A A A A A
අවුරුද්දකින් බයිබලය
ජූනි 14

2 රාජාවලියේ 15:1-38
1. ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ විසිහත්වෙනි අවුරුද්දේදී යුදාහි රජවූ අමශියාගේ පුත්‍රවූ අශරියා රජවුණේය.
2. ඔහු දහසය අවුරුදු වයසේදී රජවී යෙරුසලමේ පනස් දෑවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙකොලියාය, ඈ යෙරුසලමේ ස්ත්‍රීයෙක්ය.
3. ඔහු තමාගේ පියවූ අමශියා කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
4. එසේ වුවත් උස් තැන් පහ නොකරන ලද්දේය. ඒ වනතෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය.
5. ස්වාමීන්වහන්සේ රජුට පහරදුන්සේක, ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨරෝගියෙක්ව, වෙනම ගෙයක වාසයකෙළේය. රජුගේ පුත්‍රවූ යෝතාම් රජගෙදර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ විනිශ්චයකෙළේය.
6. අශරියාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යුදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
7. අශරියා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් ඔහු වෙනුවට රජවුණේය.
8. යුදාහි රජවූ අශරියාගේ තිස්අටවෙනි අවුරුද්දේදී යෙරොබොවම්ගේ පුත්‍රවූ ශෙකරියා සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි හමාසයක් රජකම්කෙළේය.
9. ඔහු තමාගේ පියවරුන් කළාක්මෙන් ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඔහු ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නූණේය.
10. යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට සෙනඟ ඉදිරියේ ඔහුට පහරදී මරා, ඔහු වෙනුවට රජවුණේය.
11. ශෙකරියාගේ අනික් ක්‍රියා ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.
12. මෙය වනාහි: ඔබේ පුත්‍රයෝ සතරවෙනි පරම්පරාව දක්වා ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳින්නෝයයි ස්වාමීන්වහන්සේ යේහුට වදාළ වචනයය. එලෙසම සිද්ධවුණේය.
13. යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම් යුදාහි රජවූ උස්සියාගේ තිස්නවවෙනි අවුරුද්දේදී රජවී මාසයක කාලය සමාරියෙහි රජකම්කෙළේය.
14. එවිට ගාදීගේ පුත්‍රවූ මෙනහෙම් තිර්ශා සිට පිටත්වී සමාරියට ඇවිත් යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම්ට සමාරියේදී පහරදී ඔහු මරා, ඔහු වෙනුවට රජවුණේය.
15. ෂල්ලුම්ගේ අනික් ක්‍රියාද ඔහු කළාවූ කුමන්ත්‍රණයද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.
16. එකල මෙනහෙම් තිප්සාටත් එහි සිටි සියල්ලන්ටත් තීර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහරදී එහි සිටි සියලු ගර්භීණීන් ඉරාදැමුවේය.
17. යුදාහි රජවූ අශරියාගේ තිස්නවවෙනි අවුරුද්දේදී ගාදීගේ පුත්‍රවූ මෙනහෙම් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී සමාරියේ දස අවුරුද්දක් රජකම් කෙළේය.
18. ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු තමාගේ සියලු දවස්වල අහක්නොවී සිටියේය.
19. අෂූර්හි රජවූ පූල් දේශයට විරුද්ධව ආයේය; මෙනහෙම්ද රජකම තමාගේ අතේ සවිකරගැනීමට පූල් තමාට උදව්වෙන පිණිස රිදී තලෙන්ත දහසක් ඔහුට දුන්නේය.
20. මෙනහෙම් තෙමේ අෂූර්හි රජුට දෙන පිණිස එක් එක්කෙනාගෙන් රිදී ෂෙකෙල් පනහක් බැගින් ඉශ්‍රායෙල්හි සියලු පොහොසත් බලවතුන්ගෙන් අයකෙළේය. එවිට අෂූර්හි රජ දේශයේ නොනැවතී හැරීගියේය.
21. මෙනහෙම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
22. මෙනහෙම්ද තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ පෙකහියා ඔහු වෙනුවට රජවුණේය.
