A A A A A
අවුරුද්දකින් බයිබලය
ජුලි 15

2 වංශාවලියේ 25:1-28
1. අමශියා විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙහෝයද්දාන්ය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය.
2. ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය, නුමුත් සම්පූර්ණ සිතකින් නොවේය.
3. තවද රජකම ඔහු කෙරෙහි ස්ථිර වුණ කල, ඔහු තමාගේ පිය රජ්ජුරුවන් මැරුවාවූ තමාගේ සේවකයන් මරාදැම්මේය.
4. නුමුත්: දරුවන් නිසා පියවරුවත් පියවරුන් නිසා දරුවෝවත් මරනු නොලබත්වා, එක එකා තම තමාගේම පාපය නිසා මරනු ලබාවයි කියා ස්වාමීන්වහන්සේ අණකළ ලෙස, මෝසෙස්ගේ පොතේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන පරිද්දෙන් ඔහු ඔවුන්ගේ දරුවන් නොමරා හැරියේය.
5. තවද අමශියා යුදාවරුන් රැස්කර, මුළු යුදාහිද බෙන්යමින්හිද ඔවුන්ගේ පියවංශවල හැටියට ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද යටතේ පත්කොට, විසිඅවුරුද්ද පටන් ඉන් ඉහළට වයස්වූවන් ගණන්කර, හෙල්ලද පලිස්ද දරා යුද්ධයට යන්ට දක්ෂවූ තෝරාගත් මනුෂ්‍යයන් තුන් ලක්ෂයක් සිටින බව දැනගත්තේය.
6. තවද ඔහු ඉශ්‍රායෙල්වරුන්ගෙන් යුද්ධ දක්ෂයන් ලක්ෂයක් රිදී තලෙන්ත සියයකට කුලියට ගත්තේය.
7. නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ඔහු ළඟට ඇවිත්: රජ්ජුරුවෙනි, සියලු එප්‍රායිම් පුත්‍රයන් වන ඉශ්‍රායෙල්වරුන් සමඟ ස්වාමීන්වහන්සේ නොසිටින නිසා ඉශ්‍රායෙල් යුද්ධ සේනාව ඔබ සමඟ නොයත්වා.
8. නුමුත් ඔබ යන්නෙහි නම්, ශක්තිමත්වී සටනට බලවත් වෙන්න; දෙවියන්වහන්සේ සතුරා ඉදිරියෙහි ඔබ හෙළාදමනසේක; මක්නිසාද උපකාරකරන්ටත් හෙළාදමන්ටත් දෙවියන්වහන්සේට බලය ඇත්තේයයි කීවේය.
9. අමශියාද: එසේ නම් මා ඉශ්‍රායෙල් සේනාවට දුන් තලෙන්ත සියය ගැන අපි මක්කරමුදැයි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගෙන් ඇසුවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාද: ඊට වඩා ඔබට දෙන්ට ස්වාමීන්වහන්සේ ට පුළුවනැයි කීවේය.
10. එකල අමශියා එප්‍රායිම්හි සිට තමා වෙතට ආ හමුදාව ස්වකීය ස්ථානයට යන පිණිස වෙන්කෙළේය. ඒ නිසා ඔවුන්ගේ කෝපය යුදා කෙරෙහි බොහෝසෙයින් ඇවිළ, ඔව්හු තද කෝපයෙන් තමුන්ගේ ස්ථානයට හැරී ගියෝය.
11. ඉක්බිති අමශියා ධෛර්ය උපදවා, තමාගේ සෙනඟ කැඳවාගෙන ලුණු මිටියාවතට පැමිණ සෙයිර් පුත්‍රයන්ගෙන් දසදහසක් මැරීය.
12. යුදා පුත්‍රයෝ තව දසදහසක් පණපිටින් අල්ලාගෙන, ඔවුන් පර්වතයේ මුදුනට ගෙන ගොස් පර්වතය මුදුනෙන් පහළට හෙළා දැමුවෝය, ඔවුන් සියල්ලෝද සුනුවිසුනු වූහ.
13. අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියාවූ හමුදාවේ මනුෂ්‍යයෝ සමාරියේ සිට බෙත්හෝරොන් දක්වා යුදාහි නුවරවලට වැද, එහිදී තුන්දහසකට පහරදී බොහෝ කොල්ලය ගත්තෝය.
14. අමශියා ඒදොම්වරුන් මරා ආවායින් පසු ඔහු සෙයිර් පුත්‍රයන්ගේ දෙවිවරුන් ගෙනැවිත් තමාට දෙවිවරුන් කොට තබාගෙන, ඒවා ඉදිරියෙහි වැඳ වැටී ඒවාට සුවඳ දුම් ඔප්පුකෙළේය.
15. එවිට ස්වාමීන්වහන්සේ ගේ උදහස අමශියා කෙරෙහි ඇවුළුණේය, උන්වහන්සේ ප්‍රොපේත කෙනෙකු ඔහු වෙතට යැවූසේක. ඔහු කථාකොට: තමුන්ගේ සෙනඟ ඔබේ අතින් ගළවා නොගත් සෙනඟගේ දෙවියන් වෙතට මක්නිසා හැරුණෙහිදැයි ඔහුගෙන් ඇසුවේය.
16. මෙසේ ඔහු රජු සමඟ කථාකරද්දී අමශියා ඔහුට කථාකොට: ඔබ රජුගේ මන්ත්‍රියෙකු කොට පත්කෙළෙමුද? නිකම් සිටින්න; ඔබ මරනු ලබන්නේ කුමටදැයි කීවේය. එවිට ප්‍රොපේත තෙම නැවතී: ඔබ මාගේ දැනමිතිකම නොඅසා මේක කළ බැවින් දෙවියන්වහන්සේ ඔබ විනාශකරන්ට නියමකරගත් බව මට පෙනේයයි කීවේය.
17. එකල යුදාහි රජවූ අමශියා මන්ත්‍රණයකොට: එන්න, අපි මුණගැසෙමුව කියා යේහුගේ පුත්‍රවූ යෙහෝවාස්ගේ පුත්‍රයා වන ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ට කියා හැරියේය.
18. ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ් උත්තරදෙමින්: ඔබේ දුව මාගේ පුත්‍රයාට භාර්යා කොට පාවාදෙන්නැයි ලෙබනොන්හි තිබෙන ගොකටු ගස ලෙබනොන්හි තිබෙන කිහිරි ගසට කියා ඇරියේය. නුමුත් ලෙබනොන්හි වනමෘගයෙක් එහි යන විට ගොකටු ගස පාගාදැමීය.
19. මෙන්න, ඒදොම්වරුන්ට පහරදුන්නෙමියි ඔබ කියයි; ඔබේ සිතද පාරට්ටු කරන පිණිස අහංකාරවී තිබේ. ගෙදර සිටින්න; ඔබද ඔබ සමඟ යුදාවරුන්ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යුදාහි රජවූ අමශියාට කියා හැරියේය.
20. නුමුත් අමශියා ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ඔවුන් ඒදොම්හි දෙවිවරුන් වෙතට හැරුණු බැවින් ඔවුන් පාවාදෙන පිණිස ඒක දෙවියන්වහන්සේ කෙරෙන් පැමුණුණේය.
21. මෙසේ ඉශ්‍රායෙල්හි රජවූ යෝවාෂ් පිටතට ගියේය; ඔහුද යුදාහි රජවූ අමශියාද යුදාට අයිති බෙත්-ෂෙමෙෂ්හිදී මුණගැසුණෝය.
22. යුදාවරුන් ඉශ්‍රායෙල්වරුන්ට පරාජයවී එක් එක්කෙනා තම තමාගේ කූඩාරමට පලාගියේය.
