Instagram
English
A A A A A
ලෙවී ව්‍යවස්ථාව 9:1-24
1. තවද අටවෙනි දින මෝසෙස් ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද කැඳවා ආරොන්ට කථාකොට:
2. පාප පූජාවක් පිණිස කැලලක් නැති එළවස්සෙක්ද දවන පූජාවක් පිණිස කැලලක් නැති බැටළුවෙක්ද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උන් ඔප්පුකරන්න.
3. ඔබ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජාකරන්ට පාප පූජාවක් පිණිස එළුවෙක්ද දවන පූජාවක් පිණිස අවුරුද්දක් පිරුණු කැලලක් නැති එළවස්සෙක් හා බැටළු පැටවෙක්ද,
4. ශාන්ති පූජාව පිණිස ගොනෙක්ද බැටළුවෙක්ද තෙල් මිශ්‍රවූ ආහාර පූජාවක්ද ගෙනෙන්න. මක්නිසාද අද ස්වාමීන්වහන්සේ ඔබ සැමට පෙනෙනසේකැයි කියන්නැයි කීවේය.
5. ඔව්හු මෝසෙස් අණකළ දේ සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිටට ගෙනාවෝය. මුළු සභාවද ළඟට අවුත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටියාය.
6. මෝසෙස්ද: ඔබ සැම විසින් කළ යුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේ මේය. එවිට ස්වාමීන්වහන්සේ ගේ තේජස ඔබ සැමට පෙනෙන්නේයයි කීය.
7. මෝසෙස් ආරොන්ට කථාකොට: ඔබ පූජාසනයට ළඟාවී ස්වාමීන්වහන්සේ අණකළ ලෙස ඔබේ පාප පූජාවද ඔබේ දවන පූජාවද පූජාකොට ඔබ උදෙසාත් සෙනඟ උදෙසාත් සමඟිකමක් කරන්න. සෙනඟගේ පූජාව පූජාකොට ඔවුන් උදෙසා සමඟිකමක් කරන්නැයි කීවේය.
8. එවිට ආරොන් පූජාසනයට ළඟාවී තමා උදෙසා වූ පාප පූජාවේ එළවස්සා මැරුවේය.
9. ආරොන්ගේ පුත්‍රයෝද ලේ ඔහු ළඟට ගෙනාවෝය. ඔහු තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා පූජාසනයේ අංවල ගා පූජාසනය මුල ලේ වත්කෙළේය.
10. එහෙත් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ හැටියට තෙලද වකුගඩුද පාප පූජාවේ අක්මාවේ දැලද පූජාසනය පිට දැවීය.
11. මාංසයද හමද ඔහු කඳවුරෙන් පිටදී ගින්නෙන් පුලුස්සා දැමුවේය.
12. තවද ඔහු දවන පූජාවේ සතා මැරුවේය; ආරොන්ගේ පුත්‍රයෝද ඔහුට ලේ අරන් දුන්නෝය, ඔහු ඒවා පූජාසනය පිට වටේට ඉස්සේය.
13. ඔව්හු දවන පූජාව කොට්ඨාස වශයෙන් හිසත් ඇතුළුව ඔහුට රැගෙන දුන්නෝය. ඔහු ඒවා පූජාසනය පිට දැවුවේය.
14. ඔහු අතුණුද කකුල්ද සෝදා පූජාසන මතුයෙහි දවන පූජාව පිට දැවුවේය.
15. ඔහු සෙනඟගේ පූජාව ගෙනැවිත් සෙනඟ උදෙසා වූ පාප පූජාවේ එළුවා රැගෙන මරා පළමු එකා මෙන් පාපය නිසා ඔප්පුකෙළේය.
16. ඔහු දවන පූජාවද ගෙනැවිත් නියමය ලෙස එය ඔප්පුකෙළේය.
17. ඔහු ආහාර පූජාව ගෙනැවිත් එයින් අතපුරා රැගෙන උදයේ දවන පූජාව හැර ඒවාත් පූජාසනය පිට දැවුවේය.
18. ඔහු සෙනඟ උදෙසා වූ ශාන්ති පූජාව වන ගොනාත් බැටළුවාත් මැරුවේය. ආරොන්ගේ පුත්‍රයෝද ඔහුට ලේ අරන් දුන්නෝය, ඔහු ඒවා පූජාසනය පිට හාත්පසින් ඉස්සේය.
19. ඔව්හු ගොනාගේ තෙලද බැටළුවාගේ තර වල්ගයද අතුණු වැසී තිබෙන තෙලද වකුගඩුද අක්මාවේ දැලද ගෙනවුත්, තෙල ළැපැත්ත පිට තැබුවෝය,
20. ඔහු තෙල පූජාසනය පිට දැවුවේය.
