A A A A A
අවුරුද්දකින් බයිබලය
ජූනි 1

1 රාජාවලියේ 11:1-43
1. සාලමොන් රජ බොහෝ අන්‍යජාති ස්ත්‍රීන්ට එනම් ඵාරාවෝගේ දුව ඇතුළුව මෝවබ්වරුන්ගේද අම්මොන්වරුන්ගේද ඒදොම්වරුන්ගේද ශීදොන්වරුන්ගේද හිත්තීවරුන්ගේද කාන්තාවන්වූ බොහෝ අන්‍ය ජාති ස්ත්‍රිවරුන්ටත් ආදරේවුණේය.
2. සැබවින්ම ඔවුන් ඔබ සැමගේ සිත් තමුන්ගේ දෙවිවරුන් වෙතට හරවන බැවින් ඔබ සැම ඔවුන් අතරට නොයා යුතුය, ඔවුන්ට ඔබ සැම අතරට එන්ට ඉඩ නොදිය යුතුය කියා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට යම් යම් ජාතීන් ගැන කීසේක්ද ඒ ජාතීන්ට සාලමොන් ස්නේහයෙන් ඇලුම්වූයේය.
3. ඔහුට කුමාරිකා භාර්යාවන් සත්සියයක්ද උපභාර්යාවන් තුන්සියයක්ද සිටියෝය. ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත හරවාගත්තෝය.
4. එසේය, සාලමොන් මහලුවූ කල ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය. ඔහුගේ සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.
5. මක්නිසාද සාලමොන් ශීදොන්වරුන්ගේ දේවතාවීවූ අෂ්ටාරොත්ද අම්මොන්වරුන්ගේ පිළිකුලවූ මිල්කොම්ද අනුව ගොස්,
6. ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය, ඔහු තමාගේ පියවූ දාවිත් මෙන් ස්වාමීන්වහන්සේ අනුව සම්පූර්ණ ලෙස ගියේ නැත.
7. එකල සාලමොන් යෙරුසලම ඉදිරියෙහිවූ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුලවූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මොලෙක්ටත් උස්තැනක් ගොඩනැඟුවේය.
8. තමුන්ගේ දෙවිවරුන්ට සුවඳ දුම්ද පූජාද ඔප්පුකළාවූ තමාගේ සියලු අන්‍ය ජාතික භාර්යාවන්ටත් ඔහු එසේම සාදා දුන්නේය.
9. මෙසේ සාලමොන් තමාට දෙවරක් පෙනී, අන් දෙවිවරුන් පසුව නොයන ලෙස තමාට අණකළාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙන් තමාගේ සිත අහක්කරගත් බැවින්,
10. ස්වාමීන්වහන්සේ ඔහුට උදහස්වූසේක. ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ දේ ඔහු පැවැත්තුවේ නැත.
11. එබැවින් ස්වාමීන්වහන්සේ සාලමොන්ට කථාකොට: ඔබ මාගේ ගිවිසුමද මා ඔබට අණකළ මාගේ පනත්ද නොපවත්වා මෙසේ කළ බැවින්, මම සැබවින්ම රාජ්‍යය ඔබෙන් උදුරා ඔබේ මෙහෙකරුවාට දෙන්නෙමි.
12. එහෙත් ඔබේ පියවූ දාවිත් නිසා මම ඔබේ දවස්වලදී ඒක නොකොට ඔබේ පුත්‍රයාගේ අතින් ඒක පැහැරගන්නෙමි.
13. නුමුත් මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මා විසින් තෝරාගත් යෙරුසලම නිසාත් ඔබේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමියි කීසේක.
14. තවද ස්වාමීන්වහන්සේ සාලමොන්ට විරුද්ධකාරයෙකු කොට ඒදොමිය හදද් නැගිටෙවුසේක. ඔහු ඒදොම් රජ වංශයේ කෙනෙකි.
15. එනම් දාවිත් ඒදොම්හි සිටිද්දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමුවායින් පසු සේනාපතිවූ යෝවාබ් මැරුම්කෑ තැනැත්තන් තැන්පත් කරන පිණිස ගිය කල මෙසේ විය.
16. (මක්නිසාද යෝවාබ්ද සියලු ඉශ්‍රායෙල්වරුද ඒදොම්හි සියලු පිරිමින් සිඳදමනතුරු එහි හමාසයක් නැවතුණෝය.)
