A A A A A
අවුරුද්දකින් බයිබලය
අප්රේල් 19

වීරාවලිය 3:1-31
1. කානාන්හි සියලු යුද්ධ දැනනොගත්තාවූ සියලු ඉශ්‍රායෙල්වරුන් සෝදිසිකරන පිණිසද,
2. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පරම්පරාවලින් පළමු යුද්ධ කරන්ට දැනනොගත් අයට එය උගන්වන පිණිසද ස්වාමීන්වහන්සේ ඉතිරිකළ ජාතීහු මොව්හුය:
3. පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත් සියලු කානානිවරුත් ශීදොන්වරුත් බාල්හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසයකළ හිවීවරුත්ය.
4. ඔවුන් ඉතිරිකළේ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉශ්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට අණකෙරෙවූ උන්වහන්සේගේ ආඥාවලට ඔව්හු ඇහුම්කන් දෙන්නෝද නැද්දැයි දැනගැනීමට ඔවුන් කරණකොටගෙන ඉශ්‍රායෙල්වරුන් සෝදිසිකරන පිණිසය.
5. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කානානිවරුන්ද හිත්තීවරුන්ද අමෝරිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද අතරෙහි වාසයකොට,
6. ඔවුන්ගේ දූවරුන් පාවාගෙන, තමුන්ගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දී, ඔවුන්ගේ දෙවිවරුන්ට සේවයකළෝය.
7. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කළෝය, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට බාල් දේවතාවුන්ටත් අෂේරීන්ටත් සේවයකළෝය.
8. එබැවින් ස්වාමීන්වහන්සේ ගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ, මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් අතට උන්වහන්සේ ඔවුන් පාවාදුන්සේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කුෂන්-රිෂාතයිම්ට අට අවුරුද්දක් මෙහෙකළෝය.
9. ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ට මොරගැසූකල ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ගැළවුම්කාරයෙකු නැගුටුවා දී ඔවුන් ගැළවූසේක, ඒ වනාහි කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල්ය.
10. ස්වාමීන්වහන්සේ ගේ ආත්මය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකරමින් යුද්ධයට පිටත්ව ගියේය. ස්වාමීන්වහන්සේ මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් ඔහු අතට පාවාදුන්සේක. ඔහුගේ අත කුෂන්-රිෂාතයිම්ට විරුද්ධව ජයගත්තේය.
11. එවිට ඒ සතළිස් අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය. කෙනස්ගේ පුත්‍රවූ ඔත්නීයෙල්ද මළේය.
12. නැවත ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ඔවුන් ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව මෝවබ්හි රජවූ එග්ලොන් බලවත් කළසේක.
13. ඔහු අම්මොන් සහ අමලෙක් පුත්‍රයන් රැස්කරවාගන ගොස් ඉශ්‍රායෙල්ට පහර දුන්නේය, ඔව්හු ඉඳිගස් නුවරද හිමිකරගත්තෝය.
14. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට දසඅට අවුරුද්දක් සේවයකළෝය.
15. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ට මොරගැසූ කල ස්වාමීන්වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට නැගුටුවාදුන්සේක. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත්‍රවූ වමත හුරු මනුෂ්‍යයෙක්වූ ඒහුද්ය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට ඔහු අත තෑග්ගක් යැවුවෝය.
16. ඒහුද් තෙමේ රියනක් දිග ඇති දෙමුවහත් කඩුවක් සාදාගෙන එය තමාගේ දකුණු කළවේ තමාගේ ඇඳුම් යට බැඳගන ගොස්,
17. මෝවබ්හි රජවූ එග්ලොන්ට ඒ තෑග්ග ඔප්පුකෙළේය. එග්ලොන් වනාහි ඉතා තර මනුෂ්‍යයෙකි.
18. ඒහුද් තෑග්ග ඔප්පුකර නිමවූ විට තෑග්ග ගෙන ගිය මිනිසුන් පිටත්කර හැරියේය.
19. නුමුත් ඔහු ගිල්ගාල් ළඟ තිබෙන ගල් කපන තැන සිට හැරීගොස්: රජ්ජුරුවෙනි, ඔබට කියන්ට රහස්වූ පණිවිඩයක් මට තිබේයයි කීවේය. රජතෙමේ: නිශ්ශබ්ද වෙයව්යයි කීය. එවිට ඔහු වෙත සිටි සියල්ලෝ ඔහු කෙරෙන් පිටතට ගියෝය.
20. ඒහුද් ඔහු ළඟට පැමිණියේය; ඔහු තමාගේ සිසිල් උඩුමහල්තලයෙහි තනියම ඉඳගන උන්නේය. ඒහුද් තෙමේ: ඔබට දෙවියන්වහන්සේගේ පණිවිඩයක් දන්වන්ට මට ඇතැයි කීය. ඔහු හුනස්නෙන් නැගිට්ටේය.
