A A A A A
අවුරුද්දකින් බයිබලය
ජූනි 9

2 රාජාවලියේ 5:1-27
1. සිරියේ රජුගේ සේනාපතියාවූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙක්ව ගරුකරනු ලැබූ මනුෂ්‍යයෙක්ව සිටියේය, මක්නිසාද ඔහු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ සිරියවරුන්ට ජය දී තිබුණේය. හෙතෙම බලසම්පන්න වික්‍රමාන්විත කෙනෙක්වූ නුමුත් කුෂ්ඨ රෝගියෙක් විය.
2. සිරියවරුන් හමුදා වශයෙන් පිටත්ව ගිය විටක ඔවුන් ඉශ්‍රායෙල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය; ඈ නාමන්ගේ භාර්යාවට සේවයකළාය.
3. ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කථාකොට: මාගේ ස්වාමියා සමාරියේ අනාගතවක්තෘ ඉදිරියෙහි පෙනීසිටියොත් හොඳය, එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුවකරනවා ඇතැයි කීවාය.
4. එවිට එක්කෙනෙක් ඇතුළට ගොස්: ඉශ්‍රායෙල් දේශයෙන් ආ කෙල්ල මේ මේ හැටියට කීවාය කියා තමාගේ ස්වාමියාට කීය. නාමන්ගේ කුෂ්ඨය සුවකිරීම
5. සිරියේ රජද: ඉතින් ඔබ එහි යන්න, මම ඉශ්‍රායෙල් රජුට ලියුමක් හරින්නෙමියි කීවේය. ඔහු රිදී තලෙන්ත දසයකුත් රන් ෂෙකෙල් හදාහකුත් ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත්ව ගියේය.
6. ඔහු ඒ ලියුම ඉශ්‍රායෙල් රජ වෙතට ගෙනාවේය. මේ ලියුම ඔබට ලැබුණාම නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුවකරන පිණිස ඔහු ඔබ ළඟට එවීමියි එහි ලියා තිබුණේය.
7. ඉශ්‍රායෙල් රජ ලියුම කියවා තමාගේ ඇඳුම් ඉරාගෙන: මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුවකරන්ට කියා මොහු මට ලියා එවන්නේ මරන්ටත් ජීවත්කරන්ටත් මම දෙවියන්වහන්සේද? මොහු මට විරුද්ධව ඩබරයකට කාරණයක් සොයන හැටි කල්පනාකර බලන්නැයි කීවේය.
8. ඉශ්‍රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ එලිෂා අසා: ඔබ මක්නිසා ඔබේ ඇඳුම් ඉරාගත්තෙහිද? ඔහු මා ළඟට ආවාවේ, එවිට ඔහු ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘ කෙනෙකු සිටින බව දැනගන්නේයයි රජුට කියා ඇරියේය.
9. මෙසේ නාමන් තමාගේ අශ්වයන්ද රථද ඇතුව අවුත් එලිෂාගේ ගෙයි දොරකඩ ළඟ සිටියේය.
10. එලිෂා: ඔබ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට ඔබේ මාංසය හරිගැහී ඔබ පවිත්‍රවන්නෙහියයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේය.
11. නුමුත් නාමන් කෝපව යන්ට ගියේය, හෙතෙම කියනුයේ: ඔහු පිටතට මා ළඟට ඇවිත් සිටගන, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමය කියා යාච්ඤාකර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුවකරනවා ඇතැයි සිතුවෙමි.
12. දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්‍රායෙල් දේශයේ සියලු ජලවලට වඩා හොඳ නොවේද? ඒවායේ නාලා පවිත්‍රවෙන්ට මට බැරිදැයි කීවේය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේය.
13. ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කථාකර: මාගේ පියාණෙනි, අනාගතවක්තෘ මහත් දෙයක් කරන්ට ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද්ද? එසේවී නම් නාලා පවිත්‍රවන්නැයි ඔහු ඔබට කී කල ඒක කරන්ට බැරිදැයි කීවෝය.
14. එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය.
15. එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්‍රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය.
16. ඔහුද: මා සේවයකරන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම කිසිවක් පිළිනොගනිමියි කීවේය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේය; එහෙත් ඔහු නොකැමති විය.
17. එවිට නාමන්: එසේ නැත්නම් අශ්වතරයන් දෙන්නෙකුගේ බරට පස්වත් ඔබගේ මෙහෙකරුවාට ලැබේවා; මක්නිසාද මින් මතු ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේ ට මිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක්වත් යාගයක්වත් ඔප්පුකරන්නේ නැත.
