A A A A A
අවුරුද්දකින් බයිබලය
පෙබරවාරි 1

නික්මයාම 13:1-22
1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
2. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් මට කැපකරව. එය මට අයිතියයි කීසේක.
3. මෝසෙස් සෙනඟට කථාකොට: ඔබ සැම මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්ත බලයෙන් එතැනින් ඔබ සැම ගෙනාසේක. එහෙයින් මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය.
4. ආබීබ්නම් මාසයේ මේ දවසේ ඔබ සැම නික්මයන්නහුය.
5. තවද ස්වාමීන්වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුළාවූ, කානානිවරුන්ගේත් හිත්තීවරුන්ගේත් අමෝරිවරුන්ගේත් හිවීවරුන්ගේත් යෙබුසිවරුන්ගේත් දේශය වන කිරි සහ මීපැණි ගලායන දේශයට ඔබ ගෙනා කල මේ මාසයේ මේ මෙහෙය පැවැත්විය යුතුය.
6. සත් දවසක් මුහුන් නුමුසු රොටි කෑ යුතුය, සත්වෙනි දවසේදී ස්වාමීන්වහන්සේ ට මංගල්‍යයක් වන්නේය.
7. ඒ සත් දවස මුළුල්ලෙහි මුහුන් නුමුසු රොටි කෑ යුතුය; මුහුන් මුසු රොටි ඔබ වෙත නොතිබිය යුතුය, ඔබේ සියලු සීමාවල ඔබ වෙත මුහුන් නොතිබිය යුතුය.
8. මෙසේ කරන්නේ මා මිසරයෙන් ඊමේදී ස්වාමීන්වහන්සේ මට කළ දේ නිසාය කියා ඒ දවසේ ඔබේ පුත්‍රයාට දන්වන්න.
9. ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාව ඔබේ මුඛයෙහි තිබෙන පිණිස එය ඔබේ අතේ ඔබට ලකුණක් ලෙසද ඔබේ ඇස් අතරේ සිහිවීමක් ලෙසද වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින් ඔබ මිසරයෙන් පිටතට ගෙනාසේක.
10. එබැවින් අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලයෙහි මේ නියෝගය පවත්වන්න.
11. ස්වාමීන්වහන්සේ ඔබටත් ඔබේ පියවරුන්ටත් දිවුළ ලෙස කානානිවරුන්ගේ දේශයට ඔබ ගෙනවුත් එය ඔබට දුන් කල්හි,
12. ගර්භයෙහි ප්‍රථම ඵලවූ සියල්ලන්ද ඔබ සන්තක මෘගයන්ගෙන් සියලු කුලුඳුලන්ද ස්වාමීන්වහන්සේ ට වෙන්කරන්නෙහිය; පිරිමි ස්වාමීන්වහන්සේ ට වන්නෝය.
13. නුමුත් ඔබ කොටළුවන්ගේ සියලු කුලුඳුලන් බැටළු පැටවෙකු බැගින් දී මුදාගත යුතුය; ඌ මුදන්ට නොකැමැත්තෙහිනම් උගේ බෙල්ල කැඩිය යුතුය. එහෙත් ඔබේ පුත්‍රයන් අතරෙන් සියලු මනුෂ්‍ය කුලුඳුලන් මුදාගත යුතුය.
14. තවද මතු පැමිණෙන කාලයෙහි ඔබේ පුත්‍රයා: මේ කිමෙක්දැයි අසන කල ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් අප පිටතට ගෙනාසේක.
15. තවද ඵාරාවෝ අප නාරින ලෙස සිත දැඩිකරගන සිටි කල්හි ස්වාමීන්වහන්සේ මිසර දේශයේ සියලු කුලුඳුලන් එනම් මනුෂ්‍යයන්ගේද මෘගයන්ගේද සියලු කුලුඳුලන් මැරූසේක. එබැවින් ගර්භයෙහි ප්‍රථම ඵලවූ සියලු පිරිමින් මම ස්වාමීන්වහන්සේ ට පූජාකරමි; එහෙත් මාගේ පුත්‍රයන් අතරේ සියලු කුලුඳුලන් මුදාගනිමි.