21. ඒහුද් තමාගේ වමත දිඟුකොට දකුණු කළවයෙන් කඩුව හැරගෙන ඔහුගේ බඩට ඇන්නේය.
22. තලය සමඟ මිටත් ඇතුළට ගියේය. ඔහුගේ බඩෙන් ඔහු කඩුව ඇද නොගත් බැවින් තලය මාංසයෙන් වැසී ගොස් පිටිපස්සෙන් එළියට ආයේය.
23. ඒහුද් පිටත ශාලාවට ගොස් උඩුමහල් දොරවල් වසා තබා අගුල් දමාගියේය.
24. ඔහු පිටත්ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ ඇවිත් බැලූහ; තවද ඔව්හු උඩුමහලේ දොරවල් අගුල්දමා තිබෙනවා දැක: සැබවින් රජු සිසිල් උඩුමහල්තලයෙහි තමාගේ පාද වසාගන ඉන්නවා වෙන්ට ඕනෑයයි කීවෝය.
25. ඔව්හු තුෂ්ණිම්භූතව බලා සිටියෝය. ඔහු උඩුමහලෙහි දොරවල් නොඇරිය බැවින් ඔව්හු යතුර ගෙන ඒවා ඇරියකල ඔවුන්ගේ ස්වාමියා බිම වැටී මැරී ඉන්නවා දුටුවෝය.
26. ඔවුන් ප්‍රමාදවෙද්දී ඒහුද් ගැළවී ගල් කපන තැන පසුකර සෙයිරාට ගැළවී ගියේය.
27. ඔහු ඇවිත් එප්‍රායිම් කඳු රටේදී හොරණෑවක් පිම්බේය, එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔහු සමඟ කඳුරටෙන් බැස ගියෝය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්,
28. ඔවුන්ට කථාකොට: මා පස්සේ එන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ සතුරන් වන මෝවබ්වරුන් ඔබ සැම අතට පාවා දී තිබේයයි කීවේය. ඔව්හු ඔහු පස්සේ ගොස් මෝවබ් ළඟ තිබෙන යොර්දාන්හි තොටුපළවල් අල්ලාගෙන, කිසිවෙකුට එයින් එගොඩවෙන්ට ඉඩ නුදුන්නෝය.
29. ඔව්හු ඒ ප්‍රස්තාවේදී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝය. ඔවුන් සියල්ලෝම ශක්තිමත්ව සියල්ලෝම බලවන්තයෝව සිටියෝය; එක්කෙනෙක්වත් ගැළවුණේ නැත.
30. ඒ දවසේදී මෝවබ්වරු ඉශ්‍රායෙල්වරුන්ට යටත්කරනු ලැබුවෝය. ඉක්බිති අසූ අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය.
31. ඔහුට පසුව පැමිණියේ අනාත්ගේ පුත්‍රවූ ෂම්ගර්ය. හෙතෙම පිලිස්තිවරුන්ගෙන් මනුෂ්‍යයන් හසියයක් හරක් අංකුසයකින් මැරීය. ඔහුද ඉශ්‍රායෙල් ගැළවුවේය.

වීරාවලිය 4:1-24
1. ඒහුද් මැරුණායින් පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවත ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය.
2. ස්වාමීන්වහන්සේ ද හාශොර්හි රජකම්කළ කානාන්හි රජවූ යාබින් අතට ඔවුන් පාවාදුන්සේක; ඔහුගේ සේනාවේ අධිපතියා ජාතීන්ට අයත් හරොෂෙත්හි විසූ සිසෙරාය.
3. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ට මොරගැසුවෝය. මක්නිසාද ඔහුට යකඩ රථ නවසියයක් තිබුණේය; ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විසි අවුරුද්දක් බලවත් ලෙස පීඩා කෙළේය.
4. ඒ කාලයෙහි ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකෙළේ ලප්පිදොත්ගේ භාර්යාව වූ අනාගතවක්ත්‍රියක්වූ දෙබොරා තොමෝය.
5. ඈ එප්‍රායිම් කඳු රටේ රාමාටත් බෙතෙල්ටත් අතරේ තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට වාසයකළාය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ විනිශ්චය පිණිස ඈ ළඟට ආවෝය.
6. ඈ කෙදෙශ්නප්තලීයෙන් අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් අඬගස්වාගන ඔහුට කථාකොට: ඔබ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්,
7. මම යාබින්ගේ සේනාවේ අධිපතියාවූ සිසෙරාද ඔහුගේ රථද සමුදාවද කීෂොන් ඔය ළඟ ඔබ වෙතට රැස්කර ඔහු ඔබ අතට පාවා දෙන්නෙමියි කියාත් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළා නොවේදැයි කීවාය.
