A A A A A
අවුරුද්දකින් බයිබලය
මාර්තු 23

ද්විතීය නීති සංග්‍රහය 7:1-26
1. ඔබ හිමිකරගන්ට යන්නාවූ දේශයට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පමුණුවා නොයෙක් ජාතීන්වන හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද යන ඔබට වඩා මහත්වූ බලසම්පන්නවූ ජාතීන් සත ඔබ ඉදිරියෙන් පහකර දමන කල්හිද,
2. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් ඔබ අතට පාවාදෙන්ටත් ඔබ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද ඔබ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.
3. ඔවුන් සමඟ ආවාහ විවාහ නොකරන්න; ඔබේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න, ඔහුගේ දුව ඔබේ පුත්‍රයාට පාවා නොගන්න.
4. මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස ඔබේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේ ගේ උදහස ඔබට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම ඔබ විනාශකරනවා ඇත.
5. එහෙත් ඔවුන්ට මෙසේ කරන්න: ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳදමා, ඔවුන්ගේ අෂේරා කණු කපාදමා, ඔවුන්ගේ රූප ගින්නෙන් දවන්න.
6. මක්නිසාද ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ශුද්ධ සෙනඟක්ය. පොළෝතලයෙහි සිටින සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ස්වාමීන්වහන්සේ තමන් සන්තක සෙනඟක් වන පිණිස ඔබ තෝරාගත් සේක.
7. ස්වාමීන්වහන්සේ ඔබ සැම කෙරෙහි ඇලුම්වී ඔබ සැම තෝරාගත්තේ අන් සියලු ජනයන්ට වඩා ඔබ සැම ගණනින් වැඩි නිසා නොවේ; මක්නිසාද ඔබ සැම අන් සියලු ජනයන්ට වඩා ස්වල්ප වූහුය.
8. නුමුත් ස්වාමීන්වහන්සේ ඔබ සැම බලවත් හස්තයකින් පිටතට ගෙනැවිත්, වහල්කමේ ගෙදර වන මිසරයේ රජවූ ඵාරාවෝ අතින් ඔබ සැම මිදුවේ උන්වහන්සේ ඔබ සැමට ප්‍රේමකළ නිසාත් ඔබ සැමගේ පියවරුන්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්ට කැමතිවූ නිසාත්ය.
9. එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවද උන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්නන් සමඟ පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවූ විශ්වාසවූ දෙවියන්වහන්සේ බවද,
10. උන්වහන්සේට වෛරවන්නන් විනාශ කරන පිණිස උන්වහන්සේ ඔවුන්ගේ මුහුණු ඉදිරිපිට ඔවුන්ට ප්‍රතිඵල දෙන බවද දැනගන්න. උන්වහන්සේ තමන්ට වෛරවන්නා ගැන ප්‍රමාද නොවී ඔහුගේ මුහුණ ඉදිරිපිට ඔහුට ප්‍රතිඵල දෙනසේක.
11. එබැවින් පවත්වන්ට මා විසින් අද ඔබට අණකරන ආඥාවද පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්න. ‍
12. තවද ඔබ සැම මේ විනිශ්චයන් අසා ඒවා පවත්වා ඉෂ්ටකරන බැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ ගිවිසුම හා කරුණාව ඔබ සමඟ පවත්වා,
13. ඔබට ප්‍රේමවී, ඔබට ආශීර්වාදකොට, ඔබ වැඩිකර, ඔබට දෙන ලෙස ඔබේ පියවරුන්ට දිවුළ දේශයෙහිදී ඔබේ ගර්භයෙහි ඵලයට සහ ඔබේ භූමියේ ඵලය වන ඔබේ ධාන්‍යවලටද මුද්‍රික රසයටද තෙල්වලටද ඔබේ ගවයන්ගේ බෝවීමටද ඔබේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාදකරනවා ඇත.
14. ඔබ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා ආශීර්වාද ලබනවා ඇත. ඔබ සැම අතරෙහිද ඔබ සැමගේ සිව්පාවුන් අතරෙහිද පිරිමියෙක්වත් ගැහැනියෙක්වත් ගෑනු සතෙක්වත් වඳ නොවෙයි.
15. ස්වාමීන්වහන්සේ සියලු රෝග ඔබ කෙරෙන් පහකොට, ඔබ දන්නාවූ මිසරයේ අරිෂ්ට රෝගවලින් එකක්වත් ඔබ පිටට නොපමුණුවා, ඔබට වෛරවන සියල්ලන් පිට ඒවා තබනවා ඇත.
16. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පාවාදෙන සියලු මනුෂ්‍ය වර්ගයන් නැතිකරන්න; ඔබේ ඇස ඔවුන්ට අනුකම්පා නොකෙරේවා. ඔවුන්ගේ දෙවිවරුන්ට සේවය නොකරන්න; මක්නිසාද ඒක ඔබට මලපතක් වන්නේය.
17. මේ ජාතීහු මට වඩා වැඩිව සිටිති; ඔවුන් පන්නා දමන්ට මට පුළුවන් කෙසේදැයි ඔබට සිතෙන විට ඔවුන්ට භයනොවන්න.
18. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඵාරාවෝ සහ මුළු මිසරයට කළ දේද
19. ඔබේ ඇස්වලින් දුටු මහත් පරීක්ෂණද ලකුණුද ආශ්චර්යයන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පිටතට ගෙනාවාවූ ඒ බලසම්පන්න හස්තය හා දිගුකළ බාහුවද මනාකොට සිහිකරගන්න. ඔබ භයවෙන්නාවූ සියලුම ජනයන්ට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේම කරනවා ඇත.
20. තවද ඉතුරුවී සැඟවෙන්නාවූ අය ඔබ ඉදිරියෙන් නැතිවී යනතුරු ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් අතරට දෙබරුන් යවනවා ඇත.
21. මහත්වූ භයානකවූ දෙවිකෙනෙක් ව සිටින ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම අතරෙහි සිටින බැවින් ඔවුන් නිසා තැති නොගන්න.
22. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් ඔබ ඉදිරියෙන් ටිකෙන් ටික පහකර දමනවා ඇත. ඔබ ඉක්මනින් ඔවුන් නැතිකර නොදැමිය යුතුය, එසේ කළොත් වන මෘගයෝ ඔබට විරුද්ධව වැඩිවන්නෝය.
23. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් ඔබ අතට පාවාදී, ඔවුන් නැතිවී යන තුරු මහත්වූ පරාජයකින් ඔවුන් පරාජය කරනවා ඇත.
24. ඔවුන්ගේ රජවරුන්ද උන්වහන්සේ ඔබ අතට පාවා දෙනවා ඇත, ඔබ අහස යටින් ඔවුන්ගේ නාමය නැතිකර දමන්නෙහිය. ඔබ ඔවුන් විනාශකර දමන තුරු කිසි මනුෂ්‍යයෙකුට ඔබට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය.
25. ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් ඔබ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය.
26. පිළිකුල් දෙයක් ඔබේ ගෙට ගෙනගොස් ඔබ ඊට සමානවී නාස්තියට කැපනොවන්න. ඔබ ඊට ද්වේෂකොට එය සහමුලින්ම පිළිකුල්කොට සිතන්න. මක්නිසාද එය නාස්තියට කැපය.

ද්විතීය නීති සංග්‍රහය 8:1-20
1. ඔබ සැම ජීවත්ව බෝවෙන පිණිසද ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ පියවරුන්ට දිවුළ දේශයට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිසද අද මා විසින් ඔබට අණකරන මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න.
2. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ යටහත්කර, ඔබ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා ඔබ රක්ෂාකරනවාද නැද්දැයි ඔබේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි ඔබ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.
3. උන්වහන්සේ ඔබ යටත්කොට, ඔබ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේ ගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත් ඔබට දන්වාදෙන පිණිස, ඔබ දැනනොගෙන සිටියාවූ ඔබේ පියවරුන්ද දැනනොගෙන සිටියාවූ මන්නාවලින් ඔබ පෝෂණයකළසේක.
4. මේ සතළිස් අවුරුද්දේ ඔබේ වස්ත්‍ර ඔබ පිට පරණ නොවීය, ඔබේ පාද ඉදිමුණේ නැත.
5. මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දඬුවම්කරන බව ඔබේ සිතින් කල්පනාකරන්න.
6. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන්න.
7. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ හොඳ දේශයකට පමුණුවනසේක. එය මිටියාවත්වලිනුත් හෙල්වලිනුත් නික්මෙන දිය ඔයවල්ද උල්පත්ද වැව්ද ඇති දේශයක්ය;
8. එය තිරිඟුද යවද මුද්‍රික වැල්ද අත්තික්කා ගස්ද දෙළුම් ගස්ද ඇති දේශයක්ය; තෙල් ඔළීවද මීපැණිද ඇති දේශයක්ය;
9. ඒ දේශයේ ඔබට හිඟ නැතුව කෑම කන්ට පුළුවන, එහිදී ඔබට කිසි දෙයකින් අඩු පාඩුවක් නොවන්නේය; ඒ දේශයේ ගල් යකඩය, එහි හෙල්වලින් ඔබට පිත්තල හාරාගන්ට පුළුවන.
10. ඔබ කා තෘප්තියට පැමිණ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන් යහපත් දේශය ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න.
11. මා විසින් අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ආඥාද විනිශ්චයන්ද පනත්ද නොපැවැත්වීමෙන් උන්වහන්සේ මතක නැති නොකරන්ට බලාගන්න.
12. ඔබ කා තෘප්තියට පැමිණ හොඳ ගෙවල් ගොඩ නගා එහි වාසය කරන කල්හිත්,
13. ඔබේ ගව රැළවල් හා එළු බැටළු රැළවල් වැඩිවී, ඔබේ රන් රිදීද වැඩිවී, ඔබට ඇති සියල්ලම වර්ධනයවූ කල්හිත්,
14. ඔබේ සිත උඩඟු නොවන හැටියටද, මිසර දේශය වන වහල්කමේ ගෙයින් ඔබ පිටතට ගෙනාවාවූ, ඔබේ මතු කාලයේදී ඔබට යහපත කිරීමට ඔබ යටහත්කර ඔබ සෝදිසිකරන පිණිස,
15. ගිනි සර්පයන් සහ ගෝනුස්සන් ඇත්තාවූ, වතුර නැති, නියංසායෙන් යුක්තවූ ඒ මහත් භයංකර කාන්තාරය මැදින් ඔබ ගෙනාවාවූ, ගිනිගල් පර්වතයෙන් ඔබට වතුර නික්මවා දී,
16. ඔබේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී ඔබ පෝෂණයකළාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට:
17. මාගේ බල පුළුවන්කමෙනුත් මාගේ බාහු ශක්තියෙනුත් මේ වස්තුව ලද්දෙමියි ඔබේ සිතින් නොකියන හැටියටද බලාගන්න.
18. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකරන්න, මක්නිසාද ඔබේ පියවරුන්ට දිවුළ තමන්ගේ ගිවිසුම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ටකරන පිණිස ඔබට සම්පත් ලබාගැනීමට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේය.
19. තවද ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කොට අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කොට නමස්කාරකරන්නෙහිනම්, ඔබ සැම සැබවින් විනාශ වෙන බවට අද මම ඔබ සැමට විරුද්ධව සාක්ෂිදෙමි.
20. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට ඇහුම්කන් දෙන්ට ඔබ සැම නොකැමතිවූ බැවින් උන්වහන්සේ ඔබ සැම ඉදිරියෙන් විනාශවෙන්ට සලස්වන ජාතීන් මෙන් ඔබ සැමත් විනාශවෙනවා ඇත.

ගීතාවලිය 37:5-11
5. ඔබගේ මාර්ගය ස්වාමීන් ට භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ටකරනසේක.
6. උන්වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම එළිය මෙන්ද ඔබගේ යුක්තිය මද්දහන මෙන්ද නික්මවනසේක.
7. ස්වාමීන් කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව. තමාගේ මාර්ගයෙහි දියුණුවන්නාද නපුරු ප්‍රයෝග ඉෂ්ටකරගන්නාද නිසා කල නොකිරෙව.
8. තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය.
9. මක්නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නනෝය. නුමුත් ස්වාමීන් කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය.
10. මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, ඔබ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය.
11. නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.

හිතෝපදේශ 12:9-10
9. කෑම හිඟව ඉඳගනත් ගරුකම් කියාගන්නාට වඩා වැඩකාරයෙක් ඇති සුළු තැනැත්තා උතුම්ය.
10. ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය.

ශුද්ධවර ලූක් 1:39-56
39. ඒ දවස්වලදී මරියා නැගිට කඳු රට කරා, යුදයේ නුවරකට, වහාම ගොස්,
40. සෙකරියස්ගේ ගෙට ඇතුල්ව, එලිසබෙත්ට ආචාරකළාය.
41. එලිසබෙත් මරියාගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා පැන නැංගේය. එවිට එලිසබෙත් ශුද්ධාත්මයෙන් පූර්ණව,
42. මහත් ශබ්දයකින් හඬනගා කියන්නී: ඔබ ස්ත්‍රීන් අතරෙහි ආශීර්වාදලද්දීය, ඔබේ ගර්භයේ ඵලයද ආශීර්වාදලද්දේය.
43. මාගේ ස්වාමීන්වහන්සේගේ මෑණියන් මා ළඟට පැමිණීම කෙසේ සිද්ධවීද?
44. මක්නිසාද ඔබේ ආචාර ශබ්දය මාගේ කන්වල වැටුණු කෙණෙහිම, මාගේ කුසෙහි දරුවා ප්‍රීතියෙන් පැන නැංගේය.
45. විශ්වාසකළ තැනැත්තී ආශීර්වාදලද්දීය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් ඈට කියනලද දේ සම්පූර්ණවන්නේයයි කීවාය.
46. එවිට මරියා කියන්නී: මාගේ සිත ස්වාමීන්වහන්සේ වර්ණනා කෙරෙයි,
47. මාගේ ආත්මයද මාගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්විය.
48. මක්නිසාද උන්වහන්සේ ස්වකීය දාසියගේ පහත්කම බැලූසේක. බලව, මෙතැන් පටන් සියලු පරම්පරාවෝ මට ආශීර්වාදලද්දීයයි කියන්නෝය.
49. මක්නිසාද බලවත්වූ තැනන්වහන්සේ මට මහත් දේ කළසේක; උන්වහන්සේගේ නාමය ශුද්ධය.
50. උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේට භයවන්නන් කෙරෙහි පරම්පරාවෙන් පරම්පරාවට පවතියි.
51. උන්වහන්සේ ස්වකීය බාහුවෙන් බලය පෑසේක; තමුන්ගේ සිත්වල කල්පනාවෙන් අහංකාරීවූ අය විසිරෙවුසේක.
52. උන්වහන්සේ අධිපතීන් සිංහාසන වලින් හෙළා, පහත් අය උසස්කළසේක.
53. බඩගිනිවූවන් යහපත් දෙයින් තෘප්තියට පමුණුවා, වස්තුකාරයන් හිස් අතින් හැරිය සේක.
54. උන්වහන්සේ අපේ පියවරුන්ට කී ලෙස, ආබ්‍රහම්ටද ඔහුගේ වංශයටද
55. සදාකල්ම ස්වකීය කරුණාව සිහිකරන අදහසින්, තමන් මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ට පිහිටවූසේකැයි කීවාය.
56. මරියා ඈ සමඟ තුන් මසක් පමණ වාසයකොට, තමාගේම ගෙදරට හැරී ගියාය.