16. ඒක ඔබේ අතෙහි ලකුණක් පිණිසද ඇස් අතරෙහි නළල් පටි පිණිසද වන්නේය. මක්නිසාද ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් අප පිටතට ගෙනාසේකැයි ඔහුට කියන්නැයි කීවේය.
17. තවද ඵාරාවෝ සෙනඟ යන්ට හැරිය කල්හි පිලිස්තිවරුන්ගේ දේශය මැදින් යාම කිට්ටු නුමුත් දෙවියන්වහන්සේ ඒ මාර්ගයෙන් ඔවුන් ගෙන නොගියසේක; මක්නිසාද: සෙනඟ යුද්ධය දැක සමහරවිට පසුතැවිලිව මිසරයට හැරී නොයන පිණිසයයි දෙවියන්වහන්සේ කීසේක.
18. එහෙත් දෙවියන්වහන්සේ සෙනඟ රතු මුහුද ළඟ වනාන්තරය පාරේ වටකර යන්ට සැලැස්වූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් සන්නාහ සන්නද්ධව ගියෝය.
19. මෝසෙස්ද යෝසෙප්ගේ ඇට තමා සමඟ ගෙනගියෝය. මක්නිසාද යෝසෙප්: සැබවින් දෙවියන්වහන්සේ ඔබ සැම දෙස බලනසේක; ඔබ සැම සමඟ මාගේ ඇට මෙතැනින් ගෙනයන්ට ඕනෑයයි ඉශ්‍රායෙල් පුත්‍රයන් තදින් දිවුරවා තිබුණේය.
20. ඔව්හු සුකොත් නම් ස්ථානයෙන් ගමන්කර වනාන්තරය අද්දර ඒතාම්හි කඳවුරු බැඳගත්තෝය.
21. තවද ඔවුන් දවාලෙත් රාත්‍රියෙත් ගමන්කරන පිණිස ස්වාමීන්වහන්සේ ඔවුන්ට මගපෙන්වීමට දාවල් වලා ටැඹකින්ද රාත්‍රියේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක.
22. දාවල් වලා ටැඹද රාත්‍රියේ ගිනි ටැඹද සෙනඟ ඉදිරියෙන් පහව නොගියේය.

නික්මයාම 14:1-31
1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්:
2. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට-හැරී මිග්දෝල් සහ මුහුද අතරෙහි බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පී-හහීරොත් ඉදිරිපිට කූඩාරම් ගහගන්ට ඔවුන්ට කියන්න. එය ඉදිරිපිට මුහුද ළඟ කූඩාරම් ගහගන්න.
3. ඵාරාවෝද: ඔව්හු දේශයෙහි මංමුළාවී සිටිති, ඔව්හු කාන්තාරයට අසුවී සිටිතියි ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැන කියනවා ඇත.
4. මම ඵාරාවෝගේ සිත දැඩිකරන්නෙමි, ඔහු ඔවුන් ලුහුබැඳ එන්නේය; මම ඵාරාවෝ සහ ඔහුගේ මුළු සේනාව කරණකොටගෙන ගෞරව ලබන්නෙමි; මිසරවරු මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෝයයි කීසේක. ඔව්හු එසේ කළෝය.
5. සෙනඟ පලාගිය බව මිසරයේ රජුට දන්වනලද්දේය. එවිට ඵාරාවෝ සහ ඔහුගේ මෙහෙකරුවන්ගේ සිත් සෙනඟට විරුද්ධව වෙනස්වී ඉශ්‍රායෙලිතයන් අපට මෙහෙකිරීමෙන් යන්ට හැර අප විසින් කළේ මොන ක්‍රියාවක්දැයි ඔව්හු කීවෝය.
6. ඔහු තමාගේ රථය සූදානම්කරගෙන තමාගේ සෙනඟ තමා සමඟ රැගෙන,
7. තෝරාගත් රථ හසියයක්ද මිසරයේ සියලු රථද ගත්තේය, ඒවා සියල්ල කෙරෙහි සේනා නායකයන්ද පත්කෙළේය.
8. ස්වාමීන්වහන්සේ මිසරයේ රජවූ ඵාරාවෝගේ සිත දැඩි කළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් ලුහුබැඳ ආයේය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ධෛර්යවත් ලෙස නික්ම ගියෝය.
9. මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අසුන් සහ රථද ඔහුගේ අසරුවෝද ඔහුගේ සේනාවද ඔවුන් ලුහුබැඳ විත් බාල්-ශෙඵොන් ඉදිරිපිට පී-හහීරොත්හි මුහුදුබඩ කූඩාරම් ගහගන සිටි ඔවුන්ට ළංවූය.
10. ඵාරාවෝ ළංවූ කල්හි ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමන්ගේ ඇස් ඔසවා මිසරවරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් භයවූවෝය. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ට මොරගැසුවෝය.
11. ඔව්හු මෝසෙස්ට කථාකොට: කාන්තාරයෙහි මැරෙන්ට ඔබ අප ගෙනාවේ මිසරයෙහි මිනීවළවල් නැති නිසාද? මිසරයෙන් අප ගෙනවුත් අපට මෙලෙස ක්‍රියා කෙළේ මක්නිසාද?
12. මිසරවරුන්ට මෙහෙකරන්ට අප අත්හරින්ටය කියා මිසරයෙහිදී අප කීවේ මේක නොවේද? වනාන්තරයෙහි මැරෙනවාට වඩා මිසරවරුන්ට මෙහෙකිරීම අපට යහපතැයි මෝසෙස්ට කීවෝය.
13. මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද ඔබ සැමට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද ඔබ සැම අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය.
14. ස්වාමීන්වහන්සේ ඔබ සැම උදෙසා සටන්කරනසේක, ඔබ සැම නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය.
15. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබ කුමක්හෙයින් මට මොරගසන්නෙහිද? ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඉදිරියට යන්ට කියන්න.
16. ඔබේ සැරයටිය ඔසවා ඔබේ අත මුහුද කෙරෙහි දිඟුකොට ඒක බෙදන්න. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැදට වියළි භූමිය පිට යන්නෝය.
17. බලව, මම වනාහි මිසරවරුන්ගේ සිත් දැඩිකරන්නෙමි, ඔව්හු මොවුන් පස්සේ යන්නෝය. මම ඵාරාවෝද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ රථ සහ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලබන්නෙමි.
18. මා ඵාරාවෝද ඔහුගේ රථද ඔහුගේ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලැබූ කල්හි මම ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක.
19. ඉශ්‍රායෙල්වරුන්ගේ සමුදාවට පෙරටුව ගිය දෙවියන්වහන්සේගේ දූතයා අහක්ව ඔවුන්ට පස්සෙන් ගියේය; වලාටැඹද ඔවුන් ඉදිරිපිටින් අහක්ව ඔවුන්ට පස්සෙන් සිටියේය.
20. ඒක මිසරවරුන්ගේ සමුදාවත් ඉශ්‍රායෙල්ගේ සමුදාවත් අතරට පැමුණුණේය; මෙසේ වලාකුළද අන්ධකාරයදවිය, එහෙත් එය රාත්‍රියෙහි එළිය දුන්නේය. මෙසේ මුළු රාත්‍රියෙහි එක් පක්ෂය අනික් පක්ෂයට ළං නොවීය.
21. මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය; ස්වාමීන්වහන්සේ ද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලද බෙදීගියේය.
22. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදට ගියෝය. ජලය ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ඔවුන්ට තාප්පයක් මෙන් විය.
23. මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අශ්වයෝද ඔහුගේ රථද ඔහුගේ අසරුවෝද ලුහුබඳවා ඔවුන් පස්සේ මුහුද මැදට ගියෝය.
24. තවද ස්වාමීන්වහන්සේ උදය යාමෙහි ගිනි සහ වලා ටැඹ මැදින් මිසර සේනාව දෙස බලා මිසර සේනාව වියවුල්කළසේක.
25. උන්වහන්සේ ඔවුන්ගේ චක්‍රරෝද ගැළෙවූසේක, ඔව්හු ඒවා අමාරුවෙන් දැක්කුවෝය. එබැවින් මිසරවරු කථාකොට: අපි ඉශ්‍රායෙල් කෙරෙන් පලායමු; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන්කරනසේකැයි කීවෝය.
26. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ජලය මිසරවරුන් පිටද ඔවුන්ගේ රථ සහ අසරුවන් පිටද හැරී එන පිණිස ඔබේ අත මුහුද කෙරෙහි දිගුකරන්නැයි කීසේක.
