A A A A A
අවුරුද්දකින් බයිබලය
පෙබරවාරි 23

ලෙවී ව්‍යවස්ථාව 15:1-33
1. ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට කියනසේක්:
2. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න-යම් මනුෂ්‍යයෙකුට තමාගේ මාංසයෙන් ප්‍රමේහයක් ඇති කල ඔහුගේ ප්‍රමේහය නිසා ඔහු අපවිත්‍රය.
3. ප්‍රමේහය සම්බන්ධව ඔහුගේ අපවිත්‍රකම මේය: ඔහුගේ ප්‍රමේහය ඔහුගේ මාංසයෙන් නික්මෙන නුමුත් මාංසය තුළ නවතින නුමුත් ඒක ඔහුගේ අපවිත්‍රකමය.
4. ප්‍රමේහය ඇති අය සයනය කරන සියලු යහන් අපවිත්‍රවන්නේය. ඔහු හිඳින සියලු බඩුද අපවිත්‍රවන්නේය.
5. ඔහුගේ යහනේ ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
6. ප්‍රමේහය ඇති අය හිඳගන්න කිසිවක් පිට හිඳින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
7. ප්‍රමේහය ඇත්තාගේ ශරීරයෙහි ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
8. ප්‍රමේහය ඇති අය පවිත්‍ර කෙනෙකු පිටට කෙළගැසුවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රවන්නේය.
9. ප්‍රමේහය ඇති අය නැගී යන සියලු රථවාහනද අපවිත්‍රවන්නේය.
10. ඔහුගේ ඇඟට යටව තිබුණු කිසි දෙයක ස්පර්ශවන කවුරු නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය. ඒවා ගෙනයන්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
11. ප්‍රමේහය ඇති අය තමාගේ අත් වතුරෙන් සෝදා නොගෙන අතගසන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය.
12. ප්‍රමේහය ඇති අය අත ගසන මැටි භාජනය බිඳදැමිය යුතුය. සියලු ලී භාජනද වතුරෙන් සේදිය යුතුය.
13. ප්‍රමේහය ඇති අය ප්‍රමේහයෙන් පවිත්‍රවූ කල ඔහු තමාගේ පවිත්‍රවීමට සත් දවසක් පසුකොට තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ ශරීරය බැස යන වතුරෙන් නාවා ගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය.
14. අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙකු හෝ පරෙවිපැටවුන් දෙන්නෙකු හෝ රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අවුත් උන් පූජකයාට දේවා.
15. පූජකයාද උන්ගෙන් එකෙකු පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකර, ඔහුගේ ප්‍රමේහය ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමඟිකමක් කරන්නේය.
16. යම් පුරුෂයෙකුගේ ශුක්‍රධාතුව ඔහු කෙරෙන් පිටවුණොත් ඔහු තමාගේ මුළු ශරීරය වතුරෙන් සෝදාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය.
17. ශුක්‍රධාතුව තැවරෙන සියලු වස්ත්‍රද හම්ද සෝදනු ලැබිය යුතුය, ඒවා සවස දක්වාද අපවිත්‍රවන්නේය.
18. ශුක්‍රධාතුව වැගිරීම ඇති පුරුෂයෙක් ස්ත්‍රියෙක් සමඟ සයනයකළොත් ඔවුන් දෙදෙනම වතුර නාගත යුතුය, ඔව්හු සවස දක්වාද අපවිත්‍රව සිටින්නෝය.
19. යම් ස්ත්‍රියෙකුට ප්‍රමේහයක් ඇතිවී ඇගේ ශරීරයේ ප්‍රමේහය ලේවීනම් ඈ සත් දවසක් ඇගේ කිලුටුකමෙහි වන්නීය. ඈ ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.
20. ඇගේ කිලුටුකමේදී ඈ සැතපෙන සියල්ලද අපවිත්‍ර වන්නේය. ඈ හිඳගන්න සියල්ලද අපවිත්‍රවන්නේය.
21. ඇගේ යහනෙහි ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
22. ඈ හිඳගන්න කිසිවක ස්පර්ශවන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
23. යහන පිටවත් ඈ හිඳගන්න දෙයක් පිටවත් තිබෙන දෙයෙහි ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.
