A A A A A
අවුරුද්දකින් බයිබලය
මැයි 9

1 සාමුවෙල් 20:1-42
1. දාවිත් රාමායේ තිබෙන නායොත්හි සිට පලාගොස් යොනාතාන් ළඟට පැමිණ කථාකොට: ඔබේ පියාණන් මා මරන්ට සොයන්නේ මම කුමක් කෙළම්ද? මාගේ අපරාධය කිමෙක්ද? ඔහු ඉදිරියෙහි මා කළ පාපය මොකදැයි ඇසුවේය.
2. ඔහුද: එසේ නොවේවා; ඔබ නොනස්නෙහිය. බලව, මාගේ පියා මට නොදන්වා ලොකු හෝ සුළු හෝ කිසි දෙයක් නොකරන්නේය. මාගේ පියා මේ කාරණය මාගෙන් සඟවන්නේ මක්නිසාද? ඒක එසේ නොවේයයි කීවේය.
3. දාවිත්ද තවත් දිවුරමින්: ඔබ මට කරුණාව ඇති බව ඔබේ පියා හොඳාකාරයෙන් දන්නේය; ඉන්නිසා: යොනාතාන් කනගාටු නොවෙන පිණිස ඔහු මේක දැනනොගනීවයි ඔහු කියයි. නුමුත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, ඔබේ ප්‍රාණයද ජීවත්වන සේම, සැබවින් මටත් මරණයටත් අතරේ ඇත්තේ එක අඩියක් පමණයයි කීවේය.
4. යොනාතාන්ද: ඔබ කැමති කොයි දෙයක් නුමුත් ඔබ නිසා කරන්නෙමියි කීය.
5. දාවිත් යොනාතාන්ට කථාකොට: හෙට අමාවක බැවින් මා නොවරදවාම රජ්ජුරුවන් සමඟ කෑමට ඉඳගත යුතුය. නුමුත් තුන්වෙනිදා සවස වෙනතුරු මා කෙතේ සැඟවී සිටින පිණිස මට යන්ට ඉඩ අරින්න.
6. ඉදින් මා කොතනද කියා ඔබේ පියා ඇසුවොත්: ස්වකීය නුවරවූ බෙත්-ලෙහෙම්හි මුළු පවුල උදෙසා අවුරුදු පතා පූජාවක් ඔප්පුකරන බැවින් එහි ගොහින් එන්ට ඔහු උදක්ම මාගෙන් අවසර ඉල්ලා සිටියේයයි කියන්න.
7. ඉදින් ඔහු: හොඳයයි කීවොත්, ඔබේ මෙහෙකරුවාවූ මට සමාදානය ලැබෙයි. ඔහු කිපුණොත්, ඔහු විසින් මට නපුරක් නියමකරගන තිබෙන බව දැනගන්න.
8. එවිට ඔබේ මෙහෙකරුවාවූ මට ඔබ කරුණාව පෙන්වන්ට ඕනෑය; මක්නිසාද ඔබේ මෙහෙකරුවා සමඟ ඔබ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෙහිය. නුමුත් මා කෙරෙහි වරදක් ඇත්නම් ඔබම මා මරන්න; ඔබේ පියාණන් වෙතට මා ගෙනයන්නේ මක්නිසාදැයි කීවේය.
9. යොනාතාන්ද: ඔබට එසේ නොවේවා. ඔබ පිටට නපුරක් පමුණුවන්ට මාගේ පියා නියමකරගන සිටින බව මම ඇත්තටම දැනගතිම්නම් මා ඒක ඔබට දන්වන්නේ නැද්දැයි කීවේය.
10. එවිට දාවිත්: ඔබේ පියාණන් ඔබට තදලෙස උත්තර දුන්නොත් මට දන්වන්නේ කවුදැයි යොනාතාන්ගෙන් ඇසුවේය.
11. යොනාතාන්ද: එන්න, කෙතට යමුයයි දාවිත්ට කීය. ඔවුන් දෙදෙනා කෙතට ගියෝය.
12. යොනාතාන් දාවිත්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සාක්ෂි වන සේක්වා; හෙටවත් අනිද්දාවත් මේ වේලාවට පමණ මා විසින් මාගේ පියාගේ අදහස සොයාබැලුවාම දාවිත්ට හොඳක් වෙන්ට තිබේනම් ඔබට දන්වන පිණිස මා ඔබට පණිවිඩ එවන්නේ නැද්ද?
