A A A A A
අවුරුද්දකින් බයිබලය
ජූනි 2

1 රාජාවලියේ 13:1-34
1. යෙරොබොවම් සුවඳ දුම් ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ගේ ආඥාව පිට යුදා සිට බෙතෙල්ට ඇවිත්,
2. ස්වාමීන්වහන්සේ ගේ ආඥාව පිට පූජාසනයට විරුද්ධව මොරගසා: එම්බා පූජාසනය, පූජාසනය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-යොසියා නම්වූ පුත්‍රයෙක් දාවිත්ගේ වංශයට ඉපිද, ඔබ පිට සුවඳ දුම් ඔප්පුකරන උස් තැන්වල පූජකයන් ඔබ පිට පූජාකරන්නේය, මිනී ඇටද ඔබ පිට දවනු ලබන්නේයයි කියනසේකැයි කීවේය.
3. ඔහු එම දවසේ ලකුණක් දෙමින්: ස්වාමීන්වහන්සේ කී ලකුණ නම්, පූජාසනය පැළී එය පිට තිබෙන අලු විසර වැටීමයයි කීවේය.
4. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා බෙතෙල්හි පූජාසනයට විරුද්ධව මොරගසා කී වචන යෙරොබොවම් රජු ඇසූ විට ඔහු පූජාසනය වෙතින් තමාගේ අත දිගුකර: ඔහු අල්ලාගනිව්යයි කීවේය. ඔහුට විරුද්ධව ඔහු දිගුකළ තමාගේ අත දෙවනු නමාගන්ට බැරිලෙස වියළුණේය.
5. තවද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේ ගේ අණ පරිදි දුන් ලකුණේ හැටියට පූජාසනය පැළී අලු පූජාසනයෙන් විසර වැටුණේය.
6. රජතෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කථාකොට: මාගේ අත සුවවෙන පිණිස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට කන්නලව්කර මා උදෙසා යාච්ඤාකරන්නැයි කීවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේ ට කන්නලව් කෙළේය. එවිට රජුගේ අත සුවවී පෙර තිබුණාක් මෙන් විය.
7. රජද: මා සමඟ ගෙදරට ඇවිත් විඩා හැරගන්න, ඔබට ප්‍රසාද පඬුරක් දෙමියි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කීවේය.
8. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: ඔබේ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම ඔබ සමඟ එහි නොයමි, මේ ස්ථානයේදී මා විසින් කෑම කන්නේවත් වතුර බොන්නේවත් නැත.
9. මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ වචනයෙන් මට මෙසේ අණකොට-ඔබ කෑම කන්ටවත් වතුර බොන්ටවත් ඔබ ආ මගින් හැරී යන්ටවත් එපාය කියා මට කියන ලද්දේයයි රජුට කීවේය.
10. මෙසේ ඔහු බෙතෙල්ට ආ මාර්ගයෙන් නැවත නොගොස් වෙන මාර්ගයකින් ගියේය.
11. බෙතෙල්හි මහලු ප්‍රොපේත කෙනෙක් වාසයකෙළේය; ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා එදා බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල් ඔහුට කීයේය. ඔහු විසින් රජුට කී වචනද ඔව්හු තමුන්ගේ පියාට කීවෝය.
12. ඔවුන්ගේ පියා: ඔහු කොයි මගින් ගියේදැයි ඔවුන්ගෙන් ඇසුවේය. යුදාහි සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ගිය මාර්ගය ඔහුගේ පුත්‍රයන් විසින් දක්නාලද්දේය.
13. මට කොටළුවා සූදානම්කරදෙන්නැයි ඔහු තමාගේ පුත්‍රයන්ට කීය. ඔවුන් ඔහුට කොටළුවා සූදානම් කර දුන් විට ඔහු ඌ පිට නැගී,
14. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පස්සේ ගොස් ඔහු අලෝන ගහක් යට ඉන්නවා දැක: යුදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔබදැයි ඔහුගෙන් ඇසීය. ඒ මමයයි ඔහු කීවේය.
