A A A A A
අවුරුද්දකින් බයිබලය
අප්රේල් 29

රූත් 3:1-18
1. එවිට ඇගේ නැන්දාවූ නායොමි ඈට කථාකොට: මාගේ දියණියෙනි, ඔබට ශුභසිද්ධියක් වෙන පිණිස මා විසින් ඔබට නිවාසයක් සොයන්ට ඕනෑ නොවේද?
2. ඉතින් ඔබ සමඟ සිටිය යෞවනියන්ගේ ස්වාමියාවූ බෝවස් අපේ නෑයෙක් නොවේද? ඔහු අද රෑ පාවරේ යව පොළන්නේය.
3. එබැවින් ඔබ නා, තෙල්ගාගෙන, ඔබේ වස්ත්‍ර ඇඳගෙන, පාවරට යන්න. ඒ මනුෂ්‍යයා කා බී නිමවන තුරු ඔබ දකින්ට ඔහුට ඉඩනාරින්න.
4. ඔහු නිදාගන්න විට, ඔහු නිදාගන්න තැන බලාගන ඇතුළට ගොස් ඔහුගේ පාවැසුම් ඇර නිදාගන්න; එවිට ඔබ විසින් කළ යුතු දේ ඔහු ඔබට දන්වනවා ඇතැයි කීවාය.
5. ඔබ මට කියන සියල්ල කරන්නෙමියි ඈ ඈට කීවාය.
6. ඈ පාවරට ගොස් ඇගේ නැන්දා ඈට අණකළ සියල්ල ලෙස කළාය.
7. බෝවස් කා බී ඔහුගේ සිත ප්‍රීතිවූ කල, ඔහු ධාන්‍ය ගොඩේ කෙළවරෙහි නිදාගන්ට ගියේය. ඈද හෙමින් අවුත් ඔහුගේ පාදවලින් වැස්ම ඇර නිදාගත්තාය.
8. මධ්‍යම රාත්‍රියේ ඒ මනුෂ්‍යයා භයපත්ව හැරී බලා, ස්ත්‍රියක් තමාගේ පාද ළඟ නිදාඉන්නවා දැක: ඔබ කවුදැයි ඇසීය.
9. ඈද: මම ඔබගේ මෙහෙකාරීවූ රූත්ය; එබැවින් ඔබගේ වස්ත්‍රය ඔබගේ මෙහෙකාරී පිට අතුරනු මැනවි; මක්නිසාද ඔබ ළඟ නෑයෙකැයි කීවාය.
10. ඔහු: මාගේ දියණියෙනි, ස්වාමීන්වහන්සේ ගෙන් ඔබට ආශීර්වාද ලැබේවා. ඔබ දිළිඳු හෝ පොහොසත් හෝ තරුණයන් පස්සේ නොගිය කාරණයෙන් ඔබ පටන්ගැන්මට වඩා අන්තිමේදී වැඩි කරුණාව පෙන්වූයෙහිය.
11. දැන් මාගේ දියණියෙනි, භයනොවෙන්න; ඔබ කියන සියල්ල ඔබට ඉෂ්ටකරන්නෙමි. මක්නිසාද මාගේ නුවර සියලු මනුෂ්‍යයෝ ඔබ සුශිලවත් ස්ත්‍රියක් බව දනිති.
12. ඉතින් මා ඔබට ළඟ නෑයෙක් බව සැබෑය. නුමුත් මට වඩා ළඟ නෑයෙක් ඇත්තේය.
13. අද රෑට පමාවෙන්න, හෙට උදය ඔහු නෑයෙකුගේ යුතුකම ඔබට කළොත් යහපති. ඔහු නෑයෙකුගේ යුතුකම ඉෂ්ටකෙරේවා. නුමුත් නෑයෙකුගේ යුතුකම ඔබට ඉෂ්ටකරන්ට ඔහු අකැමැතිනම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම එය ඉෂ්ටකරන්නෙමි. පහන්වනතෙක් නිදාගන්නැයි කීවේය.
14. ඈ පහන්වන තෙක් ඔහුගේ පාමුල නිදාහිඳ, එකිනෙකා ඇඳිනගන්ට පුළුවන්වෙන්ට මත්තෙන් නැගුටුණාය. ඔහුද: ඒ ස්ත්‍රිය පාවරට ආ බව කිසිවෙකුට නොදැනේවයි කීවේය.
15. තවද ඔහු: ඔබ පොරවා සිටින සළුව මෙහි ගෙනත් අල්ලන්නැයි කීවේය; ඈ ඒක ඇල්ලූ කල යව නැළි හයක් මැන ඈ පිට තබා නුවරට ගියේය.
16. ඈ තම නැන්දා ළඟට ආ කල: මාගේ දියණියෙනි, ඔබ කවුදැයි ඇසුවාය.
