Instagram
English
A A A A A
1 සාමුවෙල් 16:1-23
1. ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී ඔබ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? ඔබේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට ඔබ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.
2. සාමුවෙල්ද: මා යන්නේ කොහොමද? එය සාවුල්ට සැලවුණොත් ඔහු මා මරනවා ඇතැයි කීවේය. ස්වාමීන්වහන්සේ ද ඔබ වැස්සියක් ගෙනගොස්: මම ස්වාමීන්වහන්සේ ට පූජා කරන්ට ආවෙමියි කියන්න.
3. යෙස්සේද පූජාවට කැඳවාගන්න, එවිට ඔබ විසින් කටයුතු දේ මම ඔබට පෙන්වන්නෙමි. මා ඔබට කියන තැනැත්තා මට ආලේපකරන්නැයි කීසේක.
4. සාමුවෙල් ස්වාමීන්වහන්සේ කී දේ කොට බෙත්-ලෙහෙමට ආයේය. එවිට නුවර වැඩිමහල්ලෝ වෙවුලමින් ඔහු සම්මුඛවෙන්ට අවුත්: ඔබ එන්නේ සමාදානයෙන්දැයි ඇසූහ.
5. සමාදානයෙන්ය. ස්වාමීන්වහන්සේ ට පූජාකරන්ට ආවෙමි. ඔබ සැම පවිත්‍රවී මා සමඟ පූජාවට එන්නැයි ඔහු කීවේය. ඔහු යෙස්සේද ඔහුගේ පුත්‍රයන්ද පවිත්‍රකොට පූජාවට කැඳෙවුවේය.
6. ඔවුන් ආ කල ඔහු එලියාබ් දෙස බලා: සැබෑවටම ස්වාමීන්වහන්සේ ගේ අභිෂේකලත් තැනැත්තේ උන්වහන්සේ ඉදිරියෙහි සිටීයයි කියාගත්තේය.
7. නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.
8. එවිට යෙස්සේ අබිනාදාබ්ට හඬගසා සාමුවෙල් ඉදිරිපිටින් යන්ට සැලැස්විය. මොහුවත් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි ඔහු කීය.
9. එවිට යෙස්සේ ෂම්මා ඔහු ළඟින් යන්ට සැලැස්විය. මොහුවත් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි ඔහු කීවේය.
10. මෙසේ යෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙක් සාමුවෙල් ඉදිරිපිටින් යන්ට සැලැස්සුවේය. සාමුවෙල්ද: මොවුන් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි යෙස්සේට කියා,
11. ඔබේ පුත්‍රයන් හැමදෙනාම මෙහි ඉන්නවාදැයි යෙස්සේගෙන් ඇසුවේය. ඔහු කථාකොට: තව ඉතිරිව ඉන්නේ බාලයාය, ඔහු බැටළුවන් බලාගන සිටිනවායයි කීවේය, සාමුවෙල්ද: කෙනෙක් යවා ඔහු ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි කෑමට ඉඳ නොගන්නෙමුයයි යෙස්සේට කීය.
12. එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්වීය. ඔහු රතුපාටව, ශෝභමාන පෙනීමක් ඇතුව, රූප සම්පන්නව සිටියේය. ස්වාමීන්වහන්සේ: නැගිට මොහු ආලේපකරන්න, මොහු ඒ තැනැත්තායයි කීසේක.
13. එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේපකෙළේය. එදින පටන් ස්වාමීන්වහන්සේ ගේ ආත්මය ආනුභාසම්පන්නව දාවිත් කෙරෙහි පැමිණියේය. සාමුවෙල් නැගිට රාමාට ගියේය.
14. නුමුත් ස්වාමීන්වහන්සේ ගේ ආත්මය සාවුල්ගෙන් පහව ගොස් ස්වාමීන්වහන්සේ ගෙන් නපුරු ආත්මයක් ඔහු කැලඹුවේය.