15. එවිට ඔහු: මා සමඟ ගෙදර ඇවිත් කෑම කන්නැයි ඔහුට කීවේය.
16. ඔහුද: ඔබ සමඟ හැරී එන්ටවත් ඔබේ ගෙදරට ඇතුල්වෙන්ටවත් මට නොපිළිවන. මේ ස්ථානයේදී ඔබ සමඟ කෑම නොකමි, වතුරද නොබොමි.
17. මක්නිසාද-ඔබ එහිදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් ඔබ යන මාර්ගයෙන් හැරී එන්ටවත් එපාය කියා ස්වාමීන්වහන්සේ ගේ වචනයෙන් මට කියන ලද්දේයයි කීවේය.
18. එවිට ඔහු: මමත් ඔබ වාගේම අනාගතවක්තෘ කෙනෙක්මි; දේවදූතයෙක් ස්වාමීන්වහන්සේ ගේ වචනයෙන් මට කථාකොට-ඔහු කෑම කන පිණිසත් වතුර බොන පිණිසත් ඔබේ ගෙදරට කැඳවාගන එන්න කියා කීයේයයි ඔහුට කීවේය. ඔහු ඔහුට කීවේ බොරුය.
19. මෙසේ ඔහු සමඟ ඔහු හැරී ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවේය.
20. ඔවුන් මේසේ හිඳින කල ඔහු ආපසු කැඳවාගන ආ ප්‍රොපේත තැන වෙතට ස්වාමීන්වහන්සේ ගේ වචනය පැමුණුණේය.
21. යුදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ඔහු මොරගසා: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ ස්වාමීන්වහන්සේ ගේ වචනයට අකීකරුව, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ආඥාව රක්ෂානොකොට,
22. හැරී ඇවිත්, යම් ස්ථානයකදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් එපාය කියා ඔබට කීසේක්ද, ඒ ස්ථානයෙහිදී ඔබ කෑම කා වතුර බිවූ නිසා, ඔබේ මළකඳ ඔබේ පියවරුන්ගේ සොහොන්ගෙට නොපැමිණෙන්නේ යයි කීය.
23. තවද ඔහු කෑ බී පසු ඔහු විසින් ආපසු කැඳවාගන එනලද ප්‍රොපේත තැනට කොටළුවා සූදානම්කර දෙන ලද්දේය.
24. ඔහු ගියායින් පසු මාර්ගයේදී සිංහයෙක් ඔහුට සම්බවී ඔහු මැරුවේය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනලද්දේය, කොටළුවා ඒ ළඟ සිටියේය; සිංහයාත් මළකඳ ළඟ සිටියේය.
25. ඒ ළඟින් යන මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් සිංහයා මළකඳ ළඟ සිටිනවාත් දැක මහලු ප්‍රොපේත තැන විසූ නුවරට ඇවිත් ඒ බව කීවෝය.
26. මාර්ගයෙන් ඔහු කැඳවාගත් අනාගතවක්තෘ එපවත් අසා: ඒ වනාහි ස්වාමීන්වහන්සේ ගේ වචනයට අකීකරුවූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය ලෙස ඔහු සිංහයා ම පාවාදුන්සේක; ඌ ඔහු ඉරා මරාදැමුවේයයි කීවේය.
27. තවද ඔහු: කොටළුවා මට සූදානම් කරදෙන්නැයි තමාගේ පුත්‍රයන්ට කීවේය. ඔවුන් ඌ සූදානම් කළ විට ඔහු ගියේය.
28. එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් කොටළුවාද සිංහයාද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බවිය. සිංහයා මළකඳ කාලා තිබුණේවත් කොටළුවා ඉරාදමා තිබුණේවත් නැත.
29. ඒ මහලු අනාගතවක්තෘද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ගැන වැලපී, ඔහු තැන්පත් කරන පිණිස ඔහුගේ මළකඳ ඔසවා කොටළුවා පිට තබා, තමාගේ නුවරට ගෙනගොස්,
30. තමාගේම සොහොන් ගෙයි තැබුවේය; ඔව්හුද: අහෝ මාගේ සහෝදරය! කියා ඔහු ගැන වැලපුණෝය.