17. එවිට ඈ ඒ මනුෂ්‍යයා තමාට කළ සියල්ල නැන්දාට දන්වා-ඔබේ නැන්දා ළඟට හිස් අතින් නොයන්නැයි ඔහු මට කියා මේ යව නැළි හය මට දුන්නේයයි කීවාය.
18. එවිට ඈ: මාගේ දියණියෙනි, කාරණය කෙසේ සිදුවන්නේද කියා දැනගන්නා තුරු ඉන්න; මක්නිසාද ඒ මනුෂ්‍යයා අද මේ දේ තීන්දුකරනතුර නිවාඩු නොගන්නේයයි කීවාය.

රූත් 4:1-22
1. බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේය. බලව, බෝවස් කී ළඟ නෑයා එහි පැමිණියේය. බෝවස් නම කියා: ආ! ඔබද? මෙහි ඇවිත් වාඩිවෙන්නැයි කීය. ඔහු ගොස් වාඩිවුණේය.
2. එවිට ඔහු නුවර වැඩිමහල්ලන්ගෙන් දසදෙනෙක් කැඳවාගන: ඔබ සැමත් මෙහි වාඩිවෙන්නැයි කීවේය. ඔව්හුද වාඩිවුණෝය.
3. ඔහු ඒ ළඟනෑයාට කථාකොට: මෝවබ් රටින් හැරී ඇවිත් සිටින නායොමි අපගේ සහෝදරවූ එලීමෙලෙක්ට තිබුණු බිම් කොටස විකුණන්නීය.
4. මෙහි හිඳින්නන් සහ මාගේ සෙනඟගේ වැඩිමහල්ලන් ඉදිරියෙහි ඒක මිලේට ගන්න කියා කාරණය ඔබට දන්වන්ට සිතුවෙමි. ඉතින් ඒක ගළවාගන්ට කැමතිනම් ගළවාගන්න. ගළවාගන්ට අකැමැතිනම් ඒ බව දැනගන්නා පිණිස මට කියන්න. මක්නිසාද ඒක ගළවාගන්ට ඔබ සහ ඔබට පසුව මාත් ඇර වෙන කිසිවෙක් නැතැයි කීවේය. ඒක මම ගළවා ගන්නෙමියි ඔහු කීය.
5. එවිට බෝවස්: නායොමි අතින් ඒ බිම මිලේට ගන්නා දවසේදී, මැරුණු අයගේ නම උරුමය කෙරෙහි පවතින පිණිස මැරුණු අයගේ භාර්යාවවූ මෝවබිය රූත්ගෙනුත් ඒක මිලේට ගන්ට ඕනෑයයි කීවාය.
6. ඒ ළඟ නෑයා කථාකොට: මට ඒක ගළවාගන්ට බැරිය; එසේ කළොත් මාගේ උරුමයට අලාභවෙයි. මට ගළවාගන්ට බැරි නිසා මට තිබෙන මිදීමේ බලය ඔබම භාරගන්නැයි කීවාය.
7. පෙර කාලයේ මුදාගැනීමද හුවමාරු කරගැනීමද ගැන සියලු කාරණා ඉශ්‍රායෙල්වරුන් අතරේ ස්ථිරකිරීමේ සිරිත මෙසේය: එක්කෙනෙක් තමාගේ මිරිවැඩිය ගළවා අනික් අයට දෙන්නේය. ඒක ඉශ්‍රායෙල්වරුන් අතරේ සහතිකකිරීමේ විධියව තිබුණේය.
8. ඒ නිසා ළඟ නෑයා: ඔබ ඒක මිලේට ගන්නැයි බෝවස්ට කියා තමාගේ මිරිවැඩිය ගැළෙවුවේය.
9. බෝවස් වැඩිමහල්ලන්ටත් මුළු සෙනඟටත් කථාකොට: එලීමෙලෙක්ට තිබුණ සියල්ලත් කිලියොන්ට සහ මාලොන්ට තිබුණු සියල්ලත් මා විසින් නායොමි අතින් මිලදී ගත් බවට ඔබ සැම අද සාක්ෂිකාරයෝය.
10. ඇරත් මැරුණු අයගේ නාමය ඔහුගේ සහෝදරයන් අතරෙන්ද ඔහුගේ ස්ථානයේ දොරටුවෙන්ද මැකීනොයන පිණිස මැරුණු අයගේ උරුමය කෙරෙහි ඔහුගේ නාමය ගෙනයන පිණිස මාලොන්ගේ භාර්යාවවූ මෝවබිය රූත් මාගේ භාර්යාව කොට මිලදී ගතිමි. ඊට ඔබ සැම අද සාක්ෂිකාරයෝයයි කීවේය.
11. දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ ඔබේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. ඔබ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.