15. සාවුල්ගේ සේවකයෝ ඔහුට කථාකොට: දැන් දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔබ කලඹයි.
16. දක්ෂ වීණාකාරයෙකු සොයන්ට අපේ ස්වාමිතුමා ඔබ ඉදිරිපිට සිටින ඔබගේ සේවකයන්ට අණකෙරේවා. එවිට දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මය ඔබ කෙරෙහි තිබෙන කල, ඔබට සුවවෙන පිණිස ඔහු තමාගේ අතින් ගායනාකරන්නේයයි කීවෝය.
17. සාවුල් කථාකොට: හොඳට ගායනාකරන මනුෂ්‍යයෙකු සොයා ඔහු මා ළඟට ගෙනෙන්නැයි තමාගේ සේවකයන්ට කීවේය.
18. එවිට වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් උත්තර දෙමින්: ගායනාකරන්ට දන්නාවූ, බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙකු දුටිමි, ඔහු බලවත් වික්‍රමාන්විත පුරුෂයෙක්ව, යුද්ධකාරයෙක්ව, කථාවෙහි දක්ෂවූ රූපසම්පන්නවූ කෙනෙක්ව සිටියි, ස්වාමීන්වහන්සේ ත් ඔහු සමඟයයි කීවේය.
19. එබැවින් සාවුල් යෙස්සේ වෙත පණිවිඩකාරයන් යවා: බැටළුවන් සමඟ සිටින ඔබේ පුත්‍රවූ දාවිත් මා ළඟට එවන්නැයි කියා යැවීය.
20. එවිට යෙස්සේ රොටිද මුද්‍රිකපාන භාජනයක්ද එළුපැටවෙක්ද කොටළුවෙකු පිට පටවා ඒවා තමාගේ පුත්‍රවූ දාවිත් අත සාවුල්ට ඇරියේය.
21. දාවිත් සාවුල් ළඟට ඇවිත් ඔහු ඉදිරියෙහි සිටියේය. ඔහුද ඔහුට ඉතා ආදරේවිය; ඔහු සාවුල්ගේ ආයුධ ගෙනයන්නා වුණේය.
22. දාවිත් මාගේ ඇසට ප්‍රිය නිසා ඔහු මා ඉදිරියෙහි සිටීවයි සාවුල් යෙස්සේට කියා යැවීය.
23. තවද දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මය සාවුල්ට පැමිණි කල දාවිත් තෙමේ වීණාව ගෙන අතින් ගායනාකෙළේය. එයින් සාවුල්ට පහසුවද සුවයද ලැබී නපුරු ආත්මය ඔහුගෙන් පහව ගියේය.

1 සාමුවෙල් 17:1-58
1. පිලිස්තිවරු තමුන්ගේ සේනාවන් යුද්ධයට රැස්කළෝය, ඔව්හු යුදාට අයිතිවූ සොකෝහි එකතුව සොකෝටත් අසේකාටත් අතරේ එඵෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්තෝය.
2. සාවුල්ද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද රැස්ව ඒලා මිටියාවතේ කඳවුරු බැඳ පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටියෝය.
3. පිලිස්තිවරු එක පැත්තක තිබුණු කන්දේද ඉශ්‍රායෙල්වරු අනික් පැත්තේ තිබුණු කන්දේද සිටියෝය. ඔවුන්ට අතරේ මිටියාවතක් තිබුණේය.
4. ගාත්හි වැසියෙක්වූ ගොලියත් නම්වූ හරියන් හමාරක් උස ඇති මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් පිටතට ආවේය.
5. ඔහුගේ හිසෙහි පිත්තල තොප්පියක් තිබුණේය, ඔහු ලෝහ හැට්ටයක් පැළඳගෙන සිටියේය; සැට්ටයේ පිත්තලවල බර ෂෙකෙල් පන්දහසක්ය.
6. ඔහුගේ පාදවල පිත්තල වැසුම් තිබුණේය, ඔහුගේ පිටිකරෙහි පිත්තලමය කුඩා හෙල්ලයක් තිබුණේය.
