Instagram
English
A A A A A
2 සාමුවෙල් 19:1-43
1. තවද රජ අබ්සලොම් ගැන අඬා වැලපෙන්නේය කියා යෝවාබ්ට දන්වන ලද්දේය.
2. රජ තමාගේ පුත්‍රයා ගැන ශෝකවන්නේයයි ඒ දවසේ සෙනඟට සැලවුණු බැවින් ඒ දවසේ ඇතිවූ ජය මුළු සෙනඟට වැලපීමක් වුණේය.
3. මක්නිසාද යුද්ධයේදී පලායන සෙනඟ ලජ්ජා සහිතව හොරෙන් එන්නාක් මෙන්, ඒ දවසේදී සෙනඟ හොරෙන් නුවරට ඇතුල්වුණෝය.
4. රජ තමාගේ මුහුණ වසාගෙන: අනේ, මාගේ පුත්‍රවූ අබ්සලොම්, අනේ, අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය කියා මහත් හඬින් ඇඬුවේය.
5. යෝවාබ්ද රජු ළඟට ගෙට ඇතුල්වී කථාකොට: ඔබට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමෙන්ද ඔබට ප්‍රේමකරන්නන්ට වෛරවීමෙන්ද ඔබගේ ජීවිතයත් ඔබගේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් ජීවිතත් ඔබගේ භාර්යාවන්ගේ ජීවිතත් ඔබගේ උපභාර්යාවන්ගේ ජීවිතත් අද ගැළවුවාවූ ඔබගේ සියලු සේවකයන්ගේ මුහුණු ඔබ අද ලජ්ජා කෙළෙහිය.
6. මක්නිසාද අධිපතීන්ගෙන්වත් සේවකයන්ගෙන්වත් ඔබට කමක් නැති බව ඔබ අද පෙන්නුවෙහිය. අප සියල්ලන්ම අද මැරුණත් අබ්සලොම් ඉතුරුවුණා නම් ඔබ ඉතා ප්‍රසන්නවන බව අද මට පෙනෙයි.
7. එබැවින් දැන් නැගිට පිටතට ගොස් ඔබගේ සේවකයන්ට කරුණාවෙන් කථාකළ මැනවි. ඔබ පිටත නොගියොත් ඔබ සමඟ අද රෑ කිසිවෙක් නොසිටින බවට ස්වාමීන්වහන්සේ ගේ නම කියා දිවුරමි. එයින් ඔබගේ බාලවයසේ පටන් දැන් දක්වා ඔබට සිදුවුණු සියලු අන්තරාවලට වඩා ඔබට අන්තරාවේයයි කීවේය.
8. එවිට රජ නැගිට දොරටුවේ හිඳගත්තේය. රජ දොරටුවේ හිඳිනේයයි මුළු සෙනඟට දන්වනලද්දේය. මුළු සෙනඟද රජු ඉදිරියට ආවෝය. ඉශ්‍රායෙල්වරු තම තමුන්ගේ කූඩාරම්වලට පලාගොස් සිටියෝය.
9. සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි සෙනඟ විවාදකරමින්: රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා පිලිස්තිවරුන්ගේ අතින්ද ඔහුම අප ගළවාගත්තාහ; එහෙත් දැන් ඔහු අබ්සලොම් වෙතින් රටින් පලාගියේය.
10. අප කෙරෙහි අප විසින් පත්කරගත් අබ්සලොම්ද යුද්ධයේදී මැරුණේය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන ඔබ සැම නිශ්ශබ්දව සිටින්නේ මක්නිසාදැයි කීවෝය.
11. එවිට දාවිත් රජ පූජකයන් වන ශාදොක්ටත් අබියාතර්ටත් මෙසේ කියා ඇරියේය: ඔබ සැම යුදාහි වැඩිමහල්ලන්ට කථාකොට-රජ්ජුරුවන් තමාගේ ගෙට ගෙන්වන්ට මුළු ඉශ්‍රායෙල් කරන කථාව ඔහුට සැලවී තිබෙද්දී රජ්ජුරුවන් තමාගේ ගෙට නැවත ගෙනෙන්ට ඔබ සැම අන්තිමයන් වන්නේ මක්නිසාද?