23. ඉශ්‍රායෙල්හි රජවූ යෝවාෂ් තෙමේ යෙහෝවාහාශ්ගේ පුත්‍රවූ යෝවාෂ්ගේ පුත්‍රයා වන යුදාහි රජවූ අමශියා බෙත්-ෂෙමෙෂ්හිදී අල්ලාගෙන යෙරුසලමට ගෙනවුත්, එප්‍රායිම් දොරටුව සිට කොනේ දොරටුව දක්වා යෙරුසලමේ පවුරෙන් රියන් හාරසියයක් බිඳහෙළා,
24. දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඕබෙද්-ඒදොම් ළඟ තිබුණු රන් රිදී සියල්ලද සියලු භාජනද රජ ගෙයි වස්තුද ඇපකාරයන්ද රැගෙන සමාරියට හැරීගියේය.
25. යෙහෝවාහාස්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ගේ මරණයෙන් පසු යුදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශියා අවුරුදු පහළොහක් ජීවත්ව සිටියේය.
26. අමශියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා යුදාහි රජුන්ගේද ඉශ්‍රායෙල් රජුන්ගේද පොතෙහි ලියා තිබෙනවා නොවේද?
27. අමශියා ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගිය පසු මනුෂ්‍යයෝ යෙරුසලමෙහි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහිදී ඔහු මරා,
28. අශ්වයන් පිට තබා ගෙනවුත්, දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත්කළෝය.

2 වංශාවලියේ 26:1-23
1. එකල යුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්වූ උස්සියා කැඳවාගන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය.
2. රජු තමාගේ පියවරුන් සමඟ සැතපුණු පසු ඔහු ඒලොත් ගොඩනගා එය යුදාට නැවත අයිතිකරගත්තේය.
3. උස්සියා දහසය අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි පනස් දෑවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙකිලියාය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය.
4. ඔහු මාගේ පියවූ අමශියා කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
5. දේවදර්ශන පිළිබඳ තේරුම් ඇත්තාවූ ශෙකරියාගේ දවස්වලදී ඔහු දෙවියන්වහන්සේ සෙවුවේය. ඔහු ස්වාමීන්වහන්සේ සෙවූතාක්ම දෙවියන්වහන්සේ ඔහු සඵල කළ සේක.
6. ඔහු නික්ම ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකොට, ගාත්හි පවුරත් යබ්නෙහි පවුරත් අෂ්දෝද්හි පවුරත් බිඳදමා, අෂ්දෝද් රටෙහිද පිලිස්තිවරුන් අතරේද නුවරවල් ගොඩනැඟුවේය.
7. දෙවියන්වහන්සේ පිලිස්තිවරුන්ටත් ගුර්-බාල්හි සිටි අරාබිවරුන්ටත් මෙයූනිවරුන්ටත් විරුද්ධව ඔහුට උපකාරකළසේක.
8. අම්මොනිවරුත් උස්සියාට තෑගි දුන්නෝය. ඔහු ඉතාම බලවත්වූ බැවින් ඔහුගේ නාමය මිසරයේ සීමාව දක්වා පතළව ගියේය.
9. තවද උස්සියා යෙරුසලමේ කොනේ දොරටුව උඩද මිටියාවතේ දොරටුව උඩද පවුරු මුළුවලද මුරකොටු ගොඩනගා ඒවා සවිකෙළේය.
10. ඔහුට පාත රටෙහිත් සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු කාන්තාරයෙහි මුර කොටු ගොඩනගා බොහෝ ජලාසයන්ද සෑදුවේය. ඔහු ගොවි කර්මාන්තයට ප්‍රසන්නව සිටි බැවින් කඳුවලත් සරු කෙත්වලත් ගොවියෝද මිදිවතු වවන්නෝද ඔහුට සිටියෝය.
11. යුද්ධයට යන්නාවූ සේනාවක්ද උස්සියාට සිටියාය. ලේකම් වන යෙයියෙල් විසින්ද මුලාදෑනියාවූ මයසේයා විසින්ද ඔවුන් ගණන් කළ ගණනේ හැටියට ඔව්හු රජුගේ අධිපතියෙක්වූ හනනියාගේ අත යටතේ හමුදා වශයෙන් සේවයට පිටත්ව ගියෝය.
12. බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පියවංශවල ප්‍රධානීන්ගේ මුළු ගණන දෙදාස් හසියයක්ය.