17. නුමුත් හදද් සහ ඔහු සමඟ ඔහුගේ පියාගේ සේවකයන්ගෙන් ඒදොම්හි සමහර මනුෂ්‍යයෝ මිසරයට යන පිණිස පලාගියෝය; මෙකල හදද් කුඩා ළමයෙක්ව සිටියේය.
18. ඔව්හු මිදියන් දේශයේ සිට පිටත්ව පාරාන්ට පැමිණ පාරාන් දේශයෙන් මනුෂ්‍යයන් කැඳවාගන මිසරයේ රජවූ ඵාරාවෝ වෙතට මිසරයට ගියෝය; රජ්ජුරුවෝ ඔහුට ගෙයක්දී, ආහාර නියමකොට, ගම් බිම්ද දුන්නාහ.
19. ඵාරාවෝ හදද් කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිය බැවින් තමාගේ භාර්යාවගේ සහෝදරී වන තාපෙනෙස් බිසවගේ සහෝදරී ඔහුට භාර්යාකොට පාවාදුන්නේය.
20. තාපෙනෙස් බිසවගේ සහෝදරී ඔහු නිසා ගෙනුබත් නම්වූ පුත්‍රයා වැදුවාය, තාපෙනෙස් ඵාරාවෝගේ ගෘහයේදී ඔහු කිරෙන් වැරෙව්වාය. ගෙනුබත් ඵාරාවෝගේ ගෘහයෙහි ඵාරාවෝගේ පුත්‍රයන් අතරේ සිටියේය.
21. දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපුණු බවත් යෝවාබ් සේනාපතියා මළ බවත් හදද් මිසරයේදී අසා: මාගේ රටට යන්ට මා හැරිය මැනවයි ඵාරාවෝට කීවේය.
22. එවිට ඵාරාවෝ ඔහුට කථාකොට: ඔබේ රටට යන්ට හදන්නේ මා ළඟ ඔබට මොන හිඟයක් වීදැයි ඇසුවේය. හිඟයක් නැත, එහෙත් කොහොම නුමුත් මට යන්ට අවකාශ දුනමැනවැයි ඔහු උත්තරදුන්නේය.
23. දෙවියන්වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු නැගිටෙවුසේක, එනම් තමාගේ ස්වාමිවූ ශෝබායේ රජවූ හදද් එසෙර් වෙතින් පලාගියාවූ එලියාදාගේ පුත්‍රවූ රෙසොන්ය.
24. ඔහු දාවිත් ශෝබායේ මනුෂ්‍යයන් මරාදමන කල තමා ළඟට මිනිසුන් රැස්කරගන හමුදාවක අධිපතියා වුණේය. ඔව්හු දමස්කයට ගොස් එහි වාසයකරමින් දමස්කයෙහි රජකම්කළෝය.
25. හදද් කළ අනතුර ඇර ඔහුද සාලමොන්ගේ සියලු දවස්වල ඉශ්‍රායෙල්වරුන්ට සතුරෙක්ව සිට, ඉශ්‍රායෙල්වරුන් පිළිකුල්කොට, සිරිය රට කෙරෙහි රජකම්කෙළේය.
26. තවද ශෙරේදායේ එප්‍රායිමියයෙක්වූ නෙබාත්ගේ පුත්‍රවූ, සාලමොන්ගේ සේවකයෙක්වූ යෙරොබොවම්ද රජුට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. වැන්දඹු ස්ත්‍රියෙක්ව සිටිය ඔහුගේ මවුගේ නම ශෙරුවාය.
27. ඔහු රජුට විරුද්ධව අත එසෙවුවේ මේ කාරණය නිසාය. සාලමොන් මිල්ලෝ ගොඩනගමින්ද තමාගේ පියවූ දාවිත්ගේ නුවර කැඩුම් හරිගස්සමින්ද සිටියේය.
28. යෙරොබොවම් වනාහි බලසම්පන්න මනුෂ්‍යයෙක් විය. සාලමොන් ඒ තරුණයා කඩිසර කෙනෙක් බව දැක යෝසෙප්ගේ වංශයට නියමවූ බර වැඩ සියල්ල කෙරෙහි ඔහු පත්කෙළේය.