12. ඔබ සැම මාගේ සහෝදරයෝය, මාගේ ඇට සහ මාංසයත්ය. එබැවින් රජ්ජුරුවන් නැවත ගෙනෙන්ට ඔබ සැම අන්තිමයන් වෙන්නේ මක්නිසාදැයි කියන්න.
13. තවද අමාසාට කථාකොට: ඔබ මාගේ ඇට සහ මාංශයත් නොවේද? ඔබ යෝවාබ් වෙනුවට සෑමකල්හිම මා ඉදිරියෙහි සේනාපතියාව සිටින්ට නොයෙදුණොත් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කියන්නැයි කියා ඇරියේය.
14. මෙසේ ඔහු සියලු යුදා මනුෂ්‍යයන්ගේ සිත් එක්කෙනෙකුගේ සිත මෙන් නමා ගත්තේය; ඔව්හුද: ඔබගේ සියලු සේවකයන් සමඟ හැරී අවමැනවැයි රජුට කියා ඇරියෝය.
15. එවිට රජ හැරී යොර්දාන් ළඟට ආයේය. යුදාවරුද යොර්දානෙන් මෙගොඩට රජු කැඳවාගන එන පිණිස රජුගේ පෙරමගට යන්ට ගිල්ගාල්ට ආවෝය.
16. තවද බහුරීම්හි බෙන්යමිය ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි ඉක්මන්කර යුදා මනුෂ්‍යයන් සමඟ දාවිත් රජුගේ පෙරමගට බැස ආවේය.
17. ඔහු සමඟ බෙන්යමින් මනුෂ්‍යයන් දහසක්ද සාවුල්ගේ වංශයේ සේවකයෙක්වූ ශීබාද ඔහු සමඟ තමාගේ පුත්‍රයෝ පහළොස්දෙනාද තමාගේ වැඩකාරයන් විසිදෙනාද සිටියෝය; ඔව්හු රජු ඉදිරියෙහි යොර්දාන මැදින් ගියෝය.
18. රජ ගෙදර වැසියන් මෙගොඩකරන්ටත් ඔහුගේ කැමැත්තක් කරන්ටත් පාරුවක් එගොඩට ගියේය. ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි යොර්දානෙන් එගොඩවුණ කල රජු ඉදිරියෙහි වැටී,
19. කථාකොට: මාගේ ස්වාමියා මා ගණනට කිසි අපරාධයක් නොතැබුව මැනවි, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් යෙරුසලමෙන් පිටත්ව ගිය දවසේදී ඔබගේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ රජතුමා සිහිනොකළ මැනවි, එය සිතට නොගත මැනවි.
20. මක්නිසාද ඔබගේ දාසයාවූ මා පව්කළ බව මම දනිමි. එබැවින් යෝසෙප්ගේ මුළු වංශය අතරෙන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ පෙරමගට බැස එන්ට මම පළමුකොටම ආවෙමියි කීය.
21. එහෙත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි උත්තරදෙමින්: ෂිමෙයි ස්වාමීන්වහන්සේ ගේ අභිෂේකලත් තැනැත්තාට දෙස් කී බැවින් ඔහු මරනුලැබිය යුතු නොවේදැයි කීය.
22. දාවිත්ද: ශෙරුයාගේ පුත්‍රයෙනි, ඔබ සැම අද මට එදිරිවීමට ඔබ සැමත් මාත් අතරේ තිබෙන සම්බන්ධකම මොකද? අද ඉශ්‍රායෙල්වරුන්ගෙන් කිසිවෙකු මරණයට පත්කරන්ට යුතුද? මක්නිසාද අද මා ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටින බව මම නොදනිම්දැයි කීවේය.
23. තවද: ඔබ නොනස්නෙහියයි රජ ෂිමෙයිට කියා දිවුළේය.