7. ඔහුගේ මහ හෙල්ලයේ මිට වියන දණ්ඩට සමානය; ඔහුගේ හෙල්ලයේ තලය යකඩ ෂෙකෙල් හසියයක බරය. ඔහුගේ පලිහ ගෙනයන්නා ඔහුට පෙරටුවෙන් ගියේය.
8. ඔහු සිට ඉශ්‍රායෙල් සේනාවන්ට මොරගසා: ඔබ සැම යුද්ධ පිළිවෙළින් සිටින්ට පිටතට එන්නේ මක්නිසාද? මම පිලිස්තියයෙක් නොවම්ද? ඔබ සැම සාවුල්ගේ සේවකයෝ නොවෙත්ද? මා ළඟට එන පිණිස ඔබ සැම වෙනුවට මනුෂ්‍යයෙකු තෝරාගන්න.
9. මා සමඟ සටන් කොට මා මරන්ට ඔහුට පුළුවන්වුණොත්, අපි ඔබ සැමගේ මෙහෙකරුවෝ වන්නෙමුව. නුමුත් මා ඔහුගෙන් ජයගෙන ඔහු මැරුවොත්, ඔබ සැම අපේ මෙහෙකරුවන්ව අපට සේවයකරන්ට ඕනෑයයි කීවේය.
10. තවද ඒ පිලිස්තියයා: මම ඉශ්‍රායෙල් සේනාවන්ට අද දවසේ මිගකියමි; මා සමඟ සටන් කරන්ට මනුෂ්‍යයෙක් දෙන්නැයි කීවේය.
11. සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝසෙයින් භයපත්වූහ.
12. දාවිත් යුදයේ බෙත්-ලෙහෙම්හි යෙස්සේ නම්වූ එප්‍රාතියයාගේ පුත්‍රයාය; යෙස්සේට පුත්‍රයන් අට දෙනෙක් වූවෝය. ඒ මනුෂ්‍යයා සාවුල්ගේ දවස්වල මහලුව මනුෂ්‍යයන් අතරේ වයස්ගතව සිටියේය.
13. යෙස්සේගේ වැඩිමහල් පුත්‍රයන් තුන්දෙනා සාවුල් අනුව යුද්ධයට ගියෝය. යුද්ධයට ගිය ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාගේ නාම මෙසේය: කුලුඳුලා එලියාබ්ය, දෙවෙනියා අබිනාදාබ්ය, තුන්වෙනියා ෂම්මාය.
14. දාවිත් සියල්ලන්ට බාලයාය. වැඩිමහල් තුන්දෙන සාවුල් අනුව ගියෝය.
15. දාවිත් වනාහි බෙත්-ලෙහෙම්හි තමාගේ පියාගේ බැටළුවන් බලාගන්ට සාවුල් වෙතින් ඔබ මොබ ගියේය.
16. ඒ පිලිස්තියයා සතළිස් දවසක් උදයත් සවසත් ඉස්සරහට ඇවිත් පෙනීසිටියේය.
17. යෙස්සේ තමාගේ පුත්‍රවූ දාවිත්ට කථාකොට: මේ විලඳවලින් ඒඵාවක්ද මේ රොටි දසයද රැගෙන කඳවුරට ඔබේ සහෝදරයන් ළඟට ඉක්මනින් ගොස් ඔවුන්ට දෙන්න;
18. ඔවුන්ගේ සහස්‍රාධිපතියාට මේ කේජුගෙඩි දහයද ගෙනගොස්, ඔබේ සහෝදරයන්ගේ සැපසනීප කොහොමදැයි බලා, ඔවුන්ගේ තොරතුරු දැනගෙන එන්නැයි කීවේය.
19. සාවුල්ද ඔව්හුද ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් සියලුදෙනාද ඒලානම් මිටියාවතේ පිලිස්තිවරුන් සමඟ සටන්කරමින් සිටියෝය.
