A A A A A
අවුරුද්දකින් බයිබලය
මාර්තු 12

ගණන් කථාව 21:1-35
1. දකුණු දිසාවෙහි වාසයකළ කානානීයවූ අරද්හි රජ අතාරීම් මාර්ගයෙන් ඉශ්‍රායෙල්වරුන් එන බව අසා ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකොට ඔවුන්ගෙන් සමහරෙක් අල්ලාගත්තේය.
2. ඉශ්‍රායෙල්වරුද ස්වාමීන්වහන්සේ ට භාරයක් වෙමින්: ඉදින් ඔබවහන්සේ මේ සෙනඟ මා අතට පාවාදෙනසේක්නම් මම ඔවුන්ගේ නුවරවල් මුළුමනින්ම විනාශකරන්නෙමියි කීය.
3. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ හඬට ඇහුම්කන්දී කානානිවරුන් ඔවුන්ට පාවාදුන්සේක; එවිට ඔව්හු ඔවුන් සහ ඔවුන්ගේ නුවරවල් සහමුලින්ම විනාශකළෝය. ඒ ස්ථානයට හොර්මා යන නම තබනලදී.
4. ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය.
5. සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට ඔබ සැම මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය.
6. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරට ගිනි සර්පයන් යැවූසේක, උන් සෙනඟට දෂ්ටකළෝය; එසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මළෝය.
7. එබැවින් සෙනඟ මෝසෙස් ළඟට අවුත්: අපි ස්වාමීන්වහන්සේ ට ත් ඔබටත් විරුද්ධව කථාකිරීමෙන් පව්කෙළෙමුව; ස්වාමීන්වහන්සේ අප වෙතින් සර්පයන් පහකරනලෙස උන්වහන්සේට යාච්ඤාකළමැනවියි කීවෝය. මෝසෙස් සෙනඟ උදෙසා යාච්ඤාකෙළේය.
8. එවිට ස්වාමීන්වහන්සේ: ඔබ ගිනි සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තබන්න. දෂ්ටකරනු ලැබූ කවරෙක් නුමුත් ඒ දෙස බැලීමෙන් ජීවත්වන්නේයයි මෝසෙස්ට කීසේක.
9. මෝසෙස් පිත්තල සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තැබීය. තවද යමෙක් සර්පයෙකු විසින් දෂ්ටකරනු ලද්දේනම් ඔහු පිත්තල සර්පයා දෙස බැලූ කල්හි ජීවත්වුණේය.
10. පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට ඔබොත්හි කූඩාරම් ගසාගත්තෝය.
11. ඔව්හු ඔබොත් සිට පිටත්ව ගොස් මෝවබ් රට ඉදිරිපිට නැගෙනහිරට තිබෙන කාන්තාරයේ ඉයේ-අබාරීම්හි කූඩාරම් ගසාගත්තෝය.
12. එතැනින් ඔව්හු පිටත්ව ගොස් සෙරෙද් මිටියාවතේ කූඩාරම් ගසාගත්තෝය.
13. එතැනින් ඔව්හු පිටත්ව ගොස් අමෝරිවරුන්ගේ සීමාවෙන් ගලායන්නාවූ, කාන්තාරයෙහි තිබෙන අර්ණොන් ගඟ එගොඩ කූඩාරම් ගසාගත්තෝය. අර්ණොන් වනාහි මෝවබ්වරුන් හා අමෝරිවරුන් අතරේ තිබෙන මෝවබ් රටේ සීමාවය.
14. එබැවින් ස්වාමීන්වහන්සේ ගේ යුද්ධ පොතෙහි: සූඵායේ වහෙබ්ද අර්ණොන් මිටියාවත්ද
15. ආර් නිවසෙ දෙසට හැරීයන්නාවූ, මෝවබ් සීමාවට යාවූ, මිටියාවත්වල බෑවුමයයි කියා තිබේ.
16. එතැනින් ඔව්හු බෙයේර්ට ගමන්කළෝය. ඒ වනාහි: මා සෙනඟට වතුර දෙන පිණිස ඔවුන් රැස්කරන්නැයි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ස්ථානයෙහි තිබෙන ළිඳය.
17. එවිට ඉශ්‍රායෙල්වරු මේ ගීතිකාව කියමින්: එම්බා ළිඳ, වතුර නගව; ඊට ගී කියව්.
18. අධිපතීන් ජයකොන්තයෙන් හා තමුන් සැරයටිවලින් කැණුවාවූ, සෙනඟගේ උත්තමයන් හෑරුවාවූ ළිඳ මේයයි ගීතිකාකළෝය. ඔව්හු කාන්තාරයෙන් මත්තානායටද,
19. මත්තානායෙන් නහලීයෙලටද නහලීයෙලෙන් බාමොත්ටද,
20. බාමොතෙන් මෝවබ් රටේ තිබෙන මිටියාවත සහ කාන්තාරය ඉදිරිපිට තිබෙන පිස්ගා මුදුන දෙසටද ගමන් කළෝය.
21. ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ රජවූ සීහොන් වෙතට පණිවිඩකාරයන් යවමින්:
22. ඔබේ දේශය මැදින් යන්ට මට අවසර ලැබේවා. අපි කෙත්වලටවත් මිදිවතුවලටවත් නොහැරෙන්නෙමුව. ළින්වලින් වතුර නොබොන්නෙමුව. ඔබේ සීමාව පසුකරන තෙක් රජ මාවත යන්නෙමුයයි කියන්ට කීවෝය.
23. එහෙත් සීහොන් තමාගේ සීමාව මැදින් යන්ට ඉශ්‍රායෙල්වරුන්ට ඉඩනොදී, තමාගේ සියලු සෙනඟ රැස්කොට, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කාන්තාරයට අවුත් යහශ්ට පැමිණ, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කෙළේය.
24. එවිට ඉශ්‍රායෙල්වරු ඔහුට කඩුමුවහතින් පහරදී අර්ණොන් පටන් යබ්බොක්ට පැමිණෙනතුරු අම්මොන් පුත්‍රයන්ගේ සීමාව දක්වා ඔහුගේ දේශය හිමිකරගත්තෝය. මක්නිසාද අම්මොන් පුත්‍රයන්ගේ සීමාව බලවත්ව තිබුණේය.
25. ඉශ්‍රායෙල්වරු ඒ සියලු නුවරවල් අල්ලාගෙන අමෝරිවරුන්ගේ සියලු නුවරවල් වන හෙෂ්බොන්හිද ඊට අයිති සියලු නියම්ගම්වලද වාසයකළෝය.
26. හෙෂ්බොන් නම් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ නුවරය, ඔහු මෝවබ්හි ප්‍රථම රජුට විරුද්ධව යුද්ධකොට අර්ණොන් දක්වා ඔහුගේ මුළු දේශය ඔහුගේ අතින් ගත්තේය.
27. එබැවින් කිවිහු කියන්නෝ: හෙෂ්බොන්ට එව්, සීහොන් නුවර ගොඩනගනුලැබ සවිවේවා.
28. මක්නිසාද හෙෂ්බොන් සිට ගින්නක්ද සීහොන් නුවරින් ගිනිදැලක්ද නික්මගියේය. එය මෝවබ්හි ආර්ද අර්ණොන් උස්තැන්වල ස්වාමිවරුන්ද දවා දැමීය.
29. මෝවබ් තට දුක් විය! අහෝ කෙමොෂ් වැසියෙනි, තොපි නාස්ති වූහුය. ඔහු තමාගේ පුත්‍රයන් පලායාමටත් තමාගේ දූවරුන් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට වාලටත් දුන්නේය.
30. අපි ඔවුන්ට විද්දෙමුව; හෙෂ්බොන් දීබොන් දක්වාම නාස්තිවිය, නොඵා දක්වා පාළු කෙළෙමුව, මෙදීබා දක්වා ගිනි ඇවුළුණේයයි කියති.
31. මෙසේ ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ දේශයෙහි වාසයකළෝය.
32. මෝසෙස් යාසේර් රට සෝදිසිකරන පිණිස හැරියේය, ඔව්හු එහි නියම්ගම් අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමූහ.
33. තවද ඔව්හු හැරී බාෂාන්ට යන මාර්ගයෙන් ගියෝය. එවිට බාෂාන්හි රජවූ ඕග්ද ඔහුගේ මුළු සෙනඟද ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්ට එද්රෙයිට ආවෝය.
34. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔහුට භය නොවන්න. මක්නිසාද ඔහු හා ඔහුගේ සියලු සෙනඟද ඔහුගේ දේශයද ඔබ අතට පාවාදුනිමි; හෙෂ්බොන්හි සිටි අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට කළාක්මෙන් ඔබ ඔහුටත් කරන්නෙහියයි කීසේක.
35. එසේ ඔව්හු ඔහුගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන තුරු ඔහුට හා ඔහුගේ පුත්‍රයන්ටද ඔහුගේ සියලු සෙනඟටද පහරදී ඔහුගේ දේශය හිමිකර ගත්තෝය.

ගණන් කථාව 22:1-41
1. ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව ගොස් යෙරිකෝව ළඟ යොර්දානෙන් එතර මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.
2. තවද ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඉශ්‍රායෙල් විසින් අමෝරිවරුන්ට කළ සියල්ල දුටුවේය.
3. සෙනඟ බොහෝවූ බැවින් මෝවබ්වරු ඔවුන් ගැන අතිශයෙන් භයපත්වුණෝය. එසේ මෝවබ් ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා කැලඹී,
4. මිදියන්හි වැඩිමහල්ලන්ට කථාකොට: ගවයා කෙතේ තෘණ කා දමන්නාක් මෙන් ඒ සමූහයා අප වටකර තිබෙන සියල්ල කාදමනවා ඇතැයි කීවේය. ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඒ කාලයේ මෝවබ්හි රජව සිටියේය.
5. ඔහු බෙයොර්ගේ පුත්‍රවූ බාලාම් කැඳවාගෙන එන්ට ඔහුගේ සෙනඟගේ පුත්‍රයන්ගේ දේශයවූ ගංගාව ළඟ තිබෙන පෙතෝර්ට පණිවිඩකාරයන් යවමින්: මිසරයෙන් සෙනඟක් ඇවිත් සිටිති. බලව, ඔව්හු පොළෝතලය වසාගෙන මට ඉදිරිපිටින් සිටිති.
6. එබැවින් දැන් ඇවිත් මා වෙනුවෙන් මේ සෙනඟට ශාපකළ මැනවි; මක්නිසාද ඔව්හු මට වඩා බලවත්ය. සමහරවිට ඔවුන්ට පහරදී ඔවුන් දේශයෙන් පන්නාදමන්ට මට පුළුවන්වන්නේය. මක්නිසාද ඔබ ආශීර්වාදකරන තැනැත්තා ආශීර්වාද ලබන බවත් ඔබ ශාපකරන තැනැත්තා ශාප ලබන බවත් දනිමියි කියන්ට කීවේය.
7. මෝවබ්හි වැඩිමහල්ලෝද මිදියන්හි වැඩිමහල්ලෝද පේන කීමට දෙන තෑගි අතේ ඇතුව පිටත්ව බාලාම් වෙතට පැමිණ බාලාක්ගේ වචන ඔහුට කීවෝය.
8. ඔහු ඔවුන්ට කථාකොට: අද රාත්‍රියේ මෙහි නවතින්න. ස්වාමීන්වහන්සේ මට කියන හැටියට ඔබ සැමට උත්තරදෙන්නෙමියි ඔවුන්ට කීවේය. එසේ මෝවබ්හි අධිපතියෝ බාලාම් වෙත නැවතුණෝය.
9. දෙවියන්වහන්සේ බාලාම් වෙතට අවුත්: ඔබ සමඟ සිටින මේ මනුෂ්‍යයෝ කවුරුදැයි ඇසූසේක.
10. බාලාම්ද: මෝවබ්හි රජවූ ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඔවුන් මා වෙතට එවා:
11. බලව, මිසරයෙන් ආ සෙනඟ පොළෝතලය වසාගෙන සිටිති. දැන් ඇවිත් මා උදෙසා ඔවුන්ට ශාපකරන්න; සමහරවිට ඔවුන්ට විරුද්ධව යුද්ධ කොට ඔවුන් පන්නාහරින්ට හැකිවන්නෙමියි කියා එවා තිබේයයි දෙවියන්වහන්සේට කීවේය.
12. දෙවියන්වහන්සේ: ඔවුන් සමඟ නොයන්න; ඒ සෙනඟට ශාප නොකරන්න. මක්නිසාද ඔව්හු ආශීර්වාදලත් සෙනඟක් යයි බාලාම්ට කීසේක.
13. බාලාම් උදය නැගිට බාලාක්ගේ අධිපතීන්ට කථාකොට: ඔබ සැමගේ දේශයට යන්න. මක්නිසාද ඔබ සැම සමඟ යන්ට ස්වාමීන්වහන්සේ මට ඉඩ නොදෙනසේකැයි කීවේය.
14. මෝවබ්හි අධිපතියෝ නැගිට බාලාක් වෙතට ගොස්: බාලාම් අප සමඟ එන්ට බැරිය කියන්නේයයි කීවෝය.
15. බාලාක් ගණනින් ඔවුන්ට වැඩිවූ ඔවුන්ට වඩා ගරුතරවූ අධිපතීන් නැවත යැවීය.
16. ඔව්හු බාලාම් වෙතට අවුත් කියන්නෝ: ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් මෙසේ කියයි: ඔබ මා වෙතට ඊමට කිසිවකින් ඔබට බාධාවක් නොවේවා.
17. මක්නිසාද මම ඔබ ඉතා මහත් ගෞරවයට පමුණුවන්නෙමි, ඔබ මට කියන කොයි දෙයක් නුමුත් කරන්නෙමි. එබැවින් අවුත් මේ සෙනඟට මා උදෙසා ශාපකරන ලෙස ඔබෙන් ඉල්ලමියි කියන්නේයයි ඔහුට කීවෝය.
18. බාලාම් බාලාක්ගේ සේවකයන්ට උත්තරදෙමින්: බාලාක් තමාගේ ගෙය පුරවා රන් රිදී මට දෙතත් අඩුව හෝ වැඩිව හෝ කරන්ට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ වචනය ඉක්මවා යා නොහැක්කෙමි.
19. එබැවින් ස්වාමීන්වහන්සේ තවත් මට කියන්නේ කිමෙක්දැයි මා දැනගන්නා පිණිස ඔබ සැමත් අද රාත්‍රියේ මෙහි සිටින්නැයි කීවේය.
20. දෙවියන්වහන්සේ රාත්‍රියෙහි බාලාම් වෙතට අවුත් ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයෝ ඔබ කැඳවන පිණිස අවුත් සිටිත්නම් නැගිට ඔවුන් සමඟ යන්න; එසේවී නුමුත් මා ඔබට කියන වචනය පමණක්ම කරන්නැයි කීසේක.
21. බාලාම් උදය නැගිට තමාගේ කොටළුදෙන සූදානම්කොට මෝවබ්හි අධිපතීන් සමඟ ගියේය.
22. ඔහු ගිය නිසා දෙවියන්වහන්සේගේ උදහස ඇවුළුණේය. ස්වාමීන්වහන්සේ ගේ දූතයා ඔහුට විරුද්ධකාරයෙක්ව මාර්ගයෙහි සිටගත්තේය. ඔහු තමාගේ කොටළුදෙන පිට නැගී උන්නේය, ඔහුගේ මෙහෙකරුවෝ දෙදෙනා ඔහු සමඟ සිටියෝය.
23. කොටළුදෙන ස්වාමීන්වහන්සේ ගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටින බව දැක මගින් ඉවත්ව කෙතට ගියාය. බාලාම් කොටළුදෙන මගට හරවන පිණිස ඈට ගැසීය.
24. එවිට ස්වාමීන්වහන්සේ ගේ දූතයා දෙපැත්තේ තාප්ප ඇති මිදිවතු අතරේ පටු පාරක සිටගත්තේය.
25. කොටළුදෙන ස්වාමීන්වහන්සේ ගේ දූතයා දැක තාප්පයට හැපී බාලාම්ගේ පය තාප්පයට වැද්දෙවුවාය. ඔහු නැවතත් ඈට ගැසුවේය.
26. ස්වාමීන්වහන්සේ ගේ දූතයා තව දුරටත් ගොස්, දකුණටවත් වමටවත් හැරෙන්ට ඉඩ නැති නුපුළුල් ස්ථානයක සිටගත්තේය.
27. කොටළුදෙන ස්වාමීන්වහන්සේ ගේ දූතයා දැක බාලාම් ඈ පිට ඉන්දදීම බිම වැතුරුණාය. බාලාම්ගේ කෝපය ඇවුළුණේය, ඔහු තමාගේ කෙවිටෙන් කොටළුදෙනට ගැසීය.
28. එවිට ස්වාමීන්වහන්සේ කොටළුදෙනගේ මුඛය ඇරෙවුසේක, ඈද: මේ තුන් වරක්ම මට ගැසීමට මම ඔබට කුමක් කෙළෙම්දැයි බාලාම්ට කීවාය.
29. බාලාම්ද: තී මට සරදම්කළ නිසාය. මාගේ අතේ කඩුවක් තිබුණේවී නම් මා විසින් මෙලහට තී මැරුවා නොවේදැයි කොටළුදෙනට කීවේය.
30. කොටළුදෙන: මම ඔබගේ මුළු ජීවිතයේ අද දක්වා ඔබ නැගීගිය ඔබගේ කොටළුදෙන නොවෙම්ද? ඔබට මෙසේ කරන්ට කවදාවත් පුරුදුව සිටියෙම්දැයි බාලාම්ට කීවාය.
31. ඔහු: නැතැයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ බාලාම්ගේ ඇස් ඇරෙවුසේක, ඔහු ස්වාමීන්වහන්සේ ගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටිනවා දැක හිස නමා මුහුණින් වැටුණේය.
32. ස්වාමීන්වහන්සේ ගේ දූතයා ඔහුට කථාකොට: ඔබේ කොටළුදෙනට ඔබ මේ තුන් වරක්ම ගැසුවේ මක්නිසාද? ඔබේ මාර්ගය මා ඉදිරියෙහි ඇදව තිබෙන නිසා විරුද්ධකාරයෙක් මෙන් මෙහි ඇවිත් සිටිමි.
33. කොටළුදෙනද මා දැක මේ තුන් වරක්ම මා ඉදිරියෙන් ඉවත හැරුණාය. ඈ මා කෙරෙන් ඉවත නොහැරුණා නම් සැබවින් මා විසින් ඔබ මරා ඈ ඉතුරුකරනලද්දේ නොවේදැයි කීවේය.
34. බාලාම්ද: ඔබ මට විරුද්ධව මාර්ගයෙහි සිටි බව මා නොදත් බැවින් පව්කෙළෙමි. ඉදින් ඔබ අසතුටුනම් හැරීයන්නෙමියි ස්වාමීන්වහන්සේ ගේ දූතයාට කීවේය.
35. ස්වාමීන්වහන්සේ ගේ දූතයා: ඒ මනුෂ්‍යයන් සමඟ යන්න. එහෙත් මා විසින් ඔබට කියන වචනය පමණක් ඔබ විසින් කිය යුතුයයි බාලාම්ට කීවේය. මෙසේ බාලාම් බාලාක්ගේ අධිපතීන් සමඟ ගියේය.
36. බාලාක්තෙමේ බාලාම් ආ බව අසා ඔහු සම්බ වන පිණිස අර්ණොන් සීමාවට ළංවූ සීමාන්තයෙහි තිබෙන මෝවබ් නුවරට ගියේය.
37. ඔහු බාලාම්ට කථාකොට: මම ඕනෑකමින් ඔබට එන්ට කියා නෑරියෙම්ද? ඔබ මා වෙතට නාවේ මක්නිසාද? සැබවින් ඔබ ගෞරවයට පමුණුවන්ට මට බැරිදැයි ඔහුට කීවේය.
38. බාලාම් කථාකොට: මෙන්න, මම ඔබ වෙතට ඇවිත් සිටිමි. මොකවත් කියන්ට දැන් මට කිසි බලයක් ඇද්ද? දෙවියන්වහන්සේ මාගේ මුඛයෙහි තබන වචනයම කියන්නෙමියි බාලාක්ට කීවේය.
39. බාලාම් බාලාක් සමඟ ගියේය. ඔව්හු කිර්යත්-හුශෝත්ට පැමුණුණෝය.
40. බාලාක් ගවයන් හා බැටළුවන් පූජාකොට බාලාම්ටද ඔහු සමඟ සිටි අධිපතීන්ටද කොටස් යැවීය.
41. තවද පසුව දා උදේ බාලාක් බාලාම් කැඳවාගෙන බාල්ගේ උස් තැන්වලට ගියේය, එහි සිට ඔහු කෙළවර දක්වාම සෙනඟ දිටීය.

ගීතාවලිය 33:10-17
10. ස්වාමීන්වහන්සේ ජාතීන්ගේ මන්ත්‍රණය නිරර්ථක කරනසේක. මනුෂ්‍ය වර්ගයන්ගේ සිතිවිලි නිෂ්ඵල කරනසේක.
11. ස්වාමීන් ගේ මන්ත්‍රණය සදාකාලයටද උන්වහන්සේගේ සිත්හි කල්පනා සියලු පරම්පරාවලටද පවත්නේය.
12. ස්වකීය දෙවියන් කොට ස්වාමීන්වහන්සේ ඇතුව සිටින ජාතියද, උන්වහන්සේ විසින් ස්වකීය උරුමය කොට තෝරාගත් සෙනඟද ආශීර්වාද ලද්දෝය.
13. ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලනසේක; සියලු මනුෂ්‍යපුත්‍රයන් දක්නාසේක;
14. උන්වහන්සේ ස්වකීය වාසස්ථානයේ සිට පොළෝවාසී සියල්ලන් දෙස බලනසේක;
15. ඔවුන් සියල්ලන්ගේ සිත් සාදන්නේ උන්වහන්සේමය, ඔවුන්ගේ සියලු ක්‍රියා සලකන්නෙත්‍ උන්වහන්සේමය.
16. මහත් සේනාව කරණකොටගෙන ගැළවුණු රජෙක් නැත. බලසම්පන්න මනුෂ්‍යයෙක් තමාගේ මහත් ශක්තියෙන් නොගැළවෙයි.
17. ආරක්ෂා පිණිස අශ්වයෙක් නිෂ්ඵලය. ඌ ස්වකීය මහත් බලයෙන් කිසිවෙකු නොගළවන්නේය.

හිතෝපදේශ 11:25-26
25. ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.
26. ධාන්‍ය නොදෙන්නාට සෙනඟ ශාපකරනවා ඇත; එහෙත් එය විකුණන්නාගේ හිසට ආශීර්වාදයක් පැමිණෙයි.

ශුද්ධවර මාක් 12:28-44
28. එවිට ලියන්නන්ගෙන් එක්කෙනෙක් ඇවිත් ඔවුන් එකතුව ප්‍රශ්න විචාරනවා අසා, උන්වහන්සේ මනාසේ ඔවුන්ට පිළිතුරු දුන් බව දැන: සියලු ආඥාවලින් කොයි එක ප්‍රධානදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
29. යේසුස්වහන්සේ උත්තරදෙමින්: ප්‍රධාන එක නම්-අහෝ ඉශ්‍රායෙල්, අසන්න; අපේ දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේය උන්වහන්සේ එකම (දෙවියන්වහන්සේ)ය.
30. ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන්න යන එකය.
31. දෙවෙනි එක නම්: ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේමකරන්න යනුය. මේවාට වඩා උතුම්වූ අන්කිසි ආඥාවක් නැතැයි කීසේක.
32. එවිට ලියන්නා: ආචාරීන්වහන්ස, සැබවින් උන්වහන්සේ එකම තැනන්වහන්සේයයි ඔබ හරිලෙස කීයෙහිය; උන්වහන්සේ හැර වෙන කිසි දෙවිකෙනෙක් නැත.
33. මුළු හෘදයෙන්ද මුළු ඥානයෙන්ද මුළු ශක්තියෙන්ද උන්වහන්සේට ප්‍රේමකිරීමත් තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකිරීමත් සියලු මුළු දවන පූජාවලට හා යාගවලටත් වඩා උතුම්යයි කීය.
34. ඔහු නුවණින් උත්තරදුන් බව යේසුස්වහන්සේ දැක: ඔබ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට නුදුරුව සිටින්නෙහියයි ඔහුට කීසේක. ඉන්පසු උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්ට කිසිවෙකුට ධෛර්ය නොතිබුණේය.
35. යේසුස්වහන්සේ දේවමාළිගාවේ උගන්වද්දී උත්තරදෙමින්: ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයායයි ලියන්නෝ කෙසේ කියද්ද?
36. දාවිත්ම ශුද්ධාත්මයාණන් කරණකොට කථාකරමින්: මා විසින් ඔබේ සතුරන් ඔබේ පාපුටුව කොට තබන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගනින්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි කීය.
37. දාවිත්ම උන්වහන්සේට ස්වාමින්වහන්සේයයි කියයි; එසේ නම් උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේදැයි ඇසූසේක. සාමාන්‍ය ජනයා උන්වහන්සේට සන්තෝෂයෙන් ඇහුම් කන්දුන්නෝය.
38. උන්වහන්සේ තමන් ඉගැන්වීමේදී කියනසේක්: උතුරු සළු ඇඳ ඇවිදීමටත් කඩපිල්වලදී ආචාර ලැබීමටත්
39. සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටත් මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානවලටත් කැමතිවන්නාවූද,
40. වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකන්නාවුද, වංචාවට දීර්ඝ යාච්ඤාකරන්නාවුද ලියන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න; ඔව්හු වඩා බරපතළ දඬුවමක් ලබන්නෝයයි කීසේක.
41. උන්වහන්සේ මුදල් ගබඩාව ඉදිරියෙහි වැඩහිඳ සෙනඟ ගබඩාවට මුදල් දමන හැටි බලාහුන්සේක. වස්තුකාරයෝ බොහෝ දෙනෙක් හුඟක් දැමුවෝය.
42. දිළිඳු වැන්දඹුවක් ඇවිත් ශතයක් වටිනා සල්ලි දෙකක් දැමුවාය.
43. උන්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා: සැබවක් ඔබ සැමට කියමි-ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය.
44. මක්නිසාද ඒ සියල්ලෝ තමුන්ගේ වැඩිමනත් දෙයින් දැමුවෝය. නුමුත් මෑ වනාහි තමාගේ හිඟකමෙන් තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.