Instagram
English
A A A A A
විලාප ගී 3:1-66
1. උන්වහන්සේගේ කෝපය නැමති දණ්ඩෙන්දුක අත්දුටුවාවූ මනුෂ්‍යයා මමය.
2. උන්වහන්සේ මා ගෙනගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්ට සැලැස්වූසේක.
3. සැබවින්ම උන්වහන්සේ දවස මුළුල්ලේ මට විරුද්ධව නැවත නැවත තමන් අත හරවනසේක.
4. උන්වහන්සේ මාගේ මාංසයත් හමත් ජරාවට පමුණුවා, මාගේ ඇට බින්දසේක.
5. උන්වහන්සේ මට විරුද්ධව පවුරු ගොඩනඟා, තික්තකමෙන්ද ගාවිනාවෙන්ද මා වටකළසේක.
6. පුරාණයේ නැසීගියවුන් මෙන් උන්වහන්සේ අඳුරු තැන්වල විසීම මට සැලැස්වූසේක.
7. පිටත යන්ට බැරි ලෙස උන්වහන්සේ මා වසා තැබූසේක; මාගේ විලංගුව බරකළසේක.
8. එසේය, මා කෑගසා පිහිට ඉල්ලන විට උන්වහන්සේ මාගේ යාච්ඤාව වලක්වනසේක.
9. උන්වහන්සේ මාගේ මාර්ග කැපූ ගල්වලින් අහුරා, මාගේ මාවත් ඇදකළසේක.
10. උන්වහන්සේ මාහට රැක සිටින වලසෙක්ද රහස් තැන්වල ඉන්න සිංහයෙක්ද මෙන්ය.
11. උන්වහන්සේ මාගේ මාර්ග ඉවත්කොට මා ඉරාදැමූසේක; මා පාළුකළසේක.
12. උන්වහන්සේ තමන් දුන්න තැත්කවා, ඊගහට ඉලක්කයක් කොට මා තැබූසේක.
13. උන්වහන්සේ තමන් කොපුවේ ඊගස් මාගේ කටියට විද්දසේක.
14. මම මාගේ මුළු සෙනඟට හිනාවක්ද දවස මුළුල්ලේ ඔවුන්ගේ කවියද වී සිටිමි.
15. උන්වහන්සේ තික්ත රසයෙන් මා පුරවා, මට කොසඹ පෙවූසේක.
16. උන්වහන්සේ බොරළුවලින් මාගේ දත් බින්දසේක, අලුයෙන් මා වැසූසේක.
17. ඔබ මාගේ ආත්මය සමාදානය කෙරෙන් දුරුකළසේක; සැපත මට මතක නැතිවිය.
18. මාගේ සවියත් ස්වාමීන්වහන්සේ කෙරෙන් මාගේ බලාපොරොත්තුවත් නැතිවී ගියේයයි කීමි.
19. කොසඹ සහ වසද වැනිවූ මාගේ පීඩාවත් මාගේ දුකත් සිහිකළ මැනව.
20. මාගේ ආත්මය තවම ඒවා සිහිකර මා තුළ පහත්වන්නේය.
21. මේක මතක්කරගන්නෙමි, එබැවින් මට බලාපොරොත්තුව ඇත්තේය.
22. අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේ ගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය.
23. ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය.
24. මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේ යයි මාගේ ආත්මය කියයි; එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි.
25. ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නන්ටත් උන්වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත්ය.
26. ස්වාමීන්වහන්සේ ගෙන් වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය.
27. තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත.
28. උන්වහන්සේ ඒක ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්දව සිටීවා.
29. සමහරවිට බලාපොරොත්තුවක් තිබේය කියා තමාගේ මුඛය දූවිල්ලෙහි තබාගන හිදීවා.
30. ඔහු තමාට පහරදෙන අයට කම්මුල පෑවාවේ; නින්දාවෙන් පූර්ණවුණාවේ.
31. මක්නිසාද ස්වාමීන්වහන්සේ සදාකාලයටම අහකදමන්නේ නැත.
32. උන්වහන්සේ ශෝකය පමුණුවන නුමුත්, තමන්ගේ බොහෝවූ කරුණාව ලෙස අනුකම්පාකරනසේක.
33. මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කැමැත්තෙන් පීඩා නොකරනසේක, ඔවුන් ශෝකයට නොපමුණුවනසේක.