20. දාවිත් අලුයම නැගිට, බැටළුපාලයෙකුට බැටළුවන් භාරදී, යෙස්සේ තමාට අණකළ ලෙස අරගෙන ගොස්, ගැල් තිබුණු ස්ථානයට පැමුණුණේය. එවිට සේනාව යුද්ධ-භූමියට යමින් ඔල්වර හඬ පැවැත්තුවෝය.
21. ඉශ්‍රායෙල්වරුද පිලිස්තිවරුද සේනාවට විරුද්ධව සේනාවක් වශයෙන් යුද්ධ පිළිවෙළින් සිටියාහ.
22. දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය.
23. ඔහු ඔවුන් සමඟ කථාකරන කල, බලව, ගාත්හි ගොලියත් නම් පිලිස්තිය මල්ලවයා පිලිස්තිවරුන්ගේ සමුදාවලින් පිටත්ව අවුත් ඒ වචනවල හැටියට කථාකෙළේය. දාවිත්ට ඒවා ඇසුණේය.
24. සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ඒ මනුෂ්‍යයා දුටු විට බොහෝසෙයින් භයවී ඔහු ඉදිරියෙන් දිවුවෝය.
25. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ කථාකොට: ඉස්සරහට එන්නාවූ අර මනුෂ්‍යයා ඔබ සැම දැක්කහුද? ඉශ්‍රායෙල්වරුන්ට මිගකියන්ටම ඔහු ඇවිත් සිටියි. රජ්ජුරුවෝ ඔහු මරන මනුෂ්‍යයා බොහෝ වස්තුවෙන් පොහොසත්කොට, තමාගේ දුව ඔහුට සරණ පාවාදී, ඉශ්‍රායෙල්හි ඔහුගේ පියාගේ පවුලට නිදහසද දෙන්නාහයි කීවෝය.
26. දාවිත් තමා ළඟ සිටි මනුෂ්‍යයන්ට කථාකොට: මේ පිලිස්තියයා මරා ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට මිගකියන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුදැයි කීවේය.
27. සෙනඟ ඒ වචනවල හැටියට ඔහුට කථාකොට: ඔහු මරන තැනැත්තාට මෙසේ කරනු ලැබේයයි කීවෝය.
28. ඔහු මිනිසුන්ට කථාකරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරවූ එලියාබ් අසාගෙන සිටියේය; එවිට එලියාබ් දාවිත් කෙරෙහි කෝපවී: ඔබ ආවේ මොකටද? කාන්තාරයෙහි ඉන්න ඒ බැටළුවන් ස්වල්පදෙනා ඔබ කාට භාරදී ආවාද? ඔබේ උඩඟුකමත් සිතේ මුරණ්ඩුකමත් මම දනිමි; ඔබ ආවේ යුද්ධය බලන පිණිසයයි කීවේය.
29. දාවිත්ද: මම දැන් මක්කෙළෙම්ද? වචනයක් කීවා පමණක් නොවේදැයි කියා,
30. ඔහු වෙතින් අනිකෙකු දෙසට හැරීගොස් ඒ හැටියටම කථාකෙළේය. මිනිස්සු පළමු හැටියටම ඔහුට නැවතත් උත්තරදුන්නෝය.
31. දාවිත් කී වචන සැලවූ කල මනුෂ්‍යයෝ සාවුල්ට එපවත් දැන්නුවෝය; සාවුල්ද ඔහු අඬගස්වා හැරියේය.
32. දාවිත් සාවුල්ට කථාකොට: කිසිවෙකුගේ සිත ඔහු නිසා ක්ලාන්ත නොවේවා; ඔබගේ මෙහෙකරුවාවූ මම ගොස් මේ පිලිස්තියයා සමඟ සටන්කරමියි කීය.
