Instagram
English
A A A A A
එස්රා 9:1-15
1. මේ කාරණා නිමවූ කල අධිපතීහු මා ළඟට ඇවිත් කථාකොට: ඉශ්‍රායෙල් සෙනඟත් පූජකයොත් ලෙවීවරුත් දේශවල වැසියන්වූ කානාන්වරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද යෙබූසිවරුන්ගේද අම්මෝනිවරුන්ගේද මෝවබ්වරුන්ගේද මිසරවරුන්ගේද අමෝරිවරුන්ගේද පිළිකුල් ක්‍රියා කරමින්, ඔවුන්ගෙන් වෙන්නොවී සිට,
2. ඔව්හු තමුන්ටත් තමුන්ගේ පුත්‍රයන්ටත් ඔවුන්ගේ දූවරුන්ගෙන් භාර්යාවන් ගත්තෝය; මෙසේ ශුද්ධ වංශය දේශවල ජනයන් සමඟ මිශ්‍රවූය. එසේය, මේ අපරාධයට මූලිකවූවෝත් අධිපතීන් හා මුලාදෑනියෝයයි කීවෝය.
3. මම මේ කාරණාව අසා, මාගේ වස්ත්‍රයත් සළුවත් ඉරාගෙන, මාගේ හිසකේද රැවුලද උදුරා, ත්‍රස්තවී හිඳගතිමි.
4. එවිට වාල්කමෙන් ආ තැනැත්තන්ගේ අපරාධය නිසා ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ වචනවලට වෙවුලූ හැමදෙනම මා ළඟට රැස්වූවෝය; මම වනාහි සවස පූජාව ඔප්පුකරන තුරු ත්‍රස්තව හිඳගතිමි.
5. සවස පූජාවේ වේලාවට මාගේ ශෝක භාවයෙන් නැගිට, ඉරාගත් මාගේ වස්ත්‍රයද මාගේ සළුවද ඇතුව දණින් හිඳ, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට මාගේ අත් විදහාගන කථාකොට:
6. මාගේ දෙවියන්වහන්ස, මම ලජ්ජාවට පත්වී, මාගේ දෙවිවූ ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්ට විළිබියෙන් සිටිමි. මක්නිසාද අපේ අපරාධ අපේ ඉස්වලටත් උඩින් වැඩිවී, අපේ වරදකාරකම ස්වර්ගය දක්වා නැගී තිබේ.
7. අපේ පියවරුන්ගේ දවස්වල පටන් අද දක්වා අපි අතිශයින් වරදකාරයෝව සිට, අපේ අපරාධ නිසා අපිද අපේ රජවරුද අපේ පූජකයෝද අද දවසේ තිබෙන හැටියට දේශවල රජවරුන් අතටත් කඩුවටත් වාල්කමටත් කොල්ලකෑමටත් මුහුණේ ලජ්ජාවටත් පාවාදෙනු ලැබීමුව.
8. එහෙත් දැන් අපෙන් ස්වල්ප දෙනෙකු ඉතුරු කරන පිණිසත් ස්වකීය ශුද්ධස්ථානයෙහි අප පිහිටුවන පිණිසත් ස්වල්ප වේලාවකට අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගෙන් අපට කරුණාව ලැබී තිබේ. මෙසේ අපේ දෙවියන්වහන්සේ අපේ ඇස් එළියකර, අපේ වාල්කමේදී අපට ස්වල්ප සහනයක් දෙනසේක.
9. මක්නිසාද අපි වාල්ලුය; නුමුත් අපේ වාල්කමේදී අපේ දෙවියන්වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමටත් ඒකේ බිඳුම් හරි ගැස්සීමටත් අප ජීවත්කරන හැටියටද, යුදාහිත් යෙරුසෙලමෙහිත් අපට පවුරක් දෙන හැටියටද, පාර්සියාවේ රජවරුන්ගේ ඇස් හමුවෙහි අපට කරුණාව පෙන්නූසේක.
10. එබැවින් අපේ දෙවියන්වහන්ස, මෙසේ වූ කල්හි අපි කුමක් කියමුද? මක්නිසාද ඔබගේ මෙහෙකරුවන්වූ ප්‍රොපේතවරුන් ලවා ඔබ අණකෙරෙවු ඔබගේ ආඥාවන් අපි අත්ඇරියෙමුව.
