A A A A A
අවුරුද්දකින් බයිබලය
පෙබරවාරි 16

ලෙවී ව්‍යවස්ථාව 3:1-17
1. ඔහුගේ පූජාව ශාන්ති පූජාවක් නම්, ඔහු ගවරැළෙන් පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පුදන්නේනම්, කැලල් නැති එකෙකු ස්වාමීන්වහන්සේ ඉදිරියේ පූජාකළ යුතුය.
2. ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ ඉස පිට තබා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඌ මරාවා. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයෝ පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිත්වා.
3. ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද,
4. වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟින් තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට තිබෙන දැලද වෙන්කොට ස්වාමීන්වහන්සේ ට ශාන්ති පූජා යාගයෙන් ගින්නෙන් කළ පූජාවක් ඔප්පු කෙරේවා.
5. ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනයෙහි ගින්නේ දර පිට තිබෙන දවන පූජාව මත්තෙහි එය දවත්වා. එය ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ මිහිරි සුවඳ පූජාවක්ය.
6. ස්වාමීන්වහන්සේ ට ශාන්ති පූජාවක් පිණිස ඔහුගේ පූජාව එළු රැළෙන් හෝ බැටළු රැළෙන් නම් ඔහු කැලල් නැති පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පූජාකළ යුතුය.
7. තමාගේ පූජාවකොට ඔහු බැටළු පැටවෙකු ඔප්පුකරන්නේනම් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌ ඔප්පු කෙරේවා.
8. ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ හිස පිට තබා සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට ඌ මරාවා. ආරොන්ගේ පුත්‍රයෝද උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා.
9. ඔහු උගේ තෙල සහ පිටිකොන්ද ළඟින් කපාගන්න මුළු තර වල්ගයද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල සියල්ලද,
10. වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට තිබෙන දැලද අහක්කොට ශාන්ති පූජාවෙන් ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජාවක් ඔප්පුකෙරේවා.
11. පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ.
12. ඔහුගේ පූජාව එළුවෙක් නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියේ ඌ පූජා කළ යුතුය.
13. ඔහු තමාගේ අත උගේ හිස පිට තබා සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට ඌ මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයෝද උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා.
14. ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද,
15. වකුගඩු සමඟ අක්මාව පිට දැලද අහක්කොට ඒවායින් තමාගේ පූජාව එනම් ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජාවක් ඔප්පුකළ යුතුය.
16. පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා මිහිරි සුවඳක් පිණිස ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ. තෙල සියල්ලම ස්වාමීන්වහන්සේ ට අයිතිය.
17. ඔබ සැම විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු ඔබ සැමගේ පරම්පරාවල ඔබ සැමගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.

