A A A A A
අවුරුද්දකින් බයිබලය
අප්රේල් 1

ද්විතීය නීති සංග්‍රහය 25:1-19
1. මනුෂ්‍යයන් අතරේ අරෝවක් හටගැනී ඔවුන් විනිශ්චය පිණිස ආවොත්, විනිශ්චයකාරයෝ ඔවුන් විනිශ්චයකරමින් ධර්මිෂ්ඨයා නිදොස්කර දුෂ්ටයා වරදට පත්කරත්වා;
2. ඉදින් දුෂ්ටයා තළනු ලැබීමට සුදුස්සෙක් නම්, විනිශ්චයකාරයා ඔහු බිම බාවා ඔහුගේ දුෂ්ටකමේ හැටියට තමා ඉදිරියේදී ගණන්කර ඔහුට පහර තළවන්නේය.
3. ඔහුට පහර සතළිසක් තළන්ට පුළුවන, ඊට වඩා නොතැළිය යුතුය. මක්නිසාද ඊට වඩා බොහෝ පහර ඔහුට තැළුවොත් ඔබේ සහෝදරයා ඔබට නීචව පෙනෙනවා ඇත.
4. ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න.
5. සහෝදරයන් එකට වාසයකරන අතර ඔවුන්ගෙන් එක්කෙනෙක් පුත්‍රයෙකු නැතුව මළොත් මළ අයගේ භාර්යාව අන්‍යවූ පිට කෙනෙකුට සරණ නොවිය යුතුය. ඇගේ පුරුෂයාගේ සහෝදරයා ඈ වෙතට පැමිණ ඈ තමාට භාර්යාවකොට පාවාගෙන පුරුෂයාගේ සහෝදරයෙකුගේ යුතුකම ඈට කෙරේවා.
6. තවද මළාවූ සහෝදරයාගේ නාමය ඉශ්‍රායෙල් කෙරෙන් නොමැකෙන පිණිස ඈ වදන කුලුඳුලා මළ සහෝදරයාගේ නාමය දරන්නේය.
7. ඒ මනුෂ්‍යයා තමාගේ සහෝදරයාගේ භාර්යාව පාවාගන්ට අකැමැති නම් ඔහුගේ සහෝදරයාගේ භාර්යාව දොරටුවෙහි සිටින වැඩිමහල්ලන් වෙතට ගොස්: මාගේ පුරුෂයාගේ සහෝදරයා තමාගේ සහෝදරයාට ඉශ්‍රායෙල්හි නාමයක් උපදවන්ට කැමති නැත, ඔහු පුරුෂයෙකුගේ සහෝදරයාගේ යුතුකම මට කරන්ට නොකැමැත්තේයයි කියාවා.
8. එවිට ඔහුගේ නුවර වැඩිමහල්ලෝ ඔහු අඬගස්වා ඔහු සමඟ කථාකරත්වා. ඔහු ස්ථිරව සිට ඈ පාවාගන්ට නොකැමැත්තෙමියි කියන්නේ නම්,
9. ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වැඩිමහල්ලන් ඉදිරියෙහි ඔහු ළඟට ගොස්, ඔහුගේ මිරිවැඩියක් ඔහුගේ පයින් ගළවා, ඔහුගේ මුහුණට කෙළගසා: තමාගේ සහෝදරයාගේ පවුල ගොඩ නොනගන මනුෂ්‍යයාට මෙසේ කළ යුතුයයි උත්තරදෙමින් කියාවා.
10. මිරිවැඩිය මුදනු ලැබූ තැනැත්තාගේ ගෙය යන නම ඉශ්‍රායෙල්වරුන් අතරේ ඔහුට කියනු ලබන්නේය.
11. මනුෂ්‍යයන් එකිනෙකා සමඟ දබරකරන කල එක්කෙනෙකුගේ භාර්යාව ඇගේ පුරුෂයාට ගහන තැනැත්තාගේ අතින් ඔහු ගළවාගන්ට ළංව ඇගේ අත දිගුකර අනික් අයගේ රහසඟ ඇල්ලුවොත්,
12. ඇගේ අත කපාදමන්න, ඔබේ ඇස ඈ කෙරෙහි දයා නොකෙරේවා.
13. ඔබේ මල්ලේ වෙනස් කිරුම් පඩි එනම් ලොකු එකක් සහ කුඩා එකක් තබානොගන්න.
14. ඔබේ ගෙයි වෙනස් මිමි එනම් ලොකු එකක් සහ කුඩා එකක් තබානොගන්න.
15. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් වැඩිවන පිණිස සම්පූර්ණවූ හරිවූ කිරුම් පඩියක් සහ සම්පූර්ණවූ හරිවූ මිම්මක් ඔබ ළඟ තබා ගන්න.