11. එනම්: ඔබ සැම හිමිකරගන්ට යන දේශය එහි ජනයන්ගේ පිළිකුල්වලින්ද කිලුටුකම්වලින්ද එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා පිරී තිබේ; ඔවුන්ගේ අපවිත්‍රකම නිසා ඒක අපවිත්‍ර දේශයක්ව තිබේ.
12. ඒ නිසා ඔබ සැම බලවත්ව සිට, දේශයේ සාරවත්කම භුක්තිවිඳ, ඒක සදාකාලයටම ඔබ සැමගේ දරුවන්ට උරුමකරදෙන පිණිස, ඔබ සැමගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දෙන්ටවත් ඔවුන්ගේ දූවරුන් ඔබ සැමගේ පුත්‍රයන්ට ගන්ටවත් ඔවුන්ගේ සමාදානයද ශුභසිද්ධියද කිසිකලක සොයන්ටවත් එපායයි ඔබ අණකර තිබේ.
13. ඉතින් අපේ නපුරු ක්‍රියාද මහත් වරදකාරකමද නිසා අපට පැමිණි සියල්ලට පසුව, අපේ දෙවිවූ ඔබ විසින් අපේ අයුතුකම්වල තරමට අච්චු නොකර මෙයාකාර ගැළවීමක් අපට ඉතිරිකරදී තිබියදීත්,
14. අපි නැවත ඔබගේ ආඥා කඩකර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ නෑකම් බඳිමුද? එසේ කළොත්, එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු නොවෙන ලෙස අප නැතිකර දමන තුරු ඔබ අප කෙරෙහි උදහස් නොවනසේක්ද?
15. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨය; මක්නිසාද අද තිබෙන ලෙස අපි ස්වල්ප දෙනෙක්ව ඉතුරුව සිටිමුව. මෙන්න, අපි ඔබ ඉදිරියේ අපේ අපරාධවල ගැලී සිටිමුව; මක්නිසාද මේ කාරණය නිසා ඔබ ඉදිරියේ කිසිවෙකුට සිටිය නොහැකියයි කීවේය.

එස්රා 10:1-44
1. එස්රා අඬමින් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරියේ වැටී ඉඳ යාච්ඤාකොට පව් කියා සිටියදී, ඉශ්‍රායෙල්වරුන්ගෙන් පුරුෂයන්ද ස්ත්‍රීන්ද ළමයින්ද ඉතා මහත් සමූහයක් ඔහු වෙතට රැස්වුණෝය. මක්නිසාද සෙනඟ බොහෝසෙයින්ම ඇඬුවෝය.
2. එවිට ඒලාම්ගේ පුත්‍රයෙක්වූ යෙහීයෙල්ගේ පුත්‍රවූ ෂෙකනියා එස්රාට උත්තරදෙමින්: අපේ දෙවියන්වහන්සේට විරුද්ධව වරදකොට දේශයේ ජනයන්ගෙන් අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගතිමු. එසේ වුවත් ඉශ්‍රායෙල්ට මේ ගැන බලාපොරොත්තු තිබේ.
3. ඒ නිසා ඒ සියලු භාර්යාවන්ද ඔවුන්ගෙන් උපන් දරුවන්ද පහකරන ලෙස මාගේ ස්වාමිහුගේද අපේ දෙවියන්වහන්සේගේ ආඥාවට වෙවුලන්නන්ගේද දැනමුතුකමේ හැටියට අපේ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් කරමු; ව්‍යවස්ථාව ලෙසද කරනු ලැබේවා. නැගිටින්න;
4. මේ කාරණය ඔබට අයිතිය, අපිත් ඔබ සමඟ සිටිමුව. බලවත්ව සිට ඒක කරන්නැයි එස්රාට කීවේය.
5. එවිට එස්රා නැගිට ඒ වචනයේ ප්‍රකාරයට කරන ලෙස පූජකයන්ගේද ලෙවීවරුන්ගේද සියලු ඉශ්‍රායෙල්වරුන්ගේද අධිපතීන් දිවුරෙවුවේය. ඔව්හු දිවුළෝය.