23. යුදාහි රජවූ අශරියාගේ පනස්වෙනි අවුරුද්දේදී මෙනහෙම්ගේ පුත්‍රවූ පෙකහියා සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී දෑවුරුද්දක් රජකම්කෙළේය.
24. ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේකෙළේය. ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය.
25. ඔහුගේ රථාධිපතියාවූ රෙමලියාගේ පුත්‍රවූ පෙකා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මනුෂ්‍යයන් පනස්දෙනෙකුන් කැඳවාගෙන ඇවිත්, සමාරියෙහි රජගෙයි බලකොටුවේදී ඔහුටත් අර්ගොබ්ටත් අරියාටත් පහරදී මරා ඔහු වෙනුවට රජ වුණේය.
26. පෙකහියාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියාතිබේ.
27. යුදාහි රජවූ අශරියාගේ පනස්දෙවෙනි අවුරුද්දේදී රෙමලියාගේ පුත්‍රවූ පෙකා සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී විසි අවුරුද්දක් රජකම්කෙළේය.
28. ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය.
29. ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.
30. උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ විසිවෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා රෙමලියාගේ පුත්‍රවූ පෙකාට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුට පහරදී මරා ඔහු වෙනුවට රජවුණේය.
31. පෙකාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.
32. රෙමලියාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල්හි රජවූ පෙකාගේ දෙවෙනි අවුරුද්දේදී යුදාහි රජවූ උස්සියාගේ පුත්‍රවූ යෝතාම් රජවුණේය.
33. ඔහු විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙරුෂාය, ඈ ශාදොක්ගේ දුවණියක්ය.
34. ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කරමින් තමාගේ පියවූ උස්සියා කළ සියල්ල ලෙස කෙළේය.
35. නුමුත් උස් තැන් පහනොකරන ලද්දේය. ඒ වන තෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය. ඔහු ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ ඉහළ දොරටුව ගොඩනැඟුවේය.
36. යෝතාම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යුදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
37. ඒ දවස්වලදී ස්වාමීන්වහන්සේ සිරියේ රජවූ රෙශින්ද රෙමලියාගේ පුත්‍රවූ පෙකාද යුදාට විරුද්ධව යවන්ට පටන්ගත්සේක.
38. යෝතාම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආහාස් ඔහු වෙනුවට රජවුණේය.

2 රාජාවලියේ 16:1-20
1. රෙමලියාගේ පුත්‍රවූ පෙකාගේ දහහත්වෙනි අවුරුද්දේදී යුදාහි රජවූ යෝතාම්ගේ පුත්‍රවූ ආහාස් රජවුණේය.
2. ආහාස් විසි අවුරුදු වයසේදී රජවී යෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහු තමාගේ පියවූ දාවිත් මෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ නොකර,
3. ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිර, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ ජාතීන්ගේ පිළිකුල් භාවිතා ලෙස තමාගේ පුත්‍රයා ගිනිමැඳින් යවා පූජාකෙළේය.
4. ඔහු උස් තැන්වලත් හෙල් පිටත් සියලු විශාල ගස් යටත් පූජා ඔප්පුකොට සුවඳ ද්‍රව්‍ය දැවුවේය.
5. එකල සිරියේ රජවූ රෙශීන්ද රෙමලියාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ පෙකාද යුද්ධ කරන පිණිස යෙරුසලමට ඇවිත් ආහාස් වැටලූ නුමුත් ඔහු පරදවන්ට බැරි වූවෝය.
6. ඒ කාලයේදී සිරියේ රජවූ රෙශීන් ඒලත් නැවත සිරියට ලබාගන යුදාවරුන් ඒලත් කෙරෙන් පහකරදැමුවේය. සිරියවරු ඒලත්ට ඇවිත් අද දක්වා එහි වසති.
