‍රධානීහුද පාවුල්ට විරුද්ධව පෙස්තුස්ට දැනුම්දී,
3. ඔවුන්ට කරුණාවක් වශයෙන් ඔහු යෙරුසලමට යවන ලෙස පෙස්තුස්ගෙන් ඉල්ලුවෝය. එසේ කළේ ඔවුන් මාර්ගයේ රැකසිට ඔහුව මරන පිණිසය.
4. නුමුත් පෙස්තුස් උත්තරදෙමින්: පාවුල් කායිසාරියෙහි හිරබාරේ සිටින බවත් තමාද ඉක්මනින් එහි යන්ට ඉන්න බවත් කීවේය.
5. එහෙයින් ඔබ සැම අතරෙහි වැදගත් අය මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් දෝෂයක් ඇත්නම් ඔහුට වරද තබත්වයි කීවේය.
6. ඔහු ඔවුන් අතරෙහි දවස් අටකට නොහොත් දහයකට වඩා ප්‍රමාද නොවී කායිසාරියට ගොස්, පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ පාවුල් ගෙනෙන්ට අණකෙළේය.
7. ඔහු ආ කල, යෙරුසලමෙන් ඇවිත් සිටි යුදෙව්වරු පාවුල් වටකර සිට ඔහුට විරුද්ධව ඔප්පුකළ නොහැකිවූ බරපතළවූ බොහෝ පැමිණිලි කළෝය.
8. පාවුල් තමාගේ නිදහසට උත්තරදෙමින්: මම යුදව්වරුන්ගේ ව්‍යවස්ථාවටවත් දේවමාළිගාවටවත් කායිසර්ටවත් විරුද්ධව කිසි වරදක් නොකෙළෙමියි කීවේය.
9. නුමුත් පෙස්තුස් යුදෙව්වරුන් සතුටුකරනු කැමතිව පාවුල්ට උත්තරදෙමින්: ඔබ යෙරුසලමට ගොස් එහිදී මේ කාරණා ගැන මා ඉදිරියෙහි විනිශ්චයකරනු ලබන්ට කැමැත්තෙහිදැයි ඇසුවේය.
10. නුමුත් පාවුල්: මම කායිසර්ගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මෙහිදී මා විනිශ්චයකරන්ට යුතුය. යුදෙව්වරුන්ට මා විසින් කිසි වරදක් කළේ නැත, ඒ බව ඔබටත් හොඳාකාර පෙනීයන්නේය.
11. ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු කිසිවක් කෙළෙම් නම්, මරණය නොලබන ලෙසට නොඉල්ලමි. නුමුත් මොවුන් මට තබන වරදවලින් එකක්වත් සැබෑ නොවේ නම්, මා ඔවුන්ට පාවාදෙන්ට කිසිවෙකුට බැරිය. මම කායිසර්ගේ විනිශ්චය ඉල්ලමියී කීවේය.
12. එවිට පෙස්තුස් මන්ත්‍රණ සභාව සමඟ කථාකොට: ඔබ කායිසර්ගේ විනිශ්චය ඉල්ලුවෙහිය. කායිසර් ළඟට යන්නෙහියයි උත්තරදුන්නේය.
13. කීප දවසකට පසු අග්‍රිපා රජද බර්නීකිද කායිසාරියට ඇවිත් පෙස්තුස්ට ආචාරකළෝය.
14. ඔවුන් බොහෝ දවස් එහි නැවතී සිටියදී පෙස්තුස් පාවුල්ගේ කාරණය රජුට දන්වමින්: පීලික්ස් නිදහස් නොකර ගිය එක් හිරකාරයෙක් සිටියි.
15. මා යෙරුසලමට ගිය විට නායක පූජකයෝද යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද ඔහු ගැන මට දන්වමින්, ඔහුට විරුද්ධව විනිශ්චය ඉල්ලුවෝය.
16. මම ඔවුන්ට උත්තරදෙමින්: යම් වරද තබනු ලැබූවෙකු ඉදිරියට වරද තබන්නන් ගෙන්වා වරද ගැන උත්තරදීමට ඔහුට ඉඩදෙන්ට පළමුවෙන් ඔහු පාවාදීම රෝමයන්ගේ සිරිතක් නොවේයයි කීවෙමි.
17. එහෙයින් ඔවුන් මෙහි රැස්වූ කල, මම ප්‍රමාදයක් නොකොට පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ ඒ මනුෂ්‍යයා ගෙනෙන්ට අණකෙළෙමි.
18. වරද තබන්නන් නැගිට සිටි විට මා සිතූ දේවල් ගැන කිසි වරදක් නොතබා,
19. තමුන්ගේ ආගම ගැනද ජීවත්ව සිටිනසේකැයි පාවුල් කියා සිටි යේසුස් නම් මළාවූ කෙනෙකු ගැනද ඔහුට විරුද්ධව සමහර වාද කාරණා ඔවුන්ට තිබුණේය.
20. මේ දේවල් ගැන විභාගකරන්නේ කෙසේදැයි වියවුල්වූ මම වනාහි, ඔහු යෙරුසලමට ගොස් එහිදී මේ කාරණා ගැන විනිශ්චයකරනු ලබන්ට කැමතිදැයි ඔහුගෙන් ඇසුවෙමි.
21. නුමුත් අධිරාජතුමාගේ තීරණයට නඩුව නවත්වාගන්න මෙන් පාවුල් ඉල්ලූ කල, ඔහු කායිසර් ළඟට යවන තුරු රැකවල්කර තබන්ට මම අණකෙළෙමියි කීවේය.
22. එවිට අග්‍රිපා: මමත් ඒ මනුෂ්‍යයා කථාකරනවා අසන්ට කැමැත්තෙමියි පෙස්තුස්ට කීවේය. හෙට ඔබට අසන්ට ලැබේයයි ඔහු කීවේය.
23. එසේ පසුවදා අග්‍රිපාද බර්නීකිද මහත් පෙරහැරකින් ඇවිත් ප්‍රධාන සේනාපතීන් සහ නුවර ප්‍රධාන මනුෂ්‍යයන් සමඟ නඩුශාලාවට පැමිණි කල, පෙස්තුස්ගේ ආඥාවෙන් පාවුල් ගෙන්වන ලද්දේය.
24. පෙස්තුස් කථාකොට: අග්‍රියා රජ්ජුරුවනි, මෙහි අප සමඟ සිටින සියලු මනුෂ්‍යයෙනි, මොහු තවත් ජීවත්ව සිටින්ට නොවටනේයයි මොරගසමින් මුළු යුදෙව් සමූහයා යමෙකු ගැන යෙරුසලමේදීත් මෙහිදීත් මට පැමිණිලිකළෝද ඒ මනුෂ්‍යයා මෙහි දක්නහුය.
25. නුමුත් මරණයට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනුණේය. ඇරත් මොහුම අධිරාජතුමාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු යවන්ට නියම කෙළෙමි.
26. ඔහු ගැන මාගේ ස්වාමීන්ට ලියා ඇරීමට යමක් මට ලැබෙන පිණිස ඔබ සැම ඉදිරියටද ප්‍රධානකොට, අග්‍රිපා රජ්ජුරුවනි, ඔබ ඉදිරියටද ඔහු ගෙනාවෙමි.
27. මක්නිසාද හිරකාරයාට විරුද්ධව ගෙනා පැමිණිලි නොදන්වා ඔහු යැවීම අනුවණ දෙයක් බව මට පෙනේයයි කීවේය.