31. තවද ඔහු විසින් ඔහු තැන්පත්කළ පසු ඔහු තමාගේ පුත්‍රයන්ට කථාකොට: මා මැරුණාම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා තැන්පත්කරනලද සොහොන්ගෙයි මාත් තැන්පත්කරන්න; ඔහුගේ ඇට ළඟ මාගේ ඇට තබන්න.
32. මක්නිසාද ඔහු බෙතෙල්හි පූජාසනයටත් සමාරීය නුවරවල උස් තැන්හි තිබෙන සියලු ගෘහවලටත් විරුද්ධව ස්වාමීන්වහන්සේ ගේ ආඥාව පරිදි මොරගසා කී වචනය ඉෂ්ටවෙනවාම ඇතැයි කීවේය.
33. මේ දෙයට පසුවවත් යෙරොබොවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් උස් තැන්වලට පූජකයන් පත්කෙළේය. කැමතිවූ කොයි අය නුමුත් උස්තැන්වල පූජකයන් වීමට ඔහු කැපකෙළේය.
34. මේ කාරණය වනාහි යෙරොබොවම්ගේ වංශය සිඳ දමා පොළෝතලයෙන් විනාශකිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.

1 රාජාවලියේ 14:1-31
1. ඒ කාලයෙහි යෙරොබොවම්ගේ පුත්‍රවූ අබියා ලෙඩ වුණේය.
2. යෙරොබොවම් තමාගේ භාර්යාවට කථාකොට: ඔබ යෙරොබොවම්ගේ භාර්යාව බව නොදැනෙන හැටියට වෙස්වලා පිටත්වී ෂීලෝට යන්න; මා මේ සෙනඟ කෙරෙහි රජ වන්නේයයි මා ගැන කීවාවූ අහියා අනාගතවක්තෘ එහි සිටියි.
3. ඔබේ අතින් රොටි දසයක්ද බැදපු කැවුම්ද මීපැණි භාජනයක්ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට මක්වේද කියා ඔහු ඔබට දන්වනවා ඇතැයි කීවේය.
4. යෙරොබොවම්ගේ භාර්යාව එසේ කොට පිටත්වී ෂීලෝට ගොස් අහියාගේ ගෙදරට පැමිණියාය. මහලුකම නිසා අහියාගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුව තිබුණේය.
5. නුමුත් ස්වාමීන්වහන්සේ අහියාට කථාකොට: බලව, යෙරොබොවම්ගේ භාර්යාව ලෙඩින් ඉන්න ඇගේ පුත්‍රයා ගැන ඔබෙන් විචාරන්ට එන්නීය. ඈට මේ මේ ආකාර කථාකරන්න. ඈ එන විට අන් තැනැත්තියක් මෙන් පෙන්වනවා ඇතැයි කීසේක.
6. දොරකඩින් ඇතුල්වෙන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණ විට ඔහු කථාකොට: යෙරොබොවම්ගේ භාර්යාව, ඇතුළට එන්න; ඔබ අන් තැනැත්තියක් මෙන් පෙන්වන්නේ කුමටද? දුක්ඛිත ආරංචි දන්වන්ට ඔබ වෙතට එවනු ලැබීමි.
7. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔබ ගොස් යෙරොබොවම්ට කියන්න-මම සෙනඟ අතරෙන් ඔබ උසස්කර, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කර,
8. දාවිත්ගේ වංශයෙන් රාජ්‍යය උදුරා ඔබට දුනිමි. නුමුත් ඔබ වනාහි මාගේ ආඥා පැවත්තුවාවූ, මාගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේවල් පමණක් කරමින් තමාගේ මුළු සිතින් මා අනුව ආවාවූ මාගේ මෙහෙකරුවූ දාවිත් මෙන් නොසිට,
9. ඔබට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝපකරන හැටියට අන් දෙවිවරුන්ද වාත්තු පිළිමද සාදාගන මට පිටිපෑ බැවින්,
10. මම යෙරොබොවම්ගේ වංශය පිටට විපත්ති පමුණුවා, යෙරොබොවම්ගේ සියලු පිරිමින් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත් නිර්දාසයන් වුවත් සිඳ දමා, නිමාවටම කුණු පිසදමන්නාක් මෙන් යෙරොබොවම්ගේ වංශය සහමුලින්ම පිසදමන්නෙමි.