6. එවිට එස්රා දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරියෙන් නැගිට එලියාෂීබ්ගේ පුත්‍රවූ යෙහෝහානාන්ගේ ඇතුල් ගෙට ගියේය. ඔහු එහි ගොස් කෑම නොකා වතුර නොබී සිටියේය. මක්නිසාද වාල්කමෙන් ආ අයගේ අපරාධය ගැන ඔහු වැලපුණේය.
7. එවිට යෙරුසලමට රැස්වෙන්ට කියාද, අධිපතීන්ගෙත් වැඩිමහල්ලන්ගෙත් දැනමුතුකමේ හැටියට තුන් දවසක් ඇතුළතදී යමෙක් නාවොත්,
8. ඔහුගේ සියලු දේපළ දඩයට ගන්ටත් වාල්කමෙන් ආවාවූ අයවලුන්ගේ සභාවෙන් ඔහු වෙන්කරන්ටත් වේය කියාද, වාල්කමෙන් ආ සියල්ලන්ට යුදාහි සහ යෙරුසලමෙහිත් ඔව්හු ප්‍රකාශකළෝය.
9. එවිට යුදාහිද බෙන්යමින්හිද සියලු මනුෂ්‍යයෝ තුන් දවස ඇතුළත යෙරුසලමට රැස්වූවෝය; ඒ දවස නවවෙනි මාසයේ විසිවෙනිදාය. මුළු සෙනඟ මේ කාරණය නිසාත් තද වර්ෂාව නිසාත් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට එළිමහෙන් වෙවුලමින් ඉඳගෙන උන්නෝය.
10. එස්රා පූජකයා නැගිට සිට ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ වරදකාරකම වැඩිකරන හැටියට ඔබ සැම අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගත්තහුය.
11. එබැවින් දැන් ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පව් කියාදී, උන්වහන්සේගේ කැමැත්ත කරමින්, දේශයේ ජාතීන්ගෙනුත් අන්‍ය ජාති ස්ත්‍රීන්ගෙනුත් වෙන්වෙන්නැයි කීවේය.
12. එවිට මුළු සභාව මහත් හඬකින් උත්තරදෙමින්: ඔබ අප ගැන කී ලෙස අප විසින් කළයුතුය.
13. නුමුත් සෙනඟ බොහෝය, මේක තද වර්ෂා කාලයක් නිසා අපට එළියේ සිටින්ටත් බැරිය, මේක දවසකවත් දෙදවසකවත් වැඩක් නොවේය. මක්නිසාද මේ කාරණය සම්බන්ධව අපි බොහෝසේ වරද කෙළෙමුව.
14. දැන් අපේ අධිපතියෝ මුළු සභාව වෙනුවෙන් පත්කරනු ලබත්වා, අපේ දෙවියන්වහන්සේගේ බලවත් උදහස අප කෙරෙන් පහවෙන තුරු, මේ කාරණය ඉෂ්ටකරන තුරු, අපේ නුවරවල අන්‍ය ජාතී ස්ත්‍රීන් පාවාගන සිටින සියල්ලෝද ඔවුන් සමඟ එක එක නුවර වැඩිමහල්ලෝද විනිශ්චයකාරයෝද නියම කාලවලදී පැමිණෙත්වයි කීවෝය.
15. මීට විරුද්ධවුණේ අසාහෙල්ගේ පුත්‍රවූ යෝනාතාන්ද තික්වාගේ පුත්‍රවූ යාසෙයාද පමණක්ය. මෙෂුල්ලාම්ද ලෙවීයවූ ෂබ්බෙතයිද ඔවුන්ට උපකාරකළෝය.
16. වාල්කමෙන් ආවාවූ අය එසේ කළෝය. පූජකවූ එස්රාද තමුන්ගේ පියවංශවල හැටියට පියවංශවල ප්‍රධාන මනුෂ්‍යයෝද එකිනෙකා නාම වශයෙන් වෙන්කරනු ලැබ, ඔව්හු මේ කාරණය විභාගකරන්ට දසවෙනි මාසයේ පළමුවෙනිදා ඉඳගත්තෝය.
17. අන්‍ය ජාති ස්ත්‍රීන් සරණපාවාගෙන සිටි සියලු මනුෂ්‍යයන් ගැන කාරණය ඔව්හු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා තීන්දුකළෝය.