27. මෝසෙස් තමාගේ අත මුහුද කෙරෙහි දිගුකෙළේය, පහන්වූ කල මුහුද එහි නියම ස්වභාවයට හැරුණේය; මිසරවරු ඒ ඉදිරියට දිවගියෝය; ස්වාමීන්වහන්සේ මිසරවරුන් මුහුද මැද හෙළාදැමූසේක.
28. ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය.
29. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැද වියළි භූමිය පිට ගියෝය; ජලය දකුණෙන්ද වමෙන්ද ඔවුන්ට තාප්පයක් වූයේය.
30. මෙසේ ස්වාමීන්වහන්සේ ඒ දවසෙහි මිසරවරුන් අතින් ඉශ්‍රායෙල්වරුන් ගැළවූසේක; මිසරවරුන් මුහුදු වෙරළේ මැරී සිටිනවා ඉශ්‍රායෙල්වරු දුටුවෝය.
31. මෙසේ ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට කළ මහත් ක්‍රියාව ඉශ්‍රායෙල්වරු දුටුවාහුය, එබැවින් සෙනඟ ස්වාමීන්වහන්සේ ට භයව ස්වාමීන්වහන්සේ ද උන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද විශ්වාසකළෝය.

ගීතාවලිය 18:13-19
13. ස්වාමීන්වහන්සේ අහසෙහි ගර්ජනා කළසේක, මහෝත්තමයාණෝද තමන් හඬ නිකුත්කළසේක; ගල්වැසිද ගිනි අඟුරුද විය.
14. උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; එසේය, බොහෝ විදුලි එවා ඔවුන් පරාජයකළසේක.
15. එවිට ස්වාමිනි, ඔබගේ තරවටුකිරීමෙන්ද ඔබගේ නාසා වාත වේගයෙන්ද ජල පාරවල් ප්‍රකාශවුණේය, ලෝකයේ අත්තිවාරම්ද ප්‍රකාශවිය.
16. උන්වහන්සේ උඩින් අත පොවා මා අල්වාගත්සේක; බොහෝ ජලධාරාවලින් මා ඇදගත්සේක.
17. උන්වහන්සේ මාගේ බලවත් සතුරාගෙන්ද මට වෛරවූවන්ගෙන්ද මා මුදාගත්සේක, මක්නිසාද ඔව්හු මට වඩා බලසම්පන්න වූය. ‍
18. මගේ විපත්ති දවසේදී ඔව්හු මට විරුද්ධව ආවෝය. නුමුත් ස්වාමීන්වහන්සේ මට ආධාරවූසේක.
19. උන්වහන්සේ විශාල ස්ථානයකට මා ගෙනාසේක; උන්වහන්සේ මා කෙරෙහි ප්‍රසන්නවූ බැවින් මා මිදූසේක.

හිතෝපදේශ 6:6-11
6. අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඥානවන්ත වෙන්න.
7. ඌට ප්‍රධානියෙක්වත් මුළාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්,
8. ග්‍රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි, ගොයම් කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි.
9. අලසය, ඔබ කොපමණ වේලා නිදා ඉන්නෙහිද? ඔබේ නින්දෙන් ඔබ නැගිටින්නේ කොයි වේලාවේද?
10. තව ටිකක් නිදාගැනීමක්ය, ටිකක් සැතපීමක්ය, නින්දට ස්වල්ප අත්පොරවාගැනීමක්යයි
11. කියන ඔබට දිළිඳුකම හොරෙකු මෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.

ශුද්ධවර මතෙව් 21:1-22
1. ඔවුන් යෙරුසලමට ළංව ඔලීව කන්දට සමීපවූ බෙත්පාගයට පැමිණි කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනෙකු යවමින්:
2. ඔබ සැම ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහිම එහි කොටළුදෙනක්ද ඈ සමඟ පැටවෙක්ද බැඳ සිටිනවා ඔබ සැමට සම්බවෙයි. උන් ලිහා මා ළඟට ගෙනෙන්න.