13. ඔවුන් යටතේ සතුරාට විරුද්ධව රජුට උදව්වන පිණිස බලවත් ලෙස යුද්ධකරන මිනිසුන් තුන්ලක්ෂ හත්දාස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් සිටියාය.
14. උස්සියා ඒ මුළු සේනාවට පලිස්ද හෙල්ලද තොප්පිද යුද්ධ සැට්ටද දුනුද වීසිකිරීමට ගල්ද පිළියෙළ කෙළේය.
15. තවද ඔහු ඊගස්වලින්ද ලොකු ගල්වලින්ද විදින්ට මුර කොටු උඩත් කොත් උඩත් තබන පිණිස දක්ෂ මිනිසුන් විසින් සොයා දැනගත් යන්ත්‍ර යෙරුසලමෙහි සෑදෙවුවේය. ඔහුගේ නාමය දස දෙස පතළව ගියේය; මක්නිසාද බලවත්වන ලෙස පුදුමාකාරයෙන් ඔහුට උපකාර ලැබුණේය.
16. නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේ ගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව වරද කෙළේය.
17. නුමුත් අසරියා පූජකයාද ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයන්ව සිටි ස්වාමීන්වහන්සේ ගේ පූජකයන් අසූ දෙනෙක්ද උස්සියා රජු පස්සේ ගොස් ඇතුල්වී,
18. ඔහුට විරුද්ධව සිටිමින්, ඔහුට කථාකොට: උස්සියානි, සුවඳ දුම් ඔප්පුකිරීමට කැපකරනලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ඔබ වරද කෙළෙහිය; මෙය දෙවිවූ ස්වාමීන්වහන්සේ ගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේයයි කීවෝය.
19. එවිට උස්සියා උදහස් විය; සුවඳ දුම් ඔප්පුකිරීමට දුම් භාජනයක් ඔහුගේ අතේ තිබුණේය; ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ දුම් පූජාසනය ළඟ ඔහු පූජකයන් සමඟ උදහස්ව සිටියදී, පූජකයන් ඉදිරියෙහි ඔහුගේ නළලේ කුෂ්ඨරෝගය හටගත්තේය.
20. උත්තම පූජකයාවූ අසරියාද සියලු පූජකයෝද ඔහු දෙස බැලූ විට ඔහුගේ නළලේ කුෂ්ඨරෝගය තිබෙන බව දැක, ඔහු එතනින් වහාම නෙරපාදැමුවෝය; එසේය, ස්වාමීන්වහන්සේ තමාට පහරදුන් නිසා පිටතට යන්ට ඔහුම ඉක්මන්කෙළේය.
21. උස්සියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා කුෂ්ඨරෝගියෙක්ව සිටියේය, කුෂ්ඨරෝගියෙක් ලෙස වෙන්වූ නිසා ඔහු ගිලන් ගෙයක වාසයකෙළේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ඇතුල්වීම ඔහුට තහනම්ව තිබුණේය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් රජගෙදර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ විනිශ්චයකෙළේය.
22. උස්සියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ආමොශ්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා විසින් ලියනලද්දේය.
23. උස්සියා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; මනුෂ්‍යයෝ ඔහු කුෂ්ඨරෝගියෙක් කියා ඔහුගේ පියවරුන් ළඟ රජවරුන්ගේ සොහොන්පළේ පිට්ටනියෙහි ඔහු තැන්පත්කළෝය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් ඔහු වෙනුවට රජවුණේය.

2 වංශාවලියේ 27:1-9
1. යෝතාම් විසිපස් අවුරුදු වයසේදී රජවී, යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙරූෂාය, ඈ ශාදොක්ගේ දුවෙක්ය.
2. තමාගේ පියවූ උස්සියා කළ සියල්ල ලෙස ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය. නුමුත් ඔහු ස්වාමීන්වහන්සේ ගේ මාලිගාවට ඇතුල්වුණේ නැත. ඒ කාලයෙහිත් සෙනඟ දුෂ්ටකම් කළෝය.
3. ඔහු ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ ඉහළ දොරටුවද ඕපෙල් පවුරේ බොහෝ තැන්ද ගොඩනැඟුවේය.