33. සාවුල්ද: මේ පිලිස්තියාට විරුද්ධව ගොස් ඔහු සමඟ සටන්කරන්ට ඔබට බැරිය. මක්නිසාද ඔබ තරුණයෙක්ය, ඔහු වනාහි තරුණ වයස පටන් යුද්ධකාරයෙක්ව සිටින්නෙකැයි දාවිත්ට කීවේය.
34. දාවිත්ද: ඔබගේ මෙහෙකරුවා තමාගේ පියාගේ බැටළුවන් බලාගන සිටිද්දී සිංහයෙකුත් වලසෙකුත් ඇවිත් රැළෙන් බැටළුවෙකු ගත්තෝය.
35. මම ඌ පස්සේ ගොස් ඌට ගසා උගේ කටින් බැටළුවා ගළවාගත්තෙමි. ඌ මට විරුද්ධව නැගිට්ට විට මම ඌ රැවුලෙන් අල්ලා ඌට ගසා මැරුවෙමි.
36. ඔබගේ මෙහෙකරුවාවූ මම සිංහයාත් වලසාත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට නින්දාකළ මේ අචර්මඡේදිත පිලිස්තියයාත් උන්ගෙන් එකෙකු මෙන් වන්නේයයි සාවුල්ට කීවේය.
37. තවද දාවිත්: සිංහයාගේ නියපහරින්ද වලසාගේ නියපහරින්ද මා ගැළවූ ස්වාමීන්වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවනසේකැයි කීවේය. සාවුල් කථාකොට: යන්න, ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටින සේක්වයි දාවිත්ට කීවේය.
38. තවද සාවුල් තමාගේ ඇඳුම් දාවිත්ට හඳවා, ඔහුගේ හිසේ පිත්තල තොප්පියක් දමා, යුද්ධ හැට්ටයක් ඔහුට පැළඳෙවුවේය.
39. දාවිත් තමාගේ ඇඳුම පිට කඩුව බැඳගන ඇවිදින්ට උත්සාහකෙළේය; මක්නිසාද ඔහු ඒවා ඇඳලා පුරුදු නැත. එවිට දාවිත් සාවුල්ට කථාකොට: මා මේවා ඇඳලා පුරුදු නැති බැවින් මේවා ඇඳගන යන්ට බැරියයි කියා,
40. ඒවා ගළවා දමා, තමාගේ සැරයටිය අතින්ගෙන, දොළෙන් සිලුටු ගල් පහක් තෝරාගෙන තමා ළඟ තිබුණු එඬේර මල්ලේ එනම් පසුම්බියේ දමාගන, අතින් ගල්පටිය අරන් පිලිස්තියයා දෙසට යන්ට ගියේය.
41. පිලිස්තියයාද පිටත්ව ඇවිත් දාවිත්ට ළංවේගන ආවේය; පලිහ ගෙනයන මනුෂ්‍යයාත් ඔහුට පෙරටුවෙන් ආවේය.
42. පිලිස්තියයා බලා දාවිත් දුටු විට ඔහුට ගර්හාකෙළේය. මක්නිසාද ඔහු රතු පාටවූ, ශෝභමාන පෙනීමක් ඇත්තාවූ තරුණයෙක් පමණක් විය.
43. පිලිස්තියයා දාවිත්ට කථාකොට: තෝ සැරයටි රැගෙන මා ළඟට එන්නේ මම බල්ලෙක්දැයි කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස්කීවේය.
44. තවද පිලිස්තියයා: මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් දෙන්නෙමියි දාවිත්ට කීවේය.
45. එවිට දාවිත්: තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය. මම වනාහි තා නින්දාකළ ඉශ්‍රායෙල් සමුදාවල දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් තා ළඟට එමි.
46. අද දවසේ ස්වාමීන්වහන්සේ තා මා අතට පාවාදෙනසේක; මම තට ගසා, තාගේ හිස කපාදමා, පිලිස්තිවරුන්ගේ සේනාවේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ වන මෘගයන්ටද දෙන්නෙමි; මෙසේ ඉශ්‍රායෙල් කෙරෙහි දෙවිකෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත.
