A A A A A
අවුරුද්දකින් බයිබලය
නොවැම්බර් 5

එසකියෙල්ගේ 1:1-28
1. තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘත වී දේවදර්ශන මට පෙනුණේය.
2. යෙහෝයාඛීන් රජුගේ වහල්කමේ පස්වෙනි අවුරුද්දේ මාසයේ පස්වෙනිදා,
3. කල්දිවරුන්ගේ දේශයෙහි කෙබාර් ගංගාව ළඟ බූසීගේ පුත්‍රවූ එසකියෙල් නම් පූජකයා වෙතට ස්වාමීන්වහන්සේ ගේ වචනය පැමුණුණේය; ස්වාමීන්වහන්සේ ගේ අතද එහිදී ඔහු පිට විය.
4. මා බැලූ විට හුළං කුණාටුවක් උතුරෙන් එනවා දුටිමි, මහත් වලා පටලයක්ද ඇවිළීයන ගින්නක්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දිලිහෙන පිත්තල මෙන් ගින්න මැද සිට බැබළීමක්ද වූයේය.
5. තවද එහි මැද සිට සත්වයන් සතර දෙනෙකුගේ ස්වරූප නික්මුණේය. ඔවුන්ගේ පෙනීම මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූපය තිබුණේය.
6. ඔවුන් එකිනෙකාට මුහුණු සතරක්ද එකිනෙකාට පියාපත් සතරක්ද විය.
7. ඔවුන්ගේ පාද ඇද නැති පාදය; ඔවුන්ගේ පාද පතුල් වස්සෙකුගේ පාද පතුල් මෙන්ය. ඒවා දීප්තිමත් පිත්තල මෙන් දිලිසුණේය.
8. ඔවුන්ගේ සතර පැතිවල ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් තිබුණේය. ඒ සතරදෙනාගේ මුහුණු සහ පියාපත්ද මෙසේය:
9. ඔවුන්ගේ පියාපත් එකිනෙකට බැදී තැවරී තිබුණේය; ඔව්හු යන විට නොහැරී කෙළින් ඉස්සරහට ගියෝය.
10. ඔවුන්ගේ මුහුණුවල ස්වරූපය මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය මුහුණක්ද ඔවුන් සතරදෙනාට දකුණු පැත්තේ සිංහ මුහුණක්ද ඔවුන් සතරදෙනාට වම් පැත්තේ ගව මුහුණක්ද ඔවුන් සතරදෙනාට රාජාලි මුහුණක්ද බැගින් තිබුණේය.
11. ඔවුන්ගේ මුහුණු ද ඔවුන්ගේ පියාපත්ද ඉහළින් වෙන්ව තිබුණේය. එකිනෙකාගේ පියාපත් දෙකක් තවත් කෙනෙකුගේ පියාපත් දෙකකට වැදී තිබුණේය. දෙකකින් ඔවුන්ගේ ශරීරය වැසී තිබුණේය.
12. ඔවුන් එක එකා කෙළින් ඉස්සරහට ගියේය. ආත්මය යම් තැනකට යන්ට කැමැතිවීද ඔව්හු එහි ගියෝය; ඔව්හු යන විට නොහැරුණෝය.
13. ඒ සත්වයන්ගේ ස්වරූපය මෙසේය: ඔවුන්ගේ පෙනීම ඇවිළෙන ගිනිඅඟුරු මෙන්ය, පන්දම්වල පෙනීම මෙන්ය; ගින්න සත්වයන් අතරේ එහා මෙහා ගියේය. එය දීප්තිමත්ව තිබුණේය, ඒ ගින්නෙන් විදුලි නික්මුණේය.
14. ඒ සත්වයෝ විදුලි කෙටීමක පෙනීම මෙන් දිවගොස් හැරී ආවෝය.
15. මා සත්වයන් දෙස බලා සිටියදී සත්වයන් ළඟ එක එකාගේ මුහුණු සතරට චක්‍රයක් බැගින් පොළොව පිට තිබෙනවා දුටිමි.
16. චක්‍රවලද ඒවායේ කර්මාන්තවලද පෙනීම රන්කාන්තියක පාට මෙන්ය. ඒ සතරටම තිබුණේ එකාකාර ස්වරූපයක්ය. ඒවායේ පෙනීමද ඒවායේ කර්මාන්තද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ තිබෙන්නාක්මෙන් වූයේය.
17. ඒවා යන විට නොහැරී ඒවායේ පැති සතරේ ප්‍රකාරයට ගියේය.
18. ඒවායේ වළලු වනාහි උස්ව භයානකව තිබුණේය. ඒ සතරේම වළලු වටේට පුරාම ඇස් තිබුණේය.
19. සත්වයන් යන විට චක්‍රත් ඔවුන් කැටුව ගියේය. සත්වයන් පොළොවෙන් නගින විට චක්‍රද නැංගේය.
20. ආත්මය යන්ට සිටි කොයි තැනකට නුමුත් ඔව්හු ගියෝය; ආත්මය යන්ට කැමැතිවූ ස්ථානයකට චක්‍රත් ඔවුන් එක්වම නැංගේය; මක්නිසාද සත්වයාගේ ආත්මය චක්‍රවල තිබුණේය.
21. ඔවුන් යන විට ඒවාත් ගියේය; ඔවුන් නැවතුණු විට ඒවාත් නැවතුණේය; ඔවුන් පොළොවෙන් නගින විට ඔවුන් එක්වම චක්‍රත් නැංගේය. මක්නිසාද සත්වයාගේ ආත්මය චක්‍රවල තිබුණේය.
22. තවද සත්වයාගේ හිසට උඩින් භයානක පළිඟුවල පාට වැනි ආකාශයක සමානත්වයක් තිබුණේය, එය ඔවුන්ගේ හිස්වලට ඉහළින් විහිදී තිබුණේය.
23. ආකාශයට යටින් ඔවුන්ගේ පියාපත් එකකට එකක් කෙළින්ව තිබුණේය. එකිනෙකාගේ ශරීරයේ එහා පැත්ත දෙකකින්ද මෙහා පැත්ත දෙකකින්ද වැසී තිබුණේය.
24. ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන්ද සර්වපරාක්‍රමයාණන්ගේ හඬ මෙන්ද මට ඇසුණේය, එය සේනාවක ඝෝෂාව මෙන් කෝලාහල ඝෝෂාවක්ය. ඔවුන් හිටින විට තමුන්ගේ පියාපත් පහත්කරගත්තෝය.
25. ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් හඬක් පැමිණුණේය. ඔවුන් හිටින විට තමුන්ගේ පියාපත් පහත්කරගත්තෝය.
26. ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේය. සිංහාසනයේ ස්වරූපය උඩ මනුෂ්‍ය පෙනීමක් ඇති ස්වරූපයක් තිබුණේය.
27. එහි තුළ වටකරින් උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට ඉහළට ගිනි පෙනීමක් වැනි දිලිහෙන පිත්තලවල බැබළීමක් වාගේ දුටිමි; උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට පහළටත් ගිනිපෙනීමක් මෙන්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දුටිමි.
28. වටකර තිබුණු දීප්තිමත්කමේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නේ පෙනීම මෙන්ය. මේ වනාහි ස්වාමීන්වහන්සේ ගේ තේජසේ ස්වරූපයේ පෙනීමය. මම එය දුටු කල මුහුණින් වැටුණෙමි, කථාකරන කෙනෙකුගේ හඬ මට ඇසුණේය.

