A A A A A
අවුරුද්දකින් බයිබලය
අප්රේල් 3

ද්විතීය නීති සංග්‍රහය 29:1-29
1. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ හොරේබ්හිදී කළ ගිවිසුම හැර උන්වහන්සේ මෝවබ් දේශයෙහිදී ඔවුන් සමඟ කරනලෙස මෝසෙස්ට අණකළ ගිවිසුමේ වචන මේය.
2. මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට මෙසේ කීය: ස්වාමීන්වහන්සේ මිසර දේශයෙහි ඔබ සැමගේ ඇස් ඉදිරියේදී ඵාරාවෝටද ඔහුගේ සියලු මෙහෙකරුවන්ටද ඔහුගේ මුළු දේශයටද කළාවූ සියල්ල වන
3. ඔබේ ඇස්වලින් දුටුවාවූ මහත් පරීක්ෂණද ලකුණුද ඒ මහත්වූ පුදුමද ඔබ සැම දුටුවහුය.
4. එසේ නුමුත් දැනගැනීමට සිතක්ද දැකීමට ඇස්ද ඇසීමට කන්ද අද දවස දක්වා ස්වාමීන්වහන්සේ ඔබ සැමට නුදුන්සේක.
5. උන්වහන්සේද: මම සතළිස් අවුරුද්දක් ඔබ සැම කාන්තාරයෙහි ගෙනායෙමි. ඔබ සැමගේ වස්ත්‍ර ඔබ සැම පිට පරණ නොවීය, ඔබේ පයෙහි ඔබේ වහන් පරණ නොවීය.
6. ඔබ සැම රොටි කෑවේවත් මුද්‍රික රස හෝ මද්‍යපානය බීවේවත් නැත. මෙසේ වූයේ මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔබ සැම විසින් දැනගන්නා පිණිසයයි කියනසේක.
7. ඔබ සැම මේ ස්ථානයට පැමුණුණ කල හෙෂ්බොන්හි රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද අපට විරුද්ධව යුද්ධයට ආවෝය. අපි ඔවුන්ට පහරදී,
8. ඔවුන්ගේ දේශය අල්ලාගෙන, රූබෙන්වරුන්ටද ගාද්වරුන්ටද මනස්සේගේ අන්ධගෝත්‍රයටද එය උරුමයක් කොට දුනිමුව.
9. එබැවින් ඔබ සැම කරන සියල්ලෙහි ඔබ සැම සඵලවන පිණිස මේ ගිවිසුමේ වචන පවත්වා රක්ෂාකරන්න.
10. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට කී හැටියටද, ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ හැටියටද, අද උන්වහන්සේ ඔබ තමන්ට සෙනඟක් කොට ස්ථිරකරන පිණිසත් ඔබේ දෙවියන්වහන්සේ වන පිණිසත්,
11. ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුමටද උන්වහන්සේ අද ඔබ සමඟ කරන දිවුරුමටද ඇතුල්වීමට,
12. ඔබ සැමගේ ප්‍රධානියෝද ඔබ සැමගේ ගෝත්‍රද ඔබ සැමගේ වැඩිමහල්ලෝද ඔබ සැමගේ මුලාදෑනීහුද වන සියලු
13. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සහ ඔබ සැමගේ බාලයන්ද භාර්යාවන්ද ඔබේ දර කපන්නා සහ වතුර අදින්නාත් ඇතුළුව ඔබේ අන්දායම්වල සිටින විදේශියාද යන ඔබ සැම සියල්ලෝම අද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටිනහුය.
14. නුමුත් මේ ගිවිසුමත් මේ දිවුරුමත් මා කරන්නේ ඔබ සැම සමඟ පමණක් නොව
15. මෙහි අද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අප වෙත සිටින්නා සමඟත් අද මෙහි අප වෙත නැති තැනැත්තා සමඟත්ය.
16. (මක්නිසාද මිසර දේශයෙහි අපි කෙසේ විසීමුද කියාත් ඔබ සැම පසුකර ආ ජාතීන් මැදින් අපි කෙසේ පසුකර ආවෙමුද කියාත් ඔබ සැම දන්නහුය;
17. ඔවුන් අතරේ තිබුණ ඔවුන්ගේ පිළිකුල්කම්ද ඔවුන්ගේ ලී ගල් රන් රිදී දේව රූපද ඔබ සැම දුටුවහුය.)