11. නුවරදී මැරෙන යෙරොබොවම්ට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන කෙනෙකු ආකාශයේ පක්ෂීහු කන්නෝය. කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ එය කීසේක.
12. එබැවින් ඔබ පිටත්ව ඔබේ ගෙදරට යන්න. ඔබේ පාද නුවර ඇතුලේ තබනකොටම ළමයා මැරෙනවා ඇත.
13. සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු තැන්පත්කරන්නෝය; මක්නිසාද යෙරොබොවම්ගේ වංශය අතරෙන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි යහපත්වූ යමක් ඔහු තුළ ඇති බැවින් යෙරොබොවම්ගේ වංශයෙන් ඔහු පමණක් සොහොනකට පැමිණෙන්නේය.
14. ඇරත් ඒ දවසේදී යෙරොබොවම්ගේ වංශය සිඳ දැමීමට ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජෙක් නැගුටුවා ගන්නවා ඇත. මේ දැන්ම වුවත් මොකද?
15. තවද ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ අෂේරා කණු සාදාගන ස්වාමීන්වහන්සේ කෝපකළ බැවින්, බටගහ වතුරේ සෙලවෙන්නාක් මෙන් සෙලවෙන්ට ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහරදී, උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ හොඳ දේශයෙන් ඔවුන් උදුරා, ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවා දමනවා ඇත.
16. යෙරොබොවම් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය.
17. යෙරොබොවම්ගේ භාර්යාව පිටත්ව ගොස් තිර්ශාට පැමිණියාය. ඈ ගෙයි එළිපත්ත ළඟට ආ විට ළමයා මළේය.
18. සියලු ඉශ්‍රායෙල්වරු ස්වාමීන්වහන්සේ තමන් මෙහෙකරුවූ අහියා අනාගතවක්තෘ ලවා කියෙවු වචනයේ හැටියට ඔහු තැන්පත්කොට ඔහු ගැන වැලපුණෝය.
19. යෙරොබොවම්ගේ අනික් කාරණා එනම්, ඔහු යුද්ධකළ හැටිද රජකම්කළ හැටිද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.
20. යෙරොබොවම් රජකම්කළ කාලය විසි දෑවුරුද්දක්ය. ඔහු තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔහුගේ පුත්‍රවූ නාදාබ් ඔහු වෙනුවට රජ වුණේය.
21. සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් යුදාහි රජකම් කෙළේය. රෙහොබොවම් රජ වෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු වනාහි ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ දහහත් අවුරුද්දක් රජකම් කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය.
22. යුදාවරුද ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමුන් කළ පාපවලින් තමුන්ගේ පියවරුන් කළ සියල්ලට වඩා උන්වහන්සේ කෝපකළෝය.
23. ඔව්හුද සියලු උස් හෙල් පිටත් සියලු අමු ගස් යටත් උස් තැන්ද රූප-කුළුනුද අෂේරා කණුද සාදාගත්තෝය;
24. සොදාමියයෝද දේශයෙහි සිටියෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ප්‍රකාරයට කළෝය.
25. තවද රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේදී මිසරයේ රජවූ ෂීෂක් යෙරුසලමට විරුද්ධව ඇවිත්,
26. ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ වස්තුද රජගෙයි වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම රැගෙන, සාලමොන් විසින් සාදා තිබුණු සියලු රන් පලිස්ද ගෙන ගියේය.
27. රෙහොබොවම් රජ ඒ වෙනුවට පිත්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට භාරදුන්නේය.
28. රජ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට එන සියලු ප්‍රස්තාවයන්හිදී මුරකාරයෝ ඒවා උසුලාගන ඇවිත් නැවත මුරගෙට ගෙනගියෝය.