8. එවිට බාරාක් ඈට කථාකොට: ඔබ මා සමඟ යනවා නම් මම යන්නෙමි. ඔබ මා සමඟ නොයනවා නම් මමත් නොයන්නෙමියි කීය.
9. ඈද: සැබවින් මම ඔබ සමඟ යන්නෙමි. එසේවී නුමුත් ඔබ යන ගමන ඔබේ ගෞරවය පිණිස නොවන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්ත්‍රියක් අතට සිසෙරා පාවාදෙනවා ඇතැයි කීවාය. දෙබොරා තොමෝ පිටත්වී බාරාක් සමඟ කෙදෙෂ්ට ගියාය.
10. බාරාක් සාබුලොන්වරුන්ද නප්තලීවරුන්ද කෙදෙෂ්ට අඬගස්වාගත්තේය; මනුෂ්‍යයන් දසදහසක් ඔහු කැටුව ගියෝය. දෙබොරාත් ඔහු සමඟ ගියාය.
11. එකල කේනීයවූ හෙබෙර් මෝසෙස්ගේ මාමා වන හොබාබ්ගේ පුත්‍රයන්වූ කේනිවරුන්ගෙන් වෙන්වී, කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි අලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගන සිටියේය.
12. එවිට අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් තාබෝර් කන්දට ගිය බව සිසෙරාට දන්වනලද්දේය.
13. සිසෙරා තමාගේ සියලු රථ එනම් යකඩ රථ නවසියයක්ද තමා සමඟ සිටි මුළු සෙනඟද ජාතීන්ට අයත් හරොෂෙත්හි සිට කීෂොන් ඔය ළඟට අඬගස්වාගත්තේය.
14. එවිට දෙබොරා බාරාක්ට කථාකොට: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සිසෙරා ඔබ අතට පාවාදෙන දවස මේය. ස්වාමීන්වහන්සේ ඔබට පෙරටුව යනවා නොවේදැයි කීවාය. එහෙයින් බාරාක්ද ඔහු පස්සේ මනුෂ්‍යයන් දසදහසක්ද තාබෝර් කන්දෙන් බැස ගියෝය.
15. එවිට ස්වාමීන්වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථද ඔහුගේ මුළු සේනාවද බාරාක් ඉදිරියෙහි කඩුමුවහතින් කලඹා විසුරුවා දැමූසේක; සිසෙරා තමාගේ රථයෙන් බැස පයින් පලා ගියේය.
16. නුමුත් බාරාක් රථ හා සේනාව පස්සේ ජාතීන්ට අයත් හරොෂෙත් දක්වා එළවාගන ගියේය. සිසෙරාගේ මුළු සේනාව කඩුමුවහතින් වැටුණාය; එක්කෙනෙක්වත් ඉතුරුවුණේ නැත.
17. නුමුත් හාශොර්හි රජවූ යාබින් හා කේනියවූ හෙබෙර්ගේ වංශය අතරේ සමාදානය තිබුණු බැවින් සිසෙරා කේනිය හෙබෙර්ගේ භාර්යාවවූ යායෙල්ගේ කූඩාරමට පයින් පලා ගියේය.
18. යායෙල් සිසෙරාගේ පෙරමගට ගොස්: මාගේ ස්වාමිනි, ඇතුළට අව මැනවි; භයනොවී මා ළඟට ඇතුළට අවමැනවියි ඔහුට කීවාය. ඔහු ඈ සමඟ කූඩාරමට ගියේය, ඈ පලස් රෙද්දකින් ඔහු වැසුවාය.
19. ඔහුද: කරුණාකර වතුර ටිකක් බොන්ට දෙන්න, මට පිපාසායයි කීවේය. ඈ කිරි භාජනයක් ඇර ඔහුට බොන්ට දී ඔහු වැසුවාය.
20. ඔහු ඈට කථාකොට: ඔබ කූඩාරමේ දොරකඩ සිට, යම් කෙනෙක් ඇවිත්-මෙහි කවුරුවත් ඉන්නවාදැයි ඔබෙන් ඇසුවොත්, නැත කියන්නැයි ඈට කීවේය.
21. එවිට හෙබෙර්ගේ භාර්යාවවූ යායෙල් කූඩාරම් ඇණයක් හැරගෙන මිටියකුත් අතේ ඇතුව හීන්සැරේ ඔහු ළඟට ගොස්, නිදාගන තෙහෙට්ටුවී සිටියාවූ ඔහුගේ නළල් කෙළවරට ඇණය පොළොවට යනතෙක් ගසා එය සිදුරුකළාය; මෙසේ ඔහු විසංඥව මළේය.