18. එබැවින් ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට සේවයකරන්ට යන පිණිස අද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන සිතක් ඇති පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් පවුලක්වත් ගෝත්‍රයක්වත් ඔබ සැම අතරෙහි නොසිටින හැටියටත් වසද තිත්තකමද හටගන්වන මුලක් ඔබ සැම අතරෙහි නොතිබෙන හැටියටත් බලාගන්න.
19. තවද එබඳු කෙනෙක් මේ දිවුරුමේ වචන අසන විට: මම මාගේ සිතේ මුරණ්ඩුකමින් හැසිරෙම් නුමුත් මට සමාදානය ලැබේයයි කියමින් පිපාසායට බේබදුකම එකතුකරන පිණිස තමාගේ සිතතුළ තමාට ආශීර්වාද කරගත්තොත්,
20. ස්වාමීන්වහන්සේ ඔහුට කමානොවනසේක, ස්වාමීන්වහන්සේ ගේ උදහස සහ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව ඇවිළෙන්නේය. මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපයද ඔහු පිට පිහිටන්නේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ නාමය අහස යටින් මකාදමා,
21. මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන ගිවිසුමේ සියලු ශාපවල ප්‍රකාරයට නපුර පිණිස සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඔහු වෙන්කරනසේක.
22. එවිට ඔබ සැමට පසුව නැගිටින පරම්පරාව වන ඔබ සැමගේ දරුවන්ද දුර රටකින් එන විදේශියාද එසේය, සියලු ජාතීන්ද ඒ දේශයේ පීඩාවල් සහ ස්වාමීන්වහන්සේ ඒක පිටට පැමිණෙවු රෝගද,
23. ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසිනුත් කෝපයෙනුත් විනාශකළාවූ සොදොම් සහ ගොමොරාහිද අද්මා සහ ශෙබොයිම්හිද විනාශය මෙන් ඒ මුළු දේශයෙහි වැපිරීමක්වත් කිසි පලා ජාතියක් වැවීමක්වත් හටගැනීමක්වත් නොවන ලෙස ඒක ගෙන්දගමෙනුත් ලුණුවලිනුත් දාලා තිබෙන බවද දුටු කල්හි:
24. මේ දේශයට ස්වාමීන්වහන්සේ මෙසේ කළේ මක්නිසාද? මේ මහත්වූ උදහසේ බලවත්කමට කාරණය කිමෙක්දැයි කියනවා ඇත.
25. එවිට මනුෂ්‍යයෝ කථාකොට: ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට ඔවුන් සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම ඔවුන් අත්හැර ගොස්,
26. ඔවුන් දැනනොගත්තාවූ, උන්වහන්සේ ඔවුන්ට නියම නොකළාවූ අන් දෙවිවරුන්ට සේවයකරන්ටත් නමස්කාරකරන්ටත් යෙදුණු බැවින්,
27. මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපය මේ දේශය පිටට පමුණුවන හැටියට ස්වාමීන්වහන්සේ ගේ උදහස ඊට විරුද්ධව ඇවුළුණේය;
28. ස්වාමීන්වහන්සේ උදහසෙන්ද කෝපයෙන්ද මහත් අමනාපයෙන්ද ඔවුන් ස්වකීය භූමිය මතුපිටින් අහක්කර, අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන් අන් දේශයකට හෙළාදැමූසේකැයි කියන්නෝය.
29. රහස්වූ දේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට අයිතිය. එහෙත් මේ ව්‍යවස්ථාවේ සියලු වචන අප විසින් පවත්වන පිණිස එළිදරව්කර තිබෙන දේ අපටත් අපේ දරුවන්ටත් සදාකාලයටම අයිතිය.

ද්විතීය නීති සංග්‍රහය 30:1-20
1. තවද මා විසින් ඔබ ඉදිරියෙහි තැබූ ආශීර්වාදයද ශාපයද යන මේ සියලු දේ ඔබ පිටට පැමිණි කල්හි ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් ඔබ පන්නාදැමූ සියලු ජාතීන් අතරේදී ඒවා සිතට ගෙන,
2. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී, අද මා විසින් ඔබට අණකරන සියල්ල ලෙස ඔබද ඔබේ පුත්‍රයෝද මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේගේ හඬට කීකරුවන්නෝ නම්,
3. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ වහල්කම පහකර, ඔබට අනුකම්පාකොට, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ විසිරෙවූ සියලු ජනයන් අතරෙන් ඔබ නැවත රැස්කරගන්නසේක.
