A A A A A
අවුරුද්දකින් බයිබලය
පෙබරවාරි 6

නික්මයාම 23:1-33
1. බොරු ප්‍රවෘත්තියක් පතළ නොකරන්න. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙකු වීමට දුෂ්ටයෙකුට ඔබේ අත නොදෙන්න.
2. නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න; විනිශ්චය පෙරළන පිණිස කාරණයකදී සමූහයකට පක්ෂව සාක්ෂි නොදෙන්න.
3. දිළිඳෙකුටත් ඔහුගේ නඩුවේදී පක්ෂනොවන්න.
4. ඔබේ සතුරාගේ ගොනා හෝ ඔහුගේ කොටළුවා හෝ මුළාව යනවා සම්බවුණොත් ඔබ ඒකා ඔහු කරා නැවත ගෙනයා යුතුමය.
5. ඔබට වෛර කරන්නාගේ කොටළුවා බර සමඟ වැටී ඉන්නවා දුටුවොත් ඔහුට උපකාර කිරීමෙන් වැලකෙන්ට සිතුණත් ඌ මුදන්ට ඔබ ඔහුට උදව්විය යුතුමය.
6. ඔබේ දිළිඳු අයෙකුගේ නඩුවේදී ඔහුගේ විනිශ්චය නොපෙරළන්න.
7. බොරුකාරණයකින් දුරුව සිටින්න; නිදොස්වූ ධර්මිෂ්ඨවූ තැනැත්තා නොමරන්න. මක්නිසාද මම දුෂ්ටයා ධර්මිෂ්ඨ නොකරන්නෙමි.
8. අල්ලස් නොගන්න. මක්නිසාද අල්ලස ඇස් පෙනීම ඇත්තන් අන්ධකරයි, ධර්මිෂ්ඨයාගේ වචන පෙරළයි.
9. විදේශියෙකුට පීඩානොකරන්න. මක්නිසාද ඔබ සැම මිසර දේශයෙහි විදේශීව සිටි බැවින් විදේශියාගේ සිත දන්නහුය.
10. ඔබේ බිම් සාවුරුද්දක් වපුරා එහි අස්වැන්න රැස්කරගන්න.
11. එහෙත් සත්වෙනි අවුරුද්දේ ඔබේ සෙනඟගේ දිළිඳුන් එයින් කන පිණිස ඒක නොවපුරා නිකම් තිබෙන්ට හරින්න. ඔවුන් ඉතිරිකරන දෙය කෙතේ මෘගයෝ කත්වා. ඔබේ මිදිවත්ත සහ ඔලීවවත්ත ගැනත් එසේම කරන්න.
12. සදවසක් ඔබේ වැඩ කරගන්න, එහෙත් ඔබේ ගවයාට සහ ඔබේ කොටළුවාට නිවාඩු ලැබෙන පිණිසද ඔබේ වැඩකාරීගේ පුත්‍රයා සහ විදේශියාත් පහසු ලබන පිණිසද සත්වෙනි දවසේ නිවාඩුගන්න.
13. මා විසින් ඔබ සැමට කී සියලු කාරණා ගැන සිතටගන්න. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න, ඒක ඔබ සැමගේ මුඛයෙන් පිටවෙනවා අසන්ට නොලැබේවා.‍
14. අවුරුද්දට තුන් වරක් මට මංගල්‍යයක් පවත්වන්න.
15. මුහුන් නුමුසු රොටි මංගල්‍යය පවත්වන්න. ඔබ සැම ආබීබ් මාසයේදී මිසරයෙන් පිටතට ආ බැවින් මා විසින් අණකළ ලෙස ඒ මාසයේ නියම කාලයේදී සත් දවසක් මුහුන් නුමුසු රොටි කන්න; කිසිවෙක් හිස් අතින් මා ඉදිරියට නොපැමිණේවා.
16. ඔබ කෙතෙහි වපුරන බීජවල ප්‍රථම ඵල ඔප්පුකිරීමට කපන කාලයේ මංගල්‍යයද අවුරුද්ද අන්තිමේදී කෙතෙන් ඔබේ අස්වැන්න රැස්කළ කල්හි රැස්කිරීමේ මංගල්‍යයද පවත්වන්න.
17. ඔබේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටිය යුතුය.