29. රෙහොබොවම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යුදා රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?
30. රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ නිතරම යුද්ධ පැවතුණේය.
31. රෙහොබොවම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත් කරනු ලැබුවේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය. ඔහුගේ පුත්‍රවූ අබියාම් ඔහු වෙනුවට රජවුණේය.

ගීතාවලිය 69:16-21
16. ස්වාමිනි, මට උත්තරදුන මැනව; මක්නිසාද ඔබගේ කරුණාගුණය යහපත්ය. ඔබගේ දයාබරකම් රාශිය ලෙස මා දෙසට හැරුණ මැනව.
17. ඔබගේ මෙහෙකරුවාගෙන් ඔබගේ මුහුණ සඟවා නොගත මැනව; මක්නිසාද විපතට පත්ව සිටිමි; ඉක්මනින් මට උත්තරදුන මැනව.
18. මාගේ ප්‍රාණයට ළංවී එය මිදුව මැනව. මාගේ සතුරන් නිසා මා නිදහස්කළ මැනව.
19. ඔබ මාගේ නින්දාවද ලජ්ජාවද අවනම්බුවද දන්නාසේක. මාගේ සියලු එදිරිකාරයෝ ඔබ ඉදිරියෙහිය.
20. නින්දාවෙන් මාගේ සිත බිඳුණේය; මම ශෝකයෙන් පිරී සිටිමි. අනුකම්පාකරන්නෙකු බලාසිටියෙම් නුමුත් කිසිවෙක් නොවීය; සනසන්නන් සෙවීමි, නුමුත් සම්බ නොවීය.
21. ආහාර පිණිස ඔව්හු මට තික්ත ද්‍රව්‍ය දුන්නෝය; පිපාසාවූ කල කාඩි බොන්ට දුන්නෝය.

හිතෝපදේශ 17:23-24
23. යුක්තියේ මාවත් පෙරළීමට දුෂ්ටයා ඔඩොක්කුවෙන් තෑග්ගක් පිළිගනියි.
24. තේරුම් ඇත්තා ඉදිරියෙහිම ප්‍රඥාව ඇත්තේය; එහෙත් අඥානයාගේ ඇස් පොළොවේ කෙළවරට යන්නේය.

ශුද්ධවර ජොහන් 12:27-50
27. දැන් මාගේ සිත කැලඹෙයි; ඉඳින් කුමක් කියම්ද? පියාණෙනි, මේ පැයෙන් මා ගැළෙවුව මැනව. නුමුත් මේ පිණිසම මේ පැයට පැමුණුණෙමි.
28. පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණෙවුව මැනවයි කීසේක. එවිට: මම එය මහිමයට පැමිණවීමි, නැවතත් මහිමයට පමුණුවන්නෙමියි අහසෙන් හඬක් නික්මුණේය.
29. එබැවින් ළඟ සිටියාවූ ඒ ඇසූ සමූහයා: අහස ගෙරෙවුවේයයි කීවෝය. තවත් සමහරෙක්: දේවදූතයෙක් උන්වහන්සේට කථාකළේයයි කීවෝය.
30. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මේ හඬ මා නිසා නොව ඔබ සැම නිසා පැමිණියේය.
31. මේ ලෝකයේ විනිශ්චය දැන්ය. මේ ලෝකයේ අධිපතියා දැන් පිටත දමනුලබන්නේය.
32. මම වනාහි භූමියෙන් ඔසවනු ලැබුවොත් සියල්ලන් මා වෙතට ඇදගන්නෙමියි කීසේක.
33. උන්වහන්සේ මෙසේ කීවේ තමන්වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙන්ට සිටිසේක්දැයි හඟවන පිණිසය.
34. එබැවින් සමූහයා උන්වහන්සේට උත්තරදෙමින්: ක්‍රිස්තුස්වහන්සේ සදාකල් සිටිනසේකැයි අපි ව්‍යවස්ථාවෙන් ඇසීමුව. එසේවී නම්-මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතුයයි ඔබ කියන්නේ කොහොමද? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුදැයි කීවෝය.
35. එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: තව ස්වල්ප කලක් ආලෝකය ඔබ සැම අතරේ තිබේ. අන්ධකාරය ඔබ සැම කරා වහාම නොපැමිණෙන පිණිස ඔබ සැමට ආලෝකය තිබෙන කල ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ තමා කොතැනට යන්නේදැයි නොදනියි.
36. ඔබ සැම ආලෝකයේ පුත්‍රයන් වන පිණිස ආලෝකය ඔබ සැමට තිබෙද්දී ආලෝකය කෙරෙහි අදහාගන්නැයි කීසේක. ‍ යේසුස්වහන්සේ මෙසේ කියා පිටත්ව ගොස් ඔවුන් කෙරෙන් සැඟවුණුසේක.
37. උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි මෙපමණ ලකුණු දැක්වූ නුමුත් ඔව්හු උන්වහන්සේ කෙරෙහි අදහා නොගත්තෝය.
38. මෙසේ සිද්ධවුණේ, ස්වාමීන්වහන්ස, අපේ ප්‍රවෘත්තිය විශ්වාසක‍ළේ කවුද?‍ ස්වාමීන්වහන්සේගේ බාහුව කාට ප්‍රකාශකරනලද්දේදැයි අනාගතවක්තෘවූ යෙසායා කී වචනය සම්පූර්ණ වන පිණිසය.
39. මේ නිසා ඔවුන්ට අදහාගන්ට නුපුළුවන්විය, මක්නිසාද යෙසායා නැවතත් කථාකොට:
40. ඔවුන් තමුන්ගේ ඇස්වලින් නොදකින පිණිසත් හිතෙන් තේරුම් නොගන්නා පිණිසත් හරවනු නොලබන පිණිසත් මා විසින් සුවකරනු නොලබන පිණිසත් උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධකළසේක, ඔවුන්ගේ හිත් දැඩිකළසේකැයි කීය.
41. යෙසායා උන්වහන්සේ ගැන කථාකරමින් මේ කාරණා කීවේ උන්වහන්සේගේ මහිමය දුටු නිසාය.
42. එසේවී නුමුත් මුලාදෑනීන්ගෙන් පවා බොහෝදෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය; නුමුත් සිනගෝගයෙන් අහක්කරනු නොලබන පිණිස පරිසිවරුන් නිසා ඒ බව ප්‍රකාශ නොකළෝය.
43. මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට ප්‍රියවූවෝය.
44. යේසුස්වහන්සේ ශබ්ද පවත්වමින් කියනසේක්: මා කෙරෙහි අදහන තැනැත්තේ මා කෙරෙහි නොව මා එවූ තැනන්වහන්සේ කෙරෙහි අදහාගනියි.
45. මා දකින්නාද මා එවූ තැනන්වහන්සේ දකියි.
46. මා කෙරෙහි අදහාගන්න කවරෙක් නුමුත් අන්ධකාරයෙහි නොසිටින පිණිස මම ලෝකයට ආලෝකයක්ව ආවෙමි.
47. තවද යමෙක් මාගේ වචන අසා ඒවා නොපවත්වන්නේනම්, මම ඔහු විනිශ්චය නොකරමි. මක්නිසාද මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චයකරන්ට නොවේය.
48. මා එපා කොට මාගේ වචන පිළිනොගන්නා විනිශ්චයකරන්නෙක් සිටිනසේක. මා කී වචනයම අන්තිම දවසේදී ඔහු විනිශ්චයකරන්නේය.
49. මක්නිසාද මම මාගෙන්ම උපදවා කථා නොකෙළෙමි; නුමුත් මා එවූ මාගේ පියාණන්වහන්සේම මා විසින් කිය යුතු දේ ගැනත් කථාකළ යුතු දේ ගැනත් මට අණක් දී තිබේ.
50. උන්වහන්සේගේ අණ සදාකාල ජීවනය බවද දනිමි. එබැවින් මා කථාකරන දේ පියාණන්වහන්සේ මට කියාදුන් ලෙසම කථාකරමියි කීසේක.