4. ඔබෙන් පිටිවහල්කරනු ලැබූ කිසිවෙක් අහසේ කෙළවර දක්වා දුරව සිටියත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එතැනින් පවා ඔබ රැස්කොට එතැනින් ඔබ ගෙනෙනසේක.
5. ඔබේ පියවරුන් භුක්තිවින්දාවූ දේශය ඔබ විසින් භුක්තිවිඳින පිණිස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ එහි පමුණුවා, උන්වහන්සේ ඔබට යහපතකොට, ඔබේ පියවරුන්ට වඩා ඔබ වැඩිකරනසේක.
6. ඔබ ජීවත් වෙන පිණිස ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ප්‍රේමකරන හැටියට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ සිතද ඔබේ දරුමුණුබුරන්ගේ සිත්ද චර්මඡේද්‍යය කරනසේක.
7. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ද මේ සියලු ශාප ඔබට පීඩා කළාවූ ඔබේ සතුරන් පිටද ඔබට වෛරවෙන්නන් පිටද තබනවා ඇත.
8. ඔබ හැරී ඇවිත්, ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුව, අද මා විසින් ඔබට අණකරන උන්වහන්සේගේ සියලු ආඥා පවත්වන්නෙහිය.
9. එවිට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ අත්වල සියලු වැඩවල ඵලයද ඔබේ ගර්භයේ ඵලයද ඔබේ සිව්පාවුන්ගේ ඵලයද ඔබේ භූමියේ ඵලය ද යහපත පිණිස ඔබට වැඩිකර දෙනසේක.
10. මක්නිසාද මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ආඥාද පනත්ද පවත්වන හැටියට ඔබ උන්වහන්සේගේ හඬට කීකරුවන්නෙහිනම්, ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන් කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන් නැවත ඔබට යහපත පිණිස ඔබ කෙරෙහිත් ප්‍රසන්නවනසේක.
11. අද මා විසින් ඔබට අණකරන මේ ආඥාව ඔබට අමාරු වැඩිවූ එකක්වත් දුරව තිබෙන එකක්වත් නොවේ.
12. අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා ස්වර්ගයට නැගී, එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි ඔබ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය ස්වර්ගයෙහි තිබෙනවා නොවේ.
13. අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා මුහුදෙන් එතරට ගොස් එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි ඔබ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය මුහුදෙන් එතර තිබෙනවාත් නොවේ.
14. නුමුත් ඒ වචනය ලෙස ඔබ කරන පිණිස එය ඔබට ඉතා ළංව ඔබේ මුඛයේද ඔබේ සිතේද තිබේ.
15. මෙන්න, මම අද ජීවනය හා යහපතද මරණය හා විපතද ඔබ ඉදිරියෙහි තැබීමි.
16. එසේය, ඔබ ජීවත්ව සිට වැඩිවෙන පිණිසද ඔබ හිමිකරගන්ට ඇතුල්වෙන දේශයේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාද කරන පිණිසද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ප්‍රේමකොට, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥාද පනත්ද විනිශ්චයන්ද පවත්වන්ට මම අද ඔබට අණකරමි.
17. නුමුත් ඔබ කීකරුනොවන හැටියට ඔබේ සිත හැරීගොස්, අන් දෙවිවරුන්ට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත්
18. ඔබ ඇදී ගියොත්, සැබවින් ඔබ සැම විනාශවෙන බව අද ඔබ සැමට දන්වමි; හිමිකරගන්න පිණිස ඇතුල්වීමට ඔබ යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට ඔබ සැමගේ දවස් වැඩිනොවන්නේය.
19. මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද ඔබ සැම ඉදිරියෙහි තැබූ බවට අද ඔබ සැමට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් ඔබත් ඔබේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන,
20. ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන හැටියට ඔවුන්ට දිවුළ භූමිය මතුපිට ඔබ වාසයකරන පිණිස, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ප්‍රේමකොට, උන්වහන්සේගේ හඬට කීකරුවී, උන් වහන්සේට ඇලුම්ව සිටින්න. මක්නිසාද ඔබේ ජීවනයත් ඔබේ දවස්වල වැඩිවීමත් එයයයි කීවේය.