ලෙවී ව්‍යවස්ථාව 4:1-35
1. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න-නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ විසින් අණකළ කිසිවකට විරුද්ධව යමෙක් නොදැනුවත්ව පව්කොට එයින් එකක් කළොත්, [ඔහු මෙසේ කළ යුතුය.]
3. සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේ ට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.
4. ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ස්වාමීන්වහන්සේ ඉදිරියට ගොනා ගෙනවුත් තමාගේ අත ගොනාගේ හිස පිට තබා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මරන්ට ඕනෑය.
5. එවිට ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයින් මඳක් රැගෙන එය සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනා යුතුය.
6. පූජකයාද තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා ශුද්ධස්ථානයේ තිරය ඉදිරිපිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒ ලෙයින් සත් වරක් ඉසිය යුතුය.
7. තවද පූජකයා ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමෙහි තිබෙන සුවඳ දුම් පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ගොනාගේ ලේ සියල්ල වත්කළ යුතුය.
8. ඔහු ශාන්ති පූජාවේ ගොනාගෙන් තෙල වෙන්කොට ගත්තාක් මෙන් පාප පූජා ගොනාගේ තෙල සියල්ලද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන මුළු තෙලද,
9. වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට දැලද අහක්කළ යුතුය.
10. පූජකයා දවන පූජාසනය පිට
11. ඒවා දවා ගොනාගේ හමද උගේ මාංස සියල්ලද හිසද කකුල්ද
12. අතුණු සහ ගොමද යන මුළු ගොනා කඳවුරෙන් පිටත අළු දමන පවිත්‍ර ස්ථානයකට ගෙනගොස් දර පිට ගින්නෙන් දවන්නේය. අළු දමන ස්ථානයෙහි ඌ පුලුස්සා දැමිය යුතුය.
13. මුළු ඉශ්‍රායෙල් සභාව වැරදි දෙයක් කළොත්, ඒ දෙය සමූහයාගේ ඇස් ඉදිරියෙන් සැඟවී තිබේ නම්, නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් කොට ඔව්හු වැරදිකාරයෝ වූවෝනම්,
14. ඔවුන් කළ පාපය දැනගත් කල සමූහයා පාප පූජාවක් පිණිස ගොන් නාම්බෙකු ඔප්පුකර ඌ සම්මුඛවීමේ කූඩාරම ඉදිරියට ගෙනා යුතුය.
15. සභාවේ වැඩිමහල්ලෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තමන්ගේ අත් ගොනාගේ හිස පිට තැබිය යුතුය. තවද ගොනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මරනු ලබන්නේය.
16. ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයෙන් මඳක් සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනවුත්,
17. තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිරය ඉදිරිපිට සත් වරක් එය ඉසිය යුතුය.
18. තවද ඔහු ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ තිබෙන පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ඉතිරි ලේ සියල්ල වත්කළ යුතුය.
19. ඔහු උගේ තෙල සියල්ලම අහක්කොට ඒවා පූජාසනය පිට දැවිය යුතුය.
20. ඔහු ගොනාට මෙලෙස කළ යුතුය; පාප පූජාවේ ගොනාට කළාක් මෙන් මේ ගොනාටත් කළයුතුය. මෙසේ පූජකයා ඔවුන් උදෙසා සමඟිකමක් කරන්නේය, එවිට ඔව්හු ක්ෂමාකරනු ලබන්නෝය.
21. ඔහු ඒ ගොනා කඳවුරෙන් පිටතට ගෙනගොස් ප්‍රථම ගොනා දැවුවාක් මෙන් ඌ දැවිය යුතුය. එය සමූහයා උදෙසා පාප පූජාවය.
22. අධිපතියෙක් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොකටයුතුයයි අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කොට වැරදිකාරයෙක්ව සිටින කල,
23. තමා කළාවූ පාපය ඔහු දැනගත්තොත්, පූජාව පිණිස එළුවන්ගෙන් කැලල් නැති පිරිමි සතෙකු ගෙනවුත්,
24. තමාගේ අත එළුවාගේ හිස පිට තබා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාව මරන තැන්හිදී ඌ මරාවා. එය පාප පූජාවක්ය.
25. පූජකයාද තමාගේ ඇඟිල්ලෙන් පාප පූජාවේ ලේ ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ දවන පූජාසනය මුල වත්කෙරේවා.
26. උගේ තෙල සියල්ලම ශාන්ති පූජාවේ තෙල මෙන් පූජාසනය පිට දවන්ට ඕනෑය. මෙසේ පූජකයා ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, එවිට ඔහු ක්ෂමා කරනු ලබන්නේය.
27. පොදු සෙනඟගෙන් කිසිවෙක් නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කිරීමෙන් වැරදිකාරයෙක් වී නම්,
28. ඔහු තමා කළ පාපය ඔහු දැනගත්තොත් තමා කළාවූ පාපය නිසා එළුවන්ගෙන් කැලල් නැති ගෑනු සතෙකු ඔහුගේ පූජාව පිණිස ගෙනා යුතුය.
29. ඔහු තමාගේ අත පාප පූජාවේ හිස පිට තබා දවන පූජාවේ ස්ථානයෙහි පාප පූජාවේ සතා මරාවා.
30. පූජකයාද උගේ ලෙයින් මඳක් තමාගේ ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා.
31. ශාන්ති පූජාවලින් තෙල ගත්තාක් මෙන් උගේ තෙල සියල්ල ගෙනවුත් එය ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.
32. ඉදින් ඔහු පාප පූජාවක් පිණිස බැටළු පැටවෙකු ගෙනෙන්නේනම් කැලල් නැති ගෑනු සතෙකු ගෙනේවා.
33. ඔහු තමාගේ අත පාප පූජාවේ හිස පිට තබා දවන පූජාව මරන තැන්හිදී ඌ පාප පූජාවක් පිණිස මැරිය යුතුය.
34. පූජකයා පාප පූජාවේ ලෙයින් මඳක් ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා.
35. ශාන්ති පූජාවල බැටළුපැටවාගෙන් තෙල් ගත්තාක් මෙන් පූජකයා උගේ තෙල සියල්ල වෙන්කොට ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජා මතුයෙහි පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු කළාවූ පාපය උදෙසා සමඟිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.