34. පොළොවේ සෑම හිරකාරයන් පාදයට පොඩිකිරීමටත්,
35. මහෝත්තමයාණන්ගේ මුහුණ ඉදිරියේදී මනුෂ්‍යයෙකුගේ යුක්තිය පෙරළා දැමීමටත්,
36. මනුෂ්‍යයෙකුට ඔහුගේ නඩුවේදී අයුක්තිය කිරීමටත් ස්වාමීන්වහන්සේ සතුටු නොවනසේක.
37. ස්වාමීන්වහන්සේ අණ නොකළසේක්නම් යමක් සිද්ධවේයයි කියන්නේ කවුද?
38. මහෝත්තමයාණන්ගේ මුඛයෙන්ම විපතත් සැපතත් නොනික්මේද?
39. ජීවත්ව සිටින මනුෂ්‍යයෙක් තමාගේ පව් ගැන දඬුවම ලබන නිසා කොඳුරන්නේ මන්ද?
40. අපේ මාර්ග සෝදිසිකර වීමසා ස්වාමීන්වහන්සේ වෙතට නැවත හැරෙමු.
41. ස්වර්ගයෙහි සිටින දෙවියන්වහන්සේ වෙතට අපගේ අත් සමඟ අපේ සිත්ද ඔසවමු.
42. අපි වනාහි වරදකොට කැරළිගැසීමුව; ඔබ කමා නොකළසේක.
43. ඔබවහන්සේ උදහසින් සැඟවී සිට අප පස්සේ එළවාගෙන ආසේක; අනුකම්පා නොකොට, මරාදැමූසේක.
44. අපේ යාච්ඤාව ඔබ වෙතට නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබම වසාගෙන සිටිනසේක.
45. ඔබ ජනයන් අතරෙහි අප කසළ සහ බොර මෙන් කළසේක.
46. අපේ සියලු සතුරෝ අපට විරුද්ධව බොහෝසේ කට ඇරියෝය.
47. භයානකකම සහ වළත් නාස්තිය සහ විනාශයත් අපට පැමිණ තිබේ.
48. මාගේ සෙනඟ වන දියණියගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලන්නේය.
49. ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලා සලකන තුරු,
50. මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙන්නේය.
51. මාගේ නුවර සියලු දූවරුන් නිසා මාගේ ඇස්වලින් මාගේ ආත්මයට වේදනා පැමිණෙන්නේය.
52. නිෂ්කාරණයේ මට සතුරුව සිටින අය මා කුරුල්ලෙකු මෙන් තදින් එළෙවුවෝය.
53. ඔව්හු මාගේ ප්‍රාණය හිරගෙයිදී සිඳ දමා, මා පිට ගලක් හෙළුවෝය.
54. වතුරු මාගේ හිසට උඩින් ගලා ගියේය; මම සිඳදමනු ලැබීමියි කීවෙමි.
55. ස්වාමීන්වහන්ස, මම ගැඹුරු වළේ සිට ඔබගේ නාමය කියා යාච්ඤා කෙළෙමි;
56. ඔබ මාගේ හඬ ඇසූසේක; මාගේ හුස්ම ගැනීමටත් මාගේ හඬගැසීමටත් ඔබගේ කන වසා නොගත මැනව.
57. මා ඔබට යාච්ඤාකළ දවසේදී ඔබ ළංවී: භය නොවන්නැයි කීසේක.
58. ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ආත්මය වෙනුවට කාරණ කීසේක; මාගේ ප්‍රාණය මිදූසේක.
59. ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පීඩාව දුටුසේක; මට යුක්තිය කරදුන මැනව.
60. ඔවුන්ගේ සියලුම පළිගැනීම් සහ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ සියලු යෝජනා ඔබ දුටුසේක.
61. ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ නින්දා කිරීම සහ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ සියලු යෝජනාද,
62. මට විරුද්ධව නැගුටුණවුන්ගේ වචනද දවස මුළුල්ලේ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ අදහස්ද ඔබ ඇසූසේක.
63. ඔවුන්ගේ හිදීමත් නැගිටීමත් බැලුව මැනව; මම ඔවුන්ගේ කවියය.
64. ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ අත්වල ක්‍රියා ලෙස ඔබ ඔවුන්ට ප්‍රතිඵල දෙනසේක.