12. ස්වාමීන්වහන්සේ මේ යෞවනීගෙන් ඔබට දෙන බීජය කරණකොටගෙන ඔබේ වංශය යූදා නිසා තාමාර් බිහිකළ පෙරෙශ්ගේ වංශය හා සමානවේවයි කීවෝය.
13. මෙසේ බෝවස් රූත් පාවාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වූවාය. ඔහු ඈ වෙතට පැමිණි කල ස්වාමීන්වහන්සේ ඈට ගර්භෝත්පත්තිය දුන්සේක, ඈ පුත්‍රයෙකු බිහිකළාය.
14. ස්ත්‍රියෝ නායොමිට කථාකොට: අද ඔබට ළඟ නෑයෙක් නැතුව සිටින්ට නෑරියාවූ ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසා වේවා, ඔහුගේ නාමය ඉශ්‍රායෙල්හි කීර්තිමත් වේවා.
15. ඔහු වනාහි ඔබේ ජීවිතය ප්‍රාණවත් කරන්නෙක්ද ඔබේ මහලු වයසේදී ඔබ පෝෂ්‍යකරන්නෙක්ද වන්නේය. මක්නිසාද ඔබට ආදරය ඇත්තාවූද පුත්‍රයන් සත්දෙනෙකුට වඩා ඔබට යහපත් වූද ඔබේ යෙහෙළිය ඔහු බිහිකළායයි කීවෝය.
16. නායොමි ළදරුවා ගෙන තමාගේ ළයෙහි හොවා ඇතිකළාය.
17. අසල්වාසි ස්ත්‍රියෝ: නායොමිට පුත්‍රයෙක් උපන්නේය කියා ඕබෙද් යන නම ඔහුට තැබුවෝය. ඔහු දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියාය.
18. පෙරෙශ්ගේ පෙළපත් මේය: පෙරෙශ් හෙශ්රොන් ඉපදවිය;
19. හෙශ්රොන් රාම් ඉපදවිය, රාම් අම්මිනාදාබ් ඉපදවිය;
20. අම්මිනාදාබ් නාෂොන් ඉපදවිය, නාෂොන් සල්මොන් ඉපදවිය;
21. සල්මොන් බෝවස් ඉපදවිය, බෝවස් ඕබෙද් ඉපදවිය;
22. ඕබෙද් යෙස්සේ ඉපදවිය, යෙස්සේ දාවිත් ඉපදවිය.

ගීතාවලිය 52:6-9
6. ධර්මිෂ්ඨයෝ ඒ දැක භයවී, ඔහුට සිනාසෙමින්:
7. බලව, දෙවියන්වහන්සේ තමාගේ ශක්තිය කොට නොගත්තාවූ, තමාගේ බොහෝ වස්තු කෙරේ විශ්වාසය තැබුවාවූ, තමාගේ දුෂ්ටකමෙහි බලවත්වූ මනුෂ්‍යයා මේයයි කියන්නෝය.
8. මම වනාහි දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සරු ඔලීව ගහක් වැන්නෙමි. දෙවියන්වහන්සේගේ කරුණාව කෙරෙහි සදාකාලයටම විශ්වාසය තබමි.
9. ඔබ එසේ කළ නිසා සදාකල් ඔබට ස්තුතිකරන්නෙමි. තවද ඔබගේ ශුද්ධවන්තයන් ඉදිරියෙහිදී ඔබගේ නාමය කෙරෙහි බලා සිටින්නෙමි, මක්නිසාද ඒ යහපත්ය.

හිතෝපදේශ 15:6-7
6. ධර්මිෂ්ඨයාගේ ගෙයි බොහෝ වස්තු තිබේ; එහෙත් දුෂ්ටයාගේ ආදායමෙහි කරදර ඇත්තේය.
7. ප්‍රඥාවන්තයන්ගේ තොල් දැනගැන්ම පතුරුවයි; එහෙත් අඥානයන්ගේ සිත ස්ථිර නැත.

ශුද්ධවර ලූක් 20:1-26
1. තවද උන්වහන්සේ ඒ දවස්වලින් එකකදී දේවමාළිගාවේ සෙනඟට උගන්වමින්, ශුභාරංචිය දේශනාකරමින් සිටියදී, නායක පූජකයෝද ලියන්නෝද වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේ ළඟට පැමිණ කථාකොට:
2. ඔබ මේ දේ කරන්නේ මොන බලයකින්ද? නොහොත් මේ බලය ඔබට දුන්නේ කවුදැයි අපට කියන්නැයි උන්වහන්සේට කීවෝය.
3. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මමත් ඔබ සැමගෙන් ප්‍රශ්නයක් අසමි; ඒක මට කියන්න:
4. යොහන්ගේ බව්තීස්මය වුණේ ස්වර්ගයෙන්ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන්දැයි ඇසූසේක.