18. පූජකයන්ගේ පුත්‍රයන් අතරෙන් අන්‍ය ජාති ස්ත්‍රීන් සරණපාවාගත් සමහර දෙනෙක් සම්බවූවෝය. එනම්: යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාගේ පුත්‍රයන්ගෙන්ද ඔහුගේ සහෝදරයන්ගෙන්ද මයසේයා, එලීයෙසෙර්, යාරිබ් සහ ගෙදලියාය.
19. ඔව්හු තමුන්ගේ භාර්යාවන් අත්හරිනවාය කියා අතදී පොරොන්දුවුණෝය; තවද තමුන්ගේ වරදකාරකම ගැන රැළෙන් බැටළුවෙකු ඔප්පුකළෝය.
20. ඉම්මෙර්ගේ පුත්‍රයන්ගෙන් හනානි සහ සෙබදියාය.
21. හාරීම්ගේ පුත්‍රයන්ගෙන් මයසේයා, එලියා, ෂෙමායා, යෙහීයෙල් සහ උස්සියාය.
22. පෂ්හූර්ගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, මයසේයා, ඉෂ්මායෙල්, නෙතනෙල්, යෝසාබාද් සහ එලාසාය.
23. ලෙවීරුන්ගෙන් යෝසාබාද්, ෂීමෙයි, කේලායා (එනම් කෙලීටා), පෙතහියා, යුදා සහ එලීයෙසෙර්ය.
24. ගීතිකාකාරයන්ගෙන් එලියාෂීබ්ය; දොරටුපාලයන්ගෙන් ෂල්ලුම්, ටෙලෙම් සහ උරීය.
25. ඉශ්‍රායෙල්වරුන් අතරෙන් පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් රමියා, ඉස්සියා, මල්කියා, මියාමින්, එලෙයාසර්, මල්කියා සහ බෙනායාය.
26. ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් මත්තනියා, සෙකරියා, යෙහීයෙල්, අබ්දී, යෙරේමොත් සහ එලියාය.
27. සට්ටූගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, එලියාෂීබ්, මත්තනියා, යෙරේමොත්, සාබාද් සහ අසීයාය,
28. බේබයිගේ පුත්‍රයන්ගෙන් යෙහෝහානාන්, හනනියා, සබ්බයි සහ අත්ලයිය.
29. බානීගේ පුත්‍රයන්ගෙන් මෙෂුල්ලාම්, මල්ලුක්, අදායා, යාෂුබ්, ෂෙයාල් සහ යෙරේමොත්ය.
30. පාහත්-මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් අද්නා, කෙලාල්, බෙනායා, මයසේයා, මත්තනියා, බෙසලෙල්, බින්නුයි සහ මනස්සේය.
31. හාරීම්ගේ පුත්‍රයන්ගෙන් එලීයෙසෙර්, ඉෂ්ෂියා, මල්කියා, ෂෙමායා, ෂිමෙයොන්;
32. බෙන්යමින්, මල්ලුක් සහ ෂෙමරියාය.
33. හාෂුම්ගේ පුත්‍රයන්ගෙන් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලීපෙලෙත්, යෙරේමයි, මනස්සේ සහ ෂිමෙයිය.
34. බානීගේ පුත්‍රයන්ගෙන් මයදයි, අම්රාම් සහ ඌයෙල්ය;
35. බෙනායා, බේදෙයා, කෙලුහී;
36. වනියා, මෙරේමොත්, එලියාෂීබ්;
37. මත්තනියා, මත්තෙනයි සහ යාසූය;
38. බානී, බින්නුයි සහ ෂිමෙයිය;
39. ෂෙලමියා, නාතාන් සහ අදායාය;
40. මක්නදෙබයි, ෂාෂයි, ෂාරයි;
41. අසරේල්, ෂෙලෙමියා, ෂෙමරියා;
42. ෂල්ලුම්, අමරියා සහ යෝසෙප්ය.
43. නෙබෝගේ පුත්‍රයන්ගෙන් යෙයීයෙල්, මත්තිනියා, සාබාද්, සෙබිනා, ඉද්දෝ, යෝවෙල් සහ බෙනායාය.
44. මේ හැම දෙනම අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගෙන සිටියෝය. ඒ භාර්යාවන්ගෙන් සමහරු දරුවන්ද ලැබ සිටියෝය.