21. මෝසෙස් අණකළ ලෙස ආරොන් තේව පූජාවක් පිණිස ළැපැත්ත හා දකුණු කළවයද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව කෙළේය.
22. ආරොන් සෙනඟ දෙසට තමාගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාදකොට පාප පූජාවද දවන පූජාවද ශාන්ති පූජාද ඔප්පුකළ ස්ථානයෙන් බැස්සේය.
23. මෝසෙස් සහ ආරොන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්ව පිටට අවුත් සෙනඟට ආශීර්වාද කළෝය. එවිට ස්වාමීන්වහන්සේ ගේ මහිමය මුළු සෙනඟට පෙනුණේය.
24. ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ගිනි නික්ම අවුත් පූජාසනය පිට දවන පූජාවද තෙල්ද දවා දැමුවේය. මුළු සෙනඟ ඒ දැක ශබ්ද පවත්වා මුහුණින් වැටුණෝය.

ලෙවී ව්‍යවස්ථාව 10:1-20
1. ආරොන්ගේ පුත්‍රයෝවූ නාදාබ් සහ අබිහු තම තමාගේ ධූම භාජනය රැගෙන එහි ගිනි බහා ඒ පිට සුවඳ ද්‍රව්‍ය දමා ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණනොකළාවූ අන්‍ය ගින්නක් උන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.
2. තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් ඔවුන් දවා දැම්මේය, එසේ ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය.
3. එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.
4. එවිට මෝසෙස් ආරොන්ගේ බාල පියා වන උසියෙල්ගේ පුත්‍රයන්වූ මිෂායෙල් හා එල්ශාඵාන් කැඳවා: ඔබ සැම ළඟාවී ඔබ සැමගේ සහෝදරයන් ශුද්ධ ස්ථානය ඉදිරියෙන් කඳවුරෙන් පිටතට උස්සාගන යන්නැයි ඔවුන්ට කීවේය.
5. ඔව්හු මෝසෙස් කී හැටියට ළඟාවී ඒ අය ඔවුන්ගේ දික් යට ඇඳුම් පිටින් කඳවුරෙන් පිටතට උස්සාගෙන ගියෝය.
6. මෝසෙස් ආරොන්ටත් ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට හා ඊතාමාර්ටත් කථාකොට: ඔබ සැම නොනස්නා පිණිසද උන්වහන්සේ මුළු සභාව කෙරෙහි උදහස් නොවන පිණිසද ඔබ සැමගේ හිසකේ විදහා නොගන්න, ඔබ සැමගේ වස්ත්‍ර ඉරානොගන්න. එහෙත් ඔබ සැමගේ සහෝදරයෝ වන මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ ඇවිලෙවු දැවීම ගැන වැලපෙත්වා.
7. ස්වාමීන්වහන්සේ ගේ ආලේප තෛලය ඔබ සැම පිට තිබෙන නිසා, ඔබ සැම නොනස්නා පිණිස, සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොගොස් සිටින්නැයි කීවේය. ඔව්හු මෝසෙස්ගේ වචනය ලෙස කළෝය.
8. ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට:
9. සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වෙන කල ඔබවත් ඔබේ පුත්‍රයෝවත් නොනසින පිණිස මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් පානයනොකරන්න.
10. ඔබ සැම විසින් ශුද්ධ දේ සහ අකැප දේ අතරෙහිත් අපවිත්‍ර දේ සහ පවිත්‍ර දේ අතරෙහිත් වෙනසක් කරන පිණිසද,
11. ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියෙවූ සියලු පනත් ඔබ සැම ඔවුන්ට උගන්වන පිණිසද ඒක ඔබ සැමගේ පරම්පරාවල සදාකාල නියෝගයක් වන්නේයයි කීසේක.
12. මෝසෙස් ආරොන්ටත් ඔහුගේ ඉතිරිව සිටි පුත්‍රයන් වූ එලෙයාසාර් සහ ඊතාමාර්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජාවලින් ඉතුරුව තිබෙන ආහාර පූජාව රැගෙන පූජාසනය ළඟදී මුහුන් නැතුව කන්න. මක්නිසාද එය අති ශුද්ධය.
13. ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජාවලින් එය ඔබේද ඔබේ පුත්‍රයන්ගේද නියම කොටස වන නිසා එය ශුද්ධවූ තැනකදී කන්න. මක්නිසාද එසේ මට අණකරනලද්දේය.
14. ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද තේව ළැපැත්ත සහ එසවීමේ කළවය පවිත්‍ර තැනකදී කෑ යුතුය. මක්නිසාද ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජාවල යාගවලින් ඔබේද ඔබේ පුත්‍රයන්ගේද නියම කොටස කොට දෙන ලද්දේය.
15. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවකට තේවකරන පිණිස ඔසවන කළවයද තේව ළැපැත්තද ගින්නෙන් කළ පූජාව වන තෙල සමඟ ගෙනෙත්වා. ඒක ස්වාමීන්වහන්සේ අණකළ ලෙස ඔබටද ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටද සදාකාලේටම අයිතිවන්නාවූ කොටසක්යයි කීවේය.
16. මෝසෙස් පාප පූජාවේ එළුවා ඕනෑකමින් සෙවීය, බලව, ඒකා පුලුස්සාදමා තිබුණේය. ඔහු ඉතිරිව සිටිය ආරොන්ගේ පුත්‍රයන් වූ එලෙයාසර්ද ඊතාමාර්ද කෙරෙහි උදහස්ව:
17. ඔබ සැම පාප පූජාව ශුද්ධ ස්ථානයෙහිදී නොකෑවේ මක්නිසාද? එය අති ශුද්ධය. ඇරත් ඔබ සැම සභාවේ අයුතුකම පහකරන පිණිසද ස්වාමීන්වහන්සේ ඉදිරිපිට ඔවුන් උදෙසා සමඟිකමක් කරන පිණිසද උන්වහන්සේ එය ඔබ සැමට දී තිබේ.
18. බලව, ඒකේ ලේ ශුද්ධ ස්ථානය ඇතුළට නොගෙනෙන ලද්දේය. මා අණකළ ලෙස ඒක සැබවින් ශුද්ධ ස්ථානයෙහිදී ඔබ සැම විසින් කෑ යුතුව තිබුණේයයි කීය.
19. ආරොන් මෝසෙස්ට කථාකොට: ඔව්හු මේ දවසෙහි තමුන්ගේ පාප පූජාව සහ දවන පූජාව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජාකළෝය; නුමුත් මෙයාකාර දේ මට සිද්ධවී තිබේ. ඉදින් මම පාප පූජාව අද කෑවෙම් නම් ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව පෙනේදැයි කීවේය.
20. මෝසෙස් ඒ ඇසූ කල එය යහපත් බව ඔහුට පෙනුණේය.

ගීතාවලිය 25:1-7
1. දාවිත්ගේ ගීතයකි. ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවමි.
2. මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි, මම ලජ්ජා නොවෙම්වා; මා කෙරෙහි ජය නාද පවත්වන්ට මාගේ සතුරන්ට ඉඩ නුදුන මැනව.
3. එසේය, ඔබ කෙරෙහි බලා සිටින කවරෙක්වත් ලජ්ජා නොවන්නේය. නිෂ්කාරණයේ ද්‍රෝහිකම්කරන්නෝ ලජ්ජාවන්නෝය.
4. ස්වාමිනි, ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව.
5. ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේය; දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලාසිටිමි.
6. ස්වාමිනි, ඔබගේ මෘදුවූ දයාබරකම්ද කරුණාගුණයන්ද සිහිකළ මැනව; මක්නිසාද ඒවා පෙර සිට පවත්නේය.
7. ස්වාමිනි, මාගේ යෞවන වයසේ පව්වත් මාගේ අපරාධවත් සිහි නොකළ මැනව. ස්වාමිනි, ඔබගේ යහපත්කම නිසා ඔබගේ කරුණාව පරිද්දෙන් මා සිහිකළ මැනව.

හිතෝපදේශ 9:13-18
13. අඥාන ස්ත්‍රිය ඝෝෂාකාරීව, මෝඩව, කිසිත් නොදැන සිටින්නීය.
14. තමුන්ගේ මාර්ගවල කෙළින්ම යමින් ගමනේ යෙදෙන අයින්ට අඬගසන පිණිස,
15. ඈ නගරයේ උස් තැන්වල ඇගේ ගෙයි දොරකඩ ආසනයක හිඳගන්නීය.
16. අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවායි කියන්නීය. තේරුම් නැති අයට ඈ කථාකොට:
17. සොරෙන් ගත් වතුර මිහිරිය, රහසින් කන කෑම රසවත්යයි කියන්නීය.
18. නුමුත් මළවුන් එහි සිටින බවත් ඇය විසින් කැඳවාගත් අය ෂෙයොලේ මිටියාවත්වල ඉන්න බවත් ඔහු නොදනියි.

ශුද්ධවර මාක් 1:23-45
23. එකෙණෙහිම ඔවුන්ගේ සිනගෝගයේ අශුද්ධාත්මයක් ආවේශවූ මනුෂ්‍යයෙක් සිටියේය.
24. ඔහු මොරගසමින්: නාසරිය යේසුස්වහන්ස, ඔබට අපෙන් කම මොකද? අප විනාශ කරන්ට ආසේක්ද? ඔබවහන්සේ කවුද කියා දනිමි, ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ තැනන්වහන්සේයයි කීය.
25. යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකරව, මොහුගෙන් පිටවෙවයි කීසේක.