18. මේ කාරණය ගැන ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කමාවනසේක්වා: එනම්, මාගේ ස්වාමියා රිම්මොන්ගේ ගෘහයෙහි වඳින්ට එහි මාගේ අතේ හේත්තුවී යන විට මාත් රිම්මොන්ගේ ගෘහයෙහිදී වැන්දොත්, එසේ රිම්මොන්ගේ ගෘහයෙහිදී වඳින විට, ස්වාමීන්වහන්සේ ඒ කාරණය ගැන ඔබගේ මෙහෙකරුවාට කමාවනසේක්වයි කීවේය.
19. ඔහුද: සමාදානයෙන් පලයන්නැයි ඔහුට කීවේය. එවිට ඔහු එලිෂා වෙතින් පිටත්ව ටිකක් දුර ගියේය.
20. එකල දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාරයාවූ ගෙහාසී කල්පනාකොට: බලව, මාගේ ස්වාමියා මේ සිරියවූ නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් පිළිනොගෙන නිකම් ඇරියේය. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔහු පස්සේ දිවගොස් ඔහුගෙන් මොකවත් ලබාගනිමියි කීවේය.
21. මෙසේ ගෙහාසී නාමන් පස්සේ ගියේය. නාමන් තමා පස්සේ කෙනෙක් දුවගන එනවා දැක ඔහු සම්බවෙන්ට රථයෙන් බැස: සියල්ල හොඳදැයි ඇසීය.
22. ඔහුද: සියල්ල හොඳය; මාගේ ස්වාමියා-ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් තරුණයෝ දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙතට ආවෝය; ඔවුන්ට රිදී තලෙන්තයකුත් ඇඳුම් කුට්ටම් දෙකකුත් දුනමැනවැයි කියන්ට මා එවුවේයයි කීවේය.
23. නාමන්ද: ඔබ තලෙන්ත දෙකක් ගන්ට සතුටු වෙන්නැයි කියා ඔහුට පෙරැත්ත කර, රිදී තලෙන්ත දෙකක් මලු දෙකක බැඳ, ඇඳුම් කුට්ටම් දෙකකුත් සමඟ තමාගේ වැඩකාරයන් දෙදෙනෙකු පිට තැබුවේය; ඔව්හු ඔහුට පෙරටුවෙන් ඒවා උසුලාගෙන ගියෝය.
24. හෙල ළඟට පැමිණි විට ඔහු ඔවුන් අතින් ඒවා රැගෙන ගෙයි තබා ඒ මනුෂ්‍යයන් යන්ට හැරියේය, ඔව්හු ගියෝය.
25. ඔහු වනාහි ඇතුල්වී තමාගේ ස්වාමියා ඉදිරියෙහි සිටියේය. එලිෂා කථාකොට: ගෙහාසී, ඔබ කොහේ ගොහින් ආවා දැයි ඔහුගෙන් ඇසීය. ඔබගේ මෙහෙකරුවා කොහේවත් ගියේ නැතැයි ඔහු කීවේය.
26. එලිෂා: ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස ඔබ සම්බවෙන්ට හැරී ආ විට මාගේ ආත්මය ඔබ සමඟ ගියේ නැද්ද? මේක මුදල් පිළිගන්ටත් ඇඳුම්ද ඔලීවවතුද මිදිවතුද බැටළුවන්ද ගවයන්ද දාස දාසීන්ද පිළිගන්ටත් වේලාවක්ද?
27. එබැවින් නාමන්ගේ කුෂ්ඨය ඔබටත් ඔබේ වංශයටත් නිරතුරම වැළඳෙන්නේයයි ඔහුට කීවේය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨය ඇතුව ඔහු වෙතින් පිටතට ගියේය.

2 රාජාවලියේ 6:1-33
1. ශිෂ්‍ය ප්‍රොපේතවරු එලිෂාට කථාකොට: බැලුව මැනවි, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදිය.
2. යොර්දාන ළඟට ගොස් එතනින් එක එකා ලීයක් බැගින් රැගෙන අපේ වාසයට එහි ස්ථානයක් සාදාගන්ට අපට අවසර ලැබේවයි කීවෝය.
3. එක්කෙනෙක්: ඔබද ඔබගේ මෙහෙකරුවන් සමඟ යන්ට සතුටුවුවමැනවැයි කීවේය. මම යමියි කියා, ඔහු ඔවුන් සමඟ ගියේය.
4. ඔව්හු යොර්දාන ළඟට පැමිණ ගස් කැපුවෝය.