24. යම් පුරුෂයෙක් ඈ සමඟ සයනය කොට ඇගේ කිලුට ඔහු පිට වන්නේනම්, ඔහු සත් දවසක් අපවිත්‍රව සිටින්නේය; ඔහු සැතපෙන සියලු යහන්ද අපවිත්‍රව තිබෙන්නේය.
25. යම් ස්ත්‍රියෙකුට ඇගේ කිලුටුකමේ කාලයට ඇතුළත් නැති බොහෝ දවසක් ලේ වැගිරීමක් වන්නේනම් නොහොත් ඇගේ කිලුටුකමේ කාලයට වැඩි කාලයක් ලේ වැගිරීමක් වන්නේනම් ඇගේ අපවිත්‍රකමේ සියලු දවස්වල ඇගේ කිලුටුකමේ දවස්වලදී මෙන් සිටින්නීය. ඈ අපවිත්‍රය.
26. ඇගේ වැගිරීමේ සියලු දවස්වලදී ඈ සැතපෙන සියලු යහන් ඇගේ කිලුටුකමේ යහන මෙන් වන්නේය. ඈ හිඳින සියල්ලද ඇගේ කිලුටුකමේ අපවිත්‍රකම මෙන්ම අපවිත්‍රවන්නේය.
27. එහි ස්පර්ශවන තැනැත්තේ අපවිත්‍රව සිටින්නේය, ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
28. නුමුත් ඇගේ වැගිරීමෙන් ඈ පවිත්‍රවූවානම් සත් දවසක් ගතකළාට පසු ඈ පවිත්‍රවන්නීය.
29. අටවෙනි දවසෙහි කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවි පැටවුන් දෙන්නෙක් හෝ රැගෙන සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට උන් ගෙනා යුතුය.
30. පූජකයාද එකෙක් පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකොට ඇගේ අපවිත්‍රකමේ වැගිරීම සඳහා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඈ උදෙසා සමඟිකමක් කරන්නේය.
31. එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන් මධ්‍යයෙහි තිබෙන මාගේ මණ්ඩපය කිලුටුකොට තමුන්ගේ අපවිත්‍රකමෙන් නොනස්නා පිණිස ඔබ සැම ඔවුන්ගේ අපවිත්‍රකමෙන් ඔවුන් වෙන්කරන්න.
32. වැගිරීමක් ඇත්තාද ශුක්‍ර වැගිරීමෙන් අපවිත්‍ර වෙන්නාද ඔසප් ඇතිවීමෙන් අසනීපව සිටින්නීද,
33. පුරුෂයෙක් නුමුත් ස්ත්‍රියෙක් නුමුත් වැගිරීමක් ඇති අයද අපවිත්‍ර ස්ත්‍රියෙක් සමඟ සයනයකරන්නාද ගැන ව්‍යවස්ථාව මේයයි කීසේක.

ලෙවී ව්‍යවස්ථාව 16:1-34
1. ස්වාමීන්වහන්සේ ඉදිරියට ළඟාවී සිටිද්දී මැරුණු, ආරොන්ගේ පුත්‍රයන් දෙදෙනාගේ මරණයෙන් පසු,
2. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ඔබේ සහෝදරවූ ආරොන් නොනස්නා පිණිස තිරය ඇතුළතින් ශුද්ධස්ථානයෙහි පෙට්ටිය පිට තිබෙන කරුණාසනය ඉදිරියට නිතරම ඇතුල් නොවන ලෙස ඔහුට කියන්න. මක්නිසාද මම කරුණාසනය මතුයේ වලාකුළෙහි පෙනෙන්නෙමි.
3. ආරොන් ශුද්ධස්ථානයට ඇතුල්විය යුතු මෙසේය: පාප පූජාවකට ගොන් නාම්බෙක්ද දවන පූජාවකට බැටළුවෙක්ද රැගෙන ඔප්පුකිරීමෙන්ය.
4. ඔහු ශුද්ධ හණ යට ඇඳුම ඇඳ, තමාගේ ඇඟේ හණ කලිසම දමාගෙන, හණ පටිය ඉඟටියේ බැඳගන, මකුටය පැලඳ ගන්නේය. ඒවා ශුද්ධ වස්ත්‍ර බැවින් ඔහු තමාගේ ශරීරය වතුරෙන් සෝදාගෙන ඒවා පැලඳගත යුතුය.
5. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවෙන් පාප පූජාවකට එළුවන් දෙන්නෙක්ද දවන පූජාවකට එක බැටළුවෙක්ද ගන්නේය.
6. එවිට ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකර තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමඟිකමක් කරන්නේය.
7. ඔහු එළුවන් දෙදෙනා රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිටවන්නේය.
8. එවිට ආරොන් එළුවන් ගැන පසඇට දැමිය යුතුය: ස්වාමීන්වහන්සේ ට එක පස ඇටයක්ය, අශාශෙල්ට එක පස ඇටයක්ය.
9. පසඇට දැමීමෙන් ස්වාමීන්වහන්සේ ට වූ එළුවා ගෙනැවිත් ආරොන් පාප පූජාවක් කොට ඔප්පුකරන්නේය.
10. එහෙත් පසඇට දැමීමෙන් අශාශෙල්ට වූ එළුවා අශාශෙල් උදෙසා වනාන්තරයෙහි නිදහසට ඇරීමට උගෙන් සමඟිකමක් කරන පිණිස ඌ පණපිටින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටවනු ලැබේවා.
11. ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකොට, තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමඟිකමක් කරමින්, තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා මරන්නේය.
12. එවිට ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනයේ ගිනි අඟුරුවලින් ධූප භාජනයක් පුරවා, කුඩුකළාවූ සුගන්ධ ද්‍රව්‍යයෙන් තමාගේ අත් පුරවාගෙන, තිරයෙන් ඇතුළට ඇවිත්,
13. ඔහු නොනසින පිණිස ධූප පටලය සාක්ෂිය මතුයෙහි තිබෙන කරුණාසනය වසාගන්නා ලෙස ඒ සුවඳ ද්‍රව්‍ය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගින්න පිට දමන්නේය.
14. තවද ඔහු ගොනාගේ ලෙයින් ස්වල්පයක් ගෙන තමාගේ ඇඟිල්ලෙන් කරුණාසනයෙහි නැගෙනහිර පැත්තේ ඉසින්නේය; ඔහු කරුණාසනය ඉදිරියෙහි තමාගේ ඇඟිල්ලෙන් ඒ ලේ සත් වරක් ඉසිය යුතුය.
15. එවිට ඔහු සෙනඟ උදෙසා වූ පාප පූජාවේ එළුවා මරා උගේ ලේ තිරයෙන් ඇතුළට ගෙනගොස් ගොනාගේ ලෙයින් කළ ලෙසම උගේ ලෙයිනුත් කරමින් කරුණාසනය පිටද කරුණාසනය ඉදිරියෙහිද ඉසින්නේය.
16. එසේ ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකම් නිසාද ඔවුන්ගේ සියලු අපරාධයන් එනම් ඔවුන්ගේ සියලු පව් නිසාද ශුද්ධස්ථානය උදෙසා සමඟිකමක් කරන්නේය. ඔවුන් අතරේ ඔවුන්ගේ අපවිත්‍රකම් මැද පිහිටා තිබෙන සම්මුඛවීමේ කූඩාරමටත් එසේම කළ යුතුය.
17. ඔහු ශුද්ධස්ථානයෙහි සමඟිකමක් කරන්ට ඇතුල්වන කල තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද මුළු ඉශ්‍රායෙල් සභාව උදෙසාද සමඟිකමක් කොට පිටතට එනතුරු කිසිවෙක් සම්මුඛවීමේ කූඩාරමෙහි නොසිටිය යුතුය.
18. ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනය ළඟට පිටතට ගොස් ඒක උදෙසා සමඟිකමක් කරමින් ගොනාගේ ලෙයින්ද එළුවාගේ ලෙයින්ද මඳ මඳ රැගෙන පූජාසනයේ අංවල වටේට ගාන්නේය.
19. ඔහු ඒ පිට සත්වරක් තමාගේ ඇඟිල්ලෙන් ලේ ඉස ඒක පවිත්‍රකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකමෙන් ඒක විශුද්ධකෙරේවා.
20. ඔහු ශුද්ධස්ථානයද සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද උදෙසා සමඟිකමක්කොට නිමවූ කල පණ පිටින් සිටින එළුවා ඉදිරියට ගෙනේවා.