7. එකල ආහාස් අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් වෙතට පණිවිඩකාරයන් යවා: මම ඔබගේ මෙහෙකරුවාය, ඔබගේ පුත්‍රයාය. ඇවිත් මට විරුද්ධව නැගිට සිටින සිරියේ රජුගේ අතිනුත් ඉශ්‍රායෙල් රජුගේ අතිනුත් මා ගැළවුවමැනවැයි කියා යැවුවේය.
8. තවද ආහාස් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහිත් රජගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අෂූර්හි රජුට තෑග්ගක් කොට ඇරියේය.
9. අෂූර්හි රජ ඔහුට ඇහුම්කන්දී දමස්කයට විරුද්ධව ගොස්, එය අල්ලාගෙන, එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙනගියේය, රෙශීන්ද මැරුවේය.
10. ආහාස් රජ අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් සම්බවෙන්ට දමස්කයට ගොස් දමස්කයේ තිබුණු පූජාසනය දැක, පූජාසනයේ සියලු වැඩවල හරි ආදර්ශයක්ද එහි හැඩයද උරියා පූජකයාට එවුවේය.
11. උරියා පූජක තෙමේ පූජාසනය ගොඩනැඟුවේය. ආහාස් රජ දමස්කයෙන් එවූ සියල්ලේ හැටියට උරියා පූජක තෙමේ ආහාස් රජ දමස්කයෙන් එන්ට පළමුවෙන් ඒක සෑදුවේය.
12. රජ දමස්කයෙන් ඇවිත් ඒ පූජාසනය දැක ඊට ළංව ඒ පිට පූජාකෙළේය.
13. ඔහු තමාගේ දවන පූජාවත් ආහාර පූජාවත් දවා, තමාගේ පාන පූජාව වත්කොට, තමාගේ ශාන්ති පූජාවල ලේ පූජාසනය පිට ඉස්සේය.
14. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පිත්තල පූජාසනය වූකලී ගෘහය ඉදිරියෙන් එනම් තමාගේ පූජාසනයටත් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ තැබුවේය.
15. ආහාස් රජ පූජකවූ උරියාට අණකරමින්: උදේ දවන පූජාවත් සවස ආහාර පූජාවත් රජුගේ දවන පූජාවත් ඔහුගේ ආහාර පූජාවත් දේශයේ මුළු සෙනඟගේ දවන පූජාවත් සවස ඔවුන්ගේ ආහාර පූජාවත් ඔවුන්ගේ පාන පූජාවලුත් මහත් පූජාසනය පිට දවා දවන පූජාවේ සියලු ලේත් පූජාවේ සියලු ලේත් ඊ පිට ඉසින්න. පිත්තල පූජාසනය වනාහි මා විසින් විභාගකරන පිණිස වන්නේයයි කීය.
16. ආහාස් රජු අණකළ සියල්ල ලෙස පූජකවූ උරියා කෙළේය;
17. තවද ආහාස් රජ අෂූර්හි රජු නිසා මැහිවල පනේල කපා දමා ඒවා උඩ තිබුණු භාජනය අහක් කෙළේය; මුහුද යට තිබුණු පිත්තල ගවයන්ගේ පිටෙන් මුහුද බස්වා ගල් අතුළ බිමක තැබුවේය.
18. සබත් දවසේ යාම පිණිස ගෘහයෙහි සාදා තිබුණ ඇහුරූ මාර්ගයද රජුට ඇතුල්වීමට තිබුණු පිට ස්ථානයද ඔහු ස්වාමීන්වහන්සේ ගේ ගෘහය දෙසට හරවා තැබීය.
19. බලව, ආහාස් කළ අනික් ක්‍රියා යුදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
20. ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජවුණේය.

ගීතාවලිය 73:21-28
21. එහෙත් මාගේ සිත කැලඹුණේය, මාගේ හෘදයට ඇන්නාක්මෙන් විය
22. මම මෘගාකාර වීමි, අඥාන වීමි; ඔබ ඉදිරියෙහි තිරිසනෙකු මෙන් වීමි.
23. එසේ නුමුත් මම නිතරම ඔබ සමඟය. ඔබ මාගේ දකුණත අල්ලාගත්සේක.