47. ස්වාමීන්වහන්සේ කඩුවෙන් හා හෙල්ලයෙන් නොගළවන බව මේ මුළු සමූහයාත් දැනගන්නවා ඇත. මක්නිසාද යුද්ධය ස්වාමීන්වහන්සේ ය, උන්වහන්සේද ඔබ සැම අප අතට පාවාදෙනසේකැයි පිලිස්තියයාට කීවේය.
48. තවද පිලිස්තියයා නැගිට දාවිත්ට විරුද්ධව ළංවෙද්දී දාවිත් ඉක්මන්කොට පිලිස්තියයාට විරුද්ධව සේනාව දෙසට දුවගොස්,
49. මල්ලේ අතදමා එයින් ගලක් අරන්, ඒක ගල්පටියෙන් විද්දේය; ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී ඔහුගේ නළලේ ගිලී ඔහු මුහුණින් බිම වැටුණේය.
50. මෙසේ දාවිත් ගල්පටියෙන්ද ගෙලන්ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහරදී, ඔහු මැරුවේය; නුමුත් දාවිත්ගේ අතේ කඩුවක් තිබුණේ නැත.
51. එවිට දාවිත් දුව ගොස් පිලිස්තියයා ළඟ සිට, ඔහුගේ කඩුව අල්ලා කොපුවෙන් ඇද ඔහු මරා, එයින් ඔහුගේ හිස කපා දැමුවේය. පිලිස්තිවරු තමුන්ගේ බලවතා මැරුණු බව දැක පලාගියෝය.
52. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද යුදා මනුෂ්‍යයෝද නැගිට, ඔල්වර හඬ පවත්වා, පිලිස්තිවරුන් පස්සේ ගායිට පැමිණෙන තැන දක්වාත් එක්‍රොන්හි දොරටු දක්වාත් එළවාගන ගියෝය. මැරුම් කෑ පිලිස්තිවරු ෂාරයිම්ට යන මාර්ගයෙහි ගාත් දක්වාද එක්‍රොන් දක්වාද වැටුණෝය.
53. ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිලිස්තිවරුන් පස්සේ එළවායාමෙන් හැරී ඇවිත් ඔවුන්ගේ කඳවුර කොල්ලකා ගත්තෝය.
54. දාවිත් පිලිස්තියයාගේ හිස අරගන යෙරුසලමට ගෙනාවේය; නුමුත් ඔහුගේ ආයුධ තමාගේ කූඩාරමේ තැබුවේය.
55. දාවිත් පිලිස්තියයාට විරුද්ධව පිටත්ව යනවා සාවුල් දැක සේනාවේ අධිපතියාවූ අබ්නේර්ට කථාකොට: අබ්නේර්, මේ තරුණයා කාගේ පුත්‍රයාදැයි ඇසුවේය. අබ්නේර්: රජ්ජුරුවනි, ඔබගේ ප්‍රාණය ජීවත්වන බව සැබෑවා සේම මම නොදනිමියි කීවේය.
56. රජ තෙමේද: මේ තරුණයා කාගේ පුත්‍රයාද කියා අසන්නැයි කීවේය.
57. දාවිත් පිලිස්තියයා මරා හැරී එනකල අබ්නේර් ඔහු කැඳවාගෙන සාවුල් ඉදිරියට ගියේය, පිලිස්තියයාගේ හිසද ඔහුගේ අතේ තිබුණේය.
58. තරුණය, ඔබ කාගේ පුත්‍රයාදැයි සාවුල් ඔහුගෙන් ඇසීය. මම ඔබගේ මෙහෙකරුවූ බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙක්මියි දාවිත් උත්තරදුන්නේය.

ගීතාවලිය 57:4-11
4. මාගේ ප්‍රාණය සිංහයන් අතරෙහිය; ගිනි මෙන් රළුවූ තැනැත්තන් අතරෙහි, එනම් හෙල්ල සහ ඊගස් වැනි දත්ද තියුණු කඩුවක් වැනි දිව්ද ඇත්තාවූ මනුෂ්‍ය පුත්‍රයන් අතරෙහි වැතිර සිටිමි.