16. මක්නිසාද එබඳු දේ කරන සියල්ලෝ එනම් අධර්මිෂ්ඨ ලෙස ක්‍රියාකරන සියල්ලෝ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය.
17. ඔබ සැම මිසරයෙන් ආ කල්හි අමලෙක් විසින් මගදී කළ දේ,
18. එනම් ඔහු දෙවියන්වහන්සේට භයනොවී, ඔබ ක්ලාන්තව වෙහෙසව සිටි කල මගදී ඔබට සම්මුඛව, ඔබ සැමට පස්සෙන් ආවාවූ සියලු දුර්වලයන්ට පහරදුන් හැටි සිහිකරන්න.
19. එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හිමිකරගැනීමට උරුමයක් කොට ඔබට දෙන දේශයේදී වටකර සිටින ඔබේ සියලු සතුරන්ගෙන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට විශ්‍රාමය දුන් විට, අමලෙක් ගැන සිහිවීම අහස යටින් මකාදමන්න; එය මතකනැති නොකරන්න.

ද්විතීය නීති සංග්‍රහය 26:1-19
1. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස ඔබට දෙන දේශයට ඔබ පැමිණ ඒක හිමිකරගෙන එහි වසන කල්හි,
2. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන ඔබේ දේශයෙන් රැස්කරගන්නාවූ භූමියේ සියලු ඵලවලින් ප්‍රථම ඒවායෙන් ස්වල්පයක් රැගෙන පෙට්ටියක දමාගෙන, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයට යන්න.
3. ඔබ ඒ දවස්වල සිටින පූජකයා ළඟට පැමිණ: ස්වාමීන්වහන්සේ අපට දෙන ලෙස අපේ පියවරුන්ට දිවුළ දේශයට මා ඇවිත් සිටිනවාය කියා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට අද ප්‍රකාශකර සිටිමියි ඔහුට කියන්න.
4. පූජකයා ඔබේ අතින් පෙට්ටිය ගෙන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ පූජාසනය ඉදිරිපිට ඒක තබාවා.
5. එවිට ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකර: මාගේ පියාණෝ නැතිවෙන්ට ගිය අරාමියයෙක්ය, ඔහු ස්වල්පදෙනෙකුන් සමඟ මිසරයට ගොස් එහි වාසය කොට මහත්වූ බලවත්වූ ගණනින් බොහෝවූ ජාතියක් විය.
6. මිසරවරුද අපට නපුරුකම් කරමින් අපට පීඩාකොට අප තද වහල්කමට පත්කළෝය.
7. අපි අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට මොරගැසීමුව, ස්වාමීන්වහන්සේ අපේ හඬ අසා, අපේ පීඩාවත් වෙහෙසත් හිරිහැරයත් බලා,
8. බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකමින්ද ලකුණුවලින්ද හාස්කම්වලින්ද අප මිසරයෙන් පිටතට පමුණුවා,
9. මේ ස්ථානයට අප ගෙනවුත්, කිරිද මීපැණිද ගලා යන දේශයක් වන මේ දේශය අපට දුන්සේක.
10. දැන් ස්වාමීන්වහන්ස, මෙන්න, ඔබ මට දී තිබෙන භූමියේ ඵලවලින් ප්‍රථම ඒවා ගෙනායෙමියි කියා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තබා, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට,
11. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබටද ඔබේ පවුලටද දුන් සියලු යහපත් දේ ගැන ඔබද ලෙවීයයාද ඔබ සැම අතරෙහි වසන විදේශියාද ප්‍රීතිවන්න.
12. දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තුන්වෙනි අවුරුද්දේදී ඔබේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම ඔබ වෙන්කර තීන්දුකළ කල්හි, ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද ඔබේ නුවර දොරටු තුළදී කා තෘප්තියට පැමිණෙන පිණිස ඒවා ඔවුන්ට දී,
13. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකොට: ඔබ විසින් මට අණ කළ ඔබගේ මුළු ආඥාව ලෙස පිරිනැමූ දේවල් මම මාගේ ගෙයින් වෙන්කොට ඒවා ලෙවීයයාටද විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද දුනිමි. ඔබගේ ආඥාවලින් කිසිවක් කඩනොකෙළෙමි, ඒවා සිහිනැතිනොකෙළෙමි.
14. මාගේ දුකේදී එයින් කෑවේවත්, අපවිත්‍රකමේදී එයින් අහක්කළේවත්, මළ කෙනෙකු උදෙසා එයින් දුන්නේවත් නැත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට කන්දී, ඔබ මට අණකළ සියල්ල ලෙස කෙළෙමි.