13. මාගේ පියා ඔබට නපුරක් කරන්ට කැමැත්තේ නම්, ඔබ සමාදානයෙන් යන පිණිස මා ඒක ඔබට දන්වා ඔබ පිටත්කර නොහැරියොත්, ස්වාමීන්වහන්සේ යොනාතාන්ට එසේමත් ඊට වැඩියෙනුත් කරන සේක්වා. ස්වාමීන්වහන්සේ මාගේ පියාණන් සමඟ සිටියාක් මෙන් ඔබ සමඟත් සිටිනසේක්වා.
14. ඇරත් මා නොනස්නා ලෙස ඔබ ස්වාමීන්වහන්සේ ගේ කරුණාව මා ජීවත්ව සිටින තුරුම මට පෙන්වනවා පමණක් නොව,
15. මාගේ වංශයෙන් ද ඔබේ කරුණාව කවදාවත් පහනොකරන්න. එසේය, ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සතුරන් එකිනෙකා භූමිය මතුපිටින් සිඳදැමූ කල්හිත් එසේ නොකරන්නැයි කීවේය.
16. මෙසේ යොනාතාන් දාවිත්ගේ වංශය සමඟ ගිවිසුමක් කොට: ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සතුරන් අතින් ඒක අය කරන සේක්වයි කීවේය.
17. යොනාතාන් දාවිත් කෙරෙහි පැවති ආදරය නිසා නැවත ඔහු දිවුරෙවුවේය. මක්නිසාද ඔහු තමාගේ ප්‍රාණයටමෙන් ඔහුට ආදරේවුණේය.
18. එවිට යොනාතාන් ඔහුට කථාකොට: හෙට අමාවකය, ඔබේ ආසනය සිස්වන බැවින් ඔබ එහි නැති බව පෙනෙන්නේය.
19. ඔබ තුන් දවසක් නැවතී සිට ඉක්මනින් බැස ඇවිත්, මේ කාරණාව කෙරෙද්දී ඔබ සැඟවී සිටි තැනට පැමිණ, එසෙල් ගල ළඟ සිටින්න.
20. එවිට මම ඉලක්කයකට විදින්නාක්මෙන් එහි පැත්තකට ඊගස් තුනක් විද,
21. ඊගස් සොයාගන එන්ට ළමයා හරින්නෙමි. ඊගස් ඔබට මෙහායින්ය, ඒවා ගෙනෙන්නැයි මම ළමයාට කියම්නම් ඔබ එන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබට සමාදානය මිස වෙන කිසිවක් නැත්තේය.
22. නුමුත් මම ළමයාට: ඊගස් ඔබට එහායින්ය කියම් නම්, ඔබ යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ යන්ට අරිනසේක.
23. තවද ඔබත් මාත් කථාකළ කාරණය ගැන වනාහි ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඔබත් මාත් අතරේ වනසේකැයි කීවේය.
24. ඒ හැටියට දාවිත් කෙතේ සැඟවුණේය. අමාවක පැමිණි විට රජ්ජුරුවෝ කෑම කන්ට හිඳගත්තාහ.
25. වෙනදා මෙන් රජ්ජුරුවෝ බිත්තිය ළඟ තමාගේ ආසනයෙහි හිඳගත්තාහ; යොනාතාන් නැගිට සිටියේය, අබ්නේර්ද සාවුල්ගේ පැත්තක හිඳගත්තේය. නුමුත් දාවිත්ගේ ඉඩම හිස්ව තිබුණේය.
26. එහෙත් සාවුල් ඒ දවසේ කිසිවක් කීවේ නැත. මක්නිසාද: ඔහුට මොකක් නුමුත් වෙලාය, ඔහු පවිත්‍ර නැත; ඇත්තටම පවිත්‍ර නැතැයි ඔහු කල්පනා කෙළේය.
27. අමාවකට පසුවදා වන දෙවෙනි දිනත් දාවිත්ගේ ඉඩම හිස්ව තිබුණේය. සාවුල් තමාගේ පුත්‍රවූ යොනාතාන්ට කථාකොට: යෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මක්නිසාදැයි කීවේය.
28. යොනාතාන් සාවුල්ට උත්තරදෙමින්: දාවිත් බෙත්-ලෙහෙමට යන පිණිස ඕනෑකමින් මාගෙන් ඉල්ලා-
29. මට යන්ට අවසර දුන මැනවි; මක්නිසාද ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේය; මාගේ සහෝදරයාද එහි එන්ට මට අණ කෙළේය. එබැවින් ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේනම් මාගේ සහෝදරයන් දකින පිණිස යන්ට මට අවසර ලැබේවයි කියා සිටියේය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා යයි කීවේය.