29. ඒ කාලයේදී යෙරොබොවම් යෙරුසලමෙන් පිටතට යන කල අලුත් සලුවක් පෙරවාගන සිටි ෂිලොනීය අහියානම් අනාගතවක්තෘට ඔහු මගදී සම්බවිය; ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝය.
30. අහියා තමා ඇඳගන සිටිය අලුත් සළුව අල්වා කෑලි දොළොසකට ඉරා,
31. යෙරොබොවම්ට කථාකොට: ඔබ කෑලි දහයක් ගනින්න. මක්නිසාද ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මම සාලමොන්ගේ රාජ්‍යය පැහැරගන ඔබට ගෝත්‍ර දසයක් දෙන්නෙමි.
32. (එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් ඉශ්‍රායෙල්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගත් නුවර වන යෙරුසලම නිසාත් ඔහුට වන්නේය.)
33. මා මෙසේ කරන්නේ ඔවුන් ඔහුගේ පියවූ දාවිත් මෙන් මාගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේද මාගේ පනත්ද විනිශ්චයයන්ද ඉෂ්ටකරමින් මාගේ මාර්ගවල නොහැසිර මා අත්හැර, ශීදොන්වරුන්ගේ දේවතාවිවූ අෂ්ටාරොත්ටද මෝවබ්වරුන්ගේ දෙවිවූ කෙමොෂ්ටද අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවූ මිල්කොම්ටද නමස්කාරකළ නිසාය.
34. එහෙත් මම මුළු රාජ්‍යය ඔහුගේ අතින් නොගෙන මා විසින් තෝරාගත්තාවූ, මාගේ ආඥාද පනත්ද පැවැත්තුවාවූ, මාගේ මෙහෙකරුවූ දාවිත් නිසා ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල අධිපතියාව සිටින්ට ඔහුට ඉඩහැර,
35. ඔහුගේ පුත්‍රයා අතින් රාජ්‍යය ගෙන, ගෝත්‍ර දහයක් ඔබට දෙන්නෙමි.
36. මාගේ නාමය තබන්ට මා විසින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ මාගේ මෙහෙකරුවූ දාවිත්ට මා ඉදිරියෙහි නිතරම පහනක් තිබෙන පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.
37. ඔබේ සිත ආසාවෙන සියල්ල කෙරෙහි ඔබ රජකම්කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි රජ වෙන පිණිස ඔබ පිළිගන්නෙමි.
38. මාගේ මෙහෙකරුවූ දාවිත් කළාක්මෙන් ඔබ මාගේ පනත්ද ආඥාද පවත්වමින්, මා විසින් ඔබට අණකරන සියල්ලට ඇහුම්කන්දී, මාගේ මාර්ගවල හැසිර, මාගේ ඇස් හමුවෙහි හරිවූ දේ කරන්නෙහි නම්, මම ඔබ සමඟ සිට දාවිත්ට ස්ථිරවූ ගෘහයක් ගොඩනගාදුන්නාක් මෙන් ඔබටත් ගොඩනගාදී, ඉශ්‍රායෙල්වරුන් ඔබට භාරදෙන්නෙමි.
39. දාවිත්ගේ වංශයට මේ කාරණය නිසා පීඩාකරන්නෙමි, එහෙත් සෑම කාලයටම නොවේය කියා කියනසේකැයි කීවේය.
40. ඒ නිසා සාලමොන් යෙරොබොවම් මරන්ට සෙවීය. එහෙත් යෙරොබොවම් පිටත්වී මිසරයේ රජවූ ෂීෂක් වෙත මිසරයට පලාගොස්, සාලමොන්ගේ මරණය දක්වා එහි සිටියේය.
41. සාලමොන්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහුගේ ප්‍රඥාවද සාලමොන්ගේ පවත් සඳහන්වූ පොතේ ලියා තිබෙනවා නොවේද?
42. සාලමොන් යෙරුසලමේ මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම් කළ කාලය සතළිස් අවුරුද්දක්ය.
43. සාලමොන් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ රෙහොබොවම් ඔහු වෙනුවට රජවුණේය.

1 රාජාවලියේ 12:1-33
1. රෙහොබොවම් ෂෙකෙම්ට ගියේය. මක්නිසාද ඔහු රජකොට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරු ෂෙකෙම්ට ආවෝය.