26. එවිට අශුද්ධාත්මය ඔහු තදින් වෙවුලවා, මහත් හඬින් මොරගසමින්, ඔහුගෙන් පිටවූයේය.
27. එකල ඔවුන්ගේ පුදුමය කෙතරම් වීදයත්, සියල්ලෝම: මේ කිමෙක්ද? අලුත් ඉගැන්වීමක්ය. මුන්වහන්සේ බලයෙන් යුක්තව අශුද්ධාත්මයන්ට පවා අණකරනසේක, ඔව්හු උන්වහන්සේට කීකරුවෙතියි ඔවුනොවුන් අතරේ කථාකරගත්තෝය.
28. එකෙණෙහිම උන්වහන්සේ ගැන ප්‍රවෘත්තිය මුළු ගලීල පළාතේ අවට සෑමතැනම පතළවිය.
29. ඔව්හු සිනගෝගයෙන් පිටත්ව ආ කෙණෙහිම යාකොබ් සහ යොහන් සමඟ සීමොන්ගේද අන්දෘගේද ගෙදරට පැමිණියෝය.
30. සීමොන්ගේ භාර්යාවගේ මවු උණෙන් ඔත්පළව සිටියාය. එකෙණෙහිම ඔව්හු ඈ ගැන උන්වහන්සේට කීවෝය.
31. උන්වහන්සේ ඇවිත් ඇගේ අත අල්ලා ඈ නැගිටෙවුසේක; එවිට උණරෝගය ඈ කෙරෙන් පහව ගියේය, ඈ ඔවුන්ට උපස්ථානකළාය.
32. සවස්වී ඉර බැස්ස කල ඔව්හු රෝගාතුරවූ සියල්ලන්ද යක්ෂාවේශවූවන්ද උන්වහන්සේ ළඟට ගෙනාවෝය.
33. මුළු නුවර වැසියෝ දොර ළඟ රැස්ව සිටියෝය.
34. උන්වහන්සේ අනේකාකාර රෝගවලින් පීඩිතවූ බොහෝ දෙනෙකු සුවකළසේක, බොහෝ යක්ෂයන්ද දුරුකළසේක; ඒ යක්ෂයන් උන්වහන්සේ හැඳින්න බැවින් කථාකරන්ට උන්වහන්සේ ඔවුන්ට අවසර නුදුන්සේක.
35. උදය පහන්වෙන්ට බොහෝ ප්‍රථමයෙන් උන්වහන්සේ නැගිට වනාන්තර ස්ථානයකට පිටත්ව ගොස්, එහිදී යාච්ඤාකළසේක.
36. සීමොන් සහ ඔහු සමඟ සිටි අයද උන්වහන්සේ පස්සේ ගොස්,
37. උන්වහන්සේ සම්බවූ කල: සියල්ලෝම ඔබ සොයතියි උන්වහන්සේට කීවෝය.
38. එවිට උන්වහන්සේ: වෙන තැන්වලත් මා විසින් දේශනා කරන පිණිස අසල නුවරවලට යමු; ඒ සඳහාම පිටත්ව ආවෙමියි ඔවුන්ට කීසේක.
39. උන්වහන්සේ දේශනාකරමින්ද යක්ෂයන් දුරුකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඔවුන්ගේ සිනගෝගවලට ගියසේක.
40. එවිට කුෂ්ඨරෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් දණින් හිඳ: ඔබවහන්සේ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කියා අයැද සිටියේය.
41. උන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තව අත දිඟුකොට ඔහු පිට තබා: කැමැත්තෙමි, පවිත්‍රවෙන්නැයි ඔහුට කීසේක.
42. එකෙණෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහවී, ඔහු පවිත්‍රකරනු ලැබීය.
43. උන්වහන්සේ: කිසිවෙකුට කිසිවක් නොකියන්ට බලාගන්නැයි ඔහුට තදින් අණකොට-
44. ඔබ ගොස් ඔවුන්ට සාක්ෂි පිණිස පූජකයාට පෙනී, ඔබේ පවිත්‍රවීම ගැන මෝසෙස් විසින් අණකළ දේවල් පූජාකරන්න කියා එකෙණෙහිම ඔහු යැවූසේක.
45. නුමුත් ඔහු පිටත්ව ගොස් ඒ කාරණය බොහෝසෙයින් ප්‍රසිද්ධකරන්ටත් පතළකරන්ටත් පටන් ගත්තේය. ඒ නිසා යේසුස්වහන්සේ ප්‍රසිද්ධයෙන් නුවරකට තවත් ඇතුල්වන්ට නොහැකිව, වනාන්තර ස්ථානවල පිටත සිටිසේක. මනුෂ්‍යයෝ සියලු දිශාවලින් උන්වහන්සේ වෙතට ආවෝය.