5. එක් කෙනෙක් ලීයක් කපද්දී පොරෝතලය වතුරේ වැටුණේය. ඔහු: අනේ මාගේ ස්වාමිනි, ඒක ඉල්ලාගත් එකකැයි කෑගසා කීවේය.
6. එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: ඒක වැටුණේ කොතනදැයි ඇසුවේය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමුවේය, එවිට යකඩය පාවුණේය.
7. ඔහු: ඒක අරගන්නැයි කීය. හෙතෙම අත දිගුකර ඒක ගත්තේය.
8. සිරියේ රජ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණයකරමින්: අසවල් අසවල් තැන මාගේ කඳවුර විය යුතුයයි කීවේය.
9. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාද: සිරියවරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනවැයි ඉශ්‍රායෙල් රජුට කියා ඇරියේය.
10. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා තමාට ප්‍රවේසම්වෙන්ට කියා දැනුම්දුන් ස්ථානයට ඉශ්‍රායෙල් රජ මනුෂ්‍යයන් යවා ගැළවීගත්තේය; එසේ වුණේ වරක් දෙවරක් පමණක් නොවේය.
11. මේ කාරණය ගැන සිරියේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා: අපෙන් ඉශ්‍රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවුද කියා ඔබ සැම මට දන්වන්නේ නැද්දැයි කීවේය.
12. ඔහුගේ සේවකයන්ගෙන් එක්කෙනෙක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, එසේ නොවේ. ඔබගේ යහන් ගබඩාවේදී ඔබ කියන වචන ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘවූ එලිෂා, ඉශ්‍රායෙල් රජුට දන්වන්නේයයි කීවේය.
13. එවිට ඔහු: මා විසින් ඔහු ගෙන්වා ගන්නා පිණිස ඔහු කොතනද කියා ඔබ සැම ගොස් බලන්නැයි කීවේය. ඔහු දෝතාන්හි සිටින්නේයයි ඔහුට දන්වන ලද්දේය.
14. එබැවින් ඔහු අශ්වයන්ද රථද මහත් හමුදාවක්ද එහි ඇරියේය. ඔව්හු රාත්‍රියේ ඇවිත් නුවර වටලාගත්තෝය.
15. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල හමුදාවක් අශ්වයන් හා රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය. එවිට ඔහු: අහෝ ස්වාමිනි, අපි මක්කරමුදැයි ඔහුට කීය.
16. ඔහුද: භයනොවන්න. මක්නිසාද ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝයයි කීවේය.
17. එවිට එලිෂා යාච්ඤාකොට: ස්වාමීන්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුවමැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූසේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.
18. ඔවුන් එලිෂා ළඟට බැස්ස කල ඔහු: මේ සෙනඟ අන්ධකළ මැනවයි ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකෙළේය. උන්වහන්සේ එලිෂාගේ වචනය ලෙස ඔවුන් අන්ධකළසේක.
19. එවිට එලිෂා ඔවුන්ට කථාකොට: ඒ පාර මේක නොවේ, ඒ නුවරත් මේක නොවේ. මා පසුපස්සේ එන්න, ඔබ සැම සොයන මනුෂ්‍යයා ළඟට මම ඔබ සැම ගෙනයන්නෙමියි කියා ඔවුන් සමාරියට ගෙනගියේය.
20. තවද ඔවුන් සමාරියට පැමුණුණ විට එලිෂා: ස්වාමීන්වහන්ස, පෙනෙන පිණිස මොවුන්ගේ ඇස් පැහැදුව මැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ඇස් පැහැදුසේක; ඔව්හු බැලූ විට තමුන් සමාරිය මැද සිටින බව දුටුවෝය.
21. ඉශ්‍රායෙල් රජ ඔවුන් දැක: මාගේ පියාණෙනි, ඔවුන්ට පහරදෙම්ද? පහරදෙම්දැයි එලිෂාගෙන් ඇසුවේය.
22. ඔහු: ඔබ ඔවුන්ට පහර නොදිය යුතුය; ඔබේ කඩුවෙන්ද ඔබේ දුන්නෙන්ද අල්වාගත් තැනැත්තන්ට ඔබ පහරදෙන්නෙහිද? ඔවුන් කා බී තමුන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන් ඉදිරියෙහි කෑමද වතුරද තබන්නැයි කීවේය.