65. සිත් දැඩිකම වන ඔබගේ ශාපය ඔබ ඔවුන්ට දෙනසේක.
66. ඔබ උදහසින් ඔවුන් එළවාගෙන ගොස්, ස්වාමීන්වහන්සේ ගේ අහස යටින් ඔවුන් විනාශකරදමන සේක.

විලාප ගී 4:1-22
1. රත්රන් අඳුරුවී තිබෙන හැටි! පවිත්‍ර රත්රන් වෙනස්වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු වීථි සන්ධිවල විසුරුවා තිබේ.
2. රනට සමානවූ සියොන්හි උතුම් පුත්‍රයන් කුම්භකාරයාගේ අත්වල වැඩ වන මැටි භාජන මෙන් සලකනු ලබන හැටි!
3. සිවල්දෙන්නු පවා තනන ඇද උන්ගේ පැටවුන්ට කිරි පොවති. මාගේ සෙනඟගේ දුව කාන්තාරයේ පැස්බරුන් මෙන් කෲරවූවාය.
4. කිරිදරුවාගේ දිව පිපාසය නිසා තල්ලේ ඇලෙයි. ළමයි කෑම ඉල්ලති, කිසිවෙක් ඔවුන්ට කඩා නොදෙයි.
5. රස කෑම කෑ අය අසරණව වීථිවල හිඳිති. රතු ඇතිරිලි පිට හිඳ ඇතිවුණ අය කසළ ගොඩවල් වැලඳගෙන හිඳිති.
6. මක්නිසාද, කිසිවෙකු විසින් අත් හෙළන්නේ නැතුව ඇසිල්ලකින් මෙන් විනාශවුණ සොදොමේ පාපයට වඩා මාගේ සෙනඟ වන දියණියගේ අයුතුකම මහත්ය.
7. ඇගේ වංශාධිපතීහු හිමවලට වඩා පිරිසිදුව කිරිවලට වඩා සුදුව සිටියෝය, රතුකැටවලට වඩා ඔවුන්ගේ ශරීර රතුව තිබුණේය, ඔවුන්ගේ ඔපය නීලමාණික්‍යය මෙන් විය.
8. දැන් ඔවුන්ගේ පෙනීම අඟුරුවලට වඩා කළුය; ඔවුන් වීථිවලදී ඇඳිනගන්ට බැරිය. ඔවුන්ගේ හම ඔවුන්ගේ ඇටවලට ඇලෙයි; ඒක වියළී, ලීයක් මෙන්වී තිබේ.
9. සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේය; මක්නිසාද මොව්හු කෙතේ අස්වැන්න නැතිකමින් පීඩිතව ක්ෂයවී යති.
10. දයාවන්ත ස්ත්‍රීහු තමුන්ගේ අත්වලින් සිය දරුවන් පිසුවෝය; උන් මාගේ සෙනඟ වන දුවණියගේ විනාශයේදී ඔවුන්ට කෑම විය.
11. ස්වාමීන්වහන්සේ තමන් කෝපය තීන්දුවට ඉෂ්ටකොට, තමන් බලවත් උදහස වැගිරෙවුසේක; සියොන්හි ගින්නක් ඇවුළූසේක, එයින් එහි අත්තිවාරම් දාගියේය.
12. පොළොවේ රජවරු ද ලෝකයේ සියලු වැසියෝද එදිරිකාරයා සහ සතුරා යෙරුසලමේ දොරටුවලට ඇතුල්වන්නේයයි විශ්වාස නොකළෝය.
13. මෙසේ වුණේ ධර්මිෂ්ඨයන්ගේ ලේ ඈ තුළ වැගිරෙවුවාවූ ප්‍රොපේතවරුන්ගේ පව් නිසාත් පූජකයන්ගේ අපරාධ නිසාත්ය.
14. ඔව්හු අන්ධයන් මෙන් වීථිවල ඔබ මොබ යති, මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වස්ත්‍රවල තැවරෙන්ට බැරි තරමට ඔව්හු ලෙයින් කිලුටුවී සිටිති.
15. අහක්වෙන්න, අපවිත්‍රය! අහක් වෙන්න, අහක්වෙන්න, තැවරෙන්ට එපායයි ඔව්හු ඔවුන්ට මොරගැසුවෝය. ඔවුන් පලාගොස් ඔබමොබ ගිය විට: ඔව්හු තවත් මෙහි නොසිටින්නෝ යයි ජාතීන් අතරේ කියනලද්දේය.