24. සාවුල්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් රජුගේ පෙරමගට ආයේය; ඔහු රජු ගිය දා පටන් සමාදානයෙන් ආ දවස දක්වා තමාගේ පාදත් රැවුලත් හරිගස්සා ගත්තේවත් තමාගේ ඇඳුම් සේදුවේවත් නැත.
25. තවද ඔහු රජු සම්මුඛවෙන්ට යෙරුසලමට ආ කල රජ කථාකොට: මෙපිබොෂෙත්, ඔබ මා සමඟ නොගියේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය.
26. ඔහු උත්තරදෙමින්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මාගේ වැඩකාරයා මා රැවටුවේය. මක්නිසාද ඔබගේ මෙහෙකරුවා කොර බැවින්-කොටළුවෙකු සූදානම්කරගන ඌ පිට නැගී රජ්ජුරුවන් සමඟ යමියි ඔබගේ මෙහෙකරුවා කීවේය.
27. ඔහු මාගේ ස්වාමිවූ රජුට ඔබගේ මෙහෙකරුවා ගැන කේලාම් කීවේය. එහෙත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ය. ඔබගේ ඇස් හමුවෙහි හොඳව තිබෙන දේ කළමැනවි.
28. මක්නිසාද මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමිවූ රජු ඉදිරියෙහි මරණයට සුදුස්සෝ වූහ. එසේවී නුමුත් ඔබගේම මේසයෙන් කන තැනැත්තන් අතරේ ඔබ ඔබගේ මෙහෙකරුවා සිටෙවුවෙහිය. ඒ නිසා රජ්ජුරුවන්ට තවත් කන්නලව් කරන්ට මට ඇති යුතුකම මොකදැයි කීය.
29. රජද: ඔබේ කාරණා ගැන තවත් කථාකරන්නේ මන්ද? ඔබත් ශීබාත් බිම බෙදාගන්න ලෙස මම කියමියි ඔහුට කීවේය.
30. මෙපිබොෂෙත්ද: එසේය, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමාගේ ගෙදරට සමාදානයෙන් ආ බැවින් සියල්ලම වුණත් ඔහු ගත්තාවේයයි රජුට කීවේය.
31. තවද ගිලියදිය බර්සිල්ලයි රොගේලීම් සිට ඇවිත් යොර්දානෙන් මෙගොඩට රජු ගෙනෙන පිණිස ඔහු සමඟ යොර්දානෙන් මෙගොඩට ආයේය.
32. බර්සිල්ලයි ඉතා මහලුව අසූ අවුරුද්දක් වයස්ව සිටියේය. ඔහු රජු මහනායිම්හි සිටි කල ඔහුට කන බොන දේ සපයාදුන්නේය; ඔහු ඉතා පොහොසත් මනුෂ්‍යයෙකි.
33. රජද: මා සමඟ යන්ට එන්න, යෙරුසලමේ මා වෙත ඔබ පෝෂ්‍යකරන්නෙමියි බර්සිල්ලයිට කීවේය.
34. බර්සිල්ලයිද: රජ්ජුරුවන් සමඟ යෙරුසලමට යන්ට මාගේ ජීවිතයේ තවත් ඉතිරිව තිබෙන අවුරුදුවල දවස් කොපමණද?
35. මම දැනට අසූ අවුරුද්දක් වයස්ව සිටිමි. හොඳ නරක මට දැනෙනවාද? ඔබගේ මෙහෙකරුවූ මට කන බොන දේවල රස දැනේද? ගී කියන පුරුෂයන්ගෙත් ගී කියන ස්ත්‍රීන්ගෙත් හඬ මට තවත් අසන්ට පුළුවන්ද? එබැවින් ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට තවත් බරක් වෙන්නේ කුමටද?
36. ඔබගේ මෙහෙකරුවා රජ්ජුරුවන් සමඟ යොර්දානෙන් එගොඩට යෑම සුළු දෙයක්ය. එබැවින් රජ්ජුරුවන් එබඳු විපාකයක් මට දෙන්නේ මක්නිසාද?