21. ආරොන්ද තමාගේ අත් දෙක පණ පිටින් සිටින එළුවාගේ හිස පිට තබා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු අපරාධයන්ද එනම් ඔවුන්ගේ සියලු පව් කියා දෙමින් ඒවා එළුවාගේ හිස පිට තබා සූදානම්ව සිටින මනුෂ්‍යයෙකු අත ඌ වනාන්තරයට යැවියයුතුය.
22. එළුවාද ඔවුන්ගේ සියලු අයුතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය. ඔහු එළුවා වනාන්තරයෙහි යන්ට හරින්නේය.
23. එවිට ආරොන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්ව තමා ශුද්ධස්ථානයට ඇතුල්වෙන විට හැඳගන සිටි හණ වස්ත්‍ර ගළවා එහි තබා,
24. ශුද්ධ ඉඩමකදී වතුර නාවාගන, තමාගේ වස්ත්‍ර හැඳගන පිටතට අවුත්, තමාගේ දවන පූජාවද සෙනඟගේ දවන පූජාවද ඔප්පුකර, තමා උදෙසාද සෙනඟ උදෙසාද සමඟිකමක් කරන්නේය.
25. පාප පූජාවේ තෙල පූජාසනය පිට දැවිය යුතුය.
26. අශාශෙල් උදෙසා වූ එළුවා යන්ට හරින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගෙන පසුව කඳවුරට ආ යුතුය.
27. තවද ශුද්ධස්ථානයෙහි සමඟිකමක් කරන පිණිස ලේ ගන්ට යෙදුණු පාප පූජාවේ ගොනාද පාප පූජාවේ එළුවාද කඳවුරෙන් පිටතට ගෙන ගොස් උන්ගේ හම්ද මාංසද ගොමද ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.
28. ඒවා පුලුස්සාදමන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන, වතුර නාගන, පසුව කඳවුරට එන්නේය.
29. එය ඔබ සැමට නිරන්තර පනතක් වන්නේය. සත්වෙනි මාසේ දසවෙනි දිනදී ඔබ සැමගේ ප්‍රාණවලට පීඩාකරගත යුතුය, ස්වදේශියාවත් ඔබ සැම අතරේ වසන විදේශියාවත් කිසිම වැඩක් නොකළ යුතුය.
30. මක්නිසාද ඔබ සැමගේ සියලු පාපවලින් ඔබ සැම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍රවෙන පිණිස ඔබ සැම පවිත්‍රකරනු ලැබීමට ඒ දවසේ ඔබ සැම උදෙසා සමඟිකමක් කරනු ලබන්නේය.
31. ඒක ඔබ සැමට ශුද්ධවූ නිවාඩුවක් වන සබතක්ය, ඔබ සැම ඔබ සැමගේ ආත්මවලට දුක් දිය යුතුය. එය සදාකාල නියෝගයක්ය.
32. ආලේපය ලබා තමාගේ පියා වෙනුවට පූජකකම් කිරීමට පත්වෙන්නාවූ පූජකයා එසේ සමඟිකම කළ යුතුය. ඔහු හණ වස්ත්‍ර එනම් ශුද්ධ වස්ත්‍ර හැඳගන,
33. අති ශුද්ධස්ථානය උදෙසා සමඟිකමක් කළ යුතුය, සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද පූජකයින්ද සභාවේ සියලු සෙනඟද උදෙසාත් සමඟිකමක් කළ යුතුය.
34. ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ සියලු පව් ගැන අවුරුද්දකට වරක් සමඟිකමක් කරන පිණිස මේක ඔබ සැමට නිරන්තර පනතක් වන්නේයයි කීසේක. ඔහු ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළලෙස කෙළේය.

ගීතාවලිය 26:6-12
6. ස්වාමිනි, ස්තුති ශබ්දය ඇසෙන්ට සලස්වන පිණිසද, ඔබගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ප්‍රකාශකරන පිණිසද,
7. නිදොස්කමින් මාගේ අත් සෝදා, ඔබගේ පූජාසනය ප්‍රදක්ෂිණ කරන්නෙමි.
8. ස්වාමිනි, ඔබගේ ගෘහ වාසයටත් ඔබගේ තේජස පිහිටි ස්ථානයටත් ප්‍රේමකරමි.