2. තවද සාලමොන් රජු කෙරෙන් පලාගොස් මිසරයෙහි වාසයකළාවූ, නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයෙහි සිටියදීම ඒ බව ඔහුට සැලවිය.
3. ඔව්හු පණිවුඩයක් යවා ඔහු ගෙන්වා ගත්තෝය. යෙරොබොවම්ද මුළු ඉශ්‍රායෙල් සභාවද ඇවිත් රෙහොබොවම්ට කථාකොට:
4. ඔබගේ පියාණෝ අප පිට බර වියගහක් තැබුවාහ. එබැවින් ඔබගේ පියාණන්ගේ දුෂ්කර සේවයද ඔහු අප පිට තැබූ බර වියගහද සැහැල්ලුකළ මැනවි, එවිට අපි ඔබට සේවයකරන්නෙමුයයි කීවෝය.
5. ඔබ සැම ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැයි ඔහු ඔවුන්ට කීවේය. සෙනඟ පිටත්ව ගියෝය.
6. රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණය කරමින්: මේ සෙනඟට උත්තරදෙන පිණිස ඔබ සැම මට දෙන දැනමුතුකම කුමක්දැයි ඇසුවේය.
7. ඔව්හු: ඔබ අද මේ සෙනඟට සේවකයෙක් වී, ඔවුන්ට සේවයකොට, ප්‍රිය වචන ඔවුන්ට කථාකර උත්තරදෙන්නෙහි නම්, ඔවුන් සෑමකල්ම ඔබගේ සේවකයන් වෙනවා ඇතැයි ඔහුට කීවෝය.
8. එහෙත් වැඩිමහල්ලන් ඔහුට කීවාවූ දැනමුතුකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණාවූ තමා ඉදිරියෙහි සිටියාවූ තරුණයන් සමඟ මන්ත්‍රණය කරමින්,
9. ඔවුන්ට කථාකොට: ඔබගේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලුකළමැනවැයි මට කීවාවූ මේ සෙනඟට අප විසින් උත්තර දෙන පිණිස ඔබ සැම මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසුවේය.
10. ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කථාකොට: ඔබගේ පියාණෝ අප පිට බර වියගහක් තැබූහ, එහෙත් ඔබ ඒක අපට සැහැල්ලුකළමැනවැයි කියා ඔබට කීවාවූ මේ සෙනඟට ඔබ මෙසේ කිය යුතුය-මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ සුළගිල්ල ලොකුය.
11. එසේය, මාගේ පියාණෝ ඔබ සැම පිට බර වියගහක් තැබුවාහ, මම වනාහි ඔබ සැමගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් ඔබ සැමට දඬුවම් කළාහ, මම ගෝනුස්සන්ගෙන් ඔබ සැමට දඬුවම්කරන්නෙමියි කියා ඔවුන්ට කිය යුතුයයි කීවෝය.
12. තුන්වෙනි දා නැවත මා ළඟට එන්නැයි රජ නියමකළ හැටියට යෙරොබොවම්ද මුළු සෙනඟද තුන්වෙනි දා රෙහොබොවම් ළඟට ආවෝය.
13. තවද රජ සෙනඟට තද ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන් ඔහුට දුන් දැනමිතිකම අත්හැර,
14. තරුණයන්ගේ දැනමිතිකමේ හැටියට ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ ඔබ සැම පිට බර වියගහක් තැබුවාහ, නුමුත් මම ඔබ සැමගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසලවලින් ඔබ සැමට දඬුවම් කළාහ, මම වනාහි ගෝනුස්සන්ගෙන් ඔබ සැමට දඬුවම් කරන්නෙමියි කීවේය.
15. මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ පිලොනිය අහියා ලවා නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ට කියෙවු තමන්ගේ වචනය ඉෂ්ටකරන පිණිස ඒ කාරණය ස්වාමීන්වහන්සේ ගෙන් විය.
16. සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, ඔබ සැමගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්, ඔබ ඔබේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.
17. නුමුත් යුදා නුවරවල විසූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි රෙහොබොවම් රජකම් කෙළේය.