4. යුදා කඳු රටෙහි නුවරවල්ද මූකළාන්වල බලකොටුද මුරකොටුද ඔහු ගොඩනැඟුවේය.
5. ඔහු අම්මොන් පුත්‍රයන්ගේ රජුට විරුද්ධව යුද්ධකොට ඔවුන්ගෙන් ජයගත්තේය. අම්මොන් පුත්‍රයෝ ඒ අවුරුද්දේ රිදී තලෙන්ත සියයක්ද තිරිඟු කෝර දසදහසක්ද යව දසදහසක්ද ඔහුට දුන්නේය. දෙවෙනි තුන්වෙනි අවුරුදුවලදීත් අම්මොන් පුත්‍රයෝ එසේම ගෙවුවෝය.
6. මෙසේ යෝතාම් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හරි මාර්ගවල හැසුරුණ බැවින් බලවත් විය.
7. යෝතාම්ගේ අනික් ක්‍රියාද සියලු යුද්ධද ඔහුගේ මාර්ගද ඉශ්‍රායෙල් සහ යුදා රජුන්ගේ පොතෙහි ලියා තිබේ.
8. ඔහු විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය.
9. යෝතාම් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත් කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ ආහාස් ඔහු වෙනුවට රජවිය.

ගීතාවලිය 84:1-7
1. නායක වාද්‍යකරුටයි; ගීත්තීත් යන තූර්යය ඇතුව ගායනාකිරීමටයි. කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි. සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මණ්ඩප කොපමණ පියකරුද!
2. ස්වාමීන් ගේ මන්දිර උදෙසා මාගේ ආත්මය මහත් ආශාවෙන් යුක්තව වෑරීයයි; මාගේ සිතත් මාගේ මාංසයත් ජීවමාන දෙවියන්වහන්සේට මොරගසති.
3. එසේය, ගේකිරිල්ලියට ගෙයක්ද වැහිලිහිණියට ඇගේ පැටවුන් තබන පිණිස කැදැල්ලක් සම්බවිය. එනම්, සේනාවල ස්වාමිනි, මාගේ රජ්ජුරුවන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, ඔබගේ පූජාසනමය.
4. ඔබගේ ගෘහයෙහි වසන්නෝ ආශීර්වාදලත්තෝය. ඔව්හු නිරතුරුම ඔබට ප්‍රශංසා කරන්නෝය.
5. තමාගේ ශක්තිය ඔබ තුළෙහි ඇත්තාවූ, සියොන්ට යන මාවත් තමාගේ සිතෙහි ඇත්තාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
6. ඔව්හු වැලපීමේ මිටියාවත මැදින් යමින් එය උල්පත් ඇති ඉඩමක් කරගනිති; එසේය, ප්‍රථම වර්ෂාව එය ආශීර්වාදවලින් වසයි.
7. ඔව්හු බලයෙන් බලයට යෙති, දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියොන්හිදී එකිනෙකා පෙනී සිටිති.

හිතෝපදේශ 21:4-5
4. අහංකාර බැල්මද උඩඟු සිතද යන දුෂ්ටයන්ගේ පහන පාපයය.
5. කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.

ක්‍රියා 19:1-20
1. තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී පාවුල් ඉහළ පළාත් මැදින් ගොස්, එපීසයට ඇවිත්, සමහර ගෝලයන් සම්බව:
2. ඔබ සැම අදහාගත් කල ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබුවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු: නැත, ශුද්ධාත්මයාණන්වහන්සේ ඇති බවවත් නොඇසීමුයයි කීවෝය.
3. එසේවී නම් ඔබ සැම මොන බව්තීස්මයක් ලැබුවහුදැයි ඔහු ඇසුවේය. යොහන්ගේ බව්තීස්මයයයි ඔව්හු කීවෝය.
4. පාවුල් කථාකොට: යොහන් පසුතැවිල්ලේ බව්තීස්මයෙන් බව්තීස්මකොට සෙනඟට කථාකරමින්, තමාට පසුව එන තැනන්වහන්සේ කෙරෙහි, එනම් යේසුස්වහන්සේ කෙරෙහි, අදහාගන්න ලෙස සෙනඟට කීවේයයි කීය.