16. ස්වාමීන්වහන්සේ ගේ උදහස ඔවුන් භේදකෙළේය; උන්වහන්සේ තවත් ඔවුන් නොසලකනසේක. ඔව්හු පූජකයන්ගේ මුහුණට ගරු නොකළෝය, වැඩිමහල්ලන්ට කරුණා නොකළෝය.
17. නිෂ්ඵලවූ උපකාර ගැන බලාසිටීමෙන් අපේ ඇස් තවම ක්ෂයවන්නේය. ගළවන්ට බැරි ජාතියක් ගැන මුර කුළුනු උඩ අපි බලා සිටියෙමුව.
18. අපේ වීථිවල අපට යන්ට බැරිවන ලෙස ඔව්හු අපේ අඩිපාරේ එළවති. අපේ අන්තිමය ආසන්නය, අපේ දවස් තීන්දුය; මක්නිසාද අපේ අන්තිමය පැමුණුණේය.
19. අප පස්සේ එළවාගන ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත්වූහ. ඔව්හු කඳුවල අප පස්සේ එළවාගන ආවෝය, අප අල්ලන්ට කාන්තාරයෙහි රැක සිටියෝය.
20. ඔහුගේ සෙවණෙහි ජාතීන් අතරේ අපට ජීවත්වෙන්ට ලැබේයයි අප කීවාවූ, අපගේ නාසයේ හුස්ම වැනිවූ ස්වාමීන්වහන්සේ ගේ අභිෂේකලත් තැනැත්තේ ඔවුන්ගේ වළවල අසුවුණේය.
21. ඌශ් දේශයෙහි වාසයකරන ඒදොම් දුව, ප්‍රීති සන්තෝෂවෙයන්න. කුසලාන ඔබ වෙතටත් පැමිණෙන්නේය; ඔබ මත්ව නිර්වස්ත්‍රව සිටින්නීය.
22. එම්බා සියොන් දියණිය, ඔබේ අයුතුකමේ දඬුවම ඉෂ්ටවිය; උන්වහන්සේ තවත් ඔබ වාලට ගෙන නොයනසේක. එම්බා ඒදොම් දියණිය, උන්වහන්සේ ඔබේ අයුතුකමට දඬුවම්කරනසේක; ඔබේ පව් එළිදරව්කරනසේක.

විලාප ගී 5:1-22
1. ස්වාමීන්වහන්ස, අපට සිද්ධවී තිබෙන දේ සිහිකළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව.
2. අපේ උරුමය අන්‍යයන්ටත් අපේ ගෙවල් විදේශීන්ටත් අයිතිවී තිබේ.
3. අපි කාත් නැත්තෝය, පියා නැති දරුවෝය, අපේ මවුවරුන් වැන්දඹුවන් මෙන්ය.
4. අපි අපේම වතුර මිලේට ගෙන බීමුව, අපේම දර අපට විකුණනු ලැබේ.
5. අප ලුහුබඳින්නෝ අපට ඉතා ආසන්නය. අපි වෙහෙසුණෙමුව, අපට සහනයක් නැත.
6. සෑහෙන පමණ කෑම ලැබෙන පිණිස මිසරවරුන්ටත් අෂූර්වරුන්ටත් අත දුනිමුව.
7. අපේ පියවරු පව්කළෝය, ඔව්හු නැත; අපි ඔවුන්ගේ අයුතුකම් දැරුවෙමුව.
8. වැඩකාරයෝ අප කෙරෙහි ආණ්ඩුකරති. ඔවුන් අතින් අප ගළවාගන්ට කෙනෙක් නැත.
9. කාන්තාරයේ තිබෙන කඩුව නිසා, අපේ ප්‍රාණයට අන්තරාය ඇතුව අපේ කෑම ලබාගනිමුව.
10. සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උඳුනක් මෙන් රත්ව තිබේ.
11. සියොන්හි ස්ත්‍රීන්ටත් යූදා නුවරවල කන්‍යාවන්ටත් ඔව්හු බලාත්කාරකළෝය.
12. අධිපතීහු තමුන්ගේ අත්වලින් එල්ලනු ලැබුවෝය. වැඩිමහල්ලන්ගේ මුහුණුවලට ගෞරව නොලැබුණේය.