18. එවිට රෙහොබොවම් රජ රාජකාරියේ මුලාදෑනියාවූ අදොරාම් යැවීය; සියලු ඉශ්‍රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මැරුවෝය. එවිට රෙහොබොවම් රජ යෙරුසලමට පලායන පිණිස ඉක්මනින් රථයට නැගුණේය.
19. මෙසේ අද දක්වා තිබෙන ප්‍රකාරයට ඉශ්‍රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධව කැරළිගැසුවෝය.
20. යෙරොබොවම් නැවත ආ බව සියලු ඉශ්‍රායෙල්වරු අසා සභාවට ඔහු ගෙන්වාගන සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකොට පත්කළෝය. යුදා ගෝත්‍රයම මිස දාවිත්ගේ වංශය අනුව ගියාවූ වෙන කිසිවෙක් නොවීය.
21. රෙහොබොවම් යෙරුසලමට පැමිණි විට, ඉශ්‍රායෙල් වංශයට විරුද්ධව යුද්ධකොට සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම්ට රාජ්‍යය නැවත ගෙනදෙන පිණිස ඔහු මුළු යුදා වංශයද බෙන්යමින් ගෝත්‍රයද වූ තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූ දහසක් රැස්කෙළේය.
22. එහෙත් දෙවියන්වහන්සේගේ වචනය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ ෂෙමායා වෙතට පැමිණ කියනුයේ:
23. ඔබ සාලමොන්ගේ පුත්‍රවූ යුදාහි රජවූ රෙහොබොවම්ටත් මුළු යුදා වංශයටත් බෙන්යමින් වංශයටත් ඉතිරි සෙනඟටත් කථාකොට මෙසේ කියන්න-
24. ඔබ සැම නොයන්න, ඉශ්‍රායෙල් පුත්‍රයන් වන ඔබ සැමගේ සහෝදරයන්ට විරුද්ධව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මක්නිසාද මේ කාරණය පැමුණුණේ මාගෙන්ය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය. මෙසේ ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ වචනයට ඇහුම්කන්දී ස්වාමීන්වහන්සේ ගේ වචනය ලෙස හැරී ගියෝය.
25. යෙරොබොවම් වනාහි එප්‍රායිම් කඳු රටෙහි ෂෙකෙම් ගොඩනගා එහි වාසයකෙළේය; ඔහු එතැනින් ගොස් පෙනුයෙල් ගොඩනැඟුවේය.
26. තවද යෙරොබොවම් තමාගේ සිතින් සිතනුයේ: ඉතින් රාජ්‍යය දාවිත්ගේ වංශයට හැරීයන්නේය.
27. මේ සෙනඟ යෙරුසලමේ තිබෙන ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි පූජා ඔප්පුකරන්ට ගියොත් මේ සෙනඟගේ සිත් තමුන්ගේ ස්වාමිවූ යුදාවරුන්ගේ රජවූ රෙහොබොවම් වෙතට හැරීයන්නේය; තවද ඔවුන් මා මරා යුදාහි රජවූ රෙහොබොවම් වෙතට හැරී යනවා ඇතැයි කීවේය.
28. එවිට රජ මන්ත්‍රණයකොට රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැගීයාම ඔබ සැමට අමාරු වැඩිය; ඉශ්‍රායෙල්වරුනි, ඔබ සැම මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබ සැමගේ දෙවිවරු මේයයි ඔවුන්ට කීවේය.
29. ඔහු එකෙක් බෙතෙල්හි සිටවා අනිකා දාන්හි තැබීය.
30. ඒ කාරණය පාපයක් විය, මක්නිසාද මිනිස්සු ඒ ඉදිරියෙහි වඳින පිණිස දාන් දක්වා ගියේය.
31. ඔහු උස්තැන් ගෙවල් කොට, ලෙවී පුත්‍රයන් නුවූ මුළු සෙනඟ අතරෙන් පූජකයන් පත්කෙළේය.
32. තවද යුදාහි පවත්වන මංගල්‍යය මෙන් යෙරොබොවම් අටවෙනි මාසයේ පසළොස්වෙනි දා මංගල්‍යයක් නියමකොට පූජාසනය පිට පූජා ඔප්පුකෙළේය; ඔහු බෙතෙල්හිදීත් එසේම කරමින් තමා සෑදූ වස්සන්ට පූජාකෙළේය. තමා සෑදූ උස් තැන්වල පූජකයන් ඔහු බෙතෙල්හි සිටෙවුවේය.
33. ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමාගේම සිතින් නියමකරගත් මාසය වන අටවෙනි මාසේ පසළොස්වෙනිදා ගියේය. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මංගල්‍යයක් නියමකොට, සුවඳ දුම් ඔප්පුකරන පිණිස පූජාසනයට නැගී ගියේය.

ගීතාවලිය 69:5-15
5. දෙවියන්වහන්ස, ඔබ මාගේ අඥානකම දන්නාසේක; මාගේ පව්ද ඔබගෙන් සැඟවී නැත.
6. සේනාවල දෙවිවූ ස්වාමිනි, ඔබ කෙරෙහි බලාසිටින්නෝ මා නිසා ලජ්ජාවට නොපැමිණෙත්වා, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ සොයන්නෝ මා නිසා අගෞරවයට නොපැමිණෙත්වා.
7. මක්නිසාද මම ඔබ නිසා නින්දා ඉවසීමි; මාගේ මුහුණ ලජ්ජාවෙන් වැසී ගියේය.
8. මාගේ සහෝදරයන්ට ආගන්තුකයෙක්ව, මාගේ මෑණියන්ගේ දරුවන්ට විදේශියෙක්ව සිටිමි.
9. මක්නිසාද ඔබගේ ගෘහය සඳහා ඇති ජ්වලිතය මා දැවුවේය; ඔබට නින්දාකරන්නන්ගේ නින්දා මා පිට වැටී තිබේ.
10. මා ඇඬූ කලද නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට දුක් ඉපදවූ කලද එය මට නින්දාවක් විය.
11. ගෝණි මාගේ ඇඳුම් කොට ගත් කල මම ඔවුන්ට නින්දා වාක්‍යයක් වීමි.
12. නුවර දොරකඩ හිඳින අය මා ගැන කථාකෙරෙති; බේබද්දන්ගේ කවි මා ගැන වෙයි.
13. එහෙත් ස්වාමිනි, මම වනාහි පිළිගන්නා කාලයකදී මාගේ යාච්ඤාව ඔබට පුදමි. දෙවියන්වහන්ස, ඔබගේ අධික දයාවෙන්, ඔබගේ ගැළවීමේ සැබෑකමින් මට උත්තරදුන මැනව.
14. ගිලීයන්ට නොදී මා මඩෙන් ගොඩ ගත මැනව. මට වෛරවෙන්නන්ගෙන්ද ගැඹුරු ජලයෙන්ද ගැළවෙම්වා.
15. ජලගැල්ම මා යට නොකෙරේවා, ගැඹුර මා ගිල නොගනීවා; වළද මා රැගෙන කට පියා නොගනීවා.

හිතෝපදේශ 17:20-22
20. වංක සිතක් ඇත්තාට ශුභසිද්ධ නොවන්නේය; දිව් දෙකක් ඇත්තාද විපතට වැටෙන්නේය.
21. අඥානයෙකු උපදවන්නාට ශෝකය වන්නේය. මෝඩයෙකුගේ පියාට සන්තෝෂයක් නැත.
22. තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි.

ශුද්ධවර ජොහන් 12:1-26
1. යේසුස්වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පළමුවෙන් බෙතානියට ආසේක. යේසුස්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටෙවුවාවූ ලාසරුස් එහි සිටියේය.
2. එබැවින් ඔව්හු උන්වහන්සේට එහි කෑමක් පිළියෙළ කළෝය. මාර්තා උපස්ථානකළාය; එහෙත් ලාසරුස් උන්වහන්සේ සමඟ කෑමට හිඳගත්තවුන්ගෙන් එක්කෙනෙක් වූයේය.
3. එවිට මරියා ඉතා අනර්ඝ ජටාමාංස තෙල් රාත්තලක් රැගෙන යේසුස්වහන්සේගේ පාද ආලේපකොට, ඇගේ හිසකේවලින් උන්වහන්සේගේ පාද පිසදැම්මාය. තෙලේ සුවඳින් ගේ පිරුණේය.
4. එහෙත් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්වූ උන්වහන්සේ පාවාදෙන්ට සිටිය යූදස් ඉස්කාරියොත් කථාකොට:
5. මේ තෙල මසු තුන්සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මක්නිසාදැයි කීවේය.