23. ඔහු ඔවුන්ට මහත් කෑමක් පිළියෙළ කෙළේය. ඔවුන් කෑවායින් බීවායින් පසු ඔහු ඔවුන් පිටත්කර හැරියේය, ඔව්හු තමුන්ගේ ස්වාමියා ළඟට ගියෝය. සිරියේ සේවා කණ්ඩායම් තවත් ඉශ්‍රායෙල් රටට නාවෝය.
24. ඉන්පසු සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගෙන ඇවිත් සමාරිය වටලා ගත්තේය. මහත් සාගතයක්ද සමාරියෙහි විය.
25. කොටළුහිසක් රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවිවසුරු කැබ් එකකින් සතරෙන් කොටසක් රිදී ෂෙකෙල් පහකටත් විකිණෙනතෙක් ඔව්හු සමාරිය වටලාගන සිටියෝය.
26. ඉශ්‍රායෙල් රජු පවුර පිට යන කල ස්ත්‍රියක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, පිහිටවුවමැනවැයි කියා මොරගැසුවාය.
27. ඔහු: ස්වාමීන්වහන්සේ ඔබට පිහිට නොවනසේක් නම් මම කොතැනින් ඔබට පිහිටවෙම්ද? පාවරෙන්ද නොහොත් මිදි පැසෙන්දැයි කියා:
28. ඔබට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: ඔබේ පුත්‍රයා අද අපට කන්ට දෙන්න, මගේ පුත්‍රයා හෙට අපි කන්නෙමුයයි මේ ස්ත්‍රී මට කීවාය.
29. එසේ අපි මගේ පුතා උයා කෑවෙමුව. පසුවදා-ඔබේ පුත්‍රයා අපට කන්ට දෙන්නැයි ඈට කීවෙමි. නුමුත් ඇගේ පුත්‍රයා ඈ සඟවාගෙන ඉන්නවායයි කීවාය.
30. එකල රජ පවුර පිට යමින් සිටියේය. ඔහු වනාහි ස්ත්‍රියගේ වචන අසා තමාගේ ඇඳුම් ඉරාගත්තේය. සෙනඟද බලා, ඔහු ඇඟ යටට ගෝණි රෙදි ඇඳ තිබෙනවා දුටුවෝය.
31. එවිට ඔහු: ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්ට හැරියොත් දෙවියන්වහන්සේ මටත් එසේමද ඊට වැඩියෙන්ද කරනසේක්වයි කීවේය.
32. එලිෂා වැඩිමහල්ලන් සමඟ තමාගේ ගෙදර වාඩිව ඉන්දැද්දී රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවීය. නුමුත් පණිවිඩකාරයා ඔහු ළඟට එන්ට පළමුවෙන් එලිෂා වැඩිමහල්ලන්ට කථාකොට: අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්ට එවූ බව ඔබ සැමට පෙනෙනවාද? ඔබ සැම බලා සිට පණිවිඩකාරයා ආවාම ඔහුට ඇතුල්වෙන්ට ඉඩ නොදී දොර වසා එය තදකරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද්දැයි කීවේය.
33. ඔහු ඔවුන් සමඟ කථාකරද්දීම පණිවිඩකාරයා ඔහු ළඟට ආවේය. රජු කථාකොට: මේ නපුර ස්වාමීන්වහන්සේ ගෙන් ය; ස්වාමීන්වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වෙන්නේ මොකටදැයි කීවේය.

ගීතාවලිය 72:1-7
1. සාලමොන්ගේ ගීතයකි. දෙවියන්වහන්ස, රජ්ජුරුවන්ට ඔබගේ විනිශ්චයන්ද රාජ පුත්‍රයාණන්ට ඔබගේ ධර්මිෂ්ඨකමද දුන මැනව.
2. උන්වහන්සේ ඔබගේ සෙනඟ ධර්මිෂ්ඨකමින්ද ඔබගේ දුප්පතුන් යුක්තියෙන්ද විනිශ්චයකරන්නේය.
3. කඳුද හෙල්ද ධර්මිෂ්ඨකමින් සෙනඟට සමාදානය හටගන්වන්නේය.
4. උන්වහන්සේ සෙනඟ අතරේහි වූ දුප්පතුන් විනිශ්චයකරන්නේය, දිළිඳුන්ගේ දරුවන් ගළවන්නේය, පීඩාකරන්නා කැබලිකරන්නේය.
5. ඔව්හු හිර සඳ පවතිනා තෙක් සියලු පරම්පරාවල ඔබට භය වන්නෝය.
6. තණකොළ කැපූ කෙත් පිට වැස්ස මෙන්ද බිම තෙමන වැසිවලා මෙන්ද උන්වහන්සේ පහළවන්නේය.