13. යෞවනයෝ ඇඹරුම්ගල උසුලාගන ගියෝය, ළමයි දරවල බරින් වැටී ගියෝය.
14. වැඩිමහල්ලෝ දොරටුවෙන් පහව ගියෝය. යෞවනයෝ තමුන්ගේ ගීතිකාකිරීමෙන් වැලකුණෝය.
15. අපේ සිතේ ප්‍රීතිය නැවතුණේය; අපේ නැටීම වැලපීමට පෙරළුණේය.
16. අපේ හිසින් ඔටුන්න වැටුණේය. අපට දුක්වේ! මක්නිසාද අපි පව් කෙළෙමුව.
17. මේ නිසා අපේ සිත ක්ලාන්තවී තිබේ; මේ දේවල් නිසා-
18. පාළුව තිබෙන සියොන් කන්ද නිසා-අපේ ඇස් අඳුරුවී තිබේ; සිවල්ලු එහි ඇවිදිති.
19. ස්වාමීන්වහන්ස, ඔබ සදාකාලයටම සිටිනසේක; ඔබගේ සිංහාසනය පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේය.
20. ඔබ නිතරම අප මතකනැතිකරන්නෙත් මෙපමණ කල් අප අත්හරින්නෙත් මක්නිසාද?
21. ස්වාමීන්වහන්ස, අප හැරී එන පිණිස ඔබ වෙතට අප හරවාගත මැනව; පුරාණයේදී මෙන් අපට [සමාදන] දවස් නැවත දුන මැනව.
22. මක්නිසාද ඔබ සහමුලින් අප පහකර දැමූසේක, ඔබ අප කෙරෙහි අතිශයින් කෝපව සිටිනසේක.

ගීතාවලිය 119:145-152
145. මම මුළු සිතින් යාච්ඤාකෙළෙමි; ස්වාමිනි, මට උත්තරදුන මැනව. ඔබගේ පනත් රක්ෂාකරන්නෙමි.
146. මම ඔබට අඬගැසීමි; මා ගැළෙවුව මැනව, එවිට ඔබගේ ශික්ෂා පවත්වන්නෙමි.
147. මම අලුයමට පළමුවෙන් නැගිට මොරගැසීමි, ඔබගේ වචන කෙරෙහි බලාපොරොත්තුවීමි.
148. ඔබගේ වචනය භාවනාකරන පිණිස රෑ යාම්වලට පළමුවෙන් මාගේ ඇස් ඇරුණේය.
149. ඔබගේ කරුණාගුණය පරිද්දෙන් මාගේ ශබ්දය ඇසුව මැනව. ස්වාමිනි, ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව.
150. දුෂ්ටකම අනුව යන්නෝ ළංවෙති; ඔව්හු ඔබගේ ව්‍යවස්ථාවෙන් දුරුව සිටිති.
151. ස්වාමිනි, ඔබ ළංව සිටිනසේක; ඔබගේ සියලු ආඥා සත්‍යයය.
152. ඔබගේ ශික්ෂා සදාකාලේටම පිහිටෙවු බව පෙර සිට එයින් දැනගතිමි.

හිතෝපදේශ 28:11-11
11. වස්තුකාරයා තෙමේ ප්‍රඥාවතෙකැයි සිතන්නේය; එහෙත් තේරුම් ඇති දිළින්දා ඔහු සොයා බලා තේරුම්ගනියි.

පිලෙමොන් 1:1-25
1. ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හිරකාරයෙක් වන පාවුල්ද සහෝදරවූ තිමෝතියස්ද යන අප විසින් අපේ ප්‍රේමවන්තවූ හවුල් සේවකයෙක්වූ පිලෙමොන්ටද,
2. අපේ සහෝදරීවූ අපියාටද අපේ හවුල් හේවායෙක්වූ අර්කිපස්ටද ඔබේ ගෙදර තිබෙන සභාවටද ලියා එවන වග නම්:
3. අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් ඔබ සැමට වේවා.
4. ස්වාමිවූ යේසුස්වහන්සේ කෙරෙහිද සියලු ශුද්ධවන්තයන් කෙරෙහිද තිබෙන ඔබේ ප්‍රේමයත් ඇදහිල්ලත් ගැන මම අසා,
5. ඔබ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැනගැනීමෙන් ඔබේ ඇදහිල්ලේ හවුල්කාරකම ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බලවත්වන පිණිස,
6. මාගේ යාච්ඤාවලදී ඔබ ගැන මතක්කරමින් නිතරම මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි.