6. ඔහු මේක කීවේ දිළිඳුන් සැලකූ නිසා නොව ඔහු සොරෙකු බැවිනුත් මුදල් පසුම්බිය භාරව එහි දැමූ දේ රැගෙනගිය බැවිනුත්ය.
7. එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: මා තැන්පත්කරන දවසට මේ තෙල තබාගන්ට ඈට ඉඩ හරින්න.
8. මක්නිසාද දිළින්දෝ ඔබ සැම සමඟ නිතරම සිටිති; නුමුත් මම ඔබ සැම සමඟ නිතරම නොසිටිමියි කීසේක.
9. එකල යුදෙව්වරුන්ගෙන් මහත් සමූහයක් උන්වහන්සේ එහි සිටිනසේකැයි දැන, යේසුස්වහන්සේ නිසා පමණක් නොව උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද ලාසරුස් දකින පිණිස ආවෝය.
10. නුමුත් නායක පූජකයෝ ලාසරුස්වත් මරන්ට මන්ත්‍රණය කළෝය.
11. මක්නිසාද ඔහු නිසා යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් අහක්ව ගොස් යේසුස්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.
12. පසුවදා මංගල්‍යයට ඇවිත් සිටිය මහත් සමූහයක් යේසුස්වහන්සේ යෙරුසලමට එන සේකැයි අසා,
13. තල් අතු රැගෙන උන්වහන්සේගේ පෙරමගට පිටත්ව ගොස්: හෝසන්නා! ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ තැනැත්තේ, එනම්, ඉශ්‍රායෙල්ගේ රජ ආශීර්වාදලද්දෙකැයි මොරගසා කීවෝය.
14. සියොන් දියණියෙනි, භය නොවව. බලව, ඔබේ රජ කොටළු පැටවෙකු
15. පිට නැගී එනසේකැයි ලියා තිබෙන හැටියට යේසුස්වහන්සේ කොටළු තරයෙකු ලැබ ඌ පිට හිඳගත්සේක.
16. උන්වහන්සේගේ ගෝලයෝ ඒ කාරණා පළමුවෙන් තේරුම් නොගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ මහිමයට පැමිණිකල උන්වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවද ඔවුන් උන්වහන්සේට එසේ කළ බවද ඔව්හු සිහිකළෝය.
17. එබැවින් උන්වහන්සේ ලාසරුස් සොහොන්ගෙයින් පිටතට කැඳවා මළවුන්ගෙන් නැගිටෙවු කල උන්වහන්සේ සමඟ සිටියාවූ සමූහයා සාක්ෂි දැරුවෝය.
18. මේ ලකුණ උන්වහන්සේ දැක්වූසේකැයි සමූහයාට ආරංචිවූ බැවින් ඔව්හු උන්වහන්සේගේ පෙරමගට ගියෝය.
19. එහෙයින් පරිසිවරු ඔවුනොවුන් කථාකරමින්: ඔබ සැමට කිසි ජයක් නැති හැටි බලන්න. අන්න, ලෝකයා ඔහු පස්සේ ගියෝයයි කීවෝය.
20. මංගල්‍යයේදී නමස්කාරකරන පිණිස පැමිණියවුන් අතරේ සමහර ග්‍රීකයෝ සිටියෝය.
21. එවිට ඔව්හු ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ: මහතාණෙනි, අපි යේසුස්වහන්සේ දකින්ට කැමැත්තෙමුයයි කීවෝය.
22. පිලිප් ඇවිත් අන්දෘට කීවේය. අන්දෘද පිලිප්ද ඇවිත් යේසුස්වහන්සේට කීවෝය.
23. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමණුවනු ලබන පැය පැමිණ තිබේ.
24. සැබවක් සැබවක් ඔබ සැමට කියමි-ගෝධුම බීජය පොළොවෙහි වැටී නොමළොත් තනිව තිබෙයි; නුමුත් මළොත් බොහෝ ඵල දෙයි.
25. තමාගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැතිවන්නේය; මේ ලෝකයෙහි තමාගේ ජීවිතයට වෛරකරන්නා සදාකාල ජීවනයට ඒක ආරක්ෂාකරගන්නේය.
26. යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරවකරනසේක.