A A A A A
අවුරුද්දකින් බයිබලය
මාර්තු 2

ගණන් කථාව 1:1-54
1. ඔවුන් මිසර දේශයෙන් නික්ම ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළමුවෙනි දින සීනයි කාන්තාරයෙහි සම්මුඛවීමේ කූඩාරමේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට මෙසේ කීසේක:
2. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවේ සියලු පුරුෂයන්ගේ මුළු ගණන ඔවුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම ගණන ඇතුව ගන්න;
3. එනම් ඉශ්‍රායෙල්වරුන් අතරෙන් යුද්ධයට යත හැකිවූ, අවුරුදු විස්ස පටන් වයස් ඇති සියල්ලන් ඔවුන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට ඔබ සහ ආරොන්ද ගණන් කරන්න.
4. එක එක ගෝත්‍රයට එක්කෙනෙකු බැගින් තමන් පිය පෙළපත්වල ප්‍රධානියෝවූ තැනැත්තෝද ඔබ සැම සමඟ වන්නෝය.
5. ඔබ සැම සමඟ සිටිය යුතු මනුෂ්‍යයන්ගේ නාම මේය: රූබෙන් ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ය.
6. සිමියොන් ගෝත්‍රයෙන් ශූරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුමියෙල්ය.
7. යූදා ගෝත්‍රයෙන් අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.
8. ඉස්සාඛර් ගෝත්‍රයෙන් ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල්ය.
9. සාබුලොන් ගෝත්‍රයෙන් හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ය.
10. යෝසෙප්ගේ පුත්‍රයන් අතරෙන් එප්‍රායිම්ගෙන් අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමා සහ මනස්සේගෙන් පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය.
11. බෙන්යමින් ගෝත්‍රයෙන් ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන්ය.
12. දාන් ගෝත්‍රයෙන් අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියේසෙර්ය.
13. ආෂෙර් ගෝත්‍රයෙන් ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගියෙල්ය.
14. ගාද් ගෝත්‍රයෙන් දෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය.
15. නප්තලී ගෝත්‍රයෙන් ඒනාන්ගේ පුත්‍රවූ අහිරාය.
16. සභාවෙන් කැඳවාගන්නාලද්දෝ මොව්හුය, මොව්හු තමුන්ගේ පියවරුන්ගේ ගෝත්‍රවල අධිපතියෝව ඉශ්‍රායෙල් දහස් ගණන්වලට මුලාදෑනියෝව සිටියෝය.
17. මෝසෙස් සහ ආරොන් නාම වශයෙන් සඳහන් කරනලද ඒ මනුෂ්‍යයන් කැඳවාගෙන,
18. දෙවෙනි මාසයේ පළවෙනි දිනදී මුළු සභාව රැස්කෙරෙවුවෝය, තවද විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ අය වෙන් වශයෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණෝය.
19. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සීනයි කාන්තාරයේදී ඔවුන් ගණන් කෙළේය.
20. ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වශයෙන් නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
21. රූබෙන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියලු පිරිමි සතළිස් හදාස් පන්සියයක්ය.
22. සිමියොන්ගේ පුත්‍රයින්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ලියවුණාවූ, වෙන් වශයෙන් නාම ගණන ලෙස ගණන්කරනු ලැබුවාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
23. සිමියොන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියලු පිරිමි පනස්නවදාස් තුන්සියයක්ය.
24. ගාද්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
25. ගාද්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ සතළිස් පන්දාස් හසිය පනසක්ය.
26. යූදාගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
27. යූදාගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ හැත්තෑ හාරදාස් හසියයක්ය.
28. ඉස්සාඛර්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
29. ඉස්සාඛර්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ පනස් හාරදාස් හාරසියයක්ය.
30. සාබුලොන්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
31. සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ පනස් හත්දාස් හාරසියයක්ය.
32. යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් එනම් එප්‍රායිම්ගේ පුත්‍රයන් අතරෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
33. එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ සතළිස්දාස් පන්සියයක්ය.
34. මනස්සේගේ පුත්‍රයන් අතරෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
35. මනස්සේගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ තිස්දෙදාස් දෙසියයක්ය.
36. බෙන්යමින්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
37. බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ තිස් පන්දාස් හාරසියයක්ය.
38. දාන්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
39. දාන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ හැටදෙදාස් හත්සියයක්ය.
40. ආෂෙර්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
41. ආෂෙර්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ සතළිස් එක්දාස් පන්සියයක්ය.
42. නප්තලීගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
43. නප්තලීගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ පනස් තුන්දාස් හාරසියයක්ය.
44. මෝසෙස් සහ ආරොන් විසින්ද තම තමාගේ පිය පෙළපත වෙනුවට සිටිය මනුෂ්‍යයන් දොළොස්දෙනා වන ඉශ්‍රායෙල් අධිපතීන් විසින්ද ගණන්කරනු ලැබුවෝ මොව්හුය.
45. මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබූ සියල්ලෝ වන අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
46. ගණන්කරනු ලැබූ සියලුම ඉශ්‍රායෙල්වරු සලක්ෂ තුන්දාස් පන්සිය පනස්දෙනෙක්ය.
47. එහෙත් ලෙවීවරු තමුන්ගේ පිය ගෝත්‍රයේ හැටියට ඔවුන් අතරේ ගණන්කරනු නොලැබුවෝය.
48. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
49. ලෙවීගේ ගෝත්‍රය පමණක් ගණන් නොකරන්න, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ඔවුන්ගේ ගණන නොගන්න.
50. එහෙත් ලෙවීවරුන් සාක්ෂි මණ්ඩපය කෙරෙහිද එහි සියලුම භාණ්ඩ කෙරෙහිද ඊට අඩංගු සියල්ල කෙරෙහිද පත්කරන්න. ඔව්හු මණ්ඩපයද එහි සියලු භාණ්ඩද උස්සා ගෙන යන්නෝය; ඔව්හු එහි මෙහෙය කරමින් මණ්ඩපය හාත්පස කූඩාරම් ගසාගෙන සිටින්නෝය.
51. මණ්ඩපය ගෙනයන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක බාගන්නෝය. මණ්ඩපය පිහිටුවන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක පිහිටුවන්නෝය. අන්‍යයෙක් ළංවුණොත් ඔහු මරනු ලැබිය යුතුය.
52. ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ කඳවුර ළඟද තම තමුන්ගේ ධජය ළඟද තමුන්ගේ සේනා ප්‍රකාරයට කූඩාරම් ගසාගන්නෝය.
53. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව කෙරෙහි උදහස නොපැමිණෙන පිණිස ලෙවීවරු සාක්ෂි මණ්ඩපය වටකරින් කූඩාරම් ගසා ගන්නෝය. ලෙවීවරුන්ම සාක්ෂි මණ්ඩපයේ සේවය භාරගත යුතුයයි කීසේක.
54. ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කළෝය; ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔව්හු කළෝය.

ගණන් කථාව 2:1-34
1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කථාකොට කියනසේක්:
2. ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ පිය පෙළපත්වල විශේෂ ලකුණු ඇති තම තමුන්ගේ ධජය ළඟ සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට වටකරින් තමුන්ගේ කූඩාරම් ගසාගනිත්වා.
3. නැගෙන ඉර පැත්තෙහි කූඩාරම් ගසා ගන්නෝනම් තමුන්ගේ සේනා ප්‍රකාරයට යූදාගේ අන්දායමේ ධජයට අයිති අයය. යූදා පුත්‍රයන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන් වන්නේය.
4. ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සැත්තෑ හාරදාස් හසියයක්ය.
5. ඊළඟ කූඩාරම් ගසාගන්නෝනම් ඉස්සාඛර්ගේ ගෝත්‍රයය. ඉස්සාඛර්ගේ පුත්‍රයන්ට අධිපතියා ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල් වන්නේය.
6. ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් හාරදාස් හාරසියයක්ය.
7. ඊළඟ සාබුලොන්ගේ ගෝත්‍රයය. සාබුලොන්ගේ පුත්‍රයන්ගේ අධිපතියා හේලොන්ගේ පුත්‍රවූ එලියාබ් වන්නේය.
8. ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් හත්දාස් හාරසියයක්ය.
9. යූදාගේ කඳවුරෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ අසූහදාස් හාරසියයක්ය. ඔවුන් ප්‍රථමකොට පිටත්ව යායුතුය.
10. දකුණු පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට රූබෙන්ගේ අන්දායමේ ධජයට අයිති අය සිටිත්වා. රූබෙන්ගේ පුත්‍රයන්ට අධිපතියා ෂෙදෙයූර්ගේ පුත්‍රවූ එලිශූර් වන්නේය.
11. ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස් හදාස් පන්සියයක්ය.
12. ඔහු ළඟ කූඩාරම් ගසාගන්නෝනම් සිමියොන්ගේ ගෝත්‍රයය. සිමියොන්ගේ පුත්‍රයන්ට අධිපතියා ශූරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුමියෙල් වන්නේය.
13. ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් නවදාස් තුන්සියයක්ය.
14. ඊළඟ ගාද්ගේ ගෝත්‍රයය. ගාද්ගේ පුත්‍රයන්ට අධිපතියා රෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප් වන්නේය.
15. ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස් පන්දාස් හසිය පනසක්ය.
16. රූබෙන්ගේ අන්දායමෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ පනස් එක්දාස් හාරසිය පනසක්ය. ඔවුන් දෙවනුව පිටත්ව යා යුතුය.
17. එවිට සම්මුඛවීමේ කූඩාරම කඳවුරුවලට මැදිව ලෙවීවරුන්ගේ කඳවුර සමඟ පිටත්ව යන්නේය. ඔව්හු කූඩාරම් ගසාගන්න පිළිවෙළටම තම තමුන්ගේ ස්ථානවල සිට තමුන්ගේ ධජවල හැටියට පිටත්ව යා යුතුය.
18. බස්නාහිර පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට එඵ්‍රායිම්ගේ කඳවුරේ ධජයට අයිති අය සිටින්නෝය. එඵ්‍රායිම්ගේ පුත්‍රයන්ට අධිපතියා අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමා වන්නේය.
19. ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස්දාස් පන්සියයක්ය.
20. ඊළඟ මනස්සේගේ ගෝත්‍රයය. මනස්සේගේ පුත්‍රයන්ට අධිපතියා පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය.
21. ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ තිස් දෙදාස් දෙසියයක්ය.
22. ඊළඟ බෙන්යමින්ගේ ගෝත්‍රයය. බෙන්යමින්ගේ පුත්‍රයන්ට අධිපතියා ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන් වන්නේය.
23. ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ තිස් පන්දාස් හාරසියයක්ය.
24. එප්‍රායිම්ගේ කඳවුරෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරන ලද සියල්ලෝ එක්ලක්ෂ අටදාස් එකසියයක්ය. ඔවුන් තුන්වෙනුව පිටත්ව යා යුතුය.
25. උතුරු පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට දාන්ගේ කඳවුරේ ධජයට අයිති අය සිටින්නෝය. දාන්ගේ පුත්‍රයන්ට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියේසෙර් වන්නේය.
26. ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ හැට දෙදාස් හත්සියයක්ය.
27. ඊළඟ කූඩාරම් ගසාගන්නෝනම් ආෂෙර්ගේ ගෝත්‍රයය. ආෂෙර් පුත්‍රයන්ගේ අධිපතියා ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල් වන්නේය.
28. ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස් එක්දාස් පන්සියයක්ය.
29. ඊළඟ නප්තලීගේ ගෝත්‍රයය. නප්තලී පුත්‍රයන්ගේ අධිපතියා ඒනාන්ගේ පුත්‍රවූ අහිරා වන්නේය.
30. ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් තුන්දාස් හාරසියයක්ය.
31. දාන්ගේ කඳවුරෙහි ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ පනස් හත්දාස් හසියයක්ය. ඔවුන් තමුන්ගේ ධජවල හැටියට අන්තිමට පිටත්ව යායුතුයයි කීසේක.
32. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනලද්දෝ මොව්හුය. කඳවුරුවල තමුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ හලක්ෂ තුන්දාස් පන්සිය පනසක්ය.
33. එහෙත් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ලෙවීවරු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබුවෝය.
34. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය. එසේ ඔව්හු තමුන්ගේ වංශවල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත් ලෙස තමුන්ගේ ධජවල හැටියට කූඩාරම් ගසාගත්තෝය, එසේම නික්ම ගියෝය.

ගීතාවලිය 29:7-11
7. ස්වාමීන් ගේ ශබ්දය ගිනිදැල් බෙදයි.
8. ස්වාමීන් ගේ ශබ්දය වනාන්තරය සොලවයි; ස්වාමීන්වහන්සේ කාදෙෂ් වනාන්තරය සොලවනසේක.
9. ස්වාමීන් ගේ ශබ්දය මුවදෙනුන් ප්‍රසවයකරවයි, වනය පාළුකරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ල: මහිමය වේවා කියයි.
10. ස්වාමීන්වහන්සේ ජලගැල්මෙහිදී රජෙකු මෙන් වැඩහුන්සේක; එසේය, ස්වාමීන්වහන්සේ රජෙකු මෙන් සදාකල් වැඩහිඳිනසේක.
11. ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට ශක්තිය දෙනසේක; ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරනසේක.

හිතෝපදේශ 10:26-29
26. දත්වලට කාඩිත් ඇස්වලට දුමත් යම්සේද, අලසයා ඔහු මෙහෙයවන අයට එසේමය.
27. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් දවස් වැඩිවෙයි; එහෙත් දුෂ්ටයන්ගේ අවුරුදු හීනවන්නේය.
28. ධර්මිෂ්ඨයන්ගේ ප්‍රාර්ථනාව ප්‍රීතියය; එහෙත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව සුන්වන්නේය.
29. ස්වාමීන්වහන්සේ ගේ මාර්ගය අවංක අයට බලකොටුවක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ.

ශුද්ධවර මාක් 7:14-37
14. උන්වහන්සේ සමූහයා තමන් ළඟට නැවත කැඳවා කියනසේක්: ඔබ සැම සියල්ලෝම මාගේ වචනය අසා තේරුම්ගන්න.
15. පිටතින් මනුෂ්‍යයා තුළට වැද ඔහු අපවිත්‍රකරන්ට පුළුවන්වූ කිසි දෙයක් නැත.
16. මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ ඔහු තුළින් නික්මෙන දේවලින්යයි කීසේක.
17. උන්වහන්සේ සමූහයාගෙන් වෙන්ව ගෙට ඇතුල්වූ කල ගෝලයෝ ඒ උපමාව ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය.
18. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ඔබ සැමත් එසේම තේරුම් නැතුව සිටින්නහුද? පිටතින් මනුෂ්‍යයා තුළට පැමිණෙන කිසි දෙයක්වත් ඔහු අපවිත්‍රකරන්ට නොහැකි බව ඔබ සැමට තේරෙන්නේ නැද්ද?
19. මක්නිසාද එය ඔහුගේ සිතට නොව බඩට ඇතුල්ව වැසිකිළියට යන්නේයයි කීසේක. මෙසේ සියලු ආකාර කෑම පවිත්‍රයයි උන්වහන්සේ ප්‍රකාශකළසේක.
20. නැවතද උන්වහන්සේ: නුමුත් මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ ඔහුගෙන් පිටවන දෙයින්මය.