30. එවිට සාවුල්ගේ කෝපය යොනාතාන්ට විරුද්ධව ඇවිළ, ඔහු කථාකොට: හිතුවක්කාර කැරළිකාර ස්ත්‍රියකුගේ පුත්‍රය, ඔබට ලජ්ජාවත් ඔබේ මෑණියන්ට ලජ්ජාවත් හා අගෞරවයත් පැමිණෙන ලෙස ඔබ යෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම්ව සිටින බව මම නොදනිම්ද?
31. මක්නිසාද යෙස්සේගේ පුත්‍රයා භූමිය මතුපිට ජීවත්ව සිටින තුරුම ඔබවත් ඔබේ රජකමවත් ස්ථිරවෙන්නේ නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා ළඟට ගෙන්වන්න, සැබවින් ඔහු මරනු ලබන්නේයයි කීය.
32. යොනාතාන් තමාගේ පියවූ සාවුල්ට උත්තරදෙමින්: ඔහු මරන්ට ඕනෑ මක්නිසාද? ඔහු කෙළේ මොකදැයි කීවේය.
33. එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසිකෙළේය. දාවිත් මරන්ට තමාගේ පියා නියමකරගන සිටින බව එයින් යොනාතාන් දැනගත්තේය.
34. යොනාතාන් තද කෝපයෙන් මේසයෙන් නැගිටගොස් මාසයේ දෙවෙනිදා කෑම නොකා සිටියේය. මක්නිසාද තමාගේ පියා දාවිත්ට අගෞරවකළ බැවින් ඔහු දාවිත් ගැන ශෝකවුණේය.
35. පසුවදා උදය යොනාතාන් දාවිත් සමඟ නියම කරගත් වේලාවේදී කුඩා ළමයෙකු සමඟ කෙතට ගියේය.
36. ඔහු ළමයාට කථාකොට: ඔබ දුවගොස්, මා විසින් විදින ඊගස් සොයාගන එන්නැයි කියා, ළමයා දුවද්දී ඔහුට එහායින් යන්ට ඊගහක් විද්දේය.
37. යොනාතාන් විද්ද ඊගහ තිබෙන තැනට ළමයා පැමුණුණු කල යොනාතාන් ළමයාට මොරගසා: ඊගස ඔබට එහායින් තිබෙනවා නොවේදැයි කීවේය.
38. යොනාතාන් ළමයාට මොරගසා: කඩිසරවී ඉක්මන් වෙන්න, ප්‍රමාදවෙන්ට එපායයි කීය. යොනාතාන්ගේ ළමයාද ඊගස් එකතුකරගන තමාගේ ස්වාමියා ළඟට ආවේය.
39. නුමුත් ළමයා කිසිවක් දැනනොගත්තේය. යොනාතාන් සහ දාවිත් පමණක් ඒ කාරණය දැනගන සිටියෝය.
40. යොනාතාන් තමාගේ ආයුධ ළමයාට දී: මේවා නුවරට අරගන යන්නැයි ඔහුට කීවේය.
41. ළමයා ගියපසු දාවිත් දකුණු පැත්තෙන් නැගිට ඇවිත් මුහුණින් බිමවැටී තුන් විටක් වැන්දේය. ඔව්හු එකිනෙකා සිඹගන දෙදෙනා එක්ව ඇඬුවෝය. දාවිත් වඩාම ඇඬුවේය.
42. යොනාතාන් දාවිත්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සහ ඔබ අතරේද මාගේ වංශය සහ ඔබේ වංශය අතරේද සෑම කල්හිම වනසේක්වයි කියා අප දෙදෙනා ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් දිවුරා තිබේ, ඒ නිසා සමාදානයෙන් යන්නැයි කීවේය. එවිට ඔහු නැගිට පිටත්ව ගියේය. යොනාතාන් නුවරට ගියේය.

1 සාමුවෙල් 21:1-15
1. එවිට දාවිත් නොබ්හි අභිමෙලෙක් පූජකයා වෙතට පැමුණුණේය. අහිමෙලෙක් දාවිත් සම්බවෙන්ට වෙවුලමින් ඇවිත්: කිසිවෙකු ඔබ සමඟ නැතුව තනියම ආවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය.