37. මාගේම නුවර මාගේ පියාණන්ගෙත් මාගේ මෑණියන්ගෙත් සොහොන්පළ ළඟ මා මැරෙන පිණිස ඔබගේ මෙහෙකරුවාට හැරී යන්ට අවසර ලැබේවා. නුමුත් ඔබගේ මෙහෙකරුවූ කිම්හාම්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ එගොඩ ගියාවේ; ඔබට හොඳව පෙනෙන හැටියක් ඔහුට කළ මැනවැයි කීවේය.
38. රජද: කිම්හාම් එගොඩ මා සමඟ යේවා, ඔබට හොඳව පෙනෙන හැටියක් ඔහුට කරන්නෙමි. ඔබ මාගෙන් ඉල්ලන සියල්ලත් ඔබට කර දෙන්නෙමියි කීවේය.
39. මුළු සෙනඟ යොර්දානෙන් මෙගොඩවුණෝය, රජද මෙගොඩවුණේය. රජතෙමේ බර්සිල්ලයි සිඹ ඔහුට ආශීර්වාදකෙළේය; ඔහු තමාගේ ස්ථානයට හැරීගියේය.
40. මෙසේ රජ මෙගොඩවී ගිල්ගාල්ට ආවේය, කිම්හාම්ද ඔහු සමඟ ආවේය. මුළු යුදා සෙනඟද ඉශ්‍රායෙල් සෙනඟගෙන් දෙකෙන් කොටසක්ද රජු මෙගොඩට කැඳවාගන ආවෝය.
41. එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ රජු ළඟට අවුත් රජුට කථාකොට: අපේ සහෝදරවූ යුදා මනුෂ්‍යයන් ඔබ හොරෙන් අඬගසාගන රජුද ඔහුගේ ගෙයි වැසියන්ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මනුෂ්‍යයන්ද යොර්දානෙන් මෙගොඩට ගෙනාවේ මක්නිසාදැයි ඇසුවෝය.
42. සියලු යුදා මනුෂ්‍යයෝ ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජ්ජුරුවන් අපේ නෑයෙක් නිසාය. ඔබ සැම මේ කාරණය ගැන කෝපවෙන්නේ මක්නිසාද? රජුගේ වියදමෙන් අපි කොහෙත්ම කෑවෙමුද? නොහොත් ඔහු අපට කිසි තෑග්ගක් දුන්නේදැයි කීවෝය.
43. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ යුදා මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජුගෙන් දස කොටසක් අපට තිබේ, දාවිත්ගෙනුත් ඔබ සැමට වඩා අයිතිකම අපට ඇත්තේය. ඔබ සැම අප සුළුකොට සිතුවේ මක්නිසාද? රජු නැවත ගෙනෙන්ට පළමුකොට කථාකළේ අප නොවේදැයි කීවෝය. නුමුත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ වචනවලට වඩා යුදා මනුෂ්‍යයන්ගේ වචන සැරව තිබුණේය.

2 සාමුවෙල් 20:1-26
1. බෙන්යමියයෙක්වූ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ දුර්ජන මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු හොරණෑව පිඹ: දාවිත් තුළ කොටසක්වත් යෙස්සේගේ පුත්‍රයා තුළ කිසි උරුමයක්වත් අපට නැත. ඉශ්‍රායෙල්වරුනි, ඒ ඒ මනුෂ්‍යයා තම තමාගේ කූඩාරම්වලට යේවයි කීය.
2. එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දාවිත් අත්හැර බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා පස්සේ ගියෝය. නුමුත් යොර්දාන් පටන් යෙරුසලම දක්වාම යුදා මනුෂ්‍යයෝ තමුන්ගේ රජුට ඇලුම්ව සිටියෝය.