7. උන්වහන්සේගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය.

හිතෝපදේශ 18:10-11
10. ස්වාමීන්වහන්සේ ගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.
11. පොහොසතාගේ කල්පනාවේ හැටියට ඔහුගේ ධනය ඔහුට බලවත් නගරයක්ව උස්වූ පවුරකට සමානව තිබේ,

ශුද්ධවර ජොහන් 18:1-18
1. යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ කල තමන් ගෝලයන් සමඟ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩට ගියසේක; එහි තිබුණු උයනකට උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඇතුල්වූසේක.
2. යේසුස්වහන්සේ තමන් ගෝලයන් සමඟ නොයෙක් වර එහි ගිය බැවින්, උන්වහන්සේ පාවාදුන් යූදස් ඒ ස්ථානය දැනගෙන සිටියේය.
3. එබැවින් යූදස් නායක පූජකයන්ගෙන්ද පරිසිවරුන්ගෙන්ද හේවා කණ්ඩායම සහ සේවකයන් ලබාගෙන, පහන්ද පන්දම්ද ආයුධද ඇතුව එතැනට ආවේය.
4. යේසුස්වහන්සේ තමන් කෙරේ පැමිණෙන්නාවූ සියලු දේ දැන, ඉදිරියට ගොස්: ඔබ සැම කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක.
5. ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: නාසරිය යේසුස්යයි කීවෝය. ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. උන්වහන්සේ පාවාදුන් යූදස්ද ඔවුන් සමඟ සිටියේය.
6. ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණෝය.
7. එබැවින් නැවතත් උන්වහන්සේ: ඔබ සැම කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නාසරිය යේසුස්යයි ඔව්හු කීවෝය.
8. යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඒ මමයයි ඔබ සැමට කීවෙමි. එබැවින්, ඔබ සැම මා සොයවු නම්, මොවුන් යන්ට හරින්නැයි කීසේක.
9. මෙසේ වුණේ: ඔබ මට දුන්නවුන්ගෙන් එක්කෙනෙක්වත් නැතිවුණේ නැතැයි උන්වහන්සේ විසින් කියනලද වචනය සම්පූර්ණවන පිණිසය.
10. එවිට සීමොන් පේතෘස්ට කඩුවක් තිබුණෙන්, ඔහු ඒක ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපාදැමීය. ඒ දාසයාගේ නම මල්කස්ය.
11. එබැවින් යේසුස්වහන්සේ පේතෘස්ට කියනසේක්: කඩුව කොපුවේ දමන්න. පියාණන්වහන්සේ මට දී තිබෙන කුසලාන නොබොම්දැයි කීසේක.
12. එකල හේවාකණ්ඩායමද ප්‍රධාන සේනාපතියාද යුදෙව්වරුන්ගේ සේවකයෝද යේසුස්වහන්සේ අල්ලා බැඳ,
13. පළමුකොට අන්නස් ළඟට ගෙනගියෝය; මක්නිසාද ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාවූ කායාඵස්ගේ මාමාව සිටියේය.
14. ඒ කායාඵස් වනාහි එක් මනුෂ්‍යයෙකු විසින් සෙනඟ උදෙසා මරණය විඳීම ප්‍රයෝජන ඇතැයි යුදෙව්වරුන්ට උපදෙස් දුන් තැනැත්තේය.
15. සීමොන් පේතෘස්ද තව ගෝලයෙක්ද යේසුස්වහන්සේ පස්සේ ගියෝය. උත්තම පූජකයා ඒ ගෝලයා අඳුනන බැවින්, ඔහු යේසුස්වහන්සේ සමඟ උත්තම පූජකයාගේ ශාලාවට ඇතුල් විය;
16. නුමුත් පේතෘස් දොර ළඟ පිටත සිටියේය. එවිට උත්තම පූජකයා අඳුනන ඒ අනික් ගෝලයා පිටතට ගොස් දොරටුපාලීට කථාකොට, පේතෘස් ඇතුළට ගෙනාවේය.
17. එවිට දොරටුපාලීවූ තරුණී: ඔබත් ඒ මනුෂ්‍යයාගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්දැයි පේතෘස්ගෙන් ඇසුවාය. නැතැයි ඔහු කීවේය.
18. එකල ශීත බැවින් දාසයෝද සේවකයෝද අඟුරු දල්වා ගිනි තපිමින් සිටියෝය. පේතෘස්ද ඔවුන් සමඟ ගිනි තපිමින් සිටියේය.‍