3. යමෙක් ඔබ සැමට කිසිවක් කීවොත්: ස්වාමීන්වහන්සේට උන් ඕනෑ කෙරේයයි කියන්න; එවිට ඔහු එවලේම උන් එවන්නේයයි ඔවුන්ට කීසේක.
4. මෙසේ වූයේ, බලව, ඔබේ රජ කොටළුවෙකු පිටද, කොටළුවෙකුගේ පැටවාවූ වස්සෙකු පිටද නැගී, මොළොක් ගුණයෙන් යුක්තව ඔබ වෙතට එනසේකැයි සියොන්ගේ දුවට කියන්නැයි
5. අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.
6. ගෝලයෝ ගොස් යේසුස්වහන්සේ නියමකළ ලෙස කර,
7. කොටළුදෙනක් පැටියත් ගෙනවුත් තමුන්ගේ වස්ත්‍ර උන් පිට එළුවෝය; උන්වහන්සේ ඒ පිට හිඳගත්සේක.
8. සමූහයාගෙන් වැඩිදෙනා තමුන්ගේ වස්ත්‍ර මග අතුළෝය; තවත් සමහරු ගස්වලින් අතු කපා මග අතුළෝය.
9. පෙර පසුව ගිය සමූහයෝ: දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය කියාත්, ඉතා උස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය.
10. උන්වහන්සේ යෙරුසලමට ඇතුල්වූ කල මුළු නුවර කැලඹී: මේ කවුදැයි කීවෝය.
11. සමූහයෝද: මුන්වහන්සේ ගලීලයේ නාසරෙත් නුවර අනාගතවක්තෘවූ යේසුස්වහන්සේයයි කීවෝය.
12. යේසුස්වහන්සේ දේව මාළිගාවට ඇතුල්ව, මාළිගාවෙහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි සියලු දෙන පිටතට එළවා, මිල මාරුකරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළාදමා:
13. මාගේ ගෘහය යාච්ඤා ගෘහයක්ය කියනු ලබන්නේයයි ලියා තිබේ. නුමුත් ඔබ සැම ඒක සොරුන්ගේ ගුහාවක් කරතියි ඔවුන්ට කීසේක.
14. අන්ධයෝද කොරුද දේවමාළිගාවෙහි උන්වහන්සේ වෙතට ආවෝය. උන්වහන්සේ ඔවුන්ට සුවකළසේක.
15. එහෙත් නායක පූජකයොත් ලියන්නොත් උන්වහන්සේ කළ පුදුම දේවල්ද දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කිය කියා දේවමාළිගාවේ මොරගසන දරුවන්ද දැක, කිපී:
16. මොවුන් කියන දේ ඔබට ඇසෙනවාදැයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: එසේය, බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණකර තිබේය යන්න ඔබ සැම කිසිකලක කියෙවුවේ නැද්දැයි ඔවුන්ට කීසේක.
17. උන්වහන්සේ ඔවුන් අත්හැර නුවරින් පිටත්ව බෙතානියට ගොස්, එහි සිටිසේක.
18. අලුයම නුවරට නැවත යන අතර උන්වහන්සේට බඩගිනිවිය.
19. උන්වහන්සේ පාර අද්දර තිබෙන අත්තික්කා ගහක් දැක ළඟට ගොස්, එහි කොළ මිස වෙන කිසිවක් නොදැක: මෙතැන් පටන් කිසිකලක ඔබෙන් ඵල හට නොගනීවයි ඒ ගහට කීසේක. අත්තික්කා ගහ වහාම වියළුණේය.
20. ගෝලයෝ ඒ දැක: අත්තික්කා ගහ වහාම වියළුණේ කෙසේද කියා මවිතවූවෝය.
21. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් ඔබ සැමට කියමි-ඔබ සැම සැක නොකොට, ඇදහිල්ල ඇතුව සිටිනවානම්, අත්තික්කා ගහට කළ දේ ඔබ සැම කරනවා පමණක් නොව: ඉදිරි මුහුදේ වැටෙවයි මේ කන්දට කීවත් එය සිද්ධ වන්නේය.
22. තවද ඔබ සැම ඇදහිල්ල ඇතුව යාච්ඤාවෙන් ඉල්ලන කොයි දෙයක් නුමුත්, ඒ සියල්ල ඔබ සැමට ලැබේයයි ඔවුන්ට කීසේක.