3. දාවිත් යෙරුසලමෙහිවූ තමාගේ ගෙදරට පැමුණුණ විට ගෙය ප්‍රවේසම්කිරීමට රජු විසින් සිටුවාගිය උපභාර්යාවන් දසදෙනා රැගෙන හිරකර තබා ඔවුන් පෝෂ්‍යකෙළේය, නුමුත් ඔවුන් කරා නොඑළඹුණේය. මෙසේ ඔව්හු මැරෙන දවස දක්වා හිරෙහිම වැන්දඹු භාවයෙහි සිටියෝය.
4. තවද රජ අමාසාට කථාකොට: තුන් දවසකින් යුදා මනුෂ්‍යයන් මා වෙතට අඬගස්වන්න, ඔබත් මෙහි සිටින්නැයි කීය.
5. මෙසේ අමාසා යුදා මනුෂ්‍යයන් අඬගස්වාගන එන්ට ගොස් ඔහුට නියමකළ කාලයට වඩා ප්‍රමාදවිය.
6. දාවිත් අබිෂයිට කථාකොට: දැන් අබ්සලොම්ට වඩා, බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා අපට අනතුරුකරනවා ඇත. ඔහු පවුරු ඇති නුවරවල් අත්කරගෙන අපෙන් ගැළවී නොයන පිණිස, ඔබේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගන ඔහු ලුහුබැඳ යන්නැයි කීවේය.
7. එවිට යෝවාබ්ගේ මිනිස්සුද කෙරෙතිවරුද පෙලෙතිවරුද සියලු බලවන්තයෝද ඔහු පස්සේ පිටත්ව ගියෝය. බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබැඳ යන පිණිස ඔව්හු යෙරුසලමෙන් නික්ම ගියෝය.
8. ඔවුන් ගිබියොන්හි තිබෙන මහ ගල ළඟ සිටියදී අමාසා ඔවුන් ඉදිරියට ආයේය. යෝවාබ් තමාගේ යුද්ධ ඇඳුම් ඇඳ ඒ උඩ ඉඟ පටියක් බැඳගන උන්නේය, කඩුවක්ද කොපුවේ දමා ඔහුගේ ඉඟටියේ එයින් බැඳ තිබුණේය; ඔහු පිටතට යද්දී ඒක වැටුණේය.
9. යෝවාබ් අමාසාට කථාකොට: මාගේ සහෝදරය, ඔබ සුවසේ සිටිනෙහිදැයි අමාසාට කියා ඔහු සිඹින්ට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේය.
10. නුමුත් අමාසා යෝවාබ් අතේ තිබුණු කඩුව ගැන නොසැලකුවේය. යෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන එක පහරකින්ම ඔහුගේ අතුණු බිම වැගිරෙවුවේය, මෙසේ ඔහු මළේය. යෝවාබ්ද ඔහුගේ සහෝදරවූ අබිෂයිද බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබැඳ ගියෝය.
11. යෝවාබ්ගේ සේවකයන්ගෙන් එක්කෙනෙක් අමාසා ළඟ සිට; යෝවාබ්ට හිතවත්වූ දාවිත්ගේ පක්ෂයට සිටින්නාවූ කවුරු නුමුත් යෝවාබ් පස්සේ යේවයි කීවේය.
12. අමාසා වනාහි මහමාවත මැද ලෙයෙහි පෙරළී උන්නේය. ඉන්නිසා මුළු සෙනඟ නවතින බව ඒ මනුෂ්‍යයා දැක, අමාසා ළඟින් එන සියල්ලන් මෙසේ නවතින බව ඔහු දුටු කල්හි, ඔහු අමාසා මාවතෙන් කෙතට ගෙනගොස් ඔහු පිට රෙද්දක් හෙළුවේය.
13. ඔහු මාවතින් අහක්කළායින් පසු මුළු සෙනඟ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබඳින පිණිස යෝවාබ් පස්සේ ගියෝය.
14. ෂෙබා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රද සියලු බේරීවරුන්ද අතරේ ගොස් ආබෙල්ටත් බෙත්-මයකාටත් පැමුණුණේය. මිනිස්සු රැස්වී ඔහු පස්සේ ගියෝය.