5. ඔව්හු ඒ අසා ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවෝය.
6. පාවුල් ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක; ඔව්හු අන්‍ය භාෂාවලින් කථාකරමින් අනාගතවාක්‍ය කීවෝය.
7. ඒ මනුෂ්‍යයන් සියල්ලෝම දොළොස් දෙනෙක් පමණ වූවෝය.
8. ඔහු සිනගෝගයට ඇතුල්වී දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්බන්ධ කාරණා ගැන තර්කකරමින්ද උගන්වමින්ද තුන්මසක් අතරතුරේ භය නැතුව කථාකෙළේය.
9. නුමුත් සමහරු මුරණ්ඩුව, අකීකරුව, සමූහයා ඉදිරියෙහි ඒ ලබ්ධි මාර්ගය ගැන දොස් කී කල්හි ඔහු ඔවුන් ළඟින් අහක්ව, ගෝලයන් වෙන්කරගන, තුරානස්ගේ ශිල්ප ශාලාවෙහි දවස්පතා තර්කකරමින් සිටියේය.
10. මෙය දෑවුරුද්දක් කෙරීගන ගියේය; මෙසේ ආසියාවේ විසූ සියල්ලෝ වන යුදෙව්වරුද ග්‍රීක්වරුද ස්වාමීන්වහන්සේගේ වචනය ඇසූහ.
11. දෙවියන්වහන්සේ පාවුල්ගේ අත්වලින් අපූරුවූ ආශ්චර්යයන් කෙරෙවූසේක.
12. ඔහුගේ ශරීරයෙන් පිස්නාකඩවත් රෙදිකඩවත් ලෙඩුන් ළඟට ගෙනගිය පමණින් රෝග ඔවුන්ගෙන් පහවිය, නපුරු ආත්මයෝද දුරුව ගියෝය.
13. නුමුත් තැනින් තැන සංචාරණය කරන යකදුරුවූ යුදෙව්වරුන්ගෙන් සමහරුත් නපුරු ආත්ම වැහී සිටි අයයින් කෙරෙහි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය කියන්ට පටන්ගෙන: පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබ සැමට අණකරමියි කීවෝය.
14. ප්‍රධාන පූජකයෙක්වූ ස්කෙවා නම් යුදෙව්වෙකුගේ පුත්‍රයන් සත් දෙනෙක් මෙසේ කළෝය.
15. නුමුත් නපුරු ආත්මය උත්තරදෙමින්: යේසුස්වහන්සේ අඳුනමි, පාවුල්ද දනිමි; නුමුත් ඔබ සැම කවුරුදැයි ඔවුන්ට කීවේය.
16. නපුරු ආත්මය වැහී සිටි මනුෂ්‍යයා ඔවුන් පිටට පැනනැගී දෙදෙනාම දමනයකොට, ඔවුන් පරදවාදැම්මේය, මෙසේ ඔව්හු නිර්වස්ත්‍රව, තුවාලවී, ඒ ගෙයින් පලා ගියෝය.
17. මෙය එපීසයෙහි විසූ සියලු යුදෙව්වරුන්ටද ග්‍රීක්වරුන්ටද දැනගන්ට ලැබුණේය; ඔවුන් සියල්ලන් කෙරෙහි භයක් පැමුණුණේය, ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයටද ගෞරව පැමුණුණේය.
18. අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ඇවිත් තමුන්ගේ ක්‍රියාවන් ප්‍රකාශකරමින් ඒවා කියාදුන්නෝය.
19. යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාසකළ බොහෝ දෙනෙක්ද තමුන්ගේ පොත් එක්කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමුවෝය. ඒවායේ මිල ගණන් බලා, රිදීමිල පනස් දහසක් බව දැනගත්තෝය.
20. එපමණ බලගතු ලෙස ස්වාමීන්වහන්සේගේ වචනය වර්ධනයවී, බලවත්වුණේය.