ගීතාවලිය 88:6-10
6. ඔබ ඉතා ගැඹුරු වළෙහි අඳුරු තැන්වලත් ගැඹුරු තැන්වලත් මා තැබූසේක.
7. ඔබගේ උදහස මා පිට බරවේ, ඔබගේ සියලු රැළවලින් ඔබ මට පීඩා කළසේක.
8. මා අඳුනන්නන් ඔබ මාගෙන් දුරු කළසේක; ඔවුන්ට මා පිළිකුලක් කළසේක. හිරකරනලදුව පිටත එන්ට නොහැක්කෙමි.
9. පීඩාව නිසා මාගේ ඇස ක්ෂයවේ. ස්වාමිනි, දවස්පතා ඔබට යාච්ඤා කෙළෙමි, ඔබ දෙසට මාගේ අත් දිගුකෙළෙමි.
10. ඔබ මළවුන්ට ආශ්චර්යයන් දක්වනසේක්ද? මළාහු නැගිට ඔබට ප්‍රශංසාකරන්නෝද?

හිතෝපදේශ 21:23-24
23. තමාගේ මුඛයත් දිවත් රැකවල්කරගන්නා තමාගේ ප්‍රාණය විපත්තිවලින් රැකගන්නේය.
24. උඩඟු අහංකාර අයගේ නම නින්දාකරන්නාය, ඔහු අහංකාර මානයෙන් ක්‍රියාකරන්නේය.

ක්‍රියා 24:1-27
1. පස් දවසකට පසු උත්තම පූජකවූ අනනියස් සමහර වැඩිමහල්ලන්ද තෙර්තුලස් නම් එක්තරා ව්‍යක්තයෙක්ද සමඟ බැස ඇවිත් පාවුල්ට විරුද්ධව ආණ්ඩුකාරයාට පැමිණිලිකෙළේය.
2. ඔහු කැඳවනු ලැබූ කල, තෙර්තුලස් ඔහුට වරද තබන්ට පටන්ගෙන කථාකරමින්: අති උත්තමවූ පීලික්ස්නි, ඔබ කරණකොටගෙන අප බොහෝ සමාදානය භුක්තිවිඳන බවද, ඔබගේ පාලනයෙන් මේ ජාතිය උදෙසා දුර්භාග්‍ය දේවල් පහකරන්ට යෙදුණ බවද,
3. සෑම විටම සෑම තැන්වලදීම සියලු ආකාර ස්තුතිවන්තකමෙන් අපි ඒත්තුගනිමුව.
4. නුමුත් මම වඩා ඔබට වෙහෙස නොකරන පිණිස ලුහුඬෙන් අප කියන දේ ඔබගේ කරුණාවෙන් අසන ලෙස අයැදිමි.
5. මක්නිසාද මේ මනුෂ්‍යයා දුර්ජනයෙක් බවද ලෝකයේ සියලු යුදෙව්වරුන් අතරෙහි කැරලි උපදවන්නෙක් බවද නාසරියයන්ගේ ලබ්ධියේ මූලිකයෙක් බවද දැනගතිමුව,
6. මොහු දේවමාළිගාව අපවිත්‍ර කරන්ටත් හැදුවේය. අපි ඔහු අල්ලාගතිමුව.
7. ***
8. යමක් ගැන අපි මොහුට වරද තබමුද ඒ සියල්ල මොහුගෙන්ම විචාරා දැනගන්ට ඔබට පුළුවනැයි කීවේය.
9. යුදෙව්වරුද ඒ කාරණා එසේමයයි කියමින් පැමිණිල්ලට එකඟවූවෝය.
10. පාවුල්ට කථාකරන්ට ආණ්ඩුකාරයා සංඥාකළ කල්හි ඔහු උත්තරදෙමින්: ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජාතියට විනිශ්චයකාරයෙක්ව සිටින බව මම දන්න නිසා සතුටින් මාගේ කාරණය ගැන උත්තරදෙමි.
11. නමස්කාර කරන පිණිස මා යෙරුලමට ගොස් දැනට දොළොස් දවසකට වඩා නැති බව ඔබට දැනගන්ට පුළුවන.
12. දේවමාළිගාවේදීවත් සිනගෝගවලදීවත් නුවරදීවත් කිසිකෙනෙකු සමඟ මා වාදකරනවා හෝ සමූහයන් කළඹනවා ඔව්හු නුදුටුවෝය.