9. පව්කාරයන් සමඟ මාගේ ආත්මයත් මිනීමරන්නන් සමඟ මාගේ ජීවිතයත් එක් නොකළ මැනව.
10. ඔවුන්ගේ අත්වල පවිටුකම ඇත්තේය, ඔවුන්ගේ දකුණත අල්ලසින් පිරී තිබේ.
11. මම වනාහි නිර්දෝෂකමින් හැසිරෙන්නෙමි. මා මුදා මට කරුණාකළ මැනව.
12. මගේ පය සමබිමෙක්හි පිහිටා තිබේ. සභාවලදී ස්වාමීන් ට ප්‍රශංසාකරන්නෙමි.

හිතෝපදේශ 10:8-8
8. ප්‍රඥාවත් සිතක් ඇත්තා ආඥා පිළිගනියි; එහෙත් දොඩවන මෝඩයා හෙළාදමනු ලැබේ.

ශුද්ධවර මාක් 4:1-20
1. නැවතත් උන්වහන්සේ මුහුද අද්දර උගන්වන්ට පටන්ගත්සේක. එකල ඉතා මහත් සමූහයක් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැගී වැඩහුන්සේක; මුළු සමූහයාද මුහුද ළඟ ගොඩ සිටියෝය.
2. උන්වහන්සේ බොහෝ කාරණා උපමාවලින් ඔවුන්ට ඉගැන්වූසේක. උන්වහන්සේ තමන් ඉගැන්වීමේදී ඔවුන්ට කියනසේක්:
3. අසන්න-වපුරන්නා වපුරන්ට ගියේය.
4. ඔහු වපුරන කල මෙසේ සිදුවිය: සමහර බීජ මග අසල වැටුණේය, පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය.
5. සමහරක් වඩා පස් නැති ගල් බිමේ වැටී, පස් ඝන නොවූ නිසා වහාම පැළවී,
6. ඉර උදාවූකල අව්වෙන් දාලා, මුල් නැති බැවින් වියළී ගියේය.
7. අන් සමහරක් කටු අතරේ වැටුණේය, කටු වැවී ඒවා යටකළ බැවින් ඒවා ඵල නුදුන්නේය.
8. තවත් සමහරක් සරුබිමේ වැටුණේය; ඒවා පැළවී වැඩී, ඵලදෙමින්, එකෙන් තිහක් ද එකෙන් හැටක්ද එකෙන් සියයක්ද බැගින් අස්වැන්න ඉපදවිය.
9. ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක.
10. උන්වහන්සේ තනියම සිටියදී දොළොස්දෙනා සමඟ උන්වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය.
11. එවිට උන්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස ඔබ සැමට දී තිබේ. නුමුත් පිටත සිටින්නන්ට සියල්ලම උපමා වලින් කියනු ලැබේ.
12. මක්නිසාදයත්: යම් හෙයකින් ඔවුන් හැරී කමාව නොලබන ලෙස දැක දැකත් නොදක්නා පිණිසය, අස අසාත් තේරුම් නොගන්නා පිණිසයයි කීසේක.
13. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේ උපමාව ඔබ සැම නොදනිවුද? එසේ නම් ඔබ සැම සියලු උපමා කෙලෙස දැනගන්නහුද? වපුරන්නා වචනය වපුරයි.
14. වචනය ඇසූ කල තමුන්ගේ සිත් තුළ වපුළ වචනය සාතන් එකෙණෙහිම ඇවිත් පැහැරගනීද, වචනය වපුරනලද මග අසල වූවෝ නම් ඔව්හුය.
15. ***
16. එසේම ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්,
17. තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්;
18. කටු අතරේ වපුරනලද අනික් අයවල් නම්, වචනය ඇසූ නුමුත්,
19. මේ ලෝකය සම්බන්ධ කරදරද වස්තු මායාවද අනිකුත් දේවලට තෘෂ්ණාවද පැමිණීම කරණකොටගෙන වචනය යටකරනු ලැබ ඵල නොදෙන්නෝ වෙති.
20. සරුබිමේ වපුරනලද්දෝ නම්, වචනය අසා, පිළිගෙන, තිස් ගුණයක්ද සැට ගුණයක්ද සියක් ගුණයක්ද බැගින් ඵල දරන්නෝයයි කීසේක.