15. ඔව්හු ඇවිත් බෙත්-මයකාහි ආබෙල් වටලාගන නුවර ඉදිරිපිට ගොඩැල්ලක් ඉදිකළෝය; එය පවුර ඉදිරිපිට තිබුණේය. යෝවාබ් සමඟ සිටි මුළු සෙනඟද පවුර හෙළාදමන්ට ඊට පහරදුන්නෝය.
16. එවිට ප්‍රඥාවන්ත ස්ත්‍රියෙක් නුවර සිට මොරගසා: මෙන්න අසන්න, අසන්න; මා යෝවාබ් සමඟ කථාකරන පිණිස මෙහි ළඟාවෙන්ට කියා ඔහුට කිවමැනවියි කීවාය.
17. ඔහු ඈ ළඟට ආ කල ඒ ස්ත්‍රී: ඔබ යෝවාබ්දැයි ඇසුවාය. ඔහුද: එසේයයි උත්තරදුන්නේය. එවිට ඈ: ඔබගේ මෙහෙකාරීගේ වචන ඇසුවමැනවියි ඔහුට කීවාය. ඔහුද: මම අසමියි කීවේය.
18. එවිට ඈ කථාකොට: ඔව්හු සැබවින්ම ආබෙල්හිදී විචාරන්නෝය කියා කථාකරන්ට පුරාණ කාලයේදී මනුෂ්‍යයෝ පුරුදුව සිටියෝය. එසේ ඔව්හු කාරණය තීන්දුකළෝය.
19. මම වනාහි සමාදානය හා විශ්වාසයෙන් යුක්තවූ ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක්කෙනෙකි. ඔබ ඉශ්‍රායෙල්හි නුවරක්ද මවුකෙනෙක්ද නැතිකරන්ට හදන්නෙහිය. ස්වාමීන්වහන්සේ ගේ උරුමය නාස්තිකරන්නේ මක්නිසාදැයි කීවාය.
20. යෝවාබ් උත්තරදෙමින්: නැති නාස්ති කිරීම මාගෙන් දුරුවේවා, දුරුවේවා.
21. මේ කාරණය එසේ නොවේ. බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ එප්‍රයිම් කඳු රටේ මනුෂ්‍යයෙක් දාවිත් රජ්ජුරුවන්ට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. ඔහු පමණක් පාවා දෙන්න, එවිට මම නුවරින් අහක්ව යන්නෙමියි කීවේය. ඒ ස්ත්‍රීද: ඔහුගේ හිස පවුර උඩින් ඔබ වෙතට වීසිකරනු ලබන්නේයයි යෝවාබ්ට කීවාය.
22. එවිට ඒ ස්ත්‍රී ඇගේ ප්‍රඥාවෙන් යුක්තව මුළු සෙනඟ ළඟට ගියාය. ඔව්හු බික්‍රිගේ පුත්‍රවූ ෂෙබාගේ හිස කපා යෝවාබ් වෙතට වීසිකළෝය. යෝවාබ් හොරණෑව පිම්බේය, එවිට ඔව්හු නුවරින් තම තමුන්ගේ කූඩාරම්වලට විසිර ගියෝය. යෝවාබ්ද යෙරුසලමට රජු වෙතට හැරී ආවේය.
23. යෝවාබ් මුළු ඉශ්‍රායෙල් සේනාවට අධිපතියාය. යෙහොයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් අධිපතියාය.
24. අදොරාම් රාජකාරියේ මුලාදෑනියාය. අහිලුද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාත් වාර්තාකරුවාය.
25. ෂෙවා වනාහි ලේකම්ය. ශාදොක්ද අබියාතර්ද පූජකයෝය.
26. යායිර්හි ඊරාත් දාවිත්ගේ මන්ත්‍රීවරයෙක්ය.