එසකියෙල්ගේ 2:1-10
1. උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නැගිට සිටින්න, මම ඔබ සමඟ කථාකරන්නෙමියි කීසේක.
2. උන්වහන්සේ මට කථාකළ විට ආත්මය මා තුළට ඇතුල්වී, මා නැගුටුවා සිටෙවුවේය; මට කථාකළ තැනන් වහන්සේගේ වචනද මට ඇසුණේය.
3. උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, මට විරුද්ධව කැරළිගැසුවාවූ කැරළිකාර ජාතීන් වන ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට ඔබ යවමි. ඔව්හුද ඔවුන්ගේ පියවරුද අද දවස දක්වාම මට විරුද්ධව ද්‍රෝහිකම් කළෝය.
4. තද මුහුණුද දැඩි සිත්ද ඇති පුත්‍රයන් වන ඔවුන් වෙතට ඔබ යවමි; ඔබද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න.
5. ඔවුන් කැරළිකාර වංශයක් බැවින්, ඔවුන් අසතත් නොඅසතත් තමුන් අතරෙහි අනාගතවක්තෘ කෙනෙක් සිටි බව ඔවුන් දැනගන්නවා ඇත.
6. මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් ඔබට කහඹිලියා සහ කටු ගස් මෙන් වන්නේවී නුමුත්, ඔබ ගෝනුස්සන් අතරේ වාසයකරන්නේවී නුමුත්, ඔවුන්ටවත් ඔවුන්ගේ වචනවලටවත් භය නොවන්න, ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ගේ වචනවලට භය නොවන්න, ඔවුන්ගේ මුහුණුවලට නොකැලඹෙන්න.
7. ඔවුන් ඉතා කැරළිකාර බැවින් ඔවුන් අසතත් නොඅසතත් මාගේ වචන ඔවුන්ට කියන්න.
8. මනුෂ්‍ය පුත්‍රය, ඔබ වනාහි මා ඔබට කියන දේ අසන්න; ඒ කැරළිකාර වංශය මෙන් ඔබ කැරළිකාරයෙක් නොවන්න. ඔබේ කට ඇර මා විසින් ඔබට දෙන දෙය කන්නැයි මට කීසේක.
9. මා බැලූ කල මා දෙසට අතක් දිගුකර තිබෙනවා දුටිමි; බලව, අකුළන පොතක් එහි තිබුණේය;
10. උන්වහන්සේ ඒක මා ඉදිරියේ දිග හැරියසේක;