22. බාරාක් සිසෙරා පස්සේ එළවාගන ආ කල යායෙල් ඔහුගේ පෙරමගට ගොස්: එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ඔබට පෙන්වමියි ඔහුට කීවාය. ඔහු ඈ වෙතට ආකල සිසෙරා වැටී මැරී ඉන්නවාත් ඇණය ඔහුගේ නළල් කෙළවරේ ඇනී තිබෙනවාත් දුටුවේය.
23. මෙසේ දෙවියන්වහන්සේ ඒ දවසේදී කානාන්හි රජවූ යාබින් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියේ යටත් කළසේක.
24. කානාන්හි රජවූ යාබින් විනාශකරදමන තුරු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අත කානාන්හි රජවූ යාබින්ට විරුද්ධව වඩ වඩා බලවත්වුණේය.

ගීතාවලිය 48:9-14
9. දෙවියන්වහන්ස, ඔබගේ මන්දිරය මැදදී ඔබගේ කරුණාගුණය මෙනෙහි කෙළෙමුව.
10. දෙවියන්වහන්ස, ඔබගේ නාමය ලෙසම ඔබගේ ප්‍රශංසාවත් පොළොවේ සීමා දක්වා වේ. ඔබගේ දකුණත ධර්මිෂ්ඨකමින් පූර්ණය.
11. ඔබගේ විනිශ්චයන් නිසා සියොන් කන්ද සන්තෝෂවේවා, යූදාගේ දූවරු ප්‍රීතිවෙත්වා.
12. මතු පරම්පරාවට කියන පිණිස සියොන් වට ඇවිදිව්, එහි හාත්පස යව්.
13. එහි බලකොටු ගණන්කරව්; එහි ප්‍රාකාර හොඳින් බලා, එහි මාලිගා සෝදිසිකරව්.
14. මක්නිසාද මේ දෙවියන්වහන්සේ සදාකල්හිම අපේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ මරණය දක්වා අපට මග පෙන්වනසේක.

හිතෝපදේශ 14:18-19
18. නුවණ නැත්තන්ට මෝඩකම උරුම වන්නේය; එහෙත් බුද්ධිමත්හු දැනගැන්ම නමැති ඔටුන්න පැළඳගනිති.
19. නපුරෝ යහපතුන් ඉදිරියෙහිද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයාගේ දොරටු ළඟද වැඳ වැටෙති.

ශුද්ධවර ලූක් 14:25-35
25. තවද බොහෝ සමූහයෝ උන්වහන්සේ සමඟ ගියෝය. උන්වහන්සේ ආපසු හැරී ඔවුන්ට කියනසේක්:
26. මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මවුටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත්, එසේය, තමාගේම ජීවිතයටත් ද්වේෂ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්ට බැරිය.
27. තමාගේ කුරුසිය උසුලාගෙන මා පස්සේ නේන තැනැත්තාට මාගේ ගෝලයා වෙන්ට බැරිය.
28. මක්නිසාද කොතක් ගොඩනගන්ට කැමතිවූ ඔබ සැමගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?
29. එසේ නොකළොත්, අත්තිවාරමක් දමා නිමකරන්ට බැරිවූ විට ඒ දකින සියල්ලෝ:
30. මේ මනුෂ්‍යයා ගොඩනගන්ට පටන්ගත් නුමුත් නිමකරන්ට ඔහුට බැරිවීයයි කියා ඔහුට සරදම්කරන්ට පටන්ගන්නෝය.
31. නොහොත් වෙන රජෙකුට විරුද්ධව යුද්ධයට යන කවර රජෙක් තමාට විරුද්ධව විසිදහසක් ගෙනඑන්නාවූ ඔහු ඉදිරියට දසදහසක් සමඟ යන්ට පුළුවන්දෝ කියා පළමුකොට හිඳ මන්ත්‍රණය නොකරන්නේද?
32. බැරිනම් ඒ රජ දුර සිටියදීම ඔහු පණිවිඩයක් යවා, සමාදාන ගිවිසුම් ඉල්ලා සිටියි.
33. එසේම ඔබ සැම අතරෙහි තමා සන්තක සියල්ලම අත්නාරින කවරෙකුටවත් මාගේ ගෝලයා වෙන්ට බැරිය. ඉඳින් ලුණු හොඳය.
34. නුමුත් ලුණෙහි පවා ලුණු ගතිය නැතිවුණොත්, ඒවා රසකරන්නේ කුමකින්ද?
35. පොළොවටවත් කසළ ගොඩටවත් ඒවා සුදුසු නැත. ඒවා අහක දමති. අසන්ට කන් ඇත්තේ අසාවයි කීසේක.