21. මක්නිසාද ඇතුළතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතිවිලි, වේශ්‍යාකම්, සොරකම්, මිනීමැරීම්, කාමමිථ්‍යාචාරකම්,
22. තණ්හා, දුෂ්ඨකම්, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, අපහාසකිරීම, උඩඟුකම සහ මෝඩකම නික්මෙයි.
23. මේ සියලු නපුරුදේ ඇතුළතින් නික්මී මනුෂ්‍යයා අපවිත්‍රකෙරේයයි කීසේක.
24. උන්වහන්සේ එතැනින් නැගිට තීර් සහ සීදොන්හි සීමාවලට පිටත්ව ගොස් ගෙයකට ඇතුල්ව, ඒ බව කිසිවෙකු දැන නොගන්නවාට කැමැතිවූසේක. නුමුත් උන්වහන්සේට සැඟවී සිටින්ට බැරිවිය.
25. එකෙණෙහිම අශුද්ධාත්මයක් ආවේශවූ කුඩා දුවෙක් ඇති ස්ත්‍රියෙක් උන්වහන්සේ ගැන අසා ඇවිත් උන්වහන්සේගේ පාමුල වැටුණාය.
26. ඈ වනාහි සිරෝපිනීසි ජාතියේ ග්‍රීක් ස්ත්‍රියෙක්ය. ඇගේ දුවගෙන් යක්ෂයා දුරුකරන ලෙස ඈ උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවාය.
27. උන්වහන්සේ කථාකොට: පළමුකොට දරුවෝ තෘප්තියට පැමිණෙත්වා. මක්නිසාද දරුවන්ගේ රොටි ගෙන බල්ලන්ට දැමීම නුසුදුසුයයි ඈට කීසේක.
28. එහෙත් ඈ උත්තරදෙමින්: එසේය, ස්වාමිනි. මේසේ යට සිටින බල්ලෝ පවා දරුවන්ගේ කෑම කැබෙලිවලින් ගෙන කතියි උන්වහන්සේට කීවාය.
29. උන්වහන්සේද: මේ කීම නිසා යන්න; යක්ෂයා ඔබේ දුවගෙන් දුරුව ගියේයයි ඈට කීසේක.
30. ඈ ගෙදර ගිය කල ඇගේ දුව ඇඳේ සැතපී ඉන්න බවද යක්ෂයා දුරුවී සිටින බවද දුටුවාය.
31. නැවතත් උන්වහන්සේ තීර් සීමාවලින් පිටත්ව, සීදොන් මැදින් ගොස්, දෙකපොලිසේ සීමා මැදින් ගලීලයේ මුහුද ළඟට පැමුණුණුසේක.
32. එකල ඔව්හු වික්කල් බිහිරෙකු උන්වහන්සේ වෙතට ගෙනැවිත්, ඔහු පිට අත තබන ලෙස උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවෝය.
33. උන්වහන්සේ රහසින් ඔහු සමූහයා කෙරෙන් අහකට ගෙන ගොස්, ඔහුගේ කන්වල තමන්ගේ ඇඟිලි බහා, කෙළගසා, ඔහුගේ දිව ස්පර්ශකොට,
34. ස්වර්ගය දෙස බලා, සුසුම්ලා: එප්ඵාතා, එනම් ඇරේවයි ඔහුට කීසේක.
35. එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම් මිදී ඔහු පැහැදිලි ලෙස කථාකෙළේය.
36. ඒ බව කාටවත් නොකියන්ට උන්වහන්සේ ඔවුන්ට අණ දුන්සේක. නුමුත් උන්වහන්සේ යම් පමණ අණකළසේක්ද ඔව්හු එපමණටත් වඩා බොහෝසෙයින් එය ප්‍රසිද්ධ කළෝය.
37. තවද ඔව්හු අප්‍රමාණලෙස මවිතව: උන්වහන්සේ සියල්ල යහපත්ලෙස කළසේක. උන්වහන්සේ බිහිරන්ට පවා ඇසෙන්ටත් ගොළුවන්ට කථාකරන්ටත් සලස්වනසේකැයි කීවෝය.