15. ඔබගේ ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට බලා, ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටද ඔබ අපේ පියවරුන්ට දිවුළ ලෙස අපට දුන්නාවූ කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන භූමියටද ආශීර්වාදකළ මැනවයි කියන්න.
16. මේ පනත් හා විනිශ්චයවල් පවත්වන්ට අද දවසේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකරනසේක. එබැවින් ඒවා ඔබේ මුළු සිතින්ද ඔබේ මුළු ආත්මයෙන්ද පවත්වන්ට බලාගන්න.
17. ඔබ ස්වාමීන්වහන්සේ ඔබේ දෙවියන්වහන්සේ කොට පිළිගෙන උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයන්ද පවත්වා උන්වහන්සේගේ හඬට කන්දෙන හැටියට අද පොරොන්දුවුණෙහිය.
18. ස්වාමීන්වහන්සේ ද තමන්ගේ සියලු ආඥා ඔබ විසින් පවත්වන පිණිස තමන් සන්තක සෙනඟක් කොට ඔබට කී ලෙස ඔබ පිළිගන්ටත්,
19. තමන් මැවූ සියලු ජාතීන්ට වඩා කීර්තියෙන්ද නාමයෙන්ද ගෞරවයෙන්ද ඔබ උසස්කරන්ටත්, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී ලෙස ඔබ තමන්වහන්සේට ශුද්ධවූ සෙනඟක් කරගන්ටත් අද ඔබට පොරොන්දුවූසේකැයි කීවේය.

ගීතාවලිය 39:7-11
7. දැන් වනාහි, ස්වාමිනි, මම කුමක් බලා සිටිම්ද? මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහිය
8. මාගේ සියලු වරදවලින් මා මිදුව මැනව. අඥානයාට මා නින්දා හේතුවක් නොකළ මැනව.
9. ඔබ එය කළ නිසා, මම ගොළුවීමි, මුඛය නොහැර සිටියෙමි.
10. ඔබගේ පහර මා කෙරෙන් ඉවත්කළ මැනව. ඔබගේ අත් පහරෙන් මම ක්ෂයවීමි.
11. ඔබ අයුතුකම නිසා තරවටුකිරීම් වලින් මනුෂ්‍යයාට දඬුවම්කරන කල කාවෙකු මෙන් ඔහුගේ අලංකාරය ක්ෂයකරවනසේක. සැබවින් කොයි මනුෂ්‍යයාත් නිෂ්ඵලකමය.

හිතෝපදේශ 13:4-6
4. අලසයාගේ ප්‍රාණය ආශාවන නුමුත් ඔහුට කිසිවක් නැත; එහෙත් කඩිසරයන්ගේ ප්‍රාණය තරවෙයි.
5. ධර්මිෂ්ඨයා බොරු කීමට ද්වේෂකෙරේ; එහෙත් දුෂ්ටයා පිළිකුලක්ව ලජ්ජාවට පත්වෙයි.
6. ධර්මිෂ්ඨකම සෘජු හැසිරීම ඇත්තා රැකවල්කරයි; එහෙත් දුෂ්ටකම පාපිෂ්ඨයා පෙරළා දමයි.

ශුද්ධවර ලූක් 6:1-26
1. තවද එක් සබත් දවසක උන්වහන්සේ ගොයම් කෙත් මැදින් යමින් සිටිසේක; උන්වහන්සේගේ ගෝලයෝ කරල් කඩා අතින් පොඩිකර කෑවෝය.
2. එවිට පරිසිවරුන්ගෙන් සමහරෙක්: සබත් දවසේදී නොකටයුතු දෙයක් ඔබ සැම කරන්නේ මක්නිසාදැයි කීවෝය.
3. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දාවිත් තමාටද තමා සමඟ සිටිය අයටද බඩගිනිවූ කල්හි කළ දේ,
4. එනම් දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට මිස වෙන කාටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි රැගෙන කා, තමා සමඟ සිටි අයටත් දුන් කාරණයවත් ඔබ සැම කියවා නැද්දැයි කීසේක.
5. තවද: මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ ස්වාමියායයි උන්වහන්සේ ඔවුන්ට කීසේක.
6. තවත් සබත් දවසක උන්වහන්සේ සිනගෝගයට ඇතුල්ව ඉගැන්වූසේක. එහි දකුණත වියළී තිබුණු මනුෂ්‍යයෙක් සිටියේය.
7. එවිට ලියන්නෝද පරිසිවරුද උන්වහන්සේට වරද තබන්ට මාර්ගයක් සොයාගන්නා පිණිස උන්වහන්සේ සබත් දවසෙදී සුවකරනවා ඇද්ද කියා බලා සිටියෝය.
8. නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන: නැගිට මැද සිටින්නැයි වියළි අත ඇති මනුෂ්‍යයාට කීසේක. ඔහු නැගිට මැද සිටියේය.
9. එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සබත් දවසේදී යුතුවන්නේ යහපතක් කිරීමද? නොහොත් නපුරක් කිරීමද? ප්‍රාණයක් ගැළවීමද? නොහොත් නැතිකිරීමදැයි ඔබ සැමගෙන් අසමියි කීසේක.
10. තවද උන්වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටකර බලා, ඔහුට කථාකොට: ඔබේ අත දිගුකරන්නැයි කීසේක. ඔහු එසේ කෙළේය.
11. එවිට ඔහුගේ අත සුවවිය. නුමුත් ඔව්හු උමතුවෙන් පිරී: යේසුස්වහන්සේට කුමක් කරමුදැයි එකිනෙකා අතරේ කථාකරගත්තෝය.
12. තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාච්ඤාකරන පිණිස කන්දකට ගොස් දෙවියන්වහන්සේට යාච්ඤාකරමින් මුළු රාත්‍රිය ගතකළසේක.
13. පහන්වූ කල උන්වහන්සේ තමන්ගේ ගෝලයන් කැඳවා ඔවුන්ගෙන් දොළොස් දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට ප්‍රේරිතයෝයයි නම් තැබූසේක.
14. ඔව්හු කවුරුදයත්-උන්වහන්සේ විසින් පේතෘස්ය කියා නම්කළ සීමොන් සහ ඔහුගේ සහෝදරවූ අන්දෘද, යාකොබ් සහ යොහන්ද, පිලිප් සහ බර්තොලොමෙව්ද,
15. මතෙව් සහ තෝමස්ද, අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ ජ්වලිතයාය කියනලද සීමොන්ද,
16. යාකොබ්ගේ පුත්‍රවූ යූදස් සහ ද්‍රෝහියාවු යූදස් ඉස්කාරියොත්ද යන මොව්හුය.
17. උන්වහන්සේ ඔවුන් සමඟ බැස ඇවිත් සමභූමියක නැවතී සිටිසේක, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් මහත් සමූහයක්ද උන්වහන්සේගේ වචන අසන්ටත් තමුන්ගේ රෝග සුවකරවාගන්ටත් මුළු යුදය හා යෙරුසලමෙනුත් තීර් හා සීදොන්හි මුහුදුකරෙනුත් ආවාවූ බොහෝ දෙනෙක්ද සිටියෝය;
18. අශුද්ධාත්මයන්ගෙන් පීඩිතවූවෝ සුව කරනු ලැබුවෝය.
19. උන්වහන්සේගෙන් ආනුභාවය නික්මවිත් ඔවුන් සියල්ලන් සුවකළ බැවින්, මුළු සමූහයා උන්වහන්සේට අතගසන්ට උත්සාහකළෝය.
20. එවිට උන්වහන්සේ තමන් ගෝලයන් දෙසට ඇස් ඔසවා කියනසේක්: දිළිඳුවූ ඔබ සැම ආශීර්වාදලද්දෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ සැමගේ ය.
21. දැන් බඩගිනි ඇති ඔබ සැම ආශීර්වාදලද්දෝය. මක්නිසාද ඔබ සැම තෘප්තියට පැමිණෙන්නහුය. දැන් හඬන්නාවූ ඔබ සැම ආශීර්වාදලද්දෝය. මක්නිසාද ඔබ සැම සිනාසෙන්නහුය.
22. මනුෂ්‍ය පුත්‍රයා නිසා මනුෂ්‍යයන් ඔබ සැමට වෛරකරන කලද තමුන්ගේ සමාගමෙන් ඔබ සැම වෙන්කර, ඔබ සැමට නින්දාකර, ඔබ සැමගේ නාමය නපුරුයයි පහකරන කලද ඔබ සැම ආශීර්වාදලද්දෝය.
23. ඒ දවසේදී ප්‍රීතිවෙන්න, ප්‍රීතියෙන් නටන්න. මක්නිසාද ස්වර්ගයෙහි ඔබ සැමගේ විපාකය මහත්ය. ඔවුන්ගේ පියවරු අනාගතවක්තෘවරුන්ටත් එසේම කළෝය.
24. නුමුත් ධනවන්තවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැමගේ සැනසීම ඔබ සැමට ලැබී තිබේ.
25. දැන් තෘප්තියට පැමිණ සිටින ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම බඩගිනිවීමට පැමිණෙන්නහුය. දැන් සිනාසෙන්නාවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම ශෝකව අඬන්නහුය.
26. සියලු මනුෂ්‍යයන් ඔබ සැම ගැන හොඳ කියන කල ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔවුන්ගේ පියවරු බොරු අනාගතවක්තෘන්ටත් එසේම කළෝය.