5. දෙවියන්වහන්ස, ඔබ අහසට වඩා උසස්වුව මැනව; ඔබගේ මහිමය මුළු පොළොවට ඉහළින් තිබේවා.
6. ඔව්හු මාගේ පාදවලට දැලක් එළූය; මාගේ ආත්මය අවනතව තිබේ. ඔව්හු මා ඉදිරියේ වළක් හෑරුවෝය; තුමූම ඒ මැදට වැටුණෝය.
7. දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය, මාගේ සිත ස්ථිරය. මම ගීතිකාකරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි.
8. මාගේ ගෞරවය පිබිදෙව; කුඩා වීණාවත් මහ වීණාවත් පිබිදෙව්. මමත් ඉතා අලුයම පුබුදින්නෙමි.
9. ස්වාමිනි, මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි; ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
10. මක්නිසාද ඔබගේ කරුණාව අහස දක්වාද ඔබගේ සැබෑකම වළාකුල් දක්වාද විශාලව තිබේ.
11. දෙවියන්වහන්ස, ඔබ අහසට වඩා උසස්වුව මැනව; ඔබගේ මහිමය මුළු පොළොවට ඉහළින් තිබේවා.

හිතෝපදේශ 15:26-26
26. දුෂ්ටයන්ගේ යෝජනා, ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් පවිත්‍රයන්ගේ වචන උන්වහන්සේට ප්‍රසන්නය.

ශුද්ධවර ලූක් 23:26-56
26. ඔව්හු උන්වහන්සේ ගෙනයන කල, පිටිසරින් එන කිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලා, යේසුස්වහන්සේ පස්සෙන් කුරුසිය උසුලාගෙන යන්ට ඒක ඔහු පිට තැබුවෝය.
27. සෙනඟගෙන්ද උන්වහන්සේ නිසා හඬා වැලපෙන්නාවූ ස්ත්‍රීන්ගෙන්ද යුක්තවූ මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය.
28. යේසුස්වහන්සේ ඔවුන් දෙසට හැරී: යෙරුසලමේ දූවරුනි, මා නිසා නොහඬා, ඔබ සැම සහ ඔබ සැමගේ දරුවන් නිසාත් හඬන්න.
29. මක්නිසාද වඳ ස්ත්‍රීහුද දරුවන් බිහිනොකළ කුසද කිසිකලෙක කිරි නුදුන් තනද වාසනාවන්තයයි කියන දවස් පැමිණෙන්නේය.
30. ඒ කාලයේදී ඔව්හු කඳුවලට කථාකොට: අප පිට වැටෙන්න; හෙල්වලට: අප වසාගන්නැයි කියන්ට පටන්ගන්නෝය.
31. මක්නිසාද අමු ගසට මේ දේ කරත් නම්, වියළි ගසට කුමක් කරනු ලබන්නේදැයි කීසේක.
32. මරනු ලබන පිණිස වරදකාරයන්වූ තවත් දෙදෙනෙක්ද උන්වහන්සේ සමඟ ගෙනයනලද්දෝය.
33. ඔව්හු ඉස්කබල නම් ස්ථානයට පැමිණ එහිදී උන්වහන්සේද වරදකාරයන්ද කුරුසියෙහි ඇණගසන්නාහු, එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පැත්තෙහිද අනික් එක්කෙනා වම්පැත්තෙහිද ඇණගැසුවෝය.
34. යේසුස්වහන්සේ කථාකොට: පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිතියි කීසේක. ඔව්හු උන්වහන්සේගේ වස්ත්‍ර දාදුදමා, තමුන් අතරේ බෙදාගත්තෝය.