ගීතාවලිය 40:1-5
1. නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි. මම ඉවසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටියෙමි; උන්වහන්සේ කන් යොමා මාගේ මොරගැසීම ඇසූසේක.
2. උන්වහන්සේ භයානක වළකින්, හැල්පතෙන්, මා ඔසවා, පර්වතයක් පිට මාගේ පා තබා, මාගේ ගමන් ස්ථිරකළසේක.
3. උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක. බොහෝදෙනෙක් ඒ දැක, භයව,
4. ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නෝය. ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නාවූ, උඩඟුකාරයන්වත් බොරුවලට හැරෙන්නන්වත් නොසලකන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දෙක්ය.
5. මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය. ඒවා ඔබ ඉදිරියෙහි පිළිවෙළින් තැබිය නොහැකිය; ඒවා ප්‍රකාශකරන්ටත් ඒ ගැන කථා කරන්ටත් කැමැත්තෙමි, නුමුත් ඒවා ගණන්කරන්ට පුළුවන්වාටත් වැඩිය.

හිතෝපදේශ 13:9-10
9. ධර්මිෂ්ඨයන්ගේ එළිය ප්‍රීතියෙන් බැබළෙයි; එහෙත් දුෂ්ටයන්ගේ පහන නිවීයයි.
10. උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.

ශුද්ධවර ලූක් 7:1-30
1. උන්වහන්සේ සෙනඟ අසමින් සිටියදී තමන්ගේ සියලු වචන කියා නිමකළායින් පසු, උන්වහන්සේ කපර්ණවුමට ඇතුල්වූසේක.
2. එක්තරා සියයකට මුලාදෑනියෙකුගේ ප්‍රියවූ දාසයෙක් රෝගීව මරණාසන්නව සිටියේය.
3. ඔහු යේසුස්වහන්සේ ගැන අසා, උන්වහන්සේ ඇවිත් තමාගේ දාසයා සුවපත්කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලන් උන්වහන්සේ වෙතට යැවීය.
4. ඔව්හු යේසුස්වහන්සේ ළඟට පැමිණ: ඔහු ඔබගෙන් ඒක ලබන්ට සුදුස්සෙක්ය.
5. ඔහු අපේ ජාතියට ප්‍රේමවන්නේය, ඔහුම අපේ සිනගෝගය අපට සාදාදුන්නේය කියා බොහෝසෙයින් ඉල්ලුවෝය.
6. එවිට යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගියසේක. උන්වහන්සේ ගෙට නුදුරුව සිටිද්දී සියයකට මුලාදෑනියා උන්වහන්සේ ළඟට මිත්‍රයන් යවා: ස්වාමීනි, වෙහෙස නූව මැනව. ඔබ මාගේ පියස්ස යටට එන්ට මම නොවටිමි.
7. එහෙයින් ඔබ ළඟට එන්ටත් මම වටින්නෙක්යයි නොසිතුවෙමි. නුමුත් වචනයකින් කිව මැනව, එවිට මාගේ මෙහෙකරුවා සුවපත්වේ.
8. මක්නිසාද මමත් ආණ්ඩුබලයට යටත් මනුෂ්‍යයෙක්මි, මා යටතෙහිද හේවායෝ සිටිති. එක්කෙනෙකුට-යවයි මා කී කල ඔහු යන්නේය; තවත් කෙනෙකුට එවයි කී කල ඔහු එන්නේය; මාගේ දාසයාට-මේක කරවයි කී කල ඔහු ඒක කරන්නේයයි උන්වහන්සේට කියා යැවීය.
9. යේසුස්වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිතව, හැරී තමන් අනුව ආ සමූහයාට කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරේවත් මෙබඳු මහත් ඇදහිල්ලක් මට සම්බවුණේ නැතැයි ඔබ සැමට කියමියි කීසේක.
10. යවනලද්දෝ ගෙට හැරී ගිය කල දාසයා සුවපත්ව සිටිනවා දුටුවෝය.
11. ඉන්පසු උන්වහන්සේ නායින් නම් නුවරකට ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝද මහත් සමූහයක්ද උන්වහන්සේ සමඟ ගියෝය.
12. උන්වහන්සේ නුවර දොරටුවට ළංවූ කල, බලව, මළාවූ කෙනෙක් පිටතට ගෙනයනලද්දේය. ඔහු තමාගේ මවුගේ එකම පුත්‍රයාය, ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනඟක් ඈ සමඟ ආවෝය.
13. ස්වාමීන්වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පාකොට: අඬන්ට එපායයි ඈට කීසේක.
14. උන්වහන්සේ ළඟට ගොස් දෙනයට අතගැසූසේක. එවිට උසුලාගෙනයන්නෝ නැවතුණෝය. උන්වහන්සේ: යෞවනය, නැගිටින්නැයි ඔබට කියමියි කීසේක.
15. එවිට මළාවූ ඔහු නැගිට හිඳ කථාකරන්ට පටන්ගත්තේය. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට ඔහු භාරදුන්සේක.
16. එකල සියල්ලෝම භයපත්ව: උතුම්වූ අනාගතවක්තෘ කෙනෙක් අප අතරෙහි නැගුටුණුසේක, දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ දෙස බැලූසේක කියා දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.
17. උන්වහන්සේ ගැන මේ ප්‍රවෘත්තිය මුළු යුදයෙහිද වටකර රට මුළුල්ලෙහිද පතළවිය.
18. යොහන්ගේ ගෝලයෝ ඔහුට මේ සියල්ල දැන්වුවෝය.
19. එවිට යොහන් තමාගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා: එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් වෙන කෙනෙකු බලා සිටිය යුතුද කියා අසන්ට ස්වාමීන්වහන්සේ වෙතට ඔවුන් යැවීය.
20. ඒ මනුෂ්‍යයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් වෙනකෙනෙකු බලා සිටිය යුතුදැයි අහන පිණිස යොහන් බව්තීස්ත අප ඔබ වෙතට එවුවේයයි කීවෝය.
21. ඒ පැයේදී උන්වහන්සේ බොහෝ දෙනෙකුගේ රෝගද ව්‍යාධිද සුවකර, දුෂ්ටාත්ම පහකර, නොයෙක් අන්ධයන්ට පෙනීම දුන්සේක.
22. උන්වහන්සේ උත්තරදෙමින්: ඔබ සැම ඇසූ දුටු දේ ගොස් යොහන්ට දන්වන්න; බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍රකරනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.
23. යමෙකුට මම පැකිලීමේ හේතුවක් නොවන්නේද ඔහු ආශීර්වාදලද්දෙකැයි ඔවුන්ට කීසේක.
24. යොහන්ගේ දූතයන් නික්ම ගිය විට උන්වහන්සේ යොහන් ගැන සමූහයන්ට කථාකරන්ට පටන්ගෙන: ඔබ සැම කුමක් බලන්ට වනයට ගියහුද? සුළඟින් සෙලවෙන බටගසක්ද?
25. නුමුත් කුමක් බලන්ට ගියහුද? සිහින් වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයෙක්ද? බලව, අලංකාර වස්ත්‍ර හැඳ සැපජීවිකාවෙන් සිටින්නෝ රාජමාළිගාවල සිටිති.
26. නුමුත් කුමක් බලන්ට ගියහුද? අනාගතවක්තෘ කෙනෙක්ද? එසේය, ඔබ සැමට කියමි, අනාගතවක්තෘ කෙනෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙක්ය.
27. බලව, මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, ඔහු ඔබ ඉදිරියෙහි ඔබේ මාර්ගය සාදන්නේය කියා ලියා තිබෙන්නේ මොහු ගැනය.
28. ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතුරෙන් යොහන්ට වඩා උත්තමයෙක් ඇත්තේ නැතැයි ඔබ සැමට කියමි. එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.-
29. මුළු සෙනඟද සුංගම් අයකරන්නෝද ඒ අසා, ඔවුන් යොහන්ගේ බව්තීස්මයෙන් බව්තීස්මය ලැබ සිටි නිසා, දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ බව ඒත්තුගත්තෝය.
30. නුමුත් පරිසිවරු ව්‍යවස්ථාව උගන්වන්නෝද ඔහුගෙන් බව්තීස්මය නොලැබ, දෙවියන්වහන්සේගේ අදහස තමුන්ටම එපාකළෝය.-