2. දාවිත්ද: රජ්ජුරුවෝ වැඩක් මට නියමකොට-මා විසින් ඔබ යවන්නාවූ ඔබට අණ කළාවූ කාරණය ගැන කිසිවෙක් මොකටවත් දැනනොගනීවයි මට කීවාහ. අසවල් ස්ථානයට යන්ට කියා මා විසින් සේවකයන්ට දන්වා තිබේ.
3. දැන් ඔබේ අතයට තිබෙන්නේ මොනවාද? මා අතට රොටි පහක් හෝ වෙන තිබෙන දෙයක් හෝ දුනමැනවැයි පූජකවූ අහිමෙලෙක්ට කීවේය.
4. පූජකයා දාවිත්ට උත්තරදෙමින්: ශුද්ධ රොටි මිස වෙන රොටි මා ළඟ නැත; සේවකයෝ ස්ත්‍රීන්ගෙන් වැලකී සිටියෝනම් දෙන්ට පුළුවනැයි කීවේය.
5. දාවිත් පූජකයාට උත්තරදෙමින්: සැබෑවටම දැන් තුන්දවසක් පමණ ස්ත්‍රියෝ අපෙන් වෙන්ව සිටියාහුය; මේක සාමාන්‍ය ගමනක් වුණේවී නුමුත් මා පිටත්වෙන කොට සේවකයන්ගේ භාජන ශුද්ධව තිබුණේය; කොපමණ වැඩියෙන් අද ඒවා ශුද්ධව නොතිබේදැයි ඔහුට කීවේය.
6. එවිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් අහකට ගත් පිදීමේ රොටි මිස වෙන රොටි එහි නොතිබුණු බැවින් පූජකයා ශුද්ධ රොටි ඔහුට දුන්නේය. ඒවා අහකට ගත්තේ එම දවසේදී උණු රොටි තබන පිණිසය.
7. තවද ඒ දවසේදී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක්කෙනෙක්වූ සාවුල්ගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම්වූ ඒදොමිය මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එහි නැවතී සිටියේය.
8. දාවිත් අහිමෙලෙක්ට කථාකොට: මෙහි ඔබ ළඟ හෙල්ලයක් හෝ කඩුවක් නැද්ද? රජ්ජුරුවන්ගේ කටයුත්ත ඉක්මන් බැවින් මාගේ කඩුවවත් ආයුධවත් නොගෙනායෙමියි කීවේය.
9. පූජකතෙමේ: ඔබ විසින් ඒලා මිටියාවතේදී මැරූ පිලිස්තියයාවූ ගොලියත්ගේ කඩුව රෙද්දකින් ඔතා ඒඵොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්ට කැමතිනම් අරගන්න. ඒක මිස වෙන එකක් මෙහි නැතැයි කීවේය. ඒ වාගේ වෙන එකක් නැත, ඒක මට දෙන්නැයි දාවිත් කීවේය.
10. දාවිත් පිටත්වී සාවුල්ට භයින් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජවූ ආඛීෂ් වෙතට පැමුණුණේය.
11. ආඛීෂ්ගේ සේවකයෝ ඔහුට කථාකොට: මොහු දේශයෙහි රජවූ දාවිත් නොවේද? සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කියමින් ඔවුන් නැටුම් ඇතුව එකිනෙකාට ගීතිකා කළේ මොහු ගැන නොවේදැයි කීවෝය.
12. දාවිත් ඒ වචන සිතටගෙන ගාත්හි රජවූ ආඛීෂ්ට බොහෝසෙයින් භයවුණේය.
13. ඔවුන් ඉදිරියේදී ඔහු තමාගේ හැසිරීම වෙනස්කොට, පිස්සු වැටුණාක් මෙන් ඔවුන් ළඟදී හඟවමින්, වාසල්දොර පහුරුගෑවේය, තමාගේ කෙළ රැවුල පිට වැටෙන්ටත් ඇරියේය.
14. එවිට ආඛීෂ් තමාගේ සේවකයන්ට කථාකොට: මෙන්න, මේ මනුෂ්‍යයා පිස්සෙක් බව ඔබ සැමට පෙනේ. ඔබ සැම ඔහු මා ළඟට ගෙනාවේ මක්නිසාද?
15. මා ඉදිරියෙහි පිස්සු විකාරකරන්ට මොහු ගෙනාවේ පිස්සන් මට හිඟ නිසාද? මොහු මාගේ ගෙට එන්ට යුතුදැයි කීවේය.