5. එවිට ඔව්හු තමුන් අතරේ කථාකොට: ස්වර්ගයෙන්යයි කීවොත්, ඔහු අදහා නොගත්තේ මක්නිසාදැයි කියනවා ඇත.
6. මනුෂ්‍යයන්ගෙන්යයි කීවොත්, යොහන් අනාගතවක්තෘ කෙනෙක් කොට මුළු සෙනඟ විශ්වාසකරන බැවින්, ඔවුන් අපට ගල් ගසනවා ඇතැයි කියා,
7. කොතැනින් වුණේදැයි නොදැනිමුයයි උත්තරදුන්නේය.
8. එවිට යේසුස්වහන්සේ: මමත් මොන බලයකින් මේ දේ කරම්දැයි ඔබ සැමට නොකියමියි ඔවුන්ට කීසේක.
9. උන්වහන්සේ සෙනඟට මේ උපමාව කියන්ට පන්ගෙන: මනුෂ්‍යයෙක් මිදිවත්තක් වවා, ගොවීන්ට බදුදී, බොහෝ කලකට වෙන රටකට ගියේය.
10. ඵල අවස්ථාවේදී ගොවියන් විසින් මිදි වත්තේ ඵල කොටස ඔහුට දෙන පිණිස ඔහු ඔවුන් ළඟට දාසයෙකු යැවීය. නුමුත් ගොවීහු ඔහුට තළා, ඔහු හිස් අතින් ඇරියෝය.
11. පසුව ඔහු වෙන දාසයෙකු යැවීය. ගොවියෝ ඔහුටත් තළා, නිග්‍රහකොට, ඔහු හිස් අතින් ඇරියෝය.
12. නැවතද ඔහු තුන්වෙනියෙකු යැවීය. ඔව්හු ඔහුටත් තුවාලකොට පිටතට දැම්මෝය.
13. එවිට මිදිවත්තේ ස්වාමියා කථාකොට: මම මක්කරම්ද? මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා යවමි. සමහරවිට ඔවුන් ඔහුට ගෞරවකරනවා ඇතැයි කීවේය.
14. නුමුත් ගොවීහු ඔහු දැක, ඔවුනොවුන් කථාකොට: මොහු උරුමක්කාරයාය. උරුමය අපට වෙන පිණිස මොහු මරමුව කියා,
15. ඔහු මිදිවත්තෙන් පිටත දමා මැරුවෝය. එහෙයින් මිදිවත්තේ ස්වාමියා ඔවුන්ට කුමක්කරනවා ඇද්ද?
16. ඔහු ඇවිත් ඒ ගොවීන් විනාශකොට, මිදිවත්ත අන්‍යයන්ට දෙන්නේයයි කීසේක. ඔව්හු ඒ අසා: එසේ නොවේවයි කීවෝය.
17. නුමුත් උන්වහන්සේ ඔවුන් දෙස බලා: එසේවී නම්, ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබීය යන ලියවිල්ලේ අර්ථය මොකද?
18. ඒ ගල පිට වැටෙන කවුරු නුමුත් කැබලිකරනු ලබන්නේය; ඒ ගල යමෙකු පිට වැටෙන්නේද, එයින් ඔහු සුණුවිසුණු කරනු ලබන්නේයයි කීසේක.
19. නායක පූජකයෝද ලියන්නෝද මේ උපමාව ඔවුන්ට විරුද්ධව උන්වහන්සේ කී බව දැන, ඒ පැයේදීම උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය; නුමුත් සෙනඟට භයවූවෝය.
20. ඔව්හු උන්වහන්සේගේ වචන අල්ලාගෙන, උන්වහන්සේ ආණ්ඩුවටද ආණ්ඩුකාරයාගේ බලයටද භාරදෙන පිණිස බලාසිට, තුමූ ධර්මිෂ්ඨයෝයයි හඟවන්නාවූ ඔත්තුකාරයන් යැවුවෝය.
21. ඔව්හු: ආචාරීන්වහන්ස, ඔබ යුතුලෙස කථාකරන බවත් උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා, සැබෑලෙස දෙවියන්වහන්සේගේ මාර්ගය උගන්වන බවත් දනිමුව.
22. කායිසර්ට ආදායම් දීම අපට යුතුද අයුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
23. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රයෝගය දැන: මට මස්සක් පෙන්වන්න.
24. එහි තිබෙන රූපයත් සටහනත් කාගේදැයි ඔවුන්ගෙන් ඇසූසේක. කායිසර්ගේයයි ඔව්හු කීවෝය.
25. එසේවී නම් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක.
26. සෙනඟ ඉදිරියෙහිදී උන්වහන්සේගේ කීම අල්ලාගන්ට බැරිවිය. ඔව්හු උන්වහන්සේගේ උත්තරයට පුදුමව, නිශ්ශබ්දව සිටියෝය.