ගීතාවලිය 67:1-7
1. නායක වාද්‍යකරුටයි; වීණා ඇතුව ගායනාකිරීමට කාව්‍ය ගීතයකි. පොළොවෙහි ඔබගේ මාර්ගයද සියලු ජාතීන් අතරේ ඔබගේ ගැළවීමද ප්‍රකාශවෙන පිණිස
2. දෙවියන්වහන්සේ අපට කරුණා කරනසේක්වා, ආශීර්වාදකරනසේක්වා, ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවනසේක්වා.
3. දෙවියන්වහන්ස, මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා; සියලු මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා.
4. ජාතීහු සන්තෝෂව ප්‍රීතියෙන් ගී කියත්වා. මක්නිසාද ඔබ යුක්තියෙන් මනුෂ්‍ය වර්ගයන් විනිශ්චයකරනසේක, පොළොවේ ජාතීන් පාලනය කරනසේක.
5. දෙවියන්වහන්ස, මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා; සියලු මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා.
6. පොළොව ස්වකීය වර්ධනය දී තිබේ. දෙවියන්වහන්සේ, එනම් අපේම දෙවියන්වහන්සේ, අපට ආශීර්වාද කරනසේක.
7. දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කරනසේක; පොළොවේ සියලු සීමාවෝද උන්වහන්සේට භයවන්නෝය.

හිතෝපදේශ 16:33-33
33. පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එය මෙහෙයීම මුළුමනින්ම ස්වාමීන්වහන්සේ ගෙන් පැමිණෙයි.

හිතෝපදේශ 17:1-1
1. තරඟ ඇත්තාවූ, මංගල භෝජනවලින් පිරී තිබෙන ගෙයකට වඩා සමාදානය ඇතුව වියළි රොටි කෑල්ලක් හොඳය.

ශුද්ධවර ජොහන් 8:1-27
1. යේසුස්වහන්සේ ඔලීව කන්දට ගියසේක.
2. උන්වහන්සේ අලුයම දේවමාළිගාවට නැවත ආසේක, මුළු සෙනඟ උන්වහන්සේ ළඟට පැමිණියෝය; උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට ඉගැන්වූසේක.
3. එවිට කාමමිථ්‍යාචාරය කරද්දී අසුවූ ස්ත්‍රියෙක් ලියන්නන් හා පරිසිවරුන් විසින් ගෙනැවිත් මැද සිටුවා,
4. උන්වහන්සේට කථාකොට: ආචාරිනි, මේ ස්ත්‍රී කාමමිථ‍්‍යාචාරය කරද්දීම අල්ලනලද්දීය.
5. මෙබඳු අය ගල්ගසා මරන්ට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණකර තිබේ. නුමුත් ඔබ මෑ ගැන කියන්නේ කුමක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය.
6. ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂාකරමින් උන්වහන්සේට වරද තබන්ට කාරණයක් ලබන පිණිසය. නුමුත් යේසුස්වහන්සේ නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.
7. ඔවුන් උන්වහන්සේගෙන් අස අසා සිටියදී උන්වහන්සේ කෙලින්වී ඔවුන්ට කථාකොට: ඔබ සැම අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි කියා,
8. නැවතත් නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.
9. ඔව්හු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. යේසුස්වහන්සේ පමණක් එහි සිටිසේක, ස්ත්‍රීද සිටි තැනම මැද සිටියාය.
10. යේසුස්වහන්සේ කෙලින් වී, ස්ත්‍රියට කථාකොට: ඔව්හු කොහේද? කිසිවෙක් ඔබ වරදට පත්කළේ නැද්දැයි ඇසූසේක.
11. ස්වාමිනි, නැතැයි ඈ කීවාය. එවිට යේසුස්වහන්සේ: මමත් ඔබ වරදට පත් නොකරමි. යන්න, මෙතැන් පටන් තවත් පව් නොකරන්නැයි ඈට කීසේක.]
12. එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක.
13. එබැවින් පරිසිවරු: ඔබ ඔබ ගැනම සාක්ෂිදෙන්නෙහිය; ඔබේ සාක්ෂිය සැබෑ නැතැයි උන්වහන්සේට කීවෝය.
14. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මා ගැනම මා සාක්ෂිදෙතත් මාගේ සාක්ෂිය සැබෑය; මක්නිසාද මම කොතැනින් ආයෙම්ද කොතැනට යම්දැයි දනිමි; එහෙත් මා එන්නේ කොතැනින්ද යන්නේ කොතැනටදැයි ඔබ සැම දන්නේ නැත.
15. ඔබ සැම මාංසාකාරයෙන් විනිශ්චයකරවුය; මම කිසිවෙකු විනිශ්චය නොකරමි.
16. නුමුත් මම විනිශ්චයකරම් නම් මා තනියම නොව මා සහ මා එවූ පියාණන්වහන්සෙත් සිටින බැවින් මාගේ විනිශ්චය සැබෑය.
17. එසේය, මනුෂ්‍යයන් දෙදෙනෙකුගේ සාක්ෂිය සැබෑයයි ඔබ සැමගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබේ.
18. මා ගැන සාක්ෂිදෙන්නේ මමය, මා එවූ පියාණන්වහන්සේද මා ගැන සාක්ෂිදෙනසේකැයි කීසේක.
19. එබැවින් ඔව්හු: ඔබේ පියාණන් කොතැන්හිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබ සැම මාවත් මාගේ පියාණන්වහන්සේවත් අඳුනන්නේ නැත. ඔබ සැම මා ඇඳින්නහු නම් මාගේ පියාණන්වහන්සෙත් අඳුනනවා ඇතැයි කීසේක.
20. උන්වහන්සේ දේවමාළිගාවේ උගන්වමින් මුදල් ගබඩාවේදී මේ වචන කීසේක. උන්වහන්සේගේ වේලාව ඒතාක් නොපැමිණි බැවින් කිසිවෙක් උන්වහන්සේ ඇල්ලුවේ නැත.
21. එබැවින් උන්වහන්සේ නැවත ඔවුන්ට කථාකොට මම අහක්ව යමි, ඔබ සැම මා සොයනවා ඇත, නුමුත් ඔබ සැමගේ පාපයෙහි ඔබ සැම මැරෙනවා ඇත. මා යන ස්ථානයට ඔබ සැමට එන්ට නුපුළුවනැයි කීසේක.
22. එබැවින් යුදෙව්වරු: මා යන ස්ථානයට ඔබ සැමට එන්ට නුපුළුවනැයි මොහු කියන්නේ තමා නසාගන්ට යනවාදැයි කීවෝය.
23. උන්වහන්සේද: ඔබ සැම පහළින් වන්නහුය; මම ඉහළින් වෙමි. ඔබ සැම මේ ලෝකයෙන් වන්නහුය; මම මේ ලෝකයෙන් නොවෙමි.
24. එහෙයින්, ඔබ සැමගේ පාපවල ඔබ සැම මැරෙනවා ඇතැයි ඔබ සැමට කීයෙමි. මක්නිසාද ඒ මමයයි ඔබ සැම විශ්වාසකළොත් මිස නැත්නම් ඔබ සැමගේ පාපවල ඔබ සැම මැරෙන්නහුයයි කීසේක.
25. එබැවින් ඔව්හු උන්වහන්සේට කථාකොට: ඔබ කවුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස්වහන්සේ: මුල පටන් මා විසින් ඔබ සැමට කථාකළ එකමය.
26. ඔබ සැම ගැන කථාකරන්ටත් විනිශ්චයකරන්ටත් බොහෝ කාරණා මට ඇත්තේය. එසේ වුවත් මා එවූ තැනන්වහන්සේ සත්‍යවාදි කෙනෙක්ය; උන්වහන්සේගෙන් ඇසූ දේම මම ලෝකයාට කියමියි කීසේක.
27. උන්වහන්සේ පියාණන්වහන්සේ ගැන ඔවුන්ට කථා කළ බව ඔවුන්ට තේරුණේ නැත.