ගීතාවලිය 23:1-6
1. දාවිත්ගේ ගීතයකි. ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.
2. උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක. නිශ්චලවූ දිය අසලින් මා ගෙනයනසේක.
3. උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක; ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක.
4. එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.
5. මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක. මාගේ හිස තෙලින් ආලේපකළසේක; මාගේ කුසලාන උතුරායයි.
6. සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන් ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි.

හිතෝපදේශ 9:1-6
1. ප්‍රඥාතොමෝ ඇගේ ගෙය ගොඩනඟා, ඇගේ කුළුනු සත කපා තිබේ.
2. ඇගේ සතුන් මරා, ඇගේ මුද්‍රිකපානය මිශ්‍රකොට, ඇගේ මේසයද පිළියෙළකර තිබේ.
3. ඇගේ තරුණියන් ඈ පිටත්කර හැර: අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවයි
4. නගරයේ උස්තැන්හි සිට මොරගසන්නීය. තේරුම් නැති තැනැත්තාට ඈ මෙසේ කියයි:
5. එන්න, මාගේ කෑමෙන් කා, මා පෙරා තිබෙන මුද්‍රිකපානයෙන් බොන්න.
6. මෝඩකම් අත්හැර ජීවත්වෙන්න; ප්‍රඥා මාර්ගයෙහි යන්න.

ශුද්ධවර මතෙව් 27:55-66
55. යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ කැටුව ආවාවූ බොහෝ ස්ත්‍රීවරුත් එහි දුරින් බලා සිටියෝය.
56. ඔවුන් අතරෙහි මග්දලායේ මරියාද යාකොබ් සහ යෝසෙස්ගේ මවුවූ මරියාද සෙබදීගේ පුත්‍රයන්ගේ මෑණියෝද සිටියෝය.
57. සවස්වූ කල යේසුස්වහන්සේගේ ගෝලයෙක්ව සිටිය යෝසෙප් නම් වස්තුකාර මනුෂ්‍යයෙක් අරිමාතියේ සිට ඇවිත්,
58. පිලාත් ළඟට ගොස්, යේසුස්වහන්සේගේ මිනිය ඉල්ලුවේය. එවිට පිලාත් එය භාරදෙන්ට අණකෙළේය.
59. යෝසෙප් මිනිය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා,
60. තමා විසින් පර්වතයෙහි කප්පවා තිබුණ තමාගේම අලුත් සොහොන්ගෙයි තබා, එහි දොරඩකට මහත් ගලක් පෙරළා තබා ගියේය.
61. මග්දලායේ මරියාද අනික් මරියාද එතැන සොහොන් ගෙය ඉදිරිපිට ඉඳගන උන්නෝය.
62. පසුවදා, එනම් සූදානම් කිරීමේ දවසට පසුවදා, නායක පූජකයෝද පරිසිවරුද පිලාත් ළඟට රැස්ව ඇවිත්:
63. ස්වාමිනි, ඒ වංචාකාරයා ජීවත්ව සිටියදී-මම තුන්දවසකට පසු නැගිටින්නෙමියි කී බව අපට මතකය.
64. එහෙයින් තුන් වෙනි දවස දක්වා සොහොන් ගෙය ආරක්ෂා කරන්ට අණකළ මැනවි, නැතහොත් සමහරවිට ඔහුගේ ගෝලයන් ඇවිත් ඔහු සොරාගෙන ගොස්-ඔහු මළවුන්ගෙන් නැගුටුණේයයි සෙනඟට කියනවා ඇත. මෙසේ පළමු මුළාවට වඩා අන්තිම මුළාව මහත්වන්නේයයි කීවෝය.
65. ඔබ සැමට රැකවල්ලු සිටිති. ඔබ සැම ගොස් ඔබ සැමට පුළුවන් පමණ එය සුරක්ෂිත කොට තබන්නැයි පිලාත් ඔවුන්ට කීවේය.
66. ඔව්හු ගොස් ගල මුද්‍රාකර, රැකවලුන් ඇතුව, සොහොන්ගෙය සුරක්ෂිත කළෝය.