ගීතාවලිය 59:1-5
1. නායක වාද්‍යකරුටයි; ‘නාස්ති නො කළ මැනව.’ දාවිත් මරන පිණිස ගෙය රුක සිටීමට සාවුල් මනුෂ්‍ය යන් යැවූ පසු දාවිත් ලියූ ගීතයකි. මාගේ දෙවියන්වහන්ස, මාගේ සතුරන්ගෙන් මා මිදුව මැනව. මට විරුද්ධව නැගිටින්නන් කෙරෙන් උස්තැනක මා සිටෙවුව මැනව.
2. අයුතුකම් කරන්නන්ගෙන් මා මුදා, මිනීමරු මිනිසුන්ගෙන් මා ගැළෙවුව මැනව.
3. මක්නිසාද ඔව්හු මාගේ ප්‍රාණය නසන්ට රැක හිඳිති; බලවන්තයෝ මට විරුද්ධව රැස්වෙති. ස්වාමිනි, ඒ මාගේ අපරාධයක්වත් පාපයක්වත් නිසා නොවේ.
4. මාගේ දෝෂයක් නැතුව ඔව්හු දුව ඇවිත් සූදානම්වෙති. මට උපකාරකරන්ට පිබිද බැලුව මැනව.
5. සේනාවල දෙවිවූ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමිනි, සියලු අන්‍ය ජාතීන් විමසන පිණිස නැගුටුණ මැනව. දුෂ්ටවූ අපරාධකාර කිසිවෙකුටත් කරුණා නොකළ මැනව.

හිතෝපදේශ 15:31-33
31. ජීවනදායක අවවාදය අසන කන ප්‍රඥාවතුන් අතරෙහි පවතියි.
32. ගුරුකම එපාකරන්නා තමාගේම ප්‍රාණය සුළුකරන්නේය; එහෙත් අවවාදය අසන්නා නුවණ ලබාගන්නේය.
33. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ප්‍රඥාවේ ගුරුකමය; ගෞරවයට පළමුවෙන් යටත්කම ඇත්තේය.

ශුද්ධවර ලූක් 24:36-53
36. ඔවුන් මෙසේ කථාකරමින් සිටියදී උන්වහන්සේ ඔවුන් මැද සිට: ඔබ සැමට සමාදානය වේවයි ඔවුන්ට කීසේක.
37. නුමුත් ඔව්හු ත්‍රස්තව, භයපත්ව, ආත්මයක් පෙනුණේයයි සිතුවෝය.
38. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ඔබ සැම කැලඹෙන්නේ මක්නිසාද? ඔබ සැමගේ සිත්වල ශංකා හටගන්නේ මක්නිසාද?
39. මාගේ අත් පා බලා, ඒ මමම බව දැනගන්න. මා අතගා බලන්න. මක්නිසාද මස් හා ඇට මට තිබෙනවා ඔබ සැමට පෙනෙන ලෙස ආත්මයකට නැතැයි කීසේක.
40. උන්වහන්සේ මෙසේ කියා, තමන් අත් පා ඔවුන්ට පෙන්වූසේක.
41. ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකර පුදුමව සිටියදී, උන්වහන්සේ ඔවුන්ට කථාකොට: කන්ට යමක් මෙහි ඔබ සැම ළඟ තිබේදැයි ඇසූසේක.
42. ඔව්හු බැදපු මාලු කෑල්ලක් උන්වහන්සේට දුන්නෝය.
43. උන්වහන්සේ එය රැගෙන ඔවුන් ඉදිරියෙහි කෑසේක.
44. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මා ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහිද අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලද ගීතිකාවලද ලියනලද සියල්ල සම්පූර්ණ විය යුතුයයි මා ඔබ සැම සමඟ සිටියදීම ඔබ සැමට කී වචන මේයයි කීසේක.
45. එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා,
46. ඔවුන්ට කියනසේක්: මෙසේ ක්‍රිස්තුස්වහන්සේ වධවිඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්,
47. යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.
48. ඔබ සැම මේ දේවලට සාක්ෂිකාරයෝය.
49. බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව ඔබ සැම වෙතට එවමි. නුමුත් ඉහළින් ඔබ සැම බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක.
50. උන්වහන්සේ ඔවුන් බෙතානිය දක්වා කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාදකළසේක.
51. තවද උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කරද්දී ඔවුන් කෙරෙන් වෙන්ව, ස්වර්ගයට ඔසවාගනු ලැබූසේක.
52. ඔව්හු උන්වහන්සේට නමස්කාරකොට, මහත් ප්‍රීතියෙන් යෙරුසලමට හැරී ඇවිත්,
53. නිතරම දේවමාළිගාවෙහි දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින් සිටියෝය.