24. ඔබගේ මන්ත්‍රණයෙන් මට මග පෙන්වනසේක, පසුව තේජසට මා පිළිගන්නාසේක.
25. ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද? පොළොවෙහිද ඔබ හැර මා ආශා කරන කිසිවෙක් නැත.
26. මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක.
27. මක්නිසාද ඔබ කෙරෙන් ඈත්ව සිටින්නෝ විනාශවන්නෝය. මිථ්‍යාචාරලෙස ඔබ කෙරෙන් පහව යන සියල්ලන් ඔබ විනාශකළසේක.
28. දෙවියන්වහන්සේට ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස, ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ සරණ කරගතිමි.

හිතෝපදේශ 18:20-21
20. මනුෂ්‍යයෙකුගේ බඩ තමාගේ මුඛයේ ඵලයෙන් පිරෙයි; තමාගේ තොල්වල අස්වැන්නෙන් ඔහු සෑහීමට පැමිණෙයි.
21. මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.

ශුද්ධවර ජොහන් 21:1-25
1. ඉන්පසු යේසුස්වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟදී ගෝලයන්ට නැවත ප්‍රකාශවූසේක; උන්වහන්සේ ප්‍රකාශවුණේ මේ ආකාරයෙන්ය.
2. සීමොන් පේතෘස්ද දිදිමුස් නම් තෝමස්ද ගලීලයේ කානා නුවර නතානියෙල්ද සෙබදීගේ පුත්‍රයෝද උන්වහන්සේගේ ගෝලයන්ගෙන් තවත් දෙදෙනෙක්ද එක්ව සිටියෝය.
3. සීමොන් පේතෘස්: මසුන් අල්ලන්ට යමියි ඔවුන්ට කීවේය. අපිත් ඔබ සමඟ එමුයයි ඔව්හු ඔහුට කීවෝය. ඔව්හු පිටත්ව ගොස් ඔරුවට නැගුණෝය; නුමුත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත.
4. පහන්වන කල්හි යේසුස්වහන්සේ වෙරළෙහි සිටිසේක. එසේ වුවත් ඒ යේසුස්වහන්සේ බව ගෝලයෝ දැන නොගත්තෝය.
5. එවිට යේසුස්වහන්සේ: දරුවෙනි, ඔබ සැම ළඟ කන්ට යමක් ඇද්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: නැතැයි කීවෝය.
6. ඔරුවේ දකුණු පැත්තෙන් දැල දමන්න, එවිට සම්බවේයයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එසේ දැමූ කල, මසුන් රාශිය නිසා දැල ඇදගන්ට ඔවුන්ට බැරිවිය.
7. එබැවින් යේසුස්වහන්සේ ප්‍රේමකළ ගෝලයා පේතෘස්ට කථාකොට: ඒ ස්වාමීන්වහන්සේයයි කීවේය. එවිට සීමොන් පේතෘස් ඒ ස්වාමීන්වහන්සේ බව අසා, තමා ඇඳුම් නැතුව සිටි බැවින්, වස්ත්‍රයක් ඉණේ බැඳගෙන, මුහුදට පැන්නේය.
8. එහෙත් අනික් ගෝලයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන කුඩා ඔරුවෙන් ආවෝය; මක්නිසාද ඔව්හු වෙරළට නුදුරුව රියන් දෙසියයක් පමණ ඈත සිටියෝය.
9. මෙසේ ගොඩබැස්ස විට ඔව්හු එහි ගිනි අඟුරුද ඒ පිට මාලු තිබෙන බවද රොටිද දුටුවෝය.
10. ඔබ සැම දැන් ඇල්ලූ මසුන්ගෙන් ගෙනෙන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.
11. එබැවින් සීමොන් පේතෘස් ඔරුවට නැගී, ලොකු මසුන් එකසිය පණස් තුන් දෙනෙකුගෙන් පිරුණු දැල ගොඩට ඇද්දේය. එපමණ තිබුණු නුමුත් දැල ඉරුණේ නැත.