35. සෙනඟද බල බලා සිටියෝය. මුලාදෑනීහු උන්වහන්සේට ගැරහුම්කරමින්: මොහු අනුන් ගැළවිය; මොහු දෙවියන්වහන්සේගේ තෝරාගත් ක්‍රිස්තුස් නම් තමාම ගළවාගනීවයි කීවෝය.
36. හේවායෝද උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට කාඩි ළංකොට:
37. ඔබ යුදෙව්වරුන්ගේ රජ නම් ඔබම ගළවාගන්න කියා සරදම්කළෝය.
38. ‍ යුදෙව්වරුන්ගේ රජ මොහුය කියා ලියවිල්ලක් උන්වහන්සේට උඩින් තබා තිබුණේය.
39. එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින්: ඔබ ක්‍රිස්තුස් නොවේද? ඔබත් අපත් ගළවාගන්නැයි කීවේය.
40. අනික් අය ඔහුට තරවටුකරමින්: එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන්වහන්සේටවත් භය නැද්ද?
41. අප දඬුවම් ලබන්නේ සාධාරණලෙසය; මක්නිසාද අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලබමුව. නුමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේක කියා උත්තරදුන්නේය.
42. තවද ඔහු: යේසුස්වහන්ස, ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහිකළ මැනවයි කීවේය.
43. උන්වහන්සේද: සැබවක් ඔබට කියමි-අදම ඔබ මා සමඟ පරාදීසයෙහි සිටින්නෙහියයි කීසේක.
44. ඒ වේලාව සවෙනි පැය පමණ විය, ඉර එළිය නැතිවී, නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය.
45. දේවමාළිගාවේ තිරයද මැදින් ඉරුණේය.
46. යේසුස්වහන්සේ මහත් ශබ්දයකින් මොරගසා: පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාරදෙමියි කීසේක. මෙසේ කියා උන්වහන්සේ ආත්මය හළසේක.
47. එවිට සියයකට මුලාදෑනියා සිද්ධවූ දේ දැක දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්: සැබවින් මේ මනුෂ්‍යයා ධර්මිෂ්ඨයෙකැයි කීවේය.
48. මේ කාරණය බලන්ට ආ සමූහයා සිද්ධවූ දේ දැක, ළය අත්ගසා ගනිමින් ආපසු ගියෝය.
49. උන්වහන්සේ අඳුනන සියල්ලෝද ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආ ස්ත්‍රිහුද ඒ දේවල් බල බලා දුරින් සිටියෝය.
50. බලව, මන්ත්‍රියෙක්ව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන බලාසිටියාවූ,
51. ඔවුන්ගේ මන්ත්‍රණයටද ක්‍රියාවටද එකඟ නූණවූ, සත්පුරුෂවූ, ධර්මිෂ්ඨවූ, යුදෙව්වරුන්ගේ නුවරක් වන අරිමාතියේවූ යෝසෙප් නම් මනුෂ්‍යයෙක්,
52. පිලාත් ළඟට ගොස් යේසුස්වහන්සේගේ මිනිය ඉල්ලුවේය.
53. ඔහු ඒක බාගෙන, සිහින් හණ රෙද්දකින් වෙළා, ඒ දක්වා කිසිවෙකු නොතැබුවාවූ ගලක කපනලද සොහොන් ගෙයක උන්වහන්සේ තැබුවේය.
54. ඒ දවස සූදානම්වීමේ දවසය, සබත් දවසද ආසන්නවිය.
55. ගලීලයේ සිට උන්වහන්සේ සමඟ ආවාවූ ස්ත්‍රීහු ගොස්, සොහොන් ගෙයද උන්වහන්සේගේ මිනිය තැබූ අන්දමද බලා සිටියෝය.
56. ඔව්හු හැරී ඇවිත් සුගන්ධ ද්‍රව්‍යද සුවඳ තෙල්ද සූදානම්කළෝය. ඔව්හු ආඥාව ලෙස සබත් දවසේ නිවාඩු ගත්තෝය.