18. මාගේ පූජාවේ ලේ මුහුන් දැමූ රොටි සමඟ පූජා නොකරන්න; මාගේ මංගල්‍යයේ තෙලද පසුවදා උදය වන තුරු රෑ මුළුල්ලේ නොතිබිය යුතුය.
19. ඔබේ භූමියේ ප්‍රථම ඵලවලින් පළමු ඒවා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගෙට ගෙනෙන්න. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිහින්න.
20. බලව, මාර්ගයෙහි ඔබ ආරක්ෂාකරන පිණිසද මා විසින් පිළියෙළකළ ස්ථානයට ඔබ පමුණුවන පිණිසද ඔබට පෙරටුව දූතයෙකු යවමි.
21. උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රවේසම්වෙමින් උන්වහන්සේගේ හඬට කන්දෙන්න; උන්වහන්සේ කෝප නොකරන්න; මක්නිසාද උන්වහන්සේ ඔබ සැමගේ අපරාධවලට කමා නොවනසේක; මක්නිසාද මාගේ නාමය උන්වහන්සේ තුළ ඇත්තේය.
22. එහෙත් ඔබ සැබවින් උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දී මා කියන සියල්ල කළොත් මම ඔබේ සතුරන්ට සතුරෙක්ද ඔබේ විරුද්ධකාරයන්ට විරුද්ධකාරයෙක්ද වන්නෙමි.
23. මක්නිසාද මාගේ දූතයා ඔබට පෙරටුව ගොස් අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද කානානිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද වෙතට ඔබ පමුණුවනසේක. මමද ඔවුන් සිඳදමන්නෙමි.
24. ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර නොකරන්න, ඔවුන්ට මෙහෙනොකරන්න, ඔවුන්ගේ ක්‍රියාවල හැටියට නොකරන්න. එසේ නොව ඔවුන් මුළුමනින්ම පෙරළාදමා ඔවුන්ගේ රූපස්තම්භ කැබලිකොට බිඳදමන්න.
25. ඔබ සැම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට මෙහෙකරන්න, උන්වහන්සේ ඔබේ භෝජනයටත් ඔබේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම ඔබ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි.
26. ඔබේ දේශයෙහි කිසි ගබ්සාවීමක්වත් වඳව සිටීමක්වත් නොවන්නේය. මම ඔබේ දවස් ගණනද සම්පූර්ණකරන්නෙමි.
27. මාගේ භයංකරකම ඔබට පෙරටුව යවා ඔබ පැමිණෙන තැන්වල මුළු සෙනඟ වියවුල්කොට ඔබේ සියලු සතුරන් ඔබට පිටුපාන්ට සලස්වන්නෙමි.
28. ඔබ ඉදිරියෙන් හිවීවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද පන්නන පිණිස ඔබට පෙරටුව දෙබරුන් යවන්නෙමි.
29. මම එක අවුරුද්දකින් ඔවුන් ඔබ ඉදිරියෙන් පන්නා නොදමන්නෙමි; එසේකළොත් දේශය පාළුවී වන මෘගයන් ඔබට විරුද්ධව බෝවෙනවා ඇත.
30. ඔබ සැම වැඩිවී දේශය උරුමකරගන්න තෙක් ඔවුන් ටිකෙන් ටික ඔබ ඉදිරියෙන් පන්නාදමන්නෙමි.
31. මම ඔබේ සීමාව රතු මුහුද පටන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසාද ඔබ විසින් දේශයේ වැසියන් ඔබ ඉදිරියෙන් පන්නාදමන පිණිස ඔවුන් ඔබේ අතට පාවාදෙන්නෙමි.
32. ඔවුන් සමඟවත් ඔවුන්ගේ දෙවිවරුන් සමඟවත් ගිවිසුමක් නොකරන්න.
33. මට විරුද්ධව පව්කරන්ට ඔවුන් ඔබ නොසලස්වන පිණිස ඔවුන් ඔබේ දේශයෙහි වාසයකරන්ට ඔවුන්ට ඉඩ නොදෙන්න. මක්නිසාද ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට මෙහෙකරන්නෙහිනම් සැබවින්ම ඒක ඔබට මලපතක් වන්නේයයි කීසේක.