ගීතාවලිය 119:153-160
153. මාගේ විපත්තිය බලා මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව සිහිනැති නොකරමි.
154. මාගේ යුක්තිය කියා මා මිදුව මැනව; ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
155. ගැළවීම දුෂ්ටයන්ගෙන් දුරය; මක්නිසාද ඔව්හු ඔබගේ පනත් නොසොයති.
156. ස්වාමිනි, ඔබගේ අනුකම්පා මහත්ය. ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව.
157. මට පීඩාකරන්නෝද මාගේ එදිරිකාරයෝද බොහෝය; එහෙත් මම ඔබගේ ශික්ෂාවලින් ඉවත නොගියෙමි.
158. මම ද්‍රෝහිකම්කරන්නන් දැක දුක්වීමි; මක්නිසාද ඔව්හු ඔබගේ වචනය නොපවත්වති.
159. ඔබගේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි කල්පනාකළ මැනව. ස්වාමිනි, ඔබගේ කරුණාගුණය පරිද්දෙන් මා ප්‍රාණවත්කළ මැනව.
160. ඔබගේ වචනයේ මුළු අදහස නම් සත්‍යයය; ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් සියල්ල සදාකල් පවත්නේය.

හිතෝපදේශ 28:12-12
12. ධර්මිෂ්ඨයන් ජය ලබන කල මහත් තේජස තිබේ; එහෙත් දුෂ්ටයන් උසස් වන කල මනුෂ්‍යයෝ සැඟවෙති.

හෙබ්‍රෙව් 1:1-14
1. දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථාකරවා,
2. මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථාකෙරෙවුසේක. උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක, උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූසේක.
3. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.
4. මෙසේ දේවදූතයන්ට වඩා උත්කෘෂ්ට නාමයක් උන්වහන්සේට උරුමව තිබෙන ලෙසම ඔවුන්ට වඩා එපමණ උතුම්වූසේක.
5. මක්නිසාද: ඔබ මාගේ පුත්‍රයාය, මම අද ඔබ ජනිතකෙළෙමියි කියාත්, මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේය කියාත්, දේවදූතයන්ගෙන් කවරෙකුට යම් කලක උන්වහන්සේ කීසේක්ද?
6. උන්වහන්සේ තමන්ගේ කුළුඳුල් පුත්‍රයා ලෝකයට නැවත ගෙනෙන කල: දෙවියන්වහන්සේගේ සියලු දූතයෝ උන්වහන්සේට නමස්කාරකරත්වයි කියනසේක.
7. දේවදූතයන් ගැන වනාහි: උන්වහන්සේ ස්වකීය දූතයන් සුළංද ස්වකීය සේවකයන් ගිනි දැලක්ද කරනසේකැයි කියනසේක.
8. නුමුත් පුත්‍රයා ගැන කථාකොට: දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවත්නේය; ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය යුක්තියේ ජයකොන්තයක්ය.
9. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව අධර්මිෂ්ඨකමට ද්වේෂකළසේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ සහකාරයන්ට වඩා ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබ ආලේපකළසේකැයි කියනසේක.
10. නැවතද: ස්වාමිනි, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක, ස්වර්ගවල් ඔබගේ හස්තකර්ම වෙති.
11. ඒවා විනාශවන්නේය; නුමුත් ඔබ පවතිනසේක. ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පරණවන්නේය;
12. ඔබ ඒවා සළුවක් මෙන් අකුළනසේක, වස්ත්‍රයක් මෙන් ඒවා මාරුවන්නේය. නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු තීන්දු නොවන්නේයයි කියනසේක.
13. නුමුත්: මා විසින් ඔබේ සතුරන් ඔබේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද?
14. ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?