12. යේසුස්වහන්සේ කථාකොට: ඇවිත් කන්නැයි ඔවුන්ට කීසේක. ඒ ස්වාමීන්වහන්සේ බව දැන, ඔබ කවුදැයි උන්වහන්සේගෙන් අසන්ට ගෝලයන්ගෙන් කිසිවෙකුට ධෛර්ය නොතිබුණේය.
13. යේසුස්වහන්සේ ඇවිත් රොටි අරන් ඔවුන්ට දුන්සේක, එසේම මාලුත් දුන්සේක.
14. මේ වනාහි යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු ගෝලයන්ට ප්‍රකාශ වූ තුන්වෙනි වතාවය.
15. මෙසේ ඔවුන් කෑ පසු යේසුස්වහන්සේ සීමොන් පේතෘස්ට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේමකරනවාදැයි ඇසූසේක. ඔහු: එසේය, ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේ: මාගේ බැටළුපැටවුන් පෝෂණයකරන්නැයි ඔහුට කීසේක.
16. නැවතත් දෙවෙනි වරක්: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, ඔබ මට ප්‍රේමකරනවාදැයි ඔහුගෙන් ඇසූසේක. ඔහු: එසේය, ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේද: මාගේ බැටළුවන් පාලනයකරන්නැයි ඔහුට කීසේක.
17. උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, ඔබ මට ආදරේදැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර: මට ආදරේදැයි යේසුස්වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතෘස් දුකට පැමිණ-ස්වාමිනි, ඔබ සියල්ල දන්නාසේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මාගේ බැටළුවන් පෝෂණයකරන්න.
18. සැබවක් සැබවක් ඔබට කියමි-ඔබේ යෞවන කාලයේ ඔබේ ඉඟටිය බැඳගෙන කැමති තැන්වල ඇවිද්දෙහිය. නුමුත් ඔබ මහලුවූ කල ඔබේ අත් දිගුකරන්නෙහිය, වෙන කෙනෙක් ඔබේ ඉඟටිය බැඳ, ඔබ කැමති නැති තැනකට ගෙනයනවා ඇතැයි කීසේක.
19. ඔහු කොයි ආකාර මරණයකින් දෙවියන්වහන්සේව ගෞරවයට පමුණුවනවා ඇද්දැයි හඟවාදෙමින් උන්වහන්සේ මෙසේ කීසේක. මේ වචන කියා: මා අනුව එන්නැයි ඔහුට කීසේක.
20. පේතෘස් හැරී, යේසුස්වහන්සේ ප්‍රේම කළාවූද රාත්‍රිකෑමේදී උන්වහන්සේගේ ළපැත්තේ හාන්සිව සිට: ස්වාමීනි, ඔබ පාවාදෙන්නා කවුදැයි ඇසුවාවූද ගෝලයා පස්සෙන් එනවා දුටුවේය.
21. පේතෘස් ඔහු දැක: ස්වාමීනි, මොහු ගැන කිමෙක්දැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය.
22. යේසුස්වහන්සේද: මා එන තුරු ඔහු සිටිනවාට මා කැමති නම් ඔබට මොකද? ඔබ මා අනුව එන්නැයි ඔහුට කීසේක.
23. එහෙයින් ඒ ගෝලයා මැරෙන්නේ නැත යන මේ කීම සහෝදරයන් අතරේ පතළවිය. එසේවී නුමුත් යේසුස්වහන්සේ: මා එන තුරු ඔහු සිටිනවාට මා කැමති නම් ඔබට මොකදැයි කීවා මිස ඔහු මැරෙන්නේ නැතැයි නොකීසේක.
24. මේ දේ ගැන සාක්ෂිදෙන්නාවූ, මේ දේ ලියුවාවූ ගෝලයා මොහුය. මොහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමුව.
25. යේසුස්වහන්සේ කළ වෙනත් බොහෝ දේවල්ද ඇත්තේය, ඒවා එකින් එක ලියනලද්දේ නම්, ලියනු ලබන පොත් දරන්ට ලෝකයත් මදියයි සිතමි.