7. මක්නිසාද සහෝදරය, ඔබ කරණකොටගෙන ශුද්ධවන්තයන්ගේ සිත් ප්‍රාණවත්කරනු ලබන බැවින් ඔබේ ප්‍රේමය නිසා බොහෝ සන්තෝෂයද සැනසිල්ලද මට ලැබුණේය.
8. ඒ නිසා සුදුසුව තිබෙන දෙය ඔබට ආඥාකරන්ට ක්‍රිස්තුස්වහන්සේ තුළ මට බොහෝ නිසැකකම තිබෙන නුමුත්,
9. එසේ නොකර, මහලුව, දැනට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හිරකාරයෙක්ව සිටින පාවුල් නම් මම, ප්‍රේමය නිසා ඉල්ලා සිටිමි.
10. එසේ මා ඔබෙන් උදක්ම ඉල්ලන්නේ මා බැඳුම්වල සිටියදී ජාතකකළ මාගේ දරුවෙක්වූ ඔනේසිමස් ගැනය.
11. ඔහු වරක් ඔබට නිෂ්ප්‍රයෝජනව සිටිය නුමුත් දැන් ඔබටත් මටත් ප්‍රයෝජනව සිටියි.
12. මාගේම සිත වැනිවූ ඔහු ඔබ වෙත නැවත එවීමි.
13. ශුභාරංචිය නිසාවූ බැඳුම්වලදී ඔහු ඔබ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස මා වෙත සිටුවාගන්ට කැමතිව සිටියෙමි.
14. නුමුත් ඔබේ යහපත්කම බලයෙන් වාගේ නොව නිදහස් කැමැත්තෙන් වන පිණිස, ඔබේ කැමැත්ත නැතුව කිසිත් කරන්ට සතුටුනූණෙමි.
15. මක්නිසාද සමහරවිට ඔහු කලකට ඔබෙන් වෙන්වුණේ, මෙතැන් පටන් දාසයෙකු කොට නොව දාසයෙකුට වඩා ප්‍රේමවන්ත සහෝදරයෙකු කොට සදාකාලේටම ඔහු ඔබට ලැබෙන පිණිස වෙන්ට පුළුවන.
16. විශේෂ ලෙස මට ප්‍රේමවන්ත සහෝදරයෙක්වූ ඔහු කොපමණ වැඩියෙන් මාංසාකාරයෙන් සහ ස්වාමීන්වහන්සේ තුළ ඔබටත් එසේ නොවන්නේද.
17. ඉඳින් ඔබ මා පංගුකාරයෙකු කොට සිතනවා නම්, මා වාගේ ඔහු පිළිගන්න.
18. ඔහු ඔබට අයුත්තක් කළා නම්, නොහොත් ඔබට ණයව සිටිනවා නම්, ඒක මාගේ ගණනට තබන්න.
19. පාවුල් නම් මම මාගේම අතින් මේක ලියමි: මම ඒක ගෙවන්නෙමි. [මෙසේ කියන්නේ] ඔබම මට ණයක්ව සිටින බව ඔබට නොකියන පිණිසය.
20. එසේය, සහෝදරය, ස්වාමීන්වහන්සේ තුළ ඔබෙන් මට ප්‍රීතිය ලැබේවා. ක්‍රිස්තුස්වහන්සේ තුළ මාගේ සිත ප්‍රාණවත්කරන්න.
21. මා ඔබට ලියා එවන්නේ මා කියනවාටත් වඩා ඔබ කරන බව මා දැන, ඔබේ කීකරුකම විශ්වාසකරගනය.
22. ඒ ඇර මට නවාතැනක් සූදානම් කරන්න. මක්නිසාද ඔබ සැමගේ යාච්ඤා කරණකොටගෙන මා ඔබ සැමට දෙනු ලැබේයයි බලාපොරොත්තුවෙමි.
23. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ හවුල් හිරකාරයාවූ එපප්‍රස්ද
24. මාගේ හවුල් සේවකයන් වන මාර්ක්ද අරිස්තාර්කිස්ද දේමස්ද ලූක්ද ඔබට ආචාර කරති.
25. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව ඔබ සැමගේ ආත්ම සමඟ වේවා. ආමෙන්.