13. ඔවුන් දැන් මා කෙරෙහි තබන වරද ඔබට ඔප්පුකරන්ටත් ඔවුන්ට බැරිය.
14. නුමුත් මේක ඔබ ඉදිරියෙහි ඒත්තුගනිමි: එනම්, ලබ්ධියක්යයි කියා ඔවුන් කියන්නාවූ මාර්ගය ලෙස මම අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට සේවයකරමි. ව්‍යවස්ථාවේද අනාගතවාක්‍යවලද ලියා තිබෙන සියල්ලත් විශ්වාසකරමි.
15. ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි මොවුන් බලා සිටින්නාක්මෙන් මමත් දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි.
16. ඒ නිසා මම දෙවියන්වහන්සේ කෙරෙහිත් මනුෂ්‍යයන් කෙරෙහිත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්ටද නිතරම උත්සාහකරමි.
17. ඉතින් අවුරුදු කීපයකට පසු මාගේ ජාතියට දානවල්ද පූජාද දෙන පිණිස ආවෙමි.
18. ඒ අතරේදී සමූහයක්වත් කෝලාහලයක්වත් නැතුව, මා දේවමාළිගාවෙහි පවිත්‍රකරනු ලැබ සිටිනවා ඔවුන්ට සම්බවිය. එහෙත් ආසියාවේ සිට ආවාවූ සමහර යුදෙව්වරු එහි සිටියෝය.
19. මට විරුද්ධව යමක් ඔවුන්ට තිබුණේ නම්, මට දෝෂාරෝපණයකරන පිණිස මෙහි ඔබ ඉදිරියට එන්ට ඔවුන්ට යුතුව තිබුණේය.
20. නැතහොත්, මම මොවුන් අතරේ සිට: අද ඔබ සැම ඉදිරියේදී මා විචාරනු ලබන්නේ මළවුන්ගෙන් නැගිටීම ගැනයයි මොරගසා කී එකම කීම මිස,
21. මා සභාව ඉදිරියෙහි සිටි කල මා අත මොන අපරාධයක් මොවුන්ට සම්බවුණද කියා මොව්හුම කියත්වයි කීවේය.
22. නුමුත් පීලික්ස් ඒ මාර්ගය ගැන කාරණා වඩා හරිලෙස දැන සිටියේ, අධිපතිවූ ලිසියස් ආ කල ඔබ සැමගේ කාරණය තීන්දුකරන්නෙමියි කියා ඔවුන් නැවැත්තුවේය.
23. තවද ඔහු රැකවල් කරන්ටත් ඔහුට නිදහස දෙන්ටත් ඔහුගේ මිත්‍රයන්ගෙන් කිසිවෙකු විසින් ඔහුට උපස්ථානකිරීම තහනම් නොකරන්ටත් සියයකට මුලාදෑනියාට ඔහු අණකෙළේය.
24. කීප දවසකට පසු පීලික්ස් යුදෙව් ස්ත්‍රියෙක්වූ තමාගේ භාර්යාව වන දෘසිල්ලා සමඟ ඇවිත් පාවුල් ගෙන්වා, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇත්තාවූ ඇදහිල්ල ගැන ඔහු කථාකරනවා ඇසුවේය.
25. ඔහු ධර්මිෂ්ඨකමද පමණ දැන ක්‍රියාකිරීමද පැමිණෙන්නාවූ විනිශ්චයද ගැන කථාකරද්දී පීලික්ස් භයපත්ව: දැනට යන්න; මට ප්‍රස්තාවක් ලැබුණාම ඔබට අඬගස්වන්නෙමියි කීවේය.
26. ඒ ඇර තමාට පාවුල් මුදල් දෙනවා ඇතැයි ඔහු බලාපොරොත්තුවුණේය. එබැවින් නැවත නැවත ඔහු කැඳවා ඔහු සමඟ කථාකෙළේය.
27. නුමුත් දෑවුරුද්දක් සම්පූර්ණවූ කල පීලික්ස්ගේ නිලයට පොර්කියුස් පෙස්තුස් පත්කරනලද්දේය; පීලික්ස් වනාහි යුදෙව්වරුන් සතුටුකරනු කැමතිව පාවුල් නිදහස් නොකර ගියේය.