නික්මයාම 24:1-18
1. උන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඔබ සහ ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද ස්වාමීන්වහන්සේ වෙතට කන්දට ඇවිත් දුරින් සිට නමස්කාරකරන්න.
2. මෝසෙස් පමණක් ස්වාමීන්වහන්සේ ළඟට එන්නේය; නුමුත් ඔවුන් ළංනොවිය යුතුය; සෙනඟ ඔහු සමඟ නොනැග්ග යුතුයයි කීසේක.
3. මෝසෙස් අවුත් ස්වාමීන්වහන්සේ ගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනඟට කියා දුන්නේය. මුළු සෙනඟ එක හඬින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි කීවෝය.
4. මෝසෙස්ද ස්වාමීන්වහන්සේ ගේ සියලු වචන ලියා අලුයම නැඟිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය.
5. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් යෞවනයන් යැවීය, ඔව්හු ස්වාමීන්වහන්සේ ට දවන යාග සහ ශාන්ති යාග කොට ගවයින් පූජාකළෝය.
6. මෝසෙස් ලෙයින් දෙකෙන් කොටසක් ගෙන භාජනවල දමා ඉතිරි කොටස පූජාසනය පිට ඉස්සේය.
7. තවද ඔහු ගිවිසුමේ පොත රැගෙන සෙනඟ ඉදිරියෙහි කියෙවුවේය. ඔව්හුද: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරමින් කීකරුවන්නෙමුයයි කීවෝය.
8. එවිට මෝසෙස් ඒ ලේ රැගෙන සෙනඟට ඉසිමින්: මේ සියලු වචන ගැන ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ කළාවූ ගිවිසුමේ ලේ මේ යයි කීවේය.
9. එකල මෝසෙස්ද ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද නැගී ගොස්,
10. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝය; උන්වහන්සේගේ පාද යට නීලමාණික්‍ය ආස්තරණයක් වැන්නක්ද දීප්තිමත්කමින් අහස්තලයම වැන්නක්ද වූයේය.
11. උන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උත්තමයන් පිට අත නොහෙළූසේක, ඔව්හු දෙවියන්වහන්සේ දැකලාත් කා බී සිටියෝය.
12. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මා ළඟට කන්දට නැගී ඇවිත් මෙහි සිටින්න. ඔබ ඔවුන්ට උගන්වන පිණිස මා ලියූ ගල්ලෑලිද ව්‍යවස්ථාවද ආඥාවද ඔබට දෙන්නෙමියි කීසේක.
13. මෝසෙස්ද ඔහුගේ සේවකවූ යෝෂුවාද නැගිට ගියෝය. මෝසෙස් දෙවියන්වහන්සේගේ කන්දට නැගුණේය.
14. ඔහු වැඩිමහල්ලන්ට කථාකොට: අප ඔබ සැම වෙතට නැවත එනතෙක් මෙහි සිටින්න. මෙන්න, ආරොන් සහ හූර් ඔබ සැම සමඟ සිටිති. යමෙකුට කාරණයක් ඇත්නම් ඔහු ඔවුන් වෙතට පැමිණේවයි කීවේය.
15. මෝසෙස් කන්දට නැගී ගියේය, වලාකුළ කන්ද වසාගත්තේය.
16. ස්වාමීන්වහන්සේ ගේ තේජස සීනයි කන්දේ පැවතුණේය, වලාකුළ සදවසක් ඒක වසා සිටියාය. සත්වෙනි දින උන්වහන්සේ වලාකුළ මැදින් මෝසෙස්ට හඬගැසූසේක.
17. ස්වාමීන්වහන්සේ ගේ තේජසේ පෙනීම කන්ද මුදුනේ ඇවිළී යන ගිනි මෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ඇස්වලට පෙනුණේය.
18. මෝසෙස් වලාකුළ මැදට ඇතුල්වී කන්දට නැගුණේය. මෝසෙස් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කන්දේ සිටියේය.

ගීතාවලිය 19:1-6
1. නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි. අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි.
2. දවාල දවාලට කථාකරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි.
3. කථාවක්වත් වචනයක්වත් නැත; ඒවායේ ශබ්දය නොඇසෙයි.
4. ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිරගියේය. එහි උන්වහන්සේ සූර්යයාට මණ්ඩපයක් පිහිටෙවුසේක.
5. ඔහු තමාගේ භවනයෙන් නික්මෙන මනමාලයෙකු වැනිය, තමාගේ ගමන දුවන්ට ශක්තිමත් කෙනෙකුමෙන් ප්‍රීතිවෙයි.
6. ඔහුගේ නික්මයාම අහසේ කෙළවරෙන් වේ, වටේට යාමත් එහි කෙළවර දක්වාවේ. ඒකේ රස්නය නොවැදෙන කිසිවක් නැත්තේය.

හිතෝපදේශ 6:30-31
30. හොරෙක් තමාට බඩගිනි නිසා තමාගේ ආශාව සන්සිඳුවාගන්න පිණිස හොරකම් කළත්, මනුෂ්‍යයෝ එය නොසලකා නොහරිති.
31. නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය; තමාගේ ගෙයි මුළු සම්පත වුවත් දෙන්ට ඕනෑය.

ශුද්ධවර මතෙව් 23:23-39
23. ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා ඔබ සැම විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.
24. අන්ධවූ මගපෙන්වන්නෙනි, ඔබ සැම මදුරුවා බේරාදමා ඔටුවා ගිලගන්නහුය.
25. ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම කුසලානද තැටියද පිටින් පවිත්‍රකරන්නහුය, නුමුත් ඇතුළේ ඒවා කොල්ල කෑමෙනුත් තෘෂ්ණාධිකකමෙනුත් පිරී තිබේ.
26. අන්ධවූ පරිසිය, කුසලානත් තැටියත් පිටින් පවිත්‍රවන පිණිස පළමුකොට ඒවායේ ඇතුළ පවිත්‍රකරන්න.
27. ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම සුදුකළ සොහොන් ගෙවලට සමානය, ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ.
28. එසේම ඔබ සැමත් පිටතින් මනුෂ්‍යයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නහුය, නුමුත් ඇතුළතින් වංචාවෙන්ද අයුතුකමෙන්ද පිරී සිටින්නහුය.
29. ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම අනාගතවක්තෘවරුන්ගේ සොහොන් ගෙවල් සාදා, ධර්මිෂ්ඨයන්ගේ සොහොන් කොත් හරහා:
30. අපේ පියවරුන්ගේ කාලයේදී අපි සිටියෙමු නම් අනාගතවක්තෘවරුන්ගේ ලේ වැගිරීමට ඔවුන් සමඟ හවුල්කාරයෝ නොවන්නෙමුයයි කියන්නහුය.
31. මෙසේ ඔබ සැම අනාගතවක්තෘවරුන් මැරූවන්ගේ පුත්‍රයෝයයි ඔබ සැමම සාක්ෂිදෙන්නහුය.
32. ඔබ සැමත් ඔබ සැමගේ පියවරුන්ගේ මිම්ම පූර්ණකරන්න.
33. සර්පයෙනි, පොළොංවංශයෙනි, ඔබ සැම නිරයේ දඬුවමින් කෙසේ ගැළවෙන්නහුද?
34. එබැවින් මම අනාගතවක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ලියන්නන්ද ඔබ සැම ළඟට එවමි. ඔබ සැම ඔවුන්ගෙන් සමහරෙකු මරන්නහුය, කුරුසියෙහි ඇණගසන්නහුය; සමහරෙකුට ඔබ සැමගේ සිනගෝගවලදී තළා, ඔවුන් නුවරින් නුවරට එළවමින් පීඩාකරන්නහුය.
35. මෙසේ ධර්මිෂ්ඨවූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ ඔබ සැම විසින් මරනලද බරාකියාගේ පුත්‍රවූ සකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවනලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ ඔබ සැම පිටට පැමිණෙන්නේය.
36. සැබවක් ඔබ සැමට කියමි-මේ සියල්ල මේ පරම්පරාව පිටට පැමිණෙන්නේය.
37. අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, ඔබ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් ඔබේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් ඔබ සැම කැමතිවුණේ නැත.
38. බලව, ඔබ සැමගේ ගෘහය ඔබ සැමට පාළුකොට අත්හරිනු ලැබේ.
39. මක්නිසාද ඔබ සැමට කියමි: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශීර්වාදලද්දේයයි ඔබ සැම කියන තෙක් මෙතැන් පටන් ඔබ සැම